Thursday, September 26, 2024

නොස්ටල්ජික් කතා 6 - ලොකු මුත්තණ්ඩි හොල්මනක් වීම

 නොස්ටල්ජික් කතා 6

ලොකු මුත්තණ්ඩි හොල්මනක් වීම






ත්තටම අපි පොඩි කාලේ හොල්මන් කතා, භූත කතා අහන්න හරිම ආසයි. හොල්මන් හරි භූතයො හරි කොහේ හරි ඇති කියලා නේ අපි හිතුවේ. මොකද ඒවා කියන අය ඇත්තටම දැක්ක වගේ අතේ පැළවෙන බොරු දෙසාබානවා නේ. ජන කතාවලත් බණ කතා වලත් ප්‍රේතයෝ, භූතයෝ, යක්ෂයෝ, පිසාචයෝ ඉන්නවනේ.

ඔහොම ඉන්න අතරේ අපේ ලොකු මුත්තණ්ඩි මැරුණා. උන්දලාගෙ ගේ තිබුණෙ අපේ වත්තට අල්ලපු වත්තක. නිතරම අපේ ගෙදර එනවා ඒ දවස් වල. ඇවිත් බුලත් විට එහෙම කකා අපේ මුත්තණ්ඩි එක්ක කතාව දාගෙන ඉන්නවා. ඒ දෙන්නා එක කුස උපන් අයියා මලෝ නේ.

මේ සිද්ධිය වෙද්දී උන්දෑ මැරිලා මාස ගණනක් ගිහින් වගේ තමයි මතක.

එක දවසක් හැන්දෑවේ අපි කට්ටිය ඒ කියන්නේ නංගිලා මල්ලිලා ඇරුණම පැට්ටා කියලා අපි හඳුන්වපු අල්ලපු ගෙදර අයියා කෙනෙකුත් හිටියා. එයාගේ හරි නම නීල්. ගෙදරට පැටි මහත්තයා. අපට පැට්ටා.

මට මතක විදියට අවුරුදු දවස් වගේ. ආත්තම්මා තෙල් ලිප තියලා කැවුම් කොකිස් එහෙමත් හදනව නේ. මේ තෙල් කෑම අපි කෑවොත් වතුර නොබී එළියට යන්න තහනම්. මොකද පෙරේතයෝ බැල්ම හෙලනවා. අපේ පහේ පොතේ ඔහොම කතාවක් තිබුණා. කතාවේ නම රොමාගේ වාසනාව. රොටියක් කකා රොමා සොහොනට ගිහින් ඉන්නකොට රොමාගෙ රොටිය සොහොන් කොතක් උඩ ඉඳගෙන හිටි යකෙක් උදුරා ගන්නවා. අන්තිමට යකා හිරෙන් පැනපු හිර කාරයෙක්.

ඉතින් අපේ ගෙදර හදන අර කැවිලි එළියට ගෙනියනවා නම් ආත්තම්මා ඒවා සමග යකඩ ඇණයක් තියලා තමයි අහුරන්නේ. යකඩ ඇණේට යක්කු බයයිලු.

මට වැල්වටාරම් නැතුව කතාව කියන්න බෑ වගේ නේද? ඔන්න අපි එදා ඉස්තෝප්පුවේ ඉඳගෙන තමයි සෙල්ලම් කළේ. එතන මිටි තාප්පයයෙන් ඔබ්බේ ගෙදරට එන පාර හොඳට පේනවා. ඒ වෙලාවේ හොඳටම කළුවර වැටිලා. සාලයේ පෙට්රොමැක්ස් ලාම්පුව පත්තු වුණාට පාරට එළිය එන්නේ නෑ නේ. ඉස්තෝප්පුවේ ටී පෝව උඩ තිබුණේ ග්ලෝබ් චිමිනිය දාපු ලාම්පුව විතරයි. ඒකේ එළිය එච්චර ප්‍රභල නෑ.

ඔන්න පැට්ටා එක පාරට පාර දිහා විමසුම් බැල්මක් හෙලනවා. එයාගේ ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකක් වගේ එළියට නෙරලා.  මූණත් සුදුමැලි වෙලා.  ඒත් එක්කම මහා භයානක හඬකින් කියනවා,

"අර අර සුදු නෝනා, හිච්චි නෝනා අර බලන්න. රාළහාමි නේද එන්නේ?"

රාළහාමි කියන්නේ අපේ අර මැරුණු ලොකු මුත්තණ්ඩි.

මාත් එතන හිටි අනික් අයත් බය බිරාන්ත වෙලා ඒ පැත්ත බැලුවා.

අම්මෝ! ඇත්ත නේන්නම් ලොකු මුත්තණ්ඩි හොඳට ට්වීඩ් රෙද්ද ඇඳලා කෝට් එක උඩින් දාලා බස්තමත් අතේ අරන් අපේ ගෙදර පැත්තට එනවා. ඇත්තටම ලොකු මුත්තණ්ඩිම තමයි. කිසිම වෙනසක් නෑ. පිටි පස්සට කොණ්ඩේ පීරලා ඒ විදියමයි. පස්සට බැඳපු කොණ්ඩ පුරුච්චිය පෙනුණේ නෑ. උන්දෑ අපේ දිහාවටනේ ආවේ.

හැබැයි පොඩි වෙලාවයි එහෙම පෙනුණේ. එක පාරට උන්දෑ නැතුව ගියා.

අපි බයවෙච්ච පාර කට්ටියම එකට බදාගෙන ගේ ඇතුළේ තමයි නැවතුණේ. හැබැයි ඒ වෙලාවේ ලොකු අයට මේ කතාව කිව්වේ නෑ. පස්සේ අම්මාට මේ කතාව කිව්වම අම්මා කිව්වේ ලොකු  මේ ඉඩකඩම් වලට ආසාව හින්දා පෙරේතයෙක් වෙලා ඇවිත් වෙන්න ඇති කියලයි. ඊට පස්සේ වුණත් ආයේ කළුවරේ සෙල්ලම් කරන එක නැවතුනෙත් නෑ. අපට හොල්මනක් තියා මොකා ආවත් ගාණක් නෑ වගේ. පෙරේතයෝ භූතයෝ කොහෙද අපිත් එක්ක එයාලගේ සෙල්ලම් දාන්නේ? ඒක පුදුම ළමා කාලයක් කියන්නේ ඒ නිසා.

ඇත්තටම හොල්මන් ගැන මගේ මුල්ම අත්දැකීම නම් ඒක. හුඟක් වෙලාවට ඒක පැට්ටා එහෙම දැකලා හෝ නැතුව හෝ අපේ මනස ඒ විදියට හැඩ ගැහුව නිසා අපටත් එහෙම පෙනුණා වෙන්න ඇති කියලයි අද මට හිතෙන්නේ. මොකද අඳුරේ වැනෙන කෙසෙල් කොළයක් වුණත් මිනිහෙක් වගේ හිතට පේනවා නේ. හොල් + මන = හෙලවෙන මනස.

 

No comments:

Post a Comment