Saturday, November 10, 2018

Life after death…




Life after death…

  

අද මම වෙනස් මාතෘකාවක් කතා කරන්න හිතුව. මරණයෙන් පස්සේ අපේ සිරුරට සිදුවෙන්නේ මොකක්ද කියන එක . ඉතින් එය එතරම් දෙයක් ද කුණුවී යන එකනේ කියා ඔබ හිතාවි. එත් ඒකෙ දැන ගන්නත් හිතන්නත් දේවල් තියෙනවා කියලා මට හිතුණා .

ස්වයං ජීර්ණය කියලා ක්‍රියාවලියක් මගින් මිය ගිහින් මිනිත්තු කීපයකට පස්සේ සිරුර වියෝජනය /කුණුවීම ඇරඹෙනවා. හදවත නතර වෙනවත් එක්ක ශරීරයේ සෛල වලට ඔක්සිජන් නොලැබී යනවා.ඒ සෛලවලම නිපදවෙන විෂ රසායනික අප ද්‍රව්‍ය ඒවා තුළම එක්රැස් වීම හේතුවෙන් ආම්ලිකතාවය වැඩි වෙනවා. සෛල බිඳ වැටීමත් සමග එන්සයිම මගින් සෛල පටල ජීර්ණය කරන නිසා දියර එලියට ගලනවා. සාමාන්‍යයෙන් මෙය ආරම්භ වන්නේ එන්සයිම බහුල අක්මාවේ හා ජලය වැඩි මොළයේ .ක්‍රම ක්‍රමයෙන් අවසානයේ සියලුම අවයව වල මේ ක්‍රියාවලිය ඇරඹෙනවා. හානි වූ රුධිර සෛල ගුරුත්වය යටතේ කුඩා කේශනාලිකා හා නාල වල තැන්පත් වී සමේ අව පැහැයක් ඇති කරනවා.

ශරීර උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වය දක්වා අඩුවී යනවා. මීළඟට සිරුර දරදඬු වෙන්න පටන් ගන්නවා. එය ඇරඹෙන්නේ ඇසිපිය වලින්. ඉන්පසු හනු ,ගෙල පේශී, සිට දේහයේ පහලට දරදඬු වෙනවා. අත් පා වලටත් විහිදී යනවා.

මීළඟට තමයි සැබෑ කුණු වීම ඇරඹෙන්නේ. ඔබ සමහරවිට නොදන්නවා ඇති පණ ඇති අපේ සිරුරේ බැක්ටීරියා සෛල අපේ ඇඟේ ඇති සෛල ගාණටත් වැඩියෙන් ඉන්න  බව. වැඩියෙන්ම බැක්ටීරියා ඉන්නේ අපේ ආහාර මාර්ගයේ. ඒවා අපිට හුගාක් උදවුත් කරනවා, විටමින් වර්ග එහෙම හදා දීලා . අපේ මොලය,හදවත, ආදී අභ්‍යන්තර අවයව තුළ බැක්ටීරියා නැහැ.

ඒත් ඒ බැක්ටීරියා අපිව කුණු කරන්නේ නැහැ.ඇයි ? අපේ සිරුරේ ඇති ප්‍රතිශක්තිය නිසා. හැබැයි අපි මැරුණහම මේ තත්වය වෙනස් වෙනවා. දැන් ප්‍රත්ශක්තියක් නැහැ. ඉතින් බැක්ටීරියා නිදහසේ සැරිසරන්න පටන් ගන්නවා. මෙය පටන් ගන්නේ බඩවැල් වලින්. පසුව බඩවැල් බිත්ති ජීරණය කරගෙන අනිකුත් අවයව වලට පැතිරෙනවා. මේ අතර ස්වයං ජීර්නයත් තව දුරටත් වෙනවා. සෛලවල ඇති ප්‍රෝටීන වියෝජනය (පුතිභවනය )වී ඇමෝනියා ,හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ වායු පිට වෙනවා. පැසීම නිසා මීතේන් වගේ වායු පිට වෙනවා.

මේවා සිරුර තුළ එක් රැස් වී සිරුර විශේෂයෙන්ම උදරය පිම්බෙන්න පටන් ගන්නවා. තවදුරටත් සිරුර දුර්වර්ණ වෙනවා. හානිවූ රුධිර සෛල වල තිබුණු හීමොග්ලොබින් සල්ෆෙමෝග්ලොබින් බවට පත්වෙනවා. මේ නිසා සම මාබල් වැනි කොළ පැහැයට හුරු කළු පැහැයක් ගන්නවා. තව දුරටත් එකතු වන වායුන් නිසා වායු පීඩනය වැඩිවී  සමේ තුවාල ඇතිවී සම ගැලවී යන්න පටන් ගන්නවා. මේ පිපිරුම් වලින්ද ගුදය වැනි විවර වලින් ද පටක දියවී දියර වෑස්සෙනවා. උදරය පුපුරා වායු නිදහස් වෙන්නත් පුළුවන්.

වායු පිටවෙන්න පටන් ගත්තහම නොයෙක් කෘමීන් පමණක් නොවේ, ගොදුරු සොයන ගිජු ලිහිණියන් හා මස් බුදින සතුන් සිරුර සොයා ඇදී එනවා. දැන් සිරුර සතුන්ගේ වාසස්ථානයක්. සමහර කෘමීන් මුළු ජීවන චක්‍රයම මෙහි දී සම්පුර්ණ කරනවා. උන්ට ගැනීමට ආහාරයක් ඉතිරි නොවෙන කම් විවිධ මැස්සෝ වර්ග මේ සිරුර තම වාසස්ථානය කර ගන්නවා.

වෙනත් කිසිම මස් බුදින සතෙක් නැතුවත් මැස්සන්ගේ ඉහඳ පණුවන්ට පුළුවන් මුළු සිරුරේම ඇති මෘදු පටක කා දමන්න. කාල් ලිනෙයස් කියන විද්‍යාඥයා 1767 දී සටහනක් තියල තියෙනවා 'මැස්සන් තිදෙනෙකුට අශ්ව මල සිරුරක් දින තුනකදී කා අවසන් කල හැකිය ' කියල. මල සිරුරට කෘමීන් වර්ග එන්නේ එක රටාවකට. මෙය සිරුරේ බැක්ටීරියා ගහනයේ ස්වභාවයත් සමග මරණය සිදුවී ඇති කාල වකවානුව සොයා ගැනීමට උදවු වෙනවා,අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී.

අවසානයේ සිරුර දිරා ගිය තැන පසේ රසායනික ස්වභාවය සැලකිය යුතු තරම් වෙනසකට පත්වී ඒ ත්ත්වය වසර ගණනක් පවතිනවා. කාබනික වශයෙන් පස සරු බවටද පත් වෙනවා.නමුත් නයිට්‍රජන්, සිරුරේ වෙනත් ද්‍රව්‍ය, පනුවන්ගේ ද්‍රව්‍ය ආදිය  විෂ වීම නිසා ළඟම ඇති ශාක මැරෙන්න පුළුවන්.

මේ කතා කලේ සාමාන්‍ය පරිසරයට මල සිරුරක් එකතු වුනොත් සිදුවන විපර්යාසය. ඒක වුනත් මල සිරුර තිබෙන්නේ කාන්තාරයක ද , හිම බිමකද , පොළව යට ද වැනි කරුණු මත මේ තත්වයන් වෙනස් වෙන්න පුළුවන්.

දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් මල සිරුරු එම්බාම් කරනවා නේද කියන එක. ඔව් එම්බාම් කල සිරුරුත් දිරනවා. නමුත් එම්බාම් එකේ ස්වභාවය මතත්,මිනී පෙට්ටියේ ස්වභාවය මතත්, පොළවට යට කරන ප්‍රමාණය මතත් වැනි දේවල් මත සිරුර දිරා යන්න ගත වන කාලය වෙනස් වෙනවා.

අවසානයේ කියන්න තියෙන දේ මේකයි. සිරුර කියන්නේ මේ විශාල වූ විශ්වයට මුදාහරින්න මග බලාගෙන ඉන්න,ශක්ති ස්වභාවයන්  හිරකරගත් ද්‍රව්‍ය පුංජයක් . අපිට පණ තියෙනකොට ඉතාම සංවිධානාත්මක වින්‍යසයකට අනන්ත සංඛ්‍යාවක් පරමාණු පවත්වා ගන්න අපි ශක්තිය වැය කරනවා.

තාප ගති විද්‍යාවේ නියමයන්ට අනුව ශක්තිය මවන්න වත් විනාශ කරන්නවත් බැහැ . එක ශක්ති ප්‍රභේදයක් තව එකකට පරිවර්තනය කරන්න පුළුවන්. අවසානයේ ශක්තිය ඒක දිශානතිකව විසිර යනු ඇත. වෙන විදියකට කිව්වොත් පද්ධතීන් එහි ඇති ශක්තීන් නිදහස් කරමින් බිඳ වැටෙනවා. විශ්වයේ ඇති සියළු ද්‍රව්‍ය මේ සනාතන නියමයන්ට යටත් වන බවට කියා පෑමක් තමයි මේ කුණු වීම. එය අප බිඳ දමමින් අපේ සිරුරු ගත ද්‍රව්‍ය අවට පරිසරයට මුසු කරමින් සමතුලිත තාවය පවත්වා ගන්නා අතර ප්‍රතිචක්ක්‍රිකරණයෙන් එම ද්‍රව්‍ය අනිකුත් ජීවීන්ට ලබා ගැනීමට හැකි තත්වයට පත් කරනවා.

ඔව් ....අපි දුවිල්ලෙන් සෑදී සිට නැවත දුවිල්ලට එකතු වෙනවා. 

(The Guardian ඇසුරිනි.)

Photo by Anton Darius on Unsplash

2 comments:

  1. ඉතාම වැදගත් කරුණු රාශියක් සරල ආකාරයට ඉදිරිපත් කර තිබෙනවා. මේ කරුණු අපගේ ජීව විද්‍යා විෂයයමාලාවටත් යන්තමින් හෝ ඇතුලත් කළහැකිනම් හොඳයයි සිතුනා.
    වරක් රුපවාහිනි ධර්ම දේශනයක මෙහි සමහර කරුණු කියවුනා මතකයි. ඒ උනත් ඔබගේ විද්‍යාත්මක විග්‍රහය ඊට වඩා අගෙයි.
    නීතිමය හේතු මත මළ සිරුරක් ගොඩගෙන දිනවකවානු ගැන තීරණ වලට බැසීම ගැනද පාඨකයින් දැනුවත් කළහොත් තවත් වටිනවා. ඒ සමගම කලක් ගතවූ පසු ලැබෙන විසිරි ගිය අස්ථි කැබලි අනුසාරයෙන් පවා හදිසියේ මියගිය කෙනෙකු පිලිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමත් විද්‍යාවට සම්බන්ධ බවද විස්තර කළහොත් හොඳයි.
    මේවා ගැන තව blog එකක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. Thank you Sir, for appreciating my article. I will try to find the facts you mentioned here.

      Delete