Monday, August 29, 2022

අතීත අත්දැකීම් ස්මරණය


අතීත අත්දැකීම් ස්මරණය

 














අපි හුදකලාව ඉන්න වෙලාවට අපේ පොඩි කාලෙ දේවල් මතක් වෙන අවස්ථා තියෙනවනේමෙලොව උපත ලද දිනයේ සිට ජීවිත අත්දැකීම් අපට මතක හිටින්නේ කුමන වයසක ඉඳලද  කියල  සොයා බලන්න  මට හිතුනේ  මගේ එවැනි මතකයන් පිලිබඳ සිතට හැඟීමක් එක්ක.  ඇත්තටම කුමන වයසක ඉඳන් අපට දේවල් මතක හිටින්නේ

මේ ගැන හුඟක් මනෝවිද්‍යාත්මක පර්යේෂණ කරලා තියෙනවා. මුල් පර්යේෂණ වලට අනුව දරුවෙකුගේ වයස 3-31/2 වගේ වයසේ සිට තම ජීවිත අත්දැකීම් මතක තියෙනවා. University of London, University of Bradford හා Nottingham  Trent University යන ආයතන පුද්ගලයන් 6641ක් සහභාගී කරගෙන කරන ලද පර්යේෂණයකදී 38.6% ක් කියල තියෙනවා තමන්ට අවුරුදු දෙකේදී  හා ඉන් අඩු වයසේදී සිදුවූ දේවල් මතක බව. එයින් 893ක් කියල තියෙනවා අවුරුදු එකේදී සිදුවූ දේවල් මතක බවමේ පිරිසට වැඩියෙන්ම අයත් වෙලා තියෙන්නේ මැදිවියේ හා වඩා වයස්ගත අය.

මේ සමහර මතකයන් ළදරු  කරත්තයක සිටි කුඩා අවදිය තරම් ඈත ඒවා. මතකයන් තම වැඩිහිටියෙක් කියපු දෙයක් හෝ ඡායාරුපයක් මත ගොඩ නැගුනු ඒවා බවයි පර්යේෂකයන්ගේ මතය.  කියන්නේ සමහර මතකයන් අපේ හිතේ ඇතිවෙන ප්‍රබන්ධ.  නමුත් කතාව කියන පුද්ගලයා දන්නේ නැහැ එය ප්‍රබන්ධයක් බව.  නිදසුනක් හැටියට කවුරුහරි ඔබට කියා තිබුණොත් ඔයාට පොඩි කාලේ තිබුණු ප්‍රෑම් එක කොළ පාට එකක් කියල  මත ඔබේ සිතේ ප්‍රබන්ධයක් ගොඩ නැගෙනවා.  එය ඔබේ පොඩි කාලේ මතකයක් විදියට ඔබ විස්තර කරනවා. 

මේ විදියට මිනිසුන්ගේ මතකයන් වලින් 40%ක් යම් උදව්වක් මත ගොඩ නැගුනු ප්‍රබන්ධ බවයි මනෝ විද්‍යාත්මක පර්යේෂණ වලින් දැක්වෙන්නේ. 

ඇතැම් පර්යේෂණ වලට අනුව ඉතා කුඩා අවදියේ වුවත් මුහුණ දුන් අත්දැකීම සුවිශේෂී එකක් නම් එය මතකයේ රැඳෙනවා.  නිදසුනක් විදියට සහෝදරයෙකුගේ උපත මතක තියෙන්න පුළුවන්.

ළදරු කාලයේ අත්දැකීම් අමතක වීම "Childhood Amnesia " ලෙස හඳුන්වනු ලබනවා. හුඟක් අයට අවුරුදු තුන තුනහමාරට  පෙර කාලයේ සිදුවීම් මතක පොතේ අඳුරු කලාපයක්.

නවතම පර්යේෂණ වලට අනුව මතකය අවුරුදු දෙකේ අවදියේ පටන් රැඳී තිබෙන්න පුළුවන් බව කියවෙනවා. Memory ජර්නලයේ මේ බව සඳහන් වෙනවා.  මේ අධ්‍යනය සිදු කර තිබෙන්නේ ලාස් වෙගාස් හි University of Nevada හි මනෝවිද්‍යා සහාය මහාචාර්ය David Copoland PhD විසින්.  පළමු අධ්‍යනයන්ට වඩා වසරක් ඔබ්බට මතකය රැඳී තිබෙන්න පුළුවන් බවයි මේ අනුව පෙන්නේ.

අපගේ අතීත මතකයන් පහත දැක්වෙන කරුණු මත රඳා පවතින බවත් සඳහන් වෙනවා. ඒවා තමයි

1. සංස්කෘතිය

2. ජාතිකත්වය

3. නිවසේ පරිසරය (නාගරිකද ,ගම්බද වගේ )

4. ඔබේ දෙමව්පියන් ඔබේ මතකයන් අවදි කරන ආකාරය

5. බුද්ධිය

6. උපන් අනුපිළිවෙල

7. පවුලේ විශාලත්වය

8. ලිංගිකත්වය 

පෙර මතකයන් පුද්ගලයාගේ හර අගයන්බියබලාපොරොත්තු හා සිහින සමගද බැඳී පවතිනවා. දැන් ඔබ හිතන්න පුළුවන්  මේ පරණ දේවල් මතක් කරන එකෙන් ඇති වැඩේ මොකක්ද කියලා. ඉන්න මං දැන් විස්තර කරන්න හදන්නේ ඒක තමයි

පෙර මතකයන් ඉගෙනීම තුළින් පුද්ගලයන්ට තම අභ්‍යන්තර ළදරුවා අවදි කිරීමට අවකාශය විවර වෙනවා.  ඒ මගින් සංකාමය, පීඩාකාරී අවස්ථා සමනය (cure ) කර ගන්න පුළුවන් බව සොයාගෙන තියෙනවා.  වෙන විදියකට කියනවා නම් ඔබේ පෙර මතකයන් ස්මරණය ඔබට ඔබ ගැනම උගන්වනවා.  අපි අපේ ළදරු හා ළමා කාලයට කොහොමත් ආදරෙයි නේ.  විවේකීව ඉන්නා වෙලාවට ඔබේ පෙර මතකයන් අවදි කරන්න.  ඔබේ මිතුරු සංගම් වලදී එවැනි මතකයන් බෙදා හදාගෙන සතුටු වන්න. දුක්බර මතකයක් වුණත් පසු කාලීනව එය අපේ හිතේ ඇති කරන්නේ ශෝකී රසයක්.  දුකම කොයි තරම් සතුටක් දෝ කියල ගීතයකිනුත් කියවෙනවානේ? 

මට ස්මරණය කරන්න පුළුවන් ඈතම අතීතය මගේ වයස අවුරුදු දෙක දක්වා දිවෙනවා. හැබැයි ඒක සුන්දර මතකයක් නම් නෙවෙයි.  මට අවුරුදු දෙකේදී සරම්ප රෝගය තදබල විදියට හැදිලා තියෙනවා.  කාලේ දැන් වගේ එන්නත් තිබුණේ නැහැනේ. ඉතින් මට උණ ෆැරන්හයිට් අංශක 105 දක්වා ඉහළ ගිහින් තියෙනවා. මගේ ඇඟේ මුළුමනින්ම වගේ හම ගිහින් තියෙනවා.  මේ සේරම මට කිව්වේ මගේ අම්මා. මගේ මතකයේ තියෙන්නේ උණ හොඳ වුණහම පොඩි ජංගි කෑල්ලක් ඇඳගෙන හිටි පුංචි  මම මගේ උදර ප්‍රදේශයේ හම අතින් ඇදල ගලවමින් හිටි හැටි විතරයි.

ඉතින් මට මේ ලිපිය සම්පුර්ණ කරන්න තව උදාහරණ සොයමින් ඉන්නවා.  ඔබේ අතීතම පෙර මතකය මෙහි කොමෙන්ටුවක් විදියට තියන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

මේ ලිපියේ ඇතැම් කරුණු අන්තර්ජාලය ඇසුරිනි.


Friday, August 26, 2022

කාලයේ පෙරහැර නොනවතියි


 කාලයේ පෙරහැර නොනවතියි


















කාලය නොනවතින පෙරහැරකි.
කස කරුවන් පෙරහැරේ
ඉදිරියෙන්ම එයි.
පණිවිඩය අරගෙන.
මහ විඩාවක් දැනෙයි.
අත පය වේදනා දෙයි
කොන්දෙ කැක්කුම්
හිසේ ඇම්ම තව මෙකී නොකී
අපි එකට වයසට යනබව
ඒ අඞහැරය කියා පායි...
පින්සලය අතට ගමි.
වෙනදා තරම් සියුම් ලෙස
රේඛා නොඇඳෙයි,
සායම් ගලා නොයයි.
ඔබ ඒ දෙස නිහඬව බලා හිඳියි.
මම අඳිමි පෙරදා ඔබේ රුව
මා සිතේ ඇඳී ඇති ලෙස.
සිහින් සුසුමක් වාතලය
කම්පනය කරයි.
"ඔය ඇඟිලි වකුටු වෙලා නේද?"
ඔබ අසයි
"ඔව් ඔස්ටියෝආතරයිටිස්"
මම කියමි.
"කොහොම හිටිය කෙල්ලෙක්ද?"
ඔබ කියයි.
ඒක ප්රශ්නාර්ථයක් නොව
දිග දාර්ශනික කතාවක
සාරාංශයක් බව මට හිතෙයි.
"ඔයාගෙ අත පය වාත්තු කරල වගෙ"
පෙරදා ඔබ මගේ සේයාරුවක් බලමින්
කියූ හැටි මතකයට එයි.
"මගෙ ඇඟිලි බලන්න ඒ දවස්වල
පෝලිමේ පන්තිවල ළමයි.
එක්කෙනෙක් ඉගෙන ගැනීමත්
නවත්තල මගෙ ඇඟිලි දිහා
බලන් තපස් රැක්කනෙ
මං ඔයාට කියල ඇති "
මං මහ හඞින් සිනාසෙමි.
ඔබත් ඒ සිනාවට එක්වෙයි.
වයසට යන බව
අපට අමතක වෙයි.
ජීවිතය කියන්නේ මේක තමයි.
කාලයේ පෙරහැර නොනවතියි.

Photo by Sven Mieke on Unsplash