Monday, December 31, 2018

නව වසරක් .....

නව වසරක් .....

ලොව කැරකුණි දවස් ගෙවුණි 
හිරුත් සඳුත් විත් හිනැහුණි 
ආයෙත් තව අවුරුද්දක් 
එන්න එබෙනවා 

හිරුට සඳුට අපට හොරා 

කාලය යයි ඉගිල්ලිලා 
ජීවිත ගමනේ තවලම 
තාම ඇදෙනවා 

කාලය නුඹ කවුරු වැනි 

යන්නේ ඇයි මේ නොපෙනී 
ගෙවී ගියපු හැම මොහොතම 
මතක පොතේ හීන වුණි 

කාල මගේ එක තැනකදී 
හීන පෙලට තිතක් තියා 
ඉඩදී අන් අයට යන්න 
අපි නවතිනවා 

එතෙක් ඉතින් අපි එකතුව 
එකිනෙකාට සුබ පතමින් 
මේ දින එළඹුණු දවසට 
අපි හිනැහෙනවා 

Thursday, December 27, 2018

කහ - Turmeric



කහ - Turmeric

කහ අපේ කුස්සියට නැතිවම බැරි දෙයක්. අපි කහ ව්‍යංජන වලට දැමීමෙන් මුලිකව බලාපොරොත්තු වෙන්නේ වර්ණය. වර්ණයෙන් ව්‍යංජනය ඇසට ප්‍රිය ජනක බවට පත් කරනවා.

කහ ලබා ගන්නේ Curcuma longa කියන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකයෙන්. මේ ශාකයේ සැබෑ කඳ භූගත එකක්. එය රයිසෝමය කියා හඳුන්වනවා. රයිසෝමයක ගැට සහ පර්ව තිබීමෙනුත්, ශල්ක පත්‍ර තිබීමෙනුත්, කක්ෂීය අංකුර තිබීමෙනුත් එය කඳක් බව තහවුරු වෙනවා. පොළවෙන් උඩ තියෙන කඳ පත්‍ර පාද එකතුවී සෑදෙන ව්‍යාජ කඳක් .

කහ වල ඇති සක්‍රිය සංයෝගය Curcumin නම්වන රසායනික ද්‍රව්‍යයක්. නමුත් කහවල මෙය ඇත්තේ ඉතා අඩුවෙන්. බරෙන් 3%ක් පමණයි. මෙහි ගුණ සම්බන්ධ පරීක්ෂණ කරලා තියෙන්නේ,දවසකට Curcumin 1g පමණ ලබාදිය හැකි නිස්සාරක භාවිත කරලා. අපි කුළුබඩුවක් විදියට පාවිච්චි කරද්දී ඒ තරම් ප්‍රමාණයක් දිනකට ශරීර ගත වෙන්නේ නැහැ. අවාසනාවට Curcumin ඒ තරම් හොඳට රුධිරයට උරා ගන්නේ නැහැ. කළු ගම්මිරිස් සමග මිශ්‍ර කරලා කෑවොත් ගම්මිරිස් වල තියෙන Piperin කියන ද්‍රව්‍ය මගින් Curcumin උරා ගැනීම වැඩිකරනවා. අනික,Curcumin දියවෙන්නේ තෙල් වල. ඒ නිසා තෙල් සමග තමයි එය ගත යුත්තේ.
කහ ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි කලාපයේ හොඳින් වැවෙනවා. එය තනි වගාවක් ලෙසත් පොල් වගාවේ අතුරු වගාවක් ලෙසත් පවත්වාගෙන යනවා දකින්න පුළුවන්
දැන් ඉතින් ඔබ දන්නවා කහ ආහාරයට එක් කිරීමෙන් Curcumin ඔබේ ශරීරයට ලැබෙන බව. කහ ආහාරයට එක් කිරීම නිසා සිදුවන හිතකර ප්‍රතිඵල මොනවාද කියා දැනගන්න ඔබ කැමති වේවි

1. Curcumin ප්‍රති- ප්‍රදාහ කාරකයක්
ප්‍රදාහය කියන්නේ සාමාන්‍යයෙන් අපේ ශරීරයට විෂ බීජ ඇතුල් වීම වලක්වන උපක්‍රමයක්. මෙය ප්‍රයෝජනවත් දෙයක්. තුවාලයක් උනහම ඒ ස්ථානය රිදෙන්නේ, ඉදිමෙන්නේ මේ නිසා. එතකොට අපි දැනගන්නවා ප්‍රතිකාර කලයුතු බව. නමුත් සමහර අවස්ථා තියෙනවා නිදන්ගත ප්‍රදාහ පවතින. මෙය වෙනත් බොහෝ අබාධ වලට මග පාදන බව සොයාගෙන තිබෙනවා.
හෘද රෝග,පිළිකා ,ඇල්ෂයිමර් රෝගය වගේ. ඉතින් කහවල ඇති Curcumin ප්‍රභල ප්‍රති ප්‍රදාහ කාරකයක් නිසා මේ තත්වයන් ඇති වීම වළක්වනවා.
2. Curcumin ප්‍රභල ප්‍රති ඔක්සිකාරකයක්. ඔක්සිජන් මුක්ත ඛණ්ඩ ඇති වීම නිසා වන හානි දායක ක්‍රියාවන්, වයසට යාමේ ලක්ෂණ හා බොහෝ රෝග වලට මුල්වෙනවා. මේ මුක්ත ඛණ්ඩක වලින් ඔබේ ශරීරය ආරක්ෂා කරන්න ප්‍රති-ඔක්සිකාරක වලට පුළුවන්. Curcumin එසේ කරන අතරම ශරීරයේ ඇති ප්‍රති-ඔක්සිකාරක එන්සයිම වල ක්‍රියාවද ඉහල නංවනව.
3. Curcumin මොළයේ හා සුෂුම්නාවේ Brain -Derived Neurotrophic Factor නම් ප්‍රෝටීනය  සෑදීම ඉහළ නංවනවා. ඒ නිසා මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමටත් ,මොළය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් හේතු වෙනවා.
මේ BDNF කියන ප්‍රෝටීනය මොළයේ ඇතැම් ප්‍රදේශ වල  නියුරෝන වල  නව සම්බන්ධතා ඇතිකර ගැනීමට දායක වන දෙයක්.  මානසික අව පීඩනය හා ඇල්ෂයිමර් රෝග වලදී මේ ප්‍රෝටීනය අඩු වන බව සොයාගෙන තියෙනවා. එමෙන්ම ඔබේ මතක ශක්තිය වැඩි කරන්නත් මෙය වැදගත් වෙනවා.
4. Curcumin ඔබේ හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරනවා. රුධිර නාල වල ඇතුල් බිත්ති යහපත් ලෙස තබා ගැනීමට දායක වෙනවා. ඒ අනුව යහපත් රුධිර පීඩනයක් පවත්වා ගැනීමට හැකි වෙනවා.
5. කහ පිළිකා වළක්වා ගැනීමට මෙන්ම පිළිකා වලට ප්‍රතිකාර කිරීමටත් යොදා ගැනීමට පුළුවන්. ඇතැම් පිළිකා සෛල විනාශ කිරීමටත්,පිළිකා පැතිර යාම වැළැක්වීමටත් කහ වලට හැකි බව අධ්‍යන වලින් හෙළිවී තිබෙනවා.නමුත් මේ ගැන වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වෙනවා.
6. Curcumin ඇල්ෂයිමර් රෝගය වළක්වා ගැනීමටත් එයට ප්‍රතිකාර කිරීමටත් යොදා ගැනීමේ හැකියාවක් තිබෙනවා.
7. Curcumin Supplement වලට ආර්තරයිටිස් රෝගීන් හොඳ ප්‍රතිචාර දක්වල තියෙනවා. ආර්තරයිටිස් අස්ථි සන්ධිවල ප්‍රදාහ තත්වයක්.
8. Curcumin මානසික අවපීඩනය අඩු කිරීමට ප්‍රභල ලෙස බලපානවා.
9. Gastritis රෝගයට හේතුවන Helicobacter pylori නම් බැක්ටීරියා මර්ධනයට කහ යොදා ගන්නවා. මේ සඳහා උදේ හිස්බඩ මී පැණි වලට කහ කුඩු තේ හැන්දක් දියකර බොන්න පුළුවන්. සතියකින් පමණ සුවය ලැබෙනවා.
10. විශේෂයෙන් සතුන්ගේ සමේ තුවාල කහ යෙදීමෙන් සුවකර ගැනීමට පුළුවන්.
ඉතින් කහ වල හොඳ පමණ ද තියෙන්නේ? එහි නරකක් ඇත්තෙම නැද්ද?
ඔව් කහ අහිතකර වන අවස්ථාත් තිබෙනවා.
1. උදරයේ අපහසුතා
2. වමනය හා ඔක්කාරය
3. කරකැවිල්ල
4. පාචනය
මේ තත්වයන් ඇති වන්නේ වැඩිපුර කහ ආහාරයට ගැනීමෙන්.
එක් වාර්තාවකට අනුව පුද්ගලයෙක් කහ දිනකට 1500 mg බැගින් දෙවරක් ගැනීම නිසා අසාමාන්‍ය භයානක හෘද ස්ඵන්දනයක් ඇතිවූ බව  සඳහන් වෙනවා.
ඕනෑම හොඳ දෙයක් වුවත් ඕනෑවට වඩා ඕනෑ නැහැ
(ඇතැම් කරුණු අන්තර්ජාලය ඇසුරිනි) 

Sunday, December 23, 2018

කන්නෙලිය චාරිකාව සිහිවී ...


කන්නෙලිය චාරිකාව සිහිවී ...



තුරු හිස් සෙවන යට රඟ දෙන                               සෙවනැ ලිය
ළා දළු නගයි මද පවනේ                                        සිලිසි    ලිය
සුන්දර සොබා කොමලිය මේ                                වනම     ලිය
පිවිතුරු වනපෙතයි අප ආ                                     කන්නෙ ලිය

වට වැස්සෙන් තෙමී තුරු පෙළ    තෙත                           බරිනි
මුළු වන පෙතම සීතල සුළගින්                                      වෙලුණී
දිය සීරාව ගලමින් සැම තැන                                          නිතිනි
වනපෙත හැඩ කළා           දිය උල්පත්                            වලිනි

හිමිදිරි උදැසන අප සැම   අවදි                                    වෙලා
නැරඹු විට සිරිය වට පිට         බැලුම්                          හෙලා
කඳු පෙළ නිදිබරව මිහිදුම් සළුව                                 වෙලා
සිටියා බලන් හිරු එන තුරු         අවදි                         වෙලා

කුරුළු කොබෝ නාදය දස           අත                         පැතිරී
කඳු පෙළ තුරු වදුලු මත හිරු රැස්                                විසිරී
සුන්දර රටා මැවි මැවි එන විට                                     ඉතිරී
සොයනෙමි  වදන් වැනුමට මේ                            සිරි   අසිරි

ගල් කුළු මතින් නැග නැග උඩටම                             නැගලා
කබ්බලෙ  කන්ද මුදුනින් වට පිට                                බලලා
නෙතු මානයේ දසතින් මන් මත්                                කරලා
තුරු හිස් පමණි දුටුවේ නිල්ලෙන්                              වැසිලා

ගල් කුළු මත බැඳුණු  ලයිකන පෙඳ                              පාසී
මීවන පඳුරු තැන තැන වැතිරී                                       රාසි
උඩවැඩියා ඇතත් ගස් මත  ගෙන                                  වාසී
පිපෙමින් තිබුණි දම් පැහැ මල් වන                                වාසී

පුස් වැල්, වැනි වැල් ද නෙක වැල් තැනින්                       තැන
වෙලෙමින් සෙනෙහසින් මහ රුක්               සනස            මින
රුක් වැසි සතුන් හට දී නීති                         රැකව            රණ
අතු අග මල් කිනිති හා පල                         රඳව              මින

කූඩෑල්ලන් නිසා අප හැම           විඳි                                  වදය
අමතක නොවේ ගත කළ දින                                  කන්නෙලිය
පණහක් විතර එල්ලී ලේ  බිමෙන්           කළ                    හදිය
බය වනු කුමට සකි  ඒ උන්ගේ                                        හැටිය                 

සුදු පෙන කැටි නංවමින් පහළට                                      ඇදෙන
අනගි මලේ සුන්දර දිය ඇළි                                              රැජින
බැලුවත් කොතෙක් නැත ඇති වීමක්                                  ඉතින
සැමදා ගලනු මැන බාධක මැඩ                                          නිතින

සිරිලක් පොළොව සනසන  වැසි වන                            කොමලී
මහ ගණ වන පෙතයි තුරු නිල්ලෙන්                               බැබලී
අවදානමට පත් වන මුත් ඉන්                                      නොසැළී
සැමදා ඉඳිනු මැන සිත සතුටින්                                         ඉපිලී

Photo credit- Gunadasa Pathirana

Tuesday, December 18, 2018

අජිනෝමොටෝ - Ajinomoto

අජිනෝමොටෝ - Ajinomoto


















අජිනෝමොටෝ කියන්නේ කෑම වලට දාන රසකාරකයක් කියල අපි කවුරුත් දන්නවා. එත් මේ වචනයේ තේරුම මොකක් ද ? Ajinomoto ජපන් භාෂාවේ වචනයක්.  -Essence of taste කියන එකයි එහි තේරුම. මෙය මුලින්ම සොයා ගෙන තියෙන්නේ ජපානයේ ටෝකියෝ නුවර Imperial විශ්ව විද්‍යාලයේ  ජපන් ජාතික රසායන විද්‍යා මහාචාර්ය වරයෙක් වන Kikune Ikeda විසින් 1908 දී.

ජපන් ජාතිකයන් ශත වර්ෂ ගණනාවක් තිස්සේ ආහාර පිසීමේදී රසය වැඩිකර ගැනීමට එකතු කිරීමට පුරුදුව සිටි Kombu (Kelp) නම් මුහුදු පැළෑටි වර්ගයකින් (මෙය මා දන්නා පරිදි දුඹුරු ඇල්ගී වර්ගයක්) Ikeda මෙය නිස්සාරණය කර ගත්තා. මෙය Glutamate කියන රසායනික ද්‍රව්‍ය බවත් දැන ගත්ත. එසේ වෙන්කර ගත් Glutamate වලට සෝඩියම් එකතු කිරීමෙන් Mono Sodium Glutamate (MSG ) හෙවත් අජිනෝ මොටෝ ලබා ගත්තා. එනම් Mono Sodium Glutamate කියන්නේ Glutamic අම්ලයේ ස්ථායීම සෝඩියම් ලවනය. මෙයින් ඇති කරන රසයට කියනවා 'umami'(Savoury)  රසය කියලා. අනික් මුලික රසවල් ඔබ  දන්නවානේ ? පැණිරස,තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස වශයෙන්.

ඉතින් Glutamic Acid කියන්නේ ඇමයිනෝ අම්ලයක්.  ඒක අපේ ශරීරයේ ප්‍රෝටීන් නිපදවෙන්න ඕන කරන ඇමිනෝ අම්ල 20න් එකක්. ඒක අපි පිටතින් ආහාර සමග අනිවාර්යයෙන් ගත යුතු අත්‍යවශ්‍ය ඇමිනෝ අම්ල කාණ්ඩයට වැටෙන්නේ නැහැ. ඒක අපේ ඇඟේ ම හැදෙනවා. එය අපේ මධ්‍ය ස්නායු පද්ධතියේ ස්නායු සම්ප්‍රේෂකයක් ද වනවා. Gluatamate එහි ඍණ අයනය. එය සෝඩියම්  සමග එහි සෝඩියම් ලවණය හදනවා. Mono Sodium Glutamate කියන්නේ ඒ ලවණය. ස්වභාවික ආහාර වන  මව් කිරිවල ගව කිරි වලට වඩා 10 ගුණයක් ද ,   Parmigiano-Reggiano  චීස් වල ලොව කිසිම අහරයකට වඩා වැඩියෙන්ද (1,200 milligrams / 100 grams), නිෂ්පාදිත ආහාර වන මාමයිට් හා වෙජිමයිට් (1,750 milligrams /100 grams) වල අධික ප්‍රමාණයක් ද නිදහස් ග්ලුටමික් අම්ලය ඇත. ස්වභාවික ග්ලුටමේට් අඩංගු වෙනත් ආහාර නම් තක්කාලි, නයිට්රේට සහිත ලුණු දැමූ මස්, බිම්මල්, සෝයා සෝස්, මාළු සෝස් ආදියයි. 

ඉතින් කාලයක් තිස්සේ MSG ආහාර රසගැන්වීමට ජපානයේ භාවිත වුණා. Kekune ධනවතෙක් බවට පත් කරමින්  ප්‍රචලිත වුණ මේ අජිනෝ මොටෝ අද ලොව පුරා කෑම මේස මත දැකිය හැකියි.

මේ අතර චීන අවන්හල් වලින් ආහාර අනුභව කළ යම් පිරිසකට හිසරදය,වමනය හා ඇත පය හිරි වැටීම වැනි ආබාධ ඇතිවුණා. එහි වරද අජිනෝ මොටෝ වලට පැටවුණා. මේ තත්වය හැඳින්වුණේ Chinese Restaurant Syndrome කියලා.

 මෙය වඩාත් ප්‍රභල ලෙස කතා බහට ලක් වුනේ Ho Man Kwok නම් වෛද්‍ය වරයෙක් එංගලන්තයේ වෛද්‍ය ජර්නලයක පළ කළ ලිපියක් නිසා. ඔහු එහි ලියා තිබුණා ඇමරිකාවේ ඇති චීන අවන්හල් වලින් ආහාර ගත් හැමවිටම ගෙල පිටුපස හිරි වැටීම,එය අත් හා පිට දිගට පැතිර යාම, සාමාන්‍ය දුර්වලතාව, හද ගැස්ම වේගවත් වීම වැනි සින්ඩ්‍රෝමයේ ලක්ෂණ ඇතිවන බව. නිවසේ පිළියෙළ කල ආහාර ගත් විට එසේ නොවන බව.

මේ පණිවිඩය කොතෙක් පැතුරුනා ද කිව්වොත් 'අපේ කෑම වල MSG අඩංගු නැත.' කියා පුවරු ප්‍රදර්ශනය කිරීමට පවා චීන අවන්හල් හිමියන්ට සිදු වුණා.

මේ සමගම Glutamate ගැන පර්යේෂණ පැවැත්වීම ආරම්භ වුණා.  Washington විශ්ව විද්‍යාලයේ Dr. Onley  විවිධ සතුන්ට විශාල මාත්‍රා වලින් මෙය ඇතුල් කර බලපෑම කෙසේදැයි බැලුවා. අලුත උපන් ට මෙසේ කිරීම නිසා මී පැටවුන්ගේ මොළයට හානි සිදු වුණා. ඔවුන් වැඩුණු විට කුරු,මහත ඇතැම් විට වඳ මීයන් බවට පත් වුණා. වඳුරන්ට ද එම බලපෑම් ඇති වුණා. නමුත් වෙනත් පර්යේෂකයන් රැසක්  වඳුරන් යොදා කළ පර්යේෂණ එම ප්‍රතිඵල ලබා දුන්නේ නැහැ.

නිරෝගී මිනිසුන් යොදා ගෙන කොටසකට MSG කරල් ද අනික් කොටසට placebo එකක් එනම් වෙනත් දෙයක් කරල් වශයෙන්ද  (ඔවුන්ට දෙන්නේ කුමක් දැයි පර්යේෂණ කණ්ඩායම් දන්නේ නැහැ.) ද දුන්නා.  අර කියූ Chinese Restaurant Syndrome ලක්ෂණ දෙගොල්ලන්ටම එකම වේගයෙන් ඇති වුණා. කණ්ඩායම් දෙක මාරු කරලා නැවත පර්යේෂණය කරහමත් එම ප්‍රතිඵලයම ඇති වුණා.

අවසානයේ 1995 දී  ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් සියළුම පර්යේෂණ සළකා බලා ,MSG යකා මේ තරම් ම කලුදැයි  සොයා බැලීමට American Societies for Experimental Biology නම් ආයතනයට පැවරුවා. ඊට පස්සේ    යන නම වෙනුවට MSG Symptom Complex ( MSG රෝග ලක්ෂණ සංකීර්ණය ) කියන නම යෙදුවා. අවසානයේ සොයා ගත්තා යම් පුද්ගලයන් ඉන්නවා MSG විශාල මාත්‍රා වලට අසාත්මික වන. 3 g වත් ආහාර නැතිව වතුර විතරක් එක්ක ගන්න ඕන එහෙම වෙන්න. නමුත් සැබෑ ජීවිතයේ දී කෙනෙක් ආහාර සමග ගන්නේ 0.55 g පමණයි.
2000 වර්ෂයේදී තවදුරටත් පර්යේෂණ කිරීමෙන් පෙනී ගියේ තමා විසින්ම ඔවුන් MSG වලට අසාත්මික යයි කියන පුද්ගලයින්ගේ ප්‍රකාශවල  විශ්වස්‍ය  භාවය සැක සහිත බවයි. නමුත් විද්‍යාව කිසිවක් නවතා දමන්නේ නැත. ඒ නිසා තවත් පර්යේෂණ කෙරෙනු ඇත. දැන්  US, FDA මගින් ආහාර වලට MSG එක් කිරීම GRAS එනම් Generally Recognized as Safe ලෙස සලකනවා. කෙසේ නමුත් ඇමරිකානු ජනතාව ප්‍රතික්ෂේප කරන ආහාර රසකාරක අතර එකතු කරන MSG  තවමත් ඉහළින් තිබෙනවා. මෙය මෙරට  ජනතාව විසින්  ද තරයේ ප්‍රතික්ෂේප කරන නමුත් මාමයිට් වැනි ඊස්ට් නිස්සරකවල ස්වාභාවිකවම අධික MSG සාන්ද්‍රණයක් ඇති බව ඔවුන් නොදන්නා නිසා එවැනි දේ ඉතා පෝෂ්‍ය දායක ආහාර ලෙස රෝගීන්ට ද දෙනවා. 

(REF. BBC.com)
(Thanks to Karen Tsoi for the photo on Unsplash)



Friday, December 14, 2018

මරණයට බියවීම Fear to death




මරණයට බියවීම

Fear to death



තම  මරණය ගැන සිතීම  නිසා අධික බියක් සිතට නැගෙන බව යම් පුද්ගලයින් විසින් පවසා තියෙනවා 

සියළු සතුන් හා ශාක ද යම් ජීවිත කාලයක් ජීවත්වෙන්න තමයි හැඩගැසී තිබෙන්නේ. මෙසේ ජීවිත කාලයක් පවතින්න නම් අපේ ශරීර අනවරත අවස්ථා පාලනය නම් ක්‍රියාවලියක් පවත්වා ගන්න ඕන.
මෙය මහා සංකීර්ණ ක්‍රියාවලියක්. හුස්ම ගැනීමේ ඉඳලා, ජීවිතය පවත්වා ගන්න කරන සියළුම දේ මෙයට අයත් වෙනවා.

මෙය මේ විදියට තේරුම් ගන්න බලමු. අපි තුවාල වෙනවට බයයි. තුවාල නොවී ඉන්න අපි පරිස්සම් වෙනවා. සතෙක් හපා කන්න එනවා නම් අපි පලා යනවා, හෝ පහර දෙනවා. මේ සඳහා අපේ ස්නායු පද්ධතිය හා හෝමෝන බලපානවා. කොහොම හරි  අපිට  තුවාලයක් වුණා කියල  හිතමු. ඉතින් අපිට රිදෙනවා. ඒ නිසා අපි තුවාලය ගැන බලනවා. බෙහෙත් කරනවා. මෙහෙම නොයෙක් අතවර වලින් අපි බේරෙන්න බලනවා, ජීවිතය අතහරින්නේ නැහැ. උපරිම කාලයක් ජීවත් වෙන්න තමයි බලන්නේ.

සතා අපට පහර දෙන්න එන බව අපිට පෙන්වනවා. සටන් කරන්න හෝ පලා යන්න අපි පොළඹවනවා. තුවාලය ගැන සොයා බලන්න අපි පොළඹවනවා. මේවා වෙන්නේ නැත්නම් අපිට ජීවිතය අතහරින්න වෙනවා. ඒ කියන්නේ මැරෙනවා.

දැන් මෙහෙම හිතන්න. දියවැඩියා රෝගියෙකුට දැනෙන්නේ නෑ ,කකුලක පොඩි තුවාලයක් ඇති වුණාම. ඉතින් ප්‍රතිකාරයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. තුවාලය ඉබේ සුව වීමත් වෙන්නේ අඩුවෙන්, අධික සීනි නිසා. තුවාලය විශාල වෙනවා. එවිට තමයි එය දකින්නේ. 

සත්තුත් එහෙමයි. සත්තුත් විශාල බයකින් ඉන්න බව පේනවා. පරිසරයේ කිසියම් සුළු හෝ වෙනස් වීමක් දැනුනහම ඔවුන් තිගැස්සෙනවා. සත්තු බය වේදනාවට ,මරණයට නෙමෙයි. පහර කන්න ඔවුන් බයයි. ඒ රිදෙන නිසා.

'සබ්බේ තසන්ති දණ්ඩස්ස' කියල ධම්මපද ගාථාවක තියෙනවනේ 

අපි හිතමු සිංහයෙක් ගෝනෙක් අල්ලන හදනවා. ගෝනා දුවනවා. මොකද ජීවිතය හැදිලා තියෙන්නේ උපරිම කලක් ජීවත් වෙන්න. කොහොම හරි සිංහයා ගෝනා අල්ලා ගත්තා කියලා හිතමු. එත් ගෝනා ජීවිතය අත හරින්න සුදානම් නැහැ. ඌ සටන් කරනවා උපරිම වෙර අරන්. ඌ හිතන්නේ නැහැ දැන් දැන් ඌ මැරෙයි කියල. මේ ගෝනාගේ තත්වයේ මිනිසෙක් හිටියොත් බොහෝ විට තත්වය වෙනස්. මිනිසා හිතනවා දැන් දැන් ඔහු මැරෙයි කියල. මොකද මිනිසා ඉගෙන ගෙන තියෙනවා, සිංහයා දරුණු මාංශ භක්ෂක සතෙක් බව. එය වහාම මිනිසාගේ මතකයට එනවා. මරණ බය උපරිම වෙනවා.

ඒ නිසා මරණයට බය වෙන්න නම් 'මරණය ' යන්න ගැන සවිඥානික වෙන්න ඕන. ඒ වචනයේ තේරුම දැන ගන්න ඕන.

කෙසේ නමුත් මරණයට බය වීමට විශේෂ හේතුත් තියෙනවා.

1. රිදීමක් ඇතිව හෝ නැතිව මිනිස්සු මරණයට බයයි. සමහරුන්ට මෙය මරණ කාංසාව නමින් (Death Anxiety) මනෝවිද්‍යාත්මකව  හඳුන්වන තත්වයකට එනවා. එය ප්‍රතිකාර ලැබිය යුතු තත්වයක්.
2. ඇතැම් රෝගී තත්වයන් වලදීත් Anxiety ඇති වෙනවා. Thyroid ග්‍රන්ථියේ ආබාධ, හෘදයාබාධ, සර්ප දෂ්ටන, ඇතැම් ඖෂධ ගෙන නැවැත්වීම වැනි. මෙවැනි අවස්ථා වල පුද්ගලයාගේ හැසිරීම මරණයට බිය වීමක් ලෙස පිටට පේන්න පුළුවන්. 'මම මැරෙයි ද ?' කියා රෝගියා අහන්නත් පුළුවන්.

එවැනි විශේෂ තත්වයක් නොවී මරණයට ඇති සාමාන්‍ය බියවීම පහත සඳහන් හේතු මත වෙන්න පුළුවන්.

1. මරණින් පසු ආදරණීයයන් ගෙන් වෙන්වීමට සිදුවීම.

2. මරණින් පසු ආදරණීයයන් ට පිළිසරණක් නැති වේ යයි සිතීම.

3. මරණින් පසු සියල්ල අවසන් වේ යයි සිතීම.

4. මරණය සිදු වන මොහොතේ අධික වේදනාවක් දැනේ යයි සිතීම.

5. අවසන් හුස්ම ගිය කිසිවෙක් නැවත නොපවතින නිසා මරණය යනු කුමක් දැයි කිසිවෙකු නොදන්නා නිසා.

6. මරණින් මතු 'මම' යන්න තව දුරටත් පවතී කියන විශ්වාසය මත. ඒ 'මම' ඊළඟ ආත්ම භාවයේ කොහේ යයි ද කියා බය වෙනවා. විශේෂයෙන් බෞද්ධයින්  මරණාසන්න චුති සිත නරක එකක් වේවි කියල බය වෙනවා.

ග්‍රීක දාර්ශනිකයෙක් වන Epicurus  මෙයට වසර 2000කට පෙර මෙන්න මෙහෙම තර්කයක් ඉදිරිපත් කරනවා.
“Death does not concern us, because as long as we exist, death is not here. And when it does come, we no longer exist.”
අපි පවතින තාක් කල් මරණය මෙහි නැති නිසා මරණය අපට කනස්සල්ලක් ඇති නොකරයි. එය පැමිණි විට අප තව දුරටත් පැවැත්මක් නොදරන නිසා කනස්සලු වීමට කෙනෙක් ද නැත.' 

If your life ends at death, then you have nothing to fear, because there will be no ‘YOU’ to experience pleasure or pain. It’s all over when it’s over.
ඔබේ ජීවිතය මරණයෙන් කෙළවර වේ නම් බියවීමට දෙයක් නැත. මන්ද යත් සතුටු වීමට හෝ දුක්වීමට' ඔබ'  නැති බැවිනි. එය අවසන් වූ විට සියල්ල අවසන් බැවිනි.  

මමය මාගේය කියා දෙයක් නැත
( Some facts from Internet.)
Photo by Fred Pixlab on Unsplash

Tuesday, December 11, 2018

පුංචි මුනුබුරුගෙ පාසල ඇරිලා

පුංචි මුනුබුරුගෙ පාසල ඇරිලා 


රෑනින් රෑන එන
පුංචි පුංචි කුරුළු පැටව්
නොනවතින කිචි බිචිය
පාසල් ගේට්ටුව ළඟ

ඇදෙයි දුබල ගත
සැලෙයි අත රැඳී කුඩය
ඒත් සොයයි උකුසු ඇස
පුංචි මුනුබුරු කොහේදැයි

සැම පැත්තටම
ඇතුළ සිට පිටට
පිට සිට ඇතුළට
බලාපොරොත්තුවේ දෑස

පුංචි සිනා කට දුව එයි ළඟටම
'සීයේ.....'
ගීලුණු දැස් තුළ දිස්නය දෙයි සතුට
දියබිඳු වගේ ළිං පතුළක දිළෙන

'යං පුතේ අපි ගෙදර'

Saturday, December 8, 2018

Gastritis (ආමශයික ප්‍රදාහය)



Gastritis (ආමශයික ප්‍රදාහය)


මිනිස්සු 'මට ගැස්ටික් තියෙනවා ' කියා කියනවා මට නිතර ඇහිලා තියෙනවා. ඇත්තටම මේ වැරදි වචනය දැන් සමාජ ගතවෙලා. Gastritis තමයි රෝගයේ නිවැරදි  නම. 

මොකද්ද ගැස්ට්‍රයිටිස් කියන්නේ?

ආමාශ ආස්තරය ප්‍රදාහය (inflammation ), අසාමාන්‍ය උද්දීපනය (irritation ) හා පසුව එය ඛාදනය වීම.
මෙහි ආකාර 2ක් තියෙනවා .
1. නිදන්ගත (chronic) Gastritis - ක්‍රම ක්‍රමයෙන් රෝගය ඇතිවීම
2. උග්‍ර (Acute) Gastritis - ක්ෂණිකව රෝගය ඇතිවීම
ආමාශයික ආස්තරණය යනු කුමක් ද ?

අපේ ආමාශයේ බිත්තියේ ප්‍රධාන ස්තර 4ක් තියෙනවා. පිටත සිට
1. මස්තු පටලය
2. පේශී ස්තරය
3. අධඃ ශ්ලේෂ්මලකය
4. ශ්ලේෂ්මලකය
මේ ශ්ලේෂ්මලකයේ ඇතුළෙන්ම තියෙන්නේ තනි සෛල ස්තරයක් වන ආමාශයික ආස්තරය. (රුපයෙන් බලා ගන්න.)
Gastric pits කියන සිදුරු රාශියක් මෙහි තියෙනවා. ඒවා තුල ආමාශයික ග්‍රන්ථි තියෙනවා. ඒවායින් ආහාර ජීර්ණයට අවශ්‍ය එන්සයිම හා හයිඩ්‍රෝක්ලොරික් අම්ලය නිපදවෙනවා. ඒ වගේම ශ්ලේෂ්මල (සෙම ) නිපදවෙනවා. මේ ශ්ලේෂ්මල මේ ආමාශයික ආස්තරය පුරා ස්තරයක් විදියට තැන්පත් වෙනවා. එයින් අපේ ආමාශ බිත්තිය ආරක්ෂා වෙනවා. ඒ නිසා තමයි අපි ගන්නා ආහාර දිරවන්නෙත් අපේ ආමාශ බිත්තිය දිරවන්නේ නැත්තෙත්.
Gastritis ඇතිවීමට හේතු
1. අධික මත්පැන් භාවිතය
2. දුම්කොළ භාවිතය
3. වයසත් සමග එන දුර්වලතා
4. ඇස්පිරින් වැනි ඖෂධ භාවිතය
5. Helicobacter pylori නම් ආමාශයික ශ්ලේෂ්මලයේ ජීවත් වන බැක්ටීරියා වර්ගය
මෙයට නිසි ප්‍රතිකාර නොලැබුන හොත් ආමාශ ආස්තරණය තුවාල වන අතර පිළිකා වුවද ඇතිවිය හැකිය.
6. පිත අමාශය කරා ගැලීම
7. වෙනත් බැක්ටීරියා/වයිරස ආසාදන
8. Autoimmune අබාධ
9. හදිසි අනතුරකට/ රෝගී වීමකට/සැත්කමකට පසුව ඇතිවන මානසික ආතතිය
කෙසේ වුවත් නිසි ප්‍රතිකාර නොලැබීමෙන් අධික රුධිර වහනයද පිළිකා ද ඇති වීමේ ඉඩක් පවතිනවා.
Gastritis රෝග ලක්ෂණ මොනවා ද ?
පුද්ගලයා අනුව රෝග ලක්ෂණ වෙනස් වන අතර ඇතැම්විට විශේෂ රෝග ලක්ෂණ නැති වීමටත් පුළුවන්.
සාමාන්‍ය රෝග ලක්ෂණ මෙන්න මේවා ....
1. වමනය
2. බඩ/පපුව දැවිල්ල
3. උදරය පුරවා දැමීම,විශේෂයෙන් ආහාර ගැනීමෙන් පසු
4. තුවාල ඇති විට රුධිරය පිටවීම නිසා මල කළු පැහැ වීම හා වමනය රුධිරය සහිත වීම
රෝග නිධානය හඳුනා ගෙන ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා.
ඒ අතර පහත සඳහන් පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඔබට සහනයක් ලැබිය හැකි වෙනවා.
ඔබ වැළකිය යුතු දේ
1. මත්පැන් පානයෙන් හා දුම් බීමෙන් වැලකීම
2. කැෆේන් සහිත පාන වර්ග, carbonated පැණි බීම වර්ග වලින් වැලකීම
3.අම්ල අධික පලතුරු අනුභවයෙන් වැළකීම
4. මේදය අධික ආහාර වලින් වැළකීම
5. තෙල්,මිරිස් සහිත බදින ලද ආහාර වලින් වැළකීම
6. ග්ලුටන් සහිත පාන්පිටි වලින් සැදු ආහාර ගැනීම අඩු කිරීම
ඔබ කළ යුතු දේ
1. තන්තු බහුල ආහාර ගැනීම
2. probiotics සහිත යෝගට් වැනි ආහාර ගැනීම
3. තෙල් අඩු මාළු ,කුකුල් මස් වැනි ප්‍රෝටීන ආහාර ගැනීම.
4. සුදු ළුණු ගුණ දායකයි
ඔබේ වෙනස් කල ආහාර රටාව කෙටි කාලයකට පමණක් නොව දීර්ඝ කාලීනව අනුගමනය කිරීම අවශ්‍ය බව සලකන්න. ඔබට නිරෝගී දිවියක් පතමි.

Monday, December 3, 2018

මිනිසා මැවූ පරිසරය

මිනිසා මැවූ පරිසරය 


දකිමි මම පරිසරය
අප අවට පරිසරය
විස්කම් දැකුමකි ඒ
මිනිසා මැවූ පරිසරය

සුනිල්වන් වනය සිඳ 
ඉඳි කෙරුණු මහ මැදුරු බිත්ති වල 
ගොඩ ගැසී තිබෙන්නේ 
මිහි පහණෙන් බිඳුණු 
නෙක නෙක පමණින් යුත් 
කැට කැබලිතිය 

ඒ මැදුරු කවුළු දොර 
මල්කම් කළ ලීයෙන් ද 
නිමාවී තිබෙන්නේ ?
ඔව් ,මහ වනේ තුරු සතුවූ 
මහ කඳන් ,අතු පතර 

මග දෙපස කුළුණු මත 
රෑ අඳුර කපාගෙන 
දිලෙන්නේ වීදුරු බුබුළු තුළ 
ගංගා, ඇළ, දොළ,විල්හි 
පිරුණු සිහිල් දිය බිදුය.

විදුලි වේගෙන් මග දිවෙන 
සුව පහසු රිය තුළ 
දැවෙන්නේ දුම් දමමින 
පෙර විසු තුරු ලතා 
හෙළූ උණු කදුළු තෙල්යැ !

Friday, November 30, 2018

අසිරිමත් මිනිස් සිරුර - 1






අසිරිමත් මිනිස් සිරුර - 1




පි අපේ සිරුර හැදිලා තියෙන්නේ කොහොමද,එහි කෘත්‍යයන් මොනවාද කියල සාකච්ඡා කලොත් හොදයි කියල හිතුනා. ඉතින් මොකක්ද එහෙම කතා කිරීමේ වැදගත් කම කියල ඔබට හිතෙන්න පුළුවන්. ජීවිතයක් ලැබීම උතුම් දෙයක් කියල මං විශ්වාස කරනවා. ඒ ලැබුණු ජීවිතය ඵලදායී විදියට උපරිම කාලයක් ජීවත් කරවන්න ඕනෑ. ඒ සඳහා සිරුර සෑදී ඇති විදිය දැන ගැනීම වැදගත් වනු ඇති.

හුගක් මිනිස්සු සිරුර යන්ත්‍රයකට සමාන කරනවා මට ඇහිලා තියෙනවා. 'දැන් අපේ යන්ත්‍රය පරණයි,වෙනද වගේ වැඩ කරන්න බැහැ' කියල වැඩිහිටියෝ කියනවා. අපි ලේසියට අපි කවුරුත් දන්න මහන යන්ත්‍රය ගැන හිතමු. එය කොටස් ගණනාවකින් සමන්විත වෙනවා. එක එක කොටස  යම් සුවිශේෂී කාර්යක් කරනවා. යන්ත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න සෑම කොටසක්ම එක්ව ක්‍රියාත්මක විය යුතු වෙනවා.

ඔව්, මේ හැම අතින්ම මිනිස් සිරුර යන්ත්‍රයකට සමාන තමයි. ඇත්තෙන්ම එය මිහිමත ඇති අපුර්වතම යන්ත්‍රය කියා කිව්වොත් ඒක නිවැරදියි.

ඉතින් මේ මිනිස් යන්ත්‍රය මට්ටම් ගණනාවකින් යුක්ත ඉතාමත් අනගි සංවිධාන රටාවක් පෙන්වනවා.  එය සෛලයෙන් ආරම්භ වී සම්පුර්ණ මිනිස් සිරුරෙන් අවසන් වන විදියට තමයි සකස් වී තියෙන්නේ. ඉහළ සංවිධාන මට්ටම් වල විශාල සංකීර්ණත්වයක් තියෙනවා. රූපයෙන් මේ මට්ටම් තේරුම් ගන්න බලන්න.

ඉතින් අපි මුලින්ම බලමු සෛලීය මට්ටම, පහලම මට්ටම. වැඩිහිටි පුද්ගලයෙකුගේ සිරුරක සෛල ට්‍රිලියන 100ක් තියෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි නේද ?අනිකුත් ඔනෑම සජීවියකුගේ වගේම මිනිස් සිරුරෙත් මුලික තැනුම් ඒකකය හා කෘත්‍යමය ඒකකය සෛලය. සෑම සෛලයක්ම සිරුරේ ජීවිතය පවත්වා ගැනීම සදහා තමාට අදාළ මුලික කෘත්‍යයේ යෙදෙනවා. බොහෝ මිනිස් සෛල යම් යම් කෘත්‍ය සඳහා විශේෂයෙන් හැඩ ගැහිලයි තියෙන්නේ. උදාහරණ විදියට ස්නායු සෛල ස්නායු ආවේග ගෙනයන්න පුළුවන් විදියට දිගු ප්‍රසර දරනවා. පේශී සෛල දිග හැරීමට (ඉහිල් වීම ) හා කෙටිවීමට (සංකෝචනය ) හැඩගැහී තියෙනවා.

මේ එක එක සුවිශේෂී සෛල ගැන කතා කරන්න කලින් අපි සෛලයක් කියන එක ගැන අවබෝධ කරගෙන ඉන්න ඕන.

එක සජීවී සෛලයක් වුණත් හරිම සංකීර්ණ දෙයක්. ඔබට රුපයේ පෙන්වල තියෙන්නේ සෛලයක් ඉතාම විශාල කරලා,ඉලෙක්ට්‍රොන අන්වීක්ෂය කියල උපකරණයකින් පේන විදියට. බොහෝ සෛල පියවි ඇසට කොහොමත් පෙන්නේ නැහැ. සෛලයේ පිටතින්ම සෛල පටලය කියල සියුම් පටලයක් තියෙනවා.  ඊට ඇතුළෙන් තියෙන්නේ දියරයක්. ඒක සෛල න්‍යෂ්ටියත් එක්ක ගත්විට ප්‍රාක්ප්ලස්මය නමින් හැඳින්වෙනවා. න්‍යෂ්ටිය හැර ගත් විට සෛලප්ලස්මය කියා කියනවා. ඒකෙ ගිලිලා නොයෙක් පුංචි මඩි වගේ (ඉන්ද්‍රයිකා )දේවල් රාශියක් තියෙනවා. ඒවත් අර වගේ පටල වලින් වටවෙලා තියෙනවා. 

මේවා හරියට අපේ ගෙවල් වල තියෙන කාමර වගේ. එක එක කාමරයේ කෙරෙන්නේ එක එක වැඩ. හැබැයි ඔක්කොම හොඳ සම්බන්ධීකරණයකින් තමයි වෙන්නේ. සෛලයේ ප්‍රධාන මෙහෙයුම් කාමරය තමයි න්‍යෂ්ටිය. ඒකෙ වර්ණ දේහ කියල සියුම් නුල් වගේ දේවල් තියෙනවා. මිනිස් සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා. මේවායේ තියෙනවා DNA කියලා හඳුන් වන රසායනික ද්‍රව්‍යයක්. එය තමයි පාලන යන්ත්‍රයේ දත්ත ගබඩාව.
මේ වගේ mitochondria කියල හඳුන්වන කුඩා කාමර රාශියක  තමයි ශක්තිය නිපදවන්නේ. ඒ ශක්තිය සෛලයේ කෘත්‍ය සඳහා යොදා ගන්නවා. රයිබොසෝම කියා හඳුන්වන පටල රහිත කුඩා ඉන්ද්‍රයිකාවල ප්‍රෝටීන නිපදවෙනවා. ලයිසොසෝම කියන ඉන්ද්‍රයිකාවේ තමයි සෛලයේ වයසට ගිය කොටස් ජීර්ණය වෙන්නේ. මේ හැම එකක් ගැනම කියන්න ගියොත් මේ ලිපිය දිග වැඩි වෙනවා වගේම ඔබේ මනසටත් කරදරයක් වේවි කියා හිතනවා. දැන් හිතා ගන්න පුළුවන් නේ  මිනිස් සිරුර කෙතරම් අසිරිමත් දෙයක් ද කියලා. ඒ ගැන හැදෑරීම ඒ තුළින් චාරිකාවක් යනවා වගේ වැඩක්. එන්න අපි ඒ සුන්දර චාරිකාව යමු. හැබැයි දින ගණනාවක් ගත වේවි. ඔබ කැමතියි නේද ?

Sunday, November 25, 2018

Time of Death 1



Time of Death 1

මරණයක් සිදුවූ ඇතැම් විට එය ස්වාභාවික අනතුරකින් වෙන්නත් පුළුවන්,මිනි මැරුමක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවට විශේෂයෙන්ම අපරාධ වෛද්‍ය විද්‍යාවේ මොන වගේ සාක්ෂි ද විමසා බලන්නේ කියල අද අපි බලමු.

මරණය සිදුවූ වෙලාවත් මළසිරුර සොයා ගන්නා වෙලාවත් අතර කාලයට කියනවා පශ්චාත්මරණ විරාමය (Postmortem Interval - PMI ) කියලා. මරණය සිදුවූ වෙලාව මෙන්ම පශ්චාත් මරණ විරාමයත් 100% ක් නිවැරදිව සොයන්න බැහැ. විශේෂයෙන්ම සිරුර හමුවන විට එය වියෝජනයේ උපරිම අවස්ථාවේ තිබීම හෝ එය සොයා ගන්නා විට ගින්නට,වතුරට හෝ හිම පතනයකට හසු වෙලා තිබුනොත් එය බොහෝ අපහසු වෙනවා.

ඒ නිසා මරණය සිදුවූ වෙලාව හා PMI දෙනු ලබන්නේ නිමානයක් (estimate ) ලෙසයි. ඒ නිසා එය සිද්ධියට අදාලව පැය ගණනක සිට දින ගණනක් දක්වාත්,මාස ගණනක සිට අවුරුදු ගාණක් දක්වාත් වෙනස් වෙන්න පුළුවන්.

මරණයක් සම්බන්ධ සාක්ෂි නිමානය කිරීමේදී පහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගන්නවා.

1. මල සිරුරේ භෞතික ලක්ෂණ - පශ්චාත් මරණ විපර්යාස,කෘමීන් සිටීම ආදිය

2. සිරුර සොයා ගත් ස්ථානයේ පරිසර සාක්ෂි - ගේ ඇතුළක ද, පිටත ද,වල දමා ඇත් ද, පුළුස්සා ඇත් ද,ජලයේ ද ආදීය

3. අපරාධය සිදුවූ ස්ථානයේ වෙනත් සාක්ෂි - යම් තද පහරක් නිසා අත් ඔරලෝසුව නතර වූ වෙලාව, දුර කතන ඇමතුම් ගත් හෝ ලබා ගත් වේලාවන් ආදිය

4. අවසාන වශයෙන් ඉතිහාස කරුණු - අපරාධයට ගොදුරු වූ තැනැත්තාගේ දින චර්යාව, සම්බන්ධතා හා සතුරන් පිළිබඳව
මල සිරුරක අභ්‍යන්තරයේ අනුක්‍රමික වෙනස් කම් මාලාවක් ඒවා සිදුවන වේගයට සමගාමීව සිදු වන අතර ඒ සඳහා පරිසර උෂ්ණත්වය, කෘමීන් හා වෙනත් සතුන් ගැවසීම ආදිය ද බලපායි. මේ සියලු දැනුම මරණය සිදුවූ වෙලාව දැන ගැනීමට භාවිත වේ.

මරණය සිදුවූ වෙලාව නිමානයේ දී භාවිත කරන වැදගත්ම ක්‍රමය මේ වේගය පිලිබඳ ක්‍රමයයි.
මල සිරුරේ සිදුවන විවධ පරිවර්තනයන් පශ්චාත් මරණ අවදි පිළිබද මිනුමක් ලබා දෙයි.

1. Algor motis - සිරුර සිසිල් වීමේ වේගය

2. Rigor motis - සිරුර දරදඬු වීමේ වේගය ආරම්භය හා ගතවූ කාලය. සිරුර දරදඬු වන්නේ පේශී වල ශක්ති වාහකය වන ATP නැතිවී යාමෙන්.

3. Livor motis - රුධිරය සිරුරේ පහළ තැන්පත් වීම නිසා සම දුර්වර්ණ වීම

4. සිරුර පුති භවනය වීමේ වේගය

5. Adepocere - සිරුරේ මේද සැෆොනීකරණය . මෙය බොහෝ විට සිදුවන්නේ ස්ථුල වැඩිහිටියන්ගේ, ළදරුවන්ගේ,හා ස්ත්‍රීන්ගේ

6. පටක ඉරී යාම - මෘදු කොටස් දියවී යාම නිසා පටක ඉරී ගැලවී යයි.

7. සිරුරේ අමාශයේ ඇති අවසානයේදී ඒ තැනැත්තා ගත් ආහාරය ජීර්ණය වී ඇති ප්‍රමාණය ද මරණය සිදුවූ වෙලාව නිමානය කිරීමේදී වැදගත්වේ.
තවද පශ්චාත් මරණ විපර්යාස ඒ තැනැත්තා යම් කිසි නිදන් ගත රෝගයකින් පෙලුනේ ද යන්න, කුමන ඖෂධ ගත්තේ ද යන්න ආදිය මත ද රඳා පවතී. ඔහු/ඈ ප්‍රතිජීවක ඖෂධ ගනිමින් සිටියේ නම් සිරුරේ ක්ෂුද්‍ර ජීවී ගහනය වෙනස් වන අතර එය කුණු වීමටද කල් ගතවේ. එය වැරදි PMI එකක් දීමට හේතු විය හැකිය.

අපි ඉහත සඳහන් කල කරුණු එකින් එක සලකා බලමු.

Algor motis

මේ වේගය උෂ්නත්වමානයකින් මනිනු ලැබේ. සිරුර තිබෙන පරිසරයේ තත්වය මෙයට බලපායි. සිසිල් හෝ මධ්‍යදරනී දේශ ගුණ වල නිසි අගය ලැබෙන නමුත් අධික උණුසුම් ප්‍රදේශ වල සිසිල් වීම සිදුවන්නේ සෙමිනි. ඇතැම් විට අධික කුණු වීම නිසා සිරුරේ උණුසුම වැඩිවීමට ද පුළුවන්. එමෙන්ම සිරුරේ ප්‍රමාණය,සමට යටින් ඇති මේද ප්‍රමාණය,ඇඳ ගෙන සිටි ඇඳුම්,සුළඟ, ආර්ද්‍රතාවය,සිරුර තිබෙන්නේ කොතැනද ආදී සාධකද මේ කෙරෙහි බලපායි. සිරුරේ උෂ්ණත්වය පැයකට අංශකයක් අඩුවේ යයි සඳහන් වුවත් මේ වේගයේ බොහෝ වෙනස් කම් තිබේ.

Rigor motis

සිරුර දරදඬු වීම හා සියළුම පේෂී සංකෝචනය වීම, සාමාන්‍යයෙන් මරණය සිදුවී පැය 3කට පමණ පසු ආරම්භ වී නිවර්තන දේශගුනයෙදී පැය 9-12 දක්වාත්, මාධ්‍යදරණී ප්‍රදේශ වල පැය 36-48 දක්වාත් පවතී. ඝාතකයා සිරුර ඇද වෙනස් කර තිබුණොත් දරදඬු වීම සිදු වන්නේ එම අලුත් තත්වයේයි. ඒ නිසා Rigor motis තත්වය ඝාතනය සිදුවන විට සිදුවූ සිද්ධිය නොපෙන්වන්න පුළුවන්. මෙහිදී ඇසේ කණිනිකාව විශාල වන අතර හෘදය ඇතුළු අවයව වල ද වෙනස් කම් ඇති විය හැකියි.

මේ තත්වය ඇතිවීම කෙරෙහි උෂ්ණත්වය,රෝග තත්වයන්,දේහ පේෂී ස්කන්ධය,මරණයට පෙර පේෂී ක්‍රියාකාරීත්වය ආදිය ද බලපායි. අධික උෂ්ණත්වය හා අධික පේෂී ක්‍රියාකාරිත්වය මේ තත්වය ඉක්මන් කරයි. ළමයින් හා වයසක වැඩිහිටියන්ගේ ඉක්මනින් ද තරුණ වැඩිහිටියන්ගේ සෙමෙන් ද මෙය සිදුවේ. හුස්ම හිරවීමෙන් මිය ගිය විට හෝ අධික රුධිර ගැලීමක් සිදුවී නම් මෙය සෙමෙන් සිදුවන අතර ආසදනයක්, කල් පවත්නා දුර්වලකමක් තිබුණේ නම් ඉක්මනින් සිරුර දරදඬු වේ.

Livor motis

සමහර විට රෝස පැහැ දාර සහිතව සමේ රතු/රෝස පැල්ලම් ඇතිවීම. සිරුරේ රුධිර පීඩනය නැති වන නිසා රුධිරය සංසරණය නැවතී ගුරුත්වය ඔස්සේ රුධිරය සිරුරේ අභ්‍යන්තර වාහිනී වලත් සිරුරේ පහළ කොටස් වල එකතුවේ. මෙය සාමාන්‍යයෙන් මරණයෙන් පළමු පැය තුළ දැකිය හැකිවේ. නමුත් බොහෝ විට මරණයෙන් පැය 3-4 සිට ඇතිවීමට පටන්ගෙන පැය 12කදී අවසන් වේ. Liver motis හි වේගය රක්ත හීනතාවෙන් පෙලෙන්නේකුගේ හා කුසගින්නේ පසු වුවකුගේ අඩුවිය හැකිය. එමෙන්ම බොහෝ වෙලාවක් තිස්සේ රුධිර සංසරණය අඩුවෙමින් මිය යන කෙනෙකුගේ මෙය මරණයට පෙරම ආරම්භ විය හැකිය.

ඉතිරිය පසුවට…….

(Ref. Encylopedia.comPhoto by Sonja Langford on Unsplash