Wednesday, January 20, 2021

දුම්බර වන රැජින

 











දුම්බර වන රැජින 

 

දුම්බර වන රැජින මීදුම්  සළුව වෙලා

සිටියා මග බලන් මුව මදහසිනි වෙලා

අප ගිය විටදි දුරු රට සිට වෙහෙස වෙලා

සංග්රහ කළා අප ගත සිසිලසිනි වෙලා

 

සිහිළැල් සුළං පහසින් පහස විඳ විඳ

ඇගෙ තතු සොයා ඇදුනෙමු ඈතට ඇවිද

ඇගෙ ගත සැරසු නිල්වන් තුරු ලතා මැද

ගතකළ දෙදින සැමදා සනසවයි හද

 

බැලු බැලු අතින් හැම තැන වෙනසකි ඇත්තේ

ඇගෙ වත දැකීමෙන් ඇති වීමක් නැත්තේ

නොසැලෙන බැඳීමකි ඇය ගැන හට ගත්තේ

කඳුලකි ඇසට ඇසු විට දැන් ඇගෙ තත්තේ 

 

දුම්බර රැජින ඇගෙ දුක සිත යට හංගා

සිටියත් කඳුළු ඇගෙ දෙනෙතින් පැන නැංගා

පෙන කැටි නගා ගල්කුළු අතරින් රිංගා

රට සරු කරන් දසතින් බැස යයි ගංගා

 

මොහොතක අප ඇවිද ගිය අඳුරු වන පෙත

ඊළඟ මොහොතෙ පතනට අප පැමිණ ඇත

කඳුකර වනය ඇඹරුණු ගස් සුළං පෙත

පුදුමෙකි මෙතැන එක වරුවක ගැටෙන නෙත

 

කරුවල, ඇටඹ, මිල්ල නෙක රුක් පේළී

රුක් කඳන් මත ඇත ලයිකන පේළී

උඩවැඩියා අතරේ පෙළපාලී

මීමන නම් තිබුණෙ වැසි නැතිදා වේලී  

 

වියළුණු කොළ තට්ටු ඇත පාවඩ දාලා

මත ඇවිද යනවිට අප ලිස්සාලා

පාටටම සිටියා දරණේ දාලා

පොළොන් තෙලිස්සෙක් පොඩි හිස ඔසවාලා

 

දුම්බර එකළු කරවන මහ අලි ඇත්තූ

දැන් දැන් එතැයි අප හදවත් විය පත්තූ

ගම්වැද විටෙක අලි කලිබල කර ගත්තූ

මිනිසුන් නැති ලොවක අවිහිංසක සත්තූ

 

සුළං කපොල්ලද පසුකර ඉන් බේරී

නැංගා රිවස්ටන් දුර්ගය දඟ කාරී

වන් අත්දැකීමක් පෙර නැත තේරී

දුම්බර වනපෙතේ අසිරිය මනාහරී

 

ලෝක උරුම සම්පත පිටවල පතන

පුංචි ලෝකාන්තය ඇත්තේ එතන     බලන්

පසුකර ඇවිද යනවිට මේ ලෙස සිතෙන

මේ වගෙ තැනක් ලොව තුළ ඇත්තේ කොතන

 

 

නිල්, කහ,තැඹිලි, රතු, රන්වන් පාට පිරූ

සුන්දර සුමුදු තටු සලමින් අහස සැරූ

තුඩ තුඩ නගා මල් නොතලා පැණි ඉරූ

සමනල රෑන් වන අසිරිය කරති සරූ

 

දින දෙක ගෙවී වන රැජිනිය තුරුලෙ හිඳ

විඳ විඳ සොඳුරු රුව මනකල් ඇතුළු හද

එන්නට සිදු වුණාකඳුලකි   දෙනෙත මැද 

එන්නෙමු නැවත ඔබ සුව දුක් දකින ලෙද

 

මේ පණිවිඩය කියවා අප රටේ දන

වන සම්පතේ වටිනාකම තරම දැන

මතුපරපුරට මේ අසිරිය දකින පින

අත් කරදීම යුතුකම බව සිතනු මැන





No comments:

Post a Comment