Saturday, December 8, 2018

Gastritis (ආමශයික ප්‍රදාහය)



Gastritis (ආමශයික ප්‍රදාහය)


මිනිස්සු 'මට ගැස්ටික් තියෙනවා ' කියා කියනවා මට නිතර ඇහිලා තියෙනවා. ඇත්තටම මේ වැරදි වචනය දැන් සමාජ ගතවෙලා. Gastritis තමයි රෝගයේ නිවැරදි  නම. 

මොකද්ද ගැස්ට්‍රයිටිස් කියන්නේ?

ආමාශ ආස්තරය ප්‍රදාහය (inflammation ), අසාමාන්‍ය උද්දීපනය (irritation ) හා පසුව එය ඛාදනය වීම.
මෙහි ආකාර 2ක් තියෙනවා .
1. නිදන්ගත (chronic) Gastritis - ක්‍රම ක්‍රමයෙන් රෝගය ඇතිවීම
2. උග්‍ර (Acute) Gastritis - ක්ෂණිකව රෝගය ඇතිවීම
ආමාශයික ආස්තරණය යනු කුමක් ද ?

අපේ ආමාශයේ බිත්තියේ ප්‍රධාන ස්තර 4ක් තියෙනවා. පිටත සිට
1. මස්තු පටලය
2. පේශී ස්තරය
3. අධඃ ශ්ලේෂ්මලකය
4. ශ්ලේෂ්මලකය
මේ ශ්ලේෂ්මලකයේ ඇතුළෙන්ම තියෙන්නේ තනි සෛල ස්තරයක් වන ආමාශයික ආස්තරය. (රුපයෙන් බලා ගන්න.)
Gastric pits කියන සිදුරු රාශියක් මෙහි තියෙනවා. ඒවා තුල ආමාශයික ග්‍රන්ථි තියෙනවා. ඒවායින් ආහාර ජීර්ණයට අවශ්‍ය එන්සයිම හා හයිඩ්‍රෝක්ලොරික් අම්ලය නිපදවෙනවා. ඒ වගේම ශ්ලේෂ්මල (සෙම ) නිපදවෙනවා. මේ ශ්ලේෂ්මල මේ ආමාශයික ආස්තරය පුරා ස්තරයක් විදියට තැන්පත් වෙනවා. එයින් අපේ ආමාශ බිත්තිය ආරක්ෂා වෙනවා. ඒ නිසා තමයි අපි ගන්නා ආහාර දිරවන්නෙත් අපේ ආමාශ බිත්තිය දිරවන්නේ නැත්තෙත්.
Gastritis ඇතිවීමට හේතු
1. අධික මත්පැන් භාවිතය
2. දුම්කොළ භාවිතය
3. වයසත් සමග එන දුර්වලතා
4. ඇස්පිරින් වැනි ඖෂධ භාවිතය
5. Helicobacter pylori නම් ආමාශයික ශ්ලේෂ්මලයේ ජීවත් වන බැක්ටීරියා වර්ගය
මෙයට නිසි ප්‍රතිකාර නොලැබුන හොත් ආමාශ ආස්තරණය තුවාල වන අතර පිළිකා වුවද ඇතිවිය හැකිය.
6. පිත අමාශය කරා ගැලීම
7. වෙනත් බැක්ටීරියා/වයිරස ආසාදන
8. Autoimmune අබාධ
9. හදිසි අනතුරකට/ රෝගී වීමකට/සැත්කමකට පසුව ඇතිවන මානසික ආතතිය
කෙසේ වුවත් නිසි ප්‍රතිකාර නොලැබීමෙන් අධික රුධිර වහනයද පිළිකා ද ඇති වීමේ ඉඩක් පවතිනවා.
Gastritis රෝග ලක්ෂණ මොනවා ද ?
පුද්ගලයා අනුව රෝග ලක්ෂණ වෙනස් වන අතර ඇතැම්විට විශේෂ රෝග ලක්ෂණ නැති වීමටත් පුළුවන්.
සාමාන්‍ය රෝග ලක්ෂණ මෙන්න මේවා ....
1. වමනය
2. බඩ/පපුව දැවිල්ල
3. උදරය පුරවා දැමීම,විශේෂයෙන් ආහාර ගැනීමෙන් පසු
4. තුවාල ඇති විට රුධිරය පිටවීම නිසා මල කළු පැහැ වීම හා වමනය රුධිරය සහිත වීම
රෝග නිධානය හඳුනා ගෙන ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා.
ඒ අතර පහත සඳහන් පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඔබට සහනයක් ලැබිය හැකි වෙනවා.
ඔබ වැළකිය යුතු දේ
1. මත්පැන් පානයෙන් හා දුම් බීමෙන් වැලකීම
2. කැෆේන් සහිත පාන වර්ග, carbonated පැණි බීම වර්ග වලින් වැලකීම
3.අම්ල අධික පලතුරු අනුභවයෙන් වැළකීම
4. මේදය අධික ආහාර වලින් වැළකීම
5. තෙල්,මිරිස් සහිත බදින ලද ආහාර වලින් වැළකීම
6. ග්ලුටන් සහිත පාන්පිටි වලින් සැදු ආහාර ගැනීම අඩු කිරීම
ඔබ කළ යුතු දේ
1. තන්තු බහුල ආහාර ගැනීම
2. probiotics සහිත යෝගට් වැනි ආහාර ගැනීම
3. තෙල් අඩු මාළු ,කුකුල් මස් වැනි ප්‍රෝටීන ආහාර ගැනීම.
4. සුදු ළුණු ගුණ දායකයි
ඔබේ වෙනස් කල ආහාර රටාව කෙටි කාලයකට පමණක් නොව දීර්ඝ කාලීනව අනුගමනය කිරීම අවශ්‍ය බව සලකන්න. ඔබට නිරෝගී දිවියක් පතමි.

2 comments:

  1. ලිපිය කියවූවා. අවශ්‍ය සියලු කරුණු සරලව තිබීම නිසා විද්‍යාව ඒ මට්ටමට ඉගෙන නොගත් අයටත් පහසුවෙන් තේරුම් ගත හැකියි.
    බොහෝ අවස්ථා වලදී තද Gastritis වේදනාව හෘදයාබාධ ලෙස වරදවා හඳුනාගන්නා බවද සඳහන් කලොත් හොඳ වගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට ....විශේෂයෙන්ම මේ කරුණ මතුකිරීම ගැන. ඔව් Gastritis හෘදයාබාධ ලෙසත් හෘදයාබාධ Gastritis ලෙසත් වරදවා වටහා ගත් අවස්ථා ගැන අත්දැකීම් තිබෙනවා.

      Delete