Saturday, November 1, 2025

ලේලි - 7

 ලේලි - 7





"බබෝ" තිරයේ ගොරකා ලෙල්ලක් වගේ මූණක් දාගෙන සැමී මතු වුණා.
"ඇයි මේ මූණ නාලු වෙලා?"
"මෙන්න ඔයා අම්මා එක්ක විතරක් කතා කළා කියලා අක්කා තරහ වෙලා"
බුදාම්මෝ අම්මට විතරයැ මෙයාගේ බය. අක්කටත් ඒ වගේ නේ.
"ඉතින් මං ආසයි අක්කටත් කතා කරන්න"මං පුලුන් රැලකටත් වඩා සැහැල්ලුවෙන් කිව්වා. ප්රශ්න විසඳන හැටි ගැන පාඨමාලාවක් මං ජීවිත තක්සලාවෙ හදාරමින් සිටි නිසා මේවත් ප්රශ්න ද කියලා මට හිතුණා.
"ඉන්න මං කන්ටැක්ට් කරන්න." ලෝකයක් ලැබුණ තරම් සන්තෝසෙන් සැමී කිව්වා.
පොඩි වෙලාවකින් නෑනා තිරයේ මතු වුණා.
"නංගී" ආදරය බේරුණා.
"කොහොමද අක්කී?"
"හොඳයි.... කොහොමද ඔයාට?"
"හොඳයි"
"ඔයා අපේ ගෙදර මං කියන්නේ අපේ මහ ගෙදර එනවලු නේ...."
"ඔව්" මගේ පිළිතුර අනන්තයේදී හමුවීමට යන සමාන්තර සරල රේඛා තරමටම කෙලින්ම විහිදුණා.
"හ්ම්... හැම තිස්සෙම සම්ප්රදායම කරගහගෙන බෑ තමයි නේද නංගී.... "ඔරුවේ පෙරලුණු පිට හොඳයි කියනවා වගේ බටර් පාරක් බව මට ක්ෂණිකවම තේරුම් ගියා.
"ඔව් අක්කි.... දැන් හුඟක් මගේ යාලුවෝ එහෙම කරනවා."
"එහෙනම් මං ඔයා පිළිගන්න බලාගෙන ඉන්නවා හොඳේ"
" හා අක්කී... එදාට හමුවෙමුකො "
ඒකත් හරි... අර උන්දැගේ බය නැති කරන්න එපායැ.
ඒ දවසත් උදා වුණේ පරණ පුරුදු විදියටම ඉර නැඟලා තමයි. මට කියන්න බැරි වුණා. සමන්ත ගේ ගෙදරින් ආරාධනය අපට එහේ දවල් කෑමට.
ඉතින් උදේ නවයට විතර ලෑස්ති වෙන්න ගත්තා.
ගවුම ඇඳලා.... කරාබු දෙක දාලා.... කොණ්ඩය කැරලි විදියට පිටුපසට කඩලා දැම්මා. සාමාන්යයෙන් කරන මේක් අප් එක කර ගත්තා.
ළා රෝස පාට ලිප්ස්ටික් ආලේප කළා.
"ලස්සන ද අම්මා?"
අම්මා කන්න වගේ බලා ඉඳලා
"මගේ කෙල්ල" කියලා ඔලුවට උම්මා එකක් දුන්නා.
"හා හා කොණ්ඩය අවුල් කරන්න එපා" මං හැල ගෙම්බි වගේ පිම්බා. පව් අම්මා. මං අම්මගේ බෙල්ල සීරුවට බදා ගත්තා.
අම්මාත් හනි හනික මගේ ගවුමේ පාටට හරියන විදියේ මනිපූරි ඔසරියක් ඇඳලා පොටට කටුව ගහන එක මට පංගාර්තු කළා. ඊළඟට අගස්ති ඇට මාලෙයි බංගලි වළලුයි දා ගත්තා. ඔසරිය අඳින්න කලින්ම කොණ්ඩෙ ගෙඩිය බැඳලා ඒකට රත්තරන් කූර ගහන එක එයාගේ සිරිත.
" මෙයාට මඟුලට අඳින්න කොයි රටෙන් සාරි ගේන්න වෙයි ද දන්නේ නෑ"
තාත්තා අම්මා දිහා බලලා කිව්වේ මගේ පො කැට්ටුවට තමයි තට්ටු කියන එක නොකියා කියලා..
"නැතුව අපට මහ හුඟක් මඟුල් තියේ යැ ගන්න. කරන එක උඩින්ම කරන්න ඕන"
අම්මගේ මහන්තත්ත ගතිය වැට පැන්නා. තාත්තා පහතරට වුණාට අම්මා ඉතින් උඩරට මැණිකේ නොවැ.
" අනේ අම්මේ මේ දැන් ඕකට රණ්ඩු වෙන්න ඕන නෑ. මං කියන්නම් කෝ කරන්න ඕන විදිය. අනික තාම සැමීයි මායි තාම ඒ ගැන කතා කරලාවත් නෑ".
" සැමී ඒ කවුද පුතේ? "
" සමන්ත සමන්ත කෙටි කළහම සැමී.."
"අනේ අනේ මෙහෙමත් ළමයි.... ඒකත් නමක්ද දරුවෝ?"
"එයා ඒකට කැමතී අම්මා"
"හ්ම් දැන් ඔය වාද විවාද නවත්තලා අම්මල දූලා කාරෙකට යන්න. මං දොරවල් ලොක් කරලා එනකම්" තාත්තා ඉතින් කවදත් සාම මණ්ඩලයේ සභාපති කම කරනවනේ.
තාත්ත නම් සිම්පල් විදියට ඇඳලා හිටියේ. මං කිව්ව විදියට නිල් පාට අත්කොට කමිසෙට සුදු කලිසම.
තරමක් උස තාප්පය කෙළවර විශාල ගේට්ටුව ඇරලා දාලා තිබුණා. තාත්තා කාරෙක කෙළින්ම ඇතුළට දාලා ඒ පාර දිගේ ඉදිරියට ඇදුණා. දෙපැත්තේ ගණනට ලස්සනට කපපු අන්දර වැටක් තිබුණේ. වත්ත මැද නවීනතම නොවුණ නමුත් ගාම්භීර පෙනුමට තීබුණු දෙමහල් නිවසේ ඉදිරිපස කාරෙක නැවතුණා. මං වටපිට බැලුවා. මිදුල නරකමත් නෑ. මල් ටිකක් එහෙම වවලා තිබුණා. ටිකක් එහායින් අඹ රඹුටන් වගේ ගස් තිබුණා. මිදුලේ තණකොළ ගණනට කපලා තිබුණා.
නැන්දම්මා මාමණ්ඩි විතරක් නෙවේ තව මැදි වයසේ ඔසරියක් ඇඳි කතකුයි යුරෝපීය ඇඳුම් ඇඳපු පිරිමි කෙනෙකුයිත් ඉස්සරහට ආවා.
අපි බහිනකොටම එයාලා අත් එකතු කරලා ආයුබෝවන් කිව්වා..
මෙන්න මහ කලබලේකින් වගේ සැමී දුවගෙන ආවා.
"ආන්ටි අන්කල් මේ අපේ නැන්දයි මාමයි. අම්මගේ අයියා..."
එයා අර ජෝඩුව අපට අඳුන්වලා දුන්නා.
ඒත් එක්කම කොට ගවුමක් ඇඳගත්ත ඇඟපත ටිකක් ලොකුවට තියෙන කෙල්ලෙක් දුවගෙන ඇවිත් සැමීගේ අතේ එල්ලිලා
"කෝ සමන්ත අයියා සුරංගි අක්කී.... අක්කී...." කිය කියා මං ළඟට ආවා.
මොන උඩැක්කියක් ද මන්දා.... ඒකී සැමීගේ ඇඟේම දැවටුණා.
" සුරා මේ සහස්රා අපේ මාමගේ දුව"
" එහෙමද?" මං ඇහුවේ අමුතු විදියකට.
අපි ගේ ඇතුළට ඇවිත් ඉවර වුණා. ලස්සන ගවුමක් ඇඳගෙන හිටපු නෑනත් ඉස්සරහට ආවා. එයත් එක්ක අවුරුදු හතක විතර හුරුබුහුටි දරුවෙකු වූ එයාගේ පුතාත් හිටියා. ඊට පිටුපසින් හිටි උස මහත දුඹුරු පාට පිරිමියා හඳුන්වා දෙමින් එයා කතා කළා.
"මේ අපේ මහත්තයා.... මේ සුරංගිගේ පේරන්ට්ස් "
"අඳුනගන්න ලැබීම සතුටක්! මේ පුතුද? " අපේ තාත්තා නෑනාගේ සැමියාට අතට අත දී පුතාගේ ඔළුව අතගෑවා.
දරුවා මං දිහා බලලා ටිකිරි හිනාවක් පෑවා. මං පුතාගේ අත අල්ලගෙන
"හෙලෝ පුතා මොකක්ද පුතාගේ නම?"
"සිරිත් ජයවර්ධන"
"වාව් ලස්සන නමක්"
" පුතා ඉස්කෝලේ යනවද
"ඔව්..... ඉන්ටර්නැෂනල් ස්කූල් " දරුවා එයාගේ පාසලේ නම සඳහන් කළා. බොහොම සතුටින්
දිගටම දරුවා මගේ අත අල්ලගෙන හිටියා.
"ඉඳගන්න මිසිස් රණසිංහ.... දුව... මිස්ට රණසිංහ" බොහොම ආචාරශීලී ලෙස කියමින් අම්මලාට ආරාධනා කළ නැන්දම්මා "දුවේ" කියමින් මාව බදාගෙන උම්මා එකකුත් දුන්නා.
අර උඩැක්කියත් සමන්ත වටේම කැරකි කැරකී හිටියා....
සමන්තගේ මූණ ඒ තරම් හරි නැති බව මට පෙනුණා.
අපේ තාත්තයි සමන්තගේ තාත්තයි අර මාමයි නැන්දයි අපේ අම්මයි ඒ වෙනකොටත් කදේට සෙට් වෙලා.
ඒත් එක්කම නෑනා සේවිකාවකට යම් අණක් දුන්නා. ඒ සුමනා බව මං තේරුම් ගත්තා. එයා ගෙනාපු බීම බන්දේසිය නෑනා අතට අරන් අපට පිළිගැන්නුවා.
අපි බීම බොද්දී සරිත් කොහේදෝ දුවලා ගියා. සෙල්ලම් කරන්න වෙන්න ඇති. මං වාඩිවෙලා බීම තොල ගාමින් කතා නැතුව හිටියා. සමන්ත කතාව පටන් ගත්තා.
"ඒක නෙවේ සුරා... මේ සහස්රාට ඔයාගෙන් බයෝ අහගන්න ඕන ලු."
"ඔයා බයෝ ද කරන්නේ?" මං වෙනසක් නොපෙන්වා ඇහුවා.
"තාම පටන් ගත්තේ නෑ අක්කී"
"ඔව් තාම එක්සෑම් ඉවර වුණා විතරනේ" සැමී අත්වැල් ඇල්ලුවා.
ඒ අතරෙත් ඒකි සැරෙන් සැරේ සමන්තගේ අතේ එල්ලෙනවා.මේ මොන මළ කෝලමක් ද මට හිතුණා. පොඩි ළමයෙක් නම් කමක් නෑ. තඩි ඇඟපතක් එක්ක ළමිස්සියක්.
නැන්දම්මාට මේ අලකලංචිය තේරිලා වගේ අම්ල භෂ්ම උදාසීන කරන්න ඕනේ කියලා හිතලා වැඩේ වෙන අතකට මාරු කළා.
" සහස්රා පුතා එක්ක සෙල්ලම් කරන්න. මං අක්කට ගේ පෙන්නන්න යනවා."
එහෙම කියලා නැන්දම්මා මගේ අතින් අල්ලා ගත්තා.
"එයාලට කතා කරගන්න ඇරලා අපි යං දුව, ගේ බලන්න. ඔයාට ඕන කිව්ව නේ එන්න ඉන්න තැන කොහොමද කියලා බලන්න" කියමින් මගේ අතින් අල්ලගෙනම ගේ ඇතුළට ආවා. පුතා බැලිල්ල කෙසේ වෙතත් අර උඩැක්කිය සමන්තගේ උකුළෙද දන්නේ නෑ කියලා මට හිතුණා.
"ඔය පොඩි එකී ඒ දවස් වල ඉඳන් අයියත් එක්කම තමයි. තාම ඕ ලෙවල් වලට ඉඳ ගත්තා විතරයි."
මගේ හිත දැනගෙන වගේ නැන්දම්මා කිව්වා.
" ආන්ටී ඒ මාමලා මේ ළඟද ඉන්නේ?" මං බෝලයක් බැස්සුවා.
"කලින් හිටියේ මේ කිට්ටුව. දැන් අලුත් ගේ හදලා දුරට ගියා. දැන් ඉතින් වෙනදා වගේ දුවගෙන එන්න බෑ."
මගේ ප්රශ්නයට උත්තරේ ලැබුණා.
ඒ කතා අතරෙම නැන්දම්මා ගෙදර ගැන විස්තර කරමින් කාමර, බාත් රූම්, කිචන් එහෙම මට පෙන්නුවා..
අපි උඩ තට්ටුවට යද්දී අව්ව තැප ගන්න බලාගෙන ඉන්න මලානික තලගොයෙක් වගේ සමන්තත් ඇදිලා ආවා. මොන මෙන්න අර සක්කරවට්ටමත් පස්සෙන් ආවා. වචනයක් කතා කරන්නවත් ඉඩක් නැති හැටි.... කිසිම වැඩක් නෑ කියලා මට හිතුණේ. ඒත් මං එහෙම දෙවෙනි වෙන්න ඕනයැ කියලා හිතනවත් එක්කම කොහේද තිබුණු ධෛර්යයක් මගේ හිතට ආවා. ඇවිත් එක පාරටම මං සමන්තගේ අතින් අල්ලා ගත්තා. සමන්තත් මගේ අත මිරිකා ගත්තා. ආදරණීය බැල්මකින් මං දිහා බලාගෙන හිටියා. අරකී පැත්තකට වුණා. පස්සේ පහළට දුවගෙන ගියා.
මේ අලකලංචි ගැන ඒ වෙද්දී නැන්දම්මාට මෙලෝ සිහීයක් නෑ. උන්දෑ එයාගේ මාලිගාවේ විස්තර මට පෙන්නමින් දිගටම කතාව.
"මේ තමයි දුවේ උඩ මාස්ටර් බෙඩ් රූම් එක. මේකේ දැනට මං ඉන්නේ. ඔයාලා ආවම ඒක ඔයාලට....." කියලා නැන්දම්මා පොඩි මනමාල හිනාවක් දැම්මා.
"යටත් එකක් තියෙනවා නේද ආන්ටි?"
"ඔව් ඒකේ තාත්තා ඉන්නවනේ"
තාත්තා එකක මෙයා එකක විතරක් එහෙම ඉන්නේ ඇයි කියලා මට එක පාරට ඔළුවට ආවත් මං නිහඬව සිටියා. පළමුව ඒහි පස්සිකෝ නේ......
කාමරවල ඉන්ටීරියර් ඩෙකරේෂන් නම් ගොනයි මීමයි වගේ කියලා මට හිතුණා. ඇඳන් වල රෙදි එක පාටක්. කර්ටන් තව පාටක්. ගැළපෙන්නේ නැති පාටවල්. බලමුකෝ මං එනකම්. මං ඕවා වෙනස් කරලා ගන්නම්.
ගේ නරඹලා අපි පහළට ආවා. සහස්රා පුතා එක්ක සෙල්ලම් කර කර හිටියා.
"සහස්රා"
" ඇයි අක්කී? "
"ඔයාට ඒ ලෙවල් කරද්දී නම් වැඩ වැඩි වෙවි නේද?"
"ඔව් අක්කී.... මං කොහොම හරි මෙඩිසින් කරන්න ඕන...."
"කොච්චර හොඳද?හොඳට මහන්සි වෙලා වැඩ කළොත් බැරි වෙන එකක් නෑ නංගී"
"අක්කී හරිම හොඳයි. හැමෝම ඔය විදියට ආශීර්වාද කරන්නේ නෑ අක්කී" ඒකී අහිංසක විදියට කිව්වා.
"තැන්ක් යූ.... මං නම් ඉගෙන ගන්න ඕන ළමයෙකුට උදවු කරනවා."
" මාත් ආසයි අක්කිගෙන් ඉගෙන ගන්න."
" බලමු. මං තාම නම් ටියුෂන් කරන්නෑ නංගී."
ඒකත් හොඳ යෝජනාවක් නේද කියලා මට යටි හිතට හිතුණා. ඒත් මට මාස්ටර් එකේ වැඩත් එක්ක තව වැඩ පටලවාගෙනත් බෑ නේ.
මේ වෙද්දි දවල් භෝජනයට වෙලාව හරි. නැන්දම්මා අපට වතුර අල්ලලා ආරාධනා කළා.
සම්ප්රදායික විදියට තමයි කෑම බීම තිබුණේ. වරදක් නෑ. අපි හැමෝටම බඩගිනි වෙලත් තිබුණ නිසා ඉක්මනින් ඒ භෝජනය භුක්ති වින්දා.
ආතුරුපසට පලතුරු හා ජෙලි පුඩිං ලැබුණා.
" මගේ ජෙලි පුඩිං එක රසද නංගී?" නෑනා ඇහුවා.
ඇත්තටම ඒක රසයි
"හරිම රසයි අක්කී" මං හිතින්ම කිව්වා. කොහොම වුණත් නෑනගේ නිලයත් අල්ලගෙන ඉන්න එක ඉස්සරහට හොඳයි කියලා මගේ අන්තර්ඥානය මට උපදෙස් දුන්නා.
"දැන් ඉතින් මේ දෙන්නගේ අදහස් කොහොමද?"
කෑමෙන් පසු කතා බහේදී මාමණ්ඩි ටිකක් බර තියලා ඇහුවා.
"ටිකක් දෙන්නා කතා බහ කරගන්න එක හොඳයි නේද මිස්ට සපරමාදු?"
"ඔව් දෙන්නට අපේ ගෙදරදී කතා බහ කර ගන්න බැරුවයැ" අපේ අම්මා කිව්වේ හරියට මං සැමී එක්ක රට වටේ රෝන්දේ යයි කියලා බයටද දන්නේ නෑ. මගේ කැම්පස් යාළුවන්ගේ, සඳාලගේ ගමන් ගැන මං අම්මට ඇති වෙන්න කියලා තියෙනවා නේ. අනික පෙම්වතුන් කාලේ එයාලගේ අතීත ගමනුත් මතක් වෙනවා ඇතිනේ.
" ඒක හොඳ අදහසක් " නැන්දම්මාත් හොට දැම්මා.
" ඒ වුණත් අපි මේක කරනවා නම් අවුරුද්දක් තියලා වත් හොටෙල් බුක් කරන්න වේවි නේද?"ඒත් එක්කම අපේ අම්මා ලෝකේ ලොකුම ලොකු මඟුල හිතේ මවාගෙන ඇහුවා
"ඒකත් ඇත්ත" නැන්දම්මා කිව්වා.
"මට ඒවට කන්ටැක්ස් තියෙනවා.... තව ටික දිනක් බලලා.... නැකැත් හදලා හොටෙල් එකක් බුක් කරමු."අපේ තාත්තා විශ්වාසය පළ කළා.
ඊළඟට දිගටම කතා වුණේ මඟුල ගැන. මං මගේ අදහස් කිව්වා. මං කැමති අවුට් ඩෝ ෆන්ක්ශන් එකකට බව කීවා. සැමීත් ඒ අදහසට එකඟ වුණා.
ඒත් අවසාන තීරණයකට එළඹෙන්නේ නැතුවම සාකච්ඡාව ඉවර වුණා.
අපි සැමට සමු දීලා එන්න ලෑස්ති වෙද්දී සැමී මට කනට කරලා "මං ඊළඟ ඉරිදා ඔයාගේ පියානෝ වාදනය අහන්න එනවා" කියලා ඉංග්රීසියෙන් කිව්වා.
මං පියානෝ වාදනය දන්න බව එයා දැනගත්තේ එදා.

1 comment:

  1. හැම වචනයක්ම පිටකරලා තියෙන්නේ යටිහිතේ මොකක්හරි තියාගෙන නේ!

    ReplyDelete