Tuesday, January 12, 2021

පවුල් බර

 











පවුල් බර

 

මෙවර ඔහු ගෙදර එන්නේ මාස තුනකට පසුවය.  ඔහුගේ රාජකාරියේ ස්වභාවය අනුවයි. විමලා ඔහු එන තෙක් ඇඟිලි ගනිමින් බලා සිටියාය.  එකල දැන් මෙන් ජංගම දුරකථන හෝ වෙනත් සන්නිවේදන මෙවලම් තිබුණේ නැත.  හදිසි පණිවිඩයක්  දැනුම් දෙන්නට තිබුණු එකම මග විදුලි පුවතක් යැවීමයි. ඇතැම් විට විදුලි පුවත ග්රාහකයාට ලැබෙන විට හදිසිය අවසන් වී බොහෝ දිනක් ගතවී ගොසිනි. එවැනි විශේෂ අවස්ථාවක පොලිස් පණිවිඩයක් යවන ක්රමයක් තිබුණේය. විමලාට ඔහුට කීමට පණිවිඩයක් තිබුණි. එහෙත් ඉහත කී අයුරින් දැන්වීමට තරම් හදිසි පණිවිඩයක් නොවේ. පණිවිඩය නම් ඉතා වැදගත්ය. ඔහු අද එන බව ඊයේ ලැබුණු ලිපියෙන් කියවී තිබුණි. නිසා දෑස් දල්වා මග බලා සිටියාය. වරින් වර ඇගේ හද ගැස්ම වැඩි වූයේ ඇය නොදැනුවත් වමය. ඇගේ සිත මහා පශ්චාත්තපයකින් පිරී ඇත.  රාත්රී අවසාන බස් රථය හන්දියට පැමිණෙන හඬ ඇගේ සිතෙහි ඇති කළේ තිගැස්මකි. මේ බස් රථය හැම දිනකම එන්නේ නැත. එදිනත් එවැනි දිනයක් වූවා නම් හොඳ නේදැයි ඇයට සිතුනේ ඇයිද යන්න ඇයටම වැටහුණේ නැත.

කෙසේ නමුත් එදින බස් රථය ආවේය. ළඟ මොහොතේ ඔහුගේ වෙහෙසට පත් කෙසඟ සිරුර කඩුල්ල පසුකර වත්තට ඇතුල්වෙනු ඇයට පෙනුණි. දරුවන් සිවු දෙනා රාත්රී ආහාරයෙන් පසු නින්දට වැටී තිබුණු බැවින් නිවසේ වූයේ පාළු මූසල බවකි.

අසීරුවෙන් මවා ගත් සිනාවකින් යුතුව ඉදිරි දොරකඩ ලඟට ගියාය.

“කෝ විමල දරුවෝ ?" අසන ගමන් ඔහු තම අතවූ ගමන් මල්ල විමලා වෙත දිගු කළේය.

"නිදි"  කියා ඇසෙන නෑසෙන හඬින් කියූ ඇය ගමන් මල්ල අතට ගත්තාය.

"මට කලින් බස් එක නූලෙන් වැරදුණා. ඕකෙ දරුවන්ට ගෙනාපු බුන්දියි, ඇපලුයි ඇති. උදේටවත් දෙමු." ඔහුගේ හඬ දුක්බර විය.

 

අම්මත් නිදිද ?" සමගම ඔහු විමසුවේ සිය නැන්දණිය වූ විමලාගේ මව ගැනය.

 

"නැහැ . තාම කුස්සිය අස් කරනවා ඇති." විමලා කීවාය.

"මේ ටිකේ දරුවන්ට හරියට කන්නත් නැතුව ඇති නේද විමල. කොහෙද මුන් පඩි දුන්නේ අදම නේ. නැත්නම් මං ඔයාට මනි ඕඩරයක් එවන්න හිටියේ. " ඔහු පසුතැවීමෙන් යුතුව කීවේය.

"තියෙන විදියට හදල දුන්න සිරී. පොල් අතු වියපුව විලියම් අප්පුට විකුණලා සල්ලි ටිකක් ගිය සතියේ හම්බ වුණා." ඔහුගේ සිත සැනසීමට මෙන් විමලා කීවාය.

 

"ඔයා දැන් නාල කෑම කාල ඉන්න. පස්සේ ඕව කතා කරන්න බැරිය." සමගම කීවාය.

 

ඔහු නිදන කාමරයට ඇතුළු විය. ඇගේ සිත නැවත චංචල වී ගියේය.

"සිරී", ඇගේ දුබල හඬ කාමරයේ දෝංකාර දෙනු ඇයටම ඇසී ඇය බියට පත් වූවාය.

ඒ හඬේ කිසියම් අමුත්තක් දැනුණෙන් ඔහු වික්ෂිප්තව බලා සිටියේය.

"සිරී මට ඔයාට දෙයක් කියන්න තියෙනවා" ඇය ආයාසයෙන් කියා ගත්තාය.  

  "මොකක් ?" මෙවර ඔහුගේ හඬ කෝපය සමග මුසුවී තිබුණි.

ඇය බියපත් මුව දෙනක සේ පණිවිඩය ඔහුගේ කණෙහි තැබුවාය.

තම සැමියාගේ දෙනෙත් මහත්වනු ඇයට පෙනුණි. ඔහු මොහොතක් කල්පනා කළේය.

 

"දැන් හුඟක් දවස් ?" ඔහු යම් කිසි තීරණයකට එළඹුණු ලෙසින් ඇසුවේය.

"ඔව්" ඇය කෙඳුරුවාය.

"මට පොස්ට් කාඩ් එකක් වත් නොඑව්වේ?" ඔහුගෙන් ප්රශ්නයකි.

"ඔයාගේ වැඩටත් බාදාවක් නේ සිරී මේක හිත හිත ඉන්න වුණහම"

“අපි කොහොමද විමල තව දරුවෙක් හදන්නේ ? මේ ඉන්න තුන්  දෙනත් දහ දුක් විඳිද්දී.”

“මොකක් සිරී ඉතින් කරන්නේ. අපි පරිස්සම් වුණා මදි”

“මොකක්ද කරන්නෙ ? බබා වෙන්නේ නැතුව ඉන්නවා විමල.මම කරන්නම් කරන දේ,  හෙට උදේ  බන්දු හම්බ වෙලා. මිනිහත් ලඟදි ඔහොම දෙයක් කළා කිව්වා.”

“නැති කරන්න ද?”

“නැතුව මොකක් කරන්නද?”

“පව් නේද සිරි?”  ඇගේ කටහඬ වෙවුලන ස්වරූපයක් ගත්තේය.

 

“පව්, පව උඹ තියා ගනින්. අන්තිමට සේරම බර මගේ කර පිට. උඹට නම් මොකක් ? ගේන දෙයක් තම්බල මුන්ට කන්න දෙන එක විතරනේ. “ඔහුගේ කෝපය උතුරා ගියේ .

නිහඬ වූවාය. මීට වසර දොළහක අතීතයට ඇගේ සිත ගමන් කළේ නිරායාසයෙනි. එදාත් මෙවැනිම පණිවිඩයක් ඔහුගේ කණට කර කෝල හඬින් කියූ දිනය ඇගේ මනසේ චිත්රයක් ලෙස ඇඳී ගියේය. එදා ඔහුගේ මුහුණේ ඇඳුණු ආදරබර පෙනුම, දිදුළන දෑසින් විස්මයෙන් මෙන් දෙස ඔහු බලා සිටි හැටි සිතට මොහොතක මිහිරක් ඇතුල් කළේය.

ක්ෂණයකින් ඇය වැළඳ බදාගත් ඔහු

"මගේ විමලො. ඉතින් රත්තරන් මාත් එහෙනම් තාත්ත කෙනෙක්." කියමින් ඇගේ මුහුණත් ගෙලත් අතොරක් නැතිව සිප ගත්තේය.

"ඔයා ආස දුවෙකුට පුතෙකුට "ඇයද සුරතල් වෙමින් ඇසුවාය.

"මම නම් ආස දුවෙකුට "ඔහුගේ  හඬ බලාපොරොත්තුවෙන් පිරී ඉතිරී තිබුණි.

බලාපොරොත්තුවේ කුමරිය නිවසට වැඩියේ කාගේත් සිත් අමන්දානන්දයට පත් කරමිනි. දියණියගේ කෙළිලොල් සුරතල් හඬ නිවස පුරවා ලීය. කවුරුත් ඇය සුරතල් කළහ. දියණියට පසු එක පෙළට තවත් දියණියන් දෙදෙනෙකු පවුලට එකතු වීමත් සමග සතුට සිනහව පසු දොරෙන් පලා ගොස් නැතිබැරි අමාරුකම ඉදිරි දොරෙන් ඇතුළු වූයේ ආරාධනාවක් නොලැබ මය.

අද තත්ත්වය සහමුලින්ම වෙනස්වී තිබේ.  සිරීගේ රැකියාවේ ඇතිවූ වෙනස් කම් මත ආදායම අඩු වීමට අමතරව රටේ උද්ධමනයත් වැඩි වීම නිසා දරුවන්ගේ හා පවුලේ ඕනෑ එපාකම් සම්පුර්ණ කිරීම ඉතා අසීරු විය.

පසුදා ඔහු ගෙන යම්කිසි පෙති වර්ගයක් අකමැත්තෙන් අඬ අඬ පානය කළා .

"වෙනසක් නැද්ද විමල" පසුදා ඔහු බලාපොරොත්තු සහගතව ඇසුවේය.

“නැහැ”

“කරුමේ තමයි. ඒකවත් අපිට හරියන්නේ නැහැ " 

බෙහෙතින් පලක් නොවූයෙන් ටිකෙන් ටික දින සති ගෙවී යද්දී ඔහු අහස පොළොව ගැට ගසන්නාක් මෙන් කල්පනාවේ යෙදී සිටිණු දැකීම ඇගේ සිතට ඇති කළේ මහත් බියකි. දුකකි. ඔහු ආදරයෙන් තොර මිනිසෙකු, දයාබර සිතක් නැති පියෙකු නොවන බව ඇය දනියි.

“සිරී , අපි වෙන මොකක් හරි කරමු ?”

“බෑ විමල , දැන් පරක්කු වැඩියි, අනිත් එක ඕවා කරන්න ගිහින් ඔයාට මොනවා හරි අනතුරක් වුණොත් මේ කෙල්ලෝ  තුන් දෙනෙක් හදන්නේ කොහොමද මම? "

 දැන් ඔහු තුළ  තමා කෙරෙහි ආදරයක් නැද්ද යන්න ඇයගේ සිතට පළමුවරට ඇතිවිය. සමගම  දෙනෙතින් කඳුළු රූරා වැටුණේ ඇයටත් හොරෙනි. ඇය පහත්වී ගවුම් සායෙන් කඳුළු පිස දැම්මාය. කඳුළුවල බර ඔහුට දැනුණේ නැත. දැන් ඇයට අනතුරක් වීමේ බය ඔහුට ඇත්තේ දරුවන් සමග ඔහු තනි වේය යන සිතුවිල්ල මත මිස තමා ඔහුට අහිමිවීමේ දුකක් මත නොවේය යන්න ඇගේ සිත කොනිති කරමින් රිදවා ලීය. කෙසේ හෝ දරුවා නැති කිරීමේ අදහස එතැනින් අවසන් විය. අම්මාගේත් නංගීගේ ත් ඇණුම් බැණුම් කෙළවරක් නොවීය.

තව එකෙක් හදා ගත්තේ නැතා. උඹලට මොළේ නැද්ද ? දැන් මේ හැම තැනම තියෙන්නේ ඕවට උපක්රම." දරුවන් පස් දෙනෙකුගේ මවක වූ අම්මාද අවලාද නැගීම ඇයට ඇති කළේ මහත් කලකිරීමකි.

“කෙල්ලොම තුනක් ඉඳිද්දී. මේ සැරෙත් කෙල්ලෙක් වෙන්න ඇති. උඹලට දැනේවි කවද හරි " නංගි අගුළුපත් තැබුවාය.

ඇය මේ සියළු ඇණුම් බැණුම් මධ්යයේ සිය නූපන් දරුවා වෙනුවෙන් ශක්තිය එකතු කළා .  පෝෂ් ජනක ආහාර උපන් දරුවන් වෙනුවෙනුත් නැතිවූ අතර සිය ශරීර ශක්තිය නූපන් දරුවා වෙනුවෙන් දිය කරමින් ඇයට කුස ගින්නේ සිටීමට සිදුවූ අවස්ථාද හිඟ නොවීය. එහෙත් ඇය සියල්ල උත්සාහයෙන් දරා ගත්තාය. මෙවරත් දියණියකම ලැබේවි යන්න ඇය චකිතයට පත් කළ තවත් එක සිතුවිල්ලකි.  මේ දරුවා පුතෙකු වුව හොත් තමාට අම්මා ගේ පමණක් නොව සිය සැමියාගේද ආදරය නැවත ලැබෙනු ඇති බවට ඇය විශ්වාස කළා .

 

ඇය ප්රර්ථනා කළ පරිදිම ඊයේ ඇයට පිරිමි පුතෙකු ලැබුණි. රෝහල්  වාට්ටුවේ බිත්ති ඔරලෝසුව දෙස බලමින් ඇය තම සැමියා එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියේ මේ සුබ ආරංචිය ඔහුගේ කණෙහි තැබීමටය.

දවල් දොළහ පසුවීත් තවත් පැය භාගයක් ගතවූ තැන ඇගේ දෙනෙතට සැනසිල්ලක් ලැබුණි.

“ඔන්න කොල්ලෙක් බලාපොරොත්තු පිරුණු හඬින් තෙපලුවාය. එහෙත් ඔහුගේ මුහුණ මත ඇය බලාපොරොත්තු වූ පෙනුම ඇති නොවීය.  දැඩි ආර්ථික අපහසු තාවය ඔහුගේ හැඟීම් දැනීම් නැතිකර ඇති සෙයකි. ඔහු හිස් බැල්මෙන් ඇගේ ඇඳට සම්බන්ධ තොටිල්ලේ වූ නිල් පැහැති  රෙද්දක ඔතා සිටි රෝස පැහැති  සිඟිත්තා දෙස බලා සිටියේය. ඇයට රෝහලෙන් බැහැර වීමට සිදුවන්නේ සැත්කමෙන්  පසුවය. නැවත දරුවන් නොලැබෙන පරිදි කරනු ලබන සැත්කමයි.

“හවසට අම්ම ඒවි” ඔහු හැඟීමකින් තොරව වචන පිට කළේය.

 ඊළඟ මොහොතේ ඇයගේ කිළිටි රෙදි පෙරෙදි සහිත ගමන් මල්ල ගෙන ඔහු වාට්ටුවෙන් පිට විය. ඊළඟට ඇය සවස රෝගීන් බලන වේලාව එනතුරු බලා සිටියාය. කාලය එළඹ බලාපොරොත්තුවේ ගිනිසිළුව දැල්වෙමින් මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී ගියේ සමගම ඇගේ සුසුම් වාතලයට එකතු කරමිනි. සිඟිත්තා නින්දේ පසුවෙයි. ඇයට මහත් තනිකමක් දැනුණි. මව්වරුන් ළඟ රැඳී සිටි නෑදෑ හිතවත්තු එකා දෙන්නා පිටව යනු පෙනුණි. නැවත ගේට්ටුව දෙස බැලුවා .

අම්ම එනව " ඇයට ඉබේම කියවුණේ ගේට්ටුවෙන් ඇතුළු වූ සිය මවගේ මුහුණ දැකීමෙනි. අම්ම සතුටු වේවි පුතෙක් නිසා ආසාවෙන් බලා සිටියාය. අම්මා වයසටත් වඩා වයසට ගොස් ඇතැයි ඇයට ශෝකයක් ඇති විය.

"අරය ගෙදර ආවද අම්මේ ?"  ඇසුවේ සිය සැමියා කලින්ම ගෙදරට ගොස් මේ සුබ ආරංචිය අම්මාට කියා ඇතැයි බලාපොරොත්තුවෙනි.

“ඔහේ නැහැ. එයැයි කොහේ හරි රස්තියාදු වෙවී ඇති. මං ලොකු කෙල්ලට නංගිල බලාගන්න කිව්ව පුංචි එනකම්" අම්මා කීවේ කෝපය මුසු හඬකිනි.

“උඹට කොහොමද දැන්? අමාරුවක් නැහැනේ? “ඉන්පසු අම්මාගේ හඬ මව්වත් විය.

“අමාරුවක් නැහැ අම්මේ. පුතෙක් හම්බ වුණේ”

අම්මාගේ රැළි සහිත මුහුණෙහි සිනාවක් බලාපොරොත්තු වූවාය. එහෙත් එහි වූයේ උපේක්ෂා සහගත බැරෑරුම් බවක් පමණකි.

මොකා වුණත් හදන්න එපැයි.. ඕවා උඹලට කල්පනා කරන්න තිබුණේ කලින්.”

"හෙට ඔපරේසන් එක කරනවා. දරුවෝ හම්බ නොවෙන්න"

"එහෙමද? ඒකත් කමක් නැහැ. මටත් දැන් නම් තවත් දරුවෝ මත්තේ නහින්න සක්තියක් නැහැ පුතේ "

 අම්මා තොටිල්ලේ වූ දරු  පැටියා දෙස නෙත් යොමාගෙන කීවාය.

ඇය අම්මා ගැනත් තමා ගැනත් දරු පැටියා ගැනත් මහත් දුකක් ක්ෂණිකව ඇතිවී ඇසට නැගී කඳුළු බින්දුවක් පිටි අත්ලෙන් පිසදා ගත්තාය. සමගම  සියළු දුක්ඛ දෝමනස්සයන් පාකර හරින සේ දිගු සුසුමක් හෙළූ කවුළුවෙන් එපිට ඈත පෙනෙන මහා සාගරය දෙස හිස් බැල්මෙන් බලා සිටියාය. මුහුදු රැල්ළ වෙරළේ හැපෙමින් සිය නොනවතින අඳෝනාව දිගින් දිගටම කරගෙන ගියේය. 

Thanks to  Thijs Schouten  for this lovely photo on Unsplash  




No comments:

Post a Comment