ලියුම් Letters
ඔබේ නමට මුලින්ම ලියුමක් ලැබුණ හැටි මතකද බලන්න. ඒක පුද්ගලික ලියුමක් හෝ රාජකාරී ලියුමක් වෙන්න පුළුවන්. ලියුම් බෙදන්නේ ලියුම් මාමා. එයාට තැපැල් මාමා /පියුම් මාමා කියලත් කියනවා. පියුම් කියන්නේ මගේ අතීසාර මිත්රයෙකු නම. එයා මුහුණු පොතේ නෑ. ඒ නිසා මේක අවමානයක් වෙන එකක් නෑ. ලොකු අය කියන විදියට නම් මේ ලියුම් බෙදන කෙනා තැපැල් කාරයා. ඒ මිහිරි සීනු නාදය අහන්න අපි කොච්චර ආස කළාද?
ඒත් අද පරම්පරාව ලියුමක් ලැබීමේ චකිතය, චමත්කාරය එතරම් විඳල නැතුව ඇති. අද වෙද්දී පුද්ගලික ලියුම් ලිවීම අභාවයට ගිහින්. අදහස් හුවමාරු කර ගන්න ප්රධාන වශයෙන්ම තියෙන මෙවලම දුරකථනය නෙ. දුරකථනයෙන් පෙම් බස් දොඩන එකට මල් කඩනවා කියලා කතාවකුත් ආවනෙ. ඒ වගෙම රාජකාරි වලට විද්යුත් තැපෑල තියෙනවා. ඒත් අතීතයේ අදහස් හුවමාරු කර ගැනීමට ප්රධාන වශයෙන් තිබුණෙ ලියුමක් ලියන එක. හුඟක් ඉස්සර ලියුමක් ආවත් ඒව කියව ගන්න ගමේ අකුරු සාස්තරේ දැන උගත් කෙනෙක් ළඟට ලියුම ගෙනියන්න වෙනවා.
ඒ කාලේ ලියුම් මාමා එනකම් අපි බලන් ඉන්නෙ පුදුම බලාපොරොත්තුවකින්. ලියුමක් එවන්න කෙනෙක් විශේෂයෙන් නැතත් ලියුමක් තියේවි කියලා හිතේ කොණක බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් එයා අපට ලියුම් නොදී පිට පාරෙ යන කොට කේන්තියකුත් එනවා.
ලියුම් කිව්වම පෙම්පත් ගැන නොකිය බෑ ඉතින්. ඒව තැපෑලෙන් එද්දී ගෙවල්වලින් හුටපට නෙ. මග රැකල ඉඳන් ගන්නත් බෑ. ඈයි තැපැල් මාම ගෙදර උදවියට කියනවනෙ. මෙන්න මේ නිසා තමයි ඒ ලියුම් හුවමාරුවට දූතයො හිටියේ. දූතයා පොතක් ඇතුලෙ දාපු ලියුම අදාල ග්රාහකයට දෙනව. පිළිතුරු ලිපියත් ඒ ක්රමේට තමයි යන්නේ. දූතයා ඉතින් හොඳ යාලුවෙක් වෙන්න ඕන. මේ ලියුම් එක්ක ලේන්සු, මල් වගෙ තෑගිත් හුවමාරු වෙනව. මේක කියවන අයට තමන්ගේ අතීතය මතක් වෙන එක නවත්තන්න මට බෑ.
රාජකාරී ලියුම් කියන්නෙත් අපූරු දෙයක්. ඔන්න සමහර ගම්වල ඉන්නවා ගමේ පුංචි පහේ කෙනෙකුට යහපතක් වෙනවට කැමති නැති තැපැල් ස්ථානාධිපති වරු. ඒ වගෙම තැපැල් කාරයො. ඒ වගේම ගමේ සමහර අය හිටියා කාටහරි රාජකාරි ලියුමක් එද්දී අද භාෂාවෙන් කියනවා නම් පුපේ ඉත්තෑවන් දුවන. මොකද විභාගයක්, සම්මුඛ පරීක්ෂණයක්, පත්වීමක් වගෙ දේවල් තමයි මේ ලියුම් වලින් දන්වන්නේ. අද වගේ වේදිකාවල නැගල හොරු අතින් පත්වීම් ගන්න සිරිත ඒ කාලේ තිබුණෙ නෑ. ඒ අතින් අපි වාසනාවන්තයි. ඉතින් මොකද අර ඉත්තෑවන් දුවන අය කරන්නේ? මේ ගොල්ලෝ එකතුවෙලා අදාල ලියුම හරි වෙලාව පහු කරල බෙදනවා. නැත්නම් අතුරුදහන් කරනවා. මේ නිසා මිනිස්සු වැදගත් ලියුම් සඳහා වෙන හිතවත් කෙනෙකුගෙ ලිපිනයක් තමයි දෙන්නේ. හැබැයි අපට හිටපු තැපැල් නෝනා හා තැපැල් මාමා නම් හුඟක් හිතවත්. ඒ වගෙ නපුරු දේවල් කළේ නෑ. හැබැයි මිනිස්සුන්ට තරහ ගියහම නම් ඔය තැපැල් ස්ථානාධිපතිල පතිනියල හඳුන්වන්නේ තැපෑල /තැපෑලි කියලා ගරු නම්බු ඇතුව.
පහු කාලීනව ගෙවල්වල තාප්ප බැන්දට පස්සේ ලියුම් පෙට්ටි ඒවයෙ හයි කර ගත්ත නෙ. ඉතින් තැපැල් මාමට තියෙන්නේ ලියුම් තියෙනවා නම් පෙට්ටියට දාන එක. ලියාපදිංචි ලියුමක් තිබුණොත් විතරයි සීනුව නාද වෙන්නේ. අනික පස්සෙ පස්සෙ අපට ලැබුණෙ පෙන්නන්නම බැරි බිල් විතරයි නෙ. ඒව බලන්න නමි කිසිම ඕන කමක් තිබුණෙ නෑ.
මේ රටවල් වල ලියුම් පෙට්ටි තනි තනිව හෝ සමූහ වශයෙන් පාර අයිනේ තියෙනවා. තට්ටු නිවාසවල ඇතුලෙම එක පැත්තකින් ලියුම්-පෙට්ටි තියෙනවා. ඒවයෙ යතුරු නිවෙස් හිමියො ළඟ තියෙනවා. තැපැල් මාමල එන්නේ වෑන් වල. ඇවිත් පෙට්ටියට ලියුම් දාල යනව. අපි ගිහින් ලියුම් පෙට්ටිය ඇරල ලියුම් හෝ පාර්සල් ගන්නවා. ලියුමේ කතාව නිමි. ඔබට අමතක නොවන ලියුම් කතා මෙහි කොමෙන්ටු ලෙස තියන්න.
Photo by Debby Hudson on Unsplash
No comments:
Post a Comment