කාලයේ පෙරහැර නොනවතියි
කාලය නොනවතින පෙරහැරකි.
කස කරුවන් පෙරහැරේ
පණිවිඩය අරගෙන.
මහ විඩාවක් දැනෙයි.
අත පය වේදනා දෙයි
කොන්දෙ කැක්කුම්
හිසේ ඇම්ම තව මෙකී නොකී
අපි එකට වයසට යනබව
ඒ අඞහැරය කියා පායි...
පින්සලය අතට ගමි.
වෙනදා තරම් සියුම් ලෙස
රේඛා නොඇඳෙයි,
සායම් ගලා නොයයි.
ඔබ ඒ දෙස නිහඬව බලා හිඳියි.
මම අඳිමි පෙරදා ඔබේ රුව
මා සිතේ ඇඳී ඇති ලෙස.
සිහින් සුසුමක් වාතලය
කම්පනය කරයි.
"ඔය ඇඟිලි වකුටු වෙලා නේද?"
ඔබ අසයි
"ඔව් ඔස්ටියෝආතරයිටිස්"
මම කියමි.
"කොහොම හිටිය කෙල්ලෙක්ද?"
ඔබ කියයි.
ඒක ප්රශ්නාර්ථයක් නොව
දිග දාර්ශනික කතාවක
සාරාංශයක් බව මට හිතෙයි.
"ඔයාගෙ අත පය වාත්තු කරල වගෙ"
පෙරදා ඔබ මගේ සේයාරුවක් බලමින්
කියූ හැටි මතකයට එයි.
"මගෙ ඇඟිලි බලන්න ඒ දවස්වල
පෝලිමේ පන්තිවල ළමයි.
එක්කෙනෙක් ඉගෙන ගැනීමත්
නවත්තල මගෙ ඇඟිලි දිහා
බලන් තපස් රැක්කනෙ
මං ඔයාට කියල ඇති "
මං මහ හඞින් සිනාසෙමි.
ඔබත් ඒ සිනාවට එක්වෙයි.
වයසට යන බව
අපට අමතක වෙයි.
ජීවිතය කියන්නේ මේක තමයි.
කාලයේ පෙරහැර නොනවතියි.
Photo by Sven Mieke on Unsplash
No comments:
Post a Comment