ලේලී 14
නැකැත් ගේන දවසේ වැඩ හැමදේම බෙදිලා ගිය නිසා ලොකු කලබලයක් නැතුව ඒ දවස උදා වුණා. උයන වැඩ සේරම උයන ගෙදර කුසුම් බාරගත්ත එක ලොකුම දෙයක්. නැත්නම් අම්මා අන්තිම මොහොත වෙනකම් දාඩිය පෙරාගෙන කුස්සි රැජන වෙනවා නේ. අපරාදේ කියන්න බෑ සඳායි සුරතුයි එයාලගේ ඕනකමටම උදෙන්ම ඇවිත් ගෙදර පිළිවෙල කරන්න උදවු කළා. මල් කඩේ ගිහින් මල් ටිකකුත් ගෙනත් ඒවා එරේන්ජ් කළා. ඒකි ඉතින් ඕවට එක්ස්පර්ට් නේ. ඉස්කොලේ හැම මඟුලේම ඒ වැඩ කොටස කරන්නේ එයානේ. සඳාගේ වල්ලභයාත් ඒවට කැමති නිසා තකට තක. ඒවත් එක්ක බලද්දී මේක මොන උත්සවයක් ද? ඕව ඕන නෑ කියලත් මං කිව්වා.
ඇත්තටම ඒ දෙන්නා ගත කරන්නේ හරිම ආදරණීය ජීවිතයක්. ඒ ජීවිතය වගේ එකක් තමයි මාත් ප්‍රාර්ථනා කරන්නේ.
"මට උඹලා ගැන ඉරිසියා හිතෙනවා සඳෝ" මං ඒකිට කියනවා.
"ඉතින් උඹටත් ළඟදිම මල් කුමාරයාගේ රජදහනට යන්න පුළුවන් නේ"
"බලමු.... උඹ දන්නවා නේ මං එන විදියට ගහ උළුවස්සා නෙවේ බව.... මං මට ඕන විදියට තමයි දේවල් කරවන්නේ...
" ඔව් ඔව්...දැනටමත් නැන්දම්මා දැපනේ දාගෙන නේ කෙල්ල"
මං සඳායි සුරතුයි එක්ක ගෙදර දොර පිළිවෙල කරනවාත් එක්ක පුංචි අම්මයි සරිතයි ආවා.
"ෂා කොල්ලා දැන් හරි ස්මාට් වෙලානේ" මං මල්ලියා බදා ගත්තා.
" මෙයා දැන් ඒ ලෙවල්වලට මැත්ස් කරන්න ලෑස්ති වෙනවා. " ඒ අස්සේ පුංචි අම්මා මට පැමිණිලි කළේ හරියට මං මහාධිකරණ විනිසුරු කියලා හිතලා වගේ.
" ඇයි බයෝ බෑ කියලා හිතුණද පැටියෝ? "
" ඔව් අක්කේ මට ඒක හරියන්නේ නෑ. මගේ ටාගට්ස් වෙනයි නේ."
"අපේ මල්ලිට ඕන වෙලා තිබුණේ බෑණා දොස්තර කරන්න නේ " පුංචි අම්මා තම දොස්තර මලයා ගැන මහත් උජාරුවෙන් මතක් කළා.
"ඉතින් පුංචී හැමෝම දොස්තරලා වෙන්න ඕන නෑ නේ."
"ඒකනේ අක්කේ මේ අම්මලා තාම දහඅටවෙනි සියවසේ ඉන්නේ."
අක්කලා මලයලා ඕන එකක් කර ගන්න කියන්න වගේ පුංචි නෝක්කඩු මූණක් දාගෙන කුස්සිය පැත්තට ගියා.
" ඔයා මැත්ස් කරනවා නම් මං ඔයාට අපේ ඉස්කෝලෙ මැත්ස් ටීච අඳුන්වලා දෙන්නම්." මං සඳාට ඇහැක් ගැහුවා.
"හොඳට උගන්වනවද එයා? "
" ඔව්. ඔව්... ළමයි හරි කැමතී එයාට" මං ආයේ සඳා දිහා බැලුවා. එයා කැමති ඇති නේ තව ළමයෙක් ටියුෂන් වලට එනවට.
"ඔන්න ඔය මල් ළඳ තමයි අපේ මැත්ස් ටීට මල්ලී"
මං සරිතට කිව්වා.
සරිත පුදුමයෙන් වගේ කට ඇරගෙන සඳා දිහා බැලුවා.
දවල් දහය වගේ වෙද්දී මං ඇඳ පැළඳ ගෙන කවදත් දාන පොඩි මේක් අප් එක දා ගත්තා. සැමී දුන්න මාලය පැළඳ ගත්තා. සඳාලා පිරිස එන්න කලින් යන්න ගියා. පවුලේ පුද්ගලික දේකට එයාලා ඉන්න ඕන නෑ කියලයි එයා කිව්වේ. ඒකත් ඇත්ත. අම්මා නම් සුපුරුදු කොණ්ඩ ගෙඩිය බැඳගෙන, තරමක් වටින කියන ඔසරියකුත් පටලවාගෙන අගස්ති ඇට මාලය එහෙමත් දාගෙන මහ රැජන වගේ නැති කලබලයකින් එහෙ මෙහේ යනවා මං දැක්කා. අම්මට ඕන එහෙම තමයි. ඒකෙන් එයා සතුටු වෙනවා නම් අනික් අයට ඒක කරදරයක් නෙවේ නම් මගේ මොකෝ කියලා ඉන්න මං පුරුදු වුණා. අම්මටම හරියනවා මගේ වෙන්න නැන්දම්මත්.
දහයාමාර පහුවෙලා තව විනාඩි දහයකුත් පාර දිහා බෙල්ල දික්කරගෙන ඉන්න කොට තමයි සුදුපාට කාරෙක වත්තට ඇතුළු වුණේ. ඒක පිටුපසින් තව රතු හා අළු පාට කාර් දෙකක් ආවා.
නැන්දම්මත් මඟුල් ගේක යන තරමට ඇඳ පැළඳගෙන මාමණ්ඩි ළඟින් ඇලීගෙන වගේ ඉස්සරහට ආවා. ගෙදර කාමර දෙකක හැබැයි දොයියන්නේ.... මට හිනාත් යන්න ආවා. සැමී අර නැකැත් මංජුසාව වැටෙයි කියලා බයට වගේ පපුවට ටිකක් පහළින් අල්ලගෙන බදාගෙන වගේ එනහැටි දැකලා මගේ අර මුල් හිනාවම එක්ටෙන්ඩ් වෙලා බකස් ගාලා එළියට පැන්නා.
"ඇයි....?" කියලා සැමී ඇස් දෙකෙන් තමයි ඇහුවේ. ඒ හිනා වුණේ මොකටද කියන එක එයාටත් විචිකිච්චාවක් වෙලා වග මං තේරුම් ගත්තා.
"ඕක ඔච්චර බරද?" මං පෙරළුණු පිටට නැග්ගා.
"තාම බර හරීයට දැණුනේ නෑ" සැමී මගේ ඇඟේ ගෑවීගෙන යන ගමන් වගේ කිව්වා. ඒක ඩබල් මීනින් ද මන්දා.
අම්මයි තාත්තයි පිරිස පිළිගත්තා. සැමී නැකැත් මංජුසාව තාත්තට පිරිනැමුවා. තාත්තා ඒක බොහොම ගරුසරු ඇතුව සාලයේ ස්ටූල් එක උඩින් තිබ්බා. අර සිරික්කිය කොටට කොටේ ගවුමක් ඇඳලා ඇවිත් හිටියේ. තවත් මහත් වෙලා ද මන්දා. හැබැයි එදා තරම් ගායක් නම් නැති වග මට තේරුණා.
" අක්කී අද හරි ලස්සනයි" කියලා මට හග් එකක් දීගෙන ඒකි කිව්වා.
"ඔයත් ලස්සනයි...." මං කිව්වේ නොකිය බැරි කමට.
ඒත් එක්කම නැන්දම්මා මාව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා. එයාගේ සුවඳ විලවුන් සුවඳ මගේ නහය කඩාගෙන යන තරමට සැර වුණා.
ඊට පිටි පස්සෙන් මගේ නෑනා පොඩ්ඩ "නංගී...." ගාගෙන ඇවිත් මාව බදා ගත්තා. දැන් එයා මට උපදෙස් දෙන පාඨමාලාවට පොඩි නිවාඩුවක් දීලා වගේ ඒක තරමක් අඩුවෙලා තිබුණ නිසා ඒ ටිකේ අපේ කතා බහ ටිකක් අඩු වෙලයි තිබුණේ. ඒත් නෑනා ගේ නිලය දිගටම හොඳට අල්ලගෙන ඉන්න ඕන බව තමයි මිසිස් ගුණවර්ධන වුණත් මට කිව්වේ.
"අක්කේ ටිකක් කෑම මේසේ බලනවද?" මං එයාගේ වැදගත්කම ඉස්මතු වෙන්න වගේ වගකීමක් පැවරුවා. ඒවට ගෑනි කැමතියි. කොතනත් ලොකුකම ගන්න නේ මේ ලලනාවන්ගේ බලාපොරොත්තුව.
කවුරු කවුරුත් ඉඳගෙන හරිබරි ගැහුණට පස්සේ අම්මා මට ඇහැකින් ඉඟිකළ නිසා මං ඒ අනුව කට්ටියට සිසිල් පැන් සංග්‍රහය අරන් ආවා. මට උදවුවට සහස්රා ආවා. ඒ වගේ වැඩට ඒකි උඩපැනගෙන එන්නේ.
ආ ගිය කතා බහෙන් පස්සේ මාමණ්ඩි නැකැත් පත මංජුසාවෙන් එළියට ගත්තා. ඒක නිල්පාට රෙදිකඩක රන් අකුරින් මුද්‍රණය කර තිබුණා.
අපේ තාත්තා ගේ උපදෙස් මත සරිත සාලයේ සෝෆාවේ ඉඳගෙන හරිබරි ගැහී ඒක කියෙව්වා.
ඒ ලියවිල්ල අනුව ළඟදීම දිනයක මහනුවරදී සමන්ත සපරමාදු කුල කුමරුවාගේ හා සුරංගී රණසිංහ කුල කුමරියගේ විවාහ මංගල්‍යය සිදුවෙන්න නියමිතව තිබුණා.
දවල් ආහාරය කවුරුත් සතුටින් භුක්ති වින්දා.
කට්ටිය තවත් දේශපාලන කතා ඇද ගනිද්දී මායි සැමීයි මිදුලට ගියා. මෙන්න සහස්රත් ඒ පස්සේ ඇවිත්. අපි මිදුලේ පොකුණ ළඟ බංකුවේ ඉඳගෙන ටිකක් කතා කළා. සහස්රා ඉස්සර තරම් සැමීගේ කරේ නඟින්න ආවේ නෑ. ඒ තැන්පත් කමට හේතුව කෙල්ලට මොකක් හරි සෙට් වෙලා නිසා ද කියලත් මට සැකයක් ආවා. ඒවත් වෙන්න එපායැ... මට කැම්පස් ඉඳලත් ඒක බැරි වුණාට හැම කෙල්ලම එතරම් අදක්ෂ නෑ නේ. මට එක පාරටම සංඛ මතක් වුණා. ඇත්තටම සංඛ මගේ නොවුණේ අර තේ උඩිච්චිය පහළ බැච් එකට ආ නිසානේ. නැත්නම් මාත් මෙලහකට ලව් මැරේජ් එකක.
"ඔයා වෙන ලෝකෙක නේද මැණිකේ? සැමී මගේ අතින් ඇදලා පපුවට තද කරගත්තේ සහස්රා ඉස්සරහම යි. මං වැරැද්දක් කළා වගේ මට මහා මොකක්ද හැඟීමක් දැනුණා. මට දැන් සැමී ඇර වෙන කෙනෙක් ගැන හිතන්න ඕන නෑ ඇත්තටම. ඒත් අතීතය අපේ හිත්වලින් මැකෙන්නේ නෑ නේ.
" නෑ..... නිකා ඉන්න අනේ... "මං මගේ අපහසුව වහගන්න හනික අහකට පැන ගත්තා. සැමී මට රැව්වා.
හැමෝම පිට වෙලා ගියාට පස්සේ මට මහා තනිකමක් දැනෙන්න වුණා. සමන්තටයි මටයි අද වැඩිය කතා කරන්න වුණෙත් නෑ නේ. රෑ වෙලා අපි පුංචි තිරයේ ටික වෙලාවක් ළං වී හිටියා. ඒකෙන් හිතේ බර ගතිය අඩු වෙලා ගියා. ඊළඟ දවසේ ටිකෙන් ටික ආයෙත් වැඩ ලෝකෙට බහින්න සිද්ධ වුණා. ඉස්කෝලෙ වාර විභාගත් ළං වීගෙන ආවා.
ඒ අව් අස්සේ මගේ තීසීස් එකේ ඩේටා ඇනලිසීස් සංකීර්ණ වැඩියි කියලා මගේ සුපවයිසර් මහාචාර්ය ඔබේසේකර කිව්වේ එයාට ඒක තේරුම් ගන්න බැරුව. මොකද එයාලා තාම පරණ ලඩරංවල නේ ගමන. ඉතින් මට ඒ සම්බන්ධයෙන් වන මහාචාර්ය සුමතිපාල සමග සම්මුඛ සාකච්ඡාවකටත් යන්න වුණා. මහාචාර්ය සුමතිපාල නම් ඒ ඇනලිසීස් එක ඉහළින්ම භාර ගත්තා. එයින් මෙයින් සතියක් ඇතුළත තීසීස් මුද්‍රණය කරලා බයින්ඩ් කරලා පිටපත් තුන භාර දෙන්න සිද්ධ වුණා. අපරාදේ විශ්ව විද්‍යාලයේ පමාවෙන් නැත්නම් මේ වර උපාධි ප්‍රදානය මට මගය හැරෙනවා. ඒක මට දුකක් වෙන්න තිබුණා. මහාචාර්ය සුමතිපාල මාව උනන්දු කළා ඉක්මනට වැඩ ඉවර කරලා බාරදෙන්න කියලා.
කොහොමහරි සේරම හොඳින් සිදු වුණා. තව ටික දවසකින් මං විද්‍යාපති උපාධිධාරීනියක්. ඊට එහාට ඉගෙන ගන්නවද කියන එක තාම තීරණය කළේ නෑ. අනික ටීචින් ඉන්නවා නම් ලොකු උපාධිවලින් ඒකේ ඉහළ යාමකුත් නෑ.
©MalinieGanewatta
ගොඩක් කාලෙකින් කතාව ආපහු ලියන්න ගත්තා. එච්චර ලස්සනට ලියවුණෙත් නෑ. නොදා ඉන්නත් හදලා සමහර රසිකයෝ ඒ ගැන අහන නිසා දැම්මා.