Wednesday, March 29, 2023

සිදුවීම්

 






සිදුවීම්

ජීවිතය කියන්නේ සිදුවීම් ගොඩක්. සිදුවීම් දාමයක්. මේ සිදුවීම් දිගටම සිදුවෙනවා. එක එක ජීවිත වෙනම ගත්තත් වෙනවා. පොදුවේ ගත්තත් වෙනවා. පොදුවේ වෙන දේවල් පුද්ගලයා කෙරෙහි විවිධ විදියට බලපානවා. සමහර සිදුවීම් අපි හිතාමතා සැලසුම් කරලා සිදුකර ගන්නවා. තව සමහරවිට වෙන දෙයක් සිදුවෙලා සැලසුම් කළ දේ කරන්න බැරි වෙනවා. සමාජයක් වශයෙන් මෙන්ම පුද්ගලයන් වශයෙන් ද වෙන්න තියෙන සිදුවීම් අපි සැලසුම් කරනවා.
ඉතින් අප වටා සමාජ පරිසරයේ යම් සිදුවීමක් වුණ විට අපි අපේ මට්ටමින් එය විග්රහ කරනවා. ඒ විග්රහයන්ට අප ගිලී ඉන්න නොයෙකුත් මති මතාන්තර බලපානවා. හුඟක්ම සංස්කෘතික ආගමික පසුබිම.
දැන් මෙහෙම ගනිමු. යම්කිසි පුද්ගලයෙක් දුම්රියක ගැටී මිය යනවා. ඒක එක සිදුවීමක්. ඒක ඒ තැනැත්තා වුවමනාවෙන් කරගත් දිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්. නැත්නම් අත් වැරදීමකින් වුණා වෙන්න පුළුවන්. නමුත් දැන් සිදුවෙලා ඉවරයි. "ඒ වෙලාවේ ඔහු මියයන්න තිබුණා. වෙන කොහේ හිටියත් මිය යනවා. ඒක කාටවත් වලක්වන්න බෑ." කියලා සමහරු කියනවා. "ඒක එයාගෙ කර්ම ශක්තිය." තව කෙනෙකුට කියන්න පුළුවන්. "දෙවියන් වහන්සේගේ කැමැත්ත" ඒ තවත් කෙනෙකුට අනුව.
තව එකක් ගනිමු. යම් උපත් දුබලතාවයක් එක්ක දරුවෙකු බිහිවෙනවා. බිහිවී ටිකකින් මිය යනවා.
" ඒ දරුවා පෙර කළ පව් " කෙනෙක් කියනවා.
" දෙමව්පියන් කළ පව් දරුවන් පිටින් යනවා." කියලා මං ඒ වගේ සිදුවීමක් සහිත පෝස්ට් එකක කමෙන්ටුවක දැක්කා.
තව අවස්ථාවක් ගනිමු. යම්කිසි පවුලක් හදිසියේම ධනවත් වෙනවා. හොඳ ගෙයක්, වාහන, දැසිදස් ඇතුව ඉන්න පටන් ගන්නවා. මේක ටික ටික වූ සිද්ධි දාමයක්.
"පින් කරපු මිනිස්සු." ඒ සිද්ධි දාමය අනික් මිනිස්සු විග්රහ කරනවා. "කවද වුණත් පින පලදෙනවා." කෙනෙක් කියනවා.
ඔන්න මේ ධනවත් වූ තැනැත්තා මුදල් හෙව්වේ වැරදි වැඩකින් කියලා අහුවෙලා ඔහු සැකපිට අත්අඩංගුවට පත් වෙනවා.
"පව් කාරයෝ. හත්මුතු පරම්පරාවට වත් හොඳක් වෙන්නේ නෑ." අර ගුණ ගැයූ මිනිස්සු සිදුවීම වෙනස්ම විදියට දකිනවා.
ජීවිතයේ සිදුවීම් අපට මෙහෙයවන්න බැරිද?
යම්තාක් දුරකට පුළුවන්. පාරේ යද්දී පරිස්සම් වී රිය ධාවනය කරන කෙනෙක් ඉන්න පුළුවන් කිසිදාක අනතුරක් තමන්ට හෝ අනුන්ට සිදු කර නොගත්. ඒ වගේම පළමු වතාවේ සුක්කානම ගත්ත කෙනෙක් නොසැලකිල්ල හා තමා ගැන අධිතක්සේරුව නිසා එදාම මිය යන්නත් පුළුවන්.
ඊ ළඟ මොහොතේ නැත්නම් හෙට එහෙම නැත්නම් නුදුරු අනාගතයේදී කුමන සිදුවීමක් වේවිද කියලා කියන්න පුළුවන් ද? ඔව් සමහර දේවල් ගැන පෙරයීම් කරන්න පුළුවන්. කාලගුණ ය, වන්ද්ර හා සූර්යග්රහණ ඇතුළු ග්රහ වස්තූන් ගෙ චලිත ගණිතමය වශයෙන් පෙරයීම් කරන්න පුළුවන්.
ඒත් ඔබේත් මගේත් ඊ ළඟ මොහොතේ සිදුවීම අපි හිතන දෙයක් වෙන්නත් පුළුවන්. කිසිසේත්ම නොසිතන දෙයක් වෙන්නත් පුළුවන්. සිදුවීම් පෙළ නොකඩවා අනවරතව සිදුවෙනවා. ඒක විතරයි හරියට කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සියල්ල අහම්බ ලෙස මං දකිනවා.
රූපයේ කාන්තාව කවුරුහරි එනකම් බලාගෙන ඉන්නවාද? ඊළඟ මොහොත කුමක් වේද?
Life is just a bunch of accidents!
Image from Unsplash free images

Thursday, March 16, 2023

පැපොල දෙවන වර සෑදීම Shingles

 


පැපොල දෙවන වර සෑදීම Shingles
අද මං අපට අදාළ රෝහලට ගියා. ඔයාල හිතයි දැන් ආ මොකද? අනේ ලෙඩ වුණා ද? නෑ එහෙම නෑ. ඒ ගියේ එන්නත් දෙකක් ගන්න. මෙහෙ වැඩිහිටි අයට නියුමෝනියා වළක්වන්න Pneumococcal vaccine එකයි Shingles නැති නම් Herpes Zoster වළක්වන්න Shingles vaccine එකයි දෙනවා. මේ දෙකම එක දවසේ ගන්න පුළුවන්.
දැන් ඔයාල නියුමෝනියා ගැන නම් අහල තියෙනවා නෙ. අනික වැඩිය අහලා නැතුව ඇති. Shingles කියන්නේ පැපොල (Chickenpox). දෙවෙනි වර හැදෙන එක. මේ දෙකම එකම වයිරස් එකෙන් (Varicella virus) හැදෙන්නෙත්. පැපොල හැදිලා නැති වුණත් අපේ ශරීරයට ඒ වයිරසය ඇතුළු වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් පැපොල වළක්වා ගන්න ඔබ එන්නත අරන් ඉන්න පුළුවන්. මටත් පැපොල හැදිලා නෑ. ලෙඩුන් සමග ඉතාම කිට්ටුවෙන් තුන් සැරයක් හිටියා. ඒත් හැදුණෙ නෑ. ඒ කියන්නේ මගේ ශරීරයට වයිරසය ඇතුළු වෙන්න ඇති. ප්රතිශක්තිකරණය ඇතිවෙන්න ඇති. ඒ වුණත් මං Varicella vaccine එක ගත්තා. ඒක දෙවරකට දෙන්නේ. මුල් එකට පස්සේ booster එක මාස දෙකකින්. කොහොමටත් පැපොල ලෙඩේ කලින් හැදිලා නැත්නම් මෙහෙ එන්න medical ගන්න කොට ඒක ගන්න ඕන.
ඉතින් Shingles කියන්නේ ඒ Varicella වයිරසය ශරීරයේ නිද්රාගතවෙලා ඉඳලා කාලයකට පස්සේ ආපහු හැදෙන එක. හැබැයි මේක ඇඟ පුරාම හැදෙන්නේ නෑ. බිබිලි එන්නේ ශරීරයේ එක අර්ධයක ස්නායුවක් යන මාර්ගයක. ඒක කඳේ හෝ ඇසේ වෙන්න පුළුවන්. බිබිලි එන්න කලින් උණ, අධික වේදනාව, පිච්චෙනවා වගේ දැවිල්ල ඇතිවෙනවා. ඇස නොපෙනී යාමටත් පුළුවන්. ලෙඩේ සුවවෙලා ටික කලක් යනකම් මේ දැවිල්ල තියෙන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ හැම පස් දෙනෙකුගෙන් කෙනෙකුට ජීවිත කාලයේ කවදහරි Shingles හැදෙන බව සඳහන් වෙනවා. ඒ නිසා එන්නත් ලබාදීම සිදු කරනවා. ඒකත් මාත්රා දෙකකින් දෙන්නේ. තව මාස දෙකකින් මං booster එක ගන්න ඕන.
පැපොල වුණත් වැඩිහිටි අයට හැදෙන එක අවදානම්. දැන් පැපොල වැළඳුන සැනින් anti viral බෙහෙත් දෙනවා. එතකොට අමාරු වෙන්නේ නෑ. තව කියන්න ඕන දෙයක් තමයි පැපොල හැදිලා නැති කෙනෙකුට Shingles රෝගියෙකුගෙන් පැපොල බෝවෙන්න පුළුවන්. හැබැයි Shingles කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන්නේ නෑ. අදට ඇති. එන්නත දුන් අතත් ටිකක් රිදීගෙන එනවා.


රූපය Mayo clinic ඇසුරෙන්,අන්තර්ජාලයෙන්


Monday, March 13, 2023

කැලිෆෝනියාවේ වැසි සහ සුළං

 

කැලිෆෝනියාවේ වැසි සහ සුළං





කැලිෆෝනියා කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්රාන්ත 50න් එකක්. පැසිෆික් සාගරයට මායිම් වන එහි වර්ගඵලය වර්ග සැතපුම් 163, 696ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලංකාව වගේ හය ගුණයකට වැඩි වපසරිසරියක්. සැක්රමෙන්ටෝ එහි අගනුවරයි.
මේ ප්රාන්තයේ දේශගුණික තත්ත්වයන් වුණත් හුඟක් විවිධ වෙනවා. සමහර පැතිවල අවුරුද්ද පුරා හිම තියෙනවා. මොහාවේ, ඩෙත්වැලි වගේ කාන්තාර කීපයකුත් මෙහි තියෙනවා. සාමාන්යයෙන් වැස්ස අඩුවෙන් තමයි ලැබෙන්නේ. මේ දවස්වල වෙන අවුරුදු වලට වඩා වහිනවා. මේ වනවිට ඇතැම් ප්රදේශ ගංවතුරෙන් යටවෙලා. කුණාටු නිසා බලපෑම් ඇතිවෙලා. අපටත් හුඟක් වහිනවා. ගංවතුර තර්ජනයක් නෑ.
මේ ප්රාන්තයේ ගංඟාවල් 10ක් තියෙනවා. ඒ වගේම ජලාශ විශාල සංඛ්යාවක් තියෙනවා. සියලුම ගංඟාවල් වල දිග එකතුව සැතපුම් 189454ක්. දිගම ගඟ සැක්රමෙන්ටෝ ගඟ. ඒවායේ ජලයෙන් පානීය ජල අවශ්යතා, විදුලිබල අවශ්යතා ඉටුකෙරෙනවා වගේම විශාල පරිමාණයේ වගාවට අවශ්ය ජලයද සැපයෙනවා.
මේ සමග තියෙන්නේ සැක්රමෙන්ටෝ ගඟේ මං ගිය වෙලාවක ගත් පින්තූර දෙකක්.

Wednesday, March 8, 2023

නොස්ටැල්ජික් කතා 4 - ඇඳුම්/සීතාම්බර පට

නොස්ටැල්ජික් කතා 4 - ඇඳුම්/සීතාම්බර පට






ඇඳුම් ගැන කතාවක් සැරටම යනවා. අපි නවසිය පණස් ගණන් වල ඉපදුනු අය. කල් ඉකුත් වූ පිරිසක් කියලත් සමහරු අපට පරිභව කරනවා. මං කාටවත්ම කියන්නෙ නෑ අපි හිටපු ඒ අතීතයට යන්න කියලා. මං වුණත් දැන් මේ ජීවත් වෙන්නේ වර්තමානයේ. අතීතය සැබෑවක් බවත් අනාගතය මායාවක් බවත් කවුද කියල තිබුන මතකයි. වර්තමානය තමයි යථාර්ථය.
හැබැයි ඒ අතීතය ගැන සටහනක් තියන්න කාගෙවත් වගක් මට ඕන නෑ. අද අපේ කතාව ඇඳුම්. අපි ඒ කාලේ ඇඳුම් ඇන්දද? ඔව්. පොඩි ගෑනු ළමයි ඇන්දේ ගවුම් පොඩි. පිරිමි ළමයි කලිසම් කමිස පොඩි. අපේ ලොකු නංගී ගැහැනු ළමයෙක් වුණත් කලිසම් පොඩි කමිස පොඩි වලට ආසා වුණා. ඊටත් ඉස්සර කාලේ පොඩි පිරිමි ළමයි ඇන්දේ දිග කමිසයක් විතරයිලු. ඒක පිටිපස්සෙන් පලල පටියක් ගැට ගහල තිබුණලු.
අපි තුන්දෙනාට එකම මෝස්තරයේ රෙද්දෙන් ගවුම් පොඩි මැහුවේ අපේ අම්මා. කරට මන්තය එහෙම දාල, රැළි තියල හරිම ලස්සනට ඒ ගවුම් මැහුවා. සමාන්ය ගමන්බිමන් වලට, ගෙදරට අඳින්න මැහුවේ ජම්පින් ෆිෂ් කියල මාළුවෙක් ගෙ පින්තූරෙ සහිත සීල් එකක් ගහල තිබුණ රෙදි වර්ගයකින්. ඒ රෙදි යාරයක් රුපියල් හතරක් වගේ ගණනක් බව මතකයි. හැබැයි අපට ගවුම් තුන හතරකට වඩා නම් තිබුණෙ නෑ.
උත්සව වලට නම් ටැෆටා, ඕගන්ඩි වගේ වටින රෙදිවලින් ගවුම් මැහුවා. ඒ ගවුම් පිම්බිලා තියෙන්න යටට කැන් කැන් කියලා දැල් වගේ රෙද්දකින් මහපු සායක් ඇන්දා. නැත්නම් ඒ සාය ගවුමටම අල්ලල මහල තිබුණා. අනුරාධපුරයේ නැන්දා මට ඒ වගේ ලස්සන ඇඳුම් මහල දුන්නා. ඈ එම්බ්රොයිඩර් වැඩවලට හරීම දක්ෂයි.
අපේ තාත්ත නැතිවෙලා අපට ආර්ථික අමාරුකම් ආවහම ඇතැම් ළඟ නෑදෑයන්ගේ අක්කලගෙ ඇඳුම් ඉඳහිට අපට ලැබුණා. මං පොඩි කාලෙම අතින් හා මහන මැසිමෙන් මහන්න ඉගෙන ගත්තා. අම්මගෙන් තමයි ඒ ගුරුහරුකම් ලැබුණෙ. මාමලගෙ පරණ කමිස කපල බ්ලවුස් මැහුවා. ඒවයෙ මූට්ටු නොපෙනෙන විදියට මල් මැහුවා. අත්තම්මාගෙ දිග සායවල් තිබුණා. ඒවා කපල ගවුම් මැහුවා. පොඩි කාලේ සුදු ඇඳුම් අඳින්න ඕන වුණ වෙලාවට පාසල් ඇඳුමම ඇන්දා.
මෙන්න මේ වගෙ බොහොම අල්පේච්ඡ ජීවිත කාලයක් ගෙවිලා අපි ලොකූ වුණා. සරසවියෙදි පවා මං මමම මහපු ඇඳුම් තමයි ඇන්දේ. ඒවා වර්ණනාවට ලක් වුණා. ලස්සනට ගැලපෙන වර්ණ සංකලන ඒවායේ තියෙනවා කියලා. පාසල් කාලේ අන්තිම හරියෙදි පතරොම් තියල මහන්න පොඩ්ඩක් ඉගෙන ගත්තේ මගෙ මිතුරියගෙ සොයුරිය වසන්ති අක්කගෙන්. හුඟක් පස්සෙ කාලෙදි සිංගර් එකේ මැහුම් පාඨමාලාව බාගෙට කළා.
ඒ කාලේ ඇඳුම් මැහීමේ ව්යාපාරය ආරම්භ වෙමින් තිබුණා. ඇඟලුම් කම්හල් ඇති වුණා. ඇඳුම් සාප්පු විවෘත වෙන්න පටන් ගත්තා. ඒත් ඒ වෙනකොටත් 1980 ගණන්වලදිත් මං පවුලෙ හැමෝගෙම ඇඳුම් මැහුවා. පිරිමි කමිස පවා මැහුවා. පාසල් නිල ඇඳුම් මැහුවා.
ටිකෙන් ටික ජනතාව අර ඇඳුම් සාප්පුවලට ඇදෙන්න පටන් ගත්තා. ඇඳුම් සුලබ වුණා. ටිකක් කල් ඇඳලා ඇඳුම් පැත්තකට කරන්න, විසි කරන්න පෙළඹුණ. මහරගම ඇඳුම් පුරවරයක් වුණා. අපි ජීවත්වූ ප්රදේශයේ හුඟක් කාන්තාවන් ඇඳුම් මසා කඩවලට දැමීමෙන් සිය ජීවිකාව සරි කර ගත්තා.
අලුත් පරපුරේ අය තුළින් ඇඳුම් මැසීමේ ආසාව, උවමනාව අයින් වෙලා ගියා.
උත්සව කාලවලට අර ඇඳුම් සාප්පු පිරී ඉතිරී ගියා. ඒත් මං හුඟක් වෙලාවට ඇඳුම් තව දුරටත් මහගෙන තමයි ඇන්දේ.
ඇඳුම් හුවමාරු කිරීම කියන්නේ අමුතු දෙයක් නෙවේ. ඉඳහිට මිතුරියන් ගෙ ඇඳුම් ඉල්ලගෙන ඇඳල තියෙනවා. සේවයට යන්න පටන් ගනිද්දී සාරි දෙකයි තිබූණේ. අන්තිමට සේවයෙන් විශ්රාම යද්දී සාරි සිය ගණනක් තිබුණා. හැමදාම සාරි හැට්ට, යට සාය මැහුවෙත් මම. ඒ සාරි සේරම හිතවතුන්ට නෑදෑයන්ට පරිත්යාග කළා. පිරිමි ඇඳුම් හා දරුවන්ගේ ඇඳුම් හුඟක් තිබුණා. ඒවා සුබ සාධන අංශවලට පරිත්යාග කළා. දැන් සාරි ඇඳීමක් නෑ. බොහොම සරල ඇඳුම් කීපයක් පමණයි දැන් තියෙන්නේ. මේ රටේ නම් ඒ ඒ
සෘතුව ළඟාවෙන කොට ඒකට ගැලපෙන ඇඳුම් ආයිත්තම් වලින් වෙළඳපොළ පිරී ඉතිරී යනවා. අධි පරිභෝජනය මෙහෙ ජීවන රටාවේ විදිය.
ඔන්න ඔහොම තමයි අවුරුදු හැට ගණනක අපේ ඇඳුම් කතාව. කවදත් ඇඳුම ලංකාවේ ජනතාව රවටන එකක්. යුරෝපීය ඇඳුම ගලවල රෙද්ද බැනියම අඳින්න ගත්තේ ඒ රැවටිල්ල සඳහා තමයි. ඒ සුදු පට පිළි යට තු.. වක්කු පි.. ස්තෝල ඉන බැඳන් ඉන්න බව හුඟක් අයට පෙනුණෙ නෑ. ඉතින් ඇඳුම් අඳින විදිය දේශපාලන සටන් පාඨයක් වීම අමුතු දෙයක් නෙවේ. ඇඳුම් වලට විතරක් නෙවෙයි හුස්ම ගැනීමටත් දේශපාලනය බලපාන බව ඇත්ත.
ඒත් ඒ සමහරු ඇඳන් ඉන්නේ සීතාම්බර පට. සේරම එළියේ වුණත් ඒවා පේන්නේ මෝ.. ඩයන්ට විතරයි කියලයි කියන්නේ. කවුරුවත් මෝ.. ඩ බව පෙන්නන්න කැමති නැති පාටයි. අපි මෝ... ඩයෝ. අපට පේනවා.
Image from Unsplash free images