Thursday, September 22, 2022

මල් පරවී ගියා

 මල් පරවී ගියා 

 












සීතල හිම දියවී යද්දී

කාලය ඔහේ පියා සැලුවා

වසන්තයේ තිඹිරි ගෙයි සිට 

මා දෑස් දල්වා මග බලා සිටියා

 

බලපොරොත්තුවේ  පහන් සිල

බඳුනේ අවසන් තෙල් බිංදුව උරාගෙන

වෙව්ලමින් මද සුළගේ පොර බදමින්

නිවෙන්නට යන මොහොතේ

 වසන්තයේ අග ආවා

 

ඇගේ උණුසුම් පපුවට තුරුළු කරගෙන

ගෙන මල් පොකුර මා වෙත පිදුවා

ඇගේ රන් වළලු ලූ සිහින් දිගු දෑත්

මගේ ගෙලවට මොහොතකට වෙලුණා

අවසන් චුම්බනය මා ඇගේ නළලත තැබුවා.

 

මගෙන් සමුගෙන යන්න ගියා

ඇගේ නිවහල් ලොව කරා යන්නම යන්න ගියා 

ඕනෑවට එපාවට මා අතට ගත් මල්

මගේ මේසය මත කඳුළු සලමින් හිටියා.

 

මල් එකින් එක අතට ගන්නට මට සිතුණා

අරන් ඒවායේ සොඳුරු බව සෙව්වා

රතු රෝස වල ඩේලියා වල වෙන වෙනම

අමුතු වෙනදා නොදුටු සුන්දරත්වයක් තිබුණා

 

ඒත් වනවිට කාලය ආලෝකයේ වේගයෙන්

අතීතයට ඈතට ඈතට ගිහින් ඉවර වී තිබුණා

මල් එකින් එක පරවී ගියා

හද කවුළු පියන්පත් හැරපියා

මං බලන් හිටියා බලන් හිටියා

මට දුන් මල්වල සොඳුරු බව

හා සැනසිල්ලේ දොඩන්නට

ඒත් කවදාවත් දවස ආවේ නෑ!!!


Photo by Taisiia Shestopal on Unsplash

 

 

 

Sunday, September 4, 2022

මතක....

 මතක....

















ඉරට නිදිමත හැදෙන දම් පාට සැඳෑවට
සිත විදුලි වේගෙකින් දුවයි දුර අතීතෙට
එහි දිනෙක මේ වගෙම වළාකුළු පෙළක් යට
අපේ හමු වීම විය අන්තිමම වතාවට

වළාකුළු ආකාසෙ රටාවක් වියුවා
මලක පෙත්තක් හැලී කතාවක් කිව්වා
රොනට ගිය බඹරු යළි නවාතැන් සෙව්වා
කිරිලියක් දුකෙන් වගෙ ගීතයක් ගැයුවා

මද පවන මා දමා කොහේදෝ දිව්වා
තරු ඇසක් ඉඟි මරා කාටදෝ රැව්වා
පැණි කුරුල්ලෙක් ඉගිල පැණි බිඳක් පෙව්වා
දින පොතේ පිටු ඉරා මං කවක් ලිව්වා

අතින් අත පටලගෙන ගිය පුරුදු මගම
තනිය මට තෑගි කර ඔබ ගියා එහෙම
ඉරට පිටුපා හැරී එදා සිට මෙහෙම
තුරුලු කර තනිය ඉමි කඳුළු නෑ තවම!!!