ඒ සිහිනය යළි දකින්නට මට සිතෙයි
වෙලාවකට සුපුරුදු
බෙහෙත් තෙල් සුවඳක්
දැනී ආයේ නොදැනී යයි.
ගේ වටේ පහළට පාත් වෙයි.
රැළි වැටුණු දෑතක් කඩිසරව
ගල් තුනක් තබා හැදූ ළිපකට
දර, කොළපු, පොල්කටු පුරවයි.
මොහොතකින් නොනිවී දැල්වෙන
කහපාට දිළිසෙන ගිනි දැල්ල
දැළි පාට කේතලය වැළඳ ගනියි.
ඒ ආදරයට කේතලය පිළිතුරු දෙයි.
එහි ඇති වතුර ගීයක් ගයයි.
කෙමියෙන් හුමාලය කැරලි පිටවෙයි.
ඒ දුම් අඳුරු පැහැ කුස්සියේ
එකම එක ජනේලයෙන්
පිටවී මීදුමට එකතු වෙයි.
අත්දෙක වරින් වර
ගිනි දැල්ලට ළං වෙයි.
රත්වූ අතැඟිලි කඩා හැලෙන
කොපුල් මත පතිත වෙයි.
දැළි රෙදි කැබැල්ල අතට එයි.
කේතලය පරිස්සමින් එසැවෙයි.
උනු වතුර කෙමියෙන් වැක්කෙරෙයි.
මේසය උඩ තේ පෝච්චිය
තේ වලින් පිරවෙයි.
සියල්ල සිහිනයක් වී
අතීතයේ දිනක නවතියි.
ආයෙත් ඒ සිහිනය දකින්න
නිදාගන්නට මට සිතෙයි.
Thanks to dogadakisakal for the image on Pexel

No comments:
Post a Comment