සමු ගැනීම්
ජීවිතය කියන්නේ හමුවීම් ...වෙන්වීම්.....
ගුරු ජීවිතය ගෙවද්දී හැම ජුලි මාසේ අන්තිමේදී ම සමුගැනීමක් ආවා. කෙටි කාලයකට මේක අප්‍රේල් මුලටත් වැටුණා. මේ සමුගැනීම තමයි උසස් පෙළ සිසුන් වසර දෙකක් අපිත් එක්ක ඉඳලා පාසලින් ඉවත් වීම.
ඉස්සර නම් ළමයි අවුරුදු දෙක දිගටම පාසල් ආවා. පස්සෙ පස්සේ ළමයි දහතුන් වන ශ්‍රේණියේදී පාසල් එන්නෙ යලට මහටනෙ. ළමයින්ට හරියට උපකාරක පන්ති ඕන උනානේ. ඒවායෙ "දේශකයෝ " අන්තිම අවුරුද්දේ දවස පුරාම දේශනා කරන්න පටන් ගන්නවනේ.
කොහොම උනත් දරුවො මේ සමු දෙන දිනේදී හරිම සංවේදියි. සමහරු අඬල තමයි යන්නේ. හැම දරුවෙක්ම දැරිවියක්ම අපේ දරුවො කියල තමයි හැමදාම හිතුනේ. අපි ඔවුන්ට ඉත සිතින්ම යහපත ප්‍රර්ථනා කළා.
ඉතින් එක් සුවිශේෂී දැරියක් හිටිය. ඈ තරමක් නිර්භීත දැරියක්. මේ හේතුවෙන් ඇයට කරදර බාධක වලට මුහුණ දෙන්නත් සිදුවුණා මතකයි. ඈ ඇතුළු ඒ වසරේ දරුවන් මේ විදියට සමුගත් දිනයේ සංවේදී වූ මා ලියු පදවැලක් තමයි මේ.
ඔබ මා දයාබර සිසුවියයි
මා ඔබේ ගුරු තුමියයි
විදු පියසින් ඔබ අද නික්ම යයි
මේ අවසන් ඔවා මිණි කැටය යි //
මුව කමලත මුදු බව රැදුනැයි
දිවි ගමනෙදි ඔබ හද සැලුනැයි
උණු කදුළින් නිසි පල නැතිමැයි
නුවණින් සැම විමසිය යුතුමැයි
මේ පුර නෙක වීසිතුරු බොහොමැයි
එහි ඇතුළත විස කටු ගහණයි
පා පොඩි පැකිළී බිම වැටුනැයි
පිවිතුරු හද රැක ගත යුතුමැයි
ඔබ මා දයාබර සිසුවියයි
මා ඔබේ ගුරු තුමියයි
විදු පියසින් ඔබ අද නික්ම යයි
මේ අවසන් ඔවා මිණි කැටය යි
මා ඔබේ ගුරු තුමියයි
විදු පියසින් ඔබ අද නික්ම යයි
මේ අවසන් ඔවා මිණි කැටය යි
ඒක සදාකාලික ඔවදනක් කියල මට හිතෙනවා. ඒ සමුගත් සමහර දරුවෝ මුහුණු පොතෙන් ආයෙත් දකිනවා. එවිට සතුටක් හීනියට හිතේ මෝදු වෙනවා. ජීවිතේ මේ සැඳෑ යාමයේ පාළුවට එයින් ජීවයක් අරන් එනවා.
Photo by Belinda Fewings on Unsplash
Photo by Belinda Fewings on Unsplash
No comments:
Post a Comment