Sunday, May 31, 2020

කළු සහ සුදු



සුදු තමයි ලස්සන කියල 
හැමෝම හෙව්වේ සුදු 
හැමෝටම ඕන වුණේ 
සුදුවෙන්න 
කළු එච්චරම නරකද 
කළු කැතයි කියලයි 
හැමෝම වගේ කිව්වේ....
කළු අසුබයිලු 
කළු මරණයේ පාටලු ..
කළු අවාසනාවේ පාටලු...   

කළු නිසා මේ තරම් 
කඳුළු ගැලුවේ 
ඇයිද නොදනිම්
කළු නැතුව සුදු නම් 
තියෙන්නට පුළුවන්ද 
සිතනෙම් ......
කළු වළා  පාවෙලා 
ගෙනාවත් වැසි මනරම්
කළු වළා පාවෙලා 
එළිය පායන තුරු සිටිමි මම් 
Photo by Niklas Schoenberger on Unsplash 

Saturday, May 30, 2020

අහිමි පෙම





ඒ ඇයමය. ඈ මේ ආකාරයෙන් නැවත දකින්නට ලැබෙතියි බලාපොරොත්තුවක් මට නොවීය. මේ මොහොතේ ඈ මා හඳුනා ගත්තේ නැත හෝ ඈ සිටි තැනට මා පැහැදිළිව නොපෙනුණා විය හැකිය.මා ඇත්තෙන්ම සිටියේ මට ඈ පෙනුනත්, ඇයට මා නොපෙනෙන ආකාරයට බව පසුව මම පසක් කර ගතිමි. 

 මා මේ සිටින්නේ බදුල්ලට යන 'උඩරට මැණිකේ' ශීඝ්‍රගාමී දුම්රිය, දුම්රිය අංගනයට පැමිණෙන තෙක් කොළඹ කොටුව දුම්රිය අංගනයේ පළවැනි  වේදිකාවේ බංකුවක් මත අසුන්ගෙනය. පළමු පන්තියේ ටිකට් පතක් මගේ අතේ විය. ගමන් බෑගය පසෙක විය. සතියක් පමණ බදුල්ලේ මා මිත්‍ර සරත් සමග වටපිටාවේ සුන්දරත්වය විඳිමින් ගත කිරීමට යාම මගේ අරමුණ විය. ඒ සඳහා අවශ්‍ය නිවාඩු ලබාගෙන දුම්රියද කල් ඇතිව වෙන් කරගෙන අද උදේම මෙහි ලඟා වීමි. මෝටර් රථයෙන් නොගොස් දුම්රියේ යාමට තීරණය කළේ කවදත් උඩරට දුම්රිය ගමනට මා ඇළුම් කළ හෙයිනි. එමෙන්ම දුම්රියේ ගමන තනිවම මෝටර් රථයක් ධාවනය කිරීමට වඩා හිතට මෙන්ම ගතට ද සැහැල්ලුවකි. මෙකල  ප්‍රධාන මාර්ගයක මෝටර් රථ ධාවනය අතිශය කටුක අත්දැකීමකි. 

'ගිහින් කතා කරනවද?' පපුව මැද විදුලි කොටන ශබ්දය පිටතටත් ඇසේදෝයි  බියක් සැනෙකින් ඇතිවිය.

'ඕන නැහැ එයා ජීවිත ගමනෙ එයාගෙ පාරෙ ගියාදෙන්. මං දැන් ඒකට ඇතුල් වෙන්න ඕන නැහැ' මගේ ඒ දැඩි අවසන් තීරණය සමග හදවත ද කෙමෙන්  සන්සුන් වනු දැනුණි.  සන්සුන් වූ මම ඈ දෙස තව දුරටත් බලා සිටියෙමි. ඇගේ සුදෝ සුදු වත එදා මෙන්මය. මා ආසා කළ ආදරය කළ සුකොමළ සිහින් සිරුර ද වෙනස් වී නැත. ආ අසළ දරුවන් දෙදෙනෙකි. ඇගේ සිරුරේ පැහැයෙන්ම යුතු වැඩිමල් පිරිමි දරුවා තරුණ වියට එළඹීමට ආසන්න වයසකය. අප දුරස්වී වසර විස්සකට ආසන්න බව මට සිහිපත් වන්නේ දැන්ය. අද ඇය දුටු මොහොතේ පටන් මෙතෙක්, එය අද ඊයේ මෙන් හැඟීමක් සිත තුළ විය. අනික් දැරිය පිරිමි දරුවාගේ නැගෙණිය විය යුතු බව පැහැදිළි  විය. දැරියගේ පොකුටු හිසකෙහෙ හා පෙනුම ඒ  අසල සිටගෙන සිටි ඇගේ පියාගෙන් ලැබුණු දායාද බව  පෙනුණි. දැරිය සිය සොහොයුරාට වඩා වසර කිහිපයක් ලාබාල බව පෙනුණි.

මේ වගේ දරුවන් අපටත් ඇතිවී අපි අපේම පුංචි ගෙයක ජීවත් වෙන හැටි ඈ මිහිරි තෙපුළෙන් පැවසූ ඒ අතීතය ඇත්තටම මගේ ජීවිතයේ ඈත දිනයක  විඳි දෙයක්  ද නැතිනම් හිතලුවක් දැයි තෝරා බේරා ගන්නට බැරිව මම විපිළිසර වීමි. මේ සියල්ල දෙස බලා සිටින කල එකල අප ප්‍රේමයෙන් වෙලී සිටි ඒ සුන්දර අතීතය දැන් දැන් මගේ මතකයට නැගෙන්නේ ආත්ම ගණනාවකට එපිටින් සිදුවූ සිදුවීම් පෙළක් ලෙසය.

මට ඇය මුලින්ම හමුවූ දිනය සිතුවම් පටෙහි මුලින්ම මනසේ දිග හැරෙයි. සවස අමතර පන්තියට යාමට මම බස් රථයෙන් යමින් සිටියෙමි. අතරමගදී කහ පාටට හුරු ගවුමකින් සැරසුණු හිම කුමරියගේ පැහැයෙන් යුත් ගැහැණු ළමයෙකු බසයට නැගුණා මතකය. ඉන් පසු මට එය අමතකව ගියේය.

මා පන්තියේ ඉඳගෙන පාඩමට සිත  යොමා සිටි මොහොතේ ඒ ගැහැණු ළමයා  අලුත් ශිෂ්‍යාවක ලෙස අපේ පන්තියට පැමිණීමත් සමග මගේ සිත මටත් තෝරා බේරා ගැනීමට නොහැකි අමුතු හැඟීමකින් වෙලී ගියේය. ඇය සුරඟනක් බඳු යයි මට සිතුනි. එතරම් සුන්දර මුහුණක් හෝ සිහින් අඟපසඟ ඇති රුවක් මා මෙතෙක් දැක නැතැයි හැඟී ගියේය.

ඇය ඉඳගෙන සිටියේ මා සිටි පෙළට ඉදිරිපස පෙළකය. ඈ සටහන් ලියන අතරේ මම ඇගේ බිමට නැඹුරුවුණු සුන්දර මුහුණ දෙසත් මේසය මත තබාගෙන සිටින ඇගේ වමතේ දිගු සිහින් ඇත් දත් පැහැති ඇඟිලි දෙසත් බොහෝ වේලා බලා සිටියෙමි.

මගේ සිතේ ඈ පිළිබඳව මේ ඇතිවී තිබෙන නොසන්සුන් එහෙත් වරෙක රසබර, වරෙක හදවත දැවී යන අමුතු හැඟීම් ආදරය බව වටහා ගත්තේ සෙමින් සෙමින්ය. මගේ ඇතැම් මිතුරන්ට පෙම්වතියන් සිටි නමුත් ආදරය ගැන එතරම් කතාබහක් අප අතර ඇතිවී තිබුණේ නැත. මා කියවා තිබූ සීමීත නවකතා කිහිපයක වූ පෙම් සබදතා,  මා හුදකලා වූ සැමවිටකම ඈ ඒ කතාවල චරිත අතර පණ පොවමින්  මගේ මනසේ හොල්මන් කරන්නට විය. තවත් සති කිහිපයක් නොසන්සුන් සිතින් ගතවී ගිය ඉක්බිති දිනක මගේ හොඳම මිතුරා මගින් මගේ සිතැඟි ඇයට ඉදිරිපත් කළෙමි. අපේ පෙම් පුවත ඇරඹුණි.

දිනක් අප දෙදෙනා මුහුදු වෙරළේ තනිවූ මොහොතක ඇගේ අතැඟිලි මගේ දෝතින් ගනිමින් ' ඔයාගේ අත් හරිම ලස්සනයි ' කීමි. මනරම් සිනාවෙන් මුව සරසා ගත් ඈ 'ඕක කියන්නේ ඔයා විතරක් නෙමෙයි ' කියා කීවාය. ඒ පිළිතුරෙන් මා අන්දමන්දව යනු දුටු ඈ දඟකාර ලෙසින් ' හොරා ...මට තව කොල්ලෙක් එහෙම කිව්වා කියල හිතුව නේද?' කියා ඇසුවාය.
'නෑ ..නෑ පවන්. බය වෙන්න එපා. අපේ ඉස්කෝලේ වෙන පන්තිවල ළමයි එනවා මාව බලල යන්න. එතකොට තමයි ඕව කියන්නේ.' කියමින් මගේ කුතුහලය ඉවත් කරමින් ඈ ඇගේ පිළිතුර දීර්ඝ කළාය. සැබවින්ම ඇගේ අත් වාත්තු කළ පිළිමයක බඳු යයි මට සිතුනි.

'රේඛා' අවන්හලේ අපි සැහැල්ලුවෙන්, හිම කිරම තොල ගාමින්, දොඩමළු වෙමින්, අනාගතයේ කෙදිනක හෝ මටම හිමි කර ගැනීමට ආදරයෙන් බලාපොරොත්තුව සිටි ඇගේ අතැඟිලි මගේ අතැඟිලි අතර සිර කරගෙන සිටි ඒ චමත්කාර සැන්දෑව  ඊ ලඟට මගේ මනසේ සිතුවම් අතරට පිවිසෙයි. ක්ෂණිකව ඇතිවූ උමතු හැඟීමකින්, බිමට නැඹුරු වී තිබු ඇගේ මුහුණ මා වෙත දෝතින් ගෙන  රෝස පෙතිවන් කම්මුලක් මත ජීවිතයේ ප්‍රථම වතාවටත් අවසන් වතාවටත් උණුසුම් හාදුවක් තැබුවේ ඒ මොහොතේ හදවත පත්ලේ ගැඹුරුම තැන කළඹවා ගෙන නැග ආ  මගේ ආදරය ප්‍රකාශ කිරීමට වචන සොයාගත නොහැකි වූ බැවිනි. . " ඔයාට පිස්සුද පවන් ...කවුරුවත් දැක්කොත් " රතුවූ මුහුණින් යුක්තව ඈ විරෝධය පෑවේ එයට අකැමැත්තෙන්ම නොවේ. ඒ සොඳුරු මොහොත සිහිනයක් නොවන්නේදැයි මට දැන් හැඟෙයි. ඒ සමගම ඉමිහිරි රෝස පෙති සුවඳක් මතකයේ පත්ලෙන් සිතට දැනී නොදැනී, එයින් ද නොනැවතී නාස් පුඩු තුළින් ඇතුල්වන සෙයක් ද දැනුණෙන් මම වට පිට බැලීමි. එහෙත් දුම් හා තෙල් වාෂ්ප මිස අවට වාතයේ රෝස මල් සුවඳක් නොවන බව මට ඒ ක්ෂණයකින් පසක් විය. සියල්ල මායාවේ කඩතුරාවෙන් වැසි ගිය සෙයකි.

ජංගම දුරකථන තබා ස්ථාවර දුරකථනයක් පවා ඉතා විරල ඒ අතීතයේ, අපි පෙම් පත් මගින් අදහස් හුවමාරු කර ගතිමු. ඒ ලිපි පොතක් අස්සට දමා මිතුරෙකු මගින් ඇයට ලැබීමට සැලැස්වූ හැටි ..ඇගේ ලිපිත් ඉඳ හිට ඈ මැසූ ලේන්සු පොඩිතිත් ඒ විදියටම අතින් අත, මවෙත ලැබුණු සැටිත් වචනයෙන් විස්තර කළ නොහැකි චමත්කාරයක් ජීවිතයට එකතු කළේය. මා ඒ ලිපි හා තෑගී ඉතා සුරැකිව තබා ගත්තේ අම්මාට හොරෙනි. නමුත් අප දෙදෙනා පිලිබඳ යම් ආරංචියක් දෙමාපියන්ගේ කණ  වැකීමට වැඩි කලක් ගත වූයේ නැත. අම්මාත් තාත්තාත් මුල සිටම අපේ ප්‍රේමයට විරුද්ධ වුවෝය.

ඇගේ නිවසට අපේ ප්‍රේමය ගැන වැටහීමක් නොවිය. ඈ එය ඇගේ එකම වැඩිහිටියාවූ මවට පවසා නොතිබූ අතර වෙනත් ක්‍රමයකින් එය ආරංචි වුයේ ද නැත. මා ඇගේ නිවසට එක වරක් ගිය නමුත් එය  සාමාන්‍ය මිතුරු හමුවකින් ඔබ්බට, සැකයට බඳුන් වන අවස්ථාවක් නොවීය.

' පවුල් දෙකක බරට  මට කරගහන්න බෑ " අම්මා කීවාය.

අම්මා ඇගේ පවුල පිලිබඳ කොහෙන් හෝ කන වැකුණු දෙයකින් තේරුම් ගත් ඒ දෙය එනම් ඇගේ පවුලේ සැබෑ තත්වය තේරුම් ගැනීමට තරම් මේරූ බවක් එදා මට නොවීය. එය මට වැටහෙන්නට වූයේ ඇය මට අහිමි වීත් බොහෝ කලකට පසුවය. ඈ ඉගනීමේ දක්ෂ වූවාය. එකවරම වෛද්‍ය   විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට ඇයට හැකි විය. මම අසමත් වීමි. ඈ වෛද්‍ය විද්‍යාලයට  ගියාය. මම ඉබාගාතේ ඇවිද්දෙමි. ඒ සුළු කාලය තුළ ඈ මට අහිමි විය. අපේ සොඳුරු ප්‍රේමයට තිත තැබූ ඈ මා හැර ගියාය. ඈ මට අහිමි වී ගිය ඒ අතීතයේ මුල් දිනවල නැවතත් ඈ දැක ගැනීමේ ආශාවෙන් මඬනා ලද සිතක් මා තුළ පහළ වූ නමුත්, ළතෙත් බවෙන් තොර කාලයේ වැලි තලාවෙන්  වැසි ගිය අතීතය ක්‍රමයෙන් මා ඒ සිතුවිළි වලින් ඈත් කරනු ලැබීය.

පසු කලෙක ඈ වෛද්‍යවරියක වන්නට ඇත. ඈ පත්වීම ලැබුවේ කුමන රෝහලකට ද යන්න මට දැන ගන්නට ලැබුණේ නැත. නැත්නම් මට එවැන්නක් දැනගන්නට වුවමනා නොවුයේ  තවදුරටත් ඈ ජීවත් වූයේ මගේ සිහින ලෝකයේ මිස සැබෑ ලෝකයේ නොවන බැවිනි.

ඔබට සිතෙනු ඇත්තේ සරසවියේදී ඈ අළුත් පෙම් පුවතක් ඇරඹු නිසා මා හැර ගියා වන්නට ඇතැයි යන්න නම් ඔබ වැරදිය. සත්‍ය වෙනත් දෙයකි. ඇගේ පවුලට සම්බන්ධ ඥාතියෙකු විසින් කරන ලද විවාහ යෝජනාවකින් ඈ විවාහ දිවියට ඇතුළත් වූවාය. අදාළ පුද්ගලයා ඇගේ පවුලේ ඉදිරි කටයුතු වලට උරදීමට සමත් කෙනෙකු වීම නිසා මවගේ බලපෑම මත එයට එකඟ වී ඇති බව ඇගේ මිතුරියක මගින් පසුව මා වෙත දන්වා එවා තිබුණි. මා ගත කළ සැහැල්ලු සුකුමාල ජීවිතය ඇයට පෑහෙන්නක් නොවන්නට ඇත.

' ඔයාට කවදාවත් මාව තේරුම් ගන්න පුළුවන් වෙන එකක් නෑ පවන්. මට මගේ පවුලේ ලොකු වගකීමක් තියෙනවා. මං මොනදේ කළත් , මගේ ආසාවල් මොනවා වුණත් මුල් තැන දෙන්නේ මගේ වගකීම් වලට මිසක් හැඟීම් වලට නෙවෙයි. මං ඔයාගෙ ඔය ලස්සන ඇස් වලට ආසා කළා තමයි. ඔය හිනාවට ආදරය කළා තමයි. ඒත් ඒ මේ සුන්දර යොවුන් වයසත් එක්ක අපේ හිත්වල පොරකන සිතුවිලි වලට යටවෙලා කියල අමතක කරන්න එපා. ඒත් ජීවිතය කියන රළු මාවතේ ඒ තරම් සැහැල්ලුවෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ නැහැ පවන්. ජීවිතේ මල් යහනක් නෙවෙයි.'

ඒ ඈ මට එවූ ලිපියක කොටසකි. ඈ ඇගේ ඉරණම ඉවෙන් මෙන් දැන ගෙන සිටියා වන්නට ඇත.
මේ ලිපි වල තිබු ඇතැම් දේ ඇසූ මගේ හොඳම මිතුරා පැවසුවේ ' මචං ඔයාගේ නිම්මි හොඳයි බණ කියන්න. හැබැයි උඹ බණ අහ අහ ඉන්න ලෑස්ති නැති බව මං දන්නවා.'

එහෙත් ඇගේ දුෂ්කර දිවි පෙවෙත විසින් එවැනි ආස්ථානයකට ඇය තල්ලු කර තිබු බව තේරුම් ගැනීමට මම අපොහොසත් වීමි. මට කුඩා කළ පටන් ලැබී තිබු මුලික සැප සම්පතින් පිරුණු ජීවිතය, අපේ වැනි දුප්පත් රටක ජනතාවගේ පොදු යථාර්තය අවබෝධ කරලීම මා වෙතින් දුරස් කළේය. එහෙත් මම මට ලැබී තිබු ඒ වරප්‍රසාද මගේවත්, දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයින්ගේවත් යහපත වෙනුවෙන් යොදා ගැනීමට අසමත් වීමි. මට කරන්නට තිබුනේ ඇය ආදර්ශයට ගනිමින් මගේ ද ඉගෙනුම සාර්ථක කර ගෙන අප දෙදෙනාම සාර්ථකත්වය කරා පිය නගාගෙන ඇගේ බරට ද සැහැල්ලුවක් ගෙන දී ජීවිතය ජය ගැනීමටය. එහෙත් මම ඉබාගාතේ ඇවිද්දෙමි. ජීවිතය වරද්දා ගත්තෙමි. දෙමාපියන්ට ද බරක් වීමි. පවුලට නරක ආදර්ශයක් වීමි. 

ගලා ගිය කාලය තුළ අම්මා ගේ දැඩි උත්සාහය මත අවසානයේ දී එක්තරා මාවතකට පිවිසීමට මට හැකි විය. මම විවාහ ජීවිතයකට ද ඇතුළත් වූ බව කිව යුතුය. ඒ විවාහ ජීවිතය ගඟක පහළට ගලා යන ජල කඳත් සමග  ඔහේ ඇදී පාවී ගිය පරඬලා පතක් මෙන් විනැයි  අද මට සිතේ.  අප දෙදෙනාට දරුවන් ඇති වූයේ නැත. මට සිහි කරන්නට ඇත්තේ එදා ඒ අතීතයේ නිම්මිත් මාත් කතා කළ ඒ සිහින ගෙවල් හා සිහින දරුවන් ගැන පමණකි. ඇත්තෙන්ම සමහර වෙලාවට මා කාන්සියේ ගතකරන විට මගේ චිත්ත සන්තානයේ  ඒ අපේ සැබෑ නොවූ පුංචි සොඳුරු කැදැල්ලත්, එහි කුදු මහත් කටයුතුවල සතුටු සිතින් යෙදී සිටින ඇගේ පියකරු මුහුණත්, අපේ මිදුලේ දුව පැන නටන පුංචි පැටවුනුත්, ඇඳී ගියේ නැතැයි කීවොත් එය මුසාවකි. නිම්මි නම් සැබෑ දරුවන් සමග බව අද මම දැක්කෙමි. පසු කලෙක මගේ බිරිඳ පිළිකා රෝගයට ගොදුරුවී මෙලොව හැර ගිය හෙයින් මම මෙලොව තනි වීමි. මව් පියන් කලින්ම මා හා සොයුරන් හැර ගොස්ය.

'උඩ රට මැණිකෙට පට කුඩ දෙක දෙක' තාලයට පැමිණි 'උඩරට මැණිකේ' දුම්රිය පළමු වේදිකාවේ නතර කරනවාත් සමග කලබල වූ මගීන් තම තමන්ගේ ගමන් මළු ද රැගෙන දුම්රියට නැග ගැනීමට උනන්දුවනු පෙනුනි. ඔවුන් ද තමන් ගේ ගමන් මළු අතැතිව ඒ දෙසට යනු මම බලා සිටියෙමි. දරුවන් දෙදෙනාගේ ඇස් වල තිබුණේ බලාපොරොත්තුවේ ආලෝකයයි. දුර ගමනක් නිදහසේ යන්න පොඩි දරුවන් කොතරම් ආසා කරනවා ද යන්න මගේ කුඩා කාලයේ අත්දැකීම් සමග සිත තුළ චංචල හැඟීම් ඇති කළේය.

ඒ පුංචි පවුල නැරඹුම් මැදිරියට ඇතුල් වනු මම හිස් බැල්මෙන් බලා සිටියෙමි. මගේ අතේ තිබු ප්‍රවේශ පත්‍රය අතැඟිලි අතර හිර විය. අතැඟිලි දහදියෙන් තෙත්ව තිබුණි."සරත් ට කෝල් එකක් දෙන්න ඕන අද මේ කෝච්චියේ එන්නේ නෑ කියල" එකවර මගේ සිතුවිලි අලුත් විය. මම ආපසු හැරී දුම්රිය වේදිකාවේ පිටවීමේ පුවරුව පෙනෙන ඉසව්ව බලා වේගයෙන් ඇවිදගෙන ගියෙමි. එහෙත් නැවත වහා  හැරී දුම්රිය දෙස බලා සිටීමේ ආශාවක් සිතට නැගුණි. දුම්රිය තව මොහොතකින් පිටත් වන බව ප්‍රකාශ වුණු ඒ ගැඹුරු කට හඬ මගේ දෙකන් තුළ දෝංකාර දෙමින් ඇසී නෑසී ගියේය.  මොහොතකින් දුම්රිය ඇයත් ඇගේ ලෝකයත් මගේ ලෝකයෙන් සදහටම වෙන් කරමින් හූ හඬ නගමින් ඉදිරියට ඇදී ගොස් ඈත වංගුවෙන් නොපෙනී යන තුරුම මම එදෙස බලා සිටියෙමි.  

Photo by adrianna geo on Unsplash





Saturday, May 23, 2020

බෝනිකි ගෙවල් 5 - නුවර පෙරහැර





                              බෝනිකි පෙරහැරේ 'බූලි' අලියෙක්, උඩරට නැට්ටුවෝ දෙන්නෙක්,
                                                    සේසත් කරුවෙක් හා පන්දමක්


නුවර නැන්දම්මත් නුවර පදිංචි වෙලා ඉන්න නිසා චම්පිකාට ලොකු ආසාවක් තිබුණ අගෝස්තු මාසේ නුවර දළදා පෙරහැර බලන්න කවුරුත් එකතු කරන් යන්න. ඔන්න ඒ නිවාඩු කාලෙ ලැබුවත් එක්ක චම්පිකා,සුජාතා, විශාකා හා රෝස් එක්ක මේ ගමන සැලසුම් කරන්න පටන් ගත්තා. මුලින්ම නුවර නැන්දම්මට පොස්ට් කාර්ඩ් එකක් දැම්මා කට්ටිය එන බව දන්වල. ඇයි ලොකු කට්ටියකට නවාතැන් ලෑස්ති කරන්න එපැයි. කොහොමත් නුවර නැන්දම්මගෙ ළඟ නෑයෝ ඒ කිට්ටුව තව ඉන්නවා. අද කාලෙ වගේ හෝටල් බුක් කරගෙන නවතින සිරිතක් තිබුනේ නැහැ.

ගමනට පෙර බෝනිකි නෝනලා අතරේ මේ වගේ කතා බහක් ඇති වුණා.

චම්පිකා - අපි මොනවයි  නුවර යනකොට අරන් යන්නේ ?
රෝස්   - කෝකටත් අපි වෙනද වගේම මාළු ඇඹුල් තියල් හදන් යන්න එපායැ. නැන්දම්මලට අළුත් මාළු හිඟයි නේ ?
විශාකා - කැවුම්, කොකිස්, ටිකකුත් ජේන් ට කියල හදා ගන්න පුළුවන් නේ සුජා ?
සුජාතා - මං කොහොමත් ඒක හිතාගෙන හිටියේ. ඒක නෙවෙයි ඇඳන් යන්න සුදු ගවුම් තියෙනවද ?
චම්පිකා - යද්දී පාට ඇඳන් යමු. මාළිගාවට යන්න නේ සුදු ඕනේ. මම රෙදි අරගත්තා. මහන්න තමයි වෙලා නැත්තේ. රැට වත් බලන්න ඕන. මේ පොඩි තුන් කට්ටුව තමයි ඇඳුම් කිළුටු කර ගන්නේ.
සුජාතා - මං අද අසෝක එකට ගිහින් රෙදි ගන්න ඕන,චන්දන ආවහම. මට ඉතින් මහන එක ඒ තරම් වැඩක් නෙමෙයි නේ.

බෝනිකි දරුවෝ මෙන්න මේ විදියට කතා වුණා.

සඳුනි - පිණී ...අපිට මේ සැරේවත් හරියට පෙරහැර බලන්න පුළුවන් වේවිද දන්නෙ නෑ නේද ?
පිණී   -   ඔව් අනේ ගියසැරේ හම්බු වුණු තැන පල් නේද ?
ආශික්කි - හූ ..හූ... මට නම් තාත්තගේ කරේ ඉඳන් හරි බලන්න පුළුවන්.
පිණී - අනේ යන්න ..මෙයා එනවා මහ ලොකු කතා වලට....
උදන් - මේ ..ඕගොල්ලෝ අම්මලට කරදර එහෙම කරනවා නෙමෙයි. ආයේ ට්‍රිප් යන්න හම්බෙන්නේ නෑ ..තේරුනයි ?
සඳුනි - බලපල්ලකො මෙයා හරියට තාත්ත වගේනේ කතාව.
පිණී - ඔව් ..අනේ මෙයා මහ පණ්ඩිතය ..කෝ අද අති පණ්ඩිත නැද්ද ?
දමිත් - කවුද ගෝරිය ද ?
සඳුනි - අය්ය බයිසිකල් පදින්න ගිහින්. තාත්තගෙන් බැනුම් අහල ඉන්නේ. කන්ද පහළට වේගෙන් පැදලා.

ගෝරිං බයිසිකල් පිස්සා. මහා වේගෙන් බයිසිකලය කන්දෙන් පහළට පදිනවා. මේ බයිසිකලය හදල තිබුණෙ නූල් රෝද වලින්. බෝනිකි ඇඳුම් මැහුවේ අක්කල තුන්දෙනා. සුදු නෝනට යන්තම් කකුල් දිග වුණු දා ඉඳල පාගන මැසිමේ මහන්න පුළුවන්. ඒ මහන මැසිම ඇත්ත අම්මට දෑවැද්දට දීපු එකක්. ඒ කාලේ අද වගේ නිමි ඇඳුම් කඩ තිබුණෙ නැහැ. අම්මල ඇඳුම් මහනවා. ඉතින් දෑවැද්දට අනික් ගෘහ භාණ්ඩ ඒ කියන්නේ අල්මාරි,පුටු, ඇඳන් ආදී දේවල් එක්ක  මැසිමක් තියෙන්නත් ඕන.  ඇත්ත අම්මා අක්කල තුන් දෙනාට එකම විදියට ගවුම් තුනක් මහනවා. ඒ කාලේ ජම්පින් පිෂ් කියල රෙදි වර්ගයක් තිබුණා. හරි ලස්සන මල් මල් චීත්ත රෙදි වර්ගයක්. තව ගමන් අඳින ගවුම් මහන්න ටෆැටා , ඕගන්දී වගේ ලස්සන රෙදි තිබුණ. ආත්තම්මා ගමනට ඇන්දේ ඒ වගේ ලස්සන රෙදි වලින් මහපු දිග සායකුත්, සුදු ලේස් අල්ලපු, ලේස්  රෙදි වලින් මහපු අත් දිග කබාකුරුත්තුව කියන හැට්ටයකුත් තමයි. ඒ හැට්ටයට ලස්සන රන් බොත්තම් වැලක් තියෙනවා. ඒක හැට්ටයෙන් හැට්ටයට මාරු කරනවා. තව ලස්සන රන් පෙති මාලයක් කරේ බඳිනවා. අත් දෙකේ බංගලි වළලු දෙකක් දානවා. රත්තරන් පාට සාක්කු ඔරලෝසුවක් තිබුණා . දවසක් මගුල් ගෙදරකදී කවුද ප්‍රභූ යයි සම්මත ටිකක් උඩඟු  කාන්තාවක් ආත්තම්මගෙ මාලේ අතගාල අහල 'ඕක රත්තරන් ද' කියල. ආත්තම්මා කිව්වලු 'ඔව්..  ඉතින් අපි දැම්මම රත්තරනුත් රිදී වෙනවනේ' කියල. එයාගේ කට වැහුනලු. ඕපදුපිච්චියෝ ඒ කාලෙත් අඩුවක් වෙලා නැහැ.

ඉතින් නුවර ගමන ටික ටික ලං වුණා. බෝනිකි නෝනලට ඉස්පාසුවක් නැහැ. අඩුම කුඩුම පෙට්ටිවල අහුරලා, ඇඳුම් සුට් කෙස් වල අහුරලා ලෑස්ති කළා. බෝනිකි මහත්තුරු,නීල්, චන්දන, නඳුන් හා සුගත් කාර් හෝදලා , ඒ දේවල් ඩිකියේ පැටෙව්වා. දැන් පසුදා උදේ පාන්දර ගමන යන්න තියෙන්නේ. ලොකු අය කලින්ම ඇහැරුණා.  සුජාතා කට්ටියටම අතරමගදී කන්න සැන්ඩ්විච් එහෙමත් හදා ගත්තා. චන්දන ඒවාට උදව් වුණා. විශාකා කෙසෙල් ඇවරියකුයි, බිස්කට් ටින් එකකුයි තව  උණුවතුර බෝතල්වලට තේයි හදල දා ගත්තා. වතුර බෝතල් එහෙම දා ගත්තේ නීල්. මුණ අතපය හෝදලා දරුවෝ ලෑස්ති කරලා, ඇඳ පැළඳ ගෙන ඔන්න කට්ටිය වාහන වලින් පිටත් වුණා.

වේයන්ගොඩ, කෑගල්ල, මාවනැල්ල පහු කරලා කඩුගන්නාවට ආවා. ඇත්තටම මේ යන්නේ අර ඇත්ත ගේ පිටිපස්සේ කන්ද දිගේ. කඩුගන්නාවේ කන්ද අයිනේ වාහන නවත්තලා කට්ටිය විවේක ගත්තා. අර කන්ද පහළ වතුර පාරවල් වලින් වතුර ගලාගෙන එනවා. කඩුගන්නාව වගේම තමයි. බලන්න ලස්සනයි. බිම පැදුරක් දාල ඉඳගෙන ගෙනාපු කෑම කෑව. දැන් කාල බීල විවේක අරන් ඉවරයි. එතන අස් පරස් කරලා ආපහු ගමන පිටත් වෙන්න ඕන . දැන් වගේ පොලිතින් භාවිතයක් නැති නිසා සංචාරයේදී කොහොමත් පරිසරය අපිරිසිදු වෙන්නේ නැහැනේ.

ගෝරිං - තාත්තේ ...තාත්තේ ...
චන්දන - ඇයි පුතා ...
ගෝරිං - අනේ තාත්තෙ ! botanical garden එකටත් ගිහින් යමු නේද ?
සඳුනි,පිණි ආශික්කි (එක හඬින් ) - අනේ ඔව්, අපිට යන්නම ඕන ....යමු යමු..නේද අම්මා ?
සුජාතා - නුවර ආත්තම්මා දැන් දවාලට කෑමත් හදන් බලන් ඇති. වෙලාව මදි නේද චන්දන ?
සුගත් හා නඳුන් - ළමයින්ගෙ ආසාවනේ සුජා ...අපි ගිහින් යමු. දෙකට විතර කෑම තිබුණම ඇතිනේ ?

ඔන්න කට්ටියට හරිම සතුටුයි. පේරාදෙණියේ මල් වත්ත ළඟ නැවැත්තුවා. කට්ටිය පොරකනවා.
නීල් - ඉන්න මං ටිකට් ගන්න.
චන්දන - ඔව් ...ඔයා ඒක කරන්න. මං මේගොල්ලෝ ගේට් එක ළඟ තියන් ඉන්නම්.

ඔන්න නීල් මහත්තයා ටිකට් අරන් ආවා. කට්ටියම මල් වත්තට ඇතුල් වුණා. දැන් කාලෙ  වගේ ලොකු සෙනගක් නැහැ. දැන් මේ බෝනිකි පවුල් ටික අරන් අර අක්කලයි  මල්ලියි යන්නේ ඇත්ත ගෙදර මිදුලේ මල් ගස් අතරේ. ඒ තමයි, පේරාදෙණියේ උද්භිද උද්‍යානය. එහෙම එකක් ඇහින් දැකල නෑ මේගොල්ලෝ. ඇත්ත අම්මා එහේ ගිහින් තියෙන කතා කියල තියෙනවා. ඒවා හිතේ මවාගෙන තමයි මේ සෙල්ලම් කරන්නේ. මොකෝ දැන් වගේ පොත්පත් සඟරා වල පාට පාට පින්තූර නැහැ. රුපවාහිනී නැහැ. සේරම පරිකල්පනය.
නීල් හා නඳුන් ළඟ කැමරා තිබුණා. ඉතින් කට්ටිට මල් වත්තේදී පින්තූර ගත්ත.

හවස දෙක විතර වෙද්දී කාන්ඩේ නුවර නැන්දම්මලගේ ගෙදරට ලඟා වුණා . ගෙට ගොඩවෙනවත් එක්කම නුවර නැන්දම්ම ඉස්සරහට ආවා.  කට්ටියම නුවර නැන්දම්මට වැන්ද. නුවර අය කොහොමත් වැඳුම් බලාපොරොත්තු වෙනවා.
 
නුවර නැන්දම්මා - (හිනා වෙමින් ) අය්යෝ මං එකොළහේ ඉඳන් මග බලන් ඉන්නවා ළමයි ..මොකෝ මේ පරක්කු වුණේ ?
පිණී - අපි මල් වත්තේ ගියා ආත්තම්මා ..
නුවර නැන්දම්මා - මං හිතුව පුතේ එකත් එකටම මේ ගොල්ලෝ එහේ යන්න ඇති කියල. මං දන්නවනෙ ළමෝ ගෙ රඟේ ...
හා හා ඒකෙන් කමක් නෑ අත්‍ හෝදලා කෑම කාල ඊට පස්සේ ඇඟ හෝදන් ඇඳුම් මාරු කර ගන්න්න. එහෙම හොඳයි නේද සුජා ?
සුජා - ඔව්, නැන්දම්මා ...මේ ගොල්ලන්ට බඩගිනි ඇති.
ගෝරිං - අම්මෝ ආත්තම්මා මට නම් යකෙක් කන්න බඩගිනියි.
විශාකා - නඳුන් අර බඩු ටික කාරෙකෙන් ගේනවද ? නීල්වත් එක්කගෙන යන්න. මාළු ඇඹුල් එක කෑමට ගන්න පුළුවන් නේ?
නුවර නැන්දම්මා- අනේ මේ ළමයි හැමදාම එනකොට මහා ගොඩවල් උස්සන් එනවා. ඇයි ළමයිනේ මේ පිට තැනක් ද ? මං මාමණ්ඩියි මල්ලියි එක්ක ඕන හැමදේම ගෙනාව.
සුජා - මහා ගොඩක් දේවල් නෑ නැන්දම්මා. කෝ මාමණ්ඩි ?
නුවර නැන්දම්මා- ආ ! පුතේ ඒ දෙන්න ගියා අර අපි පෙරහැර බලන තැන හරිද බලන්න. නැත්නම් මේ පොඩි දරුවන්ට සෙනග අස්සේ තෙරපෙන්න බැහැනේ.

පෙරහැර බලන උදවිය දවල් ඉඳන්ම පාර අයිනේ  තැන් අල්ලාගෙන පැදුරු එළාගෙන ලෑස්ති වෙනවා. යමක් කමක් තියෙන, හිතවතුන් නුවර ඉන්න අය ඒ  ගෙවල් වල බැල්කනි වල ඉඳන් බලනවා.  නැත්නම්  හෝටල් වල බැල්කනි සල්ලි දීල බුක් කර ගන්නවා. සමහර ගෙවල් අයිති කාරයොත් ඒ ගෙවල් වල බැල්කනි කුලියට දෙනවා. ඇත්ත අම්මල ගිය දවසේ පෙරහැරේ  අලියෙක් කුලප්පු වෙලා පාර අයිනේ පෙරහැර බලමින් හිටිය මිනිස්සු තෙරපිලා මරුනලු. නුවර මාමන්ඩිගේ මල්ලි, සිරිල් මාමණ්ඩි  ඉන්නේ පෙරහැර යන යටි නුවර වීදියේ . ඒ ගෙදර බැල්කනියේ ඉඳන් තමයි බෝනිකි පවුල් පෙරහැර බලන්න ඉන්නේ. සිරිල් මාමණ්ඩි නම් කවදාවත් බැල්කනිය කුලියට දෙන්නේ නැහැ. හිතවතුන් නොවන අයටත් ආසන හදල පෙරහැර නරඹන්න දෙනවා විතරක් නෙවේ, ඒ අමුත්තන්ට මැලිබන් බිස්කට්, කැවුම් කොකිස් ,තේ, කෝපි ,ඔරේන්ජ් බාර්ලි එහෙම සංග්‍රහ කරනවා. ඉතින් ඒ මිනිස්සු හරියට මාමණ්ඩිට ආශීර්වාද කරනවා.

ඔන්න කට්ටිය දිවා ආහාරය  සප්පායම් වුණා. වතුර පීල්ලෙන් ඇඟ පත හෝදගෙන ඇඳුම් මාරු කර ගත්ත.

සුජා - දැන් ළමයි ටිකක් නිදා ගන්න. රෑට නිදිමරන්න වෙනවා.

ඒ වුණාට ළමයින්ට ඒ කියන ඒවා කණකට ඇහුණේ නෑ . ඒ ගොල්ලෝ සින්දු කිව්වා. පොඩි පොඩි සෙල්ලම් කළා. සුමුදු,සනත් දෙන්නාට කටවල් ඇරන් සෙටි උඩම නින්ද ගිහින් තිබුණා. ඒ ගොල්ලන්ගේ අම්මල ඒ දෙන්න උස්සන් ගිහින් ඇඳන් වලට දැම්ම. නුවර නැන්දම්මා තාන් ඇඳ රෙදි, කොට්ට උර දාල ඇඳන් ලෑස්ති කරලා තිබුණා . එහෙම තමයි ඒ කාලෙ . කවුරුහරි අමුත්තෙක් නවතින්න එනව නම් අපුල්ලපු,නැවුම් සුවඳ රෙදි එළලා ඇඳන් ලැස්ති කරනවා. මදි පාඩුවට පැදුරු ලෑස්ති  කරනවා. අමුත්තෝ ගියායින් පස්සේ මේ සේරම රෙදි, රෙදි නැන්දට දීල තමයි ආපහු අපුල්ලවන්නේ. ගෙදර රෙදි හේදිලි අඩුයි. වොෂින් මැෂින් හදලත් නැතුව ඇති ඒ කාලෙ.

බෝනිකි නෝනලා ටිකටත් උදේ පාන්දර ඉඳන් ඇහැරිලා, ගමනට ලෑස්ති වෙච්ච එකෙයි, ගමන නිසා වෙහෙස මහන්සියයි  නිසා ටිකක් නින්ද ගියා. බෝනිකි මහත්තුරු කාඩ් ගහමින්, විනෝදෙන් කාලය ගත කළා. කට්ටියම හවස ඇහැරෙන කොට නැන්දම්මා තේවතුර වක්කරල තේ මේසේ ලෑස්ති කරල තිබුණ. හැලප හදල තිබුණු නිසා කවුරුත් ආසාවෙන් තේ බිව්වා.

සුජා හිතන් ආවේ හවස මාළිගාවට යන්න. ඒත් නැන්දම්මා කිව්වා 'පුතේ, හවස සෙනග හරියට. මේ පොඩිවුනුත් එක්ක තෙරපෙන්න බෑනේ. හෙට උදේ මාළිගාවට යමු ' කියල. කවුරුත් ඒ අදහසට එකඟ වුණා. ඊ ලඟට නැන්දම්මා අතවැසියොත් එක්ක රෑ කෑමට ඉඳි ආප්ප හැදුවා. කිරි හොදියි, සීනි සම්බෝලයි එක්ක කන්න. පොඩ්ඩෝ කිරිහොදි රුසියො කියල නැන්දම්ම දන්නවා. ඒ නිසා බෝනිකි නෝනලාට විවේකෙන් ඉන්න ලැබුණා.

රෑ හතහමාර වෙනකොට කට්ටිය ලෑස්ති වෙලා රෑ කෑම කාල, සිරිල් මාමණ්ඩිලගේ ගෙදර ගියා . එහේට ගෙනියන්නත් වෙනම, මාළු ඇඹුල් තියපුවයි, කැවිලි පෙවිලියි පෙට්ටියක් ලෑස්ති කරලයි තිබුණේ.
දැන් ආයෙත් මේ බෝනිකි පවුල් ටික අරන් අක්ක මලෝ, ඇත්ත ගෙදර දිග කාමරයට ආව. එහෙ තමයි පෙරහැර ලෑස්ති කරලා තිබුනේ. කට්ටිය සිරිල් මාමණ්ඩි ලගේ බැල්කනියේ ඉඳ ගත්ත. දැන් ඇත්තටම කරුවල වැටිලා. පෙරහරේ කාඩ්බෝඩ් නැට්ටුවෝ, කස කාරයෝ, බෙර කාරයෝ,හේවිසි කාරයෝ, පන්දම් කාරයෝ, නිලමෙලා  ලෑස්ති කරලා තිබ්බෙ කලින්ම.. මේ ඇත්ත ගෙදර එක පොල් ලී අලියෙක් හිටිය. ඌ සරසල ලෑස්ති කළා. අනික් අලි විදියට ගත්තේ බූලි. ඒ කියන්නේ මේ ගෙදර තිබුණා  අච්චාරු දාන සෙරමික් ලස්සන 'බූලි' කියල බඳුන් වගයක්. මේවට රෙදි අන්දලා සරසල අලි විදියට ගත්ත. අලි සැරසුවේ පොල් ගස් යට වැටෙන පිරිමි මල් අහුලලා ඒවා නූල් වල අමුණලා හදා ගත් මල් වැල් වලින්. ඉටිපන්දම් පොඩි කෑලි පෙරහරේ දල්වන කොප්පරා විදියට ගත්ත.

දැන් පෙරහැර එනවා. කස පුපුරණ හඬ, හේවිසි හඬ, ඇහෙනවා. හරිම අලංකාරයි. නැට්ටුවෝ නටනවා. ඇතා පිටේ ධාතු කරඬුව. බෝනිකි පවුල්වල අය පෙරහැර නරඹනවා. ටික වෙලාවකින් සිරිල් මාමණ්ඩි ඇතුළු පිරිස සංග්‍රහය පටන් ගත්ත. මෙහෙම පෙරහැර බලන අතරේ බෝනිකි අම්මලාගේ  උකුලේ පොඩ්ඩන්ට නින්ද ගියා. පෙරහැර එතැන පහුකරන් ගිහින් සෑහෙන වෙලාවක් ගියාට පස්සෙ  තමයි හුඟක් අමාරුවෙන් වාහන පාරට දාගන්න පුළුවන් වුනේ. ඉතින් කට්ටිය සිරිල් මාමණ්ඩි ඇතුළු හැමට ස්තුති කරලා,  වැඳලා සමු අරන් නුවර නැන්දම්මලයි ගෙදර ගියා. ඉඩ තියෙන තියෙන විදියට රෑ නිදා ගත්තා.

පහුවදා ටිකක් දවල් වෙනකම් නිදා ගත්තා. කට්ටිය ඇහැරෙන කොට නැන්දම්මා කිරිබත් උයල ලස්ස්සනට සුදු පලන්ගානම්  වල වඩවල, කපල තිබුණා . උම්බලකඩ සම්බෝල හදල තිබුණ. පොඩි අයට කිතුල් හකුරු එක්ක. කෝලිකුට්ටු ඇවරියකුත් තිබුණා. මුහුණ අතපය හෝදලා උදේ සප්පායම් වෙලා කට්ටිය සුදු ඇඳුම් වලින් සැරසුණා. මාමණ්ඩි මල්, තෙල් හඳුන්කූරු ලෑස්ති කරලා තිබුණ. ඒවත් අරන් පයින්ම කට්ටිය දළදා මාළිගාවට ගිය. මල් පූජා කරලා, පහන් දල්වල, හඳුන්කූරු පත්තු කරලා බුදුන් වැන්දා. සුජාතා ගෝරිං වෙනුවෙන් බාරයකුත් වුණා. මොකද මේ දරුවා හරිම අකීකරුයි නේ. සුජාතට මේක හරිම හිතට වදයක්. ඊට පස්සේ කට්ටිය නැවත නැන්දම්මලයි ගෙදර ඇවිත් ආපහු ගම්රටවල් වල  යන්න කළමනා ලෑස්ති කළා. මේ සැරේ නුවර පෙරහැර නැරඹීම කව්රුත් කතා කළේ හරිම සතුටෙන්.
 

Monday, May 18, 2020

බෝනිකි ගෙවල් 4 - බෝනිකි පවුල්වල වටපිටාව



                                                
මං ඊළඟට කියන්න හිටියේ බෝනිකි නුවර පෙරහැර බලන්න යාම උනත් හදිසියේ අදහස වෙනස් වුණා . මොකද දන්නවද ? අපේ බෝනිකි ගෙවල් කතා පෙළ ඉස්සරහට යන්න කලින් කතා නායකයෝ ,ඒ කියන්නේ අර ළමයි හතර දෙනා 👩‍🦰👩👩‍🦱🧑 ජීවත්වුණු වටපිටාව ගැන කරුණු ටිකක් කියන්න තියෙනවා. මොකද බෝනික්කන්ගේ සියළු ගමන්, බිමන් ,උත්සව කෙරුණෙ ඒ සීමාව ඇතුළෙ විතරයි. නුවර,කොළඹ,පොල්පිතිගම ආදී හැම තැනක්ම තිබුණෙ මේ සීමාවේ. ඔක්කොම මනඃ කල්පිත නිර්මාණය වුණේ මේ සීමාව ඇතුළෙ. ඒ නිසා අද මං ඒ විස්තරය අද ඉදිරිපත් කරනවා. 

ඇත්තම කියනවා නම් මේ ළමයි හතර දෙනාගෙන් කවුරුවත් නුවර පස් පාගල වත් තිබුණෙ නෑ . හැබැයි මේ බෝනිකි ගොල්ලෝ නුවර එළියේ යනවා කියල නම් යන්නේ අර උන්නක්කගේ   ගමේ. ඒ කියන්නේ මේ ළමයින්ගෙ ඇත්ත තාත්තගෙ ගමේ. සුදු නෝනා විතරක් කොළඹ ගිහිල්ල තිබුණ. එයාට අනුරාධපුරෙත් යන්න අවස්ථාව ලැබිල තිබුණ. එයින් එක අවස්ථාවක මහා භයානක අත්දැකීමකටත් මුහුණ දෙන්න වෙලා තිබුණ. 

ඒ තමයි අනුරාධපුරේ මාමණ්ඩි හා පවුලේ අය එක්ක අනුරාධපුරේ යද්දී කාරෙක ,බලපිටියේදී කම්බි පොටවල් හයකටත් උඩින් ගිහින් පොල් වත්තකට පැනල රෝද හතර උඩ පැත්තට හිටින්න පෙරළුණ. රියදුරුට නින්ද ගිහින්ලු. ඒ වෙලාවේ වන්දනාවේ  යන බස් එකක්  නතර කරල ඒකෙ හිටිය මිනිස්සු  එකතු වෙලා ඇතුළෙ හිටපු ප්‍රාණීන් ඇදල අරන්. මුලින්ම මේ සුදු නෝනයි මාමගේ පොඩි දුවයි අරන් තියෙන්නේ. වීදුරු කටු වලට පොඩි හීරීමක් මිසක් කිසිම තුවාලයක් නෑ ඒ දෙන්නට. තව ඇතුළෙ හිටිය නැන්දෙක් ගේ බෙල්ල කැපිල ලොකු තුවාලයක්. මාම බැඳපු නැන්දා අට මස් ගැබිනියක්. මාමටත් තුවාල. ඒ අතරේ මාමගේ මුදල් එක්ක බෑග් එක නැතිලු. මාම කියල බස් එකේ හැමෝම පරීක්ෂා කරන්න ඕන කියල. එතකොටම බස් එකෙන් බිමට බෑග් එක විසිකරලා ඇතුලේ හිටපු කෙනෙක්. ඒ කාලෙත් අපේ රටේ හැටි එහෙම තමයි. වන්දනාවේ ගියත් හොර හිත අඩුවක් නැහැ. ගොඩක් පහු වෙලා තමයි දැනගෙන තියෙන්නේ සුදු නෝනගේ කරේ තිබුණු පවුමේ රත්රන් දම්වැල් පොට හා පෙන්ඩනයත් නැති බව. අන්න එහෙමයි ඒ කාලෙත් අනුකම්පාව ඇතුළෙ භුමිකම්පාවත් තිබිල තියෙන්නේ. 

ඉතින් ඊට පස්සේ තුවාල කාරයෝ කට්ටිය වෙන කාර් එකකින් බලපිටිය රෝහලට අරන් ගිහිල්ල තියෙනවා. එතැනදී ප්‍රතිකාර කරගෙන කොහොම හරි ගමනාන්තයට ගිහින්. කාටවත් ලොකු කරදරයක් නම් වෙලා නැහැ. නැන්දට ඉක්මණින් දරුවා ලැබුනලු. ඊට පස්සේ මේ සුදු නෝන ළමය වාහනයක යන්න බය වෙලා කාලයක් යනකම්. වාහනයක නැග්ගොත් කෑ ගහනවලු. දවසක් පාසල් යනකොට කෑගහල 'බස් එක පෙරලෙයි කියල. ඉතින් රියදුරු බස් එක නවත්තල පොඩි ළමයෙක් කියන දේ ඇත්තක් තියෙන්න පුළුවන් කියල බස් එකත් පරික්ෂා කරාලු. 

මේ ළමයි හිටපු ගෙදර ගැන නේ මං කියනවා කිව්වේ. මේ ගේ පිහිටලා තිබුණේ ගාලු නගරයේ ඉඳල සැතපුම් තුනක් ගිය තැන වම් පැත්තෙන් මැටි පාරක් දිගේ ඇතුළට ගියහම තිබුණ අක්කරයක පමණ වත්තක් මැද. පාර කෙළවර වෙන්නේ ගෙදර ඉස්සරහ තිබුණු වැලි මිදුලෙන්. හැම උදේම මේ වැලි මිදුල රටා තියල අතුගාන්න මුත්තන්ඩි අමතක කළේ නැහැ. ඊට කලින් පාරට දකුණු පැත්තෙන් පොඩ්ඩක් පහළින්  කප්පියෙන් වතුර අදින වතුර බොන ලිඳ තිබුණා. ලිඳ ලස්සනට බැඳලා ළිං මිදුලක් එහෙම හදල තිබුණේ . ලොකු වැහි වහින කාලෙට අතින් ගන්න පුළුවන් තරමට වතුර පිරෙනවා. 

ගෙදර මිදුළේ වම් පැත්තේ ලොකු වයස් ගත කොස් ගහක්. වරක ගහක් උනාට වරක රස නැහැ. 
අර ඉස්සෙල්ලම හමුවෙන ළිඳේ ඉඳල දකුණු පැත්තෙන් අඩි තුනක අඩි පාරක් තිබුණා. ඒ විදියට මොන හේතුවකට වත්ත අයිනේ පාරක් තිබුනද කියල හැඟීමක් නැහැ. මේ පාරේ මුල් හරියේ දකුණු පැත්තෙනුත් තේ වත්තක් තිබුණා. ඒක අවසන් වෙන්නේ ප්‍රධාන මාර්ගයෙන්. මේ තේ වත්තේ එක තීරුවක කප්පාදු නොකර පවත්වාගන්න උස තේ ගස් තිබුණා. මේවායේ සුදු පාට මල් හා තේ ගෙඩි පිරිලා තිබුණා. මේ තේ ගෙඩි ඇතුලේ ඇට තියෙනවා. ඒ ඇට පැල කරලා තමයි අලුත් තේ පැල හදා ගන්නේ. දැන් වගේ ක්ලෝන හෝ තේ අතු පැල කරන ක්‍රමය තිබුණේ නැහැ. මේ තේ ගෙඩි වල ඇට තමයි බෝනිකි ගෙවල් වල පොල් විදියට ගත්තේ. ඒවා පොල් වගේ ගාන්න පුළුවන්. තෙල් අධිකයි. 

අඩි පාරේ  දිගටම යන කොට දකුණු පසින් පුවක්,ඩොන්ග වගේ ගස් එක්ක බඩවැටියෙන් වත්ත මායිම් වුණා. රවුම් කොස් ගෙඩි හැදෙන කොස් ගහකුත් තිබුණා ඩොන්ග ගස් හුඟක් තිබුණා. ඉදුණු ඩොන්ග මදුළු ඇට පිටින්ම ගිල දානවා.  පසු දාට කක්ක හිරවෙලා යවා ගන්නත් අමාරු වෙනවා. බඩ වැටියෙන්  පහළ හැමදාමත් වතුර ගලා යන දිය අගල. අඩි පාර අවසන් වෙන්න ලං වෙනකොට එගොඩ වැවේ වත්තට යන්න ඒ දණ්ඩක් තිබුණ. ඒකෙන් ගොඩවෙලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට නාන පොකුණු දෙකක් තිබුණ. මේවායේ වතුර මොන තරම් පෑව්වත් හිඳෙන්නේ නැහැ. අර අඩි පාරෙ වැඩියෙන් ගියේ මේ නාන පොකුණු වලින් නාන අය . ඒ දණ්ඩ තියෙන තැනින් වම් පැත්තේ කොහිල ගාලක් තිබුණ. ඒ හරියේ පුවක් ගස් අතරේ තිබුණු හල් ගහ සුවිශේෂී වෙනවා. පොල්, කිතුල් මදින අය ඒවා රා වෙන එක නවත්තන්න මුට්ටියට දාන්න හල් පොතු අරන් යනවා. කොහිල ගාලට ඔබ්බේ මේ ළමයින්ට අයිති නාන පොකුණ තිබුණ . එහි තුන් පැත්තක් කන්ද කැපූ බිත්තියෙන් වටවී තිබුණ . ළිං මිදුල සිමෙන්තියෙන් බැඳලා තාප්පයකින් වට කරලා තිබුණේ. මේ ළමයින්ගේ මුත්තන්ඩි මෙහෙම හදල තිබුණේ ගැහැණු ළමයි නාද්දී කාටවත් නොපෙනේන්නලු. එකල  ගෙදර හිටි එකම ගැහැණු ළමය ඇත්ත අම්ම විතරයි.  මේ ළමයි ඉපදුණේ පස්සෙනෙ ? නාන පොකුණට ගෙදර ඉඳල යන පාරේ වැල ගස් කිහිපයක්ම තිබුණා. වැල ඉදුනහම කෙක්කෙන් කඩල බිමට අරන් ගෙඩිය හිල් කරලා අත දාගෙන ඇද ,ඇද කනවා. සමහර වෙලාවට මේ වැල මදුළු වල ඒ පාටටම පණුවෝ ඉන්නවා. පණුවෝ සිරි සිරි ගාල ඉන්නවා දකින්නේ ටිකක් කෑවටත් පස්සේ. දකුණු පැත්තේ බිලිං ගහයි ,මැන්ගුස් ගහයි තිබුණා . අත්තම්ම ඉඳ හිට බිලිං අච්චාරු හැදුව. මිදුල වටේ ගානට කප්පාදු කරපු වදමල් වැටක් තිබුණා . තව පේර , නාරං වගේ ගස් ගේ වටේට තිබුණා . 
බොහෝ කාලවලට ලිඳ වටේටත් ලිඳ අවටත්  දියබල්ලන් මළ පහ කරලා ලිඳ ඉහින්න වෙනවා. එහෙම පිරිසිදු කරන කම් ලිඳේ නාන්න වෙන්නේ නැහැ. අනික් වතුවල ළිං වලට ගිහින් නෑම මුල් කාල වල මදිකමක් ලෙස සැලකුව. වැවේ වත්තේ ළිං වලටත් මේ වත්තේ නාන පොකුණටත් ඉහළින් කඳු ගැටයේ රබර් වතු යායක් තිබුණා . එහි අයිතිකරු ආරිය සිංහල ඇඳුම අඳින හීන්දෑරි උස ව්‍යාපාරික මහත්මයෙක්. ඔහුගේ බාල දුව පසු කලෙක හිච්චි නෝනගේ පන්තියේ ඉඳල තියෙනවා. ඒ ළමයි ඉංග්‍රීසි පමණක් කතා කරන බවත් ගෙදරදී ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවය පමණක් අහන බවත් ඈ කිව්වා . රබර් වත්ත බලා කියා ගන්නා අයගේ නිවාසය නාන පොකුණු වලින් මදක් ඉහළට නැග්ගහම තිබුණා. කඳු ගැටය වම් පසටද විහිද ගොස් තිබුණේ තේ වතු යාය ආරම්භ කරමින්. එය ගමේම සිටි ව්‍යාපාරික මහතෙකුට අයිති වෙලා තිබුණා. වත්ත බලාකියා ගත් දරු පවුල ජීවත් වුණු  නිවස හරියටම පිහිටලා තිබුණේ මේ ළමයින්ගේ වත්තේ ඉහළ සීමාව ළඟ. වත්ත අවසන් වුණේ ප්‍රධාන පාරෙන්. මේ විදියට මේ ළමයි ජීවත් වුණු ගෙදර වතු වලින් වටවෙලා තිබුණා. තේ වත්තේ කම්බිපොට පොඩ්ඩක් උස්සල ඒකට ඇතුල් වුණහම වත්ත පුරා කරක් ගහලා කන්ද මුදුනටම නගිනවා. එතැන ලොකු කළුගල් දෙකක් තිබුණා. ඒවාට නැගල ඉදිරිය  බැලුවම තමයි ගාලු කොටුව හා මුහුද පෙන්නේ. 

තේවතු යායට මායිම්වූ වත්තේ අයිනේ තිබුණු ගොරක ගස් දෙක හරි විශාල ඒවා. පහත අතුවල හැදෙන ඒවා ඉදුනහම නම් මේ ළමයි කෙක්කෙන් කඩල මද ගලවන් කනවා. වත්ත පිරිසිදු කරන්න එහෙම එන හැන්ඩි මාමට කියල අත්තම්ම උඩ අතුවල ගෙඩි කඩව ගන්නවා. මද ඉවත් කර දුම් මැසි බැඳලා ඒවායේ දාල ගොරක වේලනවා. වැඩිපුර ඒවා වරින් වර විකුනනවා. ගොරකා මද අත්තම්මා කුල්ලේ පිටුපස ගාල වේලෙන්න තියනවා. 

 ගොරක ගස් දෙකත් එක්ක උඩින් තේ වගාවක් මේ ළමයින්ගේ වත්තෙත් තිබුණා. නමුත් තේ දළු කැඩීමක් නම් කළ බවක් මතක නැහැ. මේ වත්තේ ප්‍රධාන බෝගය වුණේ පොල්.
. පොල් කඩන දාට ඒ කඩන තැනැත්තා එක එක ගහට නැගල පොල් බිම දාල 'දහයයි,දොළහයි ' වගේ ගණන් කියන කොට ටිකක් ලොකු ළමයෙක් පොතක ඒ ගණන් ලියනවා. ඊට පස්සේ පොල් ගෙඩි එකතු කරලා ගණන් කරලා පොතේ ගණන එක්ක සසඳලා බලනවා. ඒකත් විනෝද වැඩක්. සමහර දාට පොතේ ගණනට වඩා එකතුව අඩු වෙනවා. පොල් එහෙ මෙහෙ හැංගිලා තිබිල පස්සේ හම්බ වෙනවා. 

හොඳට වේලිච්ච පොල් තෝරලා වරින් වර ගෙදරම පොල් තෙල් හිඳිනවා. අහළ පහළ ගෙවල්වල හිතවත් කාන්තාවන් ඇවිත් අත්තම්මට පොල් ගාල දෙනවාසුදු නෝනා  යන්තම් ඇටෙන් පොත්තෙන් තේරෙන වයසේදී, පොල් ගාන්නයි, පොල් අතු වියන්නයි පුරුදු වුණා. දවසක් පොල් ගෙඩි අටක් ගෑවලු අර ගැහැණුත් එක්ක හරි හරියට. ඊට පස්සේ ගොඩක් කල් පොල් ගෑම එපා වෙලා හිටියලු. ආත්තම්මා නම් කිව්වේ ඇස් වහ වැදිලා කියලයි.

ඊළඟට ලොකු ලිප් බැඳලා මේ ගාපු පොල් වතුර දාල තම්බනවා. නිවුනහම මිරිකල කිරිජ්ජ ගන්නවා. කිරිජ්ජ ආපහු ලිපේ තියල හින්දවනවා. එතකොට තෙල් මතුවෙන්න පටන් ගන්නවා. ටිකක් හින්දවල නිවනවා. හිල් පොල් කට්ටක් දාල ඒකෙ තෙල්වලට යටින් තියෙන කිරිජ්ජ පොල්කටු හැන්දෙන් භාජනයකට අයින් කරනවා . මේවට හුනුසහල් දාල කැඳ හදල බොනවා. වැඩිපුර ඒවා අහක දානවා.  හැකි තරම් අයින් කරලා ආයෙත් ළිපේ තියල හින්දවනවා . දැන් ළිපේ තියෙන හට්ටියේ සුවඳ හමමින් රන්වන් පාට පොල්තෙල් හැදෙනවා. නිවුනහම බේරලා බෝතල්වල අහුරනවා. හට්ටි පතුලේ තෙල්ක ඉතුරු වෙනවා. ඒවත් කන්න පුළුවන්. පැණි රසයි. 


                                              
පොල් විකිණීමෙන් ආත්තම්මා සල්ලි හම්බ කළා. ඔන්න පොල් හිඟ කාලයක් ආවලු. ගෙදර කෑමට පොල් ගෙඩි දෙක තුනක් ගෙයි මුල්ලක තිබුනලු. 
'හාමිනේ හාමිනේ පොල් තියේද ' කියල කාන්තාවක් ඇවිත් ඇහුවලු. ' අනේ නෑ මැගියෝ ...මේ දවස්වල පොල් නෑ . තියෙන එකක් කඩව ගන්න කෙනෙකුත් නෑ ' කියල ආත්තම්මා කිව්වලු. ඔන්න මොකද්ද වුණේ කියල දන්නවද ? මේ පොඩි සුදුනෝන කෙල්ල අර ගෙයි මුල්ලේ තිබුණු පොල් ගෙඩියක් උස්සගෙන ඇවිත් 'මේ තියෙන්නේ කිව්වලු.' ආත්තම්මට පොළව පලන් යන්න හිතිලා. මොකද බොරු කියන පුරුද්දකුත් නැහැනේ. පොඩි දරුවෝ අවංකයි. එයාලා ජීවත් වෙන්නේ සැබෑ ලෝකේ. 

පොල් අතුත් ආත්තම්මගේ සහ ඊට පස්සේ ඇත්ත අම්මගේ ආදායම් මාර්ගයක්. අර කොහිල ගාලේ පොල් අතු පෙගෙන්න දාන්න ඕන. ඒක කරන්නේ මුත්තන්ඩි. පෙඟුනට පස්සේ මැද නාරටිය දිගේ මන්නයෙන් දෙකට පලනවා. ඊට පස්සේ බිම ඇණ තියන් හරි බංකු පොඩ්ඩේ ඉඳන් හරි පොල් අතු භාගයේ මුල දකුණු කකුලේ මහපටැන්ගිල්ලට තද කරන් පොල් අත්ත වියනවා. වියලා ඉවරවෙලා දෙපැත්ත ගැලවෙනවට වියමනක් දානවා . ඒකට කියන්නේ පලේ දානවා කියල. ඊළඟට මේ වියපු පොල් අතු වේලෙන්න දානවා. වේලුනට පස්සේ මඩුවේ ගොඩ ගහනවා. පොල් අතු මිලදී ගන්න වෙළෙන්දොත් ගමේ ඒවා ඕන කරන අයත් එනවා. සමහර ගෙවල්, කුස්සි, මඩු එහෙම පොල් අතු වලින් තමයි හෙවිල්ලා තිබුණේ. අර වෙළෙන්දෝ එකතු කරන පොල් අතු කරත්තවල පටවල උඩරට පැත්තේ ගෙනියනවා වෙලදාම් කරන්න. උදේ පාන්දර සීතල සුළං පාර කපාගෙන තවලම යන හඬ දැන් අහන්න වත් නෑ නේද? එකල එය කණට හොඳට පුරුදුයි.  

අර රබර් වත්තට මායිම් වූ සීමාවේ නාන පොකුණට උඩින් පොලවේ මොන තැනක් හෑරුවත් වතුර උණනව. ඉතින් පොඩි වලවල් හාරල ඒවා බෝනිකි ලිඳ වල් විදියට ගන්නවා. 

මේ බෝනිකි ගෙවල් තිබුණ ගෙදර සැලසුම මෙහෙමයි. මුලින්ම හුඩ් එකෙන් ඇතුල් වුණහම මිටි තාප්ප දෙකක් දෙපැත්තේ තියෙන ඉස්තොපුව. ඉස්තොපුවේ වම් පසින් ඇතුල් වුණහම දිග කාමරය. මේ කාමරයේ විතරයි වීදුරු දොර ජනෙල් තිබුණේ . මොකද මේක ගෙට පස්සේ එකතු කරපු කොටසක්. මේ කාමරයෙන් කෙලින්ම ඇතුළු වෙන්න තිබුණෙ පිටුපස කොරිඩෝවට එතැනින් අලුත් කුස්සියට. ඒකෙ ඉවුම් පිහුම් කෙරුණෙ නෑ. ඒ නිසා ඒකත් බෝනිකි ගෙවල් හදන්න යොදා ගත්ත.  දිග කාමරයෙ  තමයි ගොඩක් වෙලාවට බෝනිකි ගෙවල් හැදුවේ. ඉස්තොපුවේ මැද ඇතුල් දොරෙන් ගියහම මැද සාලය. එයින් දකුණු පැත්තේ කාමරයක්. සාලයේ බෝක්කුවක් තියෙනවා. එහි උඩ ලස්සනට මිදී පොකුරු කැටයම් කරලා තිබුණා. එතනින් ඇතුල් වුණහම බරාඳය. බරාඳය දකුණෙන් කාමරයක්. ඒක ආත්තම්මාගේ කාමරය.  කාමරය ඇතුළේ කෙළවරෙන් සොල්දරයට නගින ලී පඩිපෙළ. ඒකෙන් නැග්ගහම ලී සොල්දරය. බරාඳය වමෙනුත් අර දිග කාමරයට යන්න පුළුවන්. ලොකු ගේ බිම ඒකාලේ තිබුණු ටෙරා කොට්ට ජාතියක් අල්ලලා තිබුනේ. ඒවා අතරේ සිමෙන්ති කුස්තුරයක් තිබුණා. පොළව හේදුවට පස්සේ වේලෙන්න ඇරලා අර කුස්තුර හුණු වලින් පාට කිරීම විනෝද වැඩක්. ඉස්තෝපුවේ ඇඳි පුටු කිහිපයක් හා ටීපෝ එකක් තිබුණා. සාලයේ පුටු සෙටියක් තිබුණා. තව ඇඳි පුටුත්, බෝක්කුව යට සයිබෝට් කියන මිටි කබඩ් එකකුත් තිබුණා. ඒක තිබුණේ මැද සාලයයි බරාඳයයි අතරේ බෝක්කුව යට. ඒක උඩ රේඩියෝ එකයි ඒකෙ බැටරි එකයි තියල තිබුණා .සොල්දරයට නගින පඩිපෙළ ඉස්සරහ ලොකු ලී පෙට්ටගම. පඩිපෙළ පිටුපස අත්තම්මගේ වටිනා කියන බඩු තියෙන ගබෙත්තුව කියන පෙට්ටිය තිබුණා. ඉඳ හිට අත්තම්මට හොරෙන් මේ ගබෙත්තුව ඇරලා බලන එකත් ලොකු විනෝදයක් වුණා. තව මෙතන තිබුණා බිත්තියට සවි කළ බෙහෙත් බෝතල් තියෙන රාක්කයක්. මේකේ දේවල් අල්ලන්න, බෝතල් අරින්න තහනම් කරලයි තිබුණෙ. ඒත් ඒ එපා කියන දේවල් නොකරම ඉන්න මේ ළමයි කැමති වුණේ නම් නැහැ. 

බරාඳය ඉදිරියෙන් තියෙන දොරෙන් ඇතුල් වෙන්නේ දකුණු පැත්තෙන් එළියට  ලී ගේට්ටුවක් තියෙන කොරිඩෝවකට. එයින් ඉදිරියේ කෑම සාලය .කෑම සාලයෙන් දකුණු පැත්තේ ගබඩා කාමරය. වම් පැත්තේ කුස්සිය. කුස්සියේ උළුවස්සට පේන්නම ඉදිරියේ බිම ලිප්ගල් තබා හදපු ලිප් දෙක. ලිප් දෙකට උඩින් දුම් මැස්ස. දුම් මැස්සට උඩින් තට්ටු දෙකකට දුම බැඳලා තිබුණා. දුම් බැඳිලා බිත්ති හා දුම කළුම කලුයි. අර ගමය ඇවිත් 'යකෙක් කන්න බඩගිනියි' කියන කොට යකා හැංගිලා හිටිය දුම්මැස්ස මතක් වෙනවා මේක දැක්කම. ගොරක,ගම්මිරිස්, කෝපි, කරවල,උම්බලකඩ,අටු කොස්, අටු දෙල්  විතරක් නෙවෙයි කැවුම් කොකිස් හදන කාලෙට ඒවත් මුට්ටිවල දාල කට කඩදාසියකින් බැඳලා තැන්පත් කරලා තියන්නේ මේ දුමේ. පැණි මුල් ඒ කියන්නේ කොළපතක් නවල ඒකෙ පැණි දාල තියෙන මුල් එල්ලන්නේ දුමට යටින්. කාලයක් තිබුනහම මේවායේ වැලි හකුරු මිදෙනවා. හරිම රසයි ඒවා.  තව නිතරම ඕන වෙන්නේ නැති වළන් නවල තිබුණෙත් දුමේ. සමහර කාල වලට දුමේ දැලියෝ කියල පොඩි කැරපොතු වර්ගයක් හැදෙනවා. උන් පළවා හරින්න ග්ලිරිසීඩියා ගහේ මල් කිනිති දුමට දානවා. තේ වත්තේ ඕන තරම් ග්ලිරිසීඩියා ගස් තියෙනවා. කාලෙකට ඒවායේ රෝස පාට මල් කිනිති පිපෙනවා. 

අර ලී ගේට්ටුවෙන් එළියට බැස්සහම කක්කුස්සියට  යන පඩිපෙළ තිබුණා. කක්කුස්සියට යන්න කලින් වම් පැත්තේ ලොකු පැණි වරක ගහ. මේකේ වරක රසම රසයි. සමහර දාට මේකේ කොස් කෝච්චියෙන් අනුරාධපුරේටත් යවනවා. එහෙට යනකොට වරක වෙලා.  අද වගේ ගෙවල් ඇතුළේ වැසිකිළි තිබුණේ නැහැ. වතුර බාල්දියකුත් අරන් පඩි පෙළ නැගල එතෙන්ට යන්න ඕන. ලෙඩ උන කෙනෙකුට පිස් පෝච්චිය දෙනවා. ඒකෙ එකතුවෙන ඒවා වැසිකිළි වළට දානවා. පොඩි එවුන් නම් හෙළුවෙන්ම දුවගෙන ගිහින් වැඩේ කරලා ගේ ලඟට ඇවිත් බිම වාඩි වෙලා පස්සට වතුර දම්මවා ගන්නවා ලොකු කෙනෙකුට කියල. සමහර වෙලාවට බිම කඩදාසියක් දාල ඒකට වැඩේ කරහම ඒක කහළ ගොඩට දාල පස් ටිකක් දාන වෙලාවලුත් තිබුණ. පස්සේ කාලෙක පොඩි ජල මුද්‍රිත වැසිකිළි ලැල්ලක් බෙදා දීල ඒකෙන් ගේ අසල පොඩි වැසිකිළියක් හැදුව. ලී ගේට්ටුවෙන් එළියට ඇවිත් දකුණට හැරුනහම ඒ එක්කම ලොකු පොල් අතු මඩුවක් තිබුණ. ඒකෙ තමයි , බෙහෙත් වංගෙඩි, බෙහෙත් ගල්, අබලි දේවල් එහෙම තියල තිබුණෙ. 

මේ වත්තේ කොස් ගස්ම  පහළොවක් විතර තිබුණානේ. ඉතින් කොස් කාලයට අටු කොස් දමන එක නම් වරදින්නේ නැහැ. ආත්තම්මා හොඳට පැහුණු කොස් කඩවනවා . තැලෙන්නේ නැති වෙන්න කඹයක් දාල ගහෙන් බාන එක තමයි කරන්නේ. කොස් කටු ගහල, මදුළු ගලවල ,ගලවල ඇට අයින් කරලා ඒවා වෙනම එකතු කරනවා. කොස් මදුළු දික් අතට ඉරනවා. වතුර මුට්ටියක් ලිපේ තියල ඒක රත් වෙනකොට කොස් මදුළු ඒකට දාල මිනිත්තු කීපයක් තියල ගොඩ අරන් වතුර බේරෙන්න කිරිගොටු වලට දානවා. ඊට පස්සේ තද අව්ව තියන මිදුලේ පැදුරු එළලා කොස් මදුළු ඒවා උඩ අතුරලා වේලනවා. හැන්දෑවට අකුළල ගෙට ගන්නවා. මේ විදියට හොඳට වේලල මුට්ටිවල අහුරලා කටට කඩදාසියක් ගැට ගහල දුමේ තියනවා. කොස් ඇට වරකා, වැල  කැවහම එකතුවෙන ඒවායි, කන්න බැරි තරම් වෙනකොට නිකම්ම ඇට පන්නල ගන්න ඒවායි ඔක්කොම හෝදලා හොඳට වේලනවා. ඊට පස්සේ මඩුවේ ලොකු වැලි ගොඩවල් වල යට කරලා වැලි කොස් ඇට දානවා. කොස් හිඟ වාරෙදි මිනිස්සු ඇවිත් මේවා සල්ලිවලට ගන්නවා. ආත්තම්මාගේ ගබෙත්තුවට සල්ලි යන එක ක්‍රමයක් තමයි ඒක. බැංකු කියන එක අහල වත් නෑ.  
තව චීන පේර , රතු ජම්බු, පිනි ජම්බු ගස්  මේ වත්තේ තිබුණ. ඉහළ මායිමේ ලොකු වෙරළු ගහක් තිබුණ. ගේ පිටිපස්සේ තිබුණු කණ්ඩියේ බිම් ගෙයක නටබුන් තිබුණ. ඒ දෙවන ලෝක යුද්දේ කාලේ හැංගෙන්න හදපු බිම් ගෙයක්ලු. 

මෙන්න මේ වගේ වටපිටාවක තමයි මේ ළමයින්ගේ👩‍🦰👩👩‍🦱🧑අපූරු බෝනිකි ගෙවල් සෙල්ලම නිර්මාණය වුණේ. 


Friday, May 15, 2020

අනේ ලෝකය සෝක සයුරක් !



තවත් නව                                  වසරක් 
එළඹුණා ගෙන                          මිහිරක්  
ටිකකින්                               කැළඹුමක්
සමග ආවේ    අමුතු                වෙනසක්                      

සිතුම් දස                                   දහසක් 
පැතුම් ඊටත් වැඩිය               ගොන්නක්    
තව හීන                                   කන්දක්                                    
අසුරු සැණකින් මැකුණු           හැටියක් 

හුස්ම ගත්                                මිනිසුන් 
ඇස් පුරා හිනැහුණු                        උන් 
ලොව සැම තැනම                        උන් 
දැන් කොහෙද කෝ කොහි ගියෙද උන් 

නෙමේ පොඩි                        ගණනක් 
තුන අගට  බිංදුම                        පහක් 
ඇස අගට                                කඳුලක් 
අනේ ලෝකය සෝක              සයුරක් 

හීන පොදී බැඳ                          ගෙන 
කොහි යන්නෙ ගැල ඇද            ගෙන 
දිනෙක මෙය                      නැවතෙන 
හීන සේරම හුළගෙ               විසිරෙන

පරමාණු                                   අහුරක් 
මිසක් නැත වෙන                     කිසිවක් 
ඒ බව කර                                  පසක් 
යන්න යමු ඔහෙ තව ටික             දුරක්  

© 2020Malini Ganewatta

Photo by Rod Long on Unsplash. Thanks to him. 

Wednesday, May 13, 2020

බෝනිකි ගෙවල් 3 - බෝනිකි පිරිත් පිංකම




                                                                  බෝනිකි පිරිත් පිංකම 

බෝනිකි ගෙවල්  - 2 කේ කියල තියෙන පවුල්වල සාමාජික සාමාජිකාවන් ගේ වයස නම් කාලයත් එක්ක වැඩි වුණේ නැහැ. ඒ පවුල්වල දරුවෝ හැමදාම එකම විදියට පොඩියට හිටිය. මේ අයට වෙනත් නෑදෑ ,හිත මිතුරන්ගේ පවුල් වලින් විවිධ උත්සව වලට වලට නිතර ආරාධනා ලැබුණා. ඉතින් මේ පවුල්වල හැමෝම නොවරදවා ම ඒ උත්සව වලට සහභාගී වෙනවා. 

මං මේ බෝනිකි උත්සව හා චාරිකා ගැන කතා පෙළ බෝනිකි පිරිත් ගෙදරින්ම පටන් ගන්න තීරණය කළා. පිරිත තිබුණේ විජයවර්ධන  පවුලේ ගෙදර. පිරිතට පන්සලට ගිහින් හාමුදුරුවරුන්ට ආරාධනා කළේ ගෙදර ගෘහ මුලිකයා වන චන්දන විජයවර්ධන. එදා ඉඳන් සුජාතට හරියට වැඩ. ගෙවල් අස්පස් කරන්න. අඩු පාඩු දේවල් ගෙන්න. 
මෙන්න මෙහම දෙබසක් ඒ දෙන්න අතරේ ඇතිවුණා 

චන්දන - සුජා අපි කාටද දැන් ආරාධනා කරන්නේ ?
සුජාතා - නදුන්, සුගත්, නීල් පවුල් තුනට අනිවාර්යයෙන්ම කියන්න ඕන. විශාකා දැනටමත් දන්නවා.
චන්දන - ඒ කොහොමද ?
සුජාතා - මට පාරේදී හම්බවුණා. ඉතින් මං කිව්වා මෙහෙම අදහසක් තියෙනවා කියල 
චන්දන - අනේ! අනේ! ඔයාලත් එක්කද රහසේ වැඩ කරන්නේ?
සුජාතා - ඉතින් චන්දන ඒ ගොල්ලනේ අපේ හැම දේටම ඉන්නේ ?
චන්දන - මං නිකන් විහිළුවක් කළේ සුජා . ඒගොල්ලෝ තමයි අපේ ලඟම  නෑයෝ. ඒක ඇත්ත.තව කාටද කියන්නේ? නුවර නැන්දට, එතකොට පොල්පිතිගම නැන්දට නොකිය බැහැනේ?
සුජාතා - ඉන්න මං list එකක් හදන්නම්. ඊට පස්සේ ආරාධනා ලියුම් යවමු. කෝකටත් ඔයා  ගිහින් ලියුම් කවර ටිකකුයි මුද්දරයි ගේන්න.
(මේ දෙබස සිදුවන කාලයේ සෙල් ෆෝන් තබා ස්ථාවර දුරකථන වත් තිබුනේ නැහැ. තැපැල් කන්තෝරුවෙන් හෝ පොලිස් පණිවිඩයක් විදියට තමයි හදිසිම පණිවිඩයක් පවා යැව්වේ.) 

ඊට පස්සේ අවශය යයි හිතෙන හැමෝටම ආරාධනා ලිපි තැපැල් කළා. පිරිත් දවස ලං වෙද්දී විශාකා, රෝස් නිතරම ඇවිත් උදවු කළා. චම්පිකා වෛද්‍ය වරියක් නිසා එයාට එන්න ලැබුණේ නිවාඩු වෙලාවට විතරයි. ගෙදර අස් කරලා අළුතෙන් සුදෝ සුදු දොර ජනෙල් දාල ලස්සන කළා.  මේ වැඩ වලට  අවට අනිත් පවුල්වල අය උදවු කළා. හුඟක් වෙලාවට මේ අමතර අය මනඃකල්පිතයි. ඇත්තටම ඒ අයගෙන් කිහිප දෙනෙක් නියෝජනයට විතරයි ඇත්ත රෙදි බෝනික්කෝ හිටියේ. එයින් එක්කෙනෙක් තමයි ජේන්. ජේන් දුප්පත් පවුලක කාන්තාවක් . මේ ගෙදරට උදව් කරන්න එනවා. වැඩිහිටි අයගේ දඩි බිඩි වැඩ අස්සේ මේ ගෙවල්වල පුංචි දරුපටවූ ටිකට හරිම සතුටුයි. කට්ටිය එකතුවෙලා සෙල්ලම් කළා . චක්ගුඩු පැන්නා. ටින් කැඩුවා. හැංගි මුත්තම් කළා. කොලපත් ඇද්දා . ඕවා තමයි සෙල්ලං . මොකෝ කාටුන් බලන්නය ? ගේම් ගහන්නය ?

චන්දන සුජාතා දෙපළ තමන්ගේ මෝටර් රථයෙන් වෙළඳ පළට ගිහින් ඕන කරන එළවලු, පළතුරු, මාළු ,පහේ ජාති ඔක්කොම ගෙනාවා . දැන් වගේ එක වහලක් යටින් දේවල් ගන්න සුපිරි වෙළඳ සල් තිබුණේ නැති නිසා ටිකක් ඒ වැඩේට වෙලා ගිය. ජේන් ඇවිත් ඒවා අස් කරලා ,තුනපහ ආදිය වේලල තිබ්බ.  ඒවා  මිරිස් ගලේ අඹරල ගුලි හැදුවේ පිරිතට කලින් දවසේ. 

ඔන්න ඉතින් පිරිතට දවසක් තියල, සාලයේ කොණක පිරිත් මණ්ඩපය කාඩ්බෝඩ් වලින් හැදුවා. කැටයම් කපපු සව් කොළ වලින් සැරසුවා. නා කොල, කොහොඹ කොළ වලින් සැරසුවා . පිරිත් නූල් ලෑස්ති කළා . පිරිත් පැන් වලට වතුර ලෑස්ති කරා .  මේ වැඩට දස්සයා තමයි නීල්. එයත් පොලිසියේ ලොක්කෙක් නිසා වැඩ රාජකාරි බහුලයි. ඒත් ඕන වෙලාවට උදව් කරන්නේ නැතුව නම් ඉන්නේ නෑ. සුජාතා හා විශාකා ජේන් එක්ක එකතුවෙලා කැවුම්,කොකිස්, මුං අතිරහ එහෙම හැදුව. දැන් වගේ පිරිත් ගෙවල්වල බුෆේ දාල කන්න දීමක් නෑ. කේටරින් නෑ. පිරිත් අහන්න එන අය ගෙදරින් රෑට කාල එනවා. එහෙම නැති කෙනෙක්ට මේ ගෙවල්වල කුස්සිවල ඕන වෙලාවක බත් වේලක් නම් හිඟ වෙන්නේ නැහැ, දානයක් පිරිතක් තියෙන කොට විතරක් නෙමේ නිකන් දවසටත්. 

සුජාතා, වේලාසන පිරිත් පටන් ගන්න කලින් එන අයට තේ මේසයක් දාල ලෑස්ති කරා. ඒ තේ මේසෙ බිබික්කන්(දැන් අපි පොල් කේක් කියන ඒවා ), කැවුම්,කොකිස් මුං අතිරහ, දොදොල්, කෙසෙල්  විතරක් නෙවෙයි කඩල ලස්සනට පෙනෙන විවිධ වර්ගවල බිස්කට් තියෙන මැලිබන් බිස්කට් ටින් එහෙමත් තිබුණා. මහ  පිරිත ඉවර වෙන කොට හැමෝටම සංග්‍රහ කරන්න ඕන. කෑම බීම  ට්‍රේ වල තියල අල්ලන්න ඕන, පිරිත් අහන අයට. කෝපි තමයි බීමට දෙන්නේ. රෑ  පැට්‍රොමැක්ස්  ලාම්පුව මුළු පළාතටම එළිය දුන්නා.

වත්තේම තියෙන කෝපි ගස් වලින් ඉදුණු රතු පාට ගෙඩි නෙළල, වේලලා ,බැදලා වං ගෙඩියේ දාල කොටල පෙනේරෙන් හලල සුජාතා කෝපි කුඩු ලෑස්ති කරේ සතියකට කලින්. දැන් වගේ නෙස්කැෆේ මැෂින් නැහැනේ. හැබැයි නෙස්ප්‍රේ නම් ඒ කාලෙ ඉඳන්ම තිබුණා. රෑ එළී වෙනකම් සැරින් සැරේ මේ කෝපි සංග්‍රහය කරන්න ඕන. සුජාතා කෝපි හැදිල්ල ජේන්ට බාර දුන්න. කෝපි සංග්‍රහය ගැන බලන්න ගෝරිංට කිව්වා. කොල්ල ගණන් කාරය වුණාට වගකීමක් බාර දුන්නහම ටිප් ටොප් එකට කරනවා. 

හාමුදුරුවරුන්ටත් සැරින් සැරේ ගිලන්පස, චතු මධුර එහෙම පිළිගන්වන්න ඕන. වැඩිහිටි මාම කෙනෙක් හාමුදුරුවෝ කියපු උපදෙස් අනුව ඒ ඒ ද්‍රව්‍ය එකතු කරලා කලින්ම චතුමධුර පිළියෙළ කළා. මේව වැළඳුවහම පිරිත් කියන්න කටහඬ මෘදු වෙනවලු. 

සුජාතා - දැන් ඔක්කොම හරි නේද විශාකා ...මගේ හිතේ හැටියට හැම දේම හොඳට කෙරෙන්න ඕන.
විශාකා - සේරම හරි සුජා. අපේ ගෙදර ලොකු කාමරේ ඔක්කොම ඇඳවල් ලෑස්ති කරා ලැගුම් ගෙට. එළියේ bathroom හැදුවා හාමුදුරුවරුන්ට.
සුජාතා - අනේ ලොකු දෙයක් විශාකා ඔයා කළේ. මගේ ඔළුව පිස්සු වගේ. 
විශාකා - ඕක මොකක්ද ? පින් සිද්ධ වෙන වැඩ ඒවා. අනික යාළුවො ඉන්නේ ඒකටනේ, උදව් ඕන වෙලාවට උදව් කරන්න.

(ඒ කාලෙ පන්සල පිරිත් ගෙදරට ටිකක් දුරින් නම් තියෙන්නේ හාමුදුරුවරුන්ට රෑ විවේක ගන්න ළඟ තව ගෙදරක් ලෑස්ති කරනවා. මොකද සර්ව රාත්‍රික පිරිත් දේශනයකදී හාමුදුරුවරු මාරු වෙමින් තමයි පිරිත් දේශනා කරන්නේ. මේ විවේක ගන්න ලෑස්ති කරන ගෙදරට කියන්නේ 'ලැගුම් ගේ' කියල. ඒ ගෙදර   හාමුදුරුවරුන්ට එළිපහළියට යන්න වෙනම තාවකාලික කැසිකිලි හදන්න ඕන. මේවා පොල් අතු වලින් ආවරණය කරලා හදනවා. උදේට හාමුදුරුවරුන්ට දත් මදින්න දැහැටි කූරු ලෑස්ති කරන්න ඕන. ඒවාට ගන්නේ බෝඹු කියන ගහේ කොටු. වැඩිහිටි පිරිමි ඒවා ලෑස්ති කරලා තිබුණ .)

දැන් ඉතින් ඔන්න පිරිත් දවසේ සැන්දෑ යාමය  උදා වුණා. විජයවර්ධන ගෙදර එකම කලබලයක්. නෑදෑ හිතවතුන් ටිකෙන් ටික එහි ලඟා වුණා. හැමෝත් එක්කම කතා කරන්නත් ඕන. ආව එකට ස්තුති කරන්නත් ඕන.

සුජාතා - අනේ පොල්පිතිගම නැන්දම්මා, කොච්චර දෙයක් ද ආව එක. පුතා එක්ක ද ආවේ ?
පොල්පිතිගම නැන්දා - ඔව් ,දුවේ නැත්නම් මට බස් වල එන එක කරදරයි නේ?
සුජාතා - එන්න නැන්දම්මා , මල්ලිටත් කියන්න තේ බොන්න කියල. නැත්නම් බත් කන්නත් පුළුවන්. කොච්චර දුර ඉඳන්ද ආවේ ?
පොල්පිතිගම නැන්දා - දැනට තේ ටිකක් බොන්නම් දුවේ.

ඔන්න ඔය විදියට සතුටු සාමීචි කතා අතරේ පිරිත් පටන් ගන්න වෙලාවත් ආවා. හේවිසි ,සේසත් සහිත පෙරහරෙන් හාමුදුරුවරු වැඩම්මෙව්වා. පහන් පත්තු කළා. පොඩි පොඩි පහන් පොල් තෙල් දාල, තිර දාල ලෑස්ති කරේ Event Planners  ල. අර තිරය පිටුපස බෝනිකි ගෙවල් මෙහෙයවන කට්ටිය. පිරිත් පොත එහෙම ලඟට ගත්තා ඒ ගොල්ලෝ. මේ ළමයින්ගේ ඇත්ත අම්මත් ආවා පිරිත් අහන්න. එදා අම්ම හරි හොඳයි. සමහර දාට නම් අම්මට තරහ යනවා මේ බෝනිකි 'මගුල් 'වලට. බෝනිකි ගෙවල් කඩල විසිකරලා, පස්සට දෙකක් තුනක් ගහන වෙලාවලුත් තිබුණ.

චන්දන ගෘහ ප්‍රධානියා හැටියට දැහැත් වට්ටිය පිළිගන්වල ලොකු හාමුදුරුවන්ට පිරිතට ආරාධනය කළා. හාමුදුරුවෝ රැස්ව සිටි පිරිස පන්සිල් හි පිහිටුවල, අනුශාසනාවක් කළා , මේ සත් ගුණවත් දායක පවුලේ අගය වර්ණනා කළා. පිරිතේ අරමුණ පැහැදිළි කළා. ඉන් පස්සේ දේවතා ආරාධනය කරලා පිරීත් සජ්ජායනය ආරම්භ කළා. ' නමෝ තස්ස භගවතෝ අරහතෝ .......ඒවං මේසුතං ඒකං සමයං ......'


දැන් ඉතින් පිරිත. ඕගොල්ල විශ්වාස කරාවිද මන්ද. එළි වෙනකම් පිරිත් පොතේ පිරිත්, තාලයට හාමුදුරුවරු වගේම සජ්ජායනා කළා. මේ ලොකු අක්කට පොඩි කාලෙ අවුරුදු තුනේ විතර ඉඳන් තුන් සුත්තරය කට පාඩම්. ඒ අත්තම්ම හැමදාම නිදාගන්න වෙලාවට පිරිත් කියානවා අහන් ඉඳල. අනිත් අක්කලයි  මල්ලිත් දෙවෙනි නෑ මේ වැඩ වලට. සැරින් සැරේ හාමුදුරුවරු මාරු කරනවා. ලැගුම් ගෙවල්වලට එක්ක යනවා. පිරිත් අහන අයට සංග්‍රහ කරනවා. සුජාත, විශාකා , රෝස් චම්පිකා සේරම අය වැඩ . චන්දන, නීල්, නදුන් හා සුගත් යන සේරමත් විවිධ වගකීම් වල. පිණී ,ආශික්කි,සුමුදු එහෙම පැදුරුවල වැටිලා නිදි. ගෝරිං ,සඳුනි ,උදන් ,දමිත් අතුල තුල්සි එහෙම තාම ඇහැරගෙන අම්මලට උදව් කරනවා. මේ වගේ වෙලාවක් ආවහම පවුල් වල ළමයින්ට හරිම සතුටු නේ. 

ඉතින් මේ ළමයි ටික පිරිත් කියල කියල උදේ උනාට පස්සේ චන්දන ඇතුළු පිරිස, හීල් දානය හාමුදුරුවන්ට පිලිගැන්නුව. ඉන්පස්සේ හාමුදුරුවෝ පන්සලට වැඩමවා ගෙන ගියා. නෑදෑයෝ නැවතිලා හිටිය අයත් උදේ කිස සප්පායම් වෙලා ගෙවල් බලා ආපහු ගියා. සුජාතා, විශාකා ,රෝස් , චන්දන ,නීල් , ආදී කට්ටිය අස් පරස් කරන වැඩ කළා. ඔයින් මෙයින් බෝනිකි ගෙදර පිරිත් පින්කමත් නිමාවට පත් වුණා.  ඊළඟට බෝනිකිගෙදර  උත්සවය මොකක් වෙන්න පුළුවන් ද ?
 
   


Sunday, May 10, 2020

බෝනිකි ගෙවල් 2 - බෝනිකි පවුල් හඳුන්වා දීම



බෝනිකි පවුලක් 


බෝනිකි ගෙවල් 1 කොටසේ මං කියල තියෙන්නේ 70 දශකයේ මේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ, ප්‍රධාන නගරයට ආසන්න ගමක මධ්‍යම පන්තික පවුලක දරුවන් කිහිප දෙනෙකුගේ  ළමා කාලය ගෙවී ගිය හැටි ගැනත්  ඔවුන් යෙදුණු අපුරු සුවිශේෂී සෙල්ලමක් ගැනත්. ඒ සෙල්ලමේ නම 'බෝනිකි ගෙවල්' කියල මතකනෙ.

ඉතින් ඒ කතාවේ  කිව්ව ළමයි හතර දෙනාගෙ බෝනිකි ගෙවල් හතරේ හිටිය සාමාජික සාමාජිකාවෝ දැන අඳුන ගත්තොත් හොඳයි නේද ? මොකද අපේ ඉස්සරහ කතන්දර වලදී මේ ගොල්ලො තමයි ප්‍රධාන චරිත  වෙන්නෙ. මෙන්න මේ විදියට තමයි ඒ පවුල් හැදිලා තිබුණෙ .

1. සුදු නෝනගේ පවුල :  විජයවර්ධන පවුල 

                                      තාත්තා - චන්දන විජයවර්ධන ( නීතිඥයෙක් )
                                      අම්මා   - සුජාතා      ( ගෘහිණියක් )
                                      පුතා     - නාමල් (   Nick name ගෝරිං )
                                      දුව       - සඳුනි

2. හිච්චි නෝනගේ පවුල:   ඉද්දමල්ගොඩ පවුල 

                                       තාත්තා - නදුන් ඉද්දමල්ගොඩ  ( DRO )
                                       අම්මා  -  විශාඛා ( ගුරුවරියක් )
                                       ලොකු පුතා - උදන් සම්පත්
                                       ලොකු දුව - උදයංගනී පිනිබිඳු (පිණී )
                                       චුටි දුව     - ආශා නිශාමනි (ආශික්කි )
                                       චූටි පුතා - සුමුදු චින්තක

3. උන්නාගේ පවුල   :    පරණවිතාන පවුල   

                                       තාත්තා - සුගත් පරණවිතාන  (ඉංජිනේරු )
                                       අම්මා - චම්පිකා (දොස්තර වරියක් )
                                       ලොකු පුතා - දමිත්
                                       දුව - නිල්මිණි
                                       චූටි පුතා - සනත්

4. මල්ලි (වජිර )ගෙ පවුල :   වික්‍රමසිංහ  පවුල 

                                         තාත්තා - නීල් වික්‍රමසිංහ (IP)
                                         අම්මා  - රෝස් විජයවර්ධන (ගෘහිණියක් )
                                         පුතා  - අතුල
                                         දුව - තුල්සි

ඉතින් මේ පවුල් හතරට වෙනම ගෙවල්, ගෘහ භාණ්ඩ,ඇඳුම් පැළඳුම්, ආභරණ ,පොත්පත් හා  වාහන තිබුණා. ඒ ගොල්ලෝ සමාජයේ උසස් යයි සම්මත ජීවන පිළිවෙතක් ගෙන ගියා. මොකද හැමෝම හොඳට උගත්, හොඳ රැකියාවල නියුතු වූ අයනේ. වෛද්‍ය, ඉංජිනේරු, ගුරු, පොලිස් ඉන්ස්පෙක්ට හා නීතිඥ වගේ ඉහළ වෘත්තීන් වල තමයි යෙදිලා හිටියේ. ඉතින් මේ අයගේ ඇතැම් දරුවෝ ටිකක් ලොකුයි. උදාහරණයක් විදියට විජේවර්ධන පවුලෙ ලොකු පුතා නාමල් ටිකක් ලොකු නාහෙට අහන්නේ නැති කොල්ලෙක්. ඒකයි ගෝරිං කියල නමක් පටබැඳුනේ .


                                          පරණවිතාන පවුලේ ඇඳුම් පැළදුම් කිහිපයක්  

මේ පවුල්වල එදිනෙදා ජීවිතය ගත වෙනවා වගේම නොයෙකුත් උත්සව, චාරිකා වගේ දේවල් නිතරම යෙදුණා. ඉතින් ඒ ඒ අවස්ථාවලට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම අක්කල තුන් දෙනාටයි මල්ලිටයි තමයි පැවරුණේ. අද නම් මෙන්න මේවට තමයි කියන්නේ "Event Planning" කියලා. මේ ළමයි Event planning වල කප්පිත්තෝ. අද නම් මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත්වෙන්නත් තිබුණා. මේ වගේ ගරු ගාම්භීර විදියට කරපු උත්සව කිහිපයක් ඊළඟ 'බෝනිකි ගෙවල්' කොටස් වලින් ඔබ හමුවට ඒවි .

Tuesday, May 5, 2020

කොවුල් බක් මහ මතක



මට දැනෙන විදියට බක් මහේ නම්,
කොහාට සිවු වරක් වැරදුණා දැන්,
මේ මගේ  ජීවිත ගමන ඇතුළෙම,
ඔව්,පොඩියි පළවෙනි සැරේ නම් මං!

ඒ සැරේ තිබුණෙ රතුම රතු එරබදු මල්,
ගඟේ පාවී ගිය මූසලම මූසල කාලයක්,
කොහා ඇඩුවලු මුළු දවස පුරාම ඉඳන්,
වැළපුම් පමණි ඇසුණේ සැම දෙසින්,

කොහාගේ උණුම උණු, උණු කඳුළු;
ගිං ගඟේ පාවී පාවී ගිං තොටට ගියාලූ,
එදසුන අපේ ඇස ගැටුණෙ  නැතුවාට,
කටුවක් හද පත්ලටම.ඇමිණී තිබුණාලු .

ඊළඟ සැරේ කොහොම ගී ගයන්නද ඉතින්,
ගිලිහුණු මවු සෙනෙහෙ පපුවට තද කරන්,
අනේ ! අඬ අඬා ගියා ඌ ඒකත් අරන්,
දෑසින් මැකී ඈතට ඈතට ගිං ගං තොටින්.

තුන්වෙනි සැරේ හිටියා ඌ ගී සුසර කරමින්,
ඒත් මහ පිපිරුමක් වුණා හීන කන්දක් යටින්,
තැන තැන මිනී බෙර වැයෙන්නට  වුයෙන්,
ඌ ගොළු වුණා ගී උගුරෙ හිර කරන්.

ලෝකයම කඳුළු ගඟක කිමිදුනෙන්;
කුමන ගී ගැයීමක් ද මේවර ඉතින්,
සිහින් ඉකියකි ඇසෙන  නෑසෙන දුරින්,
පුංචි රතු කොවුල් ඇස අඩවන්ය දැන්.

©Malini Ganewatta

Photo by Challiyan - Own work, CC BY-SA 4.0, https://commons.wikimedia.org/w/index.php?curid=3745626