Friday, December 24, 2021

නත්තල් අසිරිය - කාලය මැවූ වෙනස

 





නත්තල් අසිරිය - කාලය මැවූ වෙනස 


අද නත්තල් උදාව මං ඉන්න රටට උදා වෙන්න තව පැයක් තියෙනවා.  රූපවාහිනියේ නත්තල් සීයා අරන් එන නා නා ප්‍රකාර සෙල්ලම් බඩු පෙන්වනවා. එදා අපි පුංචි කාලේ ගත කලේ අදට වඩා හාත්පසින් වෙනස් ලෝකයක් තුළ කියල නිකම් ඉන්න වෙලාවට කල්පනා වෙනවා. සෙල්ලම් බඩුවක් දකින්න, ගන්න කොච්චර ආස වුණා ද? ජපන් රටේ උපත ලබා ලංකාවට එනවා කිව්ව බෝනික්ක ගැන කොච්චර සිහින මැව්වද ?  ඒ බෝනික්ක ඇස් නටවා බලන හැටි දකින්න කොච්චර ආස වුණා ? ඒ වුණාට ඉඳ හිට ලැබුණේ රබර් බෝනික්කෙක් විතරයි. එයාල කවදාවත් ඇස් නටවා බැලුවේ නැහැ. හැමදාම එක විදියට ඇස් ඇරගෙන ඔහේ බලන් හිටිය. 

ඉතින් ඒ අඩුව පිරිමහන්න මම රෙදි බෝනික්කෝ හැදුව.  එක එක විදියේ මූණු තියෙන, ලොකු අය, පොඩි අය.  ඒ ගොල්ලන්ගේ ඇඳුම් වෛවාරන්න විදියට මැහුවා. ඒ සිතුවිළි සිතේ මැවුණේ ඒ තිබුණු පරිසර වටපිටාවත් එක්ක. අද එහෙමද? පොඩි අයට හිතන්න කිසි දෙයක් ඉතුරු කරලා නැහැ.  බෝනික්කෝ වර්ග වැහි වැහැල.  වෙළඳ පොළට යන්න ඕනත් නැහැ. අන්තර් ජාලයෙන් ඇණවුම් කළහම දොරකොඩටම එනවා.  අපේ රෙදි බෝනික්කන්ට ගමන් යන්න වාහන තිබුණේ නැහැ.  පරණ සපත්තු වාහන විදියට ගන්න සිතුවිල්ලක් ආවේ කොහොමද?  අද  සෙල්ලම් වාහන වාහන වර්ග දැක්කම අපේ රෙදි බෝනික්කෝ ගැන දුක හිතෙනවා. මේව තිබුණ නම් කොච්චර ලස්සනට ඉඳ ගෙන ගමන් යන්න තිබුණද?

බෝනිකි පවුල් වලට ඉන්න සෙල්ලම් ගෙවල් අපි හැදුවේ ලී කැබලි, කාඩ්බෝඩ්, මැටි වගේ අමු ද්‍රව්‍ය යොදාගෙන.  පොල් අතු වගේ පොඩි අතු තියෙන ගස් වල අතු වලින් පොල් අතු විව්වා, වහලෙ හෙවිල්ලන්න. ගෙදර බඩු මුට්ටු, අල්මාරි, පුටු ලැබෙන ලැබෙන දේවල් වලින් නිර්මාණය කළ අපූරුව පුදුම හිතෙනවා. අද වෙළද පළේ තියෙන බ්ලුවී හවුස්, පෙපා පිග් හවුස් දැක්කම බෝනිකි පැටව් දුකසේ හිටි හැටි මතක් වෙනවා. ඒ කාලය සුන්දර ද? අද ඊට වඩා සුන්දරද? මේ කාල තරණය කරපු අපිට විතරක් හිතෙන දේවල් වෙන්න ඕන.

ඒත් අනිත් අතට හිතෙනවා එදා අපිට තිබුණු ඒ නිර්මාණශීලී හැකියාව කොච්චර අගේද කියල. මේ විකුණන සෙල්ලම් භාණ්ඩ සේරම කාගෙ හරි වැඩිහිටියෙකුගේ නිර්මාණ වෙන්න ඕන.  පොඩි ළමයි හිතල නිර්මාණය කරන ඒවත් ඇද්ද? කොහොම වුණත් ළමා වැඩිහිටි කවුරුත් අද භාණ්ඩ අතර අතරමං වෙලා කියල මට හිතෙනවා. සැමට ප්‍රීතිමත් නත්තලක් වේවා !!!

Thanks to Jamie Street  for the image on Unsplash.

Friday, December 17, 2021

ශරත් ඍතුව

 









ශරත් ඍතුව

හරිත පැහැයෙන් බරව
හිරු කිරණ උරාගෙන
රැස් කළා අවැසි දේ
මල් ඵල දකිනු රිසින
මල් පිපී, ඵල හැදී
එ් කාල රේඛාව
එක දිගට ගලා ගොස්
ශරත් ඍතුව එලඔ
පත්ර වල කොළ පැහැය
ටිකෙන් ටික වියැකිලා
කහ පාට, රතු පාට
දැන් අැත්තෙ ගුරු පාට
සියුම් සුළඟක් වුව ද
අැති වේවී ගිලිහෙන්න
එතෙක් ඉවසා ඉතින්
ඉඳිමි බිම සිපගන්න!