Monday, October 17, 2022

ගුරුතුමී


ගුරුතුමී










සුලෝචනා අලුත් පත්වීම
හිම කුමරිය වගේ සුදුපාට
මල් මල් සාරිය ඇඳ ලතාවට
ඔයා ආවා හිනැහීගෙන පන්තියට
මං හිටියෙ උසස් පෙළ පන්තියේ
මුල්පෙළ පුටුවක ඉඳගෙන
එදා ඔයාට අවුරුදු විසි දෙකයි
මට දාහතයි
ඔයා අපට ගණිතය කියා දුන්නා
ඔව් අපි හොඳට ගණන් හැදුවා.

මං ආවා සුලෝචනා අද
ඉර අවරට යන මේ සැඳෑ කල
මල් පොකුරක් අරන් ඔයා බලන්න
මේ අඩි හය වැඩි කිරීම තුන
පාළු සීතලේ තට්ට තනියම
ඔයා සැතපී ඉන්න බිම්කඩට.

අද මල් පොකුරක් අරන් ආවට
එදා මං පන්තිය ඉවර වෙලා
හිස් අතින් ආවෙ ඔයා ගාවට
බයෙන් ගැහි ගැහි
මතකද මං කිව්වා
"මං මිස්ට කැමතියි..." වෙව්ලන
ගැහෙන කටහඬින්
ඔයා විමතියෙන් මං දිහා බැලුවා.
ඒත් හරිම ආදරයෙන්
ඔයාගෙ ඇස් මට රහසක් කිව්වා.
හොඳටම මං තේරුම් ගත්ත බව
ඒ ඇස්වල ලියවිලා තිබුණා
ඊඟට මට ගණන් හදන්න
කියා දුන්නා
" බලන්න පුතා
ඔයාට අවුරුදු දාහතයි
මට විසි දෙකයි
මේ සංඛ්යා රේඛාව මත
දාහතට විසි දෙක පහුකරන්න බෑ"

ඊට වඩා සංකීර්ණ ගණන්
හද හදා මං ඉදිරියට ගියා
ඔයා ගණන් විතරක්ම
මට කියාදුන්නා.
"දාහතට විසිදෙක පහුකරන්න බෑ"
ඒ රහස අපි දෙන්න අතර විතර බව
ඔයා මට තහවුරු කළා.

කාලය ඉගිලුනා අපි වෙන්වුණා
වෙන වෙන මාවත් වල අපි ඇවිද ගියා
ඒත් හදවත මැද ගැඹුරුම තැනක
හැමදාම ඔයා ලැගුම්ගෙන හිටියා.

එක අඳුරු මූසල හවසක
මුහුණු පොත මැද දවසක
කලකට පෙර අපට නොකියම
ඔයා මේ ලොව අතැර ගිය බව
මිතුරෙක් සටහනක් දමා තිබුණා.

" ඉතින් සුලෝචනා
අද මට වයස විසි හය ඉවර වුණා
මේ බැම්මේ ලියල තියෙන විදියට
ඔයා යද්දී වයස විසිපහ වුණා විතරයි
ඉතින් දාහතට විසිදෙක පහුකරන්න
අවාසනාවකට එදා බැරි වුණාට
අද මං ඔයා පහුකළා සුලෝචනා
එදා කතා කරන්න බැරි වුණ
ගණන් හැර අනික් දේවල්
දැන් අපි කතා කරමුද සුලෝචනා?" 

Thanks to Waldemar Brandt  for the image on Unsplash


No comments:

Post a Comment