මායම් කවි
අතුරු මිතුරු දඹදිවතුරු කියන්නට
මිතුරු කිසිත් නැත දැන් දුක කියන්නට
අතුරු නැතුව සිතුවිලි සිත පිරෙන්නට
අකුරු එකතුවෙන්නෙම කවි ලියන්නට
හිතේ නිතර සිතුවිලි නැග වද දෙනවා
පොතේ ලියන්නට මැලිවී ලත වෙනවා
ගතේ රිදුම් වයසට යනකොට එනවා
අතේ සතේ නැතිවිට කළහැකි මොනවා
අඳුරු ලලා මහ වැසි බිම වැටෙන කොට
පඳුරු ලලා හිත යට දුක නැඟෙන කොට
සොඳුරු වදන් කවියක් වී මැවෙන කොට
ඉඟුරු සුවඳ තේ බිඳකින් දැනෙන කොට
තේරුම් කර අරන් අකුරින් අකුර දැමේ
බේරුම් කරන්නට ආයෙත් කපා දැමේ
ඊයම් වගේ සමහර පද කිඳෙයි ළැමේ
මායම් කවියකිය මේ මා ගැනම නෙමේ
මාවත දිගයි කතරක අපි ඇවිදිනවා
ආනත වෙලා ඒ මග තව වද දෙනවා
සාගත මල්ල කරපිට බර උසුලනවා
ජීවිත ගමන කෙදිනක හෝ නවතිනවා
මාලිනී හෑගොඩ
2026 අගෝස්තු මස 06 දින
කැලිෆෝනියාහී දීය.
මේ කවියත් මෙවර ලන්ඩන් කවියේ පළවී තිබුණා.