Tuesday, May 26, 2026

බිත්තර කහමදයේ පාට

 බිත්තර කහමදයේ පාට



බිත්තර කියන්නෙ උසස් තත්ත්වයේ ජෛව (bioavailable) ප්‍රෝටීන සහ අනෙකුත් පෝෂණ සංරචක නිසා බෙහෙවින් ජනප්‍රිය ආහාරයක් වෙනවා. ඒ අතර, ඒවා විවිධ වර්ණවලින් සහ ප්‍රමාණවලින් තියෙනවා නේ. බිත්තරයේ  කහම දය තද තැඹිලි පාට සිට කහ පාට දක්වා විවිධ වර්ණවලින් යුත් බිත්තර දැකගන්න පුළුවන්. දුඹුරු සහ සුදු බිත්තර අතර ඇති වෙනස විද්‍යාත්මකව පහසුවෙන් පැහැදිලි කළ හැකි වගේම බිත්තර කහ මදයේ වර්ණ වෙනස ද එලෙසම පැහැදිලි කරන්න පුළුවන්. ඒ සියල්ල තීරණය වන්නේ කහ මදයේ අඩංගු වර්ණක ප්‍රමාණය හා ඒවායේ වර්ගය අනුවයි. 

​වඩාත් නිශ්චිතව පවසන්නේ නම්, බිත්තර කහ මදයේ වර්ණය කෙරෙහි එහි අඩංගු 'සැන්තොෆිල්' (xanthophyll) වර්ණක බෙහෙවින්ම බලපානවා.  සැන්තොෆිල් යනු ඔක්සිජන් අඩංගු 'කැරොටිනොයිඩ' (carotenoids) කාණ්ඩයට අයත් වර්ණකයක්. මෙම කැරොටිනොයිඩ ශාකවල ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා ඉතා වැදගත් වන අතර, පළතුරු සහ එළවළුවල ස්වභාවිකවම පිහිටලා තියෙනවා. ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ (University of Florida, IFAS Extension) පවුල් සහ පාරිභෝගික විද්‍යා නියෝජිත හිලරි අයර්ස් Food & Wine සඟරාවට පවසා ඇත්තේ, "සැන්තොෆිල් අඩංගු වීම අතින් සියලුම ශාක ද්‍රව්‍ය එක හා සමාන නොවන අතර, සමහර ශාකවල මෙහි සාන්ද්‍රණය ඉහළ මට්ටමක පවතින අතර විවිධ වර්ගවල සැන්තොෆිල් අඩංගු වන" බවයි.

​කැරොටිනොයිඩ මිනිස් සෞඛ්‍යයට ඉතා වැදගත් වන අතර, බොහෝ දුරට අපට ඒවා ලැබෙන්නේ පළතුරු සහ එළවළු මගින්. කුකුළන් ද ශාකමය ද්‍රව්‍ය අනුභව කරන සතුන් බැවින්, බිත්තර වැනි සත්ව ආහාරවල කැරොටිනොයිඩ තැන්පත් වීම පිළිබඳව පර්යේෂකයන් දිගින් දිගටම අධ්‍යයනය කරමින් සිටිනවා. 

​එමෙන්ම, බිත්තර කහ මදයේ වර්ණය දෙස බලා කිකිළිය ලබාගත් ආහාර වේල කෙබඳුදැයි තීරණය කළ හැකියි. උදාහරණයක් විදිහට ලා කහ පැහැති කහ මදයකින් පෙන්නුම් කරන්නේ එම කිකිළිය ට තිරිඟු බහුල, කැරොටිනොයිඩ ඉතා අඩු, බාල තත්ත්වයේ ආහාර වේලක් ලැබී ඇති බවයි. ඊට හේතුව කහ පැහැයට වගකියන 'ලුටෙයින්' (lutein) නමැති සැන්තොෆිල් වර්ණකය තිරිඟු වල බහුලවම දක්නට ලැබෙන වර්ණකය වීම. (කෙසේ වෙතත් තිරිඟු වර්ගය අනුව එහි ලුටෙයින් සාන්ද්‍රණය ද වෙනස් වෙනවා). කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (UC Davis) පර්යේෂකයෙකු වන රිචඩ් බ්ලැච්ෆෝර්ඩ් Food & Wine සඟරාවට පවසන්නේ , "සාමාන්‍ය සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දමන කිකිළියන්ට සාමාන්‍යයෙන් බඩඉරිඟු බහුල ආහාර ලබා දෙන" බවයි. බඩඉරිඟු ද ලුටෙයින් ප්‍රභවයක් වන බැවින් එම බිත්තර කහ මදය කහ පැහැති වුවත්, එය එතරම් දීප්තිමත් නෑ. අනෙක් අතට, තද තැඹිලි පැහැති කහ මදයකින් හැඟවෙන්නේ එම කුකුළන්ට ඉතා උසස් තත්ත්වයේ ආහාර වේලක් ලැබී ඇති බවයි. ඉන් අදහස් වන්නේ එම සතුන් නිදැල්ලේ හැදී වැඩෙමින් (pasture-raised) ස්වභාවික පරිසරයෙන් ආහාර සොයාගෙන ඇති බව හෝ ඔවුන්ගේ කෑමවලට මැරිගෝල්ඩ් (දාස්පෙති) මල් පෙති සහ රතු මිරිස් වැනි රතු පැහැති වර්ණක සහිත ආහාර එකතු කර ඇති බව. 

​කෙසේ වෙතත්, බොහෝ කුකුළු පාලකයින් බිත්තර කහ මදයේ වර්ණය මැනීම සඳහා වර්ණ අනුක්‍රම 16කින් යුත් DSM-Firmenich YolkFan නමැති උපකරණයක් භාවිතා කරනවා. වෙළඳපොළේ විකිණීමට ඇති බිත්තරවල වඩාත් ස්ථාවර සහ ඇසට ප්‍රියජනක වර්ණ අගයක් (සාමාන්‍යයෙන් අංක 7 මට්ටම) ලබා ගැනීම සඳහා, වාණිජමය කුකුළු ආහාරවලට කෘතිම කැරොටිනොයිඩ එකතු කරනු ලබනවා. ඒ සඳහා තැඹිලි-රතු පැහැය ලබා දීමට 'කැන්තැක්සැන්තීන් ' (canthaxanthin) ද, කහ පැහැය ලබා දීමට 'ඇපෝ-එස්ටර්' (apo-ester) ද භාවිතා කරයි. මේවා එක්තරා සීමාවකට වඩා භාවිතය සෞඛ්‍යයට හිතකර නම් නැත.

තොරතුරු sciencing මගින්.

Sunday, May 17, 2026

ඇමරිකාවේ ජනතාව හිතන හැටි...

 ඇමරිකාවේ ජනතාව හිතන හැටි... 



"​මම මාස ගණනාවක සිට 'සාමය සඳහා පා ගමන' (Walk for Peace) සමඟ සම්බන්ධ වී සිටින අතර, සජීවී විකාශන සහ පටිගත කිරීම් හරහා ශ්‍රී ලංකාවේ පැවැති එම පා ගමනට හැකි උපරිමයෙන් සමීප වී සිටියෙමි. දැන් ශ්‍රී ලංකාවේ පා ගමන අවසන් වී ඇති අතර, අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නැවත වැඩම කරමින් සිටිති. ගත වූ එම දින දහය තුළ සිදු වූ දේ නැවත මෙනෙහි කරන විට මට ඇති වූ සිතුවිලි බෙදා ගැනීමට මම පෙළඹුණෙමි.

​ෆෝර්ට් වර්ත් (Ft. Worth) සිට ශ්‍රී ලංකාව දක්වා වූ ගමන් දින, එහි පැමිණීම, පසුව ඇවිද ගිය දින කිහිපය, දිවා ආහාරය සහ විවේකය සඳහා නැවතී සිටි අවස්ථා මෙන්ම ආපසු පැමිණීම දෙස ආපසු හැරී බලන විට... මේ සියල්ල සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය වූ අසංඛ්‍යාත කටයුතු සම්පාදනය කිරීම කෙතරම් විශාල කාර්යභාරයක් දැයි මට සිතාගත හැකිය, නැතහොත් සමහරවිට මට එය සැබවින්ම සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත. මිනිසුන්, ආලෝකා , පෙට්ටි ගණනාවක බඩු බාහිරාදිය, සහායක කාර්ය මණ්ඩලය ගෙන යාම, නැවතුම් ස්ථාන සංවිධානය කිරීම, ස්වාමීන් වහන්සේලාගේ සහ ආලෝකාගේ ආරක්ෂාව සහතික කිරීම, රජයේ නිලධාරීන්, ප්‍රාදේශීය නිලධාරීන්, පශු වෛද්‍යවරුන්, එක් එක් උත්සවවල සංවිධායකයින් ආදී වශයෙන් මේ ලැයිස්තුව දිගු වෙමින් පවතී. සෑම පියවරක්ම බාධාවකින් තොරව සිදු කිරීමට සම්බන්ධ වූ පිරිස දකින විට මම මවිතයට පත් වීමි. මෙම සංචාරය සහ එහි අරමුණ සාර්ථක කර ගැනීම සඳහා තිරය පිටුපස සිට ආදරණීය දෑත් සහ හදවත් නොපසුබටව කැපවී ක්‍රියා කළහ.

​ඉන්පසුව, මා කිසිදා නොදුටු ආදරයෙන් සහ කරුණාවෙන් පිරි දූපතක් වන ශ්‍රී ලංකාව ගැන කිව යුතුය. එහි මිනිසුන්, දේශය, මල්වල සුන්දරත්වය සහ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මෙන්ම ආලෝකාවද දෙඅත් විදා සාදරයෙන් පිළිගැනීමට ඇති සාමකාමී ශක්තිය සහ කැමැත්ත... මම දුටු සහ උගත් දේ නිසා මම තවමත් මවිතයට පත්ව සිටිමි. මගේ මතකයට එන්නේ කිසිදු සීමාවක් නොමැති උදාර පරිත්‍යාගශීලී භාවයයි. ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ සිට සැතපුම් දහස් ගණනක් ඈතින් සිටියද, මට ඒ ආදරණීය පිළිගැනීම දැනුනි. මගේ එකම ප්‍රාර්ථනාව නම් කවදා හෝ දිනක ශ්‍රී ලංකාවට පැමිණ මා තිරය හරහා දුටු ඒ උණුසුම් ආදරය සැබවින්ම අත්විඳීමයි. බොහෝ අතින්, මම දැනටමත් එය අත්විඳ ඇත්තෙමි.

​ඇමරිකානුවෙකු ලෙස, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් දැන් මගේ රටේ වැඩ වසන බව දැන ගැනීමෙන් මම බෙහෙවින් නිහතමානී වන අතර ගෞරවයෙන් පිරී යමි. එවැනි තෑග්ගක අධ්‍යාත්මික වැදගත්කම වටහා ගන්නා අප වැනි අය සමඟ ශ්‍රී ලංකාව දැන් සැබෑ අර්ථයෙන්ම බැඳී ඇත.

​මගේ හදවතේ තවමත් බෙදා ගැනීමට බොහෝ දේ ඇතත්, එවැනි උතුම් හැඟීම් ප්‍රකාශ කිරීමට වචන කුඩා වැඩිය. කෙටියෙන් කිවහොත්, පසුගිය දින 10 තුළ සිදු වූ සිදුවීම් සහ පූජ්‍ය පන්නාකර ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය මගේ ජීවිතයට ඇති කළ බලපෑම ගැන මම අතිශයින් නිහතමානීව සහ සංවේදීව සිතමි. භාන්තේ අපට දුන් පොරොන්දුව වන "ඔබ මා අත්නොහරින්නේ නම්, මම ද ඔබ අත්නොහරිමි" යන්න මම සැමවිටම සිහිපත් කරමි. ඒ වගේම සෑම දිනකම මගේ සුවිශේෂී පොතේ "අද මගේ සාමකාමී දිනය වනු ඇත" යනුවෙන් සටහන් කරමින් ආශ්වාස ප්‍රාශ්වාසය දෙස බලා සිටීමට මම පුහුණු වෙමි.

​ශ්‍රී ලංකාවට මම අතිශය නිහතමානීව හිස නමා ආචාර කරමින් ස්තූතිවන්ත වෙමි. ඔබ 'සාමය සඳහා පා ගමන' වෙනුවෙන් දැක්වූ ඒ ආදරය, ශාන්තිය සහ මෛත්‍රිය ලොව පුරා පැතිර යන්නැයි මම ප්‍රාර්ථනා කරමි. එවිට අප සැමට සැමවිටම යහපතක්, සතුටක් සහ සාමයක් උදා වනු ඇත.

​මම කෘතඥතාවයෙන් පිරී ඉතිරී යමි.

මම Franne Ketofsky Enrich Detrician වෙමි.