Tuesday, September 30, 2025

ලේලි - 3

 ලේලි - 3



පි දෙන්නගේ කතා බහ එදාට එතනින් ඉවර වුණා. ඊට පස්සේ හැමෝම ආපහු සාලෙට ඇවිත් වාඩි වුණා.
"දැන් ඉතින් වැඩේ තියෙන්නේ මේ දෙන්නා අතේ. ඒක ඕකේ නම් අපි ඉතුරු වැඩ කොටසට බහිමු නේද මිස්ටර් රණසිංහ?"
මාමණ්ඩි ඔෆිෂියල් ටෝක් එකක් දුන්නා.
"ඔව් ඔව් ඒවා ප්රශ්න නෙමේ. මේ දෙන්නට තව ටිකක් තකා බහ කරගන්න ඉඩ දෙමු" ඒ අපේ තාත්තා.
"මං හිතන්නේ මල්ලී නම් කැමති වගේ" වෙන්න නෑනා අමුතු හිනාවක් දාගෙන එයාගේ මල්ලිගේ කම්මුලට තට්ටුවක් දැම්මා. මටත් එයා දිහා බැලුණා. එයා කුස රජ්ජුරුවෝ පොකුණේ ගිලිලා නෙලුම් කොළේ මෑත් කරලා පබාවතී දිහා බලලා දාපු හිනාව වගේ එකක් දැම්මා. පබාවතී බය වුණා නේ. ඒත් මට නම් හිනා ගියා.
" එහෙනම් අපටත් යන්න දැන් වෙලාව හරි මිසිස් රණසිංහ" නැන්දම්මා නැගිටලා අපේ අම්මගේ අත් දෙකෙන් අල්ලා ගත්තා. ඒ දෙන්නා තව මොන මොනවා දෝ හෙමින් කියා ගත්තා. මට ඒවා තේරුණේ නෑ.
කට්ටිය යන්න සූදානම් වුණා. හොඳ වෙලාවට අපේ පවුල්වල ඔය දැන් වැල්ලටම ගහගෙන එන රැල්ලට තියෙන මනමාලයට පසඟ පිහිටුවා වැඳීම වගේ බහුබූත තිබුණෙ නෑ.
අපි දෙන්නම දෙපැත්තේ වැඩිහිටි දෙමාපියන්ට විතරක් දණ නමලා ආචාර කළා. නැන්දම්මා මාව බදාගෙන කම්මුලට උම්මා එකකුත් දුන්නා.
"බුදු සරණයි! අපි ගිහින් එන්නම් දුවේ"
දැන්මම මං දූ කරගෙන.... හොඳයි... හොඳයි. ඔයත් මට නැන්දම්මා නොවී අම්මා වෙවි නේ.
ඔන්න ඉතින් ඒ එපිසෝඩ් එකත් ඉවර කරලා කට්ටිය ගියාට පස්සේ අපේ ගෙදර හොඳ හොඳ සෙල්ලම් පටන් ගත්තා හැමදාම වගේ. ඒකට කොහොමත් පැයක් දෙකක් ගත වෙනවා.
"ඒ දරුවගේ නම් කිසිම ආඩම්බරයක් නෑ. අක්කණ්ඩි නම් ටිකක් එක විදියක්" අම්මාට බෑන පොඩ්ඩ හිතට අල්ලලා වගේ.
මොකෝ මං කියලා ආඩම්බර කාරියක් යැ. හැබැයි දැක්කම එහෙම හිතෙනවත් ඇති. ඒකට මං මෝකෝ කරන්නේ? හැබැයි මං වචන එළියට දැම්මේ නෑ
රාහු කට ඇරන් ඔන්න මෙන්න ගිලගන්න එන හැටි දකින හඳ වගේ පුදුමයෙන් අම්මා මං දිහා බැලුවේ. ඒ මං මොනවත් කතා බහ නැති නිසා බව මට තේරුණා. වෙනදට මට ආපු මනමාලයා ගැන දහසකුත් එකක් දේවල් කටට ගලාගෙන එන්නේ දුන්හිඳ ඇල්ලෙන් පහළට වතුර ගලනවටත් වැඩිය වේගෙන් නේ. ඇඳුම ගැන. සපත්තු ගැන. කොණ්ඩේ පීරපු හැටි ගැන. හිනාව ගැන.... තව පිටට පේන හේමදේම ගැන. හැබැයි ඉතින් ඇතුළ ගැන නතින්. ඒවා පේන්නේ නෑ නේ. අනික අම්මට ඉතින් මාත් එක්ක කෙහෙවලු පටලවා ගත්තේ නැත්නම් ඒ දවස දවසකුත් නෙවේ නේ .
"මේ ළමයට හැමදාම කියනවා ඒ වගේ වැදගත් අවස්ථාවක ඕන එකයි එපා එකයි කතා කරන්න එපැයි කියලා. තාත්තලා දූලා ඔක්කොම එකයි" මගේ නිහැඬියාව ප්රයෝජනයට මටයි තාත්තටයි කනේ ඇබ ගහගන්න අම්මා පටන් ගත්තේ නැතැයි දේශනාව.
"තලතා ඇත්තටම ඔය බොරු වරුණෙ මොකටද? කාට පේන්න ද අපි අපි විදියට තමයි ඕන වෙලාවක ඉන්න ඕන. දැන් ඒ ළමයා කැමතියි. දෙමව්පියෝ කැමතියි. මොකක්ද වෙච්ච පාඩුව? "
අම්මා ගුලට ඇදෙන ඉත්තෑවියෙක් වගේ කූරු අකුල ගත්තේ පුදුමයකට වගේ. උන්දැටත් පුදුම ඇති 'ඒ සිරිමත් පිරිමි ළමයා' 'මේ බහුබූත ගැහැනු ළමයට' කැමති වුණ එකට.
" දැන් ඉතින් මෙයා තාම සද්ද නෑනේ" ඒකත් ඇති අම්මට වැරැද්දක් අල්ලගන්න.
මං වෙලාවට සද්ද කරන්නම් කෝ කියලා හිත හිත තව පොඩ්ඩක් පොළොස් ඇඹුලට තැටියේ අබ පුපුරණ සද්දේ අම්මගෙන් එනකම් ඉවසා වදාරා හිටියා.
"කොහොම කොයි හැටි වුණත් තැනකට ගිහින් ඉන්න ඕන විදිය හැසිරෙන විදිය ගෑනු ළමයි දැන ගන්න ඕන."
හා හා හරියට අම්මා එයා ටිප් ටොප් එකට හැසිරෙනවා කියලා හිතන් ඇති. අපිනේ දන්නේ ඒවායේ හැටි.
" ඒ පවුලේ වරදක් නෑ. මං ඔක්කොම තොරතුරු හොයලා බැලුවා එන්න කලින්ම" ඒ තාත්තා.
තාත්තාට පුද්ගලික රහස් පරීක්ෂකලාගේ අඩුවක් නෑ නේ. හැමතැනම ඇන්ටෙනා දාගෙන නේ ඉන්නේ.
"මේ වැඩේවත් හරිගියොත් හොඳයි" ඒ අම්මා.
මෙයාලට මං මේ ගෙදරින් එළව ගන්න තියෙන හදිස්සිය. මට එහෙම මිනිහෙක් ගේ ඇඟේ එල්ලෙන්න තදියමක් නෑ. මේක විසාල කරදරයක් වුණානේ. කට වහගෙන ඉඳලත් බෑ වගේ. ඔන්න ඒ සැරේ නම් මගේ යකා ටිකක් නිදිගැට කඩලා නැගිටින්න හදන කොටම තාත්තා කතා කළා.
"සුදු මැණිකේ මොකෝ සද්ද නැත්තේ? අද මනමාලයගේ අඩු පාඩුවක් නැද්ද පුතේ? "තාත්තාගේ ආදරබර හඬට මෙල්ල වෙච්ච මගේ යකා ආයේ වකුටු වුණා තව ටිකක් නිදාගන්න.
" මං තාම හිතනවා තාත්තා." තාත්තා ඉදිරියේ මං සාන්ත දාන්න තීන්ත කූඩුව වුණා.
" ඒක හොඳයි. අපි නෙවේ ඔය දරුවා නේ ජීවිතයට මූණ දෙන්නේ!
" ඒක ඇත්ත. ඔය දෙන්නා තව ටිකක් අදහස් හුවමාරු කර ගන්න". අම්මා රාහු ඈතට යනවා දකින හඳ වගේ නිවුණු තැන්පත් ගතියක් පෙන්නුවා.
ඔන්න එදා ඇඳිරි වැටෙද්දී තමයි ටි්රීන් ගාලා ෆෝන් එක නාද දුන්නේ.
'සමන්ත සපරමාදු' තිරයේ දිළිසුණා.
රැල්ලේ හැටියට සුදු තාත්ති වුණේ නෑනේ තාම. මට නම් ඇත්තටම අප්පිරියයි ඔය සුදු තාත්තී සුදු අම්මී කතාව. සඳමාලි ලා උගත් අය වෙලත් ඕවා කියවනවා නේ. දැන් සඳමාලී බලන් ඇති අලුත් මනමාලයා ගේ තොරතුරු දැන ගන්න. සඳමාලි ඉස්කෝලේ මගේ ස්ටාෆ් එකේ හිතවතිය. එයාට නම් කාලයක් තිස්සේ සම්බන්ධකමක් තිබුණා. ඒක ළඟදී කෙරෙන පාටක් තිබුණේ.
මං ෆෝන් එක ගත්තා. වොයිස් කෝල් විදියට.
"සුරංගී අපි හවස පහ වෙද්දී ගෙදර ආවා. තැන්ක් යු සෝ මච් ෆො එවුරිතිං. ඔයා තාම අරක හිතනවා ඇතිනේ!"
"අරක? මොකක්ද අනේ?"
"අපි ගැන"
මේ මොන හදිස්සියක් ද? මොකෝ මනුස්සයෙක් එක සැරයක් දැක්ක පළියට කැමැත්ත දෙන්න තරම් මං අහේනියකට පත් වෙලා නෑ නේ.
"ඔව් සෑහෙන්න හිතන්න ඕන."
"හරි ඔයා හිතලා ඉවර වුණහම මට කතා කරන්න."
"ඊට පස්සේ?"
"ම්...... මං එන්නම් ආයේ ඔය පැත්තේ. අම්මත් මට එහෙම කිව්වා."
අම්මලා කියන විදියටම වැඩ කරන කීකරු පුතණ්ඩියෙක් වගේ. මමා බෝයි කෙනෙක් ද මෙයා?
" ඒ ඉතින් මං කැමති වුණොත් නේ. එතකොට. බලමු."
"හ්ම් බලමු. හෙට මට වැඩ නේ!"
" මටත් වැඩ"
" ඔයා ලංකාවේම ඉන්න ද හිතන්නේ? "
" ඇයි ඔයා රට යනවද? "
" තාම හිතුවේ නෑ! "
ඇත්තටම රටකට යන බලාපොරොත්තුව මට කැම්පස් ඉවර වුණ අලුත තිබුණා. නැන්දාගේ ළමයිත් කීප දෙනෙක්ම ඒ වෙද්දී පී. එච් ඩී කරන්න ඇමරිකාවේ ගිහින් හිටිය නිසා අම්මගේත් මං වුණත් එහෙම යනවට අකමැත්තක් තිබුණෙ නෑ. මොකද අම්මට වැඩියම තරගෙ තිබුණේ තාත්තගේ පැත්තේ නෑදෑයො එක්ක නේ. තකට කත ඉන්න ඕන පරිත්යාගයක් කරන්න අම්මා ලෑස්ති වෙලා හිටියේ. ඒත් මේ යෝජනාව එන කාලය වෙනකොට මට ඒ වුවමනාව ලොකුවට තිබුණෙ නෑ.
"සුරංගී... මොනවද කල්පනා කරන්නේ? රට යන එකද?"
"නෑ... මට එච්චර ලොකු වුවමනාවක් නෑ."
"බලමු. අපේ අම්මත් එච්චර කැමති නෑ මං රට යනවට."
අම්මා අම්මා.... හැම එකටම අම්මා. මං එක්ක ඔය මමා බබාලට බෑ හොඳේ. ඒත් ඉතින් නැඳි මයිලන් එක්ක හොඳ පයිරු පාසානයක් තියා ගන්නත් ඕන බව මගේ හඳහනෙත් තියෙනවා කියලා නේ තාත්තා කියන්නේ. මට ඔය කේන්දර කෙහෙල්මල් ඕන නෑ. ඒත් ජීවිතේ වරද්ද ගන්නත් බෑ.
"එහෙනම් මං නවතින්නම්. බායි හොඳේ"
" බායි සුරංගී! ගුඩ් නයිට්! "
ඒ සංවාදය ඉවර වුණු විදිය හොඳයි කියලා හිතුණා.
කොහොමත් විනාඩියෙන් විනාඩියට
බබා ඔයා කොහේද කෑවේ මොනවද ඇඳන් ඉන්නේ මොකක්ද වගේ සඳමාලිලගේ කතා මට අල්ලන්නේ නෑ.
එදා දවසේ ඉස්කෝලෙ වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා මාස්ටර් එකේ රිසර්ච් ප්රපෝසල් එකේ වැඩ ටිකකුත් කරලා මං ඇඳට ගියා නිදාගන්න.
'සිලීං සිලීං.....'
හිතන්නත් කලින් සඳා ඔය නාද කළේ.
"හෙලෝ හෙලෝ අරුං ඇවිත් ගියාද? "
" මේ අරුං මුං කතා බෑ හරිද? "
" මොකෝ අද ආවේ විලියම් කුමාරයා ද?"
"අපෝ එයා දැං නාකිනේ"
"එහෙනම් වෙන කුමාරයෙක් ද?"
"ඇත්තටම මට හිතාගන්න බැරුව ඉන්නේ සඳා"
"ඒ මොකෝ... එහෙනම් උඹටත් හරි ගියා."
"තාම හා කිව්වේ නෑ බං"
"ඒකට හදිසි වෙන්න එපා. අරෙහෙන් මෙහෙන් ඉඟි බිඟි දාලා කැමති බව අඟවපන්. එක එල්ලේ කියන්න එපා එක පාරටම. ඌ කැමතිද?"
"ඌ මූ කතා බෑ කිව්වනේ"
"අම්මේ සුරංගියටත් ගිය කලක්.... උඹ දැම්මම ඌට ගරු බුහුමන් කරන්න තියා ගත්තද?"
" පිස්සුද? මං වෙනදා සුරංගිම තමයි.
ඒ වුණාට මට උඹේ වෙනසක් මගේ මීටරේට දැනෙනවා "සඳා කෝචොක් හිනාවක් දැම්මා.
"අනේ මන්දා සඳා මේ මනුස්සයා හොඳයි වගේ හිතෙනවා" මම ඊගෝ එක පොඩ්ඩක් බිම තියලා කිව්වා.
" බලමු. හදිස්සි වෙන්න එපා. හෙට අපි මේ ගැන සාකච්ඡා කරමුකෝ. දැන් නිදා ගනින්. හීන බලන්නේ නැතුව"
" ඇයි උඹට විතරද රසිඳුවා එක්ක හීන බලන්න හොඳ? වැරදුනා. උඹේ සුදු තාත්ති නේ"
" හරි බලමු උඹට එයා සුදු වෙනවද කලු වෙනවද කියලා. බායි හොඳේ "
ඒ කතාවෙන් පස්සේ තවත් හුඟක් වෙලා මං සමන්ත ගැන හිත හිතා හිටියා. දන්නේම නැතුව මට නින්ද යන්න ඇති. හීනෙන් මං සමන්තත් එක්ක ගල්කිස්ස මුහුදු වෙරළේ ඇවිද්දා. මූදු හුළඟ අපේ ඇඟේ වැදෙමින් ඇඟේ හිරිගඩු පිපුණා. මං වැටෙන්න වගේ යද්දී සමන්ත මගේ බඳ වටා අතදමා එයාගේ ළඟට ඇදලා ගත්තා.
















No comments:

Post a Comment