Tuesday, April 23, 2024

ජීවියෙකු විසින් තව ජීවියෙකු ගිලදැමීම Endosymbiosis

ජීවියෙකු විසින් තව ජීවියෙකු ගිලදැමීම

නයිට්රජන් තිර කරන ඉන්ද්රයිකාව



ක ජීවියෙකු විසින් අනිකකු ගිලදමා ඒ ගිලගත් ජීවියා තම කාර්යක් කිරීමට යොදා ගැනීම Endisymbiosis කියලා හඳුන්වනවා. සෛල ඇතුළේ ඒ ඒ වැඩ කරන කාමර ඉන්ද්රයිකා කියලා හඳුන්වනවා.
ඔබට මේ Endosymbiosis මෙහෙම තේරුම් කරවන්න මං උත්සාහ කරනවා.
දැන් හිතන්න ඔබ හැමදාම (අවුරුද්දක් තිස්සේ කියමු) යම්කිසි බෙහෙතක් එක පෙත්තක් බොනවා බෝතලයකින් අරගෙන. ඒක අතපසු කරන්න බෑ. යම් විදියකින් ඔබ ඒ බෝතලය ගිලිනවා කියලා හිතන්න. දැන් ඇඟ ඇතුලේ ඒ බෝතලයක් ස්වයංක්රීයව දවසට එක පෙත්ත ගානේ නිදහස් කරනවා කියලා හිතන්න. එතකොට ඔබේ අර අමතර කාර්ය බෝතලය ඇඟ ඇතුළේ ඉඳන් කරනවා.
ඇත්ත ලෝකේ එහෙම අවස්ථා දෙකක් ගැන ජීව විද්යා පොතපතවල තියෙනවා.
1. මීට අවුරුදු බිලියන 2.2 කට පෙර Archea බැක්ටීරියාවක් වෙනත් බැක්ටීරියාවක් ගිලදමා එය මයිටොකොන්ඩ්රියාවක් බවට පත්වී සෛලයේ ශක්ති බලාගාරය බවට හරවා ගැනීම. මයිටොකොන්ඩ්රියා වෙනම බෙදී දුහිතෘ සෛල වලටත් යනවා.
2. මීට අවුරුදු බිලියන 1.6කට පෙර තරමක් දියුණු සෛලයක් Cyanobateriaවක් ගිලදමා එය හරිතලව නැත්නම් ආහාර නිෂ්පාදනාගාරය බවට පත්කර ගැනීම. හරිතලවද වෙනම බෙදී නව පරම්පරාවට ඇතුළු වෙනවා.
දැන් Cell හා Science ජර්නලවල පලවී ඇති නවතම Endosymbiosis උදාහරණය නම් Braarudosphaera bigelowii නම් ඇල්ගාව ULYN - A නම් Cyanobacteria වක් ගිලදමා එය නයිට්රජන් තිර කරන මධ්යස්ථානය නැත්නම් ඉන්ද්රයිකාව බවට පත්කර ගැනීමයි. මේ නවතම ඉන්ද්රයිකාව Nitrocyst කියලා හඳුන්වනවා.
මේකේ වැදගත්කම මොකක්ද? ඔයාලා දන්නවා වායුගෝලයේ 78%නයිට්රජන් වායුව තියෙන බව. ඒ වගේම නයිට්රජන් ගහකොළ වැඩෙන්නට ඕන බව. හැබැයි මේ මහා නයිට්රජන් ප්රභවයෙන් සත පහක දෙයක් ගස්වලට ගන්න බෑ. එහෙම ගන්න පුළුවන් බැක්ටීරියා හා සයනොබැක්ටීරියාවලට විතරයි. මේ Braarudosphaera ඇල්ගීවලටත් බෑ. අන්න ඒ නිසා ඒ වැඩේ කරවා ගන්න නයිට්රෝසිස්ට් එකක් හදාගැනීම වැදගත් දෙයක්.
මේ සොයාගැනීම වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණ ප්රථිඵලයක් විදියට තමයි එළියට එන්නේ. වැඩි විස්තර ඒ ජර්නල්වලින් කියවා ගන්න පුළුවන්.
පින්තූරය මං අතින් ඇන්දා

Tuesday, April 16, 2024

සුදු රෝස White Roses - 8

සුදු රෝස White Roses 

අටවැනි (අවසාන ) කොටස 




දින දෙක තුනක් ගතවී ගියත් චාරුකා බැලීමට යාමට මට එතෙක් හිත හදාගන්නට බැරි විය. ඒ මගේ පැත්තෙන් හිතනවාට වඩා ඇගේ පැත්තෙන් සිතීමෙනි. මාත් ඇයත් අතර තිබූ ඒ සමීප සම්බන්ධය ලොවට හොරෙන්ම වැළලී යාමට ඉඩදීම යෙහෙකැයි අවසානයේ මම හිත හදා ගත්තෙමි. ඒත් රබර් බෝලයක් ඔබන්න ඔබන්න උඩට එන්නාක් මෙන් අවසන් වරට ඇගේ ඇස් පියවෙන්න්ට පෙර ඈ බැලීමට යන්නැයි මගේ සිත  මට ආයාචනය කරන්නට විය.

මම ඇගේ පියාට දුරකථන ඇමතුමක් ගත්තේ සැලෙන හදවතිනි.

තාත්තා දැන් චාරුකාට කොහොමද?”

හුඟක්ම අමාරුයි පුතා. සැරින් සැරේ ඇස් අරිනවා විතරයි  මට ඇගේ අනුරාගය පිරි ලොකු ඇස් මතක් විය. ඒ ඇස් නුදුරේම යළි නොඇරෙන්නම වැසී යනු ඇත. ඊට කලින් එක් වරක් හෝ ඒ ඇස් දැක ගත යුතු නේද?

මම ඉක්මනින් එන්නම් තාත්තා. ඕනෑම දේකට මට කතා කරන්න. සල්ලි වුණත් ප්‍රශ්නයක් නැහැ.”

බොහොම ස්තුතියි පුතා බුදු සරණයි!”

මම දුරකථනයේ ගැලරියට ගොස් චාරුකාගේත් මගේත් සුන්දර අතීතය නරඹන්නට වීමි. බොහෝ පින්තූර ම විසින් ඉවත් කර තිබූ අතර ලොකු ඇස්වලින් ඈ ම දෙස බලා සිටින පින්තුරයක් එහි රැඳී තිබුණි. එදින රැයේ මගේ දුර බණුව හදිසියේ නද දෙන්නට වූයයෙන් මා එය අතට ගත විට ඒ චාරුකාගේ පියාගෙන් විය.

තාත්තා!”

ඔක්කොම ඉවරයි පුතා. දරුවා අද උදේ සදහටම ඇස් පියා ගත්තා. බොඩි එක තව ටිකකින් ගෙදරට ගේනවා. එයාගේ ඉල්ලීම අනුව ඉක්මනින් අවසන් කටයුතු කරනවා. මම මේ දන්වන්න ඕන අයට දන්වන ගමන්

 මගේ අතින් දුර බණුව බිම වැටුණි. මා වහා පහත්වී එය රැගෙන කණගාටුව පළකර මා ඉක්මණින් පැමිණෙන චාරුකාගේ පියාට බව පවසා සංවාදය නවතා දැමුවේ තව දුරටත් කතා කිරීම අපහසු බව දැනෙමින් පැවති නිසාය. මා හැම දෙයටම ප්‍රමාද වූවා වැඩිය. ඒ ලොකු ඇස් දැන් ඉතින් මා දෙස කවදාවත් බලන්නේ නැත. මට චෝදනා කරන්නේ නැත. මා විසින් ඇය හැර දැමීම ඈ මැසිවිල්ලකින් තොරවම පිළිගත්තා ය. ඒ ඇගේ අසනීපය ඈ හඹා ආ නිසා ද?

මගේ යාලුවා නැති වෙලා අම්මා!” මම අම්මාට කීවේ ඇත්තක්ම නොවේද?

අපොයි අසරණ දරුවා!” කාගේ කවරෙක්දැයි නොදැන වුවත් අම්මා සිය කණගාටුව හදවතින්ම ප්‍රකාශ කළාය.

පසුදා උදේ මම මහරගම බලා පිටත් වීමි. අතරමග පන්නිපිටියේදී  සුපිපි ෆ්ලෝරා මල් කඩයට ගොස් සුදු රෝස මල් පොකුරක් ගත්තෙමි.

නෑ සුජාන් මට ආසා සුදු ලස්සන දිග වෙඩින් ෆ්රොක් එකක් ඇඳලා, ඔයාගේ අතින් මෙන්න මේ ඇඟිල්ලට මුද්දක් දාලා පොඩි සුදු රෝස මල් පොකුරක් අතට ගන්න විතරයිඇගේ මුදු මොළොක් හඬ වාතලයේ විසිරී විත් මගේ දෙසවනට ඇතුළු විය. මම දැවී ගියෙමි.

මල් පොකුර නැහැයට ළං කර එහි සුවඳ බැලු මම එය කාරයේ පිටුපස අසුනේ සුරැකිව තබා මහරගමට ගොස් එතැනින් ගොඩිගමුවේ චාරුකාගේ නිවස දෙසට ධාවනය කළෙමි. මග දෙපස සුදු කොඩි මගේ සිතට ඇතුළු කළේ වචනයෙන් විස්තර කළ නොහැකි ගුඪ මූසල හැඟුම් සමුදායකි. හදවතට යකුලකින් පහර දෙන්නාක් මෙන් මගේ සිත මට දඬුවම් දෙමින් සිටියේය.

වාහනය රථ නැවතීම සඳහා සකස් කළ හිස් භුමියේ නවතා රෝස මල් පොකුර එසේම තිබෙන්නට හැර රථය අගුලු දැමූ මම චාරුකාගේ වත්තට ඇතුළුවී නිවෙස දෙසට පියවර තැබුවෙමි.

එහි වැඩි සෙනගක් නොවිය. චාරුකාගේ පියා මා හඳුනා ගත්තේය.  මට දෙඅත් එකතුකර මට ආචාර කළේය. මමත් ප්‍රති ආචාර කළෙමි.

එන්න පුතා කියමින් මට ඉදිරියෙන් දේහය වෙත යන ඔහු අනුව මම පියවර තැබුවෙමි.

චාරුකාගේම හැඩරුව ඇති සුදු ඔසරියකින් සැරසී සිටි මැදි වියේ කාන්තාවක් වෙත පළමුව ගිය ඔහු,

මේ පුතා තමයි මං ඔයාට කිව්වේ චාරුකා ඇමෙරිකාවේ දී අඳුරන නිසා බලන්න ආවා කියලා. මේ චාරුකාගේ අම්මා කියා ඒ කාන්තාවට මා හඳුන්වා දුන්නේය.

අනේ පුතේ බලන්න මේ දරුවට වෙච්ච දෙයක් ඈ සිය අත් ලේන්සුවෙන් මුව වසා නැග ආ ඉකිය වලකා ගත්තාය.  ඇගේ ශෝකාකුල ඇදී ගිය මුහුණ මගේ සිතේ මහා තෙරපුමක් ඇති කිරීමට සමත් විය. මම මදක් ඉදිරියට නැමී ඒ මාතාවට ආචාර කළෙමි.  ඒ සමගම මට එකවර ඇතිවූ චකිතය වූයේ ඈ චාරුකාගෙන් මා ගැන දැනගෙන ඇතිද යන්නයි. එහෙත් ඇගේ දේහ බස එවැන්නක් ඉඟි කළේ නැත. මම සැනසුම් සුසුමක් හෙලීමි.

ඉන් ඉක්බිති අපි තිදෙනා චාරුකාගේ නිසල දේහය වටා සිටගෙන සිටියෙමු. ඇගේ ලොකු ඇස් පියවි තිබුණේය. මා අසල සයනයේ වම් පසින් සිය ලොකු ඇස් පියාගෙන විටෙක බොරුවට මා රවටා නිදි බවට රඟ පෑමටත් විටෙක ඇත්තටමත් ඈ අහිංසක ලෙස නින්දේ පසුවී සිටි ආකාරය මගේ සිතේ සළ රූ පෙළක් පරිද්දෙන් මතුවී එද්දී මම උගුරේ හිරවුණු ගුලියකින් පීඩා විඳිමින් තව දුරටත් ඇගේ නිසල දේහය දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටියෙමි.  ඇගේ මුහුණේ හකු ඇට වඩාත් උස්ව මතුව තිබුණේ රෝගය හේතුවෙන් ඈ කෘෂ වූ නිසා විය යුතුය. ඈ ආසා කළ ආකාරයේ සුදු දිග ලේස් ගවුමක් ඇඳ සිටි මුත් අතේ රෝස මල් පොකුරක් තිබුණේ නැත. දේහය වටා වත් මල් තිබුණේ නැත, ඈ දෑත ළයට මදක් පහළින් බැඳ ගෙන නිසලව උඩුකුරුව වැතිර සිටියාය. කෙදිනක හෝ මගේ අතින් රන් මුදුවක් පළඳින්නට බලාසිටි ඇගේ ඇගේ සිහින් දිගු ඇඟිලි සුදු අත්මේස් වලින් වැසී තිබුණේය.

නෑ සුජාන් මට ආසා සුදු ලස්සන දිග වෙඩින් ෆ්රොක් එකක් ඇඳලා, ඔයාගේ අතින් මෙන්න මේ ඇඟිල්ලට මුද්දක් දාලා පොඩි සුදු රෝස මල් පොකුරක් අතට ගන්න විතරයි

ඇගේ කටහඬ ඇසෙන්නේ කොහේ සිටදැයි මම වටපිට බැලුවෙමි.

මං රෝසමල් පොකුර ගෙනාවා චාරු ...ඒත් ඒක ඔයාගේ අතට දෙන්න තරම් මට තිබුණු හයිය මං නැතිකර ගත්තේ මීට මාස ගණනකට ඉස්සර චාරු.”

මගේ ඇසට කඳුළු එද්දෝයි බියක් මට ක්ෂණිකව ඇතිවිය. ඇත්තෙන්ම මෙතෙක් මා ඇය හා එකතුවී සිටියේ නම් මා මිළදී ගත් සුදු රෝස පොකුර ගෙනවිත් ඇගේ හිස්වූ දෑත් මත තබා ඇගේ අහිංසක ආසාව ඉටු කිරීමට ඉඩක් ලැබෙන්නට තිබුණි. එහෙත් වළලා දැමූ කතාවක් මෙතැන යළි ගොඩ ගැනීමෙන් ඇතිවන යහපතක් නැත. එවැන්නකට තටු ලැබී පියාසර කිරීමට ඒ රටේදී එතරම් වෙලාවක් යන්නේ නැත. එයින් කිසිවෙකුටත් සෙතක් අත්වන්නේ ද නැත.

වාඩිවෙන්න පුතා යනුවෙන් චාරුකාගේ මවගේ කටහඬ සමග පියවි ලොවට පිවිසි මම එතැන අයිනක තිබූ පුටුවක් මතට බර විමී. දැරියක් මට කෝපි බඳුනක් පිරිනැමුවා ය. උගුර කට වියළී තිබුණෙන් එය මට අමෘතයක් බඳු විය. වරින් වර සෙනග පැමිණ චාරුකාට අවසන් ගෞරව දැක්වූහ. මා දන්නා අඳුනන කිසිවෙකුත් හමු වුයේ නැත.

මම කලින්ම චාරුකාගේ ඉදිරි පිංකමක් සඳහා යොදා ගන්නා මෙන් කියා සෑහෙන මුදලක් කවරයකට දමා ඇගේ පියාගේ අත තැබුවේ කිසිවෙකුත් නැති මොහොතක් බලා මහත් චකිතයකිනි. එහෙත් කිසිදු අදිමදි කිරීමකින් තොරව පිං සිද්ධ වෙච්ච්වේ පුතා කියා ඔහු එය භාර ගැනීම මට මහත් අස්වැසිල්ලක් විය. චාරුකාගේ පියා මට කී පරිදි එංගලන්තයේ සිටි චාරුකාගේ සොහොයුරා කලින් දෙවරක් පැමිණ ගොස් තිබුණු අතර අවසන් කටයුතු සඳහා පැමිණෙන්නේ ඒ මොහොතේ බව දන්වා තිබුණෙන් පවුලේ ඥාතීහු ඔහු බලාපොරොත්තුවෙන් ඉන්නා බව කතාබහෙන් මට තේරුම් ගියේය. ටික වෙලාවක් ගතවීමත් සමග ඇගේ මුහුණුවර ඇති තරුණයෙක් ශාලාවට ඇතුළුවනු පෙනුනි.

"මේ අපේ පුතා රවීන්. මේ නංගිගේ ඇමරිකාවේ හිටපු යාළුවෙක්." ඔහු සිය නැගණියගේ දේහය කරා යාමටත් පෙර චාරුකාගේ මව මට ඔහු හඳුන්වා දුන්නාය.  මම නැගිට ඔහුට අතට අත දුන්නෙමි.

ඔහු සිය නැගණියට කඳුළු පිරි දෙනෙතින් යුතුව අවසන් ගෞරවය දැක්වීමෙන් අනතුරුව  වැඩම කළ හාමුදුරුවරු දෙනමක් හමුවේ මතක වස්ත්‍ර පිදීමේ චාරිත්‍රය සිදු කරන ලදී. වෙනත් කතාබහ කිසිවක් නොවිය. සවස හතරට පමණ දේහය සොහොන් බිම වෙත රැගෙන යාම ආරම්භ විය. මම අවසන් වරට ඒ මුහුණ දෙස බලා දෙඇස පියා ගතිමි. පාදාන්තයේ සිට කේශාන්තය දක්වා හිරිවැටීමක් බඳු වචනයෙන් විස්තර කිරීමට අපහසු සියුම් කම්පනයක් ඇතිවි නැතිවි ගියේය. පෙට්ටිය වසන හඬ වෙනත් ලෝකයක සිට මෙන් ඇසෙන්නට විය. පවුලේ අයවලුන් විසින් කරට ගත්  දේහය ඉදිරිපස විශාල ගේට්ටුවෙන් ඔබ්බෙහිදී අවමංගල රථයේ තැන්පත්විය. පවුලේ අයට පිටුපසින් මම සෙමින් ඉදිරියට ඇදුණෙමි.

මගේ රථයේ පිටුපස අසුනේ සුදු රෝස මල් පොකුර දුක්බරව බලාගෙන සිටියේය. මම රථයට නැගී අවමංගල පෙරහැර පිටුපසින් යන රථ පෙරහැරට එකතු වීමි. එහෙත් මගදී එය මගහැර අතුරු පාරක  සෙවන සහිත පාළු තැනක රථය නවතා ගතිමි. මට මහා හයියෙන් අඬන්නට ඕනෑ විය. මම සුක්කානම මත හිස තබාගෙන අඬන්නට වීමි. කඳුළු පිටවී යත්ම හිතට ඇතිවූයේ සැහැල්ලුවකි. කාලය ගතවී තිබුණේ මට නොදැනීමය. වෙලාව සවස හය පසුවී තිබුණි.

මම රථය ප්‍රධාන පාරට දමා සුසාන භුමිය කරා සෙමෙන් එය ධාවනය කළෙමි.  ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවත්ම අවමංගල අවස්ථා සඳහා පැමිණි අය පිටවෙමින් සිටිනු දක්නට ලැබුණි. අඳුර වහ වහා බිමට පහත් වෙමින් පැවතියේය. සුසාන භුමිය වටා ඇති උස ගස්වල සෙවනැලි මහා දිගට බිම දිගේ වැතිරෙමින් තිබුණේ අද පස්වලට යට වූවන්ට සෙවන සලසන අයුරක් කියා පාමිනි. රථය නවතා එයින් බැස ඇවිද ගොස් චාරුකාගේ සිරුර තැන්පත් කළ තැනට ඇදුනෙමි. ඇගේ නම සහිත බැනරය නිසා එය හඳුනා ගැනීම පහසු විය. සැරසිලි වශයෙන් තිබුණේ ගොක් රැහැන් කිහිපයක් පමණි. සෙවනැලි අතරෙන් පෙරී ආ රන්වන් හිරු කිරණ අලුතෙන් ගොඩ ගැසූ පස් කැට මත ඇතිරී තිබුණේ දෛවය කියා දෙයක් ඇත්නම් එය විසින් චාරුකාට උරුම කර දී තිබූ එදිනෙන් ඇරඹෙන ඇගේ අවසන් නින්දට සුබ පතන්නාක් මෙනි. සියල්ලෝ එතනින් ඉවත්ව ගොස් ඇති බව තහවුරු වූ පසු ආපසු රථය වෙත පැමිණ සුදු රෝසමල් පොකුර ගෙන නැවත සොහොනට ගොස් උස්කර සකස් කර ඉටිපන්දම් දෙකක් දල්වා තිබුණු සොහොන මත මල් පොකුර තැන්පත් කළෙමි.

"චාරු මෙන්න ඔයා අසාවෙන් ඔය දෑතට ගන්න බලා හිටිය ලස්සන් පොඩි සුදු රෝස මල් පොකුර"

මම හැකි ඉක්මණින් රථය කරා පැමිණ එය පණ ගන්වා එතැනින් පිට වුණෙමි. තවත් පැය භාගයක් ඇතුළත මම දකුණු අධි වේගී මාර්ගයේ දකුණට ගමන් කරමින් මගේ අරමුණක් නැති නොනවතින ජීවිත ගමන යළි ආරම්භ කරමින් සිටියෙමි.

Image from Pexels free images

©malinieganewatta2024

  

Friday, April 5, 2024

සුදු රෝස White Roses - 7

 

සුදු රෝස White Roses 

හත්වැනි කොටස 





ස්ථානයේ වූයේ දැල් ගසා මල් වැල් වර්ගයක් යවා තිබූ වැටක් මැද්දෙන් විශාල වත්තකට ඇතුළුවන හැර දමා තිබූ ගේට්ටුවකි. නිශ්චිතවම එතැන ඇත්තේ චාරුකාගේ නිවස ද යන්න පිළිබඳ ක්ෂණික කුකුසක් මට ඇති විය. මම වත්තට රථය ඇතුළු නොකර රථය නවතාගෙන වට පිට බලනවාත් සමග වයසක තැනැත්තෙක් ගේට්ටුවෙන් පිටතට පැමිණෙමින් සිටියේය. මම රථයේ ඉදිරිපස වීදුරුව පහළට කර ඔහු හා සිනාසී කතා කරන්නට මග පාදා ගතිමි.

මේ වල්පිට මහත්තයාගේ ගෙදර නේද අන්කල්?” මම ඔහුගෙන් ඇසුවෙමි.

ඔව්, සර්, මහත්තයා ගෙදර ඉන්නවා. යන්න  කියා යටහත්  පහත් ස්වරූපයකින්  මට කීවේ මා දන්නා හඳුනන කෙනෙකු තරමට සිතාගෙන ය. සාමාන්‍ය ගැමියාගේ ස්වභාවය එයයි. මම රථය ගේට්ටුවෙන් ඇතුළු කිරීමට හරවන විටත් ඉදිරිපස වීදුරුව හැර තිබුණු අතර අනේ වල්පිට මහත්තයලට වුණු දෙයක් යයි  වයසක පුද්ගලයා කියනු මට යන්තමින් ඇසුණත් නැවත ඒ ගැන ඇසීමට යාම චාරයක් නැති දෙයක් ලෙස දැනුණු බැවින් වීදුරුව වසා දමමින් මම රථය වත්තට ඇතුළු කළෙමි.

නිවසේ ජනේලයක් පමණක් විවෘතව තිබුණි. මම සීනුව නාද කර මහත් නොඉවසිල්ලෙන් බලා සිටියේ දොර ඇරෙන තුරුය.

අරුණු දොරින් මැදි වයසේ ප්‍රතාපවත් පුද්ගලයෙක් මතු විය.

ඔහුගේ මුහුණේ මා කවුරුද යන්න පිලිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති බව මට පෙනී ගියෙන්

මේ වල්පිට මහත්තමයා ද?” කියා ඇසුවෙමි

ඔව්, පුතා කවුද කියලා මට නිච්චි නැහැ

මා මුලින් වචන පාවිච්චි කළේ ඉතා පරිස්සමටය

මම චාරුකා අඳුනන කෙනෙක්. ඇමරිකාවේ දී අපි එකම එපාර්ට්මන්ට් කම්ප්ලේක්ස් එකක ටික කලක් ඉඳලා තියෙනවා. ලංකාවේ අපි කීප දෙනයි නේ ඉන්නේ. ඉතින් අපි එකිනෙකා ගේ තොරතුරුකතා බස් කරනවා සමහර විට එයා මගේ ගැන කියන්නත් ඇති. මම මේ මහරගමට ආවා මගේ යාළුවෙක් ලෙඩ වෙලා හොස්පිටල් ඉන්නවා බලන්න. ඉතින් චාරුකා කිව්ව ලිපිනයට මෙහෙට එන්න හිතුණා.”

ඔව් ලංකාවේ අය හමු වුණහම එයා අපට කියනවා. මට විශේෂයෙන් මතක නැහැ පුතා.  මේ දවස්වල මගේ මතකයත් ඒ තරම් හොඳ නෑ කියලා හිතෙනවා.

ඔහුගේ ස්වරය ඉතාම දුක්බර එකක් බවට හැරුණි.

මා ගැන විශේෂයක් ඔහු තුළ තිබෙන්නට නැති බව තහවුරු වූයෙන් මම සැනසිල්ලට පත් වීමි.

ඔව් මටත් ළඟදී චාරුකා හමු වුණේ නැහැ තාත්තා.”

එහෙමද පුතා?  .... ඒ කියන්නේ ඔය ළමයා අලුත්ම තොරතුරු දන්නේ නැති හැඩයි.”

ඒ කියන්නේ මොකක් ද තාත්තා?”

චාරුකා දැන් ඉන්නෙත් ඒ රෝහලේම තමයි පුතා.”

එයා ලංකාවට ආවද? ඇයි ඉස්පිරිතාලේ ඉන්නේ?”

චාරුකාගේ පියා හිමාලය වුවත් සසල කරන තරම් බර සුසුමක් වාතලයට පිටකර වචන එකතු කිරීමට ප්‍රයත්නයක් දරණ අතරේ ඇසට නැගුණු කඳුලක් දෝ වම් අතේ පිටි අත්ලෙන් පිසදමා මදෙස නැවත බැලුවේය. ඉක්බිති එකතුකළ වචන මුදා හැරියේය.

දැනට මාස දෙකහමාරකට  උඩදී එයාට පිළිකාවක් බව දැන ගත්තා. ඉතින් අපි එයා මෙහෙ ගෙන්න ගත්තා. ඒක බොහොම ඉක්මනින් පැතිරෙන එකක්. සර්ජරි එකක් කළා. ඒක හරිගියේ නැහැ.  දැන් අවසාන අවස්ථාව. එයාගේ අම්මා එයා ළඟ ඇති. තව සති දෙකකට වඩා මගේ දරුවා ජීවත් වෙන්නේ නැහැ පුතා.”

ඒ වචන මගේ කනට ඇසුණේ වෙනත් ලෝකයක සිට මෙනි. මගේ උගුරේ ගුලියක් සිරවෙනු දැනුණු අතර මගේ මුහුණේ මස් පිඬු චලනය වීම චාරුකාගේ පියාට නොපෙනුණේ නම් ඒ,  ඔහු ඒ මොහොතේ සිටි ව්‍යාකුල බව නිසාම මිස වෙන කිසිවක් නොවන නිසා බව මට සහතිකය. මගේ සමබරතාවය නැතිව යනවාක් මෙන් දැනුණෙන් මම වට පිට බැලුවේ ඉඳ ගැනීමට ලොකු අවශ්‍යතාවක් දැනුණු හෙයිනි. මා ගෙතුළ පුටු දෙස නෙත් යොමන්නට ඇත. ඒ නිසාදෝ

එන්න පුතා ඉඳගන්න. මට ඒක කියන්නත් අමතක වුණායනුවෙන් චාරුකාගේ පියාගේ වචන මට ඇසෙන්නට විය.

ඔහු අනුව යමින් මම ආලින්දයේ පුටුවකට බර වීමි.

මගේ හදවත හඬා වැළපෙන්නට පටන් ගත්තේ කිසිදාක මට සමාවක් නොදෙන අන්දමටය. මගේ වෙනස චාරුකාගේ පියාට දැනේවිද යන බයකුත් එක්වරම මගේ සිතට පිවීසියේය.

ඒසා විසල් චාරුකාගේ ආදරයට මා පයින් ගැසුවේ ඇයි? තව මාස දෙකක් මට ඈ සමග ඉන්නට සිත් නුදුන්නේ ඇයි? ඇගෙන් වෙන් වීමෙන් මා ලද දෙය කුමක්ද? මා සෙවූයේ කුමක් ද?

මටත් හුඟ දවසකින් එයාට කතා කරන්න බැරි වුණා තාත්තා.”

මම පිළිතුරක් අවශ්‍ය යයි සිතුණු නිසා කියා ගතිමි.

මේ දරුවා දවල්ට කාලද?” යමක් මතක් වූ කලෙක මෙන් ඔහු මා විමසිය. ඒ අවස්ථාවේ වෙලාව දවල් දෙක පමණ වන්නට ඇත.

ඔව් තාත්තා මං මගදී කෑවා  කියා ගතිමි.

ඉන්න මං බොන්න මොනවා හරි හදාගෙන එන්නම් කියූ ඔහු නිවෙස තුළට ගියපසු මගේ සිත කිසිඳු අතකින් මාවතක් නොපෙනෙන මහා පාළු වනාන්තරයක අතරමං වූ ලෙසකින් අතරමං විමක බව මට තේරුම් යමින් තිබුණේය. මට ඈ බැලීමට යන්නට හැකිද? ඇගේ තත්වය අනුව එය සුදුසුද? මා දුටුවිට කුමන තත්වයක් ඇති වේද? පියා මා ගැන නොදන්නා නමුත් ඈ මවට මා ගැන කියා තිබෙන්නට බැරිද? මා ඇය බැලීමට යාමෙන් විය හැකි යහපතක් තිබේද? මට කිසිවකට පිළිතුරු නොවිය. අහන්න කෙනෙකුත් නැත. බ්‍රයන්ට කතා කරන්නට සිතුවෙමි.

සිසිල් පානයක් සහිත වීදුරුවක් සමග චාරුකාගේ පියා මා අසලට ආ විට මම නැවත මේ ලෝකයට පිවිසියෙමි.

දරුවාට සැරින් සැරේ සිහි කල්පනාව ආවා ඊයේ වෙනකම්. අද මං දවල් බලලා එනකම් ඇස් ඇරියේ නැහැ. පුතාට ගිහින් බලන්න පුළුවන් කැමති නම්. විසිපහ වාට්ටුවේ තමයි ඉන්නේ. ඇඳ දහසය චාරුකාගේ පියා දිගටම කියාගෙන ගියේය.

මට දැන් හදිසියේම යන්න ඕන තාත්තා අම්මගේ වැඩකට. මං දවස් කීපයකින් ආයේ එන්නම්. ඒ ආවහම බලන්න යමු  මම වචන ගැට ගසා ගත්තෙමි.

හොදයි පුතා.”

තාත්තට මොනවා හරි උදව්වක් ඕන වුණොත් මට කියන්න. මගේ ෆෝන් නම්බර් එක ලියා ගන්න. මට තාත්තගේ එකත් දෙන්න.

ඔහු ගෙතුළට ගොස් ලිවීමට කොළයක් රැගෙන ආ අතර මම සාක්කුවෙන් පෑන ගෙන එහි මගේ මුලකුරු සමග නම සමග දුරකථන අංකය ලියා දුන්නෙමි. ඔහුගේ අංකය මගේ දුර බණුවට ඇතුළු කර ගත්තෙමි. එයින් පසු චාරුකාගේ පියාට සමුදී එතැනින් මා නික්මුණේ හිස ගිනිගත්තෙකු ලෙසිනි. මා ගෙදරට ආවේ කෙසේදැයි මටවත් පැහැදිලි නැත.

"ඒ ළමයට අමාරුද පුතා?” අම්මා ඇසුවේ මගේ මුහුණ කියවීමෙන් විය යුතුය.

ඔව් අම්මා දැන් සිහියත් නැහැ. මම ආයේ වෙලාවක යන්න ඕන.

අපොයි දෙවියනේ මේ කරුම ලෙඩේ දැන් හරියට පැතිරෙනවා.”

Image from Pexels 

©malinieganewatta2024

Friday, March 29, 2024

සුදු රෝස White Roses - 6


සුදු රෝස White Roses

හයවැනි කොටස 



හෝදර සහෝදරියන් සිව්දෙනා හමුවන දවසක් අම්මා විසින් සංවිධානය කරන ලදුව සියල්ලෝ එක ඉරිදාවක මහගෙදරටම එකතු වූහ. මාමා, මාමා  ,බාප්පා බාප්පා යනුවෙන් මා අමතන සිඟිති කටහඬ නිවසේ හැම අස්සක් මුල්ලකින්ම ඇසෙන්නට වූයේ මගේ ව්‍යාකූල සිත මදකට හෝ සැහැල්ලුවට පත් කරමිනි. මගේ පැමිණීම කවදත් දරුවන්ට ඇති කළේ අපූර්ව ප්‍රීති ප්‍රමෝදයකි. මාද ඔවුන්ගේ වයසට යමින් සිඟිත්තන් සමග සතුටු වීමට කවදත් ආසා කළෙමි. අයියාට සිටින්නේ පුතෙකු පමණි. ඔහුට මම කලින්ම ගෙනා තෑගී දී තිබුණි. අක්කලාට පුතා සහ දුව බැගින් සිතිති. සියල්ලන්ටම ඔවුන්ගේ තෑගී බෙදා දුන්නෙමි.

එකියක් මගේ ඔඩොක්කුවට පනින අතර එකියක් මගේ කරේ නගියි.  තව කෙනෙක් මගේ කොණ්ඩයෙන් අදියි.

ඔය මාමට ඉන්න දෙන්න දරුවෝ  අම්මා කියන්නේ පුරුද්දට මිස් තරහකින් නොවේ. ලෝකය කෙතරම් සොඳුරු දැයි මට සිතුණි. දරු දැරියෝ මා ගෙන ආ කුඩා . දරු දැරියෝ මා ගෙන ආ කුඩා තෑගි විවෘත කරමින් ඔවුන්ගේම ලෝකයක සැනසෙන අතරේ අක්කලා දෙන්නාත් අම්මාත් මා පිලිබඳ කතාවකට මුල පිරූයේ කලින් සූදානමක් පැවති විලාසයකිනි.

"මල්ලිගේ කල්පනාව ඔහොමම ඉන්නද හැමදාම? ලොකු අක්කා සාකච්ඡාව ආරම්භ කළාය.

මෙයාට එහෙ කවුරුහරි ඇති ඒ පොඩි අක්කා ය.

මම නොඇසුනාක් මෙන් සිටියෙමි.

පුතේ ශ්‍රියානිගේ දුව ඔයාට කැමැත්තෙන් ඉන්න බවක් එයා කිව්වා අම්මා මතක් කළේ අම්මාගේ පාසලේ එකට සේවය කළ ගුරුවරියකගේ දුවණිය ගැනය. අම්මා මේ ගැන කියන්න්ටම වෙලාව හදා ගත්තා විය යුතුය. මම කුඩාකල ඒ දැරිය හා තවත් සම වයසේ ගුරුවරුන්ගේ දරුවන් සමග අම්මාගේ පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබුවෙමි. ප්‍රාථමික පාසල අරුණු විට අම්මා සේවය නිමවන තෙක් විද්‍යා අංශය අසල අපි සැම සෙල්ලම් කරමින් කාලය ගත කෙරුවෙමු. ඒ සැම දැනට හමුවන්නේ ෆේස්බු ක් අවකාශයේ දී පමණි. එහිද මා අක්‍රිය බැවින් දැන් මට ඒ මුහුණු හරි හැටි මතකයේ නැත.

මට දැන් එයා මතකත් නැහැ අම්මා. එයා මොනවාද දැන් කරන්නේ?”

එයත් දැන් ඇමරිකාවේම තමයි. තාම පි එච් ඩි එක ඉවර නැතිලු. එයා ඔයාට වඩා අවුරුදු තුනක් වගේ බාලයි නේ.”

එහෙමද?”  

ඇයි මල්ලිටත් එයා ගැන හිතෙනවද?” මට මඟුලක් කතා කිරීමට පොඩි අක්කාට මහත් හදිසියක් ඇති සෙයකි.

නැහැ නැහැ පොඩි අක්කා. මං නිකමට ඇහුවේ. අපි එක යාලුවෝ නේ.

මේ සියල්ල අතරේ මට චාරුකා හිතට පිවිසීම වළක්වා ගැනීම අසීරු වූයෙන් මා සැබවින්ම සිටියේ දෙලොවක් අතරය. ඇත්තෙන්ම චාරුකාට කුමක් වී ද? මා විසින් ඈ නිර්දය ලෙස හැර දැමීම මත එපාර්ට්මන්ට් එකෙන් ඉවත්වීම සිතා ගැනීමට හැකි නමුත් ඈ විශ්ව විද්‍යාලය හැර දැමීම මට ඇති කළේ විශාල ගැටලුවකි. වරක් දෙවරක් දැක ඇති නමුත් විශ්ව විද්‍යාලයේ ඇගේ සමකාලීනයින් මම හදුනාගෙන නොසිටියෙමි. ඒ නිසා ඔවුන් සම්බන්ධ කරගෙන හෝ ඈ ගැන තොරතුරක් දැන ගැනීමට හැකියාවක් තිබුණේ නැත.  මම එසේ උත්සාහයක් ගත්තේද නැත. ඇත්තෙන්ම එවැන්නකට මට වුවමනාවක් තිබුණේ නැත.

මෙයා අපිව මග අරිනවා අම්මා. අනිවාර්යයෙන් මෙයාට එහෙ කවුරුහරි ඇති. කවුරු වුණත් කමක් නැහැ මල්ලි. එකලාසයක් කරනවා නම් අපි කැමතියි.

ලොකු අක්කා මගේ දේහ ඉරියව් වෙනස් වනු දැක කීවාය.

නැහැ ලොකු අක්කා ...දැන්ම මට එහෙම වෙන්න ඕන නැහැ. මම ඇගේ කුකුස දුරු කිරීමට මෙන් කීවෙමි.

කොහොම වුණත් මල්ලී හැමදාම තරුණකම රැඳෙන්නේ නැහැ. කවදා හරි තමන්ට තමන්ගේ පවුල තමයි වැදගත් වෙන්නේ. ඒ ගැන හිතන්නලොකු අක්කාගේ වචන ඊයම් බරු මෙන් මගේ පපුවට කඩා වැදී හදවත බර විය. කවදා හරි විවාහයක් වෙනවා නම් මාත් හිතන්නේ චාරුකා වගේ කෙනෙක් තමයි බ්‍රයන්ගේ වචන මගේ කන් අසල දෝංකාර දෙන්නට විය.

දිවා ආහාරය ගෙන තවත් පැයක් හමාරක් ගතකළ ඔවුහු නැවත තම නිවෙස් බලා පිටත්ව ගියහ. ඉතුරු වූයේ මාත්, අම්මා හා තාත්තාත් අයියා ඔහුගේ බිරිඳ හා පුතාත් පමණි.

මම මගේ කාමරයට ආවේ මහත් වූ සිතේ බරක් සමගය. චාරුකාත් මාත් ආදරයෙන් අතිනත ගෙන ඇවිද ගිය මං මාවත්ද, යුහුසුළුව විවිධ කාර්යන්හි යෙදුණු උදය හා දවල් කාලයන්ද අතිශය ප්‍රේමනීය රාත්‍රී කාලයන්ද සළ රූ පෙළක් ලෙසින් සිතට ඇතුළු වෙමින් නගිමින් නැවත බසිමින් සිතට මහත් වෙහෙසක් ගෙන දෙන්නට පටන් ගත්තේය.

ඒ සමගම මම චාරුකාට ඇමතුම් ගත්තෙමි. වට්ස් ඇප් හා මැසෙන්ජර් හරහා උත්සාහ කළෙමි. එහෙත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඇගේ සාමාන්‍ය ඇමෙරිකානු අංකය ක්‍රියා විරහිත බවට පණිවිඩ ලැබුණි. අවසානයේ මම ඇයට විද්‍යුත් තැපැල් පණිවිඩයක් යවා පිළිතුරු බලාපොරොත්තුවෙන් පසුවීමි. මා ඇයට ද්‍රෝහී වුණෙම් නොවේදැයි මගේ යටි සිත මට මහත්සේ දොස් පවරන්නට වූයෙන් පියවි සිහිය මගෙන් ගිලිහී යන තරමට මගේ සිත ව්‍යාකුල විය. නිදි නැති රැයක් ගතවූ නමුත් ඇගෙන් කිසිදු පිළිතුරක් ලැබුණේ නැත. ඇගේ දෙමාපියන් හමු වීමට හැකිනම් තොරතුරක් දැන ගැනීමට හැකිවනු ඇත. මගේත් ඇගේත් සම්බන්ධය ඔවුන් දැනගෙන ඇත්ද යන චකිතය එකවර හිතට පිවිසියත් ඈ ඒ දිනවල කියූ පරිදි එසේ වන්නට ඇති ඉඩ අවමය. කුමන දෙයකට වුවත් මුහුණ දෙන්නෙමියි අදිටන් කර ගතිමි.   උකුල් පරිගණකයේ එහා මෙහා පීරමින් සිටි අතරේ මා අමන්දානන්දයට පත් කරමින් චාරුකාගේ ලංකාවේ ලිපිනය මට හමු විය.

අංක 26, පොල්වත්ත පාර

ගොඩිගමුව

මහරගම

පසුදින උදේ මහරගම යාමට අදහස ඇතිව මහරගම අපේක්ෂා රෝහලේ අසනීපයෙන් පසුවන මිතුරෙකු බැලීමට අවශ්‍ය බවක් අම්මාට කීවෙමි. අනේ තරුණ දරුවෙක් නේ පුතා!  අම්මා මගේ මුසාවාදය විශ්වාස කරමින් විස්සෝප වූවාය.

ලෙඩ වෙන්න වයසක් නැහැනේ අම්මා මම ඇය අස්වසා ලූයෙමි.

මගේ සිරිත වූයේ ලංකාවට පැමිණෙන හැම අවස්ථාවේම ගුවන් තොටුපොළේ සිටම කාරයක් දීර්ඝ කාලීන කුලියට ගැනීමය. මෙවරත් එසේ සුපුරුදු ආයතනයෙන්ම වාහනය ගත් බැවින් අධි වේගී මාර්ගයේ කොට්ටාවට පැමිණ එතැනින් හයි ලෙවල් පාරේ මහරගමට ළඟා වීමට පැයකට වඩා වැඩිපුර ගත වූයේ මිනිත්තු කීපයක් පමණි. දෙහිවල පාරට හැරුණු විගස හමුවන කාර්ගිල්ස් සුපිරි වෙළඳ සලට ගොස් චොකොලට් වර්ගයක් හා පලතුරු වර්ග කීපයක් මිල දී ගත්තෙමි. ඊ ළඟ මොහොතේ මම ගොඩිගමුවේ පොල් වත්ත පාරට අවතීර්ණ වීමි. නිවෙස්වල අංක පිළිවෙලකට නොතිබුණු අතර ගූගල් සිතියම අනුව අංක 26 සොයා ගැනීම අසීරු නොවිය.
Image from Pexels 
©malinieganewatta2024

Friday, March 22, 2024

සුදු රෝස White Roses - 5

සුදු රෝස White Roses

පස්වන කොටස 



ළඟ දින දෙක තුන තීරණාත්මක විය. ඩේසි හා මා අතර අනුරාගී බැලුම් සියයකට වඩා හුවමාරු වීමෙන් පසු එක දිනක අපි  අවන්හලකදී හමු වීමු. ඇගේ උණුසුම් දෙතොලේ රස පහස එදා ඈ මට නොඅඩුවම ලබා දුන්නාය.  ඊ ළඟ   දින දෙක තුන ඇතුළත මගේ ඉල්ලීම ඩේසි එකවරම බාර ගත්තේ ඈ නිදහස් ඇමරිකානු යුවතියක වු බැවිනි. ඩේසි කිසිම අඩු පාඩුවක් නැතිවම මගේ අවශ්‍යතා සපුරා දුන්නාය. ඈ පැවසූ පරිදි ඉදිරියේදී ඈ වෙනත් රැකියාවකට මාරු වීමට නියමිත විය. මා සමග ගැඹුරු සම්බන්ධයක් ගැන ඈ සිතා නැතිබව පැහැදිලි විය. ඒ නිසා ඩේසි හා මගේ මේ සම්බන්ධයට එතරම් දිග ආයුෂක් තිබෙන්නට බැරි බව මට වැඩි කලක් නොගොස්ම පසක් විය. ඒ ගැන මට පසු තැවෙන්නට වුවමනාවක් ද නොවීය. මා පෙර ගත කළ දිවියේදී එවන් සම්බන්ධතා රාශියක් ඇතිව නැතිවී ගොස් තිබුණු බැවිනි.

ඇත්තෙන්ම දීර්ඝකාලීන සම්බන්ධතා බරක් ලෙස මට දැනෙමින් තිබුණේ චාරුකා හා මා අතර සම්බන්ධතාව පටන්ගෙන මාස කීපයක් ගත වෙද්දීම වූවත් ඇගෙන් ලැබෙන ආදරය හමුවේ ලොල්වූ මගේ යටි සිත   ආත්මාර්ථකාමී ලෙස එයින් මිදීම ප්‍රතික්ෂේප කළා නොවේදැයි දැන් මට සිතෙයි. මද සුළං මැද පාවෙමින් තිබූ ඒ පිහාටුවක් බඳු ජීවිතයට මා  නැවත යා යුතු බව මගේ යටි සිත මට බලපෑම් කරමින් සිටියේය. ඒ නිදහස් දිවි පැවැත්මට නැවත යාමට මට තිබුණු එකම ගැටලුව චාරුගෙන් මිදීම විය. මම එයට සම්‍යක් ප්‍රයෝගයක් කල්පනා කරමින් සිටියෙමි. එය සිතට ආ පසු මා කළේ නිර්දය ලෙස එය ක්‍රියාවට නැංවීමයි.

"චාරු මට සති දෙකකට බිස්නස් ට්‍රැවල් යන්න තියෙනවා කොලරාඩෝ වලට. ඔයාට මැනේජ් කරගන්න පුළුවන් නේ?". මම චාරුට අදහස ඉදිරිපත් කළෙමි.

මේ සැරේ සති දෙකක් ද?” ඈ විමතිය පළ කළාය.

ඔව්, මේක වර්ක් ෂොප් එකක් මා ඇයට කීවේ මුසාවක් නොව මට කාර්ය භාරයක් නැතත් ඇත්තෙන්ම එවැන්නක් පැවත්වෙන බැවිනි. 

"සති දෙකනේ සුජාන් මට පුළුවන්."  ඈ අහිංසකව පැවසුවාය. සම්පුර්ණ ප්ලෑන් එක තිබුණේ මගේ හිත ඇතුළේය.

මම මගේ ගමන් බෑගය තුළට අවශ්‍ය සියලුම ලියකියවිලි ඇතුළු කළේ ඇයට සැකයක් ඇති නොවන විදියට රහසිගතවය. ඈ කිසිසේත් මෙතෙක් මා සැක නොකළාය. සැකයක් සිතීමට ඉඩක් තිබුණේ නම් එක් දෙයක් නිසා පමණි. ඒ ඉදිරි ක්‍රියාමාර්ග පසුව ගැනීමට සිතා මෝටර් රථය බ්‍රයන්ට ගෙන යාමට කීමයි. මෝටර් රථයේ අලුත් වැඩියා කිරීමක් ඇති නිසා එසේ දුන් බව මම චාරුකාට කීවෙමි. ඒ ගැන ඈ වැඩිදුර ප්‍රශ්න නොකළාය.   නියමිත දිනයේ ඈ ලවාම මා ලොස් ඇන්ජලිස් හි ගුවන් තොටුපොළට ආවෙමි. ඇගෙන් සමුගත් මොහොතේ ඈ මා උණුසුම් ලෙස වැළඳ ගත්තාය.

"බුදු සරණයි   පරිස්සමින් ගිහින් එන්න. ඔක්කොම හරිනේ " ඈ මදක් බිඳුණු හඬින් සුබ පතද්දී මා ඇගේ නෙත් කෙවෙණි තුළ කඳුලක් දුටුවෙමි. මම හැඟීම් නැත්තෙකු පරිදි ඇගේ නෙත් බැල්මෙන් මිදී වෙනතක නෙත් රැඳෙව්වෙමි. මට දුක හිතී  එසේ කරන්නට ඇතැයි ඈ සිතන්නට ඇත. ඒ මා ඇගෙන් ලද අවසන් උණුසුම් හාදුවයි. ඒ අපේ අවසන් හමුවීම බව ඇයටත් කුමන ආකරයකින් හෝ වැටහී තිබුණේ ද? එවැනි සංවේදන අප සතුද? ඈ එවැන්නක් කිසිම විටක මුවින් පවසා සිටියේ නැත. මා ඈ තේරුම් ගත්තෙම් ද? ඈ මා තේරුම් ගත්තේ ද?  ‘Two hearts that beet as one, our lives have just begun’යනුවෙන් වූ මම ආසා කරන චාරුකා ද නිතර ගයමින් සිටි ලයනල් රිචී හා ඩයනා රොස් ගයනා කරන ‘Endless love’  ගීතයේ කොටසක් කොහේදෝ පසුබිමකින් ඇසෙමින් තිබුණේය. ඇත්තෙන්ම ඒවා අරුතක් නැති වදන් සමූහයක්  පමණක් ද? දෙදනෙකු අතර වන  සම්බන්ධතා තේරුම් ගන්නේ කෙසේ ද? මගේ උඩු සිත අවුල්වූ නූල් පන්දුවක් විය. එයම මගේ යටි සිත පෙළමින් සිටියේය. මගේ ප්‍රයෝගය ක්‍රියාත්මක කිරීමේ වුවමනාව තදින්ම තිබුණු නමුත් ඒ මොහොතේ මගේ සිත මදකට සසලවී මම ඇතුළතින් දැවී ගියෙමි. පියවි ලොවට පැමිණි මම චාරුකාට අතවනා සමුදී ගුවන් තොටුපොළේ ආරක්ෂක පෝලිමට එකතු විමි. නැවත හැරී ඈ දෙස බලන විට මට පිටුපා ඈ ඉවතට යමින් සිටියාය.

 මා මේ ගමන පිටත් වූයේ රැකියාවට සමු දීමෙන් අනතුරුවය. මේ වනවිට මගේ අතේ වසරක් පමණ ජීවත් වීමට සෑහෙන තරම් මුදලක් විය. කොලරාඩෝ ගුවන් තොටුපළෙන් හෝටලයට ගිය මම ඉදිරි වැඩපිළිවෙල කල්පනා කරන්නට පටන් ගත්තෙමි. අප අතර ඇති සියලුම සම්බන්ධතා වලින් ඈත් විය යුතු බව මට කල්පනා විය. චාරුට මා පැමිණි බව පැවසීමෙන් පසු දුර කථනය විසන්ධි කර තැබුවෙමි. බ්‍රයන් පැවසූ පරිදි චාරුට මගේ අදහස පැහැදිලි කරදී ඇගෙන් වෙන් වීමට මට ධෛර්යයක් නැත්තේ ඇයිද යන්න මටවත් තේරුම් ගැනීමට නොහැකි විය. සමාජ මාධ්‍යවල කොහොමටත් අප දෙදෙනා ම බොහෝ දුරට අක්‍රිය නිසා ඒවා තිබුණත් නැතත් ගැටලුවක් නොවන බව පැහැදිලි හෙයින් මම ඒවායින් ඉවත් වන්නට නොසිතුවෙමි. ප්‍රශ්නය දුරකතනයයි. අංකය මාරු කළ හොත් ගැටළු ගොඩකි. ඒ නිසා චාරුකාගෙන් එන ඇමතුම් මග හැරීමට සිතුවෙමි. ඇමතුම් කීපයකට කෙටි පිළිතුරු දී ඉන්පසු ක්‍රමයෙන් ඒවා මග හැරියෙමි.  අනතුරුව ඈ මට පණිවිඩ එව්වාය. මුලදී කෙටි පිළිතුරු යැවූ නමුත් පසුව මම ඒවා මග හැරියෙමි. මම ඒවා නොකියවීමි. ඊ මේල් වලටද පිළිතුරු නොයැවීමි. ඉන්පසු ඈ නිහඬ වූයේ මා නොසිතු පරිදිය. මේ වනවිට අප දුරස් වී මාස දෙකක් ගෙවී ගොස් තිබුණේ නොදැනීමය. කෙසේ වුවත් එපාර්ට්මන්ට් එකේ කුලිය ගෙවීම සඳහා සෑහෙන මුදලක් මම කලින්ම චාරුකාගේ බැංකු ගිණුමට බැර කළෙමි. ඒ එසේ කියා නොව ඇගේ අවශ්‍යතා සඳහා කියාය. අඩුම වශයෙන් චාරුකාට කුමක් සිදුවී දැයි සොයා බැලුවේ වත් නැත්තේ මන්දැයි මගේ යටි සිත මට වදදෙමින් තිබුණේය. එහෙත් නැවත සම්බන්ධතාව අලුත් කරගන්නට ද මට අවශ්‍යතාවක් නොවිය. මම අවසානයේ ඈ ගැන සොයා බලන මෙන් බ්‍රයන්ගෙන් ඉල්ලීමක් කළෙමි. මා පුදුමයට පත් කරමින් ඔහු පවසුවේ ඈ එපාර්ට්මන්ට් එක හැර ගොස් ඇති බවයි. එමෙන්ම විශ්ව විද්‍යාලයේද ඈ නොමැති බවයි. කීප වරක් ඇගේ දුරකථන අංකයට අත ගියත් මම වෑයමින් එය ක්‍රියාත්මක කිරීම වළක්වා ගත්තෙමි. දණ්ඩ චුම්බක දෙකක සමාන ධ්‍රැව මෙන් ඈත් මාත් ඈත්වී ගිය බවත් නැවත ළඟා වීමක් නොවන බවත් මගේ සිත මට කිවේය. කාන්තාවන් කෙරේ මගේ ඇල්ම පවා මේ ටික දිනට මගෙන්  දුරුවී යන බවක් ඒ සමගම මට  තේරුම් යමින් තිබුණි.

රැකියාවක් සොයා ගැනීම හා ජීවත් වීමට තැනක් ලබා ගැනීම ප්‍රමුඛත්වයේ ලා සැළකිය යුතු විය. මා කැලිෆෝනියාවේ රැකියාවෙන් ඉවත් වීම ගැන පසුතැවීමක් ද සිත කොනක වූ අතර කුමන ප්‍රාන්තයක අලුතෙන් ජීවිතය පටන් ගන්නේ දැයි ස්ථිර තීරණයක් ද නොවිය. එසේ වුවත් මම රැකියා කීපයකට අයදුම් පත් යොමු කළෙමි. හිස ද නිදහස් නොවූයෙන් සම්මුඛ පරීක්ෂණ  ද නිසි පරිදි කෙරුණේ නැති බවක් මට හැඟී ගියේය. මාස තුනක කාලයක් ගෙවී ගියේ නොදැනීමය. ඒ සමගම මට ලංකාවට ගොස් දෙමව්පියන් දැක බලාගැනීමට සිත අභ්‍යන්තරය විසින් ක්ෂණික පෙළඹවීමක් ඇතිකරන ලද්දේ දෛවෝපගතව ද යන්න මම අදටත් සිතමි. නැවත රැකියාවක් ආරම්භ කළ පසු එය අසීරු විය හැකිය. ඒ නිසා මම වහාම ගුවන් ටිකට් පත් වෙන්කර ගතිමි.

ඊළඟ සති අන්තයේ මම කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මව්බිමට පා තබනවාත් සමගම හිතේ තිබුණු කුමක්දෝ බරක් අපේ දුක් උසුලන ඒ සුපුරුදු බිම විසින් බාරගෙන මගේ සිත සැහැල්ලු කළා වැනි අපුර්ව හැඟීමක් මට ඇති විය.

අම්මාත් තාත්තාත් පුදුමයට පත්කරමින් මම ගෙදර දොරකඩ පෙනී සිටියෙමි

හිච්චි පුතා මේ හදිසියේ .... කියන්නෙත් නැතුව අම්මා විශ්මය පිරි දෙනෙතින් නමුත් කවදත් ඇගේ සුපුරුදු ආදරණීය සිනාව මුවට නංවා ගනිමින්  මා පිළිගත්තාය.

තාත්තාද මගේ ආගමනය නිසා මහත් සතුටට පත්ව සිටියේය. වෙනදා මෙන්ම ආ ගිය තොරතුරු කෙටියෙන් අප අතර හුවමාරු විය. මගේ පුද්ගලික තොරතුරු කවදත් ඔවුන් ඉදිරියේ තැබුවේ නැති අතර මගේ ස්ත්‍රී සම්බන්දතා ඔවුන් දැනගත්තේ නැත.

©malinieganewatta2024

Image from pexel






Friday, March 15, 2024

සුදු රෝස White Roses - 4

                                                        සුදු රෝස White Roses

   සිවුවැනි  කොටස                                                                                                                                       ම සාමන්‍යයෙන් වසරකට එකක් හෝ දෙකක් පමණ මගේ වෘත්තීයට අදාළ සංචාරවල යෙදීම සාමාන්‍ය දෙයකි. චාරුකා හා මා එක වහලක් යට වාසයට පැමිණි පසුත් දෙවරක් එසේ යාමට සිදුවීම නිසා චාරුකාට එය සාමාන්‍යකරණය වී තිබුණේය. ඒ අවස්ථාවල මා ගුවන්තොට කරා ප්‍රවාහනය කළේද ඇය විසිනි. දුකකින් නමුත් මට සමුදෙන ඈ ඒ දින දෙක තුන  සුපුරුදු පරිදි තනියම කාලය ගත කළාය. මේ සියලු දේ මැද අපේ සබඳතාව ලෝකයේ ඇති අනිකුත් දහසකුත් සබඳතා අතර ඇති තවත් ක්ෂුද්‍ර අංශුවක් ලෙස ඉදිරියට ඇදී ගියේ අපටත් හොරෙනි.

 සියුම් අංශුවේ සිට මේ ලෝකයේ සියලු දේ ක්ෂණයක් පාසා වෙනස් වෙමින් පවතින බව  අපට අමතකව ගොස් තිබුණේය. කොයි කවුරු අමතක කළත්  ලෝකය  තම ගමන නවත්වන්නේ නැත. එය සිය වේගය පවත්වා ගනිමින් ගමන් කරමින් තිබුණේය. අපට විද්‍යමාන වන්නේ ඉතාමත් සෙමින් නමුදු එහි සිදුවිය හැකි සියලු වෙනස්කම් සිදුවෙමින් පැවතුණේය. ඒ වෙනස් වෙන දේවල් අතර ජීවී අජීවී සියලු දේ  පමණක් නොව  පුද්ගලන් අතර සබඳතාවයන් ද වන්නේය. බැඳුම් සදාකල් පවතින්නේ නොවේ. වෙනස්කම් එකිනෙකා කරා ළඟා වන්නේ එක එක තරමිනි.

අපගේ සබඳතාවේ දී ඒ වෙනස මුලින්ම දැනෙන්නට වූයේ මටයි.  සියුම්ව නමුත් දැනෙන තරමක වේගයෙන් මට යමක් අහිමි වේගෙන යන බවක් වැටහෙමින් තිබුණේය. එය මට මේ වනවිටත් පැහැදිලි කරගැනීමට වචන නැති දෙයකි. සැබවින්ම මට කුමක් වේගෙන එන්නේදැයි පැහැදිලි බවක් නොවීය. සෙමෙන් පටන් ගත් නමුත් ඊ ළඟ සති කිහිපයේදී චාරුකා ඇතුළු මා වටා එතෙක් තිබු සියලු චමත්කාරජනක දේ හා හැඟීම් මා කෙරෙන් ඉවත් වේගෙන යන්නට වූයේ තුරඟ වේගයෙනි. මට එසේ දැනෙන්නට වූයේ ඇයිද යන්න අදටත් නොවිසඳුණු ගැටලුවකි. මා ප්‍රතිකාර ගතයුතු මානසික තත්වයක වූවාද යන්න මට තේරුම් ගියේ නැත. මා තුළ පැන නැග ක්‍රමිකව වර්ධනය වී යන හැඟුම් තනිව දරා ගැනීමට අපහසු වූයෙන් මට වඩාත් සමීප මිතුරා හමුවී ඒ ගැන කතා කිරීමට ඉටා ගතිමි.

" මගේ හිතට හරිම කරදරයි බ්‍රයන්. මට කිසිම නිදහසක් නෑ වගේ දැනෙනවානේ."

දිනක් අවන්හලකදී ඒ මගේ අතිජාත මිතුරා වන ජර්මන් ජාතික බ්‍රයන්ට මම මගේ සිතේ ඇතිවෙමින් තිබෙන අතෘප්තියක් වැනි අසහනකාරී හැඟීම ගැන අදහස් දැක්වීමි. ඔහු චාරුකා හා මගේ ලිවින්ග් ටුගෙදර් සම්බන්ධය හොඳින්ම දන්නා මිතුරෙකි.

"මොකක්ද ඔයා ඒකෙන් අදහස් කරන්නේ?"

"මං ඉස්සෙල්ලා හිතුවේ මට කවුරුවත් කෙනෙක් ආදරේ කරන්නේ නැහැ කියලා. දැන් චාරු මට ඕනෑවටත් වඩා ආදරය කරනවා. ඒ වුණාට මට ඕලා එක්ක හිල්ඩා එක්ක තිබ්බ සම්බන්ධකම් වගේ නෙවේ කියලා හිතෙනවා. ඒවායින් මම මිට වඩා සැහැල්ලුවක් වින්දා කියලා හිතෙනවා.”

ඕලා, හිල්ඩා තාවකාලික සම්බන්ධකම් නේ සුජාන්. උන්ට දැන් වෙන කවුරු කවුරුහරි ඇති. චාරු උඹට ආදරේ එක කොච්චර දෙයක් ද? කවදාහරි ෆැමිලි එකක් වෙන්න ඉන්නවා නම් මාත් එහෙම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් තමයි තෝරා ගන්නේ   බ්‍රයන් කීවේය.

ඒත් බ්‍රෝ මේක මට බරක් වගේ දැනෙනවා නේ?”

ඔයා අදහස් කරන දේ මට පැහැදිලි මදි. නිදහස නැහැ කියන්නේ ඇයි?”

මටත් තේරෙන්නේ නෑ බ්‍රයන්. මට මොකක් හෝ හිතෙනවා. ඒකයි. වෙලාවට ගෙදර යන්න ඕන. නැත්නම් එයා තනියම”.  

උඹට එයා එහෙම නීති දානවද?”

අනේ නැහැ. එයා එහෙම නැහැ. ඒත් මට එයා ඉන්දෙද්දී වෙන කෙනෙක් හම්බ වෙන්නවත් පාර්ටි යන්නවත් හිතෙන්නේ නැහැ.

ඒ ගැන තව හිතන්න. එහෙම නම් ඒක චාරුට පැහැදිලි කරලා අයින් වෙන්න.

ඇත්තෙන්ම බ්‍රයන් වැනි බටහිර ජාතිකයන් ඒ අතින් අවංකය. ඔවුහූ අදහස් සඟවාගෙන නොසිටිති. සබඳතා ඇරඹීමට මෙන්ම ඒවාට නැවතීමේ තිත තැබීමට ද බිය නොවෙති. මේ රටේ මට හමුවූ වෙනත් යුවතියන් හමුවේ දී මට තිබූ විවෘත බව චාරුකා හමුවේ මගෙන් පලාගොස් ඇති සෙයකි. මගේ සිතේ ඇති වෙමින් වර්ධනය වෙමින් යන මේ තත්ත්වය හමුවේ තවත් සති දෙක තුනක් ගතවී ගියේය. චරුකාට මගේ වෙනසක් නොදැන්නේ ඇයිදැයි මට වරෙක විමතියක් ද ඇති නොවූයේ නොවේ. අහම්බයන් සිදුවන්නේ සැලසුම් කොට නොවේ. ඒවා අපේ ජීවිතයට කොහේ හෝ සිට ඇතුළු වෙයි. ඒවායින් විටෙක යහපතක් ද විටෙක අයහපතක් ද සිදු වෙයි. එහෙත් අහම්බ අපට වළක්වා ලන්නට නොහැකිය. ඊළඟ සතියේ සේවා ස්ථානයට අලුතෙන් පැමිණි ඩේසි මගේ සිත වෙනස් කළාය.  නැතිනම්  මට වෙනස් වීමේ වුවමනාව තදින්ම දැනෙමින් සිටි මොහොතක ඈ ආවාය කියන එක වඩා නිවැරදිය.  රූපය අතින් ඩේසි හා චාරුකා අතර තිබුණේ අහසට පොළොව තරම් පරතරයකි. ඩේසි ඇත්තෙන්ම සුරඟනක් වූවාය. රන්වන් පැහැති සමත් බ්ලොන්ඩ් වර්ණ කේශ කලාපයත් ඇගේ සුරඟන රුව ඔපවත් කළේය. ඩේසිගේ දෙනෙතේ වූයේ උතුරා ගලා යන අනුරාගී බැල්මකි. රතු තොල් ආලේපනයෙන් නිතරම සැරසෙන ඇගේ මහත් වූ දෙතොල් මගේ සිත තුළ ඇති කළේ එක්තරා විදියක නොසන්සුන් බවකි. ඇයට නියමිත් රාජකාරි කාර්යන් ගැන පැහැදිලි කිරීම් පැවරී තිබුණේ මට බැවින් මම ඉතා කැමත්තෙන් එය ඉටුකරන්නට ඉදිරිපත් වුනෙමි.

එදා නිවසට ගිය මගේ වෙනස චාරු දැනගනු ඇති දැයි කිසියම් චකිතයක් වැඩිපුර මගේ සිතේ හොල්මන් කළේය.

"සුජාන් අද වැඩිපුර වැඩ තිබුණද?" චාරු මා වැළඳ ගනිමින් ඇසුවාය.

ඔව්, අලුත් බැච් එකක් ආවනේ. එයාලට ඔරියෙන්ටේෂන් කරන්න තිබුණා. හුඟක් ඒවා ඔන්ලයින්. ටිකයි පැහැදිලි කරන්න තිබුණේ”.”

ඈ ඉන් එහාට කිසිවක් ඇසුවේ නැත. කොහොමටත් කාර්යාලයේ කටයුතු ගැන ඈ හාරා අවුස්සා අසන්නේ නැත. රාත්‍රී ආහාරය සුපුරුදු පරිදි ගන්නා අතර චාරු වෙනදා  මෙන්ම සුරතල් බස් තෙපලුවය.  සැමදා සිදුවන අප දෙදෙනාගේ කායික සම්බන්ධය ද බාධාවකින් තොරව සිදු වුවත් මට එයින් එතරම් තෘප්තියක් නැති බවක් දැනෙමින් තිබුණේ මාසයකට පමණ පෙර සිටය. චාරුට ඒ බවක් ඇඟවුණේ නැත්තේ ඇයිද යන්න මට ගැටලුවකි. යම් ආකාරයකින් එසේ දැනෙමින් තිබුණත් ඈ මට ඒ බව නොපෙන්වමින් සිටියා වන්නටද බැරි නැතැයි මට දැන් සිතෙයි. එකල තේරුම් නොගත් ඇගේ දේහ බසේ සමහර සියුම් තැන් මට දැන් දැන් වැටහෙමින් තිබේ. එසේ වී නම් ඇයටත් මා ගැන යම් කලකිරීමක් වීද? අතීතයේ  මිස ඒ වනවිට මට වෙනත් සම්බන්ධතා නොතිබුණු බව ඈ දැනගෙන සිටියාය. මගේ දුරකථනය ඇගෙන් සැඟවී මක් නොවූ අතර එවැන්නක අවශ්‍යතාවක් එතෙක් ඇතිවී තිබුණේත් නැත. එසේත් නැතිනම් ආදරය යනු අයිතිකර ගැනීමම නොවේ යයි පුළුල් චින්තනයක් ඇය තුළ වීමද? ඇගේ එදිනෙදා මතුපිට හැසිරීමේ කිසිඳු අසතුටක් පෙනෙන්නට ද  නොවිය.

©malinieganewatta