Tuesday, January 31, 2023

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද? Homo sapiens කතාව 5 (අවසාන කොටස )

 අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද?

Homo sapiens කතාව 5 (අවසාන කොටස )








Homo ගණයේ විශේෂත්වයන් ගණනාවකි.
1. සාපේක්ෂව විශාල කපාල ධාරිතාව (මොළයේ විශාලත්වය)
2. ඍජු කාය විලාශයට හා දෙපාවත් බවට ගැලපෙන ගාත්රා සැකසුම
3. බල හා සියුම් ග්රහණයට (මහපටැඟිල්ල, දබරැඟිල්ල හා මදැඟිල්ල මගින් කරන ඉඳිකටුවක් ඇහිඳීම /පෑන අල්ලා ලිවීම වැනි සියුම් දේ කිරීම) උපකාරී වන ආකාරයට මහපටැඟිල්ලේ පිළිමල් බව
4. ප්රශස්ත ලෙස උපකරණ සෑදීමේ හැකියාව
Homo ගණයේ විශේෂ රාශියක් පොසිලවල වෙනස් කම් අනුව නම් කර ඇති අතර මෙහි මා කතා කරන්නේ එයින් වඩාත් වැදගත් කිහිපය පමණයි.
දැනට වසර මිලියන 2.4කට පෙර ජීවත්වූ අප අයත් ගණයේ ආදිතමයින්ගේ පොසිල නැගෙනහිර අප්රිකාවෙන් හමු වුණා. මේවායේ මොළයේ හා දේහ ප්රමාණයේ විශාලත්වය ඔස්ට්රලොපිතකස් ට සමාන වුණා. නමුත් ආහාර විලාසිතාවේ වෙනසක් කියා පාමින් චාර්වක දත් වෙනස් වී තිබුණා. අඩු වශයෙන් වසර මිලියන 1.8කට පෙර හෝමෝ ගනයේ සාමාජිකයින් සත්ව සිරුරු කපා ගැනීමට ආදී කාලින ගල් ආයුධ භාවිත කර තම ශාක ද්රව්ය මුල්වූ ආහාරයට ශක්තිජනක මස් හා ඇටමිදුළු එකතු කරගෙන තිබෙනවා.
ආදිතම හෝමෝ විශේෂය Homo habilis ජීවත් වී ඇත්තේ මීට වසර මිලියන 2.3 ත් 1.4ත් අතර. මොවුන්ගේ පොසිල සමග එම ආයුධ හා කැපූ කෙටූ අස්ථි කොටස හමුවී තිබෙනවා. වඩාත් ප්රභල හා ව්යාප්ත වූ විශේෂය Homo erectus . අප්රිකාව හා යුරේසියාව පුරා මීට වසර මිලියන 1.9ත් වසර 100,000ත් අතර ජීවත්ව සිට තිබෙනවා. බාගවිට පසු කලෙක, ගස් වලට නැගීම සඳහා ඔස්ට්රලොපිතකස් ට තිබු අනුවර්තන මොවුන්ගෙන් ගිලිහි ගොස් තිබෙනවා. Homo erectus පාරිසරිකව නම්යශීලි වුණා. එමෙන්ම H.erectus ට තිබූ බුද්ධිමය හැකියාව ඔවුන්ගේ විවිධ පරිසරවල ජීවත් වීමට, ව්යාප්තියට හා පැවත්මට දායක වෙන්න ඇති. පසුව හමුවූ ආසියාතික පොසිල වලට අනුව H.erectus ගේ කපාල ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1250කට වඩා වැඩියි.
මීට වසර 700 දහසකට පෙර මුල් Homo erectus ගෙන් අපසරණය වී H. heidelbergensis පරිණාමය වී තිබේ. මොවුන් දේහ පරිමාණයන්, දත් වල අනුවර්තන හා බුද්ධිමය හැකියාව අතින් බොහෝ දුරට අපට සාමාන වුණා. වඩා දියුණු ආකාරයේ ආයුධ නිපදවීමට හැකි සක්රිය දඩයක්කරුවන් වූ මොව්හු අඩු වශයෙන් මීට වසර 400 දහසකට පෙර ගින්දර පාලනය කිරීමේ හැකියාව දැරුවා.
DNA විශ්ලේෂණය මානව පරිණාමය අවබෝධ කර ගැනීමට දෙන ආලෝකය සුළුපටු නැහැ. ආදී මානව නෑදෑයකුගේ පැරණිතම DNA සොයාගෙන ඇත්තේ ස්පාඤ්ඤ යේ අටපුවර්කා කඳු වැටියේ ගුහාවක පත්ලේ "Pit of Bones” ලෙස හඳුන්වන තැනින්. මෙහි තිබු පුද්ගලයන් 28 දෙනෙකුට අයත් දත් හා අස්ථි වලින් එකතුකර ගත් ජාන සමුහයේ (genome ) මීට වසර කට පෙර සිටි ආදිතම නියැන්ඩතාල් වරුන්ගේ ගේ බව අනාවරණය වුණා. ඒ අපේ වඩාත් සමීපතම නෑදෑයන්. මේ ජාන නූතන මිනිස් ජාන සමග සැසදීමේදී අනාවරණය වන්නේ පොදු පුර්වජයා මීට වසර 550.00ක් හා 750,000 ක් අතර පැවත ඇති බවයි. ඔහු Homo heidelbergensis වීමට ඉඩ තිබෙනවා. මෙයින් ඇතිවූ පවුල් ගසේ අප්රිකානු ශාඛාවේ Homo sapiens ද යුරෝපීය ශාඛාවේ Homo neanderthalensis හා Denisovans නම් අද්භූත මානවයාද ඇති වී තිබෙනවා.ශක්තිමත් දේහයෙන්, සංකීර්ණ චර්යාවන්ගෙන් හා අපගේ ප්රමාණයට සමාන කපාල ධාරිතාවෙන් යුත් නියැන්ඩතාල් මානවයා මීට වසර 250ස් දහසකට පෙර Homo heidelbergensis ගෙන් වෙන්වී යුරෝපයේ ඇති වීය යන බවට සාධක තිබෙනවා.
Homo sapiens එනම් නුතන මානවයා මීට වසර 200දහසකට පෙර අප්රිකාවේ දී H. heidelbergensis ගෙන් ගෙන් අපසරණය වී පරිණාමය වන්නට ඇති . ඝන සෙන්ටිමීටර් 1400 ක කපාල ධාරිතාව, සංකීර්ණ චර්යා රටා, උපකරණ නිර්මාණය, දඩයම් කිරීමේ දක්ෂතාවය එම විශේෂයට අප්රිකානු මහද්වීපය තුළ ව්යාප්ත වීමට මග පෑදුවා. වසර 100 දහසකට පෙර අප විශේෂය යුරේසියාවටත් ,ඔස්ට්රේලියාව හා ඇමරිකාවටත් වශයෙන් ලෝකය පුරා පැතිර ගියා. විශේෂය යන්නේ නූතන අර්ථ දැක්වීමට පටහැනිව Homo sapiens හා Homo nianderthalensis අතර සංසර්ගය පවා සිදු වී ඇති බවට පොසිල වලින් ලැබුණු DNA සාක්ෂි දරනවා.
අපගේ සමීප නෑදෑයෙකු වූ Denisovans අපට ඉතිරි කර තබා ඇත්තේ සීමිත ශරීර කොටස් ටිකක් පමණක් බව කියවෙයි. මතභේදයට තුඩුදී ඇති නමුත් පැපුවා නිව් ගිනීයා හි මානව ගෙනෝමය ගැන නූතන අධ්යයන වලින් හෙළිදරව් වී ඇත්තේ මීට වසර 15,000කට පෙර නූතන මානවයන් Denisovans සමග ජීවත් වූවා පමණක් නොව අන්තර් අභිජනනය ද සිදුව ඇති බවයි. දැනට ජීවත් වන ආසියාතිකයින් ගේ ගෙනොමයේ 3% - 5% අතර ප්රමාණයක් Denisovans ගේ ජාන තිබේ.
ඉතින් අපේ සමීප Homo ආදිතමයන් ජාන පරම්පරාවක් අපට ලබාදී පොසිල වශයෙන් පමණක් සලකුණු ඉතිරි කර මෙලොවින් සමුගෙන තිබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණක් නොවන් නේද? අපි Homo sapiens තවමත් ජීවත් වෙමින් සිටිමු. පරිණාමීය කාල රේඛාවේ අප ඇතිවී ගතවී ඇත්තේ අසුරුසැනක් පමණයි . සියල්ල වෙනස් වීම තුළ අපටත් අවසානයක් තිබෙන්නට පුළුවන.
රූප සටහන් අන්තර්ජාලයෙන්

Saturday, January 28, 2023

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද? Homo sapiens කතාව 4


 අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද?

Homo sapiens කතාව 4



මානව පවුල් මූලය පසු මයෝසීන කාලවකවානුව දක්වා එනම් මීට වසර මිලියන11.3-5.3 දක්වා දිවෙනවා. මේ ගැන දිගින් දිගට විස්තර කරන්න අමාරුයි මේ වගේ පෝස්ට් එකක. සාමාන්ය කෙනෙකුට කියවල තේරුම් ගන්න පුළුවන් තරමට සරලවයි මෙතැන් සිට කියන්නේ.
මයෝසීන යුගයේ පෘථිවියේ දේශ ගුණික වෙනස් කම් රැසක් වෙලා තියෙනවා. සමකයෙන් උතුරේ අධික ශීත තත්වයක් හටගෙන තියෙනවා. වසර මිලියන15.7කට පෙර හොමිනිඩේ ගෝත්රයෙන් කාණ්ඩ දෙකක් බෙදී ඔරන්උටන් පොන්ජිනේ කාණ්ඩයටත් අනිකුත් සතුන් හොමිනේ වලටත් වෙන් වෙනවා. හොමිනේ වලින් වසර මිලියන8.8කට පෙර හොමිනි හා ගොරිලිනි වෙන්වෙනවා. වසර මිලියන හතරකට පෙර පැනිනි නම් කණ්ඩයක් ලෙස චිම්පන්සින් වෙන්වෙනවා.
හොමිනිඩ්ස් නැත්නම් මහා වානරයන් ගැන පසුගිය පොස්ට් එකේ කතා කළා. පොසිල සාක්ෂි මෙන්ම මානව හා චිම්පන්සින්ගේDNA අධ්යයන අනුව මේ දෙවර්ගය මීට වසර මිලියන හයකට පෙර පොදු හොමිනොයිඩ් පුර්වජයෙකුගෙන් පැවත එන බව මනාව පෙන්නුම් කරනවා. චිම්පන්සි වෙන්ව ගිය පසු ඒ පරිණාමීය ශාඛාවේ ඇතිවූ අය හොමිනින් ලෙස හඳුන්වනවා. එයින් ඇතිවන විශේෂ චිම්පන්සින්ට වඩා නුතන මිනිසාට සමාන කම් දක්වනවා.
එම පරිණාමීය ශාඛාවේ ඇතිවූ සතුන් අතර ඔරොරින්, ඔස්ට්රලොපිතකස්, පරන්ත්රෝපස් හා හෝමෝ ඉන්නව.
Australopithecus විශේෂ ගණනාවක් ජීවත්වී තිබෙන අතර ඒ මීට වසර මිලියන4.4 සිට1.4 දක්වා ප්ලයෝසීන හා ප්ලයිටෝසීන කාල වකවානුවල. වසර මිලියන3.2කට පෙර ඉතියෝපියාවේ ජීවත් වූ බවට අනාවරණය වූ සුප්රසිද්ධ ලුසී ගැන ඔබ අසා ඇති බවට සැකයක් නැහැ. ඒ ඔස්ට්රලොපිතකස් මානවිකාවක්. ඔස්ට්රලොපිතකස්ට මානව හා මහා වානර ලක්ෂණ පිහිටලා තිබෙනවා. දෙපාවත් බව මානව ලක්ෂණයක් වන අතර මොළය සාපේක්ෂව කුඩා වීම වානර ලක්ෂණයක්. රදනක දත් වන්රය්න්ගේ ඒවාට වඩා කුඩායි. චාර්වක දත් නුතන මානවයන්ගේ ඒවාට වැඩ විශාලයි.
Australopithecus anamensis පැරණිම එනම් මුලින්ම ඇතිවූ විශේෂය වන අතරAustralopithecus robustus මෑතම ඇතිවූ විශේෂය ලෙස හඳුනාගෙන තිබෙනවා. Australopithecus හා Homo අතර යම් සමානකම් තිබෙන නමුත්Homo ඔස්ට්රලොපිතකස් පුර්වජ අවධියකින් වෙනම පරිණාමය වී ඇති බවයි පෙනෙන්නේ. Homoවිශේෂ ගණනාවක් ජීවත්වූ බවට සාධක තියෙනවා.
ඒ ගැන මීළඟට බලමු.
රූපය අන්තර්ජාලයෙන්

Saturday, January 21, 2023

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද? Homo sapiens කතාව 3

 

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද?

Homo sapiens කතාව 3















ඇන්ත්රොපොයිඩ් සතුන් පරිණාමය වී තිබෙන්නේ මීට වසර මිලියන 50 කට පෙර ඔලිගොසීන වකවානුවේ දීයි. ඒ ප්රොසිමියන් සතුන්ගේ මාර්ගයෙන් වෙන්ව වෙනම මාර්ගයක.
ඇන්ත්රොපොයිඩ් සතුන් ගැන බලමු.
වඳුරන් එක සත්ව කොටසක්. වඳුරන් කොටස් දෙකකට බෙදෙනවා.
1.පැරණි ලෝක වඳුරන්
කැටරිනී (Catarrhini) නමින් හඳුන්වනු ලබන අතර අප්රිකාවේ හා ආසියාවේ ජීවත්වන වඳුරන් . පටු නාසයකින් යුක්තයි..
2.නව ලෝක වඳුරන්
ප්ලැටිරිනි (Platyrrhini) ලෙස හඳුන්වනු ලබන මොවුන් දකුණු ඇමරිකාවේයි ජීවත්වන්නේ. පළල් නාසයකින් යුක්තයි.
ප්ලැටිරිනි ඇතිවීමත් සමග අප්රිකාව හා දකුණු ඇමරිකාව මහාද්වීපික ප්ලාවිතය මගින් ඈත්වී තිබෙනවා. ඒ අනුව වඳුරන් පැරණි ලෝකයේ ඇතිවී නව ලෝකයට ආවා යයි සිතනවා. ඒ ගොඩබිම් තීරු ඔස්සේ හා ලී කොට මත පාවී.
අනික් ඇන්තත්රොපොයිඩ් සතුන් නම් වානරයන්. මීට වසර මිලියන 25කට පෙර සීනොසොයික කාල වකවානුවේ පැරණි ලෝක වඳුරන් වෙනම පරිණාමීය මාර්ගයකට අවතීර්ණ වෙද්දී එයින් වෙන්වූ මාර්ගයක වානරයන් පරිණාමය වෙනවා.
වානරයන් වඳුරන්ට වඩා විශාලයි. බොහෝ වානරයන්ට ගස් උඩ එහා මෙහා යාමට හැකි වුවත් වැඩිපුර බිම ජීවත් වෙනවා. ඔවුන් වඳුරන්ට වඩා බුද්ධිමත්. දේහ විශාලත්වයට සාපේක්ෂව මොළය ලොකූයි.
වානරයන් කොටස් දෙකකට බෙදනවා.
1.කුඩා වානරයන් (Lesser Apes) -
ගිබන් වර්ග
2. මහා වානරයන් (Great Apes) -
චිම්පන්සින් (Pan ගණය), ගොරිල්ලා (Gorilla ගණය) , ඔරන්උටන් (Pongo ගණය) හා මානවයා (Homo ගණය)
දැන් පළමු පෝස්ට් එකේ මානව වර්ගීකරණය අනුව ඔහු අයත්වන කුලය (Family) හොමිනිඩේ (Homonidae) බව මතක් කර ගන්න.
මේ කුලයට Homo ගණය හැර Pan, Pongo හා Gorilla ගණයද අයත් වෙනවා.
දැන් ඔබට පේනවා අපි පැවත එන්නේ අද අපට දකින්නට ලැබෙන කිසිම වඳුරෙක්ගෙන් හෝ වානරයෙක් ගෙන් නොවන බව. අප සියල්ලන්ම එකම පූර්වජයෙකුගෙන් පැවත ඒම පමණක් බව.
Homo ගණය ගැන ඊළඟට බලමු.
රූපය අන්තර්ජාලයෙන්

Thursday, January 19, 2023

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද? Homo sapiens කතාව 2

 









අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් ද?

Homo sapiens කතාව 2

පහුගිය පෝස්ට් එකේ අපි නූතන මිනිසාගේ වර්ගීකරණය ගැන බොහොම කෙටියෙන් කතා කර ගෙන ආව. නැවතුනේ මිනිසාගේ ගෝත්රය වන ප්රයිමේටා ගෝත්රයෙන්.
අද තව ටිකක් ප්රයිමේටා සතුන් ගැන විස්තර බලමු.
මුල්ම ප්රයිමේටාවන් වැනි ක්ෂීරපායීන් එනම් ප්රාග් ප්රයිමේටා සතුන් ලේනුන්, හා ට්රී ශ්රෑස් (tree shrews) වගේ බව පොසිල සාක්ෂි අනුව පේනවා. මේ පොසිල වලින් වඩාත් පැරණි එක ප්ලෙසියාඩපිස් (Plesiadapis) . අවුරුදු මිලියන 55ක් පැරණියි.
මුල්ම සත්ය ප්රයිමේටාවන් හමු වන්නේ ඉයෝසීන කාල වකවානුවේ (Eocine epoch) උතුරු ඇමරිකාවේ, යුරෝපයේ, ආසියාවේ හා ආප්රිකාවේ. මොවුන් අද සිටින ලීමා වගේ
ප්රයිමේටාවන් රුක්වාසී බව කලින් පෝස්ට් එකේ කිව්වා. මේ සඳහා ඔවුන්ගේ පාද හා අත් අනුවර්තනය වී සකස්වී තියෙනවා.
ඒවා නම්
1.උරහිස් සන්ධියේ විශාල චලන පරාසය ගස්වලට නැගීමට රුකුලක්
2.මහපටැඟිල්ල අනික් ඇඟිලිවල වඩා විශාල වීම මෙන්ම එය අනික් ඇඟිලි වලින් ඈත්ව පිහිටීම (පිළිමල් මහපටැඟිල්ල) ගස්වල අතු හොඳින් ග්රහණය කර ගැනීමට ඉඩ සලසනවා
3. ත්රීමානේක්ෂක දෘෂ්ටිය - එනම් ඇස් දෙකේ දෘෂ්ටි පථ එකිනෙක මත අතිපිහිත වීම නිසා දුර හා ගැඹුර පිළිබඳ හොඳින් ග්රහණය කර ගැනීමට හැකි වෙනවා
මේ රුක්වැසි ජීවන රටාවට ඇති අනුවර්තන ඇරුනහම ප්රයිමේටාවන් ගේ මොළයේ විශේෂත්වය වැදගත් දෙයක්. ඔවුන්ගේ මොළය සෙසු ක්ෂීරපායීන්ට වඩා වීශාලයි. බරින් වැඩියි.
ඒ හැර සෙසු ක්ෂීරපායීන්ට නඛර (claws) තියෙන අතර ප්රයිමේටාවන් ගේ නිය පැතලිවී තියෙනවා.
සාමාන්ය වශයෙන් එක වරකට එක පැටියෙකුට තමයි ගර්භනී භාවය ඇතිවෙන්නේ.
එමෙන්ම සෘජු කාය විලාශයට නැඹුරුතාව දක්වනවා. (මිනිසා සම්පූර්ණයෙන්ම සෘජු කාය විලාශය දක්වනවා)
ප්රයිමේටාවන් කාණ්ඩ දෙකකට බෙදෙනවා
1.ප්රොසිමියන් (Prosimians)
2. ඇන්ත්රොපොයිඩිස් (Anthropoids)
ප්රොසිමියන් වලට දැනට නෂ්ටව ගිය සතුන් මෙන්ම ජීවත්වන සතුන් අයත් වෙනවා. දැනට ජීවත්වන සතුන් වන්නේ මැඩගස්කරයේ ලීමා, අප්රිකාවේ බුෂ් බේබි, ගිනිකොණ දිග ආසියාවේ උනහපුලුවන් ඇතුළු සතුන්.
මේ සතුන් බල්ලන් වැනි මුහුණ සම්පූර්ණයෙන්ම ලෝම වලින් වැසුණු දිග රැවුල් ගස් සහිත, සෙලවිය හැකි විශාල කන් සහිත සතුන්. දේහ කුඩායි. මොළයද සාපේක්ෂව කුඩායි. රුක්වාසී වගේම ඇවිදීමට ගාත්රා හතරම යොදා ගන්නවා. නීශාචර හැසිරීම දක්වනවා.
ඉයෝසීන කාල වකවානුව අවසන් වන විට බොහෝ මුල් ප්රොසොමියන් විශේෂ නෂ්ටවී ගිහින්. ඒ අධික ශීතලට මුහුණ දීමට බැරිව හෝ මුල් වඳුරු වර්ග නිසා ඇතිවූ තරගයේදී පරාජය වීම නිසා .
ඇන්තත්රොපොයිඩ් කාන්ඩයට අයත්වන්නේ වඳුරන්, වානරයන් (Apes) හා මානවයන්. ඒ ගැන ඉදිරියේදී කතා කරමු. රූපයේ ප්රොසීමියන් සතුන් දැක්වෙනවා.
රූපය අන්තර්ජාලයෙන්

Tuesday, January 17, 2023

අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන්ද? Homo sapiens කතාව 01

    අපි කවුද? අපි පැවතෙන්නේ වඳුරන්ගෙන්ද?

Homo sapiens කතාව 01










නූතන මිනිහා ලෝකයේ කොතැනක කොහොම හිටියත් ඔහු එකම ජීවී විශේෂයක් විදියට සලකනවා. ඒ තමයි Homo sapiens. පහුගිය දවස්වල පරිණාමය ගැන හුඟක් කතා වගේම රසකතා ලියවුන. මං ඒව බලන් හිටියා නිහඬව. දැන් මං හිතුව මේ ගැන යමක් ලියන්න ඕන කියල. ජීවින් එකම විශේෂයට අයිති කරන්නේ කොහොමද කියලා ඔබට ගැටලුවක් ඇති. ඒකට ලේසිම උත්තරේ මෙහෙමයි. ජීවීන් එකම විශේෂයේ නම් ඔවුන් එකිනෙකා සංසර්ගයේ ප්රතිඵලයක් විදියට සරු දරුවන් බිහි කරන්න ඕන. ඉතින් ලෝකෙ කොහේ හරි ඉන්න ගැහැනියක් හා පිරිමියෙක් සංසර්ගයේ යෙදුනහම ඔවුන්ට මීනිස් පැටියෙක් ලැබෙනවා වගේම ඒ පැටියා ලොකු වෙලත් පැටවු හදනවා.
මේ අපේ නැත්නම් Homo sapiens ගෙ කතාව මිනිසාගෙ වර්ගීකරණයෙන් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුවා. මේ සමග ඇති රූපයේ එය සටහනක් ලෙස දක්වල ඇති. ඒ ගැනයි මේ විස්තරය.
මේ ලෝකයේ දැනට දන්නා ජීවීන් අධි රාජධානි (Domains) තුනකට බෙදනවා. එයින් මිනිසා අයත්වන අධි රාජධානිය යූකැරියා (Eukarya).
අධිරාජධානියක ඉන්න ජීවීන් ඉන් පස්සේ රාජධානිවලට (Kingdoms) බෙදෙනවා. යූකැරියා අධිරාජධානියට රාජධානී 4ක් තියෙනවා. මෙයින් මිනිසා අයත් වන්නේ සත්ව රාජධානියට. එනම් ඇනිමාලියා (Animalia) රාජධානියට. සතුන් ලෙස හඳුනාගත හැකි සියළු ජීවීන් මේ රාජධානියේ ඉන්නවා.
රාජධානි වංශ (Phylum) වලට බෙදෙනවා.
මිනිසා අයත් වංශය කෝඩේටා. පිට පැත්තේ (පෘෂ්ඨීය) ආධාරක රැහැනක් (notochord) තිබීම ඇතුළු පොදු ලක්ෂණ කීපයක් කෝඩේටා වංශයේ සතුන්ට තියෙනවා. කොඳු ඇට පෙළ ඇති සතුන්ගේ එය ඇතිවන්නේ මේ කියන රැහැනින්.
වංශවලට පහළින් ඇති කාණ්ඩය තමයි වර්ගය (Class). මිනිසා අයති වර්ගය මැමේලියා (Mammalia). අපි ක්ෂීරපායීන් ලෙස හඳුන්වන්නේ මොවුන්. ඊට පහළින් ඇති කාණ්ඩය ගෝත්රය(Order) .
මිනිස්සු අයිති ගෝත්රය ප්රයිමේටා (Primata). මිනිසා පරිණාමය වීම තේරුම් ගන්න ප්රයිමේටාවන්ගෙ ලක්ෂණ හා ඔවුන් පරිණාමය වීම දැන ගැනීම හුඟක් වැදගත් වෙනවා. මේ ගෝත්රයට විශේෂ 300ක් පමණ අයත් වෙනවා. උනහපුලුවන්, ලීමර්, වඳුරන්, වානරයන් (Apes) හා මිනිසුන් මීට අයත් වෙනවා.
මේ සියල්ල එකම පූර්වජයෙකුගෙන් පැවත එන බව හිතනවා. ඒ පූර්වජයා මූලික වශයෙන් ගස්වලට නැගීමට හැකි රුක්වාසී සත්වයෙක් වීමේ හැකියාව වැඩියි. ඒ අනුව මුල්ම ප්රයිමේටාවන් කුඩා, නිශාචර, කෘමි භක්ෂක ක්ෂීරපායීයෙක්ගෙන් පැවත එන්නන් විය හැකියි. දැනට ජීවත්වන එවැනි සතුන් නම් හික් මීයන් හා පියාඹන ලීමාවන්.
ප්රයිමේටා ගැන ඉදිරියේදී තව කතා කරමු.
රූපය අන්තර්ජාලයෙන්

Monday, January 16, 2023

ඒ සිහිනය යළි දකින්නට මට සිතෙයි


ඒ සිහිනය යළි දකින්නට මට සිතෙයි












වෙලාවකට සුපුරුදු
බෙහෙත් තෙල් සුවඳක්
දැනී ආයේ නොදැනී යයි.
මීදුම උදේ පාන්දර කඳු අතරින්
ගේ වටේ පහළට පාත් වෙයි.
රැළි වැටුණු දෑතක් කඩිසරව
ගල් තුනක් තබා හැදූ ළිපකට
දර, කොළපු, පොල්කටු පුරවයි.
මොහොතකින් නොනිවී දැල්වෙන
කහපාට දිළිසෙන ගිනි දැල්ල
දැළි පාට කේතලය වැළඳ ගනියි.

ඒ ආදරයට කේතලය පිළිතුරු දෙයි.
එහි ඇති වතුර ගීයක් ගයයි.
කෙමියෙන් හුමාලය කැරලි පිටවෙයි.
ඒ දුම් අඳුරු පැහැ කුස්සියේ
එකම එක ජනේලයෙන්
පිටවී මීදුමට එකතු වෙයි.

අත්දෙක වරින් වර
ගිනි දැල්ලට ළං වෙයි.
රත්වූ අතැඟිලි කඩා හැලෙන
කොපුල් මත පතිත වෙයි.

දැළි රෙදි කැබැල්ල අතට එයි.
කේතලය පරිස්සමින් එසැවෙයි.
උනු වතුර කෙමියෙන් වැක්කෙරෙයි.
මේසය උඩ තේ පෝච්චිය
තේ වලින් පිරවෙයි.

සියල්ල සිහිනයක් වී
අතීතයේ දිනක නවතියි.
ආයෙත් ඒ සිහිනය දකින්න
නිදාගන්නට මට සිතෙයි.
Thanks to dogadakisakal for the image on Pexel

Monday, January 9, 2023

මළ මිනිස්සු

 

මළ මිනිස්සු













මිනිස්සු මළ මිනිස්සුන්ට බයයි. කොතරම් ආදරණීය කෙනෙක් වුණත් ඒ මළ සිරුරට, සොහොනට, ඇට කටු වලට, අලු වලට දත් වලට මේ හැම දේටම බයයි.
මළ සිරුරුවලට අසීමිතව බියවීම නෙක්රොෆෝබියා (Necrophobia) කියලා හඳුන්වනවා. මේ පිටුපස මළ සිරුරක් දුටු විට පුද්ගලයාට 'මගේ ඉදිරි ඉරණමත් මේක නේද?' කියන බය පදනම් වෙලා තියෙනවා. ඕනම කෙනෙක් තමා මිය යාම ගැන බියවීම ස්වභාවයයි. තමාගේ මරණයට අසීමිතව බය වීම තැනටෆෝබියා (Thanatophobia) ලෙස හඳුන්වනවා.
හැර ඒ ඒ සංස්කෘතින් අනුව හොල්මන්, අවතාර, මිය ගිය අයගේ ආත්ම තමා කරා පිවිසීම වැනි බයවල් තියෙනවා. මළ කෙනෙක් හීනෙන් දැකීම පවා බිය උපදවනවා.
ඒත් මළ සිරුරු මෙන්ම ඒවායේ කොටස් සම්බන්ධයෙන් විශ්වාසයන් ඇදහිලි වගේම රැවටිලිත් ඒ සමාජයේම සැරිසරනවා.
ඒවා පරපුරෙන් පරපුරට ඉදිරියටම යනවා.
සියලු මනුෂ්ය, සත්ව මෙන්ම ශාකවල පවා දේහ පරිසරයේම ඇති මූල ද්රව්ය එකතුවී බන්ධනය වී හැදෙන දේවල්. ඒ බව තේරුම් ගත්තහම මේ සියලු බයත්, ඇදහීමත් රැවටීම් හා බොරු දේවල් බව අවබෝධ වෙනවා.
Thanks to Anne Nygard for the image on Unsplash

Friday, January 6, 2023

මේපල් කොළ

 

මේපල් කොළ

මේපල් කොළයේ හැඩය හා ශරත් කාලයේ එහි වර්ණය සැමගේ සිත් ගත් දෙයක්. මේපල් කියලා පොදුවේ හඳුන්වන්නේ Acer කියන ගණයට අයත් ශාක. ඒ ගණයට ශාක විශේෂ 128ක් පමණ අයත් වෙනවා.
Acer carpinifolium - Hornbeam maple
Acer curcinatum - Vine maple
Acer griseum - Paperbark maple ආදී වශයෙන්.
මේපල් කොළය 3සිට 5දක්වා ඛණ්ඩ්කා වලට බෙදිලා තියෙනවා. ඒ එක් එක් ඛණ්ඩිකාව අඟල් හතරකට වඩා කුඩායි. එමෙන්ම පත්ර කඳට සවි වී තියෙන්නේ සම්මුඛ පත්ර වින්යාසය අනුව (opposite leaf arrangement).
මේපල් ගස් අඩි 30 සිට 150 දක්වා උස යනවා.
මේපල් අලංකාරය පිණිස වවනවා උද්යානවල හා මාර්ග අයින් වල. ඒ වගේම මේපල් සිරප් හදන්න ගන්නවා. Japanese maple, field maple වගෙ ඒවා අලංකාර බොන්සායි නිර්මාණ වලට ගන්නවා.
























මේපල් කොළ වගේම කොළ තියෙන තව පතනශීලී ශාක කිහිපයක්ම තියෙනවා.
Sycamore, Sweetgum හා Yellow poplar තමයි ඒ ගස්වල නම්. මේ කොළවල ඛණ්ඩ්කා තරමක් ලොකුයි. එමෙන්ම පත්ර කඳට සවි වෙලා තියෙන්නේ ඒකාන්තර පත්ර වින්යාසය අනුව (alternate leaf arrangement).








(සියළුම ඡායාරූප ඔබේ දැනුම උදෙසා අන්තර් ජාලයෙන් ලබා ගත් ඒවාය. මුල් හිමිකරුවන්ට ස්තූතියි.)



Sunday, January 1, 2023

Monowi ඇමරිකාවේ කුඩාම ගම/කුඩා නගරය

 Monowi ඇමරිකාවේ කුඩාම ගම/කුඩා නගරය







ඇමරිකාවේ ගම් තියෙනවා ද කියල හොයන්න වුණෙ සශිකා ඇහුව නිසා. ගමක් කියන්නේ ඇත්තටම මොකක් ද? ඔබ හිතුවද ඒ ගැන? ඇමරිකානු අර්ථ දැක්වීමට අනුව ගමක් කියන්නේ සීමිත ආයතනික බලය සහිත කුඩා නගර ප්රදේශයක්.
ඇමරිකාවේ ඇති කුඩාම එවැනි ගම/කුඩා නගරය තියෙන්නේ Nebraska ප්රාන්තයේ. ඒ ගමේ නම Monowi. 2022 ජූනි නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා අනුව මේ ගමේ ඉන්නේ එක කාන්තාවයි. ඇගේ නම Elsie Eler. ඇගේ වයස අවුරුදු 88ක් වෙන්න ඕන. ඇගේ නිවස පමණයි මේ ගමේ ඇති එකම නිවස. මේ ලියන මොහොතේ ඇගේ තත්ත්වය මං දන්නෙ නෑ.
ඒ වාර්තාව අනුව ඈ 1971 සිට සිය පවුලේ ව්යාපාරය වන මත්පැන් හළ පවත්වාගෙන යනවා. හිමිදිරි පාන්දර අවදිවන ඈ පාළු මාවත දිගේ ඇවිදගෙන යනවා. ඇගේ ව්යාපාරික ස්ථානය සතියේ සඳුදා හැර අනිත් දවස්වල දවසට පැය 22ක් විවෘත කරල තියෙනවා. එතනින් යන එන වෙනත් ප්රදේශවල අය ඇගේ ගනුදෙනු කරුවෝ. ඒ කුඩා නගරයේ නගරාධිපතිත්, ලිපිකරුත්, මුදල් ගණන් තබන්නාත්, පුස්තකාලායාධිපතිත් යන සියළු චරිත ඇයම පමණයි.
මුල් කාලවල මේ ගමේ ජනගහනය 150ක් බව සඳහන් වෙනවා. 2004 වසර වෙද්දී ඔවුන් වෙනත් ප්රදේශවලට යාම නිසා ජනගහනය දෙන්නෙකුට අඩු වෙලා.
ඒ දෙන්නා තමයි Elsie හා ඇගේ සැමියා වන Ruby. The Independent වාර්තා අනුව Ruby 2004 වසරේම මිය ගිහින්. මේ මොහොතේ Elsie ජීවත් වෙනවා නම් ඇයට නිරෝගී ඉදිරි දිවියක් පතනවා!
(Elsie ගේ මේ ඡායාරූපය නිව්යෝර්ක් ටයිම්ස් ඇසුරෙන්)