Monday, January 25, 2021

ඉගෙනීම (Learning) යනු කුමක් ද ?

 












ඉගෙනීම (Learning) යනු කුමක් ද?

 

 දැනුම,  කුසලතා,  ආකල්ප;  හැදෑරීමෙන්, අත්දැකීම් මගින් හෝ ඉගැන්වීම තුළින් නතු කරගැනීම ඉගෙනීම ලෙස ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය අර්ථ දක්වනවා.  ඉගෙනීමේ අවසාන අරමුණ ඉගෙනීම් ඵල ලබා ගැනීමයි. ඉගෙනීම් ඵල යනු මොනවාද ? ඉගෙනීමෙන් ඒවා ලැබුණේද යන්න මනින්නේ කෙසේද ? ළමයි පාසල් යති. එසේ යන්නේ ඉගෙනීමට යයි සිතති. ළමයි පාසල් ගොස් ඉගෙන ගනිතියි දෙමව්පියෝ සිතති.  ඉගෙනීම යනු කුමක් දැයි ළමයි හෝ බොහෝ දෙමව්පියෝ හෝ නොදනිති.  ළමයි ඉගෙනගෙන අවසානයේ  විභාග වලට පෙනී සිටිති.  ඔවුහු ඔවුන්ගේ දෙමව්පියෝද විභාගවලින් ඉහළ ලකුණු බලාපොරොත්තු වෙති. විභාග තියන්නේ ඇයි? විභාග වලින් මනින්නේ මොනවාද? මේ කිසිවක් වැඩිදෙනා නොදනිති. දැන ගැනීමට උත්සාහ   නොකරති.

අපි දැන් මේ ඉගෙනීම කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න බලමු. 

යමක් ඉගෙන ගත්තා නම් ඉගෙනගත් තැනැත්තාට කුමක් විය යුතුද? කලින් සිටියාට වඩා වෙනසක් සිදුවිය යුතු නේද? එහෙම නම්  ඉගෙනීම යනු චර්යාවේ ස්ථිරව සිදුවෙන වෙනසකි. { Learning can be defined as the relatively permanent change in behavior potentiality that results from reinforced practice or experience. ( S. P . Robbins ) }. එහෙම වෙනසක් ඉගෙනීම නිසා සිදුවීදැයි මැනීමට ඇගයීම් (Evaluation ) කරන්න වෙනවා.  විභාග කියන්නේ අන්න එහෙම ඇගයීමේ ක්රමයක්.  ක්රමය සාර්ථක ? මේ ගැන සිතිය යුතු බොහෝ දේ තිබෙන නමුත් එය මෙවැනි සටහනකට එතරම් විෂය වෙන්නේ නැහැ. යම් පමණකට පමණයි ලිඛිත විභාගයකින් මේ ඇගයීම කරන්න පුළුවන් වෙන්නේ. ඒ  ගැන තව හිතන්න අපිට පුලුවන් වෙනවා  බ්ලුම්ගේ  (Bloom’s Taxonomy)ඉගෙනුම්  ඵල ගැන අධ්යනය කිරීමෙන්.  එහිදී  ඉගෙනුම් ඵල හයක් ගැන සඳහන් වෙනවා.  එහිදී අඩුම ඉගෙනුම් ඵලයේ සිට ගත්තොත් මෙහෙමයි.

1. මතක තබා ගැනීම - නිද : අර්ථදැක්වීමක්, ගාථාවක් කට පාඩම් කර ලිවීම

2. අවබෝධය   -   යමක් වර්ග කිරීම, විස්තර කිරීම, පැහැදිලි කිරීමක්  කිරීම

3. භාවිතය   - යමක් සඳහා අර්ථ කතනයක් ගොඩ නැංවීම,  දෙන ලද දත්ත වලින් සටහනක් ඇඳීම , ගැටළුවක් විසඳීම

4. විශ්ලේෂණය  -  යමක් සංසන්දනය කිරීම, විවේචනය කිරීම

5. ඇගයීම  - යමක් පිලිබඳ තර්ක කිරීම, යමක් ගැන විනිශ්චයක් දීම

6. සංස්ලේෂණය - යමක් එකලස් කිරීම, ගොඩනැංවීම, සැලසුමක් සකස් කිරීම

මේ අනුව ඉහළ  ඉගෙනුම් ඵල වන්නේ සංශ්ලේෂණය, ඇගයීම හා විශ්ලේෂණය යන ඒවායි.  මේ අනුව බැලුවොත්  අපේ පාසල් මට්ටමේ රජයේ විභාග වලදී මේ ඉගෙනුම් ඵල වලින් වැඩිපුරම මනිනු ලබන්නේ මතකය බව ඔබට වැටහේවි.  හුඟක් විෂය වල අහන ප්‍රශ්න වලට ළමයි කට පාඩම්  කරලා උත්තර දෙනවා.  ගණිතයේදී වුණත් යාන්ත්‍රිකව පුරුදු වෙලා ගිහින් හදපු විදියෙම ගණනක් තිබුණොත් තමයි හුඟක් ළමයින්ට පිළිතුරු දෙන්න පුළුවන්. පොඩි වෙනසක් කරලා ඇහුවොත් කලබල වෙනවා. විද්‍යා, ගණිත උසස් පෙළ විෂයයන්ගේ නම් ඉහළ ඉගෙනුම් ඵලත් මනින්න පුළුවන් විදියට ප්‍රශ්න පත්‍ර සකස් වෙනවා. නමුත් එහිදීත් තිබෙන රටාව පොඩ්ඩක් හරි වෙනස් වුණොත් සිසුන්ට මුහුණ දීමට බැරි වෙනවා. ජීව විද්‍යාව වගේ විෂයන් තදින්ම පෙළ පොතකට සීමා කිරීමෙන් එවැනි විෂයන් පවා මේ කටපාඩම් විභාග ක්‍රමය වෙත තල්ලු කර තිබෙන බව පේනවා. සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේත් ද, දැන් ස්වභාවය කෙළින්ම ප්‍රශ්නය ඇසීම. 

අනිත් දෙය නම් හසුරු කුසලතා ලිඛිතව කොහෙත්ම මනින්න බැරි වීම. මේකට මට හොඳ අත්දැකීමක් කියන්න පුළුවන්. මං මගේ උසස් අධ්‍යාපනයේ දී සාමාන්‍ය පෙළ සිසුන්ගේ විද්‍යා ප්‍රයෝගික කුසලතා මනින්න පර්යේෂණයක් කළා. එහිදී ප්‍රභාසංස්ලේශනයේදී ඔක්සිජන් පිටවීම පෙන්වීමට ඇටවුම සකස් කරන්න දුන්නා. නියැදියේ කොළඹ ප්‍රධාන පාසල් වල ළමයි වගේම ඈත ප්‍රදේශවල දුෂ්කර පාසල්වල ළමයිනුත් හිටියා. මේ ළමයි 20කගෙන් පුනීලය මත වතුර සම්පුර්ණයෙන්ම පිරවූ පරීක්ෂණ නළය තියන්න පුළුවන් වුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඈත ගමක පාසලක දරුවෙකුට විතරයි. දැන් මේක ලියන්න/අඳින්න දුන්න නම් මෙයින් වැඩි දෙනෙකු එය හරියට කරාවි. නමුත් ප්‍රායෝගික දැනුම නැහැ.

ප්‍රයෝගික පරීක්ෂණයක් මගින් දැනුම මනින්න අපට පහසුකම් නැහැ. ගුරු කුසලතා වර්ධනය වෙලත් නැහැ. පාසල් පාදක ඇගයීම් වලදී ගුරුවරු හුඟක් දුරට ළමුන් කෙරෙහි නැඹුරුවීම වෙනවා. ළමයා තමාට හිතවත්ද, ළමයා දුප්පත් ද, ළමයා තමන්ගේ නෑදෑයෙක් ද වගේ දේවල් වලට නැඹුරු වෙමින් සාර්ථක ඇගයීමක් කරන්න බැහැ.

අනික තමයි ආකල්ප ලිඛිතව මනින්න බැහැ. තමන් විදුලිය අඩුවෙන් පරිහරණය කරන බවත්, එයට තමන් කරන විවිධ උපක්‍රමත් දරුවෙකු ලස්සනට ලියන්න පුළුවන්. නමුත් සැබෑ ජීවිතයේදී එහෙම කිසිසේත්ම නොකරනවා වෙන්න පුළුවන්.  ඉතින් දැන් ඔබට ඉගෙනීම කියන්නේ විභාග වලදී ඉහළ ලකුණු ගැනීම පමණක් නෙවේ කියන එක යන්තම්වත් තේරුම් යන්න ඇති කියල හිතෙන්න ඕන.  අපි කරන හැම හැසිරීමක්ම ඉගෙනීමේ ඵලයක්.  මම ක්ෂුද්‍ර ජීව විද්‍යාව හදාරලා තියෙනවා.  ඒ නිසා වයිරස කියන්නේ මොනවාද, බැක්ටීරියා කියන්නේ මොනවාද කියල දන්නවා. ඒ දැනුම මා රෝගයකින් ආරක්ෂා වීමේ දීත්, කෑමක් පිළියෙළ කිරීමේදීත්, අත සේදිමේදීත්,  පැළයක් සිටවීමේදීත් ආදී බොහෝ තැන්වලදී මගේ හැසිරීම තීරණය කරනවා.

නමුත් අපේ රටේ සාමාන්‍ය  පෙළ දක්වා විතරක් නෙවෙයි උසස් අධ්‍යාපනයේ දී පවා විද්‍යාව ඉගැන්වීමෙන් බලාපොරොත්තු වන චර්යාවේ වෙනස ඇති නොවෙන බව මේ දිනවල මිත්‍යාව පසුපස දුවන ජන සමූහය සක් සුදක් සේ පැහැදිළි කරනවා.

 

 (Thanks to Annie Spratt for this image on Unsplash)

6 comments: