Tuesday, November 20, 2018

පණු රෝග - 04 බරවා රෝගය /Filariasis



පණු රෝග - 04

අද ඉදිරිපත් කරන්නේ බරවා රෝගය /Filariasis ගැන. දැන් අපේ රටේ බොහෝ දුරට මේ රෝගය තුරන් කරලා තිබුනත් දකුණු පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක තවම රෝගීන් ඉන්නවා. ඔබට මතක ඇති බරවා මර්දන ව්‍යාපාරය විසින් දීප ව්‍යාප්තව පණු පෙති ලබා දුන්නා, එකම දිනයක සැමට ගැනීමට. එවැනි උපක්‍රම රාශියක්මගින් තමයි රෝගය මර්දනය කළේ. නමුත් සමහරු මේ බෙහෙත් නොබී විසිකළ බව මා දන්නවා.

බරවා රෝගය හැදෙන්නෙත් Nematoda ,පණුවන් මගින්.

Phylum - Nematoda

Scientific names - Wuchereria bancrofti,  Brugia malayi,  Brugia timori

Lymphatic Filariasis /වසා ආශ්‍රිත බරවා රෝගය තමයි වැඩිපුර දක්නට ලැබෙන්නේ.
එහිදී පණුවන් වසා ග්‍රන්ථි ආශ්‍රිතව ජීවත් වෙනවා.

මේ පනුවාගේ කතාන්තරය කලින් පණුවන්ට වඩා සංකීර්ණයි. පනුවාට ජීවන චක්‍රය සම්පුර්ණ කිරීමට ධාරකයන් දෙන්නෙක් ඕන වෙනවා. ඒ තමා මිනිසා හා Culex ගණයට අයත් ගැහැණු බරවා මදුරුවා. වැඩුණු ගැහැණු හා පිරිමි පණුවෝ මිනිසාගේ වසා ගැටිති හා වසා නාලිකා තුළ ජීවත් වෙනවා. මොවුන් සුදු පැහැති,සිහින් සිලින්ඩරාකාර සතුන්. ගැහැණු පණුවා ටිකක් ලොකුයි:80-100 mm විතර දිගයි. පිරිමි පණුවා 40 mm විතර දිගයි. ගැහැණු පණුවන් දමන්නේ බිත්තර නෙවෙයි. කීටයන්. මේ කීටයන් Microfilaria කියල හදුන්වනවා. මොවුන් හරිම කුඩායි. 300 micro meter ( micrometer = mm /1000).

මේ කීටයෝ වසා පද්ධතියේ ඉඳලා මිනිසාගේ රුධිර සංසරණ පද්ධතියට එකතුවෙලා රෑ 10.00 ඉඳල අළුයම 2.00 වෙනකම් සැරිසරලා අනික් වෙලාවල් වල මිනිසාගේ පෙනහැලි වල හැංගිලා ඉන්නවා. මෙන්න මේ නිසා තමයි බරවා රෝග පරීක්ෂාවට රාත්‍රී කාලයේ රුධිරය පරීක්ෂා කරන්නේ.

ගැහැණු Culex මදුරුවෙකු මිනිසාගේ සම සිදුරු කර ලේ උරා බොන අවස්ථාවේ දී මිනිසාගේ රුධිරයේ සංසරණය වෙමින් සිටින microfilaria කීටයෝ මදුරුවාගේ ආහාර මාර්ගයට ඇතුල් වෙනවා. විනාඩි 30කදී පමණ මේ කීටයෝ මදුරුවාගේ බඩවල් සිදුරු කරගෙන උගේ රුධිරයට එකතු වෙනවා. එහි සිට මදුරුවාගේ උරස් පේශී කරා ඇවිත් දින 2ක් තුලදී කීටයෙක් ඇති කරනවා ,L1 කියලා . මේ කීටයා microfilaria කීටයාට වඩා කුඩායි. ඊට පස්සේ L2 කීටයා හැදෙනවා. ඌ L3 කීටයා බවට පත් වෙනවා.

මේ කීටයා 1.5mm පමණ දිගයි.

මේ L3 කීටයා තමයි වෙන නිරෝගී කෙනෙකුට මදුරුවා මගින් ආසාදනය වෙන්නේ.
මේ කීටයින් සහිත ආසාදිත මදුරුවෙක් නිරෝගී මිනිසෙකුගෙන් ලේ උරා බොන විට මේ L3 කීටයා මිනිසාගේ රුධිර පද්ධතියට ඇතුල් වෙනවා. රුධිරයේ සිට වසා ගැටිති තුලට ගිහින් පසුව වැඩුණු පණුවන් බවට පත් වෙනවා. ගැහැණු පණුවෝ අවුරුද්දකට පස්සේ microfilaria කීටයින් බිහි කරනවා.

කොහොමද මේ රෝගය ව්‍යාප්ත වන්නේ?
ලංකාවේ මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ Culex quinquefasciatus නම් මදුරු විශේෂය මගින්. මේ මදුරුවෝ බිත්තර දාන්නේ කාබනික ද්‍රව්‍ය වලින් අපව්ත්‍ර වූ ජලය එකතු වී ඇති කාණු , වැසිකිළි වලවල්, වැනි තැන්වල. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව මොවුන් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙනවා. අද පුවත් පතක තිබුණා ගාල්ල නගරයේ හුගක් රෝගීන් ඉන්නවා කියලා .
මේ මදුරුවන් ලේ උරා බොන්නේ බොහෝ විට මධ්‍යම රාත්‍රී කාලයේ. microfilaria කීටයන් පර්යන්ත රුධිර සංසරණයේ බහුලව ගැවසෙන්නෙත් මේ කාලයේ.

කොහොමද මේ රෝගය මර්දනය කරන්නේ?
මේ රෝගය මර්දනය ආකාර 3කට සිදු කරනවා.

1. මිනිසා තුල ඇති පරපෝෂිත අවස්ථා විනාශ කිරීම.
මේ සඳහා මුලින්ම රෝග විනිශ්චය කරන්න ඕන. එයට ක්‍රම 3ක් ඇත.
1. රුධිරයේ microfilaria පරීක්ෂා කිරීම.
2. රුධිරයේ Filaria ප්‍රතිදේහ පරීක්ෂා කිරීම.
3. ICT filariasis test
මේ 2හා 3 ක්‍රම වලට දිවා කාලයේ වුවත් රුධිරය ගත හැකියි.

2. වාහක මදුරුවා විනාශ කිරීම , පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත් කම ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. වැසිකිළි වලවල් හොදින් සීල් වෙලා තියා ගන්න ඕන. පොඩි සිදුරක් තිබුනත් එතනින් මදුරුවෝ ඇතුල් වෙනවා.

3. මදුරුවා දෂ්ඨ කිරීම වළක්වා ගැනීම.
උදා : මදුරු දැල් භාවිතය , මදුරු විකර්ෂක භාවිතය
මොනවාද මේ රෝගයේ ලක්ෂණ ?
අසාදිත මිනිසුන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ කිසිවක් පෙන්වන්නේ නෑ . අසදනයේ මුල් අවස්ථා වල දී උණ , හිසරදය,ඔක්කාරය,වස නාල හා ග්‍රන්ථි ඉදිමීම,සම මතුපිට රතුපාට පැල්ලම් ඇතිවීම,ආදී රෝග ලක්ෂණ ඇතැමුන්ට ඇති වෙනවා. මේවා වෙනත් රෝග නිසාත් වෙන්න පුළුවන්.






මේ හැර පිරිමින්ගේ වෘෂණ කෝෂ ඉදිමීම බොහෝවිට ඇතිවන ලක්ෂණයක්.
නියම වෙලාවට ප්‍රතිකාර නොගත්තොත් මේ රෝගය නිදන්ගත තත්වයට පත් වෙනවා. වසා නාල අවහිරවී Elephatiasis /නැත්නම් 'බරවා ' කියන තත්වයට එනවා. වෘෂණ,පාද වැනි තැන යථා තත්වයට පත්කළ නොහැකි ලෙස අධික ලෙස ඉදිමෙනවා. මේ අවහිරතා ඉවත් කරන්න ක්‍රමයක් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සොයාගත් බව පසුගිය දිනක කියවීමට ලැබුණා.
(ආශ්‍රිත සම්පත් - උසස් පෙළ ව්‍යවහාරික සත්ව විද්‍යාව හා අන්තර්ජාලය)

No comments:

Post a Comment