Friday, October 28, 2022

Thawama Me Gimhanayayi තවම මේ ගිම්හානයයි



මා ලියූ මේ ගීතය අහල බලන්න කියල මගේ බ්ලොග් රසික රසිකාවියන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා. 

Wednesday, October 26, 2022

වට්ටක්කා සහ Halloween

 



වට්ටක්කා සහ Halloween


මේ මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ ගෙවල්වල වට්ටක්කා සැරසිලි වලින් පිරිලා. විවිධ වට්ටක්කා වර්ග රාශියක් තියෙනවා.
මේ වට්ටක්කා ගෙඩි වල කැටයම් කපලා ලන්තෑරුම් හදනවා. රෑට ඒවා දල්වනවා. ඒවට කියන්නෙ "Jack O'Lanterns කියල.
මේ සියල්ල හැලොවීන් නම් උත්සවය සමග සම්බන්ධයි. හැලොවීන් දිනය හැම වසරකම ඔක්තෝබර් 31 ට යෙදී තියෙනවා. මෙවර සඳුදා දිනයක්. එදින ඇතැම් රටවල නිල නොවන නිවාඩුක් ද වෙනවා.
හැලොවීන් වල ආරම්භය ඇති වුණෙ යුරෝපාකරයේ. එක්සත් රාජධානිය ඇතුළු රටවල් වල. එහි ආරම්භය මීට අවුරුදු 2000කටත් වඩා ඈතට දිව යනවා. ඒ කාලයේ Celtic කියා හඳුන්වනු ලැබූ ගෝත්රික ජන කොටස් එකතුවක Samhain නම් ආගමික උත්සවයක් පදනම් කරගෙන. ඒ උත්සවය පවත්වලා තියෙන්නේ ග්රීෂ්ම සෘතුව අවසානයේ අස්වනු නෙලීම සමරන්න සහ ඉදිරියට එන ශීත කාලය පිළිගන්න. නෙලා ගත් අස්වනු යක්ෂ, භූත ආත්ම විසින් පැහැර ගනී කියා හිතලා ඔවුන් පලවා හරින්න තමයි ඒ රාත්රියේ ගිනි ගොඩවල් ගහගෙන අවදියෙන් ඉඳල තියෙන්නෙ.
Halloween නම ඇවිත් තියෙන්නේ මෙහෙමයි.
හැබඒක වෙලා තියෙන්නේ පසු කාලීනව. ඔක්තෝබර් 31 මේ ආගමික උත්සවය Samhein තමයි මුලසිටම සමරා තියෙන්නේ. ඒ අතර සියළු සාන්තුවරයින්ගේ දිනය නොවැම්බර් 1දිනට යෙදෙන්න ගත්තම තමයි මේ Halloween නම ඇවිත් තියෙන්නේ.
Hallow = සියළු සාන්තුවරයන්
සියළු සාන්තුවරයන්ගේ දිනය නොවැම්බර් 1දින.
ween = eve
eve කියන්නේ පෙරදින සැදෑව
Halloween සියළු සාන්තුවරයන්ගේ දිනයට පෙර දින සැඳෑව
දැන් මේ දෙකේම සම්මිශ්රණයක් වගේම වෙළඳ ව්යාපාර මගින් ජන මනසට බලපෑම් කරන උත්සවයක් විදියටයි මෙය පැවැත්වෙන්නේ. උතුරු ඇමරිකාවට සංක්රමණය වුණේ යූරෝපීයයන් නිසා මේ සම්ප්රදායන් මෙහෙට ඇවිත් තියෙනවා.
වට්ටක්කා අස්වනු ඇතුළු අස්වනු නෙලන්නේ ඔක්තෝබර් මාසයේදී. එකල වට්ටක්කා නැවත උත්පත්තිය, සශ්රීක භාවය ආදියේ සංකේතයක් ලෙස සලකලා තියෙනවා. නෙලා ගන්නා අස්වනු යක්ෂ භූතයින් විසින් පැහැර ගනී යයි පැරැන්නන් අතර තිබූ විශ්වාසයන් සමග අද වනවිට හැලොවීන් දවසෙ හැන්දෑවේ හැලොවීන් සඳහා සැකසූ ඇඳුම් Halloween costume ඇඳගෙන යක්ෂ භූත විලාස අරගෙන මිනිස්සු වීදිවල සැරිසරනවා.
දරුවන් ඒ ඇඳුම් ඇඳගෙන ගෙවල් වලට යනවා. ගෙවල්වල දරුවන්ට දෙන්න රස කැවිලි සූදානම් කරගෙන ඉන්නවා. ඒ සැදෑව හරිම වර්ණවත්. මිනිස්සු සතුටින් ඉන්නවා. ඔක්තෝබර් 31 වෙන්න තව ටික දවසක් තියෙනවා. වෙළඳපොල ඒ සඳහා පොළඹවන දේවල් වලින් පිරිලා ඉතිරිලා තියෙනවා.

Thank you  David Menidrey for the image on Unsplash

Monday, October 17, 2022

ගුරුතුමී


ගුරුතුමී










සුලෝචනා අලුත් පත්වීම
හිම කුමරිය වගේ සුදුපාට
මල් මල් සාරිය ඇඳ ලතාවට
ඔයා ආවා හිනැහීගෙන පන්තියට
මං හිටියෙ උසස් පෙළ පන්තියේ
මුල්පෙළ පුටුවක ඉඳගෙන
එදා ඔයාට අවුරුදු විසි දෙකයි
මට දාහතයි
ඔයා අපට ගණිතය කියා දුන්නා
ඔව් අපි හොඳට ගණන් හැදුවා.

මං ආවා සුලෝචනා අද
ඉර අවරට යන මේ සැඳෑ කල
මල් පොකුරක් අරන් ඔයා බලන්න
මේ අඩි හය වැඩි කිරීම තුන
පාළු සීතලේ තට්ට තනියම
ඔයා සැතපී ඉන්න බිම්කඩට.

අද මල් පොකුරක් අරන් ආවට
එදා මං පන්තිය ඉවර වෙලා
හිස් අතින් ආවෙ ඔයා ගාවට
බයෙන් ගැහි ගැහි
මතකද මං කිව්වා
"මං මිස්ට කැමතියි..." වෙව්ලන
ගැහෙන කටහඬින්
ඔයා විමතියෙන් මං දිහා බැලුවා.
ඒත් හරිම ආදරයෙන්
ඔයාගෙ ඇස් මට රහසක් කිව්වා.
හොඳටම මං තේරුම් ගත්ත බව
ඒ ඇස්වල ලියවිලා තිබුණා
ඊඟට මට ගණන් හදන්න
කියා දුන්නා
" බලන්න පුතා
ඔයාට අවුරුදු දාහතයි
මට විසි දෙකයි
මේ සංඛ්යා රේඛාව මත
දාහතට විසි දෙක පහුකරන්න බෑ"

ඊට වඩා සංකීර්ණ ගණන්
හද හදා මං ඉදිරියට ගියා
ඔයා ගණන් විතරක්ම
මට කියාදුන්නා.
"දාහතට විසිදෙක පහුකරන්න බෑ"
ඒ රහස අපි දෙන්න අතර විතර බව
ඔයා මට තහවුරු කළා.

කාලය ඉගිලුනා අපි වෙන්වුණා
වෙන වෙන මාවත් වල අපි ඇවිද ගියා
ඒත් හදවත මැද ගැඹුරුම තැනක
හැමදාම ඔයා ලැගුම්ගෙන හිටියා.

එක අඳුරු මූසල හවසක
මුහුණු පොත මැද දවසක
කලකට පෙර අපට නොකියම
ඔයා මේ ලොව අතැර ගිය බව
මිතුරෙක් සටහනක් දමා තිබුණා.

" ඉතින් සුලෝචනා
අද මට වයස විසි හය ඉවර වුණා
මේ බැම්මේ ලියල තියෙන විදියට
ඔයා යද්දී වයස විසිපහ වුණා විතරයි
ඉතින් දාහතට විසිදෙක පහුකරන්න
අවාසනාවකට එදා බැරි වුණාට
අද මං ඔයා පහුකළා සුලෝචනා
එදා කතා කරන්න බැරි වුණ
ගණන් හැර අනික් දේවල්
දැන් අපි කතා කරමුද සුලෝචනා?" 

Thanks to Waldemar Brandt  for the image on Unsplash


Saturday, October 8, 2022

සැහැල්ලුව

 

සැහැල්ලුව












ජීවිතේ දුස්කර ගිරි දුර්ගය
නගිමු බර බෝ හිසින් ගෙන
දුරයි තව දුරයි ගමනේ ඉම
ඈතින් පෙනෙන්නේ මිරිඟුව
දිය වගේ අපූරුව දිස්නය දෙන
නමුදු තෙතමනයක් නැති රැඳෙන
රස්නය පමණි මුළු ගත දවන
ඇස් ද ගිනිකණ වැටී පියවෙන
හිස් අහස සැමට වහළය සදන
එකම ඉර හඳ සැමදාම පායන
රොස් පරොස් තැවුල් සැම බිඳගෙන
අස්කර ගනිමු මේ මලු උර රිදෙන
කඳු මුදුනේ ඈත සුපසන් තැන
හොඳ නරක කිසිවෙක් නොදකින
හමුවී වැළඳ ගමු අපි සැමදෙන
කතාකර ඇස්වලින් සිනාසෙන!
Image from Unsplash free images