Monday, November 2, 2026

ගඟවෙමි මම ගලායන ඈත මුහුදට

 ගඟවෙමි මම ගලායන ඈත මුහුදට















මීදුම් සේල ඇඳි කඳු මුදුනක ඉඳලා

තුරු ලිය සෙවන අතරින් රහසේ එබිලා 

පොඩි පොඩි දියපාරවල් එක එක බැඳිලා

පහළට ගලා විත් එක පොදියක එතිලා


එදවස දිය වැළකි දරු ගඟ  හුරුබුහුටී

කෙළි ලොල් සිතින් දිව රෑ දිව්ව වැටි වැටී 

පැහැදිලි දියේ නොතිබුණි වස විස දැවටී

ගල් පතුරුවත් නොදතිය මම ගලන හැටී


ළමා කල ඇවිත් තව පහළ එනකොට

තව තවයාලු අතු ඇළදොළ එබෙන කොට

සෙල්ලම් කාලෙ ටික ටික ඉවර වෙනකොට

තරුණයි මම ඉතින් වගකීම් වැඩිකොට


එකතුවෙන වතුර ඉදිරියට අරගෙන

දෑල නොබිඳ යන්නට දෙපස රැකගෙන

ගත් ඒ වෙහෙස ගල්පර පවා දැන ගෙන

සුමුදු වුණා මට යන්න පාර ඉඩදෙන 


අහස අඬන විට කියා ඇගෙ දුක් කඳ

කඳුළු වී පිරෙන දරනු බැරි දිය කඳ

ඉවුරු තලා කෙත් වතු පවා ඇද බැඳ

පිටට යන්න වුණි ඔබට දී දුක් කඳ 


වසරින් වසර ඔය ඇඬුම නතර නොම වෙන 

කාටත් වෙන දේම නේ මටත් සිදුවෙන

නොගලා ඉන්න බැරි තැනයි ගියේ පිට පැන

එනමුත් රොන්මඩින් ඔබ ඉඩම් සරු වෙන 


එකතු කරන් සුන්බුන්   රැඳුණු දිය පිට 

මගෙ මැදි වයස තරමක් දුකින් සිටියට 

තව ටික දිනක් ගතවී දිවිය නිම කොට 

මෝය කටින් මම වැටෙමි මහ මුහුදට


මුහුදෙ  වතුර ටික ටික ඇදී   අහසට

එති එති බරට එකතුව වලා පෙළකට

වැස්ස වෙසින් වැටුණාම කන්ද මුදුනට

නැවත  ඉපිද මම ගලා යමි  පහළට