Friday, November 30, 2018

අසිරිමත් මිනිස් සිරුර - 1






අසිරිමත් මිනිස් සිරුර - 1




පි අපේ සිරුර හැදිලා තියෙන්නේ කොහොමද,එහි කෘත්‍යයන් මොනවාද කියල සාකච්ඡා කලොත් හොදයි කියල හිතුනා. ඉතින් මොකක්ද එහෙම කතා කිරීමේ වැදගත් කම කියල ඔබට හිතෙන්න පුළුවන්. ජීවිතයක් ලැබීම උතුම් දෙයක් කියල මං විශ්වාස කරනවා. ඒ ලැබුණු ජීවිතය ඵලදායී විදියට උපරිම කාලයක් ජීවත් කරවන්න ඕනෑ. ඒ සඳහා සිරුර සෑදී ඇති විදිය දැන ගැනීම වැදගත් වනු ඇති.

හුගක් මිනිස්සු සිරුර යන්ත්‍රයකට සමාන කරනවා මට ඇහිලා තියෙනවා. 'දැන් අපේ යන්ත්‍රය පරණයි,වෙනද වගේ වැඩ කරන්න බැහැ' කියල වැඩිහිටියෝ කියනවා. අපි ලේසියට අපි කවුරුත් දන්න මහන යන්ත්‍රය ගැන හිතමු. එය කොටස් ගණනාවකින් සමන්විත වෙනවා. එක එක කොටස  යම් සුවිශේෂී කාර්යක් කරනවා. යන්ත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න සෑම කොටසක්ම එක්ව ක්‍රියාත්මක විය යුතු වෙනවා.

ඔව්, මේ හැම අතින්ම මිනිස් සිරුර යන්ත්‍රයකට සමාන තමයි. ඇත්තෙන්ම එය මිහිමත ඇති අපුර්වතම යන්ත්‍රය කියා කිව්වොත් ඒක නිවැරදියි.

ඉතින් මේ මිනිස් යන්ත්‍රය මට්ටම් ගණනාවකින් යුක්ත ඉතාමත් අනගි සංවිධාන රටාවක් පෙන්වනවා.  එය සෛලයෙන් ආරම්භ වී සම්පුර්ණ මිනිස් සිරුරෙන් අවසන් වන විදියට තමයි සකස් වී තියෙන්නේ. ඉහළ සංවිධාන මට්ටම් වල විශාල සංකීර්ණත්වයක් තියෙනවා. රූපයෙන් මේ මට්ටම් තේරුම් ගන්න බලන්න.

ඉතින් අපි මුලින්ම බලමු සෛලීය මට්ටම, පහලම මට්ටම. වැඩිහිටි පුද්ගලයෙකුගේ සිරුරක සෛල ට්‍රිලියන 100ක් තියෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි නේද ?අනිකුත් ඔනෑම සජීවියකුගේ වගේම මිනිස් සිරුරෙත් මුලික තැනුම් ඒකකය හා කෘත්‍යමය ඒකකය සෛලය. සෑම සෛලයක්ම සිරුරේ ජීවිතය පවත්වා ගැනීම සදහා තමාට අදාළ මුලික කෘත්‍යයේ යෙදෙනවා. බොහෝ මිනිස් සෛල යම් යම් කෘත්‍ය සඳහා විශේෂයෙන් හැඩ ගැහිලයි තියෙන්නේ. උදාහරණ විදියට ස්නායු සෛල ස්නායු ආවේග ගෙනයන්න පුළුවන් විදියට දිගු ප්‍රසර දරනවා. පේශී සෛල දිග හැරීමට (ඉහිල් වීම ) හා කෙටිවීමට (සංකෝචනය ) හැඩගැහී තියෙනවා.

මේ එක එක සුවිශේෂී සෛල ගැන කතා කරන්න කලින් අපි සෛලයක් කියන එක ගැන අවබෝධ කරගෙන ඉන්න ඕන.

එක සජීවී සෛලයක් වුණත් හරිම සංකීර්ණ දෙයක්. ඔබට රුපයේ පෙන්වල තියෙන්නේ සෛලයක් ඉතාම විශාල කරලා,ඉලෙක්ට්‍රොන අන්වීක්ෂය කියල උපකරණයකින් පේන විදියට. බොහෝ සෛල පියවි ඇසට කොහොමත් පෙන්නේ නැහැ. සෛලයේ පිටතින්ම සෛල පටලය කියල සියුම් පටලයක් තියෙනවා.  ඊට ඇතුළෙන් තියෙන්නේ දියරයක්. ඒක සෛල න්‍යෂ්ටියත් එක්ක ගත්විට ප්‍රාක්ප්ලස්මය නමින් හැඳින්වෙනවා. න්‍යෂ්ටිය හැර ගත් විට සෛලප්ලස්මය කියා කියනවා. ඒකෙ ගිලිලා නොයෙක් පුංචි මඩි වගේ (ඉන්ද්‍රයිකා )දේවල් රාශියක් තියෙනවා. ඒවත් අර වගේ පටල වලින් වටවෙලා තියෙනවා. 

මේවා හරියට අපේ ගෙවල් වල තියෙන කාමර වගේ. එක එක කාමරයේ කෙරෙන්නේ එක එක වැඩ. හැබැයි ඔක්කොම හොඳ සම්බන්ධීකරණයකින් තමයි වෙන්නේ. සෛලයේ ප්‍රධාන මෙහෙයුම් කාමරය තමයි න්‍යෂ්ටිය. ඒකෙ වර්ණ දේහ කියල සියුම් නුල් වගේ දේවල් තියෙනවා. මිනිස් සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා. මේවායේ තියෙනවා DNA කියලා හඳුන් වන රසායනික ද්‍රව්‍යයක්. එය තමයි පාලන යන්ත්‍රයේ දත්ත ගබඩාව.
මේ වගේ mitochondria කියල හඳුන්වන කුඩා කාමර රාශියක  තමයි ශක්තිය නිපදවන්නේ. ඒ ශක්තිය සෛලයේ කෘත්‍ය සඳහා යොදා ගන්නවා. රයිබොසෝම කියා හඳුන්වන පටල රහිත කුඩා ඉන්ද්‍රයිකාවල ප්‍රෝටීන නිපදවෙනවා. ලයිසොසෝම කියන ඉන්ද්‍රයිකාවේ තමයි සෛලයේ වයසට ගිය කොටස් ජීර්ණය වෙන්නේ. මේ හැම එකක් ගැනම කියන්න ගියොත් මේ ලිපිය දිග වැඩි වෙනවා වගේම ඔබේ මනසටත් කරදරයක් වේවි කියා හිතනවා. දැන් හිතා ගන්න පුළුවන් නේ  මිනිස් සිරුර කෙතරම් අසිරිමත් දෙයක් ද කියලා. ඒ ගැන හැදෑරීම ඒ තුළින් චාරිකාවක් යනවා වගේ වැඩක්. එන්න අපි ඒ සුන්දර චාරිකාව යමු. හැබැයි දින ගණනාවක් ගත වේවි. ඔබ කැමතියි නේද ?

Sunday, November 25, 2018

Time of Death 1



Time of Death 1

මරණයක් සිදුවූ ඇතැම් විට එය ස්වාභාවික අනතුරකින් වෙන්නත් පුළුවන්,මිනි මැරුමක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවට විශේෂයෙන්ම අපරාධ වෛද්‍ය විද්‍යාවේ මොන වගේ සාක්ෂි ද විමසා බලන්නේ කියල අද අපි බලමු.

මරණය සිදුවූ වෙලාවත් මළසිරුර සොයා ගන්නා වෙලාවත් අතර කාලයට කියනවා පශ්චාත්මරණ විරාමය (Postmortem Interval - PMI ) කියලා. මරණය සිදුවූ වෙලාව මෙන්ම පශ්චාත් මරණ විරාමයත් 100% ක් නිවැරදිව සොයන්න බැහැ. විශේෂයෙන්ම සිරුර හමුවන විට එය වියෝජනයේ උපරිම අවස්ථාවේ තිබීම හෝ එය සොයා ගන්නා විට ගින්නට,වතුරට හෝ හිම පතනයකට හසු වෙලා තිබුනොත් එය බොහෝ අපහසු වෙනවා.

ඒ නිසා මරණය සිදුවූ වෙලාව හා PMI දෙනු ලබන්නේ නිමානයක් (estimate ) ලෙසයි. ඒ නිසා එය සිද්ධියට අදාලව පැය ගණනක සිට දින ගණනක් දක්වාත්,මාස ගණනක සිට අවුරුදු ගාණක් දක්වාත් වෙනස් වෙන්න පුළුවන්.

මරණයක් සම්බන්ධ සාක්ෂි නිමානය කිරීමේදී පහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගන්නවා.

1. මල සිරුරේ භෞතික ලක්ෂණ - පශ්චාත් මරණ විපර්යාස,කෘමීන් සිටීම ආදිය

2. සිරුර සොයා ගත් ස්ථානයේ පරිසර සාක්ෂි - ගේ ඇතුළක ද, පිටත ද,වල දමා ඇත් ද, පුළුස්සා ඇත් ද,ජලයේ ද ආදීය

3. අපරාධය සිදුවූ ස්ථානයේ වෙනත් සාක්ෂි - යම් තද පහරක් නිසා අත් ඔරලෝසුව නතර වූ වෙලාව, දුර කතන ඇමතුම් ගත් හෝ ලබා ගත් වේලාවන් ආදිය

4. අවසාන වශයෙන් ඉතිහාස කරුණු - අපරාධයට ගොදුරු වූ තැනැත්තාගේ දින චර්යාව, සම්බන්ධතා හා සතුරන් පිළිබඳව
මල සිරුරක අභ්‍යන්තරයේ අනුක්‍රමික වෙනස් කම් මාලාවක් ඒවා සිදුවන වේගයට සමගාමීව සිදු වන අතර ඒ සඳහා පරිසර උෂ්ණත්වය, කෘමීන් හා වෙනත් සතුන් ගැවසීම ආදිය ද බලපායි. මේ සියලු දැනුම මරණය සිදුවූ වෙලාව දැන ගැනීමට භාවිත වේ.

මරණය සිදුවූ වෙලාව නිමානයේ දී භාවිත කරන වැදගත්ම ක්‍රමය මේ වේගය පිලිබඳ ක්‍රමයයි.
මල සිරුරේ සිදුවන විවධ පරිවර්තනයන් පශ්චාත් මරණ අවදි පිළිබද මිනුමක් ලබා දෙයි.

1. Algor motis - සිරුර සිසිල් වීමේ වේගය

2. Rigor motis - සිරුර දරදඬු වීමේ වේගය ආරම්භය හා ගතවූ කාලය. සිරුර දරදඬු වන්නේ පේශී වල ශක්ති වාහකය වන ATP නැතිවී යාමෙන්.

3. Livor motis - රුධිරය සිරුරේ පහළ තැන්පත් වීම නිසා සම දුර්වර්ණ වීම

4. සිරුර පුති භවනය වීමේ වේගය

5. Adepocere - සිරුරේ මේද සැෆොනීකරණය . මෙය බොහෝ විට සිදුවන්නේ ස්ථුල වැඩිහිටියන්ගේ, ළදරුවන්ගේ,හා ස්ත්‍රීන්ගේ

6. පටක ඉරී යාම - මෘදු කොටස් දියවී යාම නිසා පටක ඉරී ගැලවී යයි.

7. සිරුරේ අමාශයේ ඇති අවසානයේදී ඒ තැනැත්තා ගත් ආහාරය ජීර්ණය වී ඇති ප්‍රමාණය ද මරණය සිදුවූ වෙලාව නිමානය කිරීමේදී වැදගත්වේ.
තවද පශ්චාත් මරණ විපර්යාස ඒ තැනැත්තා යම් කිසි නිදන් ගත රෝගයකින් පෙලුනේ ද යන්න, කුමන ඖෂධ ගත්තේ ද යන්න ආදිය මත ද රඳා පවතී. ඔහු/ඈ ප්‍රතිජීවක ඖෂධ ගනිමින් සිටියේ නම් සිරුරේ ක්ෂුද්‍ර ජීවී ගහනය වෙනස් වන අතර එය කුණු වීමටද කල් ගතවේ. එය වැරදි PMI එකක් දීමට හේතු විය හැකිය.

අපි ඉහත සඳහන් කල කරුණු එකින් එක සලකා බලමු.

Algor motis

මේ වේගය උෂ්නත්වමානයකින් මනිනු ලැබේ. සිරුර තිබෙන පරිසරයේ තත්වය මෙයට බලපායි. සිසිල් හෝ මධ්‍යදරනී දේශ ගුණ වල නිසි අගය ලැබෙන නමුත් අධික උණුසුම් ප්‍රදේශ වල සිසිල් වීම සිදුවන්නේ සෙමිනි. ඇතැම් විට අධික කුණු වීම නිසා සිරුරේ උණුසුම වැඩිවීමට ද පුළුවන්. එමෙන්ම සිරුරේ ප්‍රමාණය,සමට යටින් ඇති මේද ප්‍රමාණය,ඇඳ ගෙන සිටි ඇඳුම්,සුළඟ, ආර්ද්‍රතාවය,සිරුර තිබෙන්නේ කොතැනද ආදී සාධකද මේ කෙරෙහි බලපායි. සිරුරේ උෂ්ණත්වය පැයකට අංශකයක් අඩුවේ යයි සඳහන් වුවත් මේ වේගයේ බොහෝ වෙනස් කම් තිබේ.

Rigor motis

සිරුර දරදඬු වීම හා සියළුම පේෂී සංකෝචනය වීම, සාමාන්‍යයෙන් මරණය සිදුවී පැය 3කට පමණ පසු ආරම්භ වී නිවර්තන දේශගුනයෙදී පැය 9-12 දක්වාත්, මාධ්‍යදරණී ප්‍රදේශ වල පැය 36-48 දක්වාත් පවතී. ඝාතකයා සිරුර ඇද වෙනස් කර තිබුණොත් දරදඬු වීම සිදු වන්නේ එම අලුත් තත්වයේයි. ඒ නිසා Rigor motis තත්වය ඝාතනය සිදුවන විට සිදුවූ සිද්ධිය නොපෙන්වන්න පුළුවන්. මෙහිදී ඇසේ කණිනිකාව විශාල වන අතර හෘදය ඇතුළු අවයව වල ද වෙනස් කම් ඇති විය හැකියි.

මේ තත්වය ඇතිවීම කෙරෙහි උෂ්ණත්වය,රෝග තත්වයන්,දේහ පේෂී ස්කන්ධය,මරණයට පෙර පේෂී ක්‍රියාකාරීත්වය ආදිය ද බලපායි. අධික උෂ්ණත්වය හා අධික පේෂී ක්‍රියාකාරිත්වය මේ තත්වය ඉක්මන් කරයි. ළමයින් හා වයසක වැඩිහිටියන්ගේ ඉක්මනින් ද තරුණ වැඩිහිටියන්ගේ සෙමෙන් ද මෙය සිදුවේ. හුස්ම හිරවීමෙන් මිය ගිය විට හෝ අධික රුධිර ගැලීමක් සිදුවී නම් මෙය සෙමෙන් සිදුවන අතර ආසදනයක්, කල් පවත්නා දුර්වලකමක් තිබුණේ නම් ඉක්මනින් සිරුර දරදඬු වේ.

Livor motis

සමහර විට රෝස පැහැ දාර සහිතව සමේ රතු/රෝස පැල්ලම් ඇතිවීම. සිරුරේ රුධිර පීඩනය නැති වන නිසා රුධිරය සංසරණය නැවතී ගුරුත්වය ඔස්සේ රුධිරය සිරුරේ අභ්‍යන්තර වාහිනී වලත් සිරුරේ පහළ කොටස් වල එකතුවේ. මෙය සාමාන්‍යයෙන් මරණයෙන් පළමු පැය තුළ දැකිය හැකිවේ. නමුත් බොහෝ විට මරණයෙන් පැය 3-4 සිට ඇතිවීමට පටන්ගෙන පැය 12කදී අවසන් වේ. Liver motis හි වේගය රක්ත හීනතාවෙන් පෙලෙන්නේකුගේ හා කුසගින්නේ පසු වුවකුගේ අඩුවිය හැකිය. එමෙන්ම බොහෝ වෙලාවක් තිස්සේ රුධිර සංසරණය අඩුවෙමින් මිය යන කෙනෙකුගේ මෙය මරණයට පෙරම ආරම්භ විය හැකිය.

ඉතිරිය පසුවට…….

(Ref. Encylopedia.comPhoto by Sonja Langford on Unsplash

Friday, November 23, 2018

Oh! my dear two little beautiful roses ......




Oh! my dear two little beautiful roses,
Slowly swaying in the wind,
You fill the air with your sweet fragrance,
What a wonderful world I'm living in?


Oh! my dear two little beautiful roses,
Smiling, chasing away all unhappiness,
Bathing in the morning sunlight,
You make me squeal with delight...


Don't remind me the words like 'sorrow',
'Cos I'm living here only for this moment,
Not thinking yesterday or tomorrow,
'Cos they make me so  prudent.....


Tuesday, November 20, 2018

පණු රෝග - 04 බරවා රෝගය /Filariasis



පණු රෝග - 04

අද ඉදිරිපත් කරන්නේ බරවා රෝගය /Filariasis ගැන. දැන් අපේ රටේ බොහෝ දුරට මේ රෝගය තුරන් කරලා තිබුනත් දකුණු පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක තවම රෝගීන් ඉන්නවා. ඔබට මතක ඇති බරවා මර්දන ව්‍යාපාරය විසින් දීප ව්‍යාප්තව පණු පෙති ලබා දුන්නා, එකම දිනයක සැමට ගැනීමට. එවැනි උපක්‍රම රාශියක්මගින් තමයි රෝගය මර්දනය කළේ. නමුත් සමහරු මේ බෙහෙත් නොබී විසිකළ බව මා දන්නවා.

බරවා රෝගය හැදෙන්නෙත් Nematoda ,පණුවන් මගින්.

Phylum - Nematoda

Scientific names - Wuchereria bancrofti,  Brugia malayi,  Brugia timori

Lymphatic Filariasis /වසා ආශ්‍රිත බරවා රෝගය තමයි වැඩිපුර දක්නට ලැබෙන්නේ.
එහිදී පණුවන් වසා ග්‍රන්ථි ආශ්‍රිතව ජීවත් වෙනවා.

මේ පනුවාගේ කතාන්තරය කලින් පණුවන්ට වඩා සංකීර්ණයි. පනුවාට ජීවන චක්‍රය සම්පුර්ණ කිරීමට ධාරකයන් දෙන්නෙක් ඕන වෙනවා. ඒ තමා මිනිසා හා Culex ගණයට අයත් ගැහැණු බරවා මදුරුවා. වැඩුණු ගැහැණු හා පිරිමි පණුවෝ මිනිසාගේ වසා ගැටිති හා වසා නාලිකා තුළ ජීවත් වෙනවා. මොවුන් සුදු පැහැති,සිහින් සිලින්ඩරාකාර සතුන්. ගැහැණු පණුවා ටිකක් ලොකුයි:80-100 mm විතර දිගයි. පිරිමි පණුවා 40 mm විතර දිගයි. ගැහැණු පණුවන් දමන්නේ බිත්තර නෙවෙයි. කීටයන්. මේ කීටයන් Microfilaria කියල හදුන්වනවා. මොවුන් හරිම කුඩායි. 300 micro meter ( micrometer = mm /1000).

මේ කීටයෝ වසා පද්ධතියේ ඉඳලා මිනිසාගේ රුධිර සංසරණ පද්ධතියට එකතුවෙලා රෑ 10.00 ඉඳල අළුයම 2.00 වෙනකම් සැරිසරලා අනික් වෙලාවල් වල මිනිසාගේ පෙනහැලි වල හැංගිලා ඉන්නවා. මෙන්න මේ නිසා තමයි බරවා රෝග පරීක්ෂාවට රාත්‍රී කාලයේ රුධිරය පරීක්ෂා කරන්නේ.

ගැහැණු Culex මදුරුවෙකු මිනිසාගේ සම සිදුරු කර ලේ උරා බොන අවස්ථාවේ දී මිනිසාගේ රුධිරයේ සංසරණය වෙමින් සිටින microfilaria කීටයෝ මදුරුවාගේ ආහාර මාර්ගයට ඇතුල් වෙනවා. විනාඩි 30කදී පමණ මේ කීටයෝ මදුරුවාගේ බඩවල් සිදුරු කරගෙන උගේ රුධිරයට එකතු වෙනවා. එහි සිට මදුරුවාගේ උරස් පේශී කරා ඇවිත් දින 2ක් තුලදී කීටයෙක් ඇති කරනවා ,L1 කියලා . මේ කීටයා microfilaria කීටයාට වඩා කුඩායි. ඊට පස්සේ L2 කීටයා හැදෙනවා. ඌ L3 කීටයා බවට පත් වෙනවා.

මේ කීටයා 1.5mm පමණ දිගයි.

මේ L3 කීටයා තමයි වෙන නිරෝගී කෙනෙකුට මදුරුවා මගින් ආසාදනය වෙන්නේ.
මේ කීටයින් සහිත ආසාදිත මදුරුවෙක් නිරෝගී මිනිසෙකුගෙන් ලේ උරා බොන විට මේ L3 කීටයා මිනිසාගේ රුධිර පද්ධතියට ඇතුල් වෙනවා. රුධිරයේ සිට වසා ගැටිති තුලට ගිහින් පසුව වැඩුණු පණුවන් බවට පත් වෙනවා. ගැහැණු පණුවෝ අවුරුද්දකට පස්සේ microfilaria කීටයින් බිහි කරනවා.

කොහොමද මේ රෝගය ව්‍යාප්ත වන්නේ?
ලංකාවේ මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ Culex quinquefasciatus නම් මදුරු විශේෂය මගින්. මේ මදුරුවෝ බිත්තර දාන්නේ කාබනික ද්‍රව්‍ය වලින් අපව්ත්‍ර වූ ජලය එකතු වී ඇති කාණු , වැසිකිළි වලවල්, වැනි තැන්වල. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව මොවුන් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙනවා. අද පුවත් පතක තිබුණා ගාල්ල නගරයේ හුගක් රෝගීන් ඉන්නවා කියලා .
මේ මදුරුවන් ලේ උරා බොන්නේ බොහෝ විට මධ්‍යම රාත්‍රී කාලයේ. microfilaria කීටයන් පර්යන්ත රුධිර සංසරණයේ බහුලව ගැවසෙන්නෙත් මේ කාලයේ.

කොහොමද මේ රෝගය මර්දනය කරන්නේ?
මේ රෝගය මර්දනය ආකාර 3කට සිදු කරනවා.

1. මිනිසා තුල ඇති පරපෝෂිත අවස්ථා විනාශ කිරීම.
මේ සඳහා මුලින්ම රෝග විනිශ්චය කරන්න ඕන. එයට ක්‍රම 3ක් ඇත.
1. රුධිරයේ microfilaria පරීක්ෂා කිරීම.
2. රුධිරයේ Filaria ප්‍රතිදේහ පරීක්ෂා කිරීම.
3. ICT filariasis test
මේ 2හා 3 ක්‍රම වලට දිවා කාලයේ වුවත් රුධිරය ගත හැකියි.

2. වාහක මදුරුවා විනාශ කිරීම , පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත් කම ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. වැසිකිළි වලවල් හොදින් සීල් වෙලා තියා ගන්න ඕන. පොඩි සිදුරක් තිබුනත් එතනින් මදුරුවෝ ඇතුල් වෙනවා.

3. මදුරුවා දෂ්ඨ කිරීම වළක්වා ගැනීම.
උදා : මදුරු දැල් භාවිතය , මදුරු විකර්ෂක භාවිතය
මොනවාද මේ රෝගයේ ලක්ෂණ ?
අසාදිත මිනිසුන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ කිසිවක් පෙන්වන්නේ නෑ . අසදනයේ මුල් අවස්ථා වල දී උණ , හිසරදය,ඔක්කාරය,වස නාල හා ග්‍රන්ථි ඉදිමීම,සම මතුපිට රතුපාට පැල්ලම් ඇතිවීම,ආදී රෝග ලක්ෂණ ඇතැමුන්ට ඇති වෙනවා. මේවා වෙනත් රෝග නිසාත් වෙන්න පුළුවන්.






මේ හැර පිරිමින්ගේ වෘෂණ කෝෂ ඉදිමීම බොහෝවිට ඇතිවන ලක්ෂණයක්.
නියම වෙලාවට ප්‍රතිකාර නොගත්තොත් මේ රෝගය නිදන්ගත තත්වයට පත් වෙනවා. වසා නාල අවහිරවී Elephatiasis /නැත්නම් 'බරවා ' කියන තත්වයට එනවා. වෘෂණ,පාද වැනි තැන යථා තත්වයට පත්කළ නොහැකි ලෙස අධික ලෙස ඉදිමෙනවා. මේ අවහිරතා ඉවත් කරන්න ක්‍රමයක් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සොයාගත් බව පසුගිය දිනක කියවීමට ලැබුණා.
(ආශ්‍රිත සම්පත් - උසස් පෙළ ව්‍යවහාරික සත්ව විද්‍යාව හා අන්තර්ජාලය)

Saturday, November 17, 2018

Green burial - හරිත මිහිදන් කිරීම




Green burial - හරිත මිහිදන් කිරීම

Green burial හරිත මිහිදන් කිරීම කියන්නේ මොකද්ද කියල බලමු. 

මෙහිදී මල සිරුර කොන්ක්‍රීට් වලින් බැඳපු වලවල් වල තැන්පත් කරන්නේවත්,ආදාහනය කරන්නේ වත්, විවධ රසායනික ද්‍රව්‍ය යොදා සංරක්ෂණය (embalm ) කරන්නේවත් නැහැ. සිරුර පහසුවෙන් දිරා යන පෙට්ටියක හෝ රෙදි කඩකින් ඔතා හෝ ස්වභාවයට එක් වෙන්න පහසු විදියට වළලනවා. මෙහි අරමුණ සම්පුර්ණයෙන් සිරුර දිරාපත් වී පරිසරයට එකතු වීම.

මෙය අලුත් සංකල්පයක් නොවන බව ඔබ දන්නවා. 19වන සිය වසට පෙර මල සිරුරුවල අවසන් කටයුතු බොහෝ විට කෙරුනේ මේ විදියට. යුදෙව්  හා මුස්ලිම් ආගමනුකුලාව අදත් සිදුකරන්නේ ඒ විදියට. බුදු දහමේ සඳහන් වෙනවා,පාංශුකුල චීවරය ගැන. එනම් මල සිරුර එතු රෙදිකඩ සෝදා ගෙන සිවුරු පිළියෙළ කල හැකි බව.

අද නැවත පරිසරය ගැන සිතීම මත Green burial  සංකල්පය  ජනප්‍රිය වෙමින් තියෙන්නේ හේතු ගණනාවක් මත. 
මොනවාද ඒ හේතු කියල අපි බලමු.

1. සරල බව - රෙදි කඩක ඔතා හෝ පහසුවෙන් දිරා පත් වන පෙට්ටියක බහා මල සිරුර මිහිදන් කිරීම කෙතරම් සරලද?

2. අඩු වියදම - එම්බාම් කිරීම, අධික මිලෙන් යුත් මිනී පෙට්ටි, කොන්ක්‍රීට් වලවල්, චිතක මේ කිසිවකට වියදම් වෙන්නේ නැහැ.

3. ස්වභාවික සම්පත් සංරක්ෂණය - මිනී පෙට්ටි සැදීමට දැව, කොන්ක්‍රීට් වලට වානේ, සිමෙන්ති, වැලි, චිතක වලට රෙදි,දැව, ගෑස් වැනි පොසිල ඉන්දන  ආදී කිසිවක් නාස්ති වන්නේ නැහැ.

4. අහිතකර රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තොර වීම - එම්බාම් කිරීමට යොදා ගන්නා ෆෝමලීන් (formaldehyde) ශ්වසන පද්ධතියට හානිකර ද්‍රව්‍යයක් වන අතර,පිළිකා කාරකයක් ද වෙනවා. මල් ශාලා වල එම්බාම් වැඩ කරන පුද්ගලයන් මේ රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීම වැඩිය. ඔවුන් අතර leukemia නම් පිළිකා තත්වය ඇතිවන බව සොයාගෙන තිබෙනවා.  Green burial සංකල්පය මේ අහිතර තත්වයට මුහුණ දීම නැති කර තිබෙනවා. අද ෆෝමලීන් නොවන වෙනත් විෂ රහිත එම්බාම් කාරක සොයාගෙන ඇති නමුත්   Green burial හිදී   කිසිම රසායනිකයක් භාවිත වන්නේ නැහැ

5. ස්වභාවික සුන්දරත්වයෙන් යුත් ප්‍රදේශ ආරක්ෂා වීම - හරිත මිහිදන් කිරීමට කැමති අය පරිසරයට ඇලුම් කරන්නන් වීම නිසා මෙවැනි සුසාන භුමි පිහිටුවන්නේ, ගහකොළ,වනමල්, පඳුරු, ආදිය බහුල භුමි අලංකරණය කල තණබිම් ,කැලෑබද ප්‍රදේශ ආශ්‍රිතව. මෙවැනි තැන් වල පක්ෂීන්, සමනලුන් ආදී වන ජීවීන් ද බහුලව ජීවත් වෙනවා. මේ තැන්වල, රසායනික පොහොර,කෘමිනාශක, වල් නාශක ආදිය යොදා ගන්නෙත් නැහැ. ඉතින් හොඳ ස්වභාවික වාසස්ථාන වෙනවා.

එක්සත් ජනපදයේ ප්‍රථම හරිත සොහොන් බිම 1998 දී ආරම්භ වී ඇති අතර අද වන විට එම සංඛ්‍යාව 60 දක්වා වැඩිවී තිබෙනවා. මේවායේ ස්මාරකය වශයෙන් තබන්නෙත් ස්වභාවික ගලක් පමණයි. සොහොන් GPS තාක්ෂණයෙන් සලකුණු කෙරෙනවා. ස්වාභාවිකත්වය ආරක්ෂා කිරීමට පුද්ගලික මතක සටහන්, මල්,කොඩි වැනි දේ තැන්පත් කිරීම ද බොහෝ දුරට සීමා කර තිබෙනවා.

මේ ඔබට සිතන්න කරුණු කීපයක්……….


  • අපි අද වනවිට ලංකාවේ  අවමගුලක් සඳහා දරන්න බැරි වියදමක් කරනවා නේද? 
  • වැඩි දෙනෙක් අදහන බුදු දහම අනුවත් මෙවැනි සංකීර්ණ අවමගුල් උත්සව අනුමත කරන්න බැහැ නේද? 
  • මල සිරුරු දින ගණනක් තබා ගන්නේ ඇයි?
  • අපේ මුතුන් මිත්තන් ද අනුගමනය කළ  හරිත මිහිදන් කිරීම අපට වඩාත් ගැලපෙනවා නේද?  
Photo by Annie Spratt on Unsplash


Wednesday, November 14, 2018

පැංචි

පැංචි

පාරෙ කාණුවකට               වැටී
කකා ළමයින්ගෙන්            ගුටී
මතක් වෙයි නුඹ හිටි          හැටි
අනේ අපෙ පැංචි                පැටී

ගේට්ටුව  ළඟ         ගුලි   වෙලා
ඇඟේ ලොම් ටික අඩු     වෙලා
සිටිය නුඹ ගෙන        නා   වලා
දෝණි නුඹගේ මව්         වෙලා

සතෙක් දැක්කොත්    කලබලේ
එන්න නොම දී         රැකවලේ 
බුරා ගෙන යයි          සැමකලේ 
පැංචි නුඹ හරි            හුරතලේ

දාහතර කුත්                 අවුරුදු
ගෙව්වෙ අපි ළඟ        නිරතුරු
සෙව්වෙ සෙනෙහස    පිවිතුරු
කෝ පැංචි අද            පිළිතුරු

නුඹේ හඬ අද          ගොළුවෙලා 
හදේ ගින්නක්             ඇවිලිලා 
නෙතේ කඳුලක්         මතුවෙලා 
පැංචි අපගෙන්        වෙන්වෙලා 

Tuesday, November 13, 2018

පණු රෝග - 03 කිරි පණු රෝගය


පණු රෝග - 03

තුන්වෙනි පණු වර්ගය ලෙස අද අපි කතා කරන්නේ කිරි පණුවන් ගැන.
Phylum - Nematoda
Scientific name: Enterobius vermicularis

මොවුන් ඉතා කුඩා පණුවන්. ප්‍රමාණය දිගින් 5-10 mm පමණ වෙනවා. සුදු /ක්‍රීම් පාටක් ගන්නවා. හීන් නුල් කෑලි වගේ ඇහැට පෙනෙන්නේ. පණුවෝ සති 6ක් විතර ජීවත් වෙනවා. වැඩුණු පණුවන් මහ බඩවැලේ හා ගුද මාර්ගයේ ජීවත් වෙනවා.

වැඩුණු ගැහැණු පණුවන් රාත්‍රී කාලයේ අදාළ තැනැත්තාගේ ගුදය හා ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගය අසලට පැමිණ බිත්තර දමනවා. එක් පණුවෙක් පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා බිත්තර දහස් ගණනක් දමනවා. මේවා ගුදයේ සිට යට ඇදුම්,ඇඳ ඇතිරිලි, තුව හා කාපට් මතට විසිරෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණු පණුවා බිත්තර දාද්දී පිට කරන ස්ලේශ්මල වර්ගයක් නිසා ඒ ප්‍රදේශය කැසීම ඇතිවෙනවා.කැසීම නිසා ඔබේ අත් වලට පණු බිත්තර එනවා. එවිට ඔබේ අත්වල සිට ඔබ ස්පර්ශ කරන සෙල්ලම් බඩු ,කුස්සියේ උපකරණ,දත් බුරුසු,කුස්සියේ හා නාන කාමර වල මතුපිට ස්ථාන ආදී සෑම තැනකටම මේ බිත්තර යනවා.

මේ බිත්තර වලට සති තුනක් පමණ යම් මතුපිටක නොනැසී ඉන්නට පුළුවන්. ඔබේ අත්වල තැවරුණු බිත්තර ඔබේ අත් වලින්ම ඔබේම මුඛයට ගිහින් ගිලෙන්න පුළුවන්.

මේ බිත්තර ඉතා කුඩා නිසා ඒවා තැවරුණු තුවායක් හෝ ඇඳ ඇතිරිල්ලක් ගැසුව හොත් මේවා වාතයට එකතු වී පාවෙමින් ඇවිත් ඔබේ හුස්ම සමග නාසයෙන් ඇතුල්වී උගුරට ගිහින් ගිලෙන්නත් පුළුවන්.

ගිලෙන බිත්තර ඔබේ බඩවැල් වලට ගිහින් එහිදී පුපුරා පණුවන් එලියට එනවා. සති දෙකකින් පස්සේ වැඩුණු තත්වයට ඇවිත් ආපහු බිත්තර දාන්න පටන් ගන්නවා.

මේ පණුවන් අසාදනය වෙන්නේ මිනිසුන්ට විතරයි. නමුත් මිනිසුන්ගෙන් පැතිරෙන බිත්තර සතුන්ගේ ලෝමවල රැදී ඒ සතුන් අල්ලන මිනිසුන්ට නැවත එන්න හැකියාවක් තියෙනවා. කුඩා දරුවන් තමයි වැඩියෙන්ම රෝගී වන්නේ.

ඉතින් මොනවාද මේ පණුවන් අපිට අසාදනය වුනොත් තියෙන රෝග ලක්ෂණ ?
1. විශේෂයෙන් රාත්‍රී කාලයට ගුද මාර්ගය අවට කැසීම
2. යෝනි මාර්ගය අවට කැසීම
3. කැසීමෙන් ඇතිවන අසහනකාරී තත්වය නිසා නින්දට බාධා පැමිණීම

ඔබට තද බල ලෙස හා දීර්ඝ කාලීනව අසාදනය තිබුනොත් ආහාර අරුචිය,දේහ බර අඩුවීම හා තදබල නොසන්සුන්තාව ඇතිවීමට පුළුවන්.

සමහර විට රෝගියාට කිසිම රෝග ලක්ෂණයක් නොතිබෙන්නත් පුළුවන්. එත් ඔහුගෙන් අනික් නිරෝගී අයට රෝගය බෝවෙන්න පුළුවන්.

හුගාක් දෙනා කලින් ලිපි වල ප්‍රතිකාර අසා තිබු නිසා ඒ ගැන කියන්න හිතුවා.
දරුවන්ට කිරි පණු රෝගය ඇත්දැයි බැලීමට පුළුවන් රාත්‍රී ඔවුන් නින්දට ගොස් පැය දෙකකට පසු ගුදය අවට පරීක්ෂා කිරීමෙන්. වැඩුණු පණුවන් ඔබේ ඇසට පෙනෙනවා. බිත්තර නම් පෙනෙන්නේ නැහැ.
ඔබට හෝ දරුවාට කිරිපණු රෝගය තිබේ යයි දැනගත් විට පනුබෙහෙත් ගැනීමෙන් එය සුවකරගන්න පුළුවන්. නමුත් පවුලේ රෝගය ඇති නැති හැමෝම එකවර ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

රෝගය කඩා ගන්න, එනම් නැවත ඇතිවීම වළක්වා ගන්න සති දෙකකින් පසු නැවත පණු බෙහෙත් ගන්න වෙනවා. ඔබ over the counter බෙහෙත් ගන්නේ නම් ඒවායේ ඇති උපදෙස් හොදින් කියවන්න. හැම බෙහෙතම හැම දෙනාටම ගැලපෙන්නේ නැහැ. ඒ අතර අපේ පාරම්පරික අත්බෙහෙත් ගැනද සොයා බලන්න.






ඉතා වැදගත් - ඔබ ගර්භණී නම් හෝ ඔබේ දරුවා අවුරුදු දෙකට අඩු නම් හෝ ඔබ කුඩා දරුවෙකුට මව් කිරි දෙන කෙනෙක් නම් හෝ වෛද්‍ය උපදෙස් නැතිව පණු බෙහෙත් ගන්න එපා.
මේ අතර ඔබට විශාල සෞඛ්‍යමය වැඩ පිළිවෙලක් ද කරගෙන යන්න වෙනවා.
1.ගෙදර ඇති සියලුම ස්ථාන පිරිසිදු කරන්න.
2. යට ඇදුම්, ඇඳ ඇතිරිලි ආදිය උණු වතුරෙන් සෝදන්න.
3. ඔබ සැමත් නිතර හොදින් පිරිසිදු වන්න.
4. කෑමට පෙර හොදින් අත් සෝදන්න.
5. නිදන කාමරවල ඉදන් කෑම ගන්න එපා.
6. කාපට් හොදින් vacuum කරන්න.ගේ තුළ කාපට් ගසන්න එපා.

Saturday, November 10, 2018

Life after death…




Life after death…

  

අද මම වෙනස් මාතෘකාවක් කතා කරන්න හිතුව. මරණයෙන් පස්සේ අපේ සිරුරට සිදුවෙන්නේ මොකක්ද කියන එක . ඉතින් එය එතරම් දෙයක් ද කුණුවී යන එකනේ කියා ඔබ හිතාවි. එත් ඒකෙ දැන ගන්නත් හිතන්නත් දේවල් තියෙනවා කියලා මට හිතුණා .

ස්වයං ජීර්ණය කියලා ක්‍රියාවලියක් මගින් මිය ගිහින් මිනිත්තු කීපයකට පස්සේ සිරුර වියෝජනය /කුණුවීම ඇරඹෙනවා. හදවත නතර වෙනවත් එක්ක ශරීරයේ සෛල වලට ඔක්සිජන් නොලැබී යනවා.ඒ සෛලවලම නිපදවෙන විෂ රසායනික අප ද්‍රව්‍ය ඒවා තුළම එක්රැස් වීම හේතුවෙන් ආම්ලිකතාවය වැඩි වෙනවා. සෛල බිඳ වැටීමත් සමග එන්සයිම මගින් සෛල පටල ජීර්ණය කරන නිසා දියර එලියට ගලනවා. සාමාන්‍යයෙන් මෙය ආරම්භ වන්නේ එන්සයිම බහුල අක්මාවේ හා ජලය වැඩි මොළයේ .ක්‍රම ක්‍රමයෙන් අවසානයේ සියලුම අවයව වල මේ ක්‍රියාවලිය ඇරඹෙනවා. හානි වූ රුධිර සෛල ගුරුත්වය යටතේ කුඩා කේශනාලිකා හා නාල වල තැන්පත් වී සමේ අව පැහැයක් ඇති කරනවා.

ශරීර උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වය දක්වා අඩුවී යනවා. මීළඟට සිරුර දරදඬු වෙන්න පටන් ගන්නවා. එය ඇරඹෙන්නේ ඇසිපිය වලින්. ඉන්පසු හනු ,ගෙල පේශී, සිට දේහයේ පහලට දරදඬු වෙනවා. අත් පා වලටත් විහිදී යනවා.

මීළඟට තමයි සැබෑ කුණු වීම ඇරඹෙන්නේ. ඔබ සමහරවිට නොදන්නවා ඇති පණ ඇති අපේ සිරුරේ බැක්ටීරියා සෛල අපේ ඇඟේ ඇති සෛල ගාණටත් වැඩියෙන් ඉන්න  බව. වැඩියෙන්ම බැක්ටීරියා ඉන්නේ අපේ ආහාර මාර්ගයේ. ඒවා අපිට හුගාක් උදවුත් කරනවා, විටමින් වර්ග එහෙම හදා දීලා . අපේ මොලය,හදවත, ආදී අභ්‍යන්තර අවයව තුළ බැක්ටීරියා නැහැ.

ඒත් ඒ බැක්ටීරියා අපිව කුණු කරන්නේ නැහැ.ඇයි ? අපේ සිරුරේ ඇති ප්‍රතිශක්තිය නිසා. හැබැයි අපි මැරුණහම මේ තත්වය වෙනස් වෙනවා. දැන් ප්‍රත්ශක්තියක් නැහැ. ඉතින් බැක්ටීරියා නිදහසේ සැරිසරන්න පටන් ගන්නවා. මෙය පටන් ගන්නේ බඩවැල් වලින්. පසුව බඩවැල් බිත්ති ජීරණය කරගෙන අනිකුත් අවයව වලට පැතිරෙනවා. මේ අතර ස්වයං ජීර්නයත් තව දුරටත් වෙනවා. සෛලවල ඇති ප්‍රෝටීන වියෝජනය (පුතිභවනය )වී ඇමෝනියා ,හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ වායු පිට වෙනවා. පැසීම නිසා මීතේන් වගේ වායු පිට වෙනවා.

මේවා සිරුර තුළ එක් රැස් වී සිරුර විශේෂයෙන්ම උදරය පිම්බෙන්න පටන් ගන්නවා. තවදුරටත් සිරුර දුර්වර්ණ වෙනවා. හානිවූ රුධිර සෛල වල තිබුණු හීමොග්ලොබින් සල්ෆෙමෝග්ලොබින් බවට පත්වෙනවා. මේ නිසා සම මාබල් වැනි කොළ පැහැයට හුරු කළු පැහැයක් ගන්නවා. තව දුරටත් එකතු වන වායුන් නිසා වායු පීඩනය වැඩිවී  සමේ තුවාල ඇතිවී සම ගැලවී යන්න පටන් ගන්නවා. මේ පිපිරුම් වලින්ද ගුදය වැනි විවර වලින් ද පටක දියවී දියර වෑස්සෙනවා. උදරය පුපුරා වායු නිදහස් වෙන්නත් පුළුවන්.

වායු පිටවෙන්න පටන් ගත්තහම නොයෙක් කෘමීන් පමණක් නොවේ, ගොදුරු සොයන ගිජු ලිහිණියන් හා මස් බුදින සතුන් සිරුර සොයා ඇදී එනවා. දැන් සිරුර සතුන්ගේ වාසස්ථානයක්. සමහර කෘමීන් මුළු ජීවන චක්‍රයම මෙහි දී සම්පුර්ණ කරනවා. උන්ට ගැනීමට ආහාරයක් ඉතිරි නොවෙන කම් විවිධ මැස්සෝ වර්ග මේ සිරුර තම වාසස්ථානය කර ගන්නවා.

වෙනත් කිසිම මස් බුදින සතෙක් නැතුවත් මැස්සන්ගේ ඉහඳ පණුවන්ට පුළුවන් මුළු සිරුරේම ඇති මෘදු පටක කා දමන්න. කාල් ලිනෙයස් කියන විද්‍යාඥයා 1767 දී සටහනක් තියල තියෙනවා 'මැස්සන් තිදෙනෙකුට අශ්ව මල සිරුරක් දින තුනකදී කා අවසන් කල හැකිය ' කියල. මල සිරුරට කෘමීන් වර්ග එන්නේ එක රටාවකට. මෙය සිරුරේ බැක්ටීරියා ගහනයේ ස්වභාවයත් සමග මරණය සිදුවී ඇති කාල වකවානුව සොයා ගැනීමට උදවු වෙනවා,අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී.

අවසානයේ සිරුර දිරා ගිය තැන පසේ රසායනික ස්වභාවය සැලකිය යුතු තරම් වෙනසකට පත්වී ඒ ත්ත්වය වසර ගණනක් පවතිනවා. කාබනික වශයෙන් පස සරු බවටද පත් වෙනවා.නමුත් නයිට්‍රජන්, සිරුරේ වෙනත් ද්‍රව්‍ය, පනුවන්ගේ ද්‍රව්‍ය ආදිය  විෂ වීම නිසා ළඟම ඇති ශාක මැරෙන්න පුළුවන්.

මේ කතා කලේ සාමාන්‍ය පරිසරයට මල සිරුරක් එකතු වුනොත් සිදුවන විපර්යාසය. ඒක වුනත් මල සිරුර තිබෙන්නේ කාන්තාරයක ද , හිම බිමකද , පොළව යට ද වැනි කරුණු මත මේ තත්වයන් වෙනස් වෙන්න පුළුවන්.

දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් මල සිරුරු එම්බාම් කරනවා නේද කියන එක. ඔව් එම්බාම් කල සිරුරුත් දිරනවා. නමුත් එම්බාම් එකේ ස්වභාවය මතත්,මිනී පෙට්ටියේ ස්වභාවය මතත්, පොළවට යට කරන ප්‍රමාණය මතත් වැනි දේවල් මත සිරුර දිරා යන්න ගත වන කාලය වෙනස් වෙනවා.

අවසානයේ කියන්න තියෙන දේ මේකයි. සිරුර කියන්නේ මේ විශාල වූ විශ්වයට මුදාහරින්න මග බලාගෙන ඉන්න,ශක්ති ස්වභාවයන්  හිරකරගත් ද්‍රව්‍ය පුංජයක් . අපිට පණ තියෙනකොට ඉතාම සංවිධානාත්මක වින්‍යසයකට අනන්ත සංඛ්‍යාවක් පරමාණු පවත්වා ගන්න අපි ශක්තිය වැය කරනවා.

තාප ගති විද්‍යාවේ නියමයන්ට අනුව ශක්තිය මවන්න වත් විනාශ කරන්නවත් බැහැ . එක ශක්ති ප්‍රභේදයක් තව එකකට පරිවර්තනය කරන්න පුළුවන්. අවසානයේ ශක්තිය ඒක දිශානතිකව විසිර යනු ඇත. වෙන විදියකට කිව්වොත් පද්ධතීන් එහි ඇති ශක්තීන් නිදහස් කරමින් බිඳ වැටෙනවා. විශ්වයේ ඇති සියළු ද්‍රව්‍ය මේ සනාතන නියමයන්ට යටත් වන බවට කියා පෑමක් තමයි මේ කුණු වීම. එය අප බිඳ දමමින් අපේ සිරුරු ගත ද්‍රව්‍ය අවට පරිසරයට මුසු කරමින් සමතුලිත තාවය පවත්වා ගන්නා අතර ප්‍රතිචක්ක්‍රිකරණයෙන් එම ද්‍රව්‍ය අනිකුත් ජීවීන්ට ලබා ගැනීමට හැකි තත්වයට පත් කරනවා.

ඔව් ....අපි දුවිල්ලෙන් සෑදී සිට නැවත දුවිල්ලට එකතු වෙනවා. 

(The Guardian ඇසුරිනි.)

Photo by Anton Darius on Unsplash