Tuesday, November 13, 2018

පණු රෝග - 03 කිරි පණු රෝගය


පණු රෝග - 03

තුන්වෙනි පණු වර්ගය ලෙස අද අපි කතා කරන්නේ කිරි පණුවන් ගැන.
Phylum - Nematoda
Scientific name: Enterobius vermicularis

මොවුන් ඉතා කුඩා පණුවන්. ප්‍රමාණය දිගින් 5-10 mm පමණ වෙනවා. සුදු /ක්‍රීම් පාටක් ගන්නවා. හීන් නුල් කෑලි වගේ ඇහැට පෙනෙන්නේ. පණුවෝ සති 6ක් විතර ජීවත් වෙනවා. වැඩුණු පණුවන් මහ බඩවැලේ හා ගුද මාර්ගයේ ජීවත් වෙනවා.

වැඩුණු ගැහැණු පණුවන් රාත්‍රී කාලයේ අදාළ තැනැත්තාගේ ගුදය හා ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගය අසලට පැමිණ බිත්තර දමනවා. එක් පණුවෙක් පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා බිත්තර දහස් ගණනක් දමනවා. මේවා ගුදයේ සිට යට ඇදුම්,ඇඳ ඇතිරිලි, තුව හා කාපට් මතට විසිරෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණු පණුවා බිත්තර දාද්දී පිට කරන ස්ලේශ්මල වර්ගයක් නිසා ඒ ප්‍රදේශය කැසීම ඇතිවෙනවා.කැසීම නිසා ඔබේ අත් වලට පණු බිත්තර එනවා. එවිට ඔබේ අත්වල සිට ඔබ ස්පර්ශ කරන සෙල්ලම් බඩු ,කුස්සියේ උපකරණ,දත් බුරුසු,කුස්සියේ හා නාන කාමර වල මතුපිට ස්ථාන ආදී සෑම තැනකටම මේ බිත්තර යනවා.

මේ බිත්තර වලට සති තුනක් පමණ යම් මතුපිටක නොනැසී ඉන්නට පුළුවන්. ඔබේ අත්වල තැවරුණු බිත්තර ඔබේ අත් වලින්ම ඔබේම මුඛයට ගිහින් ගිලෙන්න පුළුවන්.

මේ බිත්තර ඉතා කුඩා නිසා ඒවා තැවරුණු තුවායක් හෝ ඇඳ ඇතිරිල්ලක් ගැසුව හොත් මේවා වාතයට එකතු වී පාවෙමින් ඇවිත් ඔබේ හුස්ම සමග නාසයෙන් ඇතුල්වී උගුරට ගිහින් ගිලෙන්නත් පුළුවන්.

ගිලෙන බිත්තර ඔබේ බඩවැල් වලට ගිහින් එහිදී පුපුරා පණුවන් එලියට එනවා. සති දෙකකින් පස්සේ වැඩුණු තත්වයට ඇවිත් ආපහු බිත්තර දාන්න පටන් ගන්නවා.

මේ පණුවන් අසාදනය වෙන්නේ මිනිසුන්ට විතරයි. නමුත් මිනිසුන්ගෙන් පැතිරෙන බිත්තර සතුන්ගේ ලෝමවල රැදී ඒ සතුන් අල්ලන මිනිසුන්ට නැවත එන්න හැකියාවක් තියෙනවා. කුඩා දරුවන් තමයි වැඩියෙන්ම රෝගී වන්නේ.

ඉතින් මොනවාද මේ පණුවන් අපිට අසාදනය වුනොත් තියෙන රෝග ලක්ෂණ ?
1. විශේෂයෙන් රාත්‍රී කාලයට ගුද මාර්ගය අවට කැසීම
2. යෝනි මාර්ගය අවට කැසීම
3. කැසීමෙන් ඇතිවන අසහනකාරී තත්වය නිසා නින්දට බාධා පැමිණීම

ඔබට තද බල ලෙස හා දීර්ඝ කාලීනව අසාදනය තිබුනොත් ආහාර අරුචිය,දේහ බර අඩුවීම හා තදබල නොසන්සුන්තාව ඇතිවීමට පුළුවන්.

සමහර විට රෝගියාට කිසිම රෝග ලක්ෂණයක් නොතිබෙන්නත් පුළුවන්. එත් ඔහුගෙන් අනික් නිරෝගී අයට රෝගය බෝවෙන්න පුළුවන්.

හුගාක් දෙනා කලින් ලිපි වල ප්‍රතිකාර අසා තිබු නිසා ඒ ගැන කියන්න හිතුවා.
දරුවන්ට කිරි පණු රෝගය ඇත්දැයි බැලීමට පුළුවන් රාත්‍රී ඔවුන් නින්දට ගොස් පැය දෙකකට පසු ගුදය අවට පරීක්ෂා කිරීමෙන්. වැඩුණු පණුවන් ඔබේ ඇසට පෙනෙනවා. බිත්තර නම් පෙනෙන්නේ නැහැ.
ඔබට හෝ දරුවාට කිරිපණු රෝගය තිබේ යයි දැනගත් විට පනුබෙහෙත් ගැනීමෙන් එය සුවකරගන්න පුළුවන්. නමුත් පවුලේ රෝගය ඇති නැති හැමෝම එකවර ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

රෝගය කඩා ගන්න, එනම් නැවත ඇතිවීම වළක්වා ගන්න සති දෙකකින් පසු නැවත පණු බෙහෙත් ගන්න වෙනවා. ඔබ over the counter බෙහෙත් ගන්නේ නම් ඒවායේ ඇති උපදෙස් හොදින් කියවන්න. හැම බෙහෙතම හැම දෙනාටම ගැලපෙන්නේ නැහැ. ඒ අතර අපේ පාරම්පරික අත්බෙහෙත් ගැනද සොයා බලන්න.






ඉතා වැදගත් - ඔබ ගර්භණී නම් හෝ ඔබේ දරුවා අවුරුදු දෙකට අඩු නම් හෝ ඔබ කුඩා දරුවෙකුට මව් කිරි දෙන කෙනෙක් නම් හෝ වෛද්‍ය උපදෙස් නැතිව පණු බෙහෙත් ගන්න එපා.
මේ අතර ඔබට විශාල සෞඛ්‍යමය වැඩ පිළිවෙලක් ද කරගෙන යන්න වෙනවා.
1.ගෙදර ඇති සියලුම ස්ථාන පිරිසිදු කරන්න.
2. යට ඇදුම්, ඇඳ ඇතිරිලි ආදිය උණු වතුරෙන් සෝදන්න.
3. ඔබ සැමත් නිතර හොදින් පිරිසිදු වන්න.
4. කෑමට පෙර හොදින් අත් සෝදන්න.
5. නිදන කාමරවල ඉදන් කෑම ගන්න එපා.
6. කාපට් හොදින් vacuum කරන්න.ගේ තුළ කාපට් ගසන්න එපා.

3 comments:

  1. කාටත් ප්‍රයෝජනවත් වැදගත් ලිපියක්.
    ව්ශේෂයෙන්ම පවුලේ සියලු දෙනාම ආහාර ගැනීමට පෙර අත් සේදීම ගැන සහ තුවා, යට ඇඳුම්,ඇඳ ඇතිරිලි ආදිය පිරිසිදුව තබා ගැනීම පිළිබඳවත් සැලකිලිමත් වීම අඩුකම මෙම අසාදනය පැතිරී යාමට ප්‍රධානම හේතුවකි. එසේ දැනුවත් කිරීම හරි වටිනවා.
    කිරිපණු අසාදනය ඇතිවිට ළදරුවෝ සහ සමහර කුඩා දරුවෝ මුනින් තලා වී ගුද විවරය සහ තට්ටම් ඉහලට සිටින ලෙස දන හිස් නමාගෙන නිදා ගන්නා බව අසා තිබෙනවා.
    අප කුඩා කාලයේ අපට මේ අසාදනය වැලැක්වීම සඳහා මොණකුඩුම්බිය කොළ මැල්ලුම සහ මොණකුඩුම්බිය කොළකැඳ සකස් කර දීමට වැඩිහිටියෝ උනන්දුවුවා මතකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට අදහස් දැක්වීම ගැන. එරබදු දළු මැල්ලුම පණු රෝග වලට දෙන බව කියවෙනවා. ඒත් දැන් දේශීය එරබදු ගස් අඩු වීමක් තියෙනවා. පොල් කෑ විට පණුවන් හැදෙනවා කියල මිනිස්සු කියනවා. පොල් හෝ තෙල් සහිත කෑම රාත්‍රී ආහාරයට ගත් විට පණුවන් ගුද මාර්ගය අවටට පැමිණීමේ වැඩි බවක් අත් දැක තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති මතය ඇති වෙන්න ඇත්තේ. තාවකාලික සහනයක් විදියට තෙල් ස්වල්පයක් ගුදය අවට ගෑමෙන් දරුවන්ගේ අසහනය අඩු කරන්න පුළුවන්,මොකද පණුවන් ආපසු ඇතුලට යනවා.

      Delete