බලාපොරොත්තුව
අවට
පරිසරය ප්රීතියෙන් ඔකඳව
ඇති සෙයක් මට පෙනිණ. වෙනදා
මලානිකව පැවති ලාම්පුවේ
එළිය එදින මුළු ගෙයම
ඒකාලෝක කොට තිබුණු සේය.
සාලයේ මා වාඩිවී සිටි
තැනට පෙරපස දොරකොඩින් ඔබ්බෙහි වූ මිදුලත් ඈත
අහසෙහි පායා එන නැමි
පනාවක් බඳු සඳත් පැහැදිලිව
මා නෙතට දිස් විය. ඒ
පුන් පෝය දින පසුවී
කී වැනි දිනදැයි නිශ්චිත
හැඟීමක් මා තුළ නොවීය.
එය තීරණය කිරීමට මොහොතක් උත්සාහ කළ මම නැවත
ඒ අදහස හැර දමා
අවට පරිසරයට නෙත් හෙළිමි. මිදුලේ
කෙළවර නා වැටියේ අතුපතර
අතරින් පෙරී ආ සඳ
රැස් මිදුල පුරා සෙවනැලි රටාවක්
මවා තිබිණි. තැනකට ආලෝකය මදකුත් තව තැනකට වැඩියෙනුත්
පතිත වීම නිසා රටාවේ
ක්රමානුකූලත්වයක් නැති වූවද එහි
මගේ සිත සනසන කිසියම්
අපුර්වත්වයක් ඇතැයි මට සිතුනි.
සාලයේ
ඇඳ මත වාඩිවී සිටි
අම්මා කිසියම් බර කල්පනාවක නිමග්නව
සිටියාය.ලාම්පුවේ එළියෙන් ආලෝකමත් වූ ඇගේ මුහුණේ
එක්පසක් මට පැහැදිළිව පෙනිණි.
ඇයට පිටුපසින් බිත්තියේ වැටී තිබුණු සෙවණැල්ල
ඇය මෙන් කීප වාරයක්
විශාලය. සුදු නංගි ද
අම්මා අසල වැතිර සිටියාය.එහෙත් ඈ නිදි නැතිබව
මට වැටහුණේ වරින් වර සෙලවෙන දෙකලවා
දක්වා නිරාවරණය වුණු ඇගේ සුදු
දිගු දෙපා වෙත මගේ
නෙත ගැටුණු බැවිනි. මේසය අසල වැඩිවී
සිටි ලොකුමල්ලී මොකක්දෝ ගීතයක් මිමිණුවේ මේසයට ඇඟිලි තුඩින් තට්ටු කරමිනි. පොඩි මල්ලී බිම
පැදුරක තද නින්දේ පසු
විය. කුස්සියේ සිට පැමිණි ලොකු
නංගි ද අම්මා අසලින්
වාඩි වූවාය.
"කොහේද
අම්මේ තාත්ත ගියේ?"ඒ සමගම ඈ
ඇසුවාය.
"පොඩි
වෙද මහත්තය හම්බ වෙන්න කියල
ගියේ. ඒ ගමන් මන්ත්රී තුමත් හම්බ
වෙන්න යනවයි කිව්වා."අම්මා පිළිතුරු දුන්නාය.
"තාත්තත්
යාවිද අම්මේ හෙට අක්ක එක්ක
?"ලොකු නංගි නැවත විමසනු
ඇසිණි.
"යාවි
නේ ලොකු දුවේ ?"අම්මා
පානය මා වෙත යොමු
කළාය.
"යාවි
මයෙ හිතේ. කොහොමත් මට තනියම යන්න
බෑ " මම කීවෙමි.
" ඔව්,
ඉස් ඉස්සෙල්ලා තනියම යන එකත් හොඳ
නැහැ." අම්ම ද කටහඬ
නැවත අවදි කළාය. බොහෝ
විට දුක, ශෝකය හෝ
සතුට එතරම් නොපෙන්වන ඇගේ උපේක්ෂා
සහගත මුහුණ පුරා සොම්නසක
සේයාවක් ඇඳී තිබෙනු මට
පෙනුණි. වයසට වඩා මහළු
බවට පත්ව ඇති ඇගේ
සිරුර බෙහෙවින් කෘශය. අකලට දත් හැලී යාම නිසා
ඇතුළට ගිලී ගිය දෙකම්මුල් මුහුණේ
වයස්ගත පෙනුම තවත් තීව්‍ර
කළේය. ඇගේ
දෙනෙත් පත්ලෙන් පැතිරුණු බලාපොරොත්තුවේ සේයා මුළු මුහුණින්ම
මුර්තිමත් ව පෙනිණි. ඒ
දෙනෙත් අග වූයේ සතුටු
කඳුළු බිඳකියි මට සිතුණි. මා
රැකියාවක පුහුණුව සඳහා පළමුවෙන්ම පා
තැබිය යුතුව තිබුණේ පසු දිනටය. පුහුණුවෙන්
පසු රැකියාවේ පත්වීම් ස්ථිරවම ලැබෙනු ඇති බව දන්වා
තිබුණි. ඒ 'ඉමිහිරි හෙට'
පිලිබඳ බලාපොරොත්තුව මගේ මෙන්ම අම්මාගේත්
නිවසේ අනිකුත් අයවලුන්ගේ චිත්ත සන්තාන පුරා උතුරා ගලා
යමින් තිබුණි. දහසක් සිතුවිලි යටපත් කොට ඉදිරියට පැමිණි
සතුට සිතෙහි උතුරා දෝරේ ගලන්නට මම
ඉඩ දුනිමි. එහෙත් සතුට පරයා පැමිණෙන
යටපත් වූ සිතුවිලි සිතුවම්
පටක එකින් එක පෙළක දිවෙන
රූ රැසක්
මෙන් අතීතය මා අබියස තිර
ගත කළේය.
පඩි පෙළක් වන් දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ මම දුක සැප යනු කුමක් දැයි අතැඹුලක් සේ හඳුනා හැදී වැඩුනෙමි. අපේ ජීවන වියදම උදෙසා කම්කරුවෙකු වශයෙන් සදාකල් දුක් විඳින තාත්තාගේ මුහුණ මට මැවී පෙනිණ. නගරයකට ආසන්න නමුත් ග්රාමීය පරිසරයක් වූ අප ජීවත් වූ ප්රදේශයේ අපටය කියා තිබුණේ අම්මාට පරම්පරාවෙන් උරුමව තිබූ මේ පැරණි කුඩා නිවසත් එය පිහිටි අක්කර කාලක තරම් භූමි භාගයත් පමණි. වගාවක් කර ගැනීමට තරම් තමාටය කියා ඉඩමක් කඩමක් නැති තාත්තා අනුන් හමුවේ තම ශරීර ශක්තිය දියකර හැරියේ ඉතා අසරණ අයුරිනි. සතියක් වැඩ කරන තාත්තාට මසක් වැඩ නොලැබී යයි. එවන් දිනවල අම්මාගෙන් ලැබුණු ඇණුම් බැණුම් සීමා රහිත විය.
"ඔහොම
ගෙදරට වෙලා උඩ බලන්
ගුලිවෙලා හිටියම සේරම හරි යයි.
අනේ දෙයියනේ මේ මිනිස්සුන්ට තේරෙන්නෙ
නැද්ද මේ දරුපැටවුන්ට කන්න
බොන්න ඕන බව. හිඟන
පැටවූ ගොඩ හැහුව නම්
ඉතුරු හරියත් බලාගන්න ඕන."
ඒ වෙලාවට තාත්තාගේ මුහුණේ රැඳෙන පරාජිත බැල්ම මගේ හදවත දවා
හළු කළේ වරක් දෙවරක්
නොවේ. තාත්තා කෙදිනකවත් අම්මාට වචනයකින් වත් සැර පරුස
වූයේ නැත.
"හැමදාම
එක කල යන එකක්
නැහැ දරුවෝ " මා ජ්යෙෂ්ට
විභාගය සමත් වූ ද
තාත්තා පැවැසූ යේ මහත් බලාපොරොත්තු
සහගත ස්වරයකිනි. " ආදරණීය තාත්තා" මම මට පමණක්
ඇසෙන සේ මිමිණුවෙමි. ඔහුගේ
දහඩිය සුවඳ මගේ නාසයට
දැනී නොදැනී ගියේය. ඔහු ඉවත ලූ
බැනියමක් වත් අසල දොර
පළුව මත ඇත්දැයි බැලීමට
මම පසුපස හැරුණෙමි. නැත,එවැන්නක් නැත.
එසේ නම් ඒ දහඩිය
සුවඳ කොහෙන් පැමිණි එකක්ද ? තාත්තා හෙළන දහඩිය බිඳුවක්
පාසා මා ඔහුට ඇති
ණය බර තව තවත්
වැඩි වෙතැයි මට සිතිණි.
"ලොකුයි
කියල කොල්ලෙක් වත් ඉන්නව නම්
මගේ වැඩට උදව් වෙයි."
ඇතැම් දිනෙක මහන්සිවී ගෙදර පැමිණෙන තාත්තා
පැවසුවේය. එවිට මගේ සිත
මදක් රිදී ගියේය.
"ඔය
ඉන්නේ කොල්ලොනේ " අම්මා මල්ලිලා පෙන්වූවාය.
තාත්තා
මල්ලිලාගේ හිස අතගාමින්
"ලොකුවෙයන්
පුතේ ඉක්මනට " කියමින් සිනාසුණේය. එහෙත් ඇත්තෙන්ම අම්මාගේත් තාත්තාගේත් ආත්මය වසා ගෙන පැතිර
ඇත්තේ වෙනස්ම අදහස් සමුදායකි. ඒවා වචන වලට
පෙරළුණේ නැත. ලොකු මල්ලි
ලොකු මහතෙකු කිරීමටත් මා වෙනත් උසස්
නිලයක් දරණු බැලීමටත් ඔව්හු
සිහින දුටහ.
"ලොකු
පුතා කවුරු වෙනවද?"සමහර දිනක තාත්තා
ඇසුවේය.
"මම
ඉංජිනේරුවෙක් වෙනවා " යි ලොකුමල්ලී පවසන
විට තාත්තාගේ මුහුණ හිරු දුටු සුර්යකාන්ත
මලක් මෙන් බැබලුණි. එහි
කිසිම උඩඟු බවක් නැත.
ඇත්තේ අවිහිංසක බලාපොරොත්තුව පමණි. එහෙත් ලොකු මල්ලීට ජීවිතයේ
යථාර්තය මේ යයි වැටහීමක්
නොතිබුණි. ඔහු තවම පොඩි
දරුවෙකු යයි මට සිතුණි.
"මේ
බලන්න අම්මේ, මේ තියෙන්නේ ඉංජිනේරුවෙකුගේ
ලක්ෂණ." ඔහු නළල මතවූ
මුදු ගැසුණු කෙස් රොදක් පෙන්වා
පැවසුවේය. ඒ කෙස් රෝද
කොතෙක් පසුපසට දැමුවද ඉදිරියට ආවේය.
මා ජ්යෙෂ්ටය සමත්වූ
පසු රැකියාවකට දමා ගැනීමට තාත්තා
ගත් වෙහෙස අපමණය. ඒ වෙහෙසේ ප්රතිඵල දැන් ලැබී තිබේ.
එතෙක් කල් ඉවක් බවක්
නොදැන අප ඇවිද ගිය
මහා කතර තුළ අපට
හමුවූ කෙම් බිම නොවන්නේද
එය? එය ලිපිකරු පත්වීමක්
නොව රටක් රාජ්යයක්
තරමට වටින්නේ යයි මට සිතුණි.
“පඩි
ගත්තහම තව ඇඳුම් කෑලි
දෙක තුනක් ගන්න බැරිය."අම්මා
පෙරදිනක තාත්තා
ගෙනා සාරි දෙක අත
පත ගාමින් කීවාය. මේ දවස් දෙකේ
මම ඒ සාරි දෙකට
හැට්ට හා යට සායවල්
මසා ගත්තෙමි. අළුත් සාරියක් ඇඳන් රැකියාවට යන
සැටිත්, මුල් වැටුප ගෙන
අම්මාට, තාත්තාට හා නංගිලා මල්ලිලාට
තෑගී බෝග දෙන සැටිත්,
එවිට ඔවුන්ගේ අමන්දානන්දයට පත්වන මුහුණු වල පෙනුමත් මට
මැවී මැවී පෙනෙන්නට විය.
"හිච්චි
දුවේ! අර හාල් සේරුවේ
වී ඇහිඳලා තියන්න. හෙට උදේ කිරිබත්
ඩිංගක් හදන්න ඕන." අම්මා ලොකු නංගීට කීවාය.
"ඕන
නෑ අම්මෙ කිරිබත් " යයි කීමට දිව
අගට වචන ආවත් ඇගේ
සතුටට බාධා නොකළ යුතු
යයි ක්ෂණයකින් මතක් වූයෙන් දිව
හකුළා ගතිමි.
"තාත්තා
තවම නෑනේ ."අම්මා නැවත කීවාය.
"දැන්
ගිය බස් එකේ එන්න
ඇති ."යි කී මම
ඉස්තෝපුවට ආවෙමි. ඈත වංගුවේ නොපෙනී
ගිය බස් රථයේ පසුපස
තිරිංග ලාම්පුවේ රතුපාට ආලෝකය මට යන්තමට පෙනුණි
. ඒ සමගම අඩ අඳුර
තුළින් මතුවූ තාත්තා ගෙට ගොඩ වූයේය.
ඔහුගේ මුහුණේ වූ දැඩි වෙහෙස
මට පැහැදිළිව දිස් විය. ඉස්තෝපුවේ
පුටුව මත වාඩිවූ ඔහු
යමක් කීමට උත්සාහ කොට
ඒ නවතාගෙන නැවතත් "කෝ අම්මා " යන
සුපුරුදු පැනය නැගුවේ මා
දෙස බලමිනි. "අම්මේ " මම එතැන සිටම
හඬ නැගීමි. ඈ
එකෙණෙහිම දොරකොඩ අසළට පැමිණියාය.
"හ්ම්
"තාත්තා හෙළූ ගැඹුරු සුසුම
මා අනියත බියකින් සසල කළේ ඇයිද
යන්න මටවත් තේරුණේ නැත.
"ඇයි
? ඔහෙට සනීප නැද්ද ?"අම්මාද
බියපත් හඬින් විමසුවාය.
"ඔක්කොම
ඉවරයි." තාත්තාගේ පරාජිත කටහඬ අන්ධකාර පරිසරයේ
හැපෙමින් දෝංකාර දෙමින් මගේ කණට ඇතුල්
වූයේ වෙනත් ලොවක සිට මෙනි.
"ඇයි
තාත්තේ? මොකක්ද?"මම නොඉවසිලිමත් වීමි.
"ලොකුගෙ
නම ලිස්ට් එකෙන් අයින් කරලා "
මොහොතක
නිහැඬියාව බිඳිමින් තාත්තාගේ මුවින් පිටවූ ඒ හඬ පෙරටත්
වඩා එපිට ඈත ඈත
ලෝකයක සිට පැමිණ මගේ
දෙකන් අගුල් වැට්ටුවේ ය. අම්මා උඩට ගත් හුස්ම
පිට කිරීමට අමතකවී ගිය පරිද්දෙන් මුව
අයා ගෙන සිටියාය. ඇසීමට
ඇති දහසකුත් ප්රශ්න ඇගේ
දෙනෙතේ ගල්ගැසී තිබිණ.
"මොකොද
ඔහොම වුණේ " ඈ අපහසුවෙන් බිඳුණු
කටහඬ අවදි කළාය.
"වෙන
කවුද ඒ වෙනුවට දාල
ලු. තරහ කාරයෙක් වෙන්න
ඇති ඕක කරන්න ඇත්තේ
"කියමින් තාත්තා ගේ ඇතුළට ගියේය.
අම්මා සියළු
සෝ තැවුල් අඳුරු පරිසරයට පිට කරන්නට මෙන්
දිග සුසුමක් හෙළුවාය . ඒ සුසුම සැමදා
අපේ දුක් සුසුම්, බාධා
ආදරයෙන් දෝතින් වැළඳ ගන්නා මහා
වායුගෝලයට එකතුවී ඈතට හමා යන්නට
ඇත. ලොකු නංගිත්, ලොකු
මල්ලීත් තැතිගත් මුව පොව්වන් සේ
තව දුරටත් ඔහේ බලා සිටියහ.
සුදු නංගිට නින්ද ගොස් තිබුණි. ඉස්තෝපුවේ
බිත්ති කණුව අල්ලාගත් මම
නොසෙල්වී සිටියෙමි. මගේ වම් නෙතට
එකම එක කඳුළු බිඳක්
නැගිණ. එය අම්මා හෝ
තාත්තා වෙනුවෙන් ද නංගිලා මල්ලිලා
වෙනුවන් ද මා වෙනුවෙන් ද යන්න තෝරා
බේරා ගැනීමට මම අපොහොසත් වීමි.
මම හිත දැඩි කොටගෙන
ඒ කඳුළු බිංදුව පිටි අත්ලෙන් පිසදා
ගතිමි. හමා ගිය වියළි
සුළඟින් නා ගස් වල
අතු පතර සෙලවී ගිය
හෙයින් සඳ එළිය නිසා
බිම පතිතව තිබූ සෙවණැලි රටාව
අපැහැදිලිව ගිය සැටි මට
පෙනී යාමත් සමග අළුත් බලාපොරොත්තුවක
අරුණළු සිත තුළ අංකුරයක්
මෙන් නැගී එනු දැනුණෙන්
මම ගෙට ගොස් ඇඳේ
දිගාවී සිටි තාත්තා අසළට
ලංවීමි.
"තාත්තේ!
තාත්තා තවත්
ඔය එක එක දේශපාලකයන්ගේ
පස්සේ යන්න ඕන නැහැ,
අපි වෙන පිළිවෙළක් බලා
ගනිමු. මට අර කෘෂිකර්ම
පුහුණුවට යන්න ලැහැස්ති කරලා
දෙන්න. අපි අපේ මහන්සියෙන්
නැගිටිමු තාත්තේ "
තාත්තා
පුදුමයෙන් මෙන් මා දෙස
බලා "මගේ පුතාට වරදින්නේ
නැහැ පුතේ " කියමින් ඇඳෙන් නැගිටිමින් තම රළු පරළුව
ගිය අත්ල මගේ හිස
මත තැබීය. එය මහා බරක්
මෙන් මට දැනුණි. ඒ
බර මම සතුටින් ඉදිරියට
ඔසවා ගෙන යන්නෙමියි අදිටනක්
මගේ හදවතේ ඇතුළාන්තයෙන් නැගී ආවේය.
( මෙය මා විසින් උසස් පෙළ ඉගෙන ගන්නා කාලයේ තරගයකට ඉදිරිපත් කරන ලද කතාවකි.)
(Thanks to Vlad Bagacian for this lovely photo on unsplash)
No comments:
Post a Comment