Saturday, May 30, 2020

අහිමි පෙම





ඒ ඇයමය. ඈ මේ ආකාරයෙන් නැවත දකින්නට ලැබෙතියි බලාපොරොත්තුවක් මට නොවීය. මේ මොහොතේ ඈ මා හඳුනා ගත්තේ නැත හෝ ඈ සිටි තැනට මා පැහැදිළිව නොපෙනුණා විය හැකිය.මා ඇත්තෙන්ම සිටියේ මට ඈ පෙනුනත්, ඇයට මා නොපෙනෙන ආකාරයට බව පසුව මම පසක් කර ගතිමි. 

 මා මේ සිටින්නේ බදුල්ලට යන 'උඩරට මැණිකේ' ශීඝ්‍රගාමී දුම්රිය, දුම්රිය අංගනයට පැමිණෙන තෙක් කොළඹ කොටුව දුම්රිය අංගනයේ පළවැනි  වේදිකාවේ බංකුවක් මත අසුන්ගෙනය. පළමු පන්තියේ ටිකට් පතක් මගේ අතේ විය. ගමන් බෑගය පසෙක විය. සතියක් පමණ බදුල්ලේ මා මිත්‍ර සරත් සමග වටපිටාවේ සුන්දරත්වය විඳිමින් ගත කිරීමට යාම මගේ අරමුණ විය. ඒ සඳහා අවශ්‍ය නිවාඩු ලබාගෙන දුම්රියද කල් ඇතිව වෙන් කරගෙන අද උදේම මෙහි ලඟා වීමි. මෝටර් රථයෙන් නොගොස් දුම්රියේ යාමට තීරණය කළේ කවදත් උඩරට දුම්රිය ගමනට මා ඇළුම් කළ හෙයිනි. එමෙන්ම දුම්රියේ ගමන තනිවම මෝටර් රථයක් ධාවනය කිරීමට වඩා හිතට මෙන්ම ගතට ද සැහැල්ලුවකි. මෙකල  ප්‍රධාන මාර්ගයක මෝටර් රථ ධාවනය අතිශය කටුක අත්දැකීමකි. 

'ගිහින් කතා කරනවද?' පපුව මැද විදුලි කොටන ශබ්දය පිටතටත් ඇසේදෝයි  බියක් සැනෙකින් ඇතිවිය.

'ඕන නැහැ එයා ජීවිත ගමනෙ එයාගෙ පාරෙ ගියාදෙන්. මං දැන් ඒකට ඇතුල් වෙන්න ඕන නැහැ' මගේ ඒ දැඩි අවසන් තීරණය සමග හදවත ද කෙමෙන්  සන්සුන් වනු දැනුණි.  සන්සුන් වූ මම ඈ දෙස තව දුරටත් බලා සිටියෙමි. ඇගේ සුදෝ සුදු වත එදා මෙන්මය. මා ආසා කළ ආදරය කළ සුකොමළ සිහින් සිරුර ද වෙනස් වී නැත. ආ අසළ දරුවන් දෙදෙනෙකි. ඇගේ සිරුරේ පැහැයෙන්ම යුතු වැඩිමල් පිරිමි දරුවා තරුණ වියට එළඹීමට ආසන්න වයසකය. අප දුරස්වී වසර විස්සකට ආසන්න බව මට සිහිපත් වන්නේ දැන්ය. අද ඇය දුටු මොහොතේ පටන් මෙතෙක්, එය අද ඊයේ මෙන් හැඟීමක් සිත තුළ විය. අනික් දැරිය පිරිමි දරුවාගේ නැගෙණිය විය යුතු බව පැහැදිළි  විය. දැරියගේ පොකුටු හිසකෙහෙ හා පෙනුම ඒ  අසල සිටගෙන සිටි ඇගේ පියාගෙන් ලැබුණු දායාද බව  පෙනුණි. දැරිය සිය සොහොයුරාට වඩා වසර කිහිපයක් ලාබාල බව පෙනුණි.

මේ වගේ දරුවන් අපටත් ඇතිවී අපි අපේම පුංචි ගෙයක ජීවත් වෙන හැටි ඈ මිහිරි තෙපුළෙන් පැවසූ ඒ අතීතය ඇත්තටම මගේ ජීවිතයේ ඈත දිනයක  විඳි දෙයක්  ද නැතිනම් හිතලුවක් දැයි තෝරා බේරා ගන්නට බැරිව මම විපිළිසර වීමි. මේ සියල්ල දෙස බලා සිටින කල එකල අප ප්‍රේමයෙන් වෙලී සිටි ඒ සුන්දර අතීතය දැන් දැන් මගේ මතකයට නැගෙන්නේ ආත්ම ගණනාවකට එපිටින් සිදුවූ සිදුවීම් පෙළක් ලෙසය.

මට ඇය මුලින්ම හමුවූ දිනය සිතුවම් පටෙහි මුලින්ම මනසේ දිග හැරෙයි. සවස අමතර පන්තියට යාමට මම බස් රථයෙන් යමින් සිටියෙමි. අතරමගදී කහ පාටට හුරු ගවුමකින් සැරසුණු හිම කුමරියගේ පැහැයෙන් යුත් ගැහැණු ළමයෙකු බසයට නැගුණා මතකය. ඉන් පසු මට එය අමතකව ගියේය.

මා පන්තියේ ඉඳගෙන පාඩමට සිත  යොමා සිටි මොහොතේ ඒ ගැහැණු ළමයා  අලුත් ශිෂ්‍යාවක ලෙස අපේ පන්තියට පැමිණීමත් සමග මගේ සිත මටත් තෝරා බේරා ගැනීමට නොහැකි අමුතු හැඟීමකින් වෙලී ගියේය. ඇය සුරඟනක් බඳු යයි මට සිතුනි. එතරම් සුන්දර මුහුණක් හෝ සිහින් අඟපසඟ ඇති රුවක් මා මෙතෙක් දැක නැතැයි හැඟී ගියේය.

ඇය ඉඳගෙන සිටියේ මා සිටි පෙළට ඉදිරිපස පෙළකය. ඈ සටහන් ලියන අතරේ මම ඇගේ බිමට නැඹුරුවුණු සුන්දර මුහුණ දෙසත් මේසය මත තබාගෙන සිටින ඇගේ වමතේ දිගු සිහින් ඇත් දත් පැහැති ඇඟිලි දෙසත් බොහෝ වේලා බලා සිටියෙමි.

මගේ සිතේ ඈ පිළිබඳව මේ ඇතිවී තිබෙන නොසන්සුන් එහෙත් වරෙක රසබර, වරෙක හදවත දැවී යන අමුතු හැඟීම් ආදරය බව වටහා ගත්තේ සෙමින් සෙමින්ය. මගේ ඇතැම් මිතුරන්ට පෙම්වතියන් සිටි නමුත් ආදරය ගැන එතරම් කතාබහක් අප අතර ඇතිවී තිබුණේ නැත. මා කියවා තිබූ සීමීත නවකතා කිහිපයක වූ පෙම් සබදතා,  මා හුදකලා වූ සැමවිටකම ඈ ඒ කතාවල චරිත අතර පණ පොවමින්  මගේ මනසේ හොල්මන් කරන්නට විය. තවත් සති කිහිපයක් නොසන්සුන් සිතින් ගතවී ගිය ඉක්බිති දිනක මගේ හොඳම මිතුරා මගින් මගේ සිතැඟි ඇයට ඉදිරිපත් කළෙමි. අපේ පෙම් පුවත ඇරඹුණි.

දිනක් අප දෙදෙනා මුහුදු වෙරළේ තනිවූ මොහොතක ඇගේ අතැඟිලි මගේ දෝතින් ගනිමින් ' ඔයාගේ අත් හරිම ලස්සනයි ' කීමි. මනරම් සිනාවෙන් මුව සරසා ගත් ඈ 'ඕක කියන්නේ ඔයා විතරක් නෙමෙයි ' කියා කීවාය. ඒ පිළිතුරෙන් මා අන්දමන්දව යනු දුටු ඈ දඟකාර ලෙසින් ' හොරා ...මට තව කොල්ලෙක් එහෙම කිව්වා කියල හිතුව නේද?' කියා ඇසුවාය.
'නෑ ..නෑ පවන්. බය වෙන්න එපා. අපේ ඉස්කෝලේ වෙන පන්තිවල ළමයි එනවා මාව බලල යන්න. එතකොට තමයි ඕව කියන්නේ.' කියමින් මගේ කුතුහලය ඉවත් කරමින් ඈ ඇගේ පිළිතුර දීර්ඝ කළාය. සැබවින්ම ඇගේ අත් වාත්තු කළ පිළිමයක බඳු යයි මට සිතුනි.

'රේඛා' අවන්හලේ අපි සැහැල්ලුවෙන්, හිම කිරම තොල ගාමින්, දොඩමළු වෙමින්, අනාගතයේ කෙදිනක හෝ මටම හිමි කර ගැනීමට ආදරයෙන් බලාපොරොත්තුව සිටි ඇගේ අතැඟිලි මගේ අතැඟිලි අතර සිර කරගෙන සිටි ඒ චමත්කාර සැන්දෑව  ඊ ලඟට මගේ මනසේ සිතුවම් අතරට පිවිසෙයි. ක්ෂණිකව ඇතිවූ උමතු හැඟීමකින්, බිමට නැඹුරු වී තිබු ඇගේ මුහුණ මා වෙත දෝතින් ගෙන  රෝස පෙතිවන් කම්මුලක් මත ජීවිතයේ ප්‍රථම වතාවටත් අවසන් වතාවටත් උණුසුම් හාදුවක් තැබුවේ ඒ මොහොතේ හදවත පත්ලේ ගැඹුරුම තැන කළඹවා ගෙන නැග ආ  මගේ ආදරය ප්‍රකාශ කිරීමට වචන සොයාගත නොහැකි වූ බැවිනි. . " ඔයාට පිස්සුද පවන් ...කවුරුවත් දැක්කොත් " රතුවූ මුහුණින් යුක්තව ඈ විරෝධය පෑවේ එයට අකැමැත්තෙන්ම නොවේ. ඒ සොඳුරු මොහොත සිහිනයක් නොවන්නේදැයි මට දැන් හැඟෙයි. ඒ සමගම ඉමිහිරි රෝස පෙති සුවඳක් මතකයේ පත්ලෙන් සිතට දැනී නොදැනී, එයින් ද නොනැවතී නාස් පුඩු තුළින් ඇතුල්වන සෙයක් ද දැනුණෙන් මම වට පිට බැලීමි. එහෙත් දුම් හා තෙල් වාෂ්ප මිස අවට වාතයේ රෝස මල් සුවඳක් නොවන බව මට ඒ ක්ෂණයකින් පසක් විය. සියල්ල මායාවේ කඩතුරාවෙන් වැසි ගිය සෙයකි.

ජංගම දුරකථන තබා ස්ථාවර දුරකථනයක් පවා ඉතා විරල ඒ අතීතයේ, අපි පෙම් පත් මගින් අදහස් හුවමාරු කර ගතිමු. ඒ ලිපි පොතක් අස්සට දමා මිතුරෙකු මගින් ඇයට ලැබීමට සැලැස්වූ හැටි ..ඇගේ ලිපිත් ඉඳ හිට ඈ මැසූ ලේන්සු පොඩිතිත් ඒ විදියටම අතින් අත, මවෙත ලැබුණු සැටිත් වචනයෙන් විස්තර කළ නොහැකි චමත්කාරයක් ජීවිතයට එකතු කළේය. මා ඒ ලිපි හා තෑගී ඉතා සුරැකිව තබා ගත්තේ අම්මාට හොරෙනි. නමුත් අප දෙදෙනා පිලිබඳ යම් ආරංචියක් දෙමාපියන්ගේ කණ  වැකීමට වැඩි කලක් ගත වූයේ නැත. අම්මාත් තාත්තාත් මුල සිටම අපේ ප්‍රේමයට විරුද්ධ වුවෝය.

ඇගේ නිවසට අපේ ප්‍රේමය ගැන වැටහීමක් නොවිය. ඈ එය ඇගේ එකම වැඩිහිටියාවූ මවට පවසා නොතිබූ අතර වෙනත් ක්‍රමයකින් එය ආරංචි වුයේ ද නැත. මා ඇගේ නිවසට එක වරක් ගිය නමුත් එය  සාමාන්‍ය මිතුරු හමුවකින් ඔබ්බට, සැකයට බඳුන් වන අවස්ථාවක් නොවීය.

' පවුල් දෙකක බරට  මට කරගහන්න බෑ " අම්මා කීවාය.

අම්මා ඇගේ පවුල පිලිබඳ කොහෙන් හෝ කන වැකුණු දෙයකින් තේරුම් ගත් ඒ දෙය එනම් ඇගේ පවුලේ සැබෑ තත්වය තේරුම් ගැනීමට තරම් මේරූ බවක් එදා මට නොවීය. එය මට වැටහෙන්නට වූයේ ඇය මට අහිමි වීත් බොහෝ කලකට පසුවය. ඈ ඉගනීමේ දක්ෂ වූවාය. එකවරම වෛද්‍ය   විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට ඇයට හැකි විය. මම අසමත් වීමි. ඈ වෛද්‍ය විද්‍යාලයට  ගියාය. මම ඉබාගාතේ ඇවිද්දෙමි. ඒ සුළු කාලය තුළ ඈ මට අහිමි විය. අපේ සොඳුරු ප්‍රේමයට තිත තැබූ ඈ මා හැර ගියාය. ඈ මට අහිමි වී ගිය ඒ අතීතයේ මුල් දිනවල නැවතත් ඈ දැක ගැනීමේ ආශාවෙන් මඬනා ලද සිතක් මා තුළ පහළ වූ නමුත්, ළතෙත් බවෙන් තොර කාලයේ වැලි තලාවෙන්  වැසි ගිය අතීතය ක්‍රමයෙන් මා ඒ සිතුවිළි වලින් ඈත් කරනු ලැබීය.

පසු කලෙක ඈ වෛද්‍යවරියක වන්නට ඇත. ඈ පත්වීම ලැබුවේ කුමන රෝහලකට ද යන්න මට දැන ගන්නට ලැබුණේ නැත. නැත්නම් මට එවැන්නක් දැනගන්නට වුවමනා නොවුයේ  තවදුරටත් ඈ ජීවත් වූයේ මගේ සිහින ලෝකයේ මිස සැබෑ ලෝකයේ නොවන බැවිනි.

ඔබට සිතෙනු ඇත්තේ සරසවියේදී ඈ අළුත් පෙම් පුවතක් ඇරඹු නිසා මා හැර ගියා වන්නට ඇතැයි යන්න නම් ඔබ වැරදිය. සත්‍ය වෙනත් දෙයකි. ඇගේ පවුලට සම්බන්ධ ඥාතියෙකු විසින් කරන ලද විවාහ යෝජනාවකින් ඈ විවාහ දිවියට ඇතුළත් වූවාය. අදාළ පුද්ගලයා ඇගේ පවුලේ ඉදිරි කටයුතු වලට උරදීමට සමත් කෙනෙකු වීම නිසා මවගේ බලපෑම මත එයට එකඟ වී ඇති බව ඇගේ මිතුරියක මගින් පසුව මා වෙත දන්වා එවා තිබුණි. මා ගත කළ සැහැල්ලු සුකුමාල ජීවිතය ඇයට පෑහෙන්නක් නොවන්නට ඇත.

' ඔයාට කවදාවත් මාව තේරුම් ගන්න පුළුවන් වෙන එකක් නෑ පවන්. මට මගේ පවුලේ ලොකු වගකීමක් තියෙනවා. මං මොනදේ කළත් , මගේ ආසාවල් මොනවා වුණත් මුල් තැන දෙන්නේ මගේ වගකීම් වලට මිසක් හැඟීම් වලට නෙවෙයි. මං ඔයාගෙ ඔය ලස්සන ඇස් වලට ආසා කළා තමයි. ඔය හිනාවට ආදරය කළා තමයි. ඒත් ඒ මේ සුන්දර යොවුන් වයසත් එක්ක අපේ හිත්වල පොරකන සිතුවිලි වලට යටවෙලා කියල අමතක කරන්න එපා. ඒත් ජීවිතය කියන රළු මාවතේ ඒ තරම් සැහැල්ලුවෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ නැහැ පවන්. ජීවිතේ මල් යහනක් නෙවෙයි.'

ඒ ඈ මට එවූ ලිපියක කොටසකි. ඈ ඇගේ ඉරණම ඉවෙන් මෙන් දැන ගෙන සිටියා වන්නට ඇත.
මේ ලිපි වල තිබු ඇතැම් දේ ඇසූ මගේ හොඳම මිතුරා පැවසුවේ ' මචං ඔයාගේ නිම්මි හොඳයි බණ කියන්න. හැබැයි උඹ බණ අහ අහ ඉන්න ලෑස්ති නැති බව මං දන්නවා.'

එහෙත් ඇගේ දුෂ්කර දිවි පෙවෙත විසින් එවැනි ආස්ථානයකට ඇය තල්ලු කර තිබු බව තේරුම් ගැනීමට මම අපොහොසත් වීමි. මට කුඩා කළ පටන් ලැබී තිබු මුලික සැප සම්පතින් පිරුණු ජීවිතය, අපේ වැනි දුප්පත් රටක ජනතාවගේ පොදු යථාර්තය අවබෝධ කරලීම මා වෙතින් දුරස් කළේය. එහෙත් මම මට ලැබී තිබු ඒ වරප්‍රසාද මගේවත්, දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයින්ගේවත් යහපත වෙනුවෙන් යොදා ගැනීමට අසමත් වීමි. මට කරන්නට තිබුනේ ඇය ආදර්ශයට ගනිමින් මගේ ද ඉගෙනුම සාර්ථක කර ගෙන අප දෙදෙනාම සාර්ථකත්වය කරා පිය නගාගෙන ඇගේ බරට ද සැහැල්ලුවක් ගෙන දී ජීවිතය ජය ගැනීමටය. එහෙත් මම ඉබාගාතේ ඇවිද්දෙමි. ජීවිතය වරද්දා ගත්තෙමි. දෙමාපියන්ට ද බරක් වීමි. පවුලට නරක ආදර්ශයක් වීමි. 

ගලා ගිය කාලය තුළ අම්මා ගේ දැඩි උත්සාහය මත අවසානයේ දී එක්තරා මාවතකට පිවිසීමට මට හැකි විය. මම විවාහ ජීවිතයකට ද ඇතුළත් වූ බව කිව යුතුය. ඒ විවාහ ජීවිතය ගඟක පහළට ගලා යන ජල කඳත් සමග  ඔහේ ඇදී පාවී ගිය පරඬලා පතක් මෙන් විනැයි  අද මට සිතේ.  අප දෙදෙනාට දරුවන් ඇති වූයේ නැත. මට සිහි කරන්නට ඇත්තේ එදා ඒ අතීතයේ නිම්මිත් මාත් කතා කළ ඒ සිහින ගෙවල් හා සිහින දරුවන් ගැන පමණකි. ඇත්තෙන්ම සමහර වෙලාවට මා කාන්සියේ ගතකරන විට මගේ චිත්ත සන්තානයේ  ඒ අපේ සැබෑ නොවූ පුංචි සොඳුරු කැදැල්ලත්, එහි කුදු මහත් කටයුතුවල සතුටු සිතින් යෙදී සිටින ඇගේ පියකරු මුහුණත්, අපේ මිදුලේ දුව පැන නටන පුංචි පැටවුනුත්, ඇඳී ගියේ නැතැයි කීවොත් එය මුසාවකි. නිම්මි නම් සැබෑ දරුවන් සමග බව අද මම දැක්කෙමි. පසු කලෙක මගේ බිරිඳ පිළිකා රෝගයට ගොදුරුවී මෙලොව හැර ගිය හෙයින් මම මෙලොව තනි වීමි. මව් පියන් කලින්ම මා හා සොයුරන් හැර ගොස්ය.

'උඩ රට මැණිකෙට පට කුඩ දෙක දෙක' තාලයට පැමිණි 'උඩරට මැණිකේ' දුම්රිය පළමු වේදිකාවේ නතර කරනවාත් සමග කලබල වූ මගීන් තම තමන්ගේ ගමන් මළු ද රැගෙන දුම්රියට නැග ගැනීමට උනන්දුවනු පෙනුනි. ඔවුන් ද තමන් ගේ ගමන් මළු අතැතිව ඒ දෙසට යනු මම බලා සිටියෙමි. දරුවන් දෙදෙනාගේ ඇස් වල තිබුණේ බලාපොරොත්තුවේ ආලෝකයයි. දුර ගමනක් නිදහසේ යන්න පොඩි දරුවන් කොතරම් ආසා කරනවා ද යන්න මගේ කුඩා කාලයේ අත්දැකීම් සමග සිත තුළ චංචල හැඟීම් ඇති කළේය.

ඒ පුංචි පවුල නැරඹුම් මැදිරියට ඇතුල් වනු මම හිස් බැල්මෙන් බලා සිටියෙමි. මගේ අතේ තිබු ප්‍රවේශ පත්‍රය අතැඟිලි අතර හිර විය. අතැඟිලි දහදියෙන් තෙත්ව තිබුණි."සරත් ට කෝල් එකක් දෙන්න ඕන අද මේ කෝච්චියේ එන්නේ නෑ කියල" එකවර මගේ සිතුවිලි අලුත් විය. මම ආපසු හැරී දුම්රිය වේදිකාවේ පිටවීමේ පුවරුව පෙනෙන ඉසව්ව බලා වේගයෙන් ඇවිදගෙන ගියෙමි. එහෙත් නැවත වහා  හැරී දුම්රිය දෙස බලා සිටීමේ ආශාවක් සිතට නැගුණි. දුම්රිය තව මොහොතකින් පිටත් වන බව ප්‍රකාශ වුණු ඒ ගැඹුරු කට හඬ මගේ දෙකන් තුළ දෝංකාර දෙමින් ඇසී නෑසී ගියේය.  මොහොතකින් දුම්රිය ඇයත් ඇගේ ලෝකයත් මගේ ලෝකයෙන් සදහටම වෙන් කරමින් හූ හඬ නගමින් ඉදිරියට ඇදී ගොස් ඈත වංගුවෙන් නොපෙනී යන තුරුම මම එදෙස බලා සිටියෙමි.  

Photo by adrianna geo on Unsplash





No comments:

Post a Comment