Friday, December 14, 2018

මරණයට බියවීම Fear to death




මරණයට බියවීම

Fear to death



තම  මරණය ගැන සිතීම  නිසා අධික බියක් සිතට නැගෙන බව යම් පුද්ගලයින් විසින් පවසා තියෙනවා 

සියළු සතුන් හා ශාක ද යම් ජීවිත කාලයක් ජීවත්වෙන්න තමයි හැඩගැසී තිබෙන්නේ. මෙසේ ජීවිත කාලයක් පවතින්න නම් අපේ ශරීර අනවරත අවස්ථා පාලනය නම් ක්‍රියාවලියක් පවත්වා ගන්න ඕන.
මෙය මහා සංකීර්ණ ක්‍රියාවලියක්. හුස්ම ගැනීමේ ඉඳලා, ජීවිතය පවත්වා ගන්න කරන සියළුම දේ මෙයට අයත් වෙනවා.

මෙය මේ විදියට තේරුම් ගන්න බලමු. අපි තුවාල වෙනවට බයයි. තුවාල නොවී ඉන්න අපි පරිස්සම් වෙනවා. සතෙක් හපා කන්න එනවා නම් අපි පලා යනවා, හෝ පහර දෙනවා. මේ සඳහා අපේ ස්නායු පද්ධතිය හා හෝමෝන බලපානවා. කොහොම හරි  අපිට  තුවාලයක් වුණා කියල  හිතමු. ඉතින් අපිට රිදෙනවා. ඒ නිසා අපි තුවාලය ගැන බලනවා. බෙහෙත් කරනවා. මෙහෙම නොයෙක් අතවර වලින් අපි බේරෙන්න බලනවා, ජීවිතය අතහරින්නේ නැහැ. උපරිම කාලයක් ජීවත් වෙන්න තමයි බලන්නේ.

සතා අපට පහර දෙන්න එන බව අපිට පෙන්වනවා. සටන් කරන්න හෝ පලා යන්න අපි පොළඹවනවා. තුවාලය ගැන සොයා බලන්න අපි පොළඹවනවා. මේවා වෙන්නේ නැත්නම් අපිට ජීවිතය අතහරින්න වෙනවා. ඒ කියන්නේ මැරෙනවා.

දැන් මෙහෙම හිතන්න. දියවැඩියා රෝගියෙකුට දැනෙන්නේ නෑ ,කකුලක පොඩි තුවාලයක් ඇති වුණාම. ඉතින් ප්‍රතිකාරයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. තුවාලය ඉබේ සුව වීමත් වෙන්නේ අඩුවෙන්, අධික සීනි නිසා. තුවාලය විශාල වෙනවා. එවිට තමයි එය දකින්නේ. 

සත්තුත් එහෙමයි. සත්තුත් විශාල බයකින් ඉන්න බව පේනවා. පරිසරයේ කිසියම් සුළු හෝ වෙනස් වීමක් දැනුනහම ඔවුන් තිගැස්සෙනවා. සත්තු බය වේදනාවට ,මරණයට නෙමෙයි. පහර කන්න ඔවුන් බයයි. ඒ රිදෙන නිසා.

'සබ්බේ තසන්ති දණ්ඩස්ස' කියල ධම්මපද ගාථාවක තියෙනවනේ 

අපි හිතමු සිංහයෙක් ගෝනෙක් අල්ලන හදනවා. ගෝනා දුවනවා. මොකද ජීවිතය හැදිලා තියෙන්නේ උපරිම කලක් ජීවත් වෙන්න. කොහොම හරි සිංහයා ගෝනා අල්ලා ගත්තා කියලා හිතමු. එත් ගෝනා ජීවිතය අත හරින්න සුදානම් නැහැ. ඌ සටන් කරනවා උපරිම වෙර අරන්. ඌ හිතන්නේ නැහැ දැන් දැන් ඌ මැරෙයි කියල. මේ ගෝනාගේ තත්වයේ මිනිසෙක් හිටියොත් බොහෝ විට තත්වය වෙනස්. මිනිසා හිතනවා දැන් දැන් ඔහු මැරෙයි කියල. මොකද මිනිසා ඉගෙන ගෙන තියෙනවා, සිංහයා දරුණු මාංශ භක්ෂක සතෙක් බව. එය වහාම මිනිසාගේ මතකයට එනවා. මරණ බය උපරිම වෙනවා.

ඒ නිසා මරණයට බය වෙන්න නම් 'මරණය ' යන්න ගැන සවිඥානික වෙන්න ඕන. ඒ වචනයේ තේරුම දැන ගන්න ඕන.

කෙසේ නමුත් මරණයට බය වීමට විශේෂ හේතුත් තියෙනවා.

1. රිදීමක් ඇතිව හෝ නැතිව මිනිස්සු මරණයට බයයි. සමහරුන්ට මෙය මරණ කාංසාව නමින් (Death Anxiety) මනෝවිද්‍යාත්මකව  හඳුන්වන තත්වයකට එනවා. එය ප්‍රතිකාර ලැබිය යුතු තත්වයක්.
2. ඇතැම් රෝගී තත්වයන් වලදීත් Anxiety ඇති වෙනවා. Thyroid ග්‍රන්ථියේ ආබාධ, හෘදයාබාධ, සර්ප දෂ්ටන, ඇතැම් ඖෂධ ගෙන නැවැත්වීම වැනි. මෙවැනි අවස්ථා වල පුද්ගලයාගේ හැසිරීම මරණයට බිය වීමක් ලෙස පිටට පේන්න පුළුවන්. 'මම මැරෙයි ද ?' කියා රෝගියා අහන්නත් පුළුවන්.

එවැනි විශේෂ තත්වයක් නොවී මරණයට ඇති සාමාන්‍ය බියවීම පහත සඳහන් හේතු මත වෙන්න පුළුවන්.

1. මරණින් පසු ආදරණීයයන් ගෙන් වෙන්වීමට සිදුවීම.

2. මරණින් පසු ආදරණීයයන් ට පිළිසරණක් නැති වේ යයි සිතීම.

3. මරණින් පසු සියල්ල අවසන් වේ යයි සිතීම.

4. මරණය සිදු වන මොහොතේ අධික වේදනාවක් දැනේ යයි සිතීම.

5. අවසන් හුස්ම ගිය කිසිවෙක් නැවත නොපවතින නිසා මරණය යනු කුමක් දැයි කිසිවෙකු නොදන්නා නිසා.

6. මරණින් මතු 'මම' යන්න තව දුරටත් පවතී කියන විශ්වාසය මත. ඒ 'මම' ඊළඟ ආත්ම භාවයේ කොහේ යයි ද කියා බය වෙනවා. විශේෂයෙන් බෞද්ධයින්  මරණාසන්න චුති සිත නරක එකක් වේවි කියල බය වෙනවා.

ග්‍රීක දාර්ශනිකයෙක් වන Epicurus  මෙයට වසර 2000කට පෙර මෙන්න මෙහෙම තර්කයක් ඉදිරිපත් කරනවා.
“Death does not concern us, because as long as we exist, death is not here. And when it does come, we no longer exist.”
අපි පවතින තාක් කල් මරණය මෙහි නැති නිසා මරණය අපට කනස්සල්ලක් ඇති නොකරයි. එය පැමිණි විට අප තව දුරටත් පැවැත්මක් නොදරන නිසා කනස්සලු වීමට කෙනෙක් ද නැත.' 

If your life ends at death, then you have nothing to fear, because there will be no ‘YOU’ to experience pleasure or pain. It’s all over when it’s over.
ඔබේ ජීවිතය මරණයෙන් කෙළවර වේ නම් බියවීමට දෙයක් නැත. මන්ද යත් සතුටු වීමට හෝ දුක්වීමට' ඔබ'  නැති බැවිනි. එය අවසන් වූ විට සියල්ල අවසන් බැවිනි.  

මමය මාගේය කියා දෙයක් නැත
( Some facts from Internet.)
Photo by Fred Pixlab on Unsplash

2 comments:

  1. ඉතා හොඳ අදහස් කිහිපයක් සරලව විස්තර කර තිබෙනවා.
    නිර්මාංශ ආහාර ගැන පමණක් කථාකරන බොහෝ අයගේ තර්කයක් තිබෙනවා, ගවයෙකු මස් සඳහා, මරණයට පත් කිරීමට ගෙනයන අවස්ථාවේදී, එම සතාට මරණ භය ඇතිවී, ඒ නිසාම ඇඩ්රිනලින් හෝර්මෝනය අධික වශයෙන් හටගන්නා බව. මෙසේ හටගන්නා හෝර්මෝන සාන්ද්‍රණය මරණයෙන් පසු පවා ගව මසෙහි තිබෙන නිසා, එය මිනිසාට අහිතකර බව කියවෙනවා. මිනිස් සිරුරේත් හටගන්නා ඇඩ්රිනලින් හෝර්මෝනය අවශ්‍යතාවය ඉවත්වූ පසු වහාම ශරීරයෙන් බැහැර කිරීම ස්වාභාව්ක නිසා මේ ගැන ඔබේ අදහස කෙසේද?

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ස්තුතියි ඔබට ...මගේ ලිපිය කියවීම ගැනත්, අදහස් දැක්වීම ගැනත්සි,තීමට නව මං විවර කිරීම ගැනත් සියල්ලටම

      සතුන් මස් පිණිස මැරීමට පෙර කරුණු කිහිපයක් මත ඔවුන් බියට පත්වේ.
      1. සිටින ස්ථානය, හිමිකරු වෙනස් වීම.
      2. අමානුෂික ලෙස සැලකීම
      3. තදබදව අසුරා ප්‍රවාහනය
      4. බේරී යාමට සටන් කිරීම වැනි
      මෙසේ වීමෙන් ඔවුන් තුල stress තත්වය ඇති වී තැන්පත් glycogen වැයවීමට පත්වේ. සාමකාමී සන්සුන් මරණයකට පසු glycogen, lactic acid බවට පත්වෙන බව කියවේ. එවැනි මස් වඩාත් කල් තබා ගත හැකි බවත්, රසය වැඩි බවත් කියනු ලැබේ. Adrenalin හටගන්නේද බියට පත් වන අවස්ථා වේදීය. එය glycogen වැය වීමට බලපායි. එය හටගෙන පැයකින් පමණ සිරුරෙන් ඉවත්වේ. මස් සමග adrenalin අප ශරීර ගතවිය හැකි වුවත් එයින් අපට බලපෑමක් නැති බවත් එය අපේ ආහාර මාර්ගයේදී ජීර්ණය වන බවත් පර්යේෂණ මගින් සොයා ගෙන ඇත. ඊට වඩා අප බයට පත්වූ විට ,තරහ ගිය විට Adrenalin තොග ගණනින් අපේ රුධිරයට එක්වේ.
      කෙසේ වුවත් මා vegetarian නොවුවත් සතුන් මැරීම ගැන දුක් වෙමි. එය හදවතින් එන හැගීමකි.

      Delete