Wednesday, August 5, 2020

මිහි මව ..ඔව් දැන් ඈ නිදහස්ය.



ඈ දැන් නිදහස්ය. මෙතෙක් කාලයක් උසුලා ගෙන සිටි මහා සිතේ මෙන්ම ගතේ ද බරින් මීට වසර කිහිපයකට පෙර නිදහස් වුවාය. ඈ දැන් නිසොමනේ නිදහසේ අසිරිය විඳින්නීය. ඇගේ ඒ දුක්බර කාලය, ඇත්තෙන්ම ඇගේ මුළු ජීවිත කාලය සමග සැසඳූ විට අසුරු සැණක් යයි සැළකිය හැකි ඒ කාලය, ඇයට නොවිඳිනා දුක් විඳින්නට සිදුවූ ඒ අඳුරු වකවානුව දැන් නැවත එන්නේ නැත. 

අහස ඒකාලෝක කරමින් ගලා හැලෙන හිරු කිරණ හිමින් හිමින් පොළව මත පතිත වන්නට විය. ළදළු මද පවනේ සැලෙන්නට වුයෙන් පෙරදා රැයේ වට වැස්සෙන් තුරු පත් මත රැඳී තිබුණු දිය බින්දු මුතු අහුරු ලෙසින් පහළට රූටා වැටුණේ අපූරු දසුනක් මවමිනි. ඒ දිය මුතු කැට මොහොතකට හිරු එළියේ දිස්නය දෙමින් බිම පතිතව පොළවට උරා ගත්තේය. මුළු ලෝකයම එකම නිල්ලෙන් පිරුණු ගෝලයක් සේ ඈත අහසට දිස් වනවා ඇත. එහෙත් ඒ අතීතයේදී මෙන් අහස් තලය දෙදරවා එයට නැගී ගොස් ලෝකයේ පින්තුරයක් ගන්නට අද කෙනෙක් නැත. ඩ්‍රෝන යවන්නට කෙනෙක් නැත. කොටින්ම පරිණාමයේ අග්‍ර ඵලය යයි තමන්ම උදම් ඇනු නූතන මිනිසා Homo sapiens sapiens නම් සත්වයා, ඇගේ අකීකරු පුත්‍රයා  මේ පෘතුවියේ සිටියේ යයි සලකුණක් වශයෙන් දැනට ඇත්තේ මහා වනයට යටවී ගොස් එහෙත් තවමත් ශේෂව පවතින එදා ඔහු විසින් නිර්මාණය කරන ලද පිළිරූ කීපයක්  පමණි.

ඈ දෑස් පියා ගනිමින් ඇගේ අතීතය මතකයට නගා ගන්නට වෑයම් කළාය. ඒ ගෙවී ගිය කාලයේ සිදුවීම් එකින් එක ඇගේ සිත් කැන්වසය සිසාරා  සිතුවම් පෙළක් සිත්තම් වන්නට පටන් ගත්තේය.

ඈ මුල් වරට උපන්නේ මීට වසර බිලියන හතරකට පෙරය. එදා සිට ඇයට මුහුණ දෙන්නට වූ අභියෝග බොහෝය. ඈ එඩිතරව ධෛර්ය සම්පන්නව ඒ සියල්ලට මුහුණ දුන්නාය. මහා බර උල්කපාතයන්ගේ ප්‍රහාරවලට, අකුනුසර වලට මුහුණ දුන්නාය. එසේ කාලයක් ගතවත්ම ඈ ඇගේ ගැබ තුළ පිළිසිඳ ගත් ඒ ප්‍රථම පණ ගැහෙන ක්ෂුද්‍ර ප්‍රාණියා තම පණ මෙන් රැක ගත්තාය. මුලදී ඇගේ කිරෙන් යැපුණු ක්ෂුද්‍ර ප්‍රාණියා අනතුරුව හිරුගේ රැසින් උකහා ගත් ශක්තියෙන් තමාගේ කුසගින්න නිවා ගැනීමට අවශ්‍ය දේ තනා ගැනීමට සමත් වීම මිහිමව ගේ අමන්දානන්දයට හේතු විය. ඈ තව තවත් ප්රාණියාට අවශ්‍ය සැප පහසුකම් සලසා දුන්නාය. ටිකෙන් ටික අහිතකර හිරු කිරණින් ප්‍රාණියා ආරක්ෂා කිරීමට ඕසෝන් කුඩය ඉසිළුවාය. ප්‍රාණියා ක්‍රමයෙන් ලොකුවීමටත් තව තවත් අරුම පුදුම ප්‍රාණීන් සිය දහස් ගණනින් බිහි කිරීමටත් විය. කාලය සර්පිලයක ගලා ගියේය. යුගයෙන් යුගය යුගයෙන් යුගය....කඳු, මිටියාවත් නිල්ලෙන් වැසි යන්නට විය. පාසි වැනි ක්ෂුද්‍ර පැළෑටි වල සිට දැවැන්ත රතු දේවදාර වෘක්ෂ දක්වා ගස් කොළන් වලින් ඒ නිල් තුරු නිල්ල සැදුම් ලද්දේය. සෑම නිකේතනයක්ම එනම්, පස, ජලය, සාගර, සාගර අගාධ, කඳුවැටි, කාන්තාර පමණක් නොව, ගස් වල පත්‍ර මත, යටිපත්තේ, මුල්වල, ප්‍රාණීන්ගෙන් පිරී ඉතිරී යන්නට විය. විවිධාකාර සතුන් ඇති විය. දිට්ඨා වායේව අද්දිට්ඨා.....දීඝා වායේ මහන්තවා ...මජ්ජිමා රස්ස කානු කථුලා .....ලොකු සත්තු,පොඩි සත්තු, ඇසට පේන සත්තු, ඇසට නොපෙනෙන සත්තු, දිග සත්තු,කොට සත්තු.....අන්තිමේ ඩයිනසෝර්, මැමත් ,තල්මස් වගේ විශාල දේහ දරන සත්තු....

ඒ අතර වාරවල තම දු දරුවන්ට සිදුවූ අකාරුණික අකරතැබ්බ ගණනාවක් ඈ අත්දුටුවාය. ඒ මහා නෂ්ට වීම් කිහිපයක් හමුවේ සිය ඇස් පනා පිට මිලියන  ගණනින් ජීවී ප්‍රාණීන් විනාශ වී යාමයි. අවසානයේ ඈ දුටු මහා නෂ්ට වීම මිලියන ගණන් ඇමොනිටාවන් මුහුදු වලත් මිලියන ගණන් ඩයිනසෝරයන් ගොඩබිමත් විනාශ වී යාමයි. ඒ මීට වසර මිලියන 66කට එපිටය. ඩයිනසෝරයන් ප්‍රමුඛව සිටි ගොඩබිම ඉන් පසුව ක්ෂීර පායීන්ගේ තෝතැන්නක් බවට පත් වන්නට විය. 

ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ඇයට අත් විඳින්නට සිදුවුයේ වෙනස්ම අත් දැකීමකි. ඔව් ඒ අපුර්ව සත්ව ගණය මීට වසර මිලියන තුනකට පමණ පෙර බිහිවුයේය. ඒ Homo ගණයයි. ක්‍රමයෙන් වෙනස් වෙමින් පැමිණි මේ අරුම පුදුම ජීවියා මීට වසර 500.000කට පෙර Homo erectus නමින් ඇතිවූ බව සඳහන් කළේද අවසානයට ජීවත්ව සිටි Homo sapiens sapiens  නම් ඔවුන්ගේම විකාශයේ අවසාන ඵලයයි. 

මොවුහූ  අරුම පුදුම දේ කළහ. පොළොව, එනම් ඇගේ ගත හාරා 'තෙල්' කියා දෙයක් ගොඩගෙන ඒවා දහනය කරමින්, වාහන නම් එහා මෙහා නැග යාහැකි උපකරණ නිපදවමින් තෙල් දවමින්, දුම් පිටකරමින්, නිල්ල පිරුණු වනාන්තර විනාශ කරමින්, නගර හා ගම් කියා දේවල් නිර්මාණය කරමින් අනිකුත් සියලු ජීවීන් යට පත් කරමින්,ඇගේ ගත තුළ තැන්පත්ව තිබූ විවිධ ද්‍රව්‍ය කිසිම අනුකම්පාවකින් තොරවම කණිමින්, ඒවා ගොඩ ගනිමින් අහස උසට ගොඩනැගිලි යයි සඳහන් දේ ගොඩනගමින්  තම සිරුරම ඔවුන්ගේ ලෙස සිතමින් සිදුකළ සියළු රිදවීම් ඈ දරා ගත්තේ ඉතා අපහසුවෙනි. ඇගේ අනිකුත් දරුවන්ටද මේ විශේෂ ප්‍රාණියා නිසා අකල්හි විනාශයට පත් වන්නට වීම ද ඇයට දරා ගැනීම අපහසු විය. 

අවසානයේ ඇගේ සිරුරට දරා ගැනීමට අපහසු තරමට උණුසුම ඉහළ ගියේය. මුල් අවධියේ තිබූ තද උණුසුම ඇය දරා ගත් නමුත් ඒ මීට වසර බිලියන ගණනකට ඉහත දීය. දැන් එය ඔරොත්තු දෙන්නේ නැත. ඇගේ සිරුර සිසිල් කළ ධ්‍රැවීය හිම තට්ටු, ග්ලැසියර දියවී යන්නට විය. හිම වලස්සු අතුරුදන් වූහ.

එහෙත් අර ජීවියා තව දුරටත් අනික් සෑම ජීවීන්ම යට කර ගනිමින්, තම සගයින් පවා විනාශයේ අභිමුවට තල්ලු කරමින් තව දුරටත් 'සැප' නම් දෙයක් කරා හඹා යමින් සිටියේය. ඇසි පිය හෙලන ක්ෂණයක් පාසා විවිධ ජීවී විශේෂ නෂ්ට විය. මේ කිසිවක් විසින් ගණන් ගනු ලැබුවේ නැත. අන්තිමේ දී සිදු වූයේ හීනෙන් වත් නොසිතූ දෙයකි. ඇගේ ඥාතීන් වන අඟහරු ඇතුළු අනිකුත් ග්‍රහලොව වල්  වෙත ගොස් ජීවත් වීමට හීන දුටු Homo sapiens sapiens ට සම්පුර්ණයෙන්ම හතර රියනත් අහිමි වීමේ ඉරණමකට මුහුණ දීමට සිදු වුයේ දෛවයේ සරදමක් ලෙසය. ඔව් ,  ඒ කුඩා නැනෝ මීටර කීපයක් තරම් වන ක්ෂුද්‍ර ප්‍රාණියා විසින් Homo sapiens sapiens නම් දැවැන්තයා යටපත් කර ගන්නා  ලදී. හැකි හැම වෙර දැරුවද දවසින් දවස මළ සිරුරු මිහිදන් විය. අන්තිමේ තැන තැන වැටී ඔවුහු මිය ගියහ. සියල්ල අවසන් විය. රඟ මඬල හිස් විය. 

දැන් මේ සිදුවීම සිදුවී වසර ගණනකි. තුරු නිල්ල ඔවුන්ගේ ගම් නගර යටකරගෙන වැවෙමින් පවතී. ගොඩනැගිලි විනාශවී ඇත. පාරවල් නැත. වග වලස්සු , අලි ඇත්තු නිදහසේ සැරි සරති. ඇගේ සිරුරට නැවත සිසිල දැනෙමින් ඇත. ඔව්, ඒ ක්ෂුද්‍ර ප්‍රාණියා  sars-cov-2 නම් විය. 





Photo by Vijay Sadasivuni on Unsplash

2 comments:

  1. අනාගතය ඉතා හොඳින් විනිවිද දැක තිබෙන අගනා නිර්මාණයක්.
    තවත් අවශ්‍යනම්: ඕසෝන් වියනේ හිදැස් වැසෙමින් තිබේ. වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය සමබර වෙමින් පවතී. සාගර උණුසුම ක්‍රමක්‍රමයෙන් අඩුවේ. සාගරවල කාබන්ඩයොක්සයිඩ් තටාක යළි ප්‍රතිසංස්කරණය වෙමින් පවතී. සාගර ජල මට්ටම මඳක් පහල ගොස් ඇත. මහාබාධක පරයේ විචිත්‍ර වර්ණ රටා යලි දකින්නට ලැබේ.

    ReplyDelete
  2. ස්තුතියි කතාව අගය කරමින් ලියු ඔබේ කොමෙන්ටුවට. කොරෝනා අවසන් වීමත් සමග මේ ඔබ සඳහන් කල දේවල් ආපස්සට වේවි නේද සර් ....

    ReplyDelete