ලේලි - 8
හවස මගේ තොරතුරු දැනගන්න ඔපදූපිච්චි සඳාට කඩි කුලප්පුවක් තිබුණේ. කීප සැරයක් මැසේජ් කරලා තිබුණා. ඒත් මට කතාකරන්න වෙලාව ආවම තමයි මං එයාට ගත්තේ. කොහොම වුණත් මට පණ වගේ ඉන්න යාළුවා නේ ඒ කෙල්ල. බැච් මේට්ස්ලා වුණත් දැන් වැඩි දෙනෙක් පවුල් පන්සල් වෙලා.....වැඩ වැඩි වෙලානේ උන්ට. ගොන්නු බර අදිති කියලා ළඟදිත් සඳුන් කිව්වා මතකයි. උන් ඇද ගනිපුවාවේ උන්ගේ කරත්ත....
සඳා හිනා මූණකින් පුන් පෝදා හඳ වගේ තිරයේ පෑව්වා.
"මොකද යන්න ඉන්න මාලිගාව හිතට ඇල්ලුවද?"
"නරක නෑ සඳා. හැබැයි බං අනිත් පැත්ත පෙරලලා හදලා ගන්න වෙනවා."
"බලාගෙන එතන දැනටමත් රැජනක් ඉන්න බව බොට අමතකද?"
"නැන්දම්මා ද?"
"නැතුව... ඒකනේ අපි වෙනම මාලිගයක් හැදුවේ."
සඳාලා බැඳලා වෙනම පදිංචි වෙන්න ඒ වෙනකොටත් ගෙයක් හදලා ඉවරයි. තව ෆිනිෂිං වැඩ ටිකක් විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඒ මඟුල ඊළඟ මාසෙට යෙදිලා තිබුණේ. ඒකටත් ලෑස්ති වෙන්න තිබුණා මට.
" බලමු බලමු දොඹෙං නං දොඹෙං තමයි..."
" ඉංජිනේරුවට ගෙයක් හදන්න වෙයිද දන්නෑ."
"ඔව් ඒකත් බැරි නෑ නේ"
" ඉඩම එහෙම ලොකුවට ඇතිනේ? "
" හ්ම් මහා විසාල ඉඩමක් බං"
"වෙන අලුත් ගෙයක් හදා ගනින්. ඉංජිනේරුවට සල්ලි ඇතිනේ? "
"තියේ තියේ.. ඒත් ඉතින් මහා සාගරයක් වගේ ඒ ගේ සැමීට නේ! "
" සැමී.... ෂා මරු නම... දැන් සේරම හරි වගේ නේද? "
" ඒක නෙවේ ඇඟේම නැඟ ගත්තු නෑනෙක් එයාට ඉන්නවනේ... මාමගේ දූ. මාමා නාකි වෙලාද කොහෙද කසාද බැඳලා තියෙන්නේ. තාම පොඩි කෙල්ල" මං සහස්රා ගැන සේරම සඳාට කිව්වා. එයාටත් ඒක ටිකක් අප්සට් වගේ.
"රෙඩ් ප්ලෑග්ස් ද මන්දා....
" මං ඒවා කොළපාට කර ගන්නම් කෝ
" කෝකටත් කල්පනාවෙන්.... අද කාලේ පොඩි කෙල්ලන්ටත් පිස්සු නේ බං"
මට එදා රෑ හුඟක් වෙලා සැමී එක්ක කතා කරන්න දේවල් තිබුණා. මොකද මට දැනගන්න ඕන වුණා එයාගේ ගෙදර තත්ත්වය තව ටිකක් හොඳට. ඒකට පාර කපාගත්තේ වට වංගුවක් දාලා. නැත්නම් මේ ගෑනි එන්නතක් කලින් ගෙදර පාලනය ගන්න හදනවා හිතන්නත් බැරි නෑනේ. කොයි තරම් ආදරේ ආදරේ කිව්වත් ඒවා නොපිට පෙරළෙන්න මහ වෙලාවක් යන එකක් යැ.
සුපුරුදු විදියට සැමී පැණි හිනාවත් එක්ක තිරයේ මතු වුණා.
"පැටියෝ"
"පැටියො ඒ මොකක්ද අනේ. මං සුරා නේ"
"වැඩි ආදරේට නේ පැටියෝ කියන්නේ... වෙන කෙල්ලෝ නම් ආසයි පැටියෝ කියනවට"
"මොනවා... ඔයා වෙන කෙල්ලෝ කී දෙනෙකුට දැනට පැටියෝ කියලා තියෙනවද?"
සැමීගේ මූණ බරි වූණා බරි විල්ලක්.... ඇත්තටම මිනිහා මට බය වුණා මං හිතන්නේ.
" නෑ නෑ මං කියන්නේ යාළුවෝ කියන හැටියට... කතාවල තියෙන විදියට..." මිනිහට ගොත ගැහෙන්න ගත්තා.
"කමක් නෑ අනේ.... ඉස්සර ඒවා මට ඕන නෑ" මං ඒ මූණ හදාගන්න උදවු කළා. පවුනෙ මගේ මිනිහ වෙන්න ඉන්න එකානේ
"අපේ ගෙදර හොඳයි ද?" එයා මාතෘකාව මාරු කළා.
"ලස්සනයි.... මං ආසයි වත්තට හේම... පළතුරු ගස් එක්ක" නරකවල් අං බානකට මට එදා පෙනුණා වුණාට ඒවා කියලා ආයේ ඒ මූණ අමාවක කරන්න මට ඕන වුණේ නෑ.
" ඔයා ආවම තව වවා ගන්න පුළුවන් නේ"
"ඔයාලගෙ අම්මට වැඩ වැඩී වගේ නේ? "
මං අර තොරතුරු දැන ගැනීමේ පනත අනුව අවශ්ය කතාවට පොට පාදගන්න හැදුවා.
"එයා කැමති එහෙම තමයි සුරා... වැඩ වැඩිකරගෙන වැඩ කරනවා වැඩ වැඩ කියලා හැමෝටම කියන්න එයාට ඕන.."
" ඉස්කෝලේ වැඩත් ඇතිනේ"
" එයා දැන් අංශ ප්රධාන නේ වැඩිය උගන්වන වැඩ නෑ. අනික ළඟදී රිටයර් වෙනවා නේ"
" එහෙමද? කවුද සැමී ගෙදරට ඒ කියන්නේ කුස්සියට එහෙම ඕන කරන බඩු ගේන්නේ?" මං මගේ ප්රශ්නය රවුම් කරලා ඇහුවා.
" ඒ ඔක්කොම කරන්නෙ අම්මා. තාත්තා සේරම ඒ මැනේජ්මන්ට් එක අම්මට බාර දීලා තියෙන්නේ. සල්ලි එහෙම ඔක්කොම පාලනය එයා තමයි."
" ඔයාගේ සල්ලිත්? "
" නෑ මගේ ඒවා මං ගාව. ඒවත් ඕන වුණහම නම් අම්මා ඉල්ල ගන්නවා "
" එහෙනම් සපරමාදු මාලිගාවේ රැජන එයා"
"ඔයා ආවම ඊළඟ රැජනට සුදුසුකම් ලබනවනේ එතකොට අම්මට වැඩ අඩු වෙයි නේ"
මං නම් පුතෝ වැඩකාරියක් නම් නෙවේ.
ඉන්න අයගෙන් වැඩ කරව ගන්න නම් දන්නවා හොඳේ. මං හිතින් කියා ගත්තා.
" ගෙදරක් වුණහම වැඩ බෙදාගන්න ඕන"
" ඔයා ආවම බෙදලා කරලා ඉනොවේෂන් එකක් එහෙම කරලා ගන්නකෝ"
" බලමු බලමු නැන්දම්මා සෙට් නම් ඒක සුළු දෙයක්"
" අම්මා ඔයාට ආදරේ නේ! "
" අම්මා විතරද? "
" තාත්තත් ඔයාට කැමතී"
"පුතා?"
ඔන්න ඉතින් පුතා තිරෙන් ලව් කරන්න තියා ගත්තා.
"ඕවට එන්න එපා! "
" ගෑනු ළමයි ඕන දේට නේ එපා කියන්නේ "
" හොඳට ගෑනු ළමයි ගැන දන්නවා වගේ "
පහුවදා ඉස්කෝලේ ගියහමත් ඉඩ තියෙන හැම වෙලාවෙම මං සඳාගෙන් මඟුල ගැන කතා කළා. එයාට මට වඩා මේ ක්ෂේත්රය ගැන දැණුම වැඩී නේ. උන් දෙන්නා දැනටම කරන්න ඕන හැම මඟුලම කරලා ඉවරයි නේ.
"මං නම් සඳෝ මඟුල ඉවර වෙනකම් ඒවා නෑ හොඳේ "
" බලමු බලමු.... උඹලා ළඟදීම වෙඩින් ගන්නද කල්පනාව.
" තාත්තා නැකැත් හදනවා කිව්වා. ඊට පස්සේ හොටෙල් එක බුක් කරාවි. මං ප්ලැනක් හදලා තියෙන්නේ. ඒක සැමී එක්ක කතා කරලා තීරණයක් ගන්නවා. එයත් කැමතී අවුට් ඩෝ ෆන්ක්ශන් එකකට."
" ඔව් ඒක හොඳයි. කොහොමත් තව මාස හයක්වත් යයිනේ? "
"ඔව්... උ.. ඹලා එතකොට එක වහලක් යටට ඇවිත් නේ?"
"ඒකෙ ලොකු අමුත්තක් නෑ සුරංගී අපට... අපි දැනටමත් ජීවිතේ පටන්ගෙන ඉවරයි "
" මං තාම උ.. ඹලගේ මඟුලට ලෑස්තිත් නෑ. "
" කැමති විදියට වරෙන්.... ලොකු ලෑස්තියක් ඕන නෑ... හරිම සිම්පල් විදියට නේ කරන්නේ. "
ඉරිදටත් උදා වුණා. හවස සැමී එනකම් කොකා වගේ බෙල්ල දික්කරගෙන ඉඳලා බෙල්ලත් උළුක්කු වුණා.
ඔන්න හතරට විතර කාර් එක ගේට්ටුවෙන් ඇතුළු වුණා..
සැමී මොකක්දෝ පාර්සලයකුත් අරන් කාර් එකෙන් බැස්සා. එයාගේ ලස්සන මාව වශී කළා. .... නිල් පාට කොටු වැටිච්ච අත් කොට කමිසයට ගැලපෙන අළු පාට කලිසම. මං ආසාවෙන් එයා දිහා බලන් හිටියා.
එයා බැහැලා ඇවිත් මට හග් එකක් දුන්නා. එයාගේ ළඟින් අපූරු විලවුන් සුවඳක් දැනුණා.
අතේ තිබුණු පාර්සලය මට දීලා
"පොඩි තෑග්ගක් කිව්වා"
ඒක බර නෑ.
"යං ගෙට...." මට ඒක ඇරලා බලනකම් ඉවසුමක් තිබ්බේ නෑ.
අම්මා විතරයි ගෙදර හිටියේ. අම්මා ඇවිත් බෑනා පිළිගෙන ඉඳගන්න ඇරයුම් කළා. එයා කාලයට ඇවිත් සෝෆාවේ ඉඳගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් කතා කරලා ඈ ගෙට ගියා.
මං පාර්සලය ඇරියා. දිස්නෙ දිදී වයිට් ගෝල්ඩ් පොඩි මාලයක්. චූටි පොඩි ගලක් අල්ලපු පෙන්ඩන්ට් එකක්. ඒ විස්තරය ලියපු කාඩ් එකක් තිබුණා. ගල දියමන්තියක්. හැබැයි මිල ගැන මොනවත් ඒකේ නෑ.
"හොඳයි ද?" මට මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරි වුණා. මං එයාගේ ඇස් දෙක දිහා බැලුවා.
"ඉන්න මං දාන්න."
එයාම ඒක අරගෙන මගේ කරට දැම්මා.
"ගිහින් කණ්ණාඩියෙන් බලන්න."
මං දුවගෙන කාමරයට ගියා. එයාට එන්න කිව්වේ නම් නෑ. එයා ආවෙත් නෑ.
ඇත්තටම ලස්සන මාලයක්. මට නිතරම මාල දාලා පුරුදුත් නෑ.
"ලස්සනයි... තැන්ක් යූ සෝ මච්" කියාගෙන මං සාලයට ආවා.
අපි ටිකක් වෙලා අපේ ජීවිතය ගැන කතා කළා. සෙල්ලක්කාර කුරුල්ලෙක් වගේ පෙණුම තිබ්බට ටිකක් ගැඹුරින් ජීවිතය දිහා බලන පොඩි පණ්ඩිත බවක් කතාවේ තිබුණා. ඊට පස්සේ ගලක් යට හිටපු ගෙම්බෙක් ඉර පායපු ලෝකේ දැකලා මවිත වෙනවා වගේ වෙලා එකපාරටම
"ඉතින් මං ආවේ ඔයාගේ පියානෝ ප්ලේ බලන්න නේ..." කියලා එයාගේ ඇස් දෙක පියනෝ එක දිහා ට එල්ලවුණා.
"පියානෝ තාම ගෙදර ආවේ නෑ" කියලා මං සිරික්කියක් දැම්මා.
"මට ඕන දුවානෝ නේ!" එයා අර මං ආස කරන මනමාල බැල්ම දැම්මා. මං වෙනම ලෝකෙකට පියෑඹුවා වගේ කියලා හිතුණා.
"මොකටද ආස....." කියාගෙන මං පියානෝ එකට ඉඳ ගත්තා.
" ම්....
විශේෂයක් නෑ... Unchained melody ආසයි කිව්වා
මං ඒක ප්ලේ කළා. එයා දිගටම මගේ ඇඟිලි දිහා බලාගෙන හිටියා.
" හරිම ලස්සනයි සුරා. යූ ආර් එ ජීනියස්" කියලා මගේ ළඟට ඇවිත් මාව බදා ගත්තා. ඊට පස්සේ පහත් වෙලා
"ඔන්න මං හැමදාම දෙන්න බලාගෙන හිටි තෑග්ග" කියලා නළලට උම්මා එකක් දුන්නා.
ඒකෙ රසය ඇඟ පුරාම විදුලියක් වගේ යද්දී
"අම්මා දකියි......" කියලා මං එයාව හෙමින් එහාට තල්ලු කළා.
"ඉතින් අම්මා දැක්කම මොකෝ?" එයාට හැම දේම විහිළු.
එක අතකට ඇත්තනේ. දැක්කම මොකද? මොකද අම්මට ඕවා අලුත් දේවල් වෙන්න බෑනේ. අවුරුදුම තිහක විතර කසාද ජීවිතයක....
"එන්න පුතා තේ ටිකක් බොන්න" කියාගෙන අම්මා බෑනට සෙනේ පෑවේ මගේ හිතට ඉරිසියාවකුත් අරගෙන...හොඳයි හොඳයි අලුත් පුතා දූට වඩා හොඳ වෙලා වගේ.
ඒත් එක්කම අම්මගේ ඇහැ ගියේ මගේ කරට. වෙනදා පාළුවට තිබුණු කර දියමන්තියක් ඔබ්බපු වයිට් ගෝල්ඩ් මාලෙකින් සැරසිලා තියෙනවා දැක්කම ගෑනු කාගෙත් ඇස්වලට එන බැල්ම අම්මගේ ඇහෙත් තිබුණා.
"තෑගිත් ලැබිලා තියෙන්නේ" අම්මා කිව්වා.
"පොඩි තෑග්ගක්" සැමී කිව්වා. මේක පොඩි නම් ලොකු තෑග්ග කොහොම වෙන්න ඕනද කියලා මං කල්පනා කළා. අහස පොළොව ගැටලන ප්රශ්න මේවා!
©මාලිනීගනේවත්ත

No comments:
Post a Comment