Tuesday, November 6, 2018

පණු රෝග - 02 වටපණු රෝගය


පණු රෝග - 02
අද අපි වෙනත් සුලබ පණු රෝගයක් ගැන සාකච්ඡා කරමු. ඒ තමයි වටපණු රෝගය. මේ පණු වර්ගයේ විද්‍යාත්මක නම Ascaris lumbricoides




මේ පණුවන් විශාලයි. ගැහැණු පණුවා පිරිමි පණුවට වඩා විශාලයි. ඒක මේ සත්ව වංශයටම පොදු ලක්ෂණයක් .
Phylum: Nematoda
Scientific name: Ascaris lumbricoides
රෝගී පුද්ගලයෙකුගේ කුඩා බඩවැලේ මේ පණුවන් ජීවත් වෙනවා. ගැහැණු පණුවා දිනකට බිත්තර 200,000ක් පමණ නිපදවනවා.මේවා මල සමග පිටවෙනවා. මෙයින් සරු බිත්තර පරිසරයේ ඇති තත්වයන් අනුව මෝරා ආසාදනය විය හැකි තත්වයට පත් වෙනවා.
මෙන්න මේ අසාදිත තත්වයේ බිත්තර අපිට ගිලෙන්න පුළුවන්. අපි ගන්නා ආහාර,වතුර එක්ක,මිනිස් මල කුමන ක්‍රමයට හෝ ඒවා සමග මිශ්‍ර වී තිබුනොත්. බිත්තර ආහාර මාර්ගයේදී පුපුරනවා. ඇතිවෙන කීටයින් බඩවැල් බිත්තිය සිදුරු කරගෙන රුධිර ධාරාවට එකතු වෙනවා. එතනින් අර කොකු පණුවා වගේම දිග ගමන පටන් ගන්නවා. රුධිරය මගින් හෘදයටත් එතනින් පෙනහැලි වලටත් යනවා. පෙනහැලි වලදී කීටයා දින 10-14 කාලයක් වැඩෙනවා. පෙනහැලි වල සිට ශ්වාස නාලය ඔස්සේ උගුරට එනවා. ආපසු ගිලෙනවා. කුඩා බඩවැලට ගිහින් එහිදී ලොකු පණුවන් බවට පත් වෙනවා. මේ සියල්ල වෙන්න මාස 2-3 අතර කාලයක් ගත වෙනවා. ලොකු පනුවන් අවරුදු 1-2ක් පමණ ජීවත් වෙනවා.
දැන් අපි බලමු මේ පණුවන් අපේ බඩේ ඉන්නවා නම් මොන වගේ රෝග ලක්ෂණ ද අපිට ඇති වන්නේ කියල.
1. ඇත්තෙන්ම පණුවන් කීප දෙනෙක් හිටියට කිසිම රෝග ලක්ෂණයක් ඇති වන්නේ නෑ .
2. පණුවන් ගොඩාක් හිටියොත් බඩේ වේදනාව හා බඩවැල් අවහිර වීම වෙන්න පුළුවන්. මේ පණුවන් කොකු පණුවන් වගේ අපේ ලේ උරා බොන්නේ නැහැ. නමුත් අපේ බඩවැල්වල තියෙන ජීර්නයවූ ආහාර උරා ගන්නවා.ඉතින් පණුවන් ගොඩාක් ඉදගෙන අපේ කෑම උරා ගන්න නිසා විශේෂයෙන්ම පොඩි දරුවන්ට මන්දපෝෂණය ඇතිවෙනවා.
3. පණුවන් පෙනහැලි වලට ආ විට කැස්ස,හතිය , පපුවේ අපහසුතාවය, උණ වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.
4. පණුවන් බඩවැල් වල ඉන්නකොට වමනය, පාචනය, ආහාර අරුචිය, බඩේ වේදනාව, මල සමග පණුවන් පිටවීම,දේහ බර අඩුවීම ආදිය ඇතිවෙන්න පුළුවන්.
මීට වඩා දරුණු තත්වයන් ඇතිවෙන්නත් පුළුවන්
1. පණු කීටයන් පෙනහැලි වල තියෙන ගර්ත කියන පුංචි මලු වගේ ඒවා සිදුරු කරන නිසා නියුමෝනියා තත්වයක් ඇතිවෙන්න පුළුවන්. මෙය මාරාන්තික තත්වයක් දක්වා යන්න පුළුවන්.
2. බඩවැල් අවහිර වීම නිසා වමනය ඇතිවී පණුවන් නහයෙන් හා කටින් පිටවෙන්න පුළුවන්. පිටවෙන පණුවන් උගුරෙන් ශ්වසන මාර්ගයට ගිහින් හුස්ම හිරවී දරුවන් මිය ගිය අවස්ථා වාර්තා වෙලා තියෙනවා.
ඉතාම කලාතුරකින් මේ වර්ගයේ වටපනුවන් වෙනත් අවයවද ආක්‍රමණය කරනවා. උදාහරණයක් හැටියට ඇස්
මේ රෝගයෙන් වැළකෙන්නේ කොහොමද ?
1. යහපත් සෞඛ්‍යය පුරුදු අත්‍යවශ්‍යයි.කෑම පිළියෙළ කිරීමට පෙර හා කෑම ගැනීමට පෙර හොදින් අත් පිරිසිදු කරන්න.
2. බොහෝ ආහාර පිළියෙළ කරන පුද්ගලයන් නුගත් බව මෙන්ම නොසැලකිල්ල නිසා පිරිසිදු ලෙස සිය කාර්ය කරන්නේ නැති නිසා පිටින් ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න.
3. එළවළු පලතුරු අමුවෙන් ආහාරයට ගන්නා විට හොදින් සෝදාගන්න.
4. වතුර උණුකර නිවා හෝ පෙරා පානය කරන්න.
5. අපිසිදු ජලාශ වල ස්නානය නොකරන්න.
6. මිනිස් මල පොහොර ලෙස යෙදීමෙන් වලකින්න.
ඔබට රෝගය තිබේ නම් වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර කරගන්න.
(මේ පනුවන්ගේ රූප , පණුවාගේ ජීවන චක්‍රය,පණුවන්ගෙන් අවහිරවූ බඩවැලක් , පණුවන් නාසයෙන් / කටින් එළියට එනහැටි,පණුවන් ඇසක සිටින හැටි , ඔබට රූප සටහන් වලින් පෙන්වා ඇත.)

3 comments:

  1. විශේෂයෙන්ම ගම්බද ජනතාව දැනුවත් කිරීම සඳහා ඉතා වටිනා සටහනක්. බොහෝවිට පණුරෝග පැතිරී යන්නේ නොදැනුවත්කම නිසා, සරල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සඳහා ජනතාව දිරි ගැන්වීම පිණිස ඔබ ගන්නා උත්සාහය ප්‍රසංශණීයයි

    ReplyDelete
  2. ස්තුතියි බොහොමත්ම ...ඔබේ දිරි ගැන්වීම වටිනවා.

    ReplyDelete
  3. මට පලපහ සමග ඉතාමත් කුඩා සුදු පැහැති පණුව පිට වෙනවා ඒ කියන්නේ මට මේ රෝගය වැළදිලාද

    ReplyDelete