Wednesday, December 25, 2019

සාමාන්‍ය ජෛව සමුදාය (Normal Body Flora) හෙවත් අපේ ශරීරයේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන්









සාමාන්‍ය ජනතාව විෂ බීජ වලට අසීමිත බියක් දක්වන බව පෙනී යනවා. ඒ විෂ බීජ නැත්නම් ක්ෂුද්‍ර ජීවීන් සියල්ලම රෝග කාරක කියල හිතන නිසා.

මොනවාද මේ විෂ බීජ කියන්නේ?

බැක්ටීරියා, වයිරස් හෝ දිලීර කියන ක්ෂුද්‍ර ජීවී වර්ග වලට අයිති ජීවීන් තමයි බොහෝ කොටම. මැලේරියා , ඇමීබයෝසිස් වගේ රෝග ඇති කරන්නේ නම් ප්රෝටෝසෝවා කියන වර්ගයට අයිති  ජීවීන්.

ජනතාව බොහෝ විට හිතන්නේ තමන් ඇර අනික් හැමෝම ලඟත් අවට පරිසරයේත් විශේෂයෙන්, රෝහල් ,මළ ගෙවල් වගේ තැන් වල මේ විෂ බීජ හුඟක් තියෙනව කියලයි. (රෝහල් වල නම් ඇත්තටම Hospital Flora කියල වෙනම විෂබීජ සංයුතියක් තියෙනවා. )

නමුත් ඇත්ත නම් අපි කාගේත් ශරීර මත, ඒ කියන්නේ සම මත, මුඛ කුහරය, උගුර ඇතුළු ඉහළ ශ්වසන මාර්ගය, ආහාර මාර්ගය, මෞත්‍ර ලිංගික ප්‍රදේශ වල සිටින ක්ෂුද්‍ර ජීවී සෛල සංඛ්‍යාව අපේ ශරීරය හැදිලා තිබෙන සෛල සංඛ්‍යාවටත් වඩා වැඩි බවයි. මේ ජීවීන් අපි මෙලොවට ඉපදිලා ටික වෙලාවකට පසු අපේ ශරීරයේ ස්ථාපිත වෙලා අපි මැරෙන කම්ම අපිත් එක්ක ඉන්නවා.  මේ ජීවීන්ට තමයි කියන්නේ සාමාන්‍ය ජෛව සමුදාය (Normal Body Flora ) කියල. මේ ගොඩට වැඩියෙන්ම අයිති බැක්ටීරියා හා ඇතැම් දිලීර. වයිරස හා පරපෝෂිත ජීවීන් මේ ගොඩට අයිති නැහැ.

ඔබ බොහෝසේ වර්ණනා කරන සම, කෙස්, තොල් ආදී අවයව මත මේ ජීවීන් බහුලව ඉන්නවා.

සාමාන්‍ය ජෛව සමුදායේ වැදගත්කම කුමක් ද

 1. මේ ජීවීන් අපිට උදව් කරනවා. මොකකට ද ?

a)අපිට ලෙඩ හදන වෙනත් විෂ බීජ වලින් අප ආරක්ෂා කරනවා.
b) අපට පාවිච්චි කරන්න පුළුවන් යම් යම් පෝෂක නිපදවනවා. උදාහරණ විදියට ආහාර මාර්ගයේ බැක්ටීරියා බයෝටින්, විටමින් B 12, ෆෝලික් අම්ලය, තයමින් හා විටමින් K නිපදවනවා.

2) මේ ජීවීන් ඇතැම්  විට අපට හානි කරනවා. උදාහරණ විදියට දත් කුහර ඇති කිරීම, මුඛයේ තුවාල ඇති කිරීම හා වෙනත් රෝගී තත්වයන් ඇති කිරීම

3)  මේ සමහර ජීවීන්සහභෝජීන් විදියට ඒ කියන්නේ අපිට උදව්වක් හෝ හානි කිරීමක් නැතුව පවතිනවා.

කෙසේ නමුත් නිරෝගී පුද්ගලයන් ගේ මේ ජීවීන් සාමාන්‍යයෙන් රෝග ඇති කරන්නේ නැහැ. නමුත් පුද්ගලයා දුර්වල වූ විට රෝග ඇති කරනවා. උදාහරණ විදියට AIDS සෑදුනු කෙනෙකුට හෝ අවයව බද්ධයකින් පසු ප්‍රති ශක්තිය අඩු කිරීමට දෙන ඖෂධ ගන්නා කෙනෙකුට 


ඉතින් මේ ජීවීන් නැති ජීවාණුහරණය වූ ජීවීන් ඉන්නවා ද ?

ඔව් ...හිතන්න සිසේරියන් සැත්කමකින් දරුවෙක් ගත්ත කියල. ඒ දරුවාගේ ඇඟේ ඒ මොහොතේ මේ සාමාන්‍ය ජෛව සමුදාය නැහැ. හැබැයි ටික වෙලාවකින් ඒ දරුවා අතට ගන්නා හෙදිය හෝ වෛද්‍ය වරයා ගෙන් දරුවාට ජීවීන් ඇතුල් වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් උපන් හැටියේ සිඟිත්තා මවගේ සිරුරට ස්පර්ශ වෙන්න දෙන නිසා මවගේ ජීවීන් දරුවට ඇතුල් වෙනවා.  සාමාන්‍ය දරු උපතක දී මවගේ උපත් මාර්ගයේ හා මෞත්‍ර ලිංගික ප්‍රදේශ වල සිටින ජීවීන් මුලින්ම ඇතුල් වෙනවා.

මේ සාමාන්‍ය ජෛව සමුදාය ගැන වැඩි දුර තොරතුරු අනාවරණය වුණේ සතුන් සිසේරියන් සැත්කමකින් එළියට අරන් ජීවාණු  හරිත පරිසරයක හැදී වැඩෙන්න සැලැස්වීමෙන් පසුවයි. එහිදී අපුර්ව සොයාගැනීම් දෙකක් කරලා තියෙනවා.

1. එවැනි ජෛව සමුදාය රහිත සතුන් සාමාන්‍ය සතුන්ට වඩා දෙගුණයක් කල් ජීවත් වන බව
2. මේ කාණ්ඩ දෙකේ සතුන් ගේ මරණ ආකාර දෙකකින් සිදුවීම. ජෛව සමුදාය සහිත සාමාන්‍ය පරිසරයේ ඉන්න සතුන් ආසාදන නිසා මිය යන අතර ජෛව සමුදාය රහිත සතුන් බඩවැල් වල දුර්වලතා නිසා මිය යනවා.

මේ හැර මේ සත්ව කණ්ඩායම් දෙකේ සතුන්ගේ තවත් වෙනස් කම් රාශියක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම මිනිසුන්ගේත් සාමාන්‍ය ජෛව සමුදාය මගින් විශාල බලපෑම් ජීවිතයට ඇති වන බව සොයාගෙන තිබෙනවා.

Thanks for the photo- Photo by Nhia Moua on Unsplash
Ref. https://www.ncbi.nlm.nih.gov/books/NBK7617/

Monday, December 16, 2019

සසර හුය Tread of existence




දැනට මේ විශ්වයේ ඇතැයි කියා මා විශ්වාස කරන්නේ මේ අප ජීවත්වන ග්‍රහ ලොව තුළ ඇති ජීවය පමණකි. අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් වෙනත් ග්‍රහ ලෝකවල හෝ විශ්වයේ වෙනත් චක්‍රාවාට වල හෝ ජීවයක් ඇත්නම් ඒ බව සනාථ වන දිනය තෙක් ඒ ගැන සිතීම අත්හරිමි.

අප පෘථිවියට ජීවය ආවේ කොහෙන්ද? පෘථිවිය ඇති වුයේ කවදා ද?

දැනට ඇති සාක්ෂි වලට අනුව පෘථිවිය බිහිවූයේ මෙයට වසර බිලියන 4.5 කට පෙරය. එහි ප්‍රථම ජීවය බිහි වූයේ දැනට වසර බිලියන 3.5කට පෙරය. එසේ ජීවය බිහිවූ දා සිට එම ප්‍රථම ජීවී සෛලය මේ දක්වා ඇත්තෙන්ම මරණයට පත් වීමක් සිදුවී ද? එසේ නැති බව පැහැදිලිය. ඒ එදා බිහිවූ අප සැමගේ මුතුන්මිත්තා එදා ආරම්භ කළ හුස්ම ගැනීම (ශ්වසනය)  අද දක්වාම අඛණ්ඩව ගමන් කර ඇති අතර ඒ ගමන හෙටත් ඉදිරියටත්, කවදා හෝ මේ ග්‍රහලොව/ සෞරග්‍රහ මණ්ඩලය සම්පුර්ණයෙන් විනාශ වෙනතෙක් හෝ ජීවය තව දුරටත් පැවතීමට මෙහි තත්වයන් අසමත් වෙනතෙක් හෝ සිදුවනු ඇත. සමහර විට අපෙන් එකෙක් හෝ විශ්වයේ වෙනත් තැනකට ගොස් රැකී සිටීමට සමත් වුව හොත් තවත් ඉදිරියටත් මේ හුස්ම ගැනීම සිදුවනු ඇත.
මේ හුස්ම ගැනීමේ අඛණ්ඩ සිදුවීම සිදුවන්නේ කෙසේ ද?

එදා ඒ ජීවියා බිහිවී ටික කලෙකින් ඔහුගේ ප්‍රජනනය සිදුවී අලුත් ජීවියෙක් බිහිවන්නට ඇත. එවැනි සරල ජීවීන්ගේ ප්‍රජනනය මව් සෛලය දෙකට බෙදී නව දුහිතෘ සෛල දෙකක් ඇති වීමයි. එනම් එතැන මරණයක් සිදුවී නැත. මරණයක් සිදුවූවා යයි ඔබ සිතුවත් එය මළ සිරුරක් ශේෂ නොකරන මරණයකි. මෙහිදී මුල් ජීවියාගේ හුස්ම ගැනීම අඛණ්ඩවම දුහිතෘන් කරා ගමන් කර ඇත.

ජීවීන්ගේ ප්‍රජනනය ලිංගික ප්‍රජනනය තෙක් පරිණාමය වූ විට මව්පියන් අඛණ්ඩව ගෙන ආ ජීවන හුස්ම දුහිතෘ ජීවියා කරා ගමන් කරන්නේ ශුක්‍රානු හා ඩිම්බ හරහා ය. වඩාත් නිවැරදිව කිවහොත් ඩිම්බය හරහාය. මක් නිසාද යත් ජීවී සෛලවල හුස්ම ගැනීමේ ඉන්ද්‍රයිකාව වන මයිටොකොන්ඩ්රියා යුක්තානුවට ලැබෙන්නේ ඩිම්බයෙන් වීමයි. ශුක්‍රාණුවේ ද මයිටොකොන්ඩ්රියා ඇති නමුත් ඒවා යුක්තානුවට යාමට තරම් වාසනාවන්ත වෙන්නේ නැත.

මා මෙහි හුස්ම ගැනීම ගැන පමණක් උදාහරණයට ගැනීමට පෙළඹුණේ හුස්ම ගැනීම නැවතීම නැත්නම් අවසන් හුස්ම හෙලීම මරණය ලෙස පොදුවේ අප සළකන නිසාය. ඇත්තෙන්ම ජීවය සම්බන්ධ අනිකුත් ක්‍රියාවලින්ට අයත් දේවල් ද ඒවා පිලිබඳ තොරතුරු ගැබ්වී ඇති  හුය වන DNA  නම් රසායනික සංයෝගය  ඔස්සේ ආරම්භක ජීවියාගේ සිට අප වෙත අඛණ්ඩව ගමන් කර ඇත. ඒ ගමනේදී මේ DNA හුයේ බොහෝ වෙනස්කම් ද සිදුවී ඇත. මේ නිසා මේ අඛණ්ඩව ගමන් කරන DNA හුය 'සසර හුය' ලෙස නම් කරමි. මේ සසර හුයෙහි ගමන අඛණ්ඩව සිදුවේ. එක් එක් පුද්ගලයා වශයෙන් 'මම' 'අප' ලෙස අප විසින් හඳුනා ගෙන ඇති අයවලුන් මේ අඛණ්ඩ සසර හුයේ එක් එක් ක්‍ෂුද්‍ර කොටස් වේ. එහෙත් මේ ක්ෂුද්‍ර අංශු වලට විශාල වැදගත් කමක් කාර්යභාරයක් ඇත. ඒ වැදගත් කම රඳා පවතින්නේ අප අතේ ඇති 'බැටන් ' එක යෂ්ටිය මේ ගමනේ ඊළඟ පුරුක/ක්‍රීඩකයා  වෙත පවරා දීම කළ යුතු බැවිනි. එසේ නොදුනහොත් ඔබ සතු DNA හුය කොටසේ ගමන එතැනින් අන්ධව කෙළවර වෙයි.

එහෙත් මේ යෂ්ටිය ඊළඟ පුරුකට බාර දීමට ඔබට බල කිරීමක් නැත. ඔබට අවශ්‍ය නම් ඊළඟ පරපුරක් ඇති නොකර සිටීමේ නිදහස ඇත. නමුත් තව මිලියන ගණන් ජීවීන් තම යෂ්ටිය ඊළඟ ක්‍රීඩකයාට ලබා දෙනු ඇත. ජීවය අඛණ්ඩව ගලා යනු ඇත. මේ අනුව කවුරු හෝ පුද්ගල ශරීරයක් හිමි කෙනෙක් දරුවන් බිහි නොකරන්නේ නම් එතනින් ඔහුගේ සසර හුය නැවතී අවසන් වෙයි. ඔහුගේ ජාන ඉදිරියට ගමන් නොකරයි. ජාන යනු  DNA අණුවේ කොටස් වේ. 

ඇත්තෙන්ම සම්මතයෙන් ඔබ්බට සිතූ විට 'මම' ය 'මාගේ'ය කියා වෙන්ව ගතහැකි දෙයක් නැත්තේය. ඇත්තේ  ජීවයේ අඛණ්ඩ ගලා යාමකි.


Photo by Maksim Tarasov on Unsplash