ඇත්තම කියනවා නම් පොඩි කාලේ භූ ගෝල විද්‍යාව හදාරණ කොට
ගුරුතුමිය ඇමරිකානු මහාද්වීපය ගැන කියූ දේ,
සිතියම විතරයි හිතේ තිබුනේ. ඒ ගුරුතුමිය ඇඩෝල්ෆස්ට් මහත්මිය.
ඇය වැඩි වශයෙන් පාවිච්චි කළේ ඉංග්‍රීසි වචන. Mountain ranges, Appalanchian, Rokeys….…. Himalayas
….Andes.... වගේ
වචන තාම ඇහෙනවා වගේ. ඊළඟට අමාරුවෙන් ඉංග්‍රීසි නව කතා කියවන කාලේ
ටිකක් ඇමරිකාව ගැන කියෙව්වා. ඊළඟට විශ්ව විද්‍යාලයේදී ලෝකයේ බියෝම ගැන ඉගෙන ගනිද්දී
ඇමරිකාවේ ප්රේයරිස් තණ බිම් ගැන කියෙව්වා. හැබැයි රුසියානු සාහිත්‍යට ඇළුම්
කිරීමත් එක්ක වැඩිපුර හදවතේ ඇඳිලා තිබුණේ රුසියාවේ ස්ටෙප්ස් තණ බිම්. මැක්සිම් ගෝර්කිගේ මාකර් චුද්‍ර අමතක වන්නේ කෙසේද ? උපාධියෙන් පස්සේ වරින්
වර ඇමරිකානු මධ්‍යස්ථානයට ගියා,
පොත්
පත් විමර්ශනයට. GRE වලටත් ටිකක් දවස්
ලෑස්ති වුණා, යාළුවොත් එක්ක
රැල්ලට. නමුත් ඒ සිහින ජීවන ගමනේ අනිකුත් ප්‍රශ්න සමග කාලයේ වැලි තලාවට යට වුණා.
අද වගේ ලෝකය අතැඹුලක් වෙලා තිබුණේ නැහැ එදා. වර්ණ ඡායා රුපයක් පවා හිඟ කාලයක්.
උසස් පෙළ දරුවන්ට ලෝකය ගැන උගන්වන්න පොත් සොයා ගත්තේ අමාරුවෙන්. කොළඹට ආවට පස්සේ බලපු ඉංග්‍රීසි චිත්‍රපටි තමයි අපිට ඇමරිකාව මොන වගේ ද කියන එක මුලින්ම පෙන්නුවේ. රුපවාහිණිය, පරිගණක හා අන්තර්ජාලයත් එක්ක අපිට ලෝකය විවර වුණා. ඒත් මේ කිසි දෙයක් මට නම් සංචාරය තරම් සිත් ගන්නේ නැහැ. සැබෑ සංචාර අත්දැකීම් ජීවිතය චමත්කාරයේ ගිල්වනවා. ඇවිද්ද පය දහස් වටී කියන්නේ කට කහනවට කියපු දෙයක් නෙවෙයි. අද ඒ හීන ලෝකය
ඇත්තටම දකින්න අවස්ථාව උදා වෙන්නයි යන්නේ.
මේ වෙනකොට මං සේවයෙන් විශ්‍රාම අරන් තිබුණ නිසා විදේශ නිවාඩු
අනුමත කර ගැනීමේ කරදරය ඉවර වෙලයි තිබුණේ. නැත්නම් ඒකට කාර්යාල ගණනේ යද්දී එකල
විදේශ සංචාර එපා වෙනවා.
මාර්තු විසා අනුමත
වුනත් අපේ ප්‍රථම ඇමරිකානු ගමන යෙදුනේ ඒ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. ගුවන් ප්‍රවේශ
පත්‍ර ගත්තේ කොල්ලුපිටියේ Airtrav
(Pvt) Ltd ආයතනයෙන්. ඒ කාර්ය මණ්ඩලය සැලකිල්ලෙන් අපිට
අවශ්‍ය විදියට යාම සහ ඒම සඳහා ප්‍රවේශ පත්‍ර හදල දුන්නා. කටුනායකින් අබුඩාබි වලටත්
එතනින් ඇමරිකාවේ ඩලාස් වලටත්.
එතැනින් කොලොම්බියා ගුවන්තොටු පොළට අභ්‍යන්තර
ගුවන් ගමනත් යෙදිලා තිබුණා. ආපසු ඒම දෙමසක කාලයකින් පසු ඒ ගමන් මග ඔස්සේම විය
යුතුව තිබුණා.
මී ළඟ පියවර ගමන් මළු සුදානම් කිරීම. එක් අයෙකුට 23kg ගමන් මළු දෙකක් හා 7kg
අත් ගමන් මල්ලක්
ගෙනියන්න ඉඩ දී තිබුණා. අපිට අවශ්‍ය අමතර ඇඳුම් මිළදී ගන්න සාප්පු සවාරි වෙනුවෙන් දවසක්
වැය කළා. මේස්,සපත්තු,
ශීතලට ඔරොත්තු දෙන
කබා ආදිය තමයි වැඩිපුර ගත්තේ. චුටි පුතාට, නදීට, දෝනිට,
සුපුන් පුතාට,
ඔහුගෙ මව හා
මල්ලිට දෙන්න තෑගි මිළදී ගත්තා. ආස කෑම
වර්ග සමහර ඒවා ගෙදර හැදුවා . හදල ලේබල් කරලා,අහුරා ගත්තා. සමහර කෑම, මිරිස් තුනපහ වගේ
ඒවත් ලෑස්ති කර ගත්තා. ඇතැම් කෑම පපඩම්,කෝපි වගේ දේවල් මිළදී ගත්තා. අපේ දරුවන්ගේ පුංචිලා, නැන්දලා එහෙමත් කෑම
ජාති හදලා එව්වා. මේ හැම දෙයක්ම පිළිවෙලකට ගමන් මළුවල අහුරා ගත්තා. අතේ ගෙනියන
බැග් එකේ ඇඳුම් හා බෙහෙත් වර්ග එහෙම දා ගත්තා. කාන්තා අත් බෑගයේ මුහුණේ ගාන ක්‍රීම්, ලිප් බාම් එහෙම දා ගත්තා. අපිට විවිධ
ඖෂධ ගෙන යන්න තිබුණා. ලොකු පුතා ඒවාට අවශ්‍ය නිර්දේශ ලියල දුන්නා. සෙම් අමාරුවලට
අවශ්‍ය ප්‍රතිජීවක, උරණ ඖෂධ, උදරාබාධ වලට අවශ්‍ය ප්‍රතිජීවක, Gastritis වලට ඖෂධ, අසාත්මිකතා වලට ඖෂධ, හා අපි එදිනෙදා ගන්නා ඖෂධ ඒ ගොඩට අයත්
වුණා.
හීන මවාපු ඒ දිනය උදා වුණා. 2016 සැප්තැම්බර් 28 මධ්‍යම රාත්‍රිය
පහුවෙලා තමයි ගුවන් ගමන ආරම්භ වෙන්න තිබුණේ. අපි ලොකු පුතාලට සමු දීලා ලොකුපිටිය
අය්යා හා අක්කා සමග වෑන් රථයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට යන්න පිටත්
වුණා රාත්‍රී අටට පමණ. ගමනට පැය තුනකට පෙර එහි ළඟාවී ඉන්න අවශ්‍යයි නේ?
ගුවන් තොටුපොළේදී අපේ ගමන් මළු කිරා බැලුවා නිසි බර තිබේද යන්න තහවුරු කර ගැනීමට. මුදල්ද ඇමරිකානු ඩොලර් බවට හරවා ගත්ත. අපේ ගුවන් යානයට අයත් දොරටු විවෘත වීමත් එක්ක අපි අදාළ පෝලිමේ ගිහින් ගමන් මළු (checked bags) බාරදීල ඒවාට අදාල රිසිට් පත් හා ටිකට් පත් ලබාගෙන ආරක්ෂක පරීක්ෂා වලින් පසු අදාළ දොරටු කරා පියමැන්නා. අපේ ගමන්මළු ලබා ගන්න තිබුණේ ගමනාන්ත ගුවන් තොටු පොලේදී වීම හිතට ලොකු සහනයක් වුණා. ගුවන් යානය නිසි වෙලාවට මගීන් ඇතුල් කිරීම (Boarding)ඇරඹුවා. අපි අදාළ අසුන් වල ඉඳ ගත්තා. ගුවන් යානය බිම් පථය තුළින් ඇදී ගොස් අපේ සිත් ප්‍රමෝදයට පත් කරමින් අනන්ත අහස් තලයට පිවිසුණා. අපි මේ මුලින්ම යන්නේ අබුඩාබි වෙත. එතනින් තමයි ඇමෙරිකාවට යන්නේ.
කටුනායක ගුවන් තොටුපළින් අපි ගුවන් ගත වුණේ 28 දාට එළිවෙන්න තියල. අපි
අබුඩාබි වෙත ලඟා වන විට එහෙට උදේ නමය වෙලා තිබුණා. අබුඩාබි වලදීම අපි ඇමරිකානු
රේගු පරීක්ෂණයට ලක් වුණා. අපි කුමක් සඳහා ඇමරිකාවට යනවද කියලයි එම නිලධාරීන්
ඇහුවේ. අපි ඒවාට අදාල පිළිතුරු දුන්න.
ඇමරිකාවේ නැගෙනහිර පැත්තේ තිබෙන ප්‍රාන්තයක් වන දකුණු
කැරොලයිනා වල Dallas ගුවන් තොටුපොළට තමයි අපිට ගොඩබහින්න තිබුනේ. ඒ වන විට චුටි පුතා
හා ඔහුගේ බිරිඳ නදී දකුණු කැරොලයිනා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියට සුදානම්
වෙමින් සිටියා.
ඒ නිසා අපිට අබුඩාබි වලින් ඉන්පසු අපිට ඇමරිකාවේ ඩලස්
ගුවන්තොටුපොළට යන්න ගුවන් ගතවෙන්න තිබුණා. එය පැය 16ක නොනවතින ගුවන් ගමනක්. යනවා යනවා
ඉවරයක් නැහැ. සාගර වලට උඩින්, මහද්වීප
හා වෙනත් ගොඩබිම් වලට උඩින් අපි ගියා. රුසියාවට උඩින් ග්‍රීන්ලන්තයට උඩින්, අත්ලාන්තික් සාගරයට උඩින් අඩි 35000
කටත් වඩා ඉහළින් අපි පියාසර කරන බව ආසනය ඉදිරිපස තිරයේ වැටුණා. එටිහාඩ් ගුවන්
සේවයට අයත් එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඉතාම විනීතයි සුහදශීලීයි. ගමනේදී අපිට
කිහිප වතාවක්ම ආහාර වේල් හා පාන වර්ග ජලය එහෙම ලැබුණා. එක දිගට ඉඳ ගෙන ඉන්න අමාරු
නිසා අපි ඇතැම් විට නැගිට ඇවිදිමින් හිටියා. මට අසාත්මික ගතියක් මතුවී දිගටම
කිවිසුම් ගියා. ඒ සඳහා ඖෂධ ගත්තා. එම තත්වය ටිකක් මග හැරුණා. අවසානයේ ඩලස් වල ගොඩ
බහින කොට එහේ සවස 4.30
වී තිබුණා. ඩලස් ඉතා විශාල ගුවන් තොටුපළක් . ආසියාතික රටවල මීට කලින් සංචාරය කර
තිබුණත්, අපේ රටේ ඇති ගුවන්තොටුපළ හා සසඳන විට මේවා පිලිබඳ පුදුමයකුත්
ඇති වුණා .
ඒ ඒ ගේට්ටු වලට යාමට බස්රිය,දුම්රිය වගේ ෂටල් සේවා ක්‍රියාත්මක
වෙනවා. ඊළඟට අපිට තිබුණේ අභ්‍යන්තර ගුවන් ගමනක්. ඒ ඩලාස් වල සිට කොලොම්බියා ගුවන්
තොටුපළට. මොකද චුටි පුතාගේ තට්ටු නිවාස සංකීර්ණය තිබුණේ කොලොම්බියා කියන නගරය
ආසන්නයේ.
අපි ඇමරිකානු ගුවන් සේවයේ ගුවන් යානයකින් පියාසැරිය ඇරඹුවා.
පැයක් පමණ ගතවූ නමුත් ගුවන් යානය රවුමක් කැරකි නැවතත් ඩලාස් වලටම ගොඩ බෑවා. ඒ එහි
ඇතිවූ දෝෂයක් හේතුවෙන්. අපේ ඇමරිකානු සංචාරය එයින්ම කෙළවර වෙන්නත් තිබුණා. නමුත්
කාර්ය මණ්ඩලය අපිට කිසිවක් දැන්වුයේ නැහැ. ‘We have safely landed in
Dallas again’
කියල විතරයි announce කළේ. ගොඩ බාන කොටම
ගිනි නිවන රථ ආදී හදිසි සේවා ගුවන් යානය වට කර ගත්තා. කරදරයකින් තොරව ආරක්ෂිතව අපි
ඒ ගුවන් යානයෙන් බස්සවලා රැදී සිටින තැනකට යැව්වා. ඉන් පැය එකහමාරකට පමණ පසු වෙනත් ගුවන්
යානයකින් අපි කොලොම්බියා වලට යැව්වා. අපි එහි ළඟා වන විට 29 දාට එළිවෙන්න ඇවිල්ල.
චුටි පුතා හා නදී අපි ආදරයෙන් පිළිගත්තා. දිගටම අපි පණිවුඩ හුවමාරු කරගත් නිසා ඔවුන් කලබල වෙලා තිබුණේ නැහැ අපේ ප්‍රමාදය ගැන. ඒ හැර ගුවන් ගමන් track කරන්නත් පුළුවන්නේ. අපි ඔවුන් සමග ඔවුන් ජීවත් වූ තට්ටු
නිවාස සංකීර්ණයට ගියා. චූටි පුතාලගේ සුරතල් බව්වා කුපර් අපිව පිළිගත්තා.
එදා අපි නින්දට ගියේ එළි වෙන්න ලංවෙලා.
© 2020 Malini Ganewatta
Thanks to Joey Csunyo for sharing their work on Unsplash
No comments:
Post a Comment