Thursday, August 30, 2018

මවු සෙනෙහස

මවු සෙනෙහස 


පුංචි පුතු ගිලන්ව අසරණව 
රෝහල් ගිලන් ඇඳ මත 
වැතිර සිටි ඒ බිහිසුණු මොහොත 
වැඩි වුණිය හද ගැස්ම විටින් විට 
ගොළු වුණිය මුව කුමක් කරන්න ද 

සැම මවුන් ඒ අසල ඒ ඒ තැන 

උන්ගේ දරුවන් ද ගිලන්ව 
වැදහෝන ඇඳන් මත 
දරු දුක සැම මවුන්ගෙම සිත දවන 
සම් මස් නහර ඇට විනිවිදින 
ඇට මිදුළු වලටම කා වදින 
කා දරුද කියා එමොහොතට  නොම දැනෙන 

මවුන් රැසක් බිහි විය මපුතුට එසැණින 

උන් පුතු වෙත රැගෙන ආවේ එක පමණ 
ගුලි කොටගෙන පිළිසරණ නෙක පමණ 
පැටියෙක් ලැබුණු කල ඇත් රැළට 
කිරි එරේය සැම ඇතින්නියන් හට 

මවු සෙනේ අනන්තයටම දිවෙන 

ගෙනාවේ කිරි බිඳු ද 
මේ ගලන ....

Friday, August 24, 2018

මිනිසකුගේ කතාවක්



A famous saying….(Every man should) plant a tree, have a child, and write a book. These all live on after us, insuring a measure of immortality.


මිනිසකුගේ  කතාවක් 

"ගසක් වවන්න
පුතෙක් හදන්න
පොතක් ලියන්න
මිනිහෙක් වෙන්න"

ගසුත් වැවුවා
පුතත් හැදුවා
අන්තිමේ මම
පොතත් ලියුවා

කලුත් ගතවී
දිවා රෑ වී
මමත් ටික ටික
ගිහින් වයසට

පුතත් තරමක්
උස් මහත්වී
රටත්  අතහැර
ගිහින් ඈතට

පොතත් මිටි බැඳ
ගෙදරමුල්ලක
අකුරු ටික ටික
මැකී ගොස් ඇත

ගසුත් කැපිලා,
දියත් සිඳිලා
රටත් කතරක්
බවට හැරිලා

මාත් අඹුවත්
දෙදෙන තනිවී
කතර මැද ඇත
අද අනාථව .

Sunday, August 19, 2018

සමු ගැනීම්



සමු ගැනීම් 

ජීවිතය කියන්නේ හමුවීම් ...වෙන්වීම්.....


ගුරු ජීවිතය ගෙවද්දී හැම ජුලි මාසේ අන්තිමේදී ම සමුගැනීමක් ආවා. කෙටි කාලයකට මේක අප්‍රේල් මුලටත් වැටුණා. මේ සමුගැනීම තමයි උසස් පෙළ සිසුන් වසර දෙකක් අපිත් එක්ක ඉඳලා පාසලින් ඉවත් වීම.

ඉස්සර නම් ළමයි අවුරුදු දෙක දිගටම පාසල් ආවා. පස්සෙ පස්සේ ළමයි දහතුන් වන ශ්‍රේණියේදී පාසල් එන්නෙ යලට මහටනෙ. ළමයින්ට හරියට උපකාරක පන්ති ඕන උනානේ. ඒවායෙ "දේශකයෝ " අන්තිම අවුරුද්දේ දවස පුරාම දේශනා කරන්න පටන් ගන්නවනේ.

කොහොම උනත් දරුවො මේ සමු දෙන දිනේදී හරිම සංවේදියි. සමහරු අඬල තමයි යන්නේ. හැම දරුවෙක්ම දැරිවියක්ම අපේ දරුවො කියල තමයි හැමදාම හිතුනේ. අපි ඔවුන්ට ඉත සිතින්ම යහපත ප්‍රර්ථනා කළා.

ඉතින් එක් සුවිශේෂී  දැරියක් හිටිය. ඈ තරමක් නිර්භීත දැරියක්. මේ හේතුවෙන් ඇයට කරදර බාධක වලට මුහුණ දෙන්නත් සිදුවුණා මතකයි. ඈ ඇතුළු ඒ වසරේ දරුවන්  මේ විදියට සමුගත් දිනයේ සංවේදී වූ මා ලියු පදවැලක් තමයි මේ.

ඔබ මා දයාබර සිසුවියයි
මා ඔබේ ගුරු තුමියයි
විදු පියසින් ඔබ අද නික්ම යයි
මේ අවසන් ඔවා මිණි කැටය යි //

මුව කමලත මුදු බව රැදුනැයි
දිවි ගමනෙදි ඔබ හද සැලුනැයි
උණු කදුළින් නිසි පල නැතිමැයි
නුවණින් සැම විමසිය යුතුමැයි

මේ පුර නෙක වීසිතුරු බොහොමැයි 
එහි ඇතුළත විස කටු ගහණයි 
පා පොඩි පැකිළී බිම වැටුනැයි 
පිවිතුරු හද රැක ගත යුතුමැයි 

ඔබ මා දයාබර සිසුවියයි
මා ඔබේ ගුරු තුමියයි
විදු පියසින් ඔබ අද නික්ම යයි
මේ අවසන් ඔවා මිණි කැටය යි

ඒක සදාකාලික ඔවදනක් කියල මට හිතෙනවා. ඒ සමුගත් සමහර දරුවෝ මුහුණු පොතෙන්  ආයෙත් දකිනවා. එවිට සතුටක්  හීනියට හිතේ මෝදු වෙනවා. ජීවිතේ මේ සැඳෑ යාමයේ පාළුවට  එයින්  ජීවයක් අරන් එනවා. 

Photo by Belinda Fewings on Unsplash

Tuesday, August 14, 2018

රෝස මලේ නටුවෙ කටු .......


රෝස මලේ නටුවෙ  කටු .......


මල් ලොව රැජිණ රෝස කිව්වොත් ඔබ මා සමග එකඟ වේවි. රෝස මල් සුන්දරයි. රෝස පෙති කොයි තරම් සුමුදුයි ද? රෝස මල සිප ගන්න. ඔබට එහි මිහිරි සුවඳ දැනේවි. රෝස පෙති ඔබේ මුහුණට හාදු දේවි ....සුමුදු මුදු පහසින් ඔබ මන්මත් කරමින්...

" රෝස මලේ නටුවෙ කටූ  ....."
මම මේ කවිය කී සැරයක් ගායනා කරල තියෙනව ද ? පොඩි දරුවෙක් කාලෙ  ව්තරක් නෙමෙයි අපේ පොඩි දරුවො නලවන්න,ලොකු පුතා ...දෝණි ..චූටි බබා  ඒ කොච්චර ඉස්සර ද ? ඊට පස්සෙ සුදු දෝණි අපේ පළවෙනි මිණිපිරී ..  ..ඊළඟට සනු, චූටි මිණිපිරී  ...ඇලෙක්ස් පුතුට තමයි වැඩියෙන්ම කියන්න ඇත්තෙ . නයිල් බබුට එය ගායනා කරන්න වුණේ නෑ . ඒ පැටියත් එක්ක මට ගත කරන්න ලැබුනෙ සතියයි නෙ ? එයාට මම ගායනා කළේ "රන්වන් පාටයි සමනලයා ....."

නටුවෙ කටු තිබුණට කමක් නෑ කියලනෙ සමනලයත් හිතුවෙ ...ඒකනෙ "නටුව නොවේ මල සිඹිමී " කිව්වෙ .
මම අපේ ගෙදර රෝස ගස් කීපයක් වැව්ව බැල්කනියෙ පෝච්චි වල. එක බේබි රෝස පැළයක් ලැබුණේ නන්දා මිස්ගෙන්. නන්ද මිස් වගාවට දක්ෂයා . පරිසර වැඩසටහන් වලදී අඳුනගත්ත මිතුරියක්  .ඒ රෝස පඳුරේ මල් එක සැරේට පණහක් විතර පිපුණා . ඒත් කාලයකට පස්සෙ මම ආපසු එන විට රෝස පඳුර මැරිලා ,ඉපල් විතරයි ඉතුරු වෙලා තිබුණෙ.

ආච්චි අම්මේ අපි ආයේ රෝස පැලයක් ගේමු

සුදු දෝණි කිව්ව . මම රෝස ඉපල් වලට වතුර දැම්මා . පැළයක් මතුවුණා. සුදු දෝණි හරියට සතුටු වුණා . මල් පිපෙන කම් බලා හිටියා . එත් අවාසනාවට ඒ රෝස පැළය මැරුණා.

සුදු රෝස මලක් රතු වෙනකම් ඒකට රතු ලේ ගලාගෙන එන්න රෝස කටුවකින් හදවත සිදුරු කර ගත් නයිටින්ගේල් කුරුල්ලා ගැන ඔස්කා වයිල්ඩ් ලියූ කතාව ඔබත් සමහර විට අසා ඇති.  එදා රෑ ආදරයේ අවසන් ළයාන්විත ගීය ගැයූ කුරුල්ලා පපුවේ ඇනුණු රෝස කටුවත් එක්ක අවසන් හුස්ම හෙළා තණ පත් මත මැරී වැටුණ. එත් ඒ කුරුල්ලා බලාපොරොත්තු වුණු,ගායනා කළ  

මගේ බේබි රෝස පඳුර



ආදරය ලෝකයේ තිබුණෙ නෑ නේද? ඒකනෙ අන්තිමේ ඒ වටිනා රතු රෝස මල කාණුවකට විසිවුණේ. ඒ ආදරණීය කුරුල්ලා ගැන කවුරුවත් බැලුවෙ නැහැ.

එක දවසක් අපිට සුපුරුදු බස් නැවතුම් පලක මැරිච්ච බල්ලෙකුගේ සිරුරක් කඩදාසියක් තරම් තුනී වෙනකම් එකේ උඩින් බස් රථ ගමන් කරලා මිනිස්සු ඇවිදලා තිබුණා මතකයි. ඉස්සර නම් එහෙම දෙයක් දැක්කම අඩු ගණනේ ඒක පාර අයිනෙන් වත් තියනවා,මිනිස්සු. මමත් ගෙඹි සිරුරු ,ගොළුබෙලි සිරුරු එහෙම උදේට පාරෙ අයිනෙන් තියලා යනවා.

දැන් මිනිස්සුන්ට ඒවාට වෙලාවක් නැහැ. මිනිස්සු දුවනවා....දුවනවා.....ඊළඟ පරම්පරාව ඊටත් හයියෙන් දුවනවා. කොහේද කොහේද අපේ ලොවක් සොයාගෙන. ඒත් ඒ ලෝකෙ කාටවත් තාම ලැබුණ බවක් පේන්න නැහැ.

එක් වැහිබර උදයක පාසැල අසල පාර හරහා කලුපාට ලොකු දළඹුවෙක් හෙමින් හෙමින් යනවා. උගේ රෝම මත පිනිබිඳු ඇමිණිලා දිලිසෙනවා.අපූරු දර්ශනයක්‌ . තව පොඩ්ඩෙන් වාහනයකට අහුවෙලා තැලිලා යයි කියන දුකට කොළයකින් අරන් පාර අයිනෙ පඳුරක් උඩින් තිබ්බ. එත් හවස එනකොට දැක්කා ඒ වගේ දළඹුවන් රැසකගේ චප්ප වූ සිරුරු. උපන්නොත් මැරෙනවා. කටුකුරුන්දේ අපේ හාමුදුරුවන් කිව්ව වගේ මරණයට හේතුව ඉපදීම.

රෝස මලේ සුන්දරත්වය විඳින්න නටුවේ කටු ගැන හිතන්න ඕන නැහැ. කැලිෆෝනියාවේ පිටුපස මිදුලේ දෝනියි ,සුපුන් පුතයි මායි එකතුවෙලා රෝස වැවුවා ගිය අවුරුද්දේ. අපි වෙළඳ පලින් රෝස පැල ගෙනත් හිටෙව්වා. මං ඒවාට පොහොර වතුර නොඅඩුව දැම්මා . මල් ගස් අපිට කළගුණ සලකන්න වගේ හොඳට මල් පුබුදුවල අපි සතුටු කළා. ශීත කාලේ ඒව ඔක්කොම නින්දට වැටෙනවා. ඊට පස්සේ නැවත ගිම්හානය ළඟා වෙද්දී දළු දාල මල් එනවා. මේ සැරෙත් මල් ලස්සනට පිපිලා තිබුන. දෝණි පින්තුර එවා තිබුණා.

 රෝස Rosaceae කුලයට අයිති ශාකයක්. Rosa තමයි රෝස වල ගණ නාමය. මේ ගණ නාමය යටතේ රෝස විශේෂ තුන්සියයක් පමණ තියෙනවලු. මේවා අතර වන දර්ශ මෙන්ම දෙමුහුම් විශේෂ ද රැසක් තිබෙනවා.

 රෝස ගණය උප ගණ (Sub genera ) හතරකට බෙදෙන බව සඳහන් 
වෙනවා.(Wikipedia ) ඒවායින් තුනකට අයත් වන්නේ රෝස විශේෂ කිහිපයක් පමණයි. වැඩිපුර විශේෂ ඇත්තේ Rosa කියන දර්ශීය උප ගණයට .
රෝස විශේෂ කිහිපයක් නම් : 
 1. Cabbage Rose (Rosa centifoli
 2. Tea Rose (Rosa odorata )
 3. Chinese Rose (Rosa chinensis )
 4. California Wild Rose (Rosa californica)

කැලිෆෝර්නියාවේ  මිදුලේ රෝස






රෝස වලට වෙළද පොළේ ඇත්තේ අධික ඉල්ලුමක්. රෝස වගාකර අපනයනය කරන ප්‍රධාන රට ඉක්වදෝරයයි. දෙවන තැන ගන්නේ කොලොම්බියාව. අපේ රටේ කදුකරයේත් කොච්චර හොඳට රෝස වැවෙනවද ?

මනාලියන්ගේ මල් කලඹටත් වැඩිපුරම ඉල්ලන්නෙ රෝස. හැබැයි සමහර මනාලියන් හැඩගන්වන අය රෝස මල් කළඹට මුදල් අරන් අන්තිමේදී දෙන්නෙ අරලිය මල් හරි වෙන මොනවා හරි. අන්තිම මොහොතෙ එපා කියන්නය.

Thursday, August 9, 2018

හොඳම මිතුරා සමග ජීවිත කාලයක්- 01 .



හොඳම මිතුරා සමග ජීවිත කාලයක්- 01 .



සැබවින්ම  සතුන් සහ මිනිසුන් අතර ඇතිවන  බැඳීම් කෙතරම් මන බඳින සුළු ද යන්න අපට කියා දුන්නේ මේ මිතුරන්ය. එවැනි මිතුරු මිතුරියන් ගණනාවකගේ ඇසුර මට මගේ ගෙවී ගිය ජීවිත කාලය තුලදී හිමි කර ගැනීමට  හැකි විය. මා මේ ඔබට කියන්න යන්නේ ඔවුන් පිලිබඳ කතාන්තරයයි. ඒ ලබැඳි මිතුරන්ගේ කතාන්තරයයි. විටෙක උස් හඬින් බුරමින් ද තවත් විටෙක අපේ ඇඟට පනිමින් ලෙව කමින්  ද වරෙක සිහින් හඬින් කෙඳිරි ගාමින් ද ඔවුන් අප වෙත දැක්වූ ලෙන්ගතුකම මිනිස් මිතුරන්ගෙන් බොහෝ විට ලැබී නැත.

මට මතක ඇති කුඩා කාලයට පියමං කළහොත් සිතේ ඇදී යන සොඳුරු මතකය නවතින්නේ හිමවන් සුදු පැහැති බූල් සහිතව  සිටි බලු සුරතලා ටාසන් ළඟය ය. එකල මගේ වයස හරියටම මතක නැතත් අවුරුදු පහට මදක් වැඩි බව සිහියට නගා ගත හැකිය. ඇත්තෙන්ම ටාසන් සුරතල් බව්වෙක් විය. ටාසන් කුමන ප්‍රභේදයකට අයත් බල්ලෙක්දැයි මට අදහසක් නැත. කෙසේ නමුත් ඔහු ආදරණීය බව්වෙකි. සුදු බූල් සහිත වල්ගය වනමින්,කැරකෙමින්, අප සමග සෙල්ලම් කරමින් ගත කළ ඒ අතීතය සැබවින්ම සොඳුරුය. අපේ සිඟිති සිත් තුල කුඩා දෙයකින් පවා ලබන අපමණ සතුට මිස දුක් ගැනවිලි හා පසුතැවිලි නොවීය.

වරක් ටාසන් සෙල්ලමට කළ සැපීමක් නිසා මගේ කකුලේ සියුම් සීරීමක් ඇතිවූ බව මතක තිබේ. එදා ඒ සීරීමට කල ප්‍රතිකාරය මුරුංගා පොතු හා හුණු අඹරා ගෑමය. අද මෙන් එන්නත් කිරීමට රැගෙන ගිය බවක් මතක නැත. බල්ලන්ට ද එන්නත් ලබා දුන් බවක් මතක නැත. කෙසේ නමුත් ටාසන් ට ඒ මොහොතේ ජාල භීතිකාව තිබී නැත. ඒ නිසා මම  අදත් ජීවත් වෙමි. එකල ජල භීතිකාව සඳහා දෙන ලද එන්නත රෝහලකදී දින 21ක් බුරිය වටා විදින ඉතා වේදනා කාරී තත්වයක් බව අම්මාගෙන් දැන ගතිමි.

ඒ ඉරණම්සහගත සැදෑවේ බටහිර අහසින් නිදිබරව බැස යන හිරු තම මළානික රැස් දහර මිදුල පුරා විසුරුවමින් තිබිණ. මිදුලේ සෙල්ලම් කරමින් සිටි අපේ ඇගට ඒ හිරුරැස් වැදී මළකඩ පැහැයක් ගැනිණ . ටාසන් ද අප සමග මිදුලේ විය. එත් වෙනදා තිබු කෙළිලොල් ගතිය ඔහුගෙන් දිස් නොවූ අතර ඔහු හති ලමින් ලැග සිටියා මතකය." අද ටාසන් ගේ ඇස් රතුවෙලා " ආත්තම්මා කීවාය.

ඊයෙ සිමෙන්ති ගෙදර බල්ලා මෙයාට හැපුවා නේද ?" මුත්තන්ඩී විමසිලිමත් විය.

 "සිමෙන්ති ගෙදර " නමින් හැඳින්වුයේ නිවාස කිහිපයකට ඈතින් පාර අයිනේ පිහිටා තිබු නිවසකි.
"මිනිස්සු බල්ලන්ට පිස්සු හැදුනම අත ඇරල දානවා " අම්මා කීවාය.

එදින අඳුර ගලා ඒමත් සමග ටාසන්ගේ තත්වය නරක අතට හැරෙන බව පෙනුනි. අම්මා ඔහු දම්වැලින් ගැටගසා නිවසේ දකුණු පසින් වූ විශාල මඩුවේ එක් පසෙක රඳවා තැබුවාය. ඔහු කෑම බීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් ශක්තියේ අඩුවක් නොපෙනුණි.

පසුවදා වන විට තත්වය උග්‍ර අතට හැරී තිබුණි. ටාසන් විශාල වශයෙන් නොසන්සුන් විය. දම්වැල අදිමින් කඩා ගෙන යාමට තත් කළේය. තවත් විටෙක අප්‍රාණිකව වැතිර සිටියේය.

අපේ වතුර බොන ලිඳ පිහිටා තිබුනේ නිවස ඉදිරි වම්පස කෙලවරකය. එතැන් සිට වතුර බාල්දි හා කළ වලට පුරවා නිවසේ දකුණු පස මඩුව අසලින් නිවසට ගෙන ආ යුතු විය. බොහෝ විට මේ වතුර ගෙන ඒමේ කටයුත්ත ඉටුකළේ මුත්තන්ඩි ය . නමුත් එදින අම්මා වතුර බාල්දියක් රැගෙන එතනින් එනවිට ටාසන්ට වතුර ස්වල්පයක් විසි කර තිබේ. ඔහු එයින් බොහෝ නොසන්සුන් විය. ඔහුට ජලභීතිකාව වැළදී  ඇති බව වැඩිහිටියෝ මෙයින් තහවුරු කරගත්හ. 
අම්මා ඉතා අපහසුවෙන් නමුත් වඩාත් පරීක්ෂාකාරීව තවත් දම්වැලක් රැගෙන ඉනිමගින් උඩට නැග ටාසන්ගේ කරට එය දැමුවාය. ඒ වෙලේ අපට ගෙය තුලටම වී සිටීමට නියම විය.

"මිනිස්සු පිස්සු බල්ලෝ ලිහළ යැව්වට අපිට එහෙම කරන්න බෑ " අම්මා නෝක්කාඩු ස්වරයෙන් කීවාය.

එදින ඒ අවාසනාවන්ත රාත්‍රිය එළඹියේ අප සිතා සිටියාටත් කලිනි. ඒ රාත්‍රියේ මාමා "බලු වබරා " කැඳවා ගෙන ආවේය. පොලිස් නිල ඇඳුමක් වැන්නක් ඇඳ සිටි ඔහු මා දුටුවේ නිවසේ ඉදිරිපස පඩියෙන් ගොඩවනු පමණය. ඔහු අත තුවක්කුවක් විය. ඉන් පසු අපට නිවෙස තුළට වී සිටීමට නියම වුයෙන් අපට අසන්නට තිබුනේ ශබ්ද පමණය. රාත්‍රී නිහඬ වා තලය දෙදරා නැගුණු වෙඩි හඬ ටාසන්ගේ දුක්බර අවසානය සනිටුහන් කරමින් අපේ ඇස් වලට කඳුළු නංවමින් දෙසවන් තුලට ඇතුල් විය. නැවතත් සෝබර නිශ්ශබ්ද තාවය රාත්‍රිය අරක් ගත්තේය.

පසු දින උදේ පාන්දර ගෝනියක දැවටු ටාසන්ගේ නිසල සිරුර මිහිදන් කිරීමට වත්ත පහළට ගෙන ගියේ මුත්තන්ඩීය. එම දසුන තවමත් මගේ මතකයේ හොඳින් ඇඳී තිබේ. ටාසන්ගේ සුදු බූල් වලින් පිරුණු වලිගය ගෝනියේ කෙලවරකින් පහළට එල්ලෙමින් තිබිණි.

වෙන තැන් වලින් නම් බලුවබරා බල්ලගේ වලිගෙ  කපා ගෙන යනවා "

ඒත් ටාසන්ගේ වලිගය කපා ගෙන නොගියේ ඇයිද යන්න මට පැහැදිළි නොවීය. වලිගය ගෙන යන්නේ කුමකටද කියා මා එදා අම්මාගෙන් ඇසුවේත්  නැත.

ටාසන් ලැග   සිටි ස්ථානය හා ඔහු සතුව තිබු අඩුම කුඩුම එකල ගිනි වතුර නමින් හැඳින්වූ විෂබීජ නාශකයක් දමා ,පසුව භූමිතෙල් දමා ගිනි තබන ලදී.  ඒ ගිණිදැල් ටිකකින් නිවී ගියේ ටාසන් පිලිබඳ මතකය පමණක් අප සිත් තුළ ඉතිරි කරමිනි.  එහෙත් දයාබර මිතුරාගේ වියෝවෙන් හද නැගුණු  ගිනි තවමත් දැල්වී තිබෙන බවට මේ සටහන් සාක්ෂි වෙයි.

එදා අද මෙන් නිවැසියන් වන අප සැමට එන්නත් ලබා දීමක් නොවීය. වාසනාවට අපි කිසිවෙකුත් ජලභීතිකා රෝගයට ගොදුරු වුවේ ද නැත. අප කුඩා කල සිදුවූ සිද්ධීන්, පුද්ගලයින්, සතුන් ඇතුළු සියළු දේ  බොහෝවිට මතකයේ තිබෙන්නේ නෙත් කැමරාවෙන් රූපගතවි සිත් රූප ඇල්බමයේ තැන්පත් වූ අයුරිනි.  එකල අද මෙන් ඕනෑම වෙලාවක ඡායාරූප ගැනීමේ තාක්ෂණයක් නොවීය. කැමරා සතු කර ගත හැකිව තිබුනේ තරමක් මිළ මුදල් තිබුණු උදවියටය.  ඒ නිසා ටාසන්ගේ තබා අත්තම්මාගේ හෝ මුත්තන්ඩී ගේ ඡායා රූපයක් අද අප සතුව නැත.

Photo by Rob Wingate on Unsplash

Sunday, August 5, 2018

පියඹා ගිය සුරතල් ගිරවාට





රන් කුඩූ තැනුවේ නැත නුඹට 
යකඩ කම්බි කුඩුවක් මිස 
කූඩු කර දුක් දෙන්නට 
ඇවැසි වූයේ නැත අපට 
ඒත් ආගන්තුක නුඹ 
එදා හිමිදිරි පාන්දර පැමිණ 
රෙදි වැලේ ලැග කතා කල විට 
කෙලෙස අත හරින්නද 
සතුරන් රැසක් අතරට 
එදා සිට අප ළඟ 
එදා අතදරු අප පුංචි පුතු
තරුණ විය එලඹුන 
ඒ වසන්තය තෙක්ම අප වෙත හිඳ 
සිටියා ඇතැයි සිතුණිද 
නැතිනම් සෙනෙහස අඩුවීද 
අපෙන් නුඹට 
ඉසිඹු නොලැබම අප 
යන විට දිවිමඟ 
කටුක ගමනක 
නුඹ හා සතුටින් දොඩමළු වෙන්නට 
කාලය කෙසේ සොයනෙම්ද
අනේ ! නුඹ කූඩුව හැර 
පියා සැලුවා ආපසු නොබලාම 
දුකින් මුසපත් වී ගෙන 
දිවූ මුත් නුඹ පසුපස 
ඒත් ...නුඹ ආපසු නොබලාම
හැර ගියා අප ද 
අප නිවස ද ..
වෙලේ දොලේ පවනේ කොතැනක     වේවා 
කැලේ තිබෙන කොයි දේවත් රස        වේවා 
රැලේ නුඹට නුඹේ අයිතිය ඇතී            වේවා 
කුලේ රකින්නට ඉඩකඩ               සැලසේවා