Sunday, November 23, 2025

ලේලී - 10

 ලේලී - 10



ඟුලට නැකැත් හදලා තිබුණා. අගෝස්තු මාසේ දහවෙනිදා තමයි පෝරුවේ චාරිත්ර කරලා ඒත් එක්කම විවාහය ලියාපදිංචි කරන්නේ. ඒ ගැන අපි පවුල් දෙකේ කතාබහක් ඕන කියලා අපේ තාත්තා යෝජනා කළා.
ඒකත් ඇතුළුව අපි කවුරුත් අවුටිං එකක් විදියට ගල්කිස්ස හෝටලයේ දී දිවා ආහාරයටත් එක්කම ඊළඟ ඉරිදා අපි එකතු වුණා. මමයි තාත්තයි අම්මයි අපේ මාමා ඒ කියන්නේ අම්මගේ දොස්තර මල්ලියි ගියා. සැමීගේ පැත්තෙන් මාමණ්ඩියි, නැන්දම්මයි අක්කයි මස්සිනයි ඇවිත් තිබුණා. හොඳ වෙලාවට අර එයාගෙ මාමලා නැන්දලා නෑ. ඒ ආව නම් අර සක්කරවට්ටමත් සැමීගේ කරේ නඟින්න ඒවිනේ.
"මං හිතන්නේ අපි එක උත්සවයක් දෙපැත්තටම හරි යන්න කරමු" සැමී සාකච්ඡාවට මුල පිරුවේ රටවල් දෙකක් අතර ද්විපාර්ශ්වික එකඟතාවකට එළඹෙන තරමේ රැස්වීමක ගැඹුරු සාකච්ඡාවක ආරම්භක මුල පුරන්නා තරමට හිතට අරගෙන වගේ.
ඇත්තටම අපි දෙන්නා තමයි මුලින්ම ඒ අදහසට ආවේ. දැන් ඉස්සර වගේ දවස් දෙක තුනකින් පහු ගමන් කරන්නේ නෑ නේ. ඒත් අම්මලා තාම හිතන්නේ පරණ විදියටමයි. දෙපැත්තේ අම්මලා මේකට මූණු බුකවාගෙන හිටියේ.
"හෝම්කමින් එකක් හරිහැටි නැති වුණහම ගෙවල් පාළු වෙනවනේ" සැමී ගේ අම්මා මුදුනා වෙන්න හැදුවා. කොහොමත් එයාට එයාගේ මුළු ඉස්කෝලෙම වෙඩිමට ගේන්න තරමට උණ ගැනිලා තිබුණු බව මට කලින් තේරුණා.
"මෙහෙමයි මිසිස් සපරමාදු.... මඟුල මේ දෙන්නගේ නේ!අපේ නෙවේ නේ! උත්සවය මේ දෙන්නගේ කැමැත්ත අනුව වෙන්න ඕන නේ" අපේ තාත්තා ද්විපාර්ශ්වික සංහිඳියාව ඇති කළා. තාත්තා ඔය වගේ දේවල් වලට නම් බොහොම දස්සයි. ජනාධිපති මෙයාට උපදේශක නෙවේ විදේශ ඇමතිකම දෙන්නයි තිබුණේ.
"එහෙම නම් පුතාලා ගේ ප්ලෑන් එක කියන්න"නැන්දම්මා සරෙන්ඩර් වුණා.
" කලින්ම හෝටලය බුක් කරගන්න ඕන. මං ඒක කරන්නම්. කොළඹම ඕන නෑනේ? "
"කොළඹ මේ වෙද්දී බුක් වෙලා ඇති. කොහේ වුණත් ලස්සන තැනක තමයි ඕන." අපේ මාමා කිව්වා.
"ඇයි තාත්තේ නුවර අමායා හිල්ස් නේ තාත්තට ලේසිම. මාත් ආස එහේට" මං කලින්ම හිතේ තිබුණු අදහස කිව්වා. මොකද හෝටල් පරිපාලනයේ හිටියේ තාත්තගේ ළඟම හිතවතෙක්. මගේ යාලුවන්ට පවා තාත්තා තමයි හෝටලය බුක් කරලා දුන්නේ.
"එතකොට අපට එහේ ගිහින් නවතින්න වේවි නේද කලින්ම? " අපේ අම්මා කිව්වා.
" දවස් කීපයක් නේ? "
" ඔව් නැත්නම් කලින් දවසේ ගියහම මහන්සී" ඒ නැන්දම්මා.
"ඇයි අක්කේ අපේ මහ ගෙදර තියෙනවා නේ එහේ" අපේ අම්මා තමන්ගේ උඩරට සම්භවය ගෞරවයෙන් වගේ පෙන්නුවා.
" අපෙත් ඇමරිකාවේ ගිය යාළුවෙකුගෙ ගෙයක් ඔය හෝටලය කිට්ටුවම වගේ වහලා දාලා තියෙනවා." නැන්දම්මත් තමන්ගේ මට්ටම ලේසියෙන් බිම තියන්න ලේස්ති වුණේ නෑ.
" ඉතින් හරිනේ.... කතාව ෂෝට් ඇන්ඩ් ස්වීට්" අපේ තාත්තා කිව්වා.
"ඔයාලා කිසිම මහන්සියක් වෙන්න ඕන නෑ. මං මුළු ඉවෙන්ට් එකම සංජයට දෙනවා. ඇඳුම්වලට මෙෂර්මන්ට් විතරයි ඕන " සැමී අපි කලින්ම ප්ලෑන් කරපු විදිය කිව්වා.
වෙඩින් ඉන්විටේෂන් කාඩ් එකේ ඉඳලා පෝරුව වෙනකම් සේරම සංජය බලා ගන්න විදියට තමයි සැමී වැඩ ලෑස්ති කරනවා කිව්වේ.
මං ඔසරි සාරි වලට කොහොමත් කැමති නැති නිසා ගවුමක් තමයි අඳින්න සැළසුම් කළේ. ඒක අවශ්ය කරන විදියට මහන්නත් අදාළ තැන් ලැබුණා. අපේ අම්මගේ හිතේ තිබුණේ මට ඔසරි අන්දලා මගේ වල්ලභයා වෙන කෙනාට උඩරට මුල් ඇඳුම අන්දවන්න. ඒ දෙන්නත් එහෙම නේ ඇඳලා තියෙන්නේ. සැමී නම් කොහොමත් ඔය බඩට කොට්ට බැඳගෙන සරුවාල ඇඳලා නටන නැටුමට කැමති නැති බව මුලදිම කිව්වා.
දෙවෙනි මනමාලයෝ එක්කෙනයි. ඒ සැමීගේ නෑවෙන මල්ලී කෙනෙක්. දෙවෙනි මනමාලිට නිෂාදිට එන්න කිව්වා. ඒකි මගේ බැච් මේට්. රූපෙනුත් මං වගේ ටිකක්. ෆ්ලවර් ගර්ල් එක්කෙනයි. ඒකට සඳාගේ අක්කගේ දුව ගන්න තීරණය කළා. පේජ් බෝයි සැමීගේ යාලුවෙකුගේ පුතෙක්. ඒ විදියට හරිම පොඩි ග්රූප් එකක් විතරයි අපි සැළසුම් කළේ.
"සහස්රා බ්රයිඩ්ස් මේඩ් වෙන්න බලාගෙන ඉන්නවා" නැන්දම්මා කිව්වා.
ඒ පිටි ගෝනිය මගේ රූපෙට ගැලපෙන්නේ නැති බව මේ අම්මණ්ඩිට තේරුණේ නැද්ද මට හිතුණා.
"ආන්ටි මගේ යාලුවෙක් කලින් ඉඳන්ම ඒකට ලෑස්ති කරලා ඉන්නේ" මං කිව්වා.
"ඔව් අම්මා... සහස්රා මහත වැඩී. ගැලපෙන්නේ නෑ" සැමී කිව්වම නැන්දම්මා පොඩ්ඩක් රවලා
" ඒකත් ඇත්ත" කියල කිව්වා.
"කවුද දැන් විට්නස් අත්සන් කරන්නේ?" ඒ මාමණ්ඩී
"අපේ හිටපු ඇමති මල්ලී හොඳයි නේද?" නැන්දම්මා එයාගේ පොලිටිකල් ලොකු කමක් එතනට හැලුවා. අලුත් ආණ්ඩුවේ ඇමතිලා මදි ඇති. තනි සිග්නල් කණුව යට ජනාධිපති වුණත් මදි ඇති නේ.
මට හිනා යන්නත් ආවා. මං කට තද කරගෙන බිම බලා ගත්තා.
ඒකත් සැමියි මමයි තීරණය කරලා තිබුණේ. ඔය පොලිටිකල් පොරවල් ඕන නැති බවත් ඇත්තටම අපට ආශීර්වාද කරන දෙන්නෙක් ඕන බවත් සැමී කිව්වා. ඒ අනුව මම මිසිස් ගුනවර්ධනටත් සැමී එයාගේ විශ්ව විද්යාලයේ එයාගේ සිත්ගත් ගණිත මහාචාර්ය සමරසිංහ මහතාටත් ආරාධනා කරන්න තීරණය කළා.
"පහු ගමන කොහොමද පුතා වෙන්නේ?" මේ නැන්දම්මට පහු ගමනට වැඩිය දෙයක් නෑ වගේ. වට පිටාවට ලේලි පෙන්නන්නත් ඕන ඇතිනේ. පහු ගමනෙදී තව මොන මොනවා බලන්න ලෑස්ති වෙයිද දන්නේ නෑ මේ අංගනාව.
"ඒකට හොඳ වෙලාවක් බලන්න ඕන නේද?" නෑනාත් අදහස් දැම්මා.
"හොඳයි මං ඒකත් කරවා ගන්නම්. හනි මූන් එකෙන් පස්සෙ කවදට වගේ හොඳද පුතා?" අපේ තාත්තා ඉදිරිපත් වුණා.
" අපි වෙඩින් ඉවර වෙලා දවස් තුනකින් සිංගප්පූරුවේ යනවා සතියකට"සැමී කිව්වාම මං පුදුම වුණා.
" හොරා මට නොකියම එහෙම ගමනක් ලෑස්ති කළාද? "
" තාම බුක් කරේ නෑ"
"එහෙනම් අර දවස් තුනෙන් එකක පහු ගමන කරමුද?" අපේ අම්මා ඇහුවා.
"එච්චර හදිසි නෑ. අපි රට ගිහින් ඇවිත් කරමු." මේසේ යටින් මගේ අත කොනිත්තලා සැමී කිව්වා. මට ඌයි කියවෙන්නත් ගියා. හනිමූන් මතක් වෙලා වගේ. මාත් එයාගේ අත කෙනිත්තුවා.
වෙඩින් එකට කලින් ගෙදර ෆුල් රෙපෙයාර් එකක් කරනවා කියලා සැමී කිව්වා. ඒ කරලා දානයත් දෙන්න ඕනලු. මට අදහසක් ආවා මං යන තැන මටත් ආස විදියට අලුත් කරන්න. ඒත් එතන රැජන නැන්දම්මා නේ. මට ගණදෙවි නුවණක් පහළ වෙලා මං ඉන්ටීරියර් ඩිසයින් මැගසින් දෙක තුනක් නැන්දම්මාට බලන්න කියලා යැව්වා.
දවසක් උන්දෑ මට කෝල් කළා
"දුවේ මේ පොත් නම් නියමයි. ඒත් මට තෝරගන්න තමයි අමාරු. දූට ඇවිත් යන්න බැරිද?"
" මං වෙලාවක එන්නම් කෝ" ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු.
" අනේ කොච්චර දෙයක් ද? එහෙනම් පුතාට කියලා ඉරිදා වගේ එන්න දුවේ."
ඔන්න මං ආයේ දවසක් මගේ අනාගත මාලිගාවට ගියා.
උඩ තට්ටුවේ මාස්ටර් බෙඩ් රූම් එක අපි දෙන්නට දෙනවා කිවු නිසා ඒකට සුදුසු කර්ටන්, බිත්ති වර්ණ ඇඳ ඇතිරිලි තේරුවා. දැන් නැන්දම්මට ඒකෙන් අයින් වෙන්න වෙනවනේ.
ඒ අව් අස්සේ මහ ජෝඩුව එක කාමරේට කරන්න පොටක් පාදා ගන්න හිතුවා.
"ආන්ටී යට මාස්ටර් බෙඩ් රූම් එකට අන්කල් ආන්ටී දෙන්නට ගැළපෙන කර්ටන් තෝරලා දෙනවද?"
"දුවේ මං උඩ තියෙන අනික් කාමරයකට යන්නයි හිතන්නේ"
"එහෙම ගියාට කමක් නෑ. යට එකත් ලස්සනට හදමු. අන්කල් ට ලියන වැඩ කරන්න ඔෆිස් රූම් එක හදමු."
"බුදු ගේ ඒකෙනේ?"
"බුදුගේ උඩට ගන්න එක නේද හොඳ? *
"අනේ මටත් ඕක හිතිලා තියෙනවා. ඒත් උඩ නඟින්න බැරි කාලයක් ආවම මොකද කරන්නේ?"
"එහෙනම් අපි පස්සේ මිදුලේ බුදු ගෙයක් වෙනම හදමු" නැන්දම්මා නම්ම ගන්න ගන්න පුළුවන් හැම තුරුම්පුව දාන්න මට ගණදෙවි නුවණ පහළවෙන්න පටන් ගත්තා.
"ඒක කොච්චර හොඳ අදහසක් ද? ගෙවල් ඇතුළේ තියෙන කිළිකුණු නැතුව එහෙම තමයි හොඳ"
" ඒකනේ ආන්ටි"
" එහෙනම් දූට හිතෙන විදිහට යට මාස්ටර් එකත් ලස්සනට හදන්න."
පස්සේ නැන්දම්මා එහා මෙහා වෙනකම් ඉඳලා "නියම ලේලියෙක් නේ මේක" කියලා සැමී මගේ කම්මුල මිරිකලා උම්මා එකක් දුන්නා.
ඊළඟ මාසේ සඳාගේ වෙඩින් එකට යන දවසත් ළං වුණා. කලින් හිතාගෙන හිටියේ මට වෙඩින් එකට අඳින්න ගවුමක් මස්සවා ගන්න. ඒත් මගේ කාර්ය බහුල ජීවිතේ නිසා ඒක ටික ටික පහු වුණා. අන්තිමට මං තීරණය කළා ගවුමක් ගන්න. මං ඒ ගැන සැමීට කිව්වම දවසක් ෂොපිං යමු කියලා එයා කිව්වා. මං කැමත්ත පළ කළත් මට හිත් දුන්නෙ නෑ එයාට කියලා වියදම් කරවන්න. ඒ වෙද්දී එයා මට අයිති වෙලා නෑනේ.
ඒත් අපි ෂොපිං ගියා.
එදා මං එක්ක යන්න එයා ඉස්කෝලෙ ළඟට ආවා. නිදහසේ පළවෙනි වතාවට එයා ළඟින් ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා ගියා. එයාගේ විළවුන් සුවඳ මාව පිස්සු වැට්ටෙව්වා.
කාරෙකෙන් බැහැලා එයාගේ අතේ එල්ලිලා ෂොප් එකට යද්දී මෙන්න මේනක හා කසුන් මගේ පන්තියේ කොල්ලෝ දෙන්නා ඉස්සරහට හමු වුණා.
"මීස්?" කියලා අටවෙනි ලෝක පුදුමය දැක්කා වගේ උන් දෙන්නා සැමී දිහා බැලුවේ
මූටනේ ඒ වාසනාව පෑදිලා තියෙන්නේ කියලා හිතන විදියේ ඉරිසියාකාර බැල්මකින්. උනුත් කොල්ලො නේ.
"කසුන් මෙහේ මොකද!" මං ෆ්රොෆෙෂනල් මෝඩ් එකෙන් ඇහුවා.
"මූට ෂර්ට් එකක් ගන්න ආවා මිස්" කසුන් මේනකට ඇන්නා.
"හා හා රස්තියාදු නොවී වැඩේ කරගෙන ගෙදර යන්න" මං පාරෙදි වුණත් ගුරුකමේ රස්නේ පොඩ්ඩක් පෙන්නුවා.
බම්බලපිටියේ හා කොල්ලුපිටියේ ෂොප්ස් කීපයකට ගියත් හරියන ඇඳුම් තිබුණෙ නෑ. අන්තිමට මතක් වෙලා තිඹිරිගස්යාය Kathyusha එකට ගිහින් මං එතනින් ලස්සන අහසේ නිල්පාට පාටි ෆ්රොක් එකක් ඒකට ජුවලරි හා සපත්තු ගත්තා. සැමී ඉදිරිපත් වුණත් මංම බිල ගෙව්වා. ඒක මට හිතට සහනයක් වුණා. මං තාත්තට කෝල් කරලා සැමී එක්ක තාත්තාගේ ඔෆිස් එකට ගිහින් තාත්තාගේ කාරෙකේ ගෙදර ගියා. මගේ කාරෙක ඊළඟ සතියේ ලැබෙන්න තිබුණා.
අපරාදේ කියන්න බෑ කසුන් හා මේනක කොල්ලෝ දෙන්නා පස්සේ ඉස්කෝලෙදිවත් මට හ්ම් කිව්වේ නෑ. හැදිච්ච පවුල්වල යමක් කමක් තේරෙන දරුවෝ එහෙම තමයි.
©මාලිනීගනේවත්ත2025

No comments:

Post a Comment