Thursday, August 9, 2018

හොඳම මිතුරා සමග ජීවිත කාලයක්- 01 .



හොඳම මිතුරා සමග ජීවිත කාලයක්- 01 .



සැබවින්ම  සතුන් සහ මිනිසුන් අතර ඇතිවන  බැඳීම් කෙතරම් මන බඳින සුළු ද යන්න අපට කියා දුන්නේ මේ මිතුරන්ය. එවැනි මිතුරු මිතුරියන් ගණනාවකගේ ඇසුර මට මගේ ගෙවී ගිය ජීවිත කාලය තුලදී හිමි කර ගැනීමට  හැකි විය. මා මේ ඔබට කියන්න යන්නේ ඔවුන් පිලිබඳ කතාන්තරයයි. ඒ ලබැඳි මිතුරන්ගේ කතාන්තරයයි. විටෙක උස් හඬින් බුරමින් ද තවත් විටෙක අපේ ඇඟට පනිමින් ලෙව කමින්  ද වරෙක සිහින් හඬින් කෙඳිරි ගාමින් ද ඔවුන් අප වෙත දැක්වූ ලෙන්ගතුකම මිනිස් මිතුරන්ගෙන් බොහෝ විට ලැබී නැත.

මට මතක ඇති කුඩා කාලයට පියමං කළහොත් සිතේ ඇදී යන සොඳුරු මතකය නවතින්නේ හිමවන් සුදු පැහැති බූල් සහිතව  සිටි බලු සුරතලා ටාසන් ළඟය ය. එකල මගේ වයස හරියටම මතක නැතත් අවුරුදු පහට මදක් වැඩි බව සිහියට නගා ගත හැකිය. ඇත්තෙන්ම ටාසන් සුරතල් බව්වෙක් විය. ටාසන් කුමන ප්‍රභේදයකට අයත් බල්ලෙක්දැයි මට අදහසක් නැත. කෙසේ නමුත් ඔහු ආදරණීය බව්වෙකි. සුදු බූල් සහිත වල්ගය වනමින්,කැරකෙමින්, අප සමග සෙල්ලම් කරමින් ගත කළ ඒ අතීතය සැබවින්ම සොඳුරුය. අපේ සිඟිති සිත් තුල කුඩා දෙයකින් පවා ලබන අපමණ සතුට මිස දුක් ගැනවිලි හා පසුතැවිලි නොවීය.

වරක් ටාසන් සෙල්ලමට කළ සැපීමක් නිසා මගේ කකුලේ සියුම් සීරීමක් ඇතිවූ බව මතක තිබේ. එදා ඒ සීරීමට කල ප්‍රතිකාරය මුරුංගා පොතු හා හුණු අඹරා ගෑමය. අද මෙන් එන්නත් කිරීමට රැගෙන ගිය බවක් මතක නැත. බල්ලන්ට ද එන්නත් ලබා දුන් බවක් මතක නැත. කෙසේ නමුත් ටාසන් ට ඒ මොහොතේ ජාල භීතිකාව තිබී නැත. ඒ නිසා මම  අදත් ජීවත් වෙමි. එකල ජල භීතිකාව සඳහා දෙන ලද එන්නත රෝහලකදී දින 21ක් බුරිය වටා විදින ඉතා වේදනා කාරී තත්වයක් බව අම්මාගෙන් දැන ගතිමි.

ඒ ඉරණම්සහගත සැදෑවේ බටහිර අහසින් නිදිබරව බැස යන හිරු තම මළානික රැස් දහර මිදුල පුරා විසුරුවමින් තිබිණ. මිදුලේ සෙල්ලම් කරමින් සිටි අපේ ඇගට ඒ හිරුරැස් වැදී මළකඩ පැහැයක් ගැනිණ . ටාසන් ද අප සමග මිදුලේ විය. එත් වෙනදා තිබු කෙළිලොල් ගතිය ඔහුගෙන් දිස් නොවූ අතර ඔහු හති ලමින් ලැග සිටියා මතකය." අද ටාසන් ගේ ඇස් රතුවෙලා " ආත්තම්මා කීවාය.

ඊයෙ සිමෙන්ති ගෙදර බල්ලා මෙයාට හැපුවා නේද ?" මුත්තන්ඩී විමසිලිමත් විය.

 "සිමෙන්ති ගෙදර " නමින් හැඳින්වුයේ නිවාස කිහිපයකට ඈතින් පාර අයිනේ පිහිටා තිබු නිවසකි.
"මිනිස්සු බල්ලන්ට පිස්සු හැදුනම අත ඇරල දානවා " අම්මා කීවාය.

එදින අඳුර ගලා ඒමත් සමග ටාසන්ගේ තත්වය නරක අතට හැරෙන බව පෙනුනි. අම්මා ඔහු දම්වැලින් ගැටගසා නිවසේ දකුණු පසින් වූ විශාල මඩුවේ එක් පසෙක රඳවා තැබුවාය. ඔහු කෑම බීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් ශක්තියේ අඩුවක් නොපෙනුණි.

පසුවදා වන විට තත්වය උග්‍ර අතට හැරී තිබුණි. ටාසන් විශාල වශයෙන් නොසන්සුන් විය. දම්වැල අදිමින් කඩා ගෙන යාමට තත් කළේය. තවත් විටෙක අප්‍රාණිකව වැතිර සිටියේය.

අපේ වතුර බොන ලිඳ පිහිටා තිබුනේ නිවස ඉදිරි වම්පස කෙලවරකය. එතැන් සිට වතුර බාල්දි හා කළ වලට පුරවා නිවසේ දකුණු පස මඩුව අසලින් නිවසට ගෙන ආ යුතු විය. බොහෝ විට මේ වතුර ගෙන ඒමේ කටයුත්ත ඉටුකළේ මුත්තන්ඩි ය . නමුත් එදින අම්මා වතුර බාල්දියක් රැගෙන එතනින් එනවිට ටාසන්ට වතුර ස්වල්පයක් විසි කර තිබේ. ඔහු එයින් බොහෝ නොසන්සුන් විය. ඔහුට ජලභීතිකාව වැළදී  ඇති බව වැඩිහිටියෝ මෙයින් තහවුරු කරගත්හ. 
අම්මා ඉතා අපහසුවෙන් නමුත් වඩාත් පරීක්ෂාකාරීව තවත් දම්වැලක් රැගෙන ඉනිමගින් උඩට නැග ටාසන්ගේ කරට එය දැමුවාය. ඒ වෙලේ අපට ගෙය තුලටම වී සිටීමට නියම විය.

"මිනිස්සු පිස්සු බල්ලෝ ලිහළ යැව්වට අපිට එහෙම කරන්න බෑ " අම්මා නෝක්කාඩු ස්වරයෙන් කීවාය.

එදින ඒ අවාසනාවන්ත රාත්‍රිය එළඹියේ අප සිතා සිටියාටත් කලිනි. ඒ රාත්‍රියේ මාමා "බලු වබරා " කැඳවා ගෙන ආවේය. පොලිස් නිල ඇඳුමක් වැන්නක් ඇඳ සිටි ඔහු මා දුටුවේ නිවසේ ඉදිරිපස පඩියෙන් ගොඩවනු පමණය. ඔහු අත තුවක්කුවක් විය. ඉන් පසු අපට නිවෙස තුළට වී සිටීමට නියම වුයෙන් අපට අසන්නට තිබුනේ ශබ්ද පමණය. රාත්‍රී නිහඬ වා තලය දෙදරා නැගුණු වෙඩි හඬ ටාසන්ගේ දුක්බර අවසානය සනිටුහන් කරමින් අපේ ඇස් වලට කඳුළු නංවමින් දෙසවන් තුලට ඇතුල් විය. නැවතත් සෝබර නිශ්ශබ්ද තාවය රාත්‍රිය අරක් ගත්තේය.

පසු දින උදේ පාන්දර ගෝනියක දැවටු ටාසන්ගේ නිසල සිරුර මිහිදන් කිරීමට වත්ත පහළට ගෙන ගියේ මුත්තන්ඩීය. එම දසුන තවමත් මගේ මතකයේ හොඳින් ඇඳී තිබේ. ටාසන්ගේ සුදු බූල් වලින් පිරුණු වලිගය ගෝනියේ කෙලවරකින් පහළට එල්ලෙමින් තිබිණි.

වෙන තැන් වලින් නම් බලුවබරා බල්ලගේ වලිගෙ  කපා ගෙන යනවා "

ඒත් ටාසන්ගේ වලිගය කපා ගෙන නොගියේ ඇයිද යන්න මට පැහැදිළි නොවීය. වලිගය ගෙන යන්නේ කුමකටද කියා මා එදා අම්මාගෙන් ඇසුවේත්  නැත.

ටාසන් ලැග   සිටි ස්ථානය හා ඔහු සතුව තිබු අඩුම කුඩුම එකල ගිනි වතුර නමින් හැඳින්වූ විෂබීජ නාශකයක් දමා ,පසුව භූමිතෙල් දමා ගිනි තබන ලදී.  ඒ ගිණිදැල් ටිකකින් නිවී ගියේ ටාසන් පිලිබඳ මතකය පමණක් අප සිත් තුළ ඉතිරි කරමිනි.  එහෙත් දයාබර මිතුරාගේ වියෝවෙන් හද නැගුණු  ගිනි තවමත් දැල්වී තිබෙන බවට මේ සටහන් සාක්ෂි වෙයි.

එදා අද මෙන් නිවැසියන් වන අප සැමට එන්නත් ලබා දීමක් නොවීය. වාසනාවට අපි කිසිවෙකුත් ජලභීතිකා රෝගයට ගොදුරු වුවේ ද නැත. අප කුඩා කල සිදුවූ සිද්ධීන්, පුද්ගලයින්, සතුන් ඇතුළු සියළු දේ  බොහෝවිට මතකයේ තිබෙන්නේ නෙත් කැමරාවෙන් රූපගතවි සිත් රූප ඇල්බමයේ තැන්පත් වූ අයුරිනි.  එකල අද මෙන් ඕනෑම වෙලාවක ඡායාරූප ගැනීමේ තාක්ෂණයක් නොවීය. කැමරා සතු කර ගත හැකිව තිබුනේ තරමක් මිළ මුදල් තිබුණු උදවියටය.  ඒ නිසා ටාසන්ගේ තබා අත්තම්මාගේ හෝ මුත්තන්ඩී ගේ ඡායා රූපයක් අද අප සතුව නැත.

Photo by Rob Wingate on Unsplash

No comments:

Post a Comment