Saturday, May 23, 2020

බෝනිකි ගෙවල් 5 - නුවර පෙරහැර





                              බෝනිකි පෙරහැරේ 'බූලි' අලියෙක්, උඩරට නැට්ටුවෝ දෙන්නෙක්,
                                                    සේසත් කරුවෙක් හා පන්දමක්


නුවර නැන්දම්මත් නුවර පදිංචි වෙලා ඉන්න නිසා චම්පිකාට ලොකු ආසාවක් තිබුණ අගෝස්තු මාසේ නුවර දළදා පෙරහැර බලන්න කවුරුත් එකතු කරන් යන්න. ඔන්න ඒ නිවාඩු කාලෙ ලැබුවත් එක්ක චම්පිකා,සුජාතා, විශාකා හා රෝස් එක්ක මේ ගමන සැලසුම් කරන්න පටන් ගත්තා. මුලින්ම නුවර නැන්දම්මට පොස්ට් කාර්ඩ් එකක් දැම්මා කට්ටිය එන බව දන්වල. ඇයි ලොකු කට්ටියකට නවාතැන් ලෑස්ති කරන්න එපැයි. කොහොමත් නුවර නැන්දම්මගෙ ළඟ නෑයෝ ඒ කිට්ටුව තව ඉන්නවා. අද කාලෙ වගේ හෝටල් බුක් කරගෙන නවතින සිරිතක් තිබුනේ නැහැ.

ගමනට පෙර බෝනිකි නෝනලා අතරේ මේ වගේ කතා බහක් ඇති වුණා.

චම්පිකා - අපි මොනවයි  නුවර යනකොට අරන් යන්නේ ?
රෝස්   - කෝකටත් අපි වෙනද වගේම මාළු ඇඹුල් තියල් හදන් යන්න එපායැ. නැන්දම්මලට අළුත් මාළු හිඟයි නේ ?
විශාකා - කැවුම්, කොකිස්, ටිකකුත් ජේන් ට කියල හදා ගන්න පුළුවන් නේ සුජා ?
සුජාතා - මං කොහොමත් ඒක හිතාගෙන හිටියේ. ඒක නෙවෙයි ඇඳන් යන්න සුදු ගවුම් තියෙනවද ?
චම්පිකා - යද්දී පාට ඇඳන් යමු. මාළිගාවට යන්න නේ සුදු ඕනේ. මම රෙදි අරගත්තා. මහන්න තමයි වෙලා නැත්තේ. රැට වත් බලන්න ඕන. මේ පොඩි තුන් කට්ටුව තමයි ඇඳුම් කිළුටු කර ගන්නේ.
සුජාතා - මං අද අසෝක එකට ගිහින් රෙදි ගන්න ඕන,චන්දන ආවහම. මට ඉතින් මහන එක ඒ තරම් වැඩක් නෙමෙයි නේ.

බෝනිකි දරුවෝ මෙන්න මේ විදියට කතා වුණා.

සඳුනි - පිණී ...අපිට මේ සැරේවත් හරියට පෙරහැර බලන්න පුළුවන් වේවිද දන්නෙ නෑ නේද ?
පිණී   -   ඔව් අනේ ගියසැරේ හම්බු වුණු තැන පල් නේද ?
ආශික්කි - හූ ..හූ... මට නම් තාත්තගේ කරේ ඉඳන් හරි බලන්න පුළුවන්.
පිණී - අනේ යන්න ..මෙයා එනවා මහ ලොකු කතා වලට....
උදන් - මේ ..ඕගොල්ලෝ අම්මලට කරදර එහෙම කරනවා නෙමෙයි. ආයේ ට්‍රිප් යන්න හම්බෙන්නේ නෑ ..තේරුනයි ?
සඳුනි - බලපල්ලකො මෙයා හරියට තාත්ත වගේනේ කතාව.
පිණී - ඔව් ..අනේ මෙයා මහ පණ්ඩිතය ..කෝ අද අති පණ්ඩිත නැද්ද ?
දමිත් - කවුද ගෝරිය ද ?
සඳුනි - අය්ය බයිසිකල් පදින්න ගිහින්. තාත්තගෙන් බැනුම් අහල ඉන්නේ. කන්ද පහළට වේගෙන් පැදලා.

ගෝරිං බයිසිකල් පිස්සා. මහා වේගෙන් බයිසිකලය කන්දෙන් පහළට පදිනවා. මේ බයිසිකලය හදල තිබුණෙ නූල් රෝද වලින්. බෝනිකි ඇඳුම් මැහුවේ අක්කල තුන්දෙනා. සුදු නෝනට යන්තම් කකුල් දිග වුණු දා ඉඳල පාගන මැසිමේ මහන්න පුළුවන්. ඒ මහන මැසිම ඇත්ත අම්මට දෑවැද්දට දීපු එකක්. ඒ කාලේ අද වගේ නිමි ඇඳුම් කඩ තිබුණෙ නැහැ. අම්මල ඇඳුම් මහනවා. ඉතින් දෑවැද්දට අනික් ගෘහ භාණ්ඩ ඒ කියන්නේ අල්මාරි,පුටු, ඇඳන් ආදී දේවල් එක්ක  මැසිමක් තියෙන්නත් ඕන.  ඇත්ත අම්මා අක්කල තුන් දෙනාට එකම විදියට ගවුම් තුනක් මහනවා. ඒ කාලේ ජම්පින් පිෂ් කියල රෙදි වර්ගයක් තිබුණා. හරි ලස්සන මල් මල් චීත්ත රෙදි වර්ගයක්. තව ගමන් අඳින ගවුම් මහන්න ටෆැටා , ඕගන්දී වගේ ලස්සන රෙදි තිබුණ. ආත්තම්මා ගමනට ඇන්දේ ඒ වගේ ලස්සන රෙදි වලින් මහපු දිග සායකුත්, සුදු ලේස් අල්ලපු, ලේස්  රෙදි වලින් මහපු අත් දිග කබාකුරුත්තුව කියන හැට්ටයකුත් තමයි. ඒ හැට්ටයට ලස්සන රන් බොත්තම් වැලක් තියෙනවා. ඒක හැට්ටයෙන් හැට්ටයට මාරු කරනවා. තව ලස්සන රන් පෙති මාලයක් කරේ බඳිනවා. අත් දෙකේ බංගලි වළලු දෙකක් දානවා. රත්තරන් පාට සාක්කු ඔරලෝසුවක් තිබුණා . දවසක් මගුල් ගෙදරකදී කවුද ප්‍රභූ යයි සම්මත ටිකක් උඩඟු  කාන්තාවක් ආත්තම්මගෙ මාලේ අතගාල අහල 'ඕක රත්තරන් ද' කියල. ආත්තම්මා කිව්වලු 'ඔව්..  ඉතින් අපි දැම්මම රත්තරනුත් රිදී වෙනවනේ' කියල. එයාගේ කට වැහුනලු. ඕපදුපිච්චියෝ ඒ කාලෙත් අඩුවක් වෙලා නැහැ.

ඉතින් නුවර ගමන ටික ටික ලං වුණා. බෝනිකි නෝනලට ඉස්පාසුවක් නැහැ. අඩුම කුඩුම පෙට්ටිවල අහුරලා, ඇඳුම් සුට් කෙස් වල අහුරලා ලෑස්ති කළා. බෝනිකි මහත්තුරු,නීල්, චන්දන, නඳුන් හා සුගත් කාර් හෝදලා , ඒ දේවල් ඩිකියේ පැටෙව්වා. දැන් පසුදා උදේ පාන්දර ගමන යන්න තියෙන්නේ. ලොකු අය කලින්ම ඇහැරුණා.  සුජාතා කට්ටියටම අතරමගදී කන්න සැන්ඩ්විච් එහෙමත් හදා ගත්තා. චන්දන ඒවාට උදව් වුණා. විශාකා කෙසෙල් ඇවරියකුයි, බිස්කට් ටින් එකකුයි තව  උණුවතුර බෝතල්වලට තේයි හදල දා ගත්තා. වතුර බෝතල් එහෙම දා ගත්තේ නීල්. මුණ අතපය හෝදලා දරුවෝ ලෑස්ති කරලා, ඇඳ පැළඳ ගෙන ඔන්න කට්ටිය වාහන වලින් පිටත් වුණා.

වේයන්ගොඩ, කෑගල්ල, මාවනැල්ල පහු කරලා කඩුගන්නාවට ආවා. ඇත්තටම මේ යන්නේ අර ඇත්ත ගේ පිටිපස්සේ කන්ද දිගේ. කඩුගන්නාවේ කන්ද අයිනේ වාහන නවත්තලා කට්ටිය විවේක ගත්තා. අර කන්ද පහළ වතුර පාරවල් වලින් වතුර ගලාගෙන එනවා. කඩුගන්නාව වගේම තමයි. බලන්න ලස්සනයි. බිම පැදුරක් දාල ඉඳගෙන ගෙනාපු කෑම කෑව. දැන් කාල බීල විවේක අරන් ඉවරයි. එතන අස් පරස් කරලා ආපහු ගමන පිටත් වෙන්න ඕන . දැන් වගේ පොලිතින් භාවිතයක් නැති නිසා සංචාරයේදී කොහොමත් පරිසරය අපිරිසිදු වෙන්නේ නැහැනේ.

ගෝරිං - තාත්තේ ...තාත්තේ ...
චන්දන - ඇයි පුතා ...
ගෝරිං - අනේ තාත්තෙ ! botanical garden එකටත් ගිහින් යමු නේද ?
සඳුනි,පිණි ආශික්කි (එක හඬින් ) - අනේ ඔව්, අපිට යන්නම ඕන ....යමු යමු..නේද අම්මා ?
සුජාතා - නුවර ආත්තම්මා දැන් දවාලට කෑමත් හදන් බලන් ඇති. වෙලාව මදි නේද චන්දන ?
සුගත් හා නඳුන් - ළමයින්ගෙ ආසාවනේ සුජා ...අපි ගිහින් යමු. දෙකට විතර කෑම තිබුණම ඇතිනේ ?

ඔන්න කට්ටියට හරිම සතුටුයි. පේරාදෙණියේ මල් වත්ත ළඟ නැවැත්තුවා. කට්ටිය පොරකනවා.
නීල් - ඉන්න මං ටිකට් ගන්න.
චන්දන - ඔව් ...ඔයා ඒක කරන්න. මං මේගොල්ලෝ ගේට් එක ළඟ තියන් ඉන්නම්.

ඔන්න නීල් මහත්තයා ටිකට් අරන් ආවා. කට්ටියම මල් වත්තට ඇතුල් වුණා. දැන් කාලෙ  වගේ ලොකු සෙනගක් නැහැ. දැන් මේ බෝනිකි පවුල් ටික අරන් අර අක්කලයි  මල්ලියි යන්නේ ඇත්ත ගෙදර මිදුලේ මල් ගස් අතරේ. ඒ තමයි, පේරාදෙණියේ උද්භිද උද්‍යානය. එහෙම එකක් ඇහින් දැකල නෑ මේගොල්ලෝ. ඇත්ත අම්මා එහේ ගිහින් තියෙන කතා කියල තියෙනවා. ඒවා හිතේ මවාගෙන තමයි මේ සෙල්ලම් කරන්නේ. මොකෝ දැන් වගේ පොත්පත් සඟරා වල පාට පාට පින්තූර නැහැ. රුපවාහිනී නැහැ. සේරම පරිකල්පනය.
නීල් හා නඳුන් ළඟ කැමරා තිබුණා. ඉතින් කට්ටිට මල් වත්තේදී පින්තූර ගත්ත.

හවස දෙක විතර වෙද්දී කාන්ඩේ නුවර නැන්දම්මලගේ ගෙදරට ලඟා වුණා . ගෙට ගොඩවෙනවත් එක්කම නුවර නැන්දම්ම ඉස්සරහට ආවා.  කට්ටියම නුවර නැන්දම්මට වැන්ද. නුවර අය කොහොමත් වැඳුම් බලාපොරොත්තු වෙනවා.
 
නුවර නැන්දම්මා - (හිනා වෙමින් ) අය්යෝ මං එකොළහේ ඉඳන් මග බලන් ඉන්නවා ළමයි ..මොකෝ මේ පරක්කු වුණේ ?
පිණී - අපි මල් වත්තේ ගියා ආත්තම්මා ..
නුවර නැන්දම්මා - මං හිතුව පුතේ එකත් එකටම මේ ගොල්ලෝ එහේ යන්න ඇති කියල. මං දන්නවනෙ ළමෝ ගෙ රඟේ ...
හා හා ඒකෙන් කමක් නෑ අත්‍ හෝදලා කෑම කාල ඊට පස්සේ ඇඟ හෝදන් ඇඳුම් මාරු කර ගන්න්න. එහෙම හොඳයි නේද සුජා ?
සුජා - ඔව්, නැන්දම්මා ...මේ ගොල්ලන්ට බඩගිනි ඇති.
ගෝරිං - අම්මෝ ආත්තම්මා මට නම් යකෙක් කන්න බඩගිනියි.
විශාකා - නඳුන් අර බඩු ටික කාරෙකෙන් ගේනවද ? නීල්වත් එක්කගෙන යන්න. මාළු ඇඹුල් එක කෑමට ගන්න පුළුවන් නේ?
නුවර නැන්දම්මා- අනේ මේ ළමයි හැමදාම එනකොට මහා ගොඩවල් උස්සන් එනවා. ඇයි ළමයිනේ මේ පිට තැනක් ද ? මං මාමණ්ඩියි මල්ලියි එක්ක ඕන හැමදේම ගෙනාව.
සුජා - මහා ගොඩක් දේවල් නෑ නැන්දම්මා. කෝ මාමණ්ඩි ?
නුවර නැන්දම්මා- ආ ! පුතේ ඒ දෙන්න ගියා අර අපි පෙරහැර බලන තැන හරිද බලන්න. නැත්නම් මේ පොඩි දරුවන්ට සෙනග අස්සේ තෙරපෙන්න බැහැනේ.

පෙරහැර බලන උදවිය දවල් ඉඳන්ම පාර අයිනේ  තැන් අල්ලාගෙන පැදුරු එළාගෙන ලෑස්ති වෙනවා. යමක් කමක් තියෙන, හිතවතුන් නුවර ඉන්න අය ඒ  ගෙවල් වල බැල්කනි වල ඉඳන් බලනවා.  නැත්නම්  හෝටල් වල බැල්කනි සල්ලි දීල බුක් කර ගන්නවා. සමහර ගෙවල් අයිති කාරයොත් ඒ ගෙවල් වල බැල්කනි කුලියට දෙනවා. ඇත්ත අම්මල ගිය දවසේ පෙරහැරේ  අලියෙක් කුලප්පු වෙලා පාර අයිනේ පෙරහැර බලමින් හිටිය මිනිස්සු තෙරපිලා මරුනලු. නුවර මාමන්ඩිගේ මල්ලි, සිරිල් මාමණ්ඩි  ඉන්නේ පෙරහැර යන යටි නුවර වීදියේ . ඒ ගෙදර බැල්කනියේ ඉඳන් තමයි බෝනිකි පවුල් පෙරහැර බලන්න ඉන්නේ. සිරිල් මාමණ්ඩි නම් කවදාවත් බැල්කනිය කුලියට දෙන්නේ නැහැ. හිතවතුන් නොවන අයටත් ආසන හදල පෙරහැර නරඹන්න දෙනවා විතරක් නෙවේ, ඒ අමුත්තන්ට මැලිබන් බිස්කට්, කැවුම් කොකිස් ,තේ, කෝපි ,ඔරේන්ජ් බාර්ලි එහෙම සංග්‍රහ කරනවා. ඉතින් ඒ මිනිස්සු හරියට මාමණ්ඩිට ආශීර්වාද කරනවා.

ඔන්න කට්ටිය දිවා ආහාරය  සප්පායම් වුණා. වතුර පීල්ලෙන් ඇඟ පත හෝදගෙන ඇඳුම් මාරු කර ගත්ත.

සුජා - දැන් ළමයි ටිකක් නිදා ගන්න. රෑට නිදිමරන්න වෙනවා.

ඒ වුණාට ළමයින්ට ඒ කියන ඒවා කණකට ඇහුණේ නෑ . ඒ ගොල්ලෝ සින්දු කිව්වා. පොඩි පොඩි සෙල්ලම් කළා. සුමුදු,සනත් දෙන්නාට කටවල් ඇරන් සෙටි උඩම නින්ද ගිහින් තිබුණා. ඒ ගොල්ලන්ගේ අම්මල ඒ දෙන්න උස්සන් ගිහින් ඇඳන් වලට දැම්ම. නුවර නැන්දම්මා තාන් ඇඳ රෙදි, කොට්ට උර දාල ඇඳන් ලෑස්ති කරලා තිබුණා . එහෙම තමයි ඒ කාලෙ . කවුරුහරි අමුත්තෙක් නවතින්න එනව නම් අපුල්ලපු,නැවුම් සුවඳ රෙදි එළලා ඇඳන් ලැස්ති කරනවා. මදි පාඩුවට පැදුරු ලෑස්ති  කරනවා. අමුත්තෝ ගියායින් පස්සේ මේ සේරම රෙදි, රෙදි නැන්දට දීල තමයි ආපහු අපුල්ලවන්නේ. ගෙදර රෙදි හේදිලි අඩුයි. වොෂින් මැෂින් හදලත් නැතුව ඇති ඒ කාලෙ.

බෝනිකි නෝනලා ටිකටත් උදේ පාන්දර ඉඳන් ඇහැරිලා, ගමනට ලෑස්ති වෙච්ච එකෙයි, ගමන නිසා වෙහෙස මහන්සියයි  නිසා ටිකක් නින්ද ගියා. බෝනිකි මහත්තුරු කාඩ් ගහමින්, විනෝදෙන් කාලය ගත කළා. කට්ටියම හවස ඇහැරෙන කොට නැන්දම්මා තේවතුර වක්කරල තේ මේසේ ලෑස්ති කරල තිබුණ. හැලප හදල තිබුණු නිසා කවුරුත් ආසාවෙන් තේ බිව්වා.

සුජා හිතන් ආවේ හවස මාළිගාවට යන්න. ඒත් නැන්දම්මා කිව්වා 'පුතේ, හවස සෙනග හරියට. මේ පොඩිවුනුත් එක්ක තෙරපෙන්න බෑනේ. හෙට උදේ මාළිගාවට යමු ' කියල. කවුරුත් ඒ අදහසට එකඟ වුණා. ඊ ලඟට නැන්දම්මා අතවැසියොත් එක්ක රෑ කෑමට ඉඳි ආප්ප හැදුවා. කිරි හොදියි, සීනි සම්බෝලයි එක්ක කන්න. පොඩ්ඩෝ කිරිහොදි රුසියො කියල නැන්දම්ම දන්නවා. ඒ නිසා බෝනිකි නෝනලාට විවේකෙන් ඉන්න ලැබුණා.

රෑ හතහමාර වෙනකොට කට්ටිය ලෑස්ති වෙලා රෑ කෑම කාල, සිරිල් මාමණ්ඩිලගේ ගෙදර ගියා . එහේට ගෙනියන්නත් වෙනම, මාළු ඇඹුල් තියපුවයි, කැවිලි පෙවිලියි පෙට්ටියක් ලෑස්ති කරලයි තිබුණේ.
දැන් ආයෙත් මේ බෝනිකි පවුල් ටික අරන් අක්ක මලෝ, ඇත්ත ගෙදර දිග කාමරයට ආව. එහෙ තමයි පෙරහැර ලෑස්ති කරලා තිබුනේ. කට්ටිය සිරිල් මාමණ්ඩි ලගේ බැල්කනියේ ඉඳ ගත්ත. දැන් ඇත්තටම කරුවල වැටිලා. පෙරහරේ කාඩ්බෝඩ් නැට්ටුවෝ, කස කාරයෝ, බෙර කාරයෝ,හේවිසි කාරයෝ, පන්දම් කාරයෝ, නිලමෙලා  ලෑස්ති කරලා තිබ්බෙ කලින්ම.. මේ ඇත්ත ගෙදර එක පොල් ලී අලියෙක් හිටිය. ඌ සරසල ලෑස්ති කළා. අනික් අලි විදියට ගත්තේ බූලි. ඒ කියන්නේ මේ ගෙදර තිබුණා  අච්චාරු දාන සෙරමික් ලස්සන 'බූලි' කියල බඳුන් වගයක්. මේවට රෙදි අන්දලා සරසල අලි විදියට ගත්ත. අලි සැරසුවේ පොල් ගස් යට වැටෙන පිරිමි මල් අහුලලා ඒවා නූල් වල අමුණලා හදා ගත් මල් වැල් වලින්. ඉටිපන්දම් පොඩි කෑලි පෙරහරේ දල්වන කොප්පරා විදියට ගත්ත.

දැන් පෙරහැර එනවා. කස පුපුරණ හඬ, හේවිසි හඬ, ඇහෙනවා. හරිම අලංකාරයි. නැට්ටුවෝ නටනවා. ඇතා පිටේ ධාතු කරඬුව. බෝනිකි පවුල්වල අය පෙරහැර නරඹනවා. ටික වෙලාවකින් සිරිල් මාමණ්ඩි ඇතුළු පිරිස සංග්‍රහය පටන් ගත්ත. මෙහෙම පෙරහැර බලන අතරේ බෝනිකි අම්මලාගේ  උකුලේ පොඩ්ඩන්ට නින්ද ගියා. පෙරහැර එතැන පහුකරන් ගිහින් සෑහෙන වෙලාවක් ගියාට පස්සෙ  තමයි හුඟක් අමාරුවෙන් වාහන පාරට දාගන්න පුළුවන් වුනේ. ඉතින් කට්ටිය සිරිල් මාමණ්ඩි ඇතුළු හැමට ස්තුති කරලා,  වැඳලා සමු අරන් නුවර නැන්දම්මලයි ගෙදර ගියා. ඉඩ තියෙන තියෙන විදියට රෑ නිදා ගත්තා.

පහුවදා ටිකක් දවල් වෙනකම් නිදා ගත්තා. කට්ටිය ඇහැරෙන කොට නැන්දම්මා කිරිබත් උයල ලස්ස්සනට සුදු පලන්ගානම්  වල වඩවල, කපල තිබුණා . උම්බලකඩ සම්බෝල හදල තිබුණ. පොඩි අයට කිතුල් හකුරු එක්ක. කෝලිකුට්ටු ඇවරියකුත් තිබුණා. මුහුණ අතපය හෝදලා උදේ සප්පායම් වෙලා කට්ටිය සුදු ඇඳුම් වලින් සැරසුණා. මාමණ්ඩි මල්, තෙල් හඳුන්කූරු ලෑස්ති කරලා තිබුණ. ඒවත් අරන් පයින්ම කට්ටිය දළදා මාළිගාවට ගිය. මල් පූජා කරලා, පහන් දල්වල, හඳුන්කූරු පත්තු කරලා බුදුන් වැන්දා. සුජාතා ගෝරිං වෙනුවෙන් බාරයකුත් වුණා. මොකද මේ දරුවා හරිම අකීකරුයි නේ. සුජාතට මේක හරිම හිතට වදයක්. ඊට පස්සේ කට්ටිය නැවත නැන්දම්මලයි ගෙදර ඇවිත් ආපහු ගම්රටවල් වල  යන්න කළමනා ලෑස්ති කළා. මේ සැරේ නුවර පෙරහැර නැරඹීම කව්රුත් කතා කළේ හරිම සතුටෙන්.
 

7 comments: