Saturday, November 3, 2018

පණු රෝග - 01 කොකු පණු රෝගය

පණු රෝග - 01

ලංකාවේ පණු රෝග ඉස්සර තරම් නැති වුනත් තවමත් තිබෙන බව පේනවා. ඒ ගැන දැනුවත් කිරීමක් කිරීම සුදුසු බව හැගී ගියා .
මිනිසුන්ගෙ අදහසක් තියෙනවා පණුවන් බඩේ ඉන්න ඕනෙ කියලා . ඒක මිත්‍යාවක්. පණුවන් කියන්නෙ පරපෝෂිත ජීවීන්. පරපෝෂිතයින් අපෙන් යැපෙනවා,අපට හානි කරමින්. ඉතින් පණුවන් අපේ ශරීරයේ වැඩි වශයෙන් හිටියොත් අපි,විශේෂයෙන් දරුවන් රෝගී වෙනවා.
බොහෝ සුලබ පණු රෝග ඇතිවන්නේ මිනිස් මල පසට එකතු වීමෙන්. මිනිස්සු වැසිකිලි භාවිත නොකර එළිමහනේ මලපහ කිරීම එයට හේතුවක්. කුඩා දරුවන්ගේ මල පවා වැසිකිළියකට දමා ඉවත් කරන්න ඕනේ . තව ගංවතුර කාලයට වැසිකිළි උතුරා යන්නත් පුළුවන්. අනික් හේතුව ඔබ දන්නවද? ඒ තමයි මිනිස් මල වලින් පොහොර සාදා ඒවා බෝග වලට යෙදීම හා එම බෝග හොඳින් නොපිස ආහාරයට ගැනීම. තව කෑම පිළියෙළ කිරීමේදී හා ආහාර ගැනීමේදී නිසි පරිදි අත් පිරිසිදු නොකිරීමත් බොහෝ රෝග කාරක සිරුරු ගත වීමට හේතුවක්.
දැන් අපි සුලබ පණු රෝග කිහිපයක් ගැන දැනුවත් වෙමු.

1. කොකු පණු රෝගය.
කොකු පණු වර්ග කිහිපයක්ම සිටිනවා. Necator americanus එයින් එක්‌ විශේෂයක්. මේ විශේෂය අයත් වෙන්නේ Nematoda කියන සත්ව වංශයට.
Phylum: Nematoda
Kingdom: Animalia
Scientific name: Necator americanus
Anchylostoma deodenale තව කොකු පණු විශේෂයක්.
මේ පනුවන්ගේ වැඩුණු සතුන් මිනිස් ආහාර මාර්ගයේ කුඩා බඩවැලේ ඉන්නවා. එහි බිත්තියට එල්ලී ඉඳගෙන ලේ උරා බොනවා. ඒ නිසා කොකු පණු රෝගයෙන් පෙලෙන කෙනෙකුට ලේ හිඟ වෙනවා.මේ තත්වයට මිනිස්සු පාණ්ඩුව කියල කියනවා. ලංකාවේ මිනිසුන් විශේෂයෙන් ගැබිණි මව් වරුන් ගේ රක්ත හීනතාවයට මේ රෝගය හේතු වෙනවා.
බඩවැල සිදුරු කරන්න මේ පනුවන්ගේ මුඛයේ කැපුම් ඵලක තියෙනවා.
තව කොකු පණුවා ලේ උරා බොන්න බඩවැල් බිත්තිය සිදුරු කලහම ලේ කැටි නොගැහෙන්න රසායනික ද්‍රව්‍යයක් එතැනට ඇතුල් කරනවා. ඉතින් පණුවා එතනින් ඉවත් වුනත් හුගක් වෙලා ලේ ගලනවා. ඒ ලේ මල සමග පිටවන නිසා මල කළු පැහැයක් ගන්න පුළුවන්.
මේ පණුවන්ගේ ගැහැණු හා පිරිමි සත්තු ඉන්නවා. ගැහැණු සතා දිගින් වැඩියි. ඔවුන් සංසර්ගයෙන් පසු බඩ වැල තුල බිත්තර දානවා. මේ බිත්තර මල සමග බාහිර පරිසරයට පිටවෙනවා. පසට ගියොත් කීට අවස්ථාව ඇති වෙනවා. රුපයේ පෙන්වා ඇති විදියට අංක 3 ලෙස පෙන්වා ඇති කීටයා තෙත් පරිසරයේදී ඔබ පාවහන් නැතිව ඇවිද්දොත්, අතින් පස ඇල්ලුවොත් හම සිදුරු කරගෙන ලේ වලට ඇතුල් වෙනවා. මේ තැන් කසන්න පටන් ගෙන තුවාල වෙනවා. මේවාට මිනිස්සු දියමැටියන් කෑම කියල කියනවා. මේ තුවාල වලින් බැක්ටීරියා හා දිලීර ඇතුල් වෙලා දියර ගලන්න ගන්නවා.
ලේ වලට ඇතුල් වුණු කීටයන් මහා දිග ගමනක් යනවා. එනම් ලේ හරහා හදවතටත් හදවතේ සිට පෙනහැලි වලටත් එතනින් ශ්වාස නාලයටත් ඊළඟට උගුරටත් ඇවිත් ගිලෙනවා. ආමාශයට ගියාට විනාශ වෙන්නේ නැති උච්චර්මයක් ඌට තියෙන නිසා කුඩා බඩවැල දක්වාම යනවා. එහිදී ලොකු වෙලා අර මුලින් විස්තර කළ විදියට නැවත ලේ උරා බොනවා. නැවත බිත්තර දානවා.
මෙන්න මේ නිසා රෝගියාගේ තුවාල වලට වෙනමත් පණුවන් මර්දනයට වෙනමත් ප්‍රතිකාර කල යුතු වෙනවා.
Prevention is better than cure
රෝගය වලක්වා ගැනීමයි වැදගත් ...
කල යුතු දේ
1. ක්‍රමවත් වැසිකිළි භාවිතය.
2. පසේ වැඩ කරන විට පාවහන් හා අතින් වැඩ කරන්නේ නම් අත්වැසුම් භාවිතය
3. මල පොහොර ලෙස භාවිතා නොකිරීම
ඉතිරිය පසුවට .....

2 comments:

  1. මෙම සෞඛ්‍ය ගැටළුව පිළිබඳව දැනුවත් විය යුතු අයට පහසුවෙන් වටහා හතකි ආකාරයට ඉතා සරලව කර ඇති විස්තරය කදිමයි. පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහාත් අදාළ වන මෙවැනි ලිපි නිතර පළ කරන්න. ටික කලක් යන විට ඔබ ලියන දේ කියවන අය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මගේ සුබ පැතුම්!

    ReplyDelete
  2. ස්තුතියි, සර් , මා මෙය ඇතුළු ලිපි සමුහයක් FB එකේ සිංහල වෙදකම කියන group එකට දැම්මා .හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න සැහෙන වෙහෙසක් අරන් සරල කලා . දුවගේ blog එක ටිකක් කියෙව්වා. එහි comments දාල ඇති.

    ReplyDelete