Wednesday, August 26, 2020

මගේ ප්‍රථම ඇමරිකානු සංචාරය 04 - Road Trip – Day 01

 


                Stone Mountain දකුණු මුහුණතේ ඇති ලෝකයේ විශාලතම උඩට මතුවූ                                      කැටයම පසුබිමේ 

චුටි පුතාත් නදී දුවත් කල් තියාම අප සැම සඳහා සතියක සංචාරයක් සැලසුම් කරලා තිබුණා. මෙහි මං Road Trip ලෙස දක්වා තිබෙන්නේ එම සංචාරයේ විස්තර


අපේ චාරිකාව ඇරඹෙන්නේ සැප්තැම්බර් 8 දා. එදා දකුණු කැරොලයිනාවට මැතිව් කුණාටුව ලඟා වෙමින් තිබුණා. ප්‍රාන්ත රජය කුණාටුව නිසා හානිවෙන්න ඉඩ තිබෙන ප්‍රදේශ වල ජනතාවට නිවෙස් අතහැර ඉවත්වෙන්න කියලා දිගටම අනතුරු ඇඟවීම් කරමින් අවවාද දුන්නා. අපි හිටිය නිවාස සංකීර්ණය අනතුරින් බැහැර ප්‍රදේශයක් ලෙසයි සැලකුවේ. උදේ 6.00 වනවිට අපි ගමන පිටත්වෙන්න එළියට බසිනකොටම මහා විශාල වැස්සක් සමග තද සුළං හමන්න පටන් ගත්තා. ගමනට වාහනයක් වෙනම කුලියට අරන් තිබුණා. අපි වැස්සේම වාහනයට අවශ්‍ය කළමණාද  පටවලා ඉන්පසු එයට ගොඩවී 6.30ට අපේ සංචාරය  ආරම්භ කළා . ටික වෙලාවකින් අපි කුණාටුවෙන් ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරමින් සිටියා.  උදේ 8.00 විතර වෙද්දී ආහාරයේ අවශ්‍යතාවය තදින් දැනෙමින් තිබුණා. ගෙදරින් ආහාර පිළියෙළ කරගෙනයි ගිහින් තිබුණේ. උදෑසන ආහාරය සඳහා පැයක පමණ නතර වීමක්  සිදු වුණා. දවල් වෙද්දී අපට ජෝර්ජියාවට ලඟා වෙන්න පුළුවන් වුණා. ජෝර්ජියාව ඇමරිකාවේ තවත් ප්‍රාන්තයක්. එක ප්‍රාන්තයකින්  වෙන එකකට ඇතුල් වෙන තැන් වල පිළිගැනුම් මධ්‍යස්ථානයක් (Welcome Center/Visitor Information Center) තියෙනවා   . අපි එහි ටික වෙලාවක් ගිමන් හැරියා. ආපසු ගමන ආරම්භ කර අතරමග මග ගිමන් හලකදී දිවා ආහාරය ගත්තා. සවස්  වරුවේ ස්ටෝන් මවුන්ටන් උද්‍යාන නැරඹීම තමයි යෙදී තිබුණේ.

ස්ටෝන් මවුන්ටන් උද්‍යානය පිහිටලා තියෙන්නේ ජෝර්ජියාවේ අගනුවර වන ඇට්ලන්ටා වල ඉඳලා සැතපුම් 15ක් දුරින්. තව දෙයක් කියන්න ඕන .ඇමරිකාව තාම සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන්නේ රාත්තල් ,අවුන්ස බර මැනීමට. දුර මැනීමට අඟල් ,අඩි ,සැතපුම්. නමුත් විද්‍යා අධ්‍යාපනයේදී අන්තර්ජාතික මිනුම් භාවිත වන බව චුටි පුතා කිව්වා.

ස්ටෝන් මවුන්ටන් උද්‍යානය අක්කර 3200ක් පුරා විහිදෙන ස්වභාවික සුන්දරත්වයක්. මෙය ක්වෝට්ස් මොන්සොනයිට් නම් ආග්නේය පාෂාණ වලින් නිර්මිත හුදකලා කන්දක්. එහි මුදුනත මුහුදු මට්ටමේ සිට අඩි 1686ක් උසින් ද එම ප්‍රදේශයේ බිම් මට්ටමේ සිට අඩි 825ක් උසින් ද පිහිටා තිබෙනවා. මෙහි ප්‍රසිද්ධියට හේතුවක් වන්නේ කන්දෙහි භූගර්භ විද්‍යාව පමණක් නොවේ.  එහි දකුණු මුහුණතේ ඇති ලෝකයේ විශාලතම උඩට මතුවූ කැටයම් දරණ  විශාල නිදහස් කැටයම් කැපුම්  තලය ද එයට හේතු වෙනවා. මේ කැටයමේ ඇත්තේ   නමින් 1861- 1865 දක්වා තිබු ප්‍රාන්ත රාජ්‍යයක  උසස් නිලයන් තුනක් දැරූ පුද්ගලයන් බව සඳහන් වෙනවා. 

මේ ප්‍රාන්තය දකුණු කැරොලයිනා ,මිසිසිපි,ෆ්ලොරිඩා,ඇලබාමා,ජෝර්ජියා,ලුසියානා හා ටෙක්සාස් යන ප්‍රාන්ත 7ක් ඇතුලත්ව තිබු වහලුන් සහිත ප්‍රාන්තයක් වශයෙනුයි තිබී ඇත්තේ (Confederate States of America in February 1861). 1958 දී ජෝර්ජියාව විසින් Confederate  රාජ්‍යයට ගරු කිරීමක් වශයෙන් මෙය මිළදී ගෙන මහජනතාව වෙනුවෙන් ස්ටෝන් මවුන්ටන් උද්‍යානය ලෙස විවෘත කර ඇත්තේ 1965 අප්‍රේල් 14 වනදා හරියටම ලින්කන් ගේ ඝාතනයෙන් අවුරුදු 100ක් පසුවන දවසේදී.  ජෝර්ජියාවේ වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇති ස්ථානය මෙය ලෙස සඳහන් වෙනවා. කන්දෙහි පාදයේ වටප්‍රමාණය සැතපුම් 5ක් පමණ වෙනවා. කන්ද මුදුනට  එහි බටහිර පැත්තෙන් පයින් යන මං පෙතෙන් හෝ ට්‍රෑම් රථයකින් යන්න පුළුවන්.

භූ ගර්භ විද්‍යාවට අනුව දැනට අවුරුදු මිලියන 300-350 කට පෙර කාබොනිපරස් අවදියේ දී අපලන්චියන් කඳුවල කොටසක් ලෙස  බ්ලූ රිජ් කඳු සමගම ස්ටෝන් මවුන්ටන් ඇතිවී තිබෙනවා. පෘථිවි කබොලෙන් උඩට මතුවූ මැග්මා ඝන වීමෙනුයි මේ කඳු ඇතිවී තිබෙන්නේ.

මෙහි කඳු මුදුනේ භුමි දර්ශනයේ විවෘත පාෂාණය හා ගල් පොකුණු තිබෙනවා. මෙහි සිට බැලූ විට ඇට්ලන්ටා ඩවුන් ටවුන් හි ඈත ක්ෂිතිජයත්, කෙනෙසෝ කන්දත් නිරන්තරයෙන් පෙනෙන අතර වඩාත් පැහැදිලි වායුගෝලයක් ඇතිවිට අපලන්චියන් කඳු ද පෙනෙනවා. සමහර දිනවල කඳු අවට අධික මිහිදුම් ඇති වෙන අවස්ථා වල අඩි කිහිපයක තරම් දුරක් තමයි දර්ශනය වෙන්නේ. අපි ගිය අවස්ථාවේ අවට මනස්කාන්ත දර්ශනය නිරාවරණය වී තිබුණා. ගල් පොකුණු සෑදී තිබෙන්නේ කාලයක් තිස්සේ ඇතැම් පාෂාණ කොටස් ඛාදනය වීම නිසයි. මේ ගල් පොකුණු වලට වැස්සෙන් තමයි ජලය පිරෙන්නේ. එම ජලයේ  Clam shrimp නම් කාවාටි වර්ගයක් හා Fairy shrimp  නම් Brachiopoda වර්ගයක් ද ජීවත් වෙනවා. මොවුන් දක්නට ලැබෙන්නේ වැසි සමයේ පමණයි.ක්‍රිප්ටෝබයෝසිස්(Cryptobiosis) නම් ක්‍රියාවලියක් මගින් මේ ජීවීන්ගේ කුඩා බිත්තර වසර ගණනක්, හිතකර තත්වයන් එළඹෙන තෙක් කාල තරණය කරනවා. මෙහි ඇති ඍතුමය පොකුණු තවත් වඳවීමේ තර්ජනයට ලක්වුණු ශාක විශේෂ වලට නිවහනක් වෙනවා.


                                                    කඳු  මුදුනේ සිට බැලූ විට 

කන්දේ පහළ බෑවුම් කොටස ගස්  වලින් යුක්ත වෙනවා. දුර්ලබ ජෝර්ජියා ඕක් ගස (Quercus georgiana) මුලින්ම සොයා ගැනුණේ කඳු මුදුණින් වුවත් නිදර්ශක කිහිපයක් මං  පෙත අයිනේත් කන්ද පාමුළ වන ගොමු වලත් දක්නට ලැබෙනවා. සරත් සමයේදී ඉතාම දුර්ලභ කන්ෆෙඩරේට් කහ ඩේසි (Confederate Yellow Daisy)මල් කන්දේ ගල් කුස්තුර අතර මෙන්ම ගස් සහිත ප්‍රදේශ වලත් මතු වෙනවා. මෙහි වනමල් වර්ග 120ක් පමණ ඇති අතර ඉන් බොහෝ ඒවා දකුණු අපලන්චියන් ප්‍රදේශ වලට ආවේනිකයි. ඇතැම්දුර්ලභ  ඒවා ප්‍රාන්තමය වශයෙන් ආරක්‍ෂිත කරනු ලැබ තිබෙනවා.




සෑම පාසල් වර්ෂයකම දහස් ගණන් සිසුන් භූ ගර්භ විද්‍යාව, පරිසර විද්‍යාව හා ඉතිහාසය හදාරන්න මෙහි එන බව සඳහන් වෙනවා. ඒ සඳහා කෞතුකාගාරයක් ද මෙහි පිහිටුවා තිබෙනවා.

මෙහි ළමයින්ට මෙන්ම වැඩිහිටියන් ටද විනෝදාස්වාදය ලැබීමට ඉලක්ක කර පිළියෙළ කර ඇති ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. දුම්රිය චාරිකාව, ට්‍රෑම් රථ,බෝට්ටු සවාරි ඇතුළු තවත් ක්‍රීඩා රැසක් ඒ අතර වෙනවා. ස්ටෝන් මවුන්ටන් දුම්රිය කඳු පාමුළ කන්ද වටේට ගස් අතරෙන් පරිසරයේ සුන්දරත්වය විඳ ගැනීමට සලස්වනවා. අපි දුම්රියේ සවාරියක් ද ගියා. එය හරිම විනෝද ජනකයි.  



                                                             ස්ටෝන් මවුන්ටන් දුම්රිය

අපි කඳු මුදුනට නැග්ග වෙලේ තද සුළං තිබුණා. අපි ටික වෙලාවක් කඳු මුදුණේ ගල් තලාවේ ගත කර පහළට බැස්සා. ඒ වෙනකොට අඳුර ගලා එමින් තිබුණා.

ඉන්පසු අපි නවාතැන් ගන්න ඇණවුම් කර තිබු හෝටලයට ලඟා වුණා. ඒ වනවිට ඒ ඇණවුම අවලංගු වී  වෙන කෙනෙක් හෝටල් කාමරය අරන් තිබුණා . අපට තව පැයක් පමණ පදවා ගෙන ගිහින් තමයි නවාතැනක් ලබා ගන්න පුළුවන් වුණේ. ඒ රාත්‍රිය විවේකීව ගතවුණා. 


Saturday, August 22, 2020

මගේ ප්‍රථම ඇමරිකානු සංචාරය 03 - විවේකීව දවස් කිහිපයක්

 

    

















State House 

සැප්තැම්බර් 29 දා උදේ පුතාල විශ්ව විද්‍යාලයට ගියා. අපි විවේක ගත්තා.

හරිම වැඩක් එදා වුණේ. ගෙදර fire alarm  එක නද දෙන්න වුණා. අපි නම් මොනවා වත් කෑමක් වත් පිළියෙළ කරන්න ගියේ නැහැ. අපි බය වෙලා පුතාලට ඇමතුම් ගත්තා. අපට ඇතුළට වී සිටින  ලෙස උපදෙස් දුන්නා. පසුව කවුරුන් හෝ දැන්වීම නිසා වෙන්න ඇති ගිනි නිවන ඒකකය ඇවිත් එය නිවැරදි කළා. නිවාස සංකීර්ණ වල එක යුනිට් එකක කිසියම් ගින්දර සම්බන්ධ අසාමාන්‍ය දෙයක් වුණොත් මේ විදියට හදිසි සීනු නද දෙනවලු. එහෙම උනාම ආරක්ෂාව උදෙසා ඉවත් වෙන්න වෙනවලු. එදා නම් යම් ඒ පද්ධතියේ කිසියම්  වරදක් නිසා එසේ වන්න ඇති බවයි තේරුණේ.

පසුදා උදෑසන අපි කුපර්ද  සමග ඇවිදින්න ගියා. ඒ නිවාස සංකීර්ණය අසලම උද්‍යානයට  තමයි අපි ගියේ. ඒ උද්‍යානයෙ ප්‍රදේශයට ආවේනික විශාල ගස් වගෙම මලින් පිරුනු නොයෙක් පදුරු වර්ගත් තිබුණා. කාලගුණය ඉතා සැපවත් බව දැනුනා. සෙල්සියස් අංශක 20ක පමණ උණුසුමක් තිබුණේ. ඇවිදලා ඇවිත් ස්නානය කරලා උදේ ආහාරය ගත්තා. ඉන්පස්සේ  Smoky Mountains  ගැන ඩොකියුමෙන්ටරියක් නැරඹුවා.

Apartment එකේ හිරවී ඉඳීම සමග ඇතිවෙන කම්මැලි කම යන්න චිත්‍ර අඳින්න පුළුවන් කිව්වම නදී දුවගේ පාට හා පින්සල් මට ලැබුණා. ඊළඟට මං කළේ අවට පරිසරය චිත්‍රයට නැගීම. මුලින්ම අඳින්න ගත්තේ දකුණු කැරොලයිනා විශ්ව විද්‍යාලය අපි සිටින නිවාස සංකීර්ණයට දර්ශනය වන ආකාරය. චිත්‍රයේ කොටසයි අවසන් කළේ. ඉතිරි කොටස සෙනසුරාදා අඳින්න කල් තියලා නදී දුවට දිවා ආහාරය පිළියෙළ කරන්න උදව් වුණා. දිවා ආහාරයෙන් පසු කෙටි නින්දක් අරන් නදී හා ඇගේ මව සමග සාප්පු සවාරියක් ගියා. ගෙදරට අවශ්‍ය සාමාන්‍ය දේවල් ටිකක් මිලදී ගත්තා.

















මගේ චිත්‍රය 

පසුද උදෑසන අවදිවීමෙන් පසු ඇවිදින්න ගිහින් ඇවිත් චිත්‍රය අවසන් කළා. දිවා ආහාරයෙන් පසු The State House of South Carolina  බලන්න ගියා. ලස්සනට පිළිවෙලට නඩත්තු කළ තැනක්. මෙය දකුණු කැරොලයිනා ප්‍රාන්ත රජයේ ආණ්ඩුව පවත්වන  ස්ථානය. මෙහි රාජ්‍ය සැසිවාර  පවත්වන ස්ථානයත් ආණ්ඩුකාර වරයාගේ හා සෙසු නිලයන්ගේ කාර්යාලත් පවතිනවා.

අපි ඒ අවට මනරම් ස්ථානවල ඉඳන් පින්තූර ගත්තා. එදාම අපි දකුණු කැරොලයිනා විශ්ව විද්‍යාල පරිශ්‍රයටත් ගියා. එය ඇත්තෙන්ම ගම්මානයක් තරම් විශාල භුමි ප්‍රදේශයක් පුරා පැතිරී ගිය එකක්. රාත්‍රී ආහාරයෙන් පසු බලු සුරතලෙකු පිලිබඳ කතාවක් බලලා නින්දට ගියා.

















University of South Carolina

මේ විදියට ඉදිරි දින කිහිපය ගෙවී ගියා.   එනම් ලංකාවත් මෙහෙත් අතර දිවා රෑ වෙනස නිසා අපිට මෙහේ රෑට නින්ද නොයාමත් දවල් කාලයේ අධික නිදිමත දැනීමත් කියන (Jetlag) තත්වයෙන් මිදිලා අපි අලුත් තත්වයට කෙමෙන් හැඩගැසෙමින් සිටියා. වරින් වර, Best Buy, Walmart, වගේ සාප්පු සංකීර්ණ වලට ගියා. විවිධ සාප්පු, රෙස්ටෝරන්ට් ආදිය එකට තියෙන විශාල shopping mall වලටත් ගියා. ඒවායේ එක් පැත්තක සිට අනික් පැත්තකට ගියොත් අතර මං වෙනවා. දුරකථන ඇමතුමක් දීල තමයි අනිත් පිරිස හොයා ගන්න වෙන්නේ. Best Buy එකෙන් මිත්‍ර පුතා කැමරාවක් මිළදී ගත්තා. ඉදිරි අපේ සංචාරවල ඡායාරුප ගන්න. Walmart එකෙන් මටත් අක්කාටත් අවශ්‍ය සුවඳ විලවුන් ගත්තා. ලංකාවේ කීල්ස් එකට කාගිල්ස් එකට හුරු අපට ඒ සාප්පු සංකීර්ණ හරිම විශාලයි කියල තේරුණා. කොහොමත් දුපතක හිරවෙලා ඉන්න අපිට මෙහි හැමදේම විශාල බව අමුතුවට දැනෙන්න ගත්තා. පාරවල් ඒ කියන්නේ Highways වල මං තීරු හයක් විතර තියෙනවා. වාහන මං තීරුවල සංයමයෙන් ධාවනය වෙනවා. නලා හඬවන්නේ අත්‍යවශ්‍ය අනතුරක් හඟවන්න විතරයි. හැම විටම මාර්ග සංඥා නිසි පරිදි ක්‍රියාත්මක වුණා. ට්‍රැෆික් පොලිස් භටයෝ හස්ත සංඥා දෙමින් ඉන්නවා නම් දැක්කේ නැහැ. අපි මෙහෙදී මෝටර් රථ වලට බයේ ඉඩ දෙනවා වුණත් එහේදී මෝටර් රථ අපට (මගීන්ට) බයේ ඉඩදෙනවා කියලයි මට පෙනුණේ. මෙයින් අදහස් වන්නේ නැහැ ඇමරිකාවේ රිය අනතුරු නැහැ කියල. බීමත්කම, අධික වේගය වගේ දේවල් නිසා රිය අනතුරු වෙනවා. අනතුරකදී වහාම අවශ්‍ය ප්‍රථමාධාර, රෝහල් ගත කිරීම් ආදියත් කඩිනමින් සිදුවෙනවා.

Tuesday, August 18, 2020

මගේ ප්‍රථම ඇමරිකානු සංචාරය - 02 සිහින ගමනක් සැබෑ වීම

 



















ඇත්තම කියනවා නම් පොඩි කාලේ භූ ගෝල විද්‍යාව හදාරණ කොට ගුරුතුමිය ඇමරිකානු මහාද්වීපය ගැන කියූ දේ, සිතියම විතරයි හිතේ තිබුනේ. ඒ ගුරුතුමිය ඇඩෝල්ෆස්ට්  මහත්මිය.  ඇය වැඩි වශයෙන් පාවිච්චි කළේ ඉංග්‍රීසි වචන. Mountain ranges, Appalanchian,  Rokeys….…. Himalayas ….Andes.... වගේ වචන තාම ඇහෙනවා වගේ.  ඊළඟට අමාරුවෙන් ඉංග්‍රීසි නව කතා කියවන කාලේ ටිකක් ඇමරිකාව ගැන කියෙව්වා. ඊළඟට විශ්ව විද්‍යාලයේදී ලෝකයේ බියෝම ගැන ඉගෙන ගනිද්දී ඇමරිකාවේ ප්රේයරිස් තණ බිම් ගැන කියෙව්වා. හැබැයි රුසියානු සාහිත්‍යට ඇළුම් කිරීමත් එක්ක වැඩිපුර හදවතේ ඇඳිලා තිබුණේ රුසියාවේ ස්ටෙප්ස් තණ බිම්. මැක්සිම් ගෝර්කිගේ මාකර් චුද්‍ර අමතක වන්නේ කෙසේද ? උපාධියෙන් පස්සේ වරින් වර ඇමරිකානු මධ්‍යස්ථානයට ගියා, පොත් පත් විමර්ශනයට. GRE වලටත් ටිකක් දවස් ලෑස්ති වුණා, යාළුවොත් එක්ක රැල්ලට. නමුත් ඒ සිහින ජීවන ගමනේ අනිකුත් ප්‍රශ්න සමග කාලයේ වැලි තලාවට යට වුණා. අද වගේ ලෝකය අතැඹුලක් වෙලා තිබුණේ නැහැ එදා. වර්ණ ඡායා රුපයක් පවා හිඟ කාලයක්. උසස් පෙළ දරුවන්ට ලෝකය ගැන උගන්වන්න පොත් සොයා ගත්තේ අමාරුවෙන්. කොළඹට ආවට පස්සේ බලපු ඉංග්‍රීසි චිත්‍රපටි තමයි අපිට ඇමරිකාව මොන වගේ ද කියන එක මුලින්ම පෙන්නුවේ. රුපවාහිණිය, පරිගණක හා අන්තර්ජාලයත් එක්ක අපිට ලෝකය විවර වුණා. ඒත් මේ කිසි දෙයක් මට නම් සංචාරය තරම් සිත් ගන්නේ නැහැ. සැබෑ සංචාර අත්දැකීම් ජීවිතය චමත්කාරයේ ගිල්වනවා. ඇවිද්ද පය දහස් වටී කියන්නේ කට කහනවට කියපු දෙයක් නෙවෙයි. අද ඒ හීන ලෝකය ඇත්තටම දකින්න අවස්ථාව උදා වෙන්නයි යන්නේ.

 

මේ වෙනකොට මං සේවයෙන් විශ්‍රාම අරන් තිබුණ නිසා විදේශ නිවාඩු අනුමත කර ගැනීමේ කරදරය ඉවර වෙලයි තිබුණේ. නැත්නම් ඒකට කාර්යාල ගණනේ යද්දී එකල විදේශ සංචාර එපා වෙනවා.

මාර්තු විසා අනුමත වුනත් අපේ ප්‍රථම ඇමරිකානු ගමන යෙදුනේ ඒ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. ගුවන් ප්‍රවේශ පත්‍ර ගත්තේ කොල්ලුපිටියේ Airtrav (Pvt) Ltd  ආයතනයෙන්. ඒ කාර්ය මණ්ඩලය සැලකිල්ලෙන් අපිට අවශ්‍ය විදියට යාම සහ ඒම සඳහා ප්‍රවේශ පත්‍ර හදල දුන්නා. කටුනායකින් අබුඩාබි වලටත් එතනින් ඇමරිකාවේ ඩලාස් වලටත්.  එතැනින් කොලොම්බියා ගුවන්තොටු පොළට අභ්‍යන්තර ගුවන් ගමනත් යෙදිලා තිබුණා. ආපසු ඒම දෙමසක කාලයකින් පසු ඒ ගමන් මග ඔස්සේම විය යුතුව තිබුණා.

මී ළඟ පියවර ගමන් මළු සුදානම් කිරීම. එක් අයෙකුට 23kg ගමන් මළු දෙකක් හා 7kg අත් ගමන් මල්ලක් ගෙනියන්න ඉඩ දී තිබුණා. අපිට අවශ්‍ය අමතර ඇඳුම් මිළදී ගන්න සාප්පු සවාරි වෙනුවෙන් දවසක් වැය කළා. මේස්,සපත්තු, ශීතලට ඔරොත්තු දෙන කබා ආදිය තමයි වැඩිපුර ගත්තේ. චුටි පුතාට, නදීට,  දෝනිට, සුපුන් පුතාට, ඔහුගෙ මව හා මල්ලිට  දෙන්න තෑගි මිළදී ගත්තා. ආස කෑම වර්ග සමහර ඒවා ගෙදර හැදුවා . හදල ලේබල් කරලා,අහුරා ගත්තා. සමහර කෑම, මිරිස් තුනපහ වගේ ඒවත් ලෑස්ති කර ගත්තා. ඇතැම් කෑම පපඩම්,කෝපි වගේ දේවල් මිළදී ගත්තා. අපේ දරුවන්ගේ පුංචිලා, නැන්දලා එහෙමත් කෑම ජාති හදලා එව්වා. මේ හැම දෙයක්ම පිළිවෙලකට ගමන් මළුවල අහුරා ගත්තා. අතේ ගෙනියන බැග් එකේ ඇඳුම් හා බෙහෙත් වර්ග එහෙම දා ගත්තා. කාන්තා අත් බෑගයේ මුහුණේ ගාන ක්‍රීම්, ලිප් බාම් එහෙම දා ගත්තා. අපිට විවිධ ඖෂධ ගෙන යන්න තිබුණා. ලොකු පුතා ඒවාට අවශ්‍ය නිර්දේශ ලියල දුන්නා. සෙම් අමාරුවලට අවශ්‍ය ප්‍රතිජීවක, උරණ ඖෂධ, උදරාබාධ වලට අවශ්‍ය ප්‍රතිජීවක, Gastritis වලට ඖෂධ, අසාත්මිකතා වලට ඖෂධ, හා අපි එදිනෙදා ගන්නා ඖෂධ ඒ ගොඩට අයත් වුණා.    

 

හීන මවාපු ඒ දිනය උදා වුණා. 2016 සැප්තැම්බර් 28 මධ්‍යම රාත්‍රිය පහුවෙලා තමයි ගුවන් ගමන ආරම්භ වෙන්න තිබුණේ. අපි ලොකු පුතාලට සමු දීලා ලොකුපිටිය අය්යා හා අක්කා සමග වෑන් රථයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට යන්න පිටත් වුණා රාත්‍රී අටට පමණ. ගමනට පැය තුනකට පෙර එහි ළඟාවී ඉන්න අවශ්‍යයි නේ?

ගුවන් තොටුපොළේදී අපේ ගමන් මළු කිරා බැලුවා නිසි බර තිබේද යන්න තහවුරු කර ගැනීමට. මුදල්ද ඇමරිකානු ඩොලර් බවට හරවා ගත්ත. අපේ ගුවන් යානයට අයත් දොරටු විවෘත වීමත් එක්ක අපි අදාළ පෝලිමේ ගිහින් ගමන් මළු (checked bags) බාරදීල ඒවාට අදාල රිසිට් පත් හා ටිකට් පත් ලබාගෙන  ආරක්ෂක පරීක්ෂා වලින් පසු අදාළ දොරටු කරා පියමැන්නා. අපේ ගමන්මළු ලබා ගන්න තිබුණේ ගමනාන්ත ගුවන් තොටු පොලේදී වීම හිතට ලොකු සහනයක් වුණා. ගුවන් යානය නිසි වෙලාවට මගීන් ඇතුල් කිරීම (Boarding)ඇරඹුවා. අපි අදාළ අසුන් වල ඉඳ ගත්තා. ගුවන් යානය බිම් පථය තුළින් ඇදී ගොස් අපේ සිත් ප්‍රමෝදයට පත් කරමින් අනන්ත අහස් තලයට පිවිසුණා. අපි මේ මුලින්ම යන්නේ අබුඩාබි වෙත. එතනින් තමයි ඇමෙරිකාවට යන්නේ. 


කටුනායක ගුවන් තොටුපළින් අපි ගුවන් ගත වුණේ 28 දාට  එළිවෙන්න තියල. අපි අබුඩාබි වෙත ලඟා වන විට එහෙට උදේ නමය වෙලා තිබුණා. අබුඩාබි වලදීම අපි ඇමරිකානු රේගු පරීක්ෂණයට ලක් වුණා. අපි කුමක් සඳහා ඇමරිකාවට යනවද කියලයි එම නිලධාරීන් ඇහුවේ. අපි ඒවාට අදාල පිළිතුරු දුන්න.

ඇමරිකාවේ නැගෙනහිර පැත්තේ තිබෙන ප්‍රාන්තයක් වන දකුණු කැරොලයිනා වල Dallas ගුවන් තොටුපොළට  තමයි අපිට ගොඩබහින්න තිබුනේ. ඒ වන විට චුටි පුතා හා ඔහුගේ බිරිඳ නදී දකුණු කැරොලයිනා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියට සුදානම් වෙමින්  සිටියා.

 

ඒ නිසා අපිට අබුඩාබි වලින් ඉන්පසු අපිට ඇමරිකාවේ ඩලස් ගුවන්තොටුපොළට යන්න ගුවන් ගතවෙන්න තිබුණා. එය පැය 16ක නොනවතින ගුවන් ගමනක්. යනවා යනවා ඉවරයක් නැහැ. සාගර වලට උඩින්, මහද්වීප හා වෙනත් ගොඩබිම් වලට උඩින් අපි ගියා. රුසියාවට උඩින් ග්‍රීන්ලන්තයට උඩින්, අත්ලාන්තික් සාගරයට උඩින් අඩි 35000 කටත් වඩා ඉහළින් අපි පියාසර කරන බව ආසනය ඉදිරිපස තිරයේ වැටුණා. එටිහාඩ් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඉතාම විනීතයි සුහදශීලීයි. ගමනේදී අපිට කිහිප වතාවක්ම ආහාර වේල් හා පාන වර්ග ජලය එහෙම ලැබුණා. එක දිගට ඉඳ ගෙන ඉන්න අමාරු නිසා අපි ඇතැම් විට නැගිට ඇවිදිමින් හිටියා. මට අසාත්මික ගතියක් මතුවී දිගටම කිවිසුම් ගියා. ඒ සඳහා ඖෂධ ගත්තා. එම තත්වය ටිකක් මග හැරුණා. අවසානයේ ඩලස් වල ගොඩ බහින කොට එහේ සවස 4.30 වී තිබුණා. ඩලස් ඉතා විශාල ගුවන් තොටුපළක් . ආසියාතික රටවල මීට කලින් සංචාරය කර තිබුණත්අපේ රටේ ඇති ගුවන්තොටුපළ හා සසඳන විට මේවා පිලිබඳ පුදුමයකුත් ඇති වුණා .

 

ඒ ඒ ගේට්ටු වලට යාමට බස්රිය,දුම්රිය වගේ ෂටල් සේවා ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපිට තිබුණේ අභ්‍යන්තර ගුවන් ගමනක්. ඒ ඩලාස් වල සිට කොලොම්බියා ගුවන් තොටුපළට. මොකද චුටි පුතාගේ තට්ටු නිවාස සංකීර්ණය තිබුණේ කොලොම්බියා කියන නගරය ආසන්නයේ.

 

අපි ඇමරිකානු ගුවන් සේවයේ ගුවන් යානයකින් පියාසැරිය ඇරඹුවා. පැයක් පමණ ගතවූ නමුත් ගුවන් යානය රවුමක් කැරකි නැවතත් ඩලාස් වලටම ගොඩ බෑවා. ඒ එහි ඇතිවූ දෝෂයක් හේතුවෙන්. අපේ ඇමරිකානු සංචාරය එයින්ම කෙළවර වෙන්නත් තිබුණා. නමුත් කාර්ය මණ්ඩලය අපිට කිසිවක් දැන්වුයේ නැහැ. ‘We have safely landed in Dallas again’ කියල විතරයි announce කළේ. ගොඩ බාන කොටම ගිනි නිවන රථ ආදී හදිසි සේවා ගුවන් යානය වට කර ගත්තා. කරදරයකින් තොරව ආරක්ෂිතව අපි ඒ ගුවන් යානයෙන් බස්සවලා රැදී සිටින තැනකට යැව්වා. ඉන් පැය එකහමාරකට  පමණ පසු වෙනත් ගුවන් යානයකින් අපි කොලොම්බියා වලට යැව්වා. අපි එහි ළඟා වන විට 29 දාට එළිවෙන්න ඇවිල්ල. චුටි පුතා හා නදී අපි ආදරයෙන් පිළිගත්තා. දිගටම අපි පණිවුඩ හුවමාරු කරගත් නිසා ඔවුන් කලබල වෙලා තිබුණේ නැහැ අපේ ප්‍රමාදය ගැන. ඒ හැර ගුවන් ගමන් track කරන්නත් පුළුවන්නේ. අපි ඔවුන් සමග ඔවුන් ජීවත් වූ තට්ටු නිවාස සංකීර්ණයට ගියා. චූටි පුතාලගේ සුරතල් බව්වා  කුපර් අපිව පිළිගත්තා.

එදා අපි නින්දට ගියේ එළි වෙන්න ලංවෙලා. 

© 2020 Malini Ganewatta

Thanks to Joey Csunyo for sharing their work on Unsplash


Saturday, August 15, 2020

මගේ ප්‍රථම ඇමරිකානු සංචාරය - 01 සංචාරක වීසා ලබා ගැනීම

 


 



















මේ 2020 අගෝස්තු මාසේ. 2016 අවුරුද්දෙ සැප්තැම්බර් 27,  මීට අවුරුදු හතරකට කට කලින් දවසක්. එදා තමයි අපි මුලින්ම ලෝකේ අනික් පැත්තේ තියෙන ඇමරිකා එක්සත් ජනපදයට යන්න පිටත් වුනේ. ඒ නිසා මට අද හිතුණා අපේ ඇමරිකා සංචාර ගැන සටහන් කරන්න පටන් ගත්තොත් හොඳයි කියල. සංචාරයේ දී හැකි හැම වෙලාවෙම daily journal  එක ලිව්ව නිසාත් ඒ ඒ තැන්වල දී ලැබුණු පත්‍රිකා හා   ඡායාරූප එකතුව සුරක්‍ෂිතව තාම තියෙන නිසාත් මේ වැඩේ මනසේ චිත්‍රයත් එක්කම ගොනු කරමින් ලියන එක අමාරු වෙන එකක් නැහැ. ඇත්තෙන්ම මං මේ සටහන් කටුවට ලියුවේ ගිය අවුරුද්දේ. එහෙම කරන්න උත්තේජනය සැපයුවේ ලක්මිණි විජේරත්න නංගි. ස්තුතියි නංගි ...හැබැයි ඔයා කිව්ව විදියට පොතක් ලියන්න නම් බැරි වේවි. පොත් ලිවීම ගැන එපා වුණේ ලියපු පොත් කඳු ගෙදර ගුල්ලෝ ගහමින් පවතිනු දකින්න අකමැති නිසා.

 

මේ ගමනට ඇත්තෙන්ම ලැස්ති වුණේ මාර්තු මාසෙටත් කලින් ඉඳල . ඒ කියන්නේ සංචාරක විසා හදා ගැනීමේ ඉඳලා. මෙහි ක්‍රියා මාර්ගය ඒ ඒ රටේ තානාපති කාර්යාලය අනුව වෙනස් වෙනවා. මෙහිදී ඔබට  ලැබෙන්නේ B2 වර්ගයේ විසා එකක්. අයදුම් කිරීම සඳහා පුරවන්න අවශ්‍ය වන form එක DS - 160. මෙය online පුරවන්න අවශ්‍යයි. ඉන්පසු එහි තහවුරු කිරීමේ පිටුවේ  මුද්‍රිත පිටපතක් ගන්න ඕන සම්මුඛ පරීක්ෂණයට ගෙනියන්න.  US රාජ්‍ය වෙබ් අඩවියෙන් ඒ සඳහා පිවිසෙන්න පුළුවන්. නිවැරදි ප්‍රමිතියේ ඡායා රූපයක් ද upload කරන්න අවශ්‍යයි. ඔබේ ගමන් බල පත්‍රයේ ඇමරිකාවේ ගත කරන කාලයෙන් ඔබ්බට මාස හයක් වලංගුව තිබෙන්නත් ඕන. ඉන් පසු මුදල් ගෙවල වීසා සම්මුඛ පරීක්ෂණය පිළියෙළ කර ගන්න ඕන.

අප සඳහා විසා ඉල්ලුම්පත ඉදිරිපත් කළේ චුටි පුතයි. ඒ සඳහා අවශ්‍ය මුදල් බැඳලා ආවේ තාත්තා. චුටි පුතා අපිව දැනුවත් කළා අවශ්‍ය ලියකියවිලි සුදානම් කරගන්න කියලා. එය ඕනෑවටත් වඩා සුදානම් වීමක් (Over prepared)විය යුතු වුණා. මුලින්ම සිංහලෙන් තිබුණු ලිය කියවිලි දිවුරුම් දුන් පරිවර්තක කෙනෙක් ලවා ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම. උප්පැන්න සහතික,විවාහ සහතිකය, දරුවන්ගේ උප්පැන්න සහතික, ඔප්පු, ව්‍යාපාරයක් කරනවා නම් ඒ සම්බන්ධ ලියකියවිලි, ග්‍රාම නිලධාරී සතික, රැකියාවක නිරත නම් ඒ බව සඳහන් ලිපි, නැවත සේවයට වාර්තා කරන්න අවශ්‍ය දිනය සඳහන් ලිපි, ආදිය. අපි විශ්‍රාමික බැවින් ඒ සම්බන්ධ ලියකියවිලිත් අවශ්‍ය වුණා. ඊ ලඟට අපි මෙහේට සම්බන්ධතා තිබෙන බව පෙන්වන ඡායාරූප හා ඇමරිකාවේ සිටින අපගේ දරුවන් හා අපි එකට සිටින අවස්ථා ඇතුළත් ඡායාරූප මේ ඇල්බමයට ඇතුළත් කළා. අපි මෙහේට ඇති බැඳීම පෙන්වන්න අපේ සුරතල් සතුන් සමග ගත් ඡායාරූප මෙන්ම ලොකු පුතා, ලේලිය හා දරුවන් සමග ගත් ඡායාරූපත් ඒකට ඇතුල් කළා. බැංකු ප්‍රකාශ අර ගත්තා.  මෙන්න මේ විදියට ෆයිල් හැදුවා.

1. මගේ තොරතුරු - මේකට මගේ උප්පැන්න සහතිකය, ඒක ඉංග්‍රීසි බසින්ම තිබුණ නිසා පහසු වුණා. මගේ විශ්‍රාම හැඳුනුම් පතේ පිටපතක්, බැංකු ප්‍රකාශන, ග්‍රාම නිලධාරී සහතිකය, එහි ඉංග්‍රීසි පරිවර්තනය , විවාහ සහතිකය එහි ඉංග්‍රීසි පරිවර්තනය

2. තාත්තා (අමරසිරි) ගේ ලිපි ලේඛන - මේකට අපට චුටි පුතා (මිත්‍ර) ඇමරිකාවට එන්න කියලා එවූ ඇරයුමේ පිටපතක් මුලින්ම දැම්මා. මගේ ෆයිල් එකට දැමූ අනිකුත් ලිපි වලට අනුරූප ඔහුගේ ලිපි දැම්මා. ඊට අමතරව ව්‍යාපාරය ලියාපදිංචි කළ සහතිකය එකතු කළා.

3. අපි ලංකාවට ඇති බැඳීම් පෙන්වීමට අදාළ තොරතුරු - මේකට ඔප්පු හා ඉංග්‍රීසි පරිවර්තනය, ලොකු පුතා (මේඝ) ගේ උප්පැන්න සහතිකය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය, ඔහුගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකය, ජල,විදුලි හා දුරකථන බිල්පත් ඇතුල් කළා.  අර ඇල්බමයත් මෙයට එකතු කළා.

4. මිත්‍ර ගේ තොරතුරු ඇතුලත් ෆයිල් එක - මෙහි මිත්‍ර  විසින් ඇමරිකානු කොන්සල්වරයාට ලියු ලිපිය මුලින්ම දැම්මා. අපි ඇමරිකාවට යන වියදම් දරණ අකාරය, අපි එහි නැවතී සිටින කාලය තුළ යැපෙන ආකාරය ආදී තොරතුරු හොඳින් පැහැදිළි කර තිබුණා. ඊට අමතරව ඔහු සහ බිරිඳ ගේ විශ්ව විද්‍යාල තොරතුරු, බැංකු ලිපි, ඔවුන්ගේ ගමන් බලපත් වල මුල් පිටු වල පිටපත්, මිත්‍රගේ උප්පැන්න සහතිකය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය මෙන්ම ඔවුන් එහි ගතකරන  ජීවිතයට අදාළ ඡායාරූප රැසක් ද ඇතුල් කර තිබුණා.

මාර්තු මාසේ දවසක තමයි විසා සම්මුඛ පරීක්ෂණය තිබුනේ. අපි සම්මුඛ පරීක්ෂණය සඳහා ඇමරිකානු තානාපති කාර්යාලයට ඇතුල් වුණා. මද චකිතයක් හිතේ නොතිබුණා යයි කියන්න බැහැ. අදාළ ඇඟිලි සලකුණු ගැනීම් ආදියට පසුව විසා නිලධාරියා ඉතාමත් සුහදශීලී විදියට අපෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. ඇමරිකාවේ දැන් ඉන්න අපේ දරුවන් දෙන්න ගැනයි අපි මෙතෙක් කර ඇති විදේශ සංචාර ගැනයි විතරයි ඇහුවේ. අපි ඒවාට ඍජු පිළිතුරු ලබා දුන්නා. එහිදී අපි දෙන්නට අවුරුදු පහකට සංචාරක විසා අනුමත වුණා . චුටි පුතායි නදී දුවයි  තමයි අපේ සංචාරයට මුල් වෙලා කටයුතු කලේ. අපි හතර දෙනෙක් ගමනට හිටියා. අපි දෙන්නයි, නදී දුවගේතාත්තායි අම්මයි ;  ඒ කියන්නේ ලොකුපිටිය අය්යා හා අක්කා යි. ඒ දෙන්නටත් අවුරුදු පහකට විසා ලැබුණා. විසා අනුමත වී දවස් තුනකින් නැවත තානාපති කාර්යාලයට ගිහින් විසා මුද්‍රාව තබා ඇති ගමන් බලපත්‍රය ලබා ගත්ත. 

© 2020 Malini Ganewatta

Thanks to Morning Brew for sharing this photo on Unsplash.


Wednesday, August 12, 2020

පොල් වරුණ

 


කොකොස් නුසිෆෙරා නම් ටිකක් අමුතුයි කියා 

කිව්ව හැටි මතක් වෙයි පන්තියෙදි ගුරු පියා 

පොල් මල් ද ගෙනත් විච්ඡේදනය කර  පියා 

කියා දුන්නා එදා මලට පෙති නෑ කියා 


මුහුදු බඩ මග දිග මගේ   එකල  යන  විටකදී 

පොල් ලෙලි වලේ 'සුවඳ' නහය අග රග දිදී 

පොල් ලෙල්ල තලන හඬ කණ ලඟම රැව් දිදී 

පෙක්ටින් දියවෙලා වෙන්වුණා පොල් කෙඳි 


පොල් කොළ ද පොල් පිති ද කොලපු මටොලු ද සොයා 

ඇවිද ගිය මතක තව නැතේ සිත හැර  පියා 

නවයක්ම පොල් අතුද නවම් මසටම කියා 

වියන හැටි පොල් අත්ත  කියා දුන්  නෑසියා


පොල් බෑය ගාන්නේ මෙන්න මෙහෙමයි කියා 

පොල් ගාපු කාලෙ දැන් ආපස්සටම        ගියා 

පොල් නැතුව තාම නම් හොද්ද රස නෑ   කියා 

පොල් කිරීම පිටි වෙලා රාක්කේ  ඇත    තියා 


පොල් ගෙඩිය බින්දාට නැකත හරියට තියා 

හැම නෙත්ම හැරෙන්නේ මනමාලි සොය සොයා 

අනාගත ජීවිතේ තීරණය දෙන   නියා

පොල් ගෙඩිය ඔයා නම් හරිම පුදුමයි මෙයා 


පොල් වතුර ටික බොන්න කෝප්පය කල් තියා 

තියාගෙන කුස්සියේ බලාගෙන උන් නියා 

මතක් කර තව ලංසු ඉහළින්ම තිය තියා 

ගසින් ගස සිඳිනවා පොල් වත්තෙ ලොකු මයා 


පොල් ගෙඩිය නිකන් ඔහෙ ගස් යටම  පැළ  වෙලා 

පොල් මදේ රස කරල කෑව හැටි සිහි වෙලා 

එලොව පොල් පෙනී පෙනී රට යද්දී දුක් වෙලා 

පොල් ගෙඩිය ඔන්න  දැන් සීයකුත් පහු වෙලා  


සියලු සත්වයො  සදා  නිදුක් වේවා කියා 

ඊයෙ කියූ වදන් අද අමතකව ඇති නියා 

හැඳි ගෑවිලාම පල දෙස් දෙවොල් තිය තියා 

පොල් ගහනවා ගලේ දේවාල  බිම තියා 


මේ ඉන්නෙ බුදු බණම අසන අයමද කියා 

අන්ද මන්දව සිටිති දෙවියෝද මුව  අයා

පොල් ගෙඩිය සතර කඩ විසිර ගොස් ඇති නියා 

දුටුව දෙව් නෙත පිරුණු කඳුළු උතුරා ගියා  

© 2020 Malini Ganewatta

 Thanks to Shifaaz shamoon for this photo on Unsplash.

Wednesday, August 5, 2020

මිහි මව ..ඔව් දැන් ඈ නිදහස්ය.



ඈ දැන් නිදහස්ය. මෙතෙක් කාලයක් උසුලා ගෙන සිටි මහා සිතේ මෙන්ම ගතේ ද බරින් මීට වසර කිහිපයකට පෙර නිදහස් වුවාය. ඈ දැන් නිසොමනේ නිදහසේ අසිරිය විඳින්නීය. ඇගේ ඒ දුක්බර කාලය, ඇත්තෙන්ම ඇගේ මුළු ජීවිත කාලය සමග සැසඳූ විට අසුරු සැණක් යයි සැළකිය හැකි ඒ කාලය, ඇයට නොවිඳිනා දුක් විඳින්නට සිදුවූ ඒ අඳුරු වකවානුව දැන් නැවත එන්නේ නැත. 

අහස ඒකාලෝක කරමින් ගලා හැලෙන හිරු කිරණ හිමින් හිමින් පොළව මත පතිත වන්නට විය. ළදළු මද පවනේ සැලෙන්නට වුයෙන් පෙරදා රැයේ වට වැස්සෙන් තුරු පත් මත රැඳී තිබුණු දිය බින්දු මුතු අහුරු ලෙසින් පහළට රූටා වැටුණේ අපූරු දසුනක් මවමිනි. ඒ දිය මුතු කැට මොහොතකට හිරු එළියේ දිස්නය දෙමින් බිම පතිතව පොළවට උරා ගත්තේය. මුළු ලෝකයම එකම නිල්ලෙන් පිරුණු ගෝලයක් සේ ඈත අහසට දිස් වනවා ඇත. එහෙත් ඒ අතීතයේදී මෙන් අහස් තලය දෙදරවා එයට නැගී ගොස් ලෝකයේ පින්තුරයක් ගන්නට අද කෙනෙක් නැත. ඩ්‍රෝන යවන්නට කෙනෙක් නැත. කොටින්ම පරිණාමයේ අග්‍ර ඵලය යයි තමන්ම උදම් ඇනු නූතන මිනිසා Homo sapiens sapiens නම් සත්වයා, ඇගේ අකීකරු පුත්‍රයා  මේ පෘතුවියේ සිටියේ යයි සලකුණක් වශයෙන් දැනට ඇත්තේ මහා වනයට යටවී ගොස් එහෙත් තවමත් ශේෂව පවතින එදා ඔහු විසින් නිර්මාණය කරන ලද පිළිරූ කීපයක්  පමණි.

ඈ දෑස් පියා ගනිමින් ඇගේ අතීතය මතකයට නගා ගන්නට වෑයම් කළාය. ඒ ගෙවී ගිය කාලයේ සිදුවීම් එකින් එක ඇගේ සිත් කැන්වසය සිසාරා  සිතුවම් පෙළක් සිත්තම් වන්නට පටන් ගත්තේය.

ඈ මුල් වරට උපන්නේ මීට වසර බිලියන හතරකට පෙරය. එදා සිට ඇයට මුහුණ දෙන්නට වූ අභියෝග බොහෝය. ඈ එඩිතරව ධෛර්ය සම්පන්නව ඒ සියල්ලට මුහුණ දුන්නාය. මහා බර උල්කපාතයන්ගේ ප්‍රහාරවලට, අකුනුසර වලට මුහුණ දුන්නාය. එසේ කාලයක් ගතවත්ම ඈ ඇගේ ගැබ තුළ පිළිසිඳ ගත් ඒ ප්‍රථම පණ ගැහෙන ක්ෂුද්‍ර ප්‍රාණියා තම පණ මෙන් රැක ගත්තාය. මුලදී ඇගේ කිරෙන් යැපුණු ක්ෂුද්‍ර ප්‍රාණියා අනතුරුව හිරුගේ රැසින් උකහා ගත් ශක්තියෙන් තමාගේ කුසගින්න නිවා ගැනීමට අවශ්‍ය දේ තනා ගැනීමට සමත් වීම මිහිමව ගේ අමන්දානන්දයට හේතු විය. ඈ තව තවත් ප්රාණියාට අවශ්‍ය සැප පහසුකම් සලසා දුන්නාය. ටිකෙන් ටික අහිතකර හිරු කිරණින් ප්‍රාණියා ආරක්ෂා කිරීමට ඕසෝන් කුඩය ඉසිළුවාය. ප්‍රාණියා ක්‍රමයෙන් ලොකුවීමටත් තව තවත් අරුම පුදුම ප්‍රාණීන් සිය දහස් ගණනින් බිහි කිරීමටත් විය. කාලය සර්පිලයක ගලා ගියේය. යුගයෙන් යුගය යුගයෙන් යුගය....කඳු, මිටියාවත් නිල්ලෙන් වැසි යන්නට විය. පාසි වැනි ක්ෂුද්‍ර පැළෑටි වල සිට දැවැන්ත රතු දේවදාර වෘක්ෂ දක්වා ගස් කොළන් වලින් ඒ නිල් තුරු නිල්ල සැදුම් ලද්දේය. සෑම නිකේතනයක්ම එනම්, පස, ජලය, සාගර, සාගර අගාධ, කඳුවැටි, කාන්තාර පමණක් නොව, ගස් වල පත්‍ර මත, යටිපත්තේ, මුල්වල, ප්‍රාණීන්ගෙන් පිරී ඉතිරී යන්නට විය. විවිධාකාර සතුන් ඇති විය. දිට්ඨා වායේව අද්දිට්ඨා.....දීඝා වායේ මහන්තවා ...මජ්ජිමා රස්ස කානු කථුලා .....ලොකු සත්තු,පොඩි සත්තු, ඇසට පේන සත්තු, ඇසට නොපෙනෙන සත්තු, දිග සත්තු,කොට සත්තු.....අන්තිමේ ඩයිනසෝර්, මැමත් ,තල්මස් වගේ විශාල දේහ දරන සත්තු....

ඒ අතර වාරවල තම දු දරුවන්ට සිදුවූ අකාරුණික අකරතැබ්බ ගණනාවක් ඈ අත්දුටුවාය. ඒ මහා නෂ්ට වීම් කිහිපයක් හමුවේ සිය ඇස් පනා පිට මිලියන  ගණනින් ජීවී ප්‍රාණීන් විනාශ වී යාමයි. අවසානයේ ඈ දුටු මහා නෂ්ට වීම මිලියන ගණන් ඇමොනිටාවන් මුහුදු වලත් මිලියන ගණන් ඩයිනසෝරයන් ගොඩබිමත් විනාශ වී යාමයි. ඒ මීට වසර මිලියන 66කට එපිටය. ඩයිනසෝරයන් ප්‍රමුඛව සිටි ගොඩබිම ඉන් පසුව ක්ෂීර පායීන්ගේ තෝතැන්නක් බවට පත් වන්නට විය. 

ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ඇයට අත් විඳින්නට සිදුවුයේ වෙනස්ම අත් දැකීමකි. ඔව් ඒ අපුර්ව සත්ව ගණය මීට වසර මිලියන තුනකට පමණ පෙර බිහිවුයේය. ඒ Homo ගණයයි. ක්‍රමයෙන් වෙනස් වෙමින් පැමිණි මේ අරුම පුදුම ජීවියා මීට වසර 500.000කට පෙර Homo erectus නමින් ඇතිවූ බව සඳහන් කළේද අවසානයට ජීවත්ව සිටි Homo sapiens sapiens  නම් ඔවුන්ගේම විකාශයේ අවසාන ඵලයයි. 

මොවුහූ  අරුම පුදුම දේ කළහ. පොළොව, එනම් ඇගේ ගත හාරා 'තෙල්' කියා දෙයක් ගොඩගෙන ඒවා දහනය කරමින්, වාහන නම් එහා මෙහා නැග යාහැකි උපකරණ නිපදවමින් තෙල් දවමින්, දුම් පිටකරමින්, නිල්ල පිරුණු වනාන්තර විනාශ කරමින්, නගර හා ගම් කියා දේවල් නිර්මාණය කරමින් අනිකුත් සියලු ජීවීන් යට පත් කරමින්,ඇගේ ගත තුළ තැන්පත්ව තිබූ විවිධ ද්‍රව්‍ය කිසිම අනුකම්පාවකින් තොරවම කණිමින්, ඒවා ගොඩ ගනිමින් අහස උසට ගොඩනැගිලි යයි සඳහන් දේ ගොඩනගමින්  තම සිරුරම ඔවුන්ගේ ලෙස සිතමින් සිදුකළ සියළු රිදවීම් ඈ දරා ගත්තේ ඉතා අපහසුවෙනි. ඇගේ අනිකුත් දරුවන්ටද මේ විශේෂ ප්‍රාණියා නිසා අකල්හි විනාශයට පත් වන්නට වීම ද ඇයට දරා ගැනීම අපහසු විය. 

අවසානයේ ඇගේ සිරුරට දරා ගැනීමට අපහසු තරමට උණුසුම ඉහළ ගියේය. මුල් අවධියේ තිබූ තද උණුසුම ඇය දරා ගත් නමුත් ඒ මීට වසර බිලියන ගණනකට ඉහත දීය. දැන් එය ඔරොත්තු දෙන්නේ නැත. ඇගේ සිරුර සිසිල් කළ ධ්‍රැවීය හිම තට්ටු, ග්ලැසියර දියවී යන්නට විය. හිම වලස්සු අතුරුදන් වූහ.

එහෙත් අර ජීවියා තව දුරටත් අනික් සෑම ජීවීන්ම යට කර ගනිමින්, තම සගයින් පවා විනාශයේ අභිමුවට තල්ලු කරමින් තව දුරටත් 'සැප' නම් දෙයක් කරා හඹා යමින් සිටියේය. ඇසි පිය හෙලන ක්ෂණයක් පාසා විවිධ ජීවී විශේෂ නෂ්ට විය. මේ කිසිවක් විසින් ගණන් ගනු ලැබුවේ නැත. අන්තිමේ දී සිදු වූයේ හීනෙන් වත් නොසිතූ දෙයකි. ඇගේ ඥාතීන් වන අඟහරු ඇතුළු අනිකුත් ග්‍රහලොව වල්  වෙත ගොස් ජීවත් වීමට හීන දුටු Homo sapiens sapiens ට සම්පුර්ණයෙන්ම හතර රියනත් අහිමි වීමේ ඉරණමකට මුහුණ දීමට සිදු වුයේ දෛවයේ සරදමක් ලෙසය. ඔව් ,  ඒ කුඩා නැනෝ මීටර කීපයක් තරම් වන ක්ෂුද්‍ර ප්‍රාණියා විසින් Homo sapiens sapiens නම් දැවැන්තයා යටපත් කර ගන්නා  ලදී. හැකි හැම වෙර දැරුවද දවසින් දවස මළ සිරුරු මිහිදන් විය. අන්තිමේ තැන තැන වැටී ඔවුහු මිය ගියහ. සියල්ල අවසන් විය. රඟ මඬල හිස් විය. 

දැන් මේ සිදුවීම සිදුවී වසර ගණනකි. තුරු නිල්ල ඔවුන්ගේ ගම් නගර යටකරගෙන වැවෙමින් පවතී. ගොඩනැගිලි විනාශවී ඇත. පාරවල් නැත. වග වලස්සු , අලි ඇත්තු නිදහසේ සැරි සරති. ඇගේ සිරුරට නැවත සිසිල දැනෙමින් ඇත. ඔව්, ඒ ක්ෂුද්‍ර ප්‍රාණියා  sars-cov-2 නම් විය. 





Photo by Vijay Sadasivuni on Unsplash