Thursday, December 27, 2018

කහ - Turmeric



කහ - Turmeric

කහ අපේ කුස්සියට නැතිවම බැරි දෙයක්. අපි කහ ව්‍යංජන වලට දැමීමෙන් මුලිකව බලාපොරොත්තු වෙන්නේ වර්ණය. වර්ණයෙන් ව්‍යංජනය ඇසට ප්‍රිය ජනක බවට පත් කරනවා.

කහ ලබා ගන්නේ Curcuma longa කියන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකයෙන්. මේ ශාකයේ සැබෑ කඳ භූගත එකක්. එය රයිසෝමය කියා හඳුන්වනවා. රයිසෝමයක ගැට සහ පර්ව තිබීමෙනුත්, ශල්ක පත්‍ර තිබීමෙනුත්, කක්ෂීය අංකුර තිබීමෙනුත් එය කඳක් බව තහවුරු වෙනවා. පොළවෙන් උඩ තියෙන කඳ පත්‍ර පාද එකතුවී සෑදෙන ව්‍යාජ කඳක් .

කහ වල ඇති සක්‍රිය සංයෝගය Curcumin නම්වන රසායනික ද්‍රව්‍යයක්. නමුත් කහවල මෙය ඇත්තේ ඉතා අඩුවෙන්. බරෙන් 3%ක් පමණයි. මෙහි ගුණ සම්බන්ධ පරීක්ෂණ කරලා තියෙන්නේ,දවසකට Curcumin 1g පමණ ලබාදිය හැකි නිස්සාරක භාවිත කරලා. අපි කුළුබඩුවක් විදියට පාවිච්චි කරද්දී ඒ තරම් ප්‍රමාණයක් දිනකට ශරීර ගත වෙන්නේ නැහැ. අවාසනාවට Curcumin ඒ තරම් හොඳට රුධිරයට උරා ගන්නේ නැහැ. කළු ගම්මිරිස් සමග මිශ්‍ර කරලා කෑවොත් ගම්මිරිස් වල තියෙන Piperin කියන ද්‍රව්‍ය මගින් Curcumin උරා ගැනීම වැඩිකරනවා. අනික,Curcumin දියවෙන්නේ තෙල් වල. ඒ නිසා තෙල් සමග තමයි එය ගත යුත්තේ.
කහ ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි කලාපයේ හොඳින් වැවෙනවා. එය තනි වගාවක් ලෙසත් පොල් වගාවේ අතුරු වගාවක් ලෙසත් පවත්වාගෙන යනවා දකින්න පුළුවන්
දැන් ඉතින් ඔබ දන්නවා කහ ආහාරයට එක් කිරීමෙන් Curcumin ඔබේ ශරීරයට ලැබෙන බව. කහ ආහාරයට එක් කිරීම නිසා සිදුවන හිතකර ප්‍රතිඵල මොනවාද කියා දැනගන්න ඔබ කැමති වේවි

1. Curcumin ප්‍රති- ප්‍රදාහ කාරකයක්
ප්‍රදාහය කියන්නේ සාමාන්‍යයෙන් අපේ ශරීරයට විෂ බීජ ඇතුල් වීම වලක්වන උපක්‍රමයක්. මෙය ප්‍රයෝජනවත් දෙයක්. තුවාලයක් උනහම ඒ ස්ථානය රිදෙන්නේ, ඉදිමෙන්නේ මේ නිසා. එතකොට අපි දැනගන්නවා ප්‍රතිකාර කලයුතු බව. නමුත් සමහර අවස්ථා තියෙනවා නිදන්ගත ප්‍රදාහ පවතින. මෙය වෙනත් බොහෝ අබාධ වලට මග පාදන බව සොයාගෙන තිබෙනවා.
හෘද රෝග,පිළිකා ,ඇල්ෂයිමර් රෝගය වගේ. ඉතින් කහවල ඇති Curcumin ප්‍රභල ප්‍රති ප්‍රදාහ කාරකයක් නිසා මේ තත්වයන් ඇති වීම වළක්වනවා.
2. Curcumin ප්‍රභල ප්‍රති ඔක්සිකාරකයක්. ඔක්සිජන් මුක්ත ඛණ්ඩ ඇති වීම නිසා වන හානි දායක ක්‍රියාවන්, වයසට යාමේ ලක්ෂණ හා බොහෝ රෝග වලට මුල්වෙනවා. මේ මුක්ත ඛණ්ඩක වලින් ඔබේ ශරීරය ආරක්ෂා කරන්න ප්‍රති-ඔක්සිකාරක වලට පුළුවන්. Curcumin එසේ කරන අතරම ශරීරයේ ඇති ප්‍රති-ඔක්සිකාරක එන්සයිම වල ක්‍රියාවද ඉහල නංවනව.
3. Curcumin මොළයේ හා සුෂුම්නාවේ Brain -Derived Neurotrophic Factor නම් ප්‍රෝටීනය  සෑදීම ඉහළ නංවනවා. ඒ නිසා මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමටත් ,මොළය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් හේතු වෙනවා.
මේ BDNF කියන ප්‍රෝටීනය මොළයේ ඇතැම් ප්‍රදේශ වල  නියුරෝන වල  නව සම්බන්ධතා ඇතිකර ගැනීමට දායක වන දෙයක්.  මානසික අව පීඩනය හා ඇල්ෂයිමර් රෝග වලදී මේ ප්‍රෝටීනය අඩු වන බව සොයාගෙන තියෙනවා. එමෙන්ම ඔබේ මතක ශක්තිය වැඩි කරන්නත් මෙය වැදගත් වෙනවා.
4. Curcumin ඔබේ හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරනවා. රුධිර නාල වල ඇතුල් බිත්ති යහපත් ලෙස තබා ගැනීමට දායක වෙනවා. ඒ අනුව යහපත් රුධිර පීඩනයක් පවත්වා ගැනීමට හැකි වෙනවා.
5. කහ පිළිකා වළක්වා ගැනීමට මෙන්ම පිළිකා වලට ප්‍රතිකාර කිරීමටත් යොදා ගැනීමට පුළුවන්. ඇතැම් පිළිකා සෛල විනාශ කිරීමටත්,පිළිකා පැතිර යාම වැළැක්වීමටත් කහ වලට හැකි බව අධ්‍යන වලින් හෙළිවී තිබෙනවා.නමුත් මේ ගැන වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වෙනවා.
6. Curcumin ඇල්ෂයිමර් රෝගය වළක්වා ගැනීමටත් එයට ප්‍රතිකාර කිරීමටත් යොදා ගැනීමේ හැකියාවක් තිබෙනවා.
7. Curcumin Supplement වලට ආර්තරයිටිස් රෝගීන් හොඳ ප්‍රතිචාර දක්වල තියෙනවා. ආර්තරයිටිස් අස්ථි සන්ධිවල ප්‍රදාහ තත්වයක්.
8. Curcumin මානසික අවපීඩනය අඩු කිරීමට ප්‍රභල ලෙස බලපානවා.
9. Gastritis රෝගයට හේතුවන Helicobacter pylori නම් බැක්ටීරියා මර්ධනයට කහ යොදා ගන්නවා. මේ සඳහා උදේ හිස්බඩ මී පැණි වලට කහ කුඩු තේ හැන්දක් දියකර බොන්න පුළුවන්. සතියකින් පමණ සුවය ලැබෙනවා.
10. විශේෂයෙන් සතුන්ගේ සමේ තුවාල කහ යෙදීමෙන් සුවකර ගැනීමට පුළුවන්.
ඉතින් කහ වල හොඳ පමණ ද තියෙන්නේ? එහි නරකක් ඇත්තෙම නැද්ද?
ඔව් කහ අහිතකර වන අවස්ථාත් තිබෙනවා.
1. උදරයේ අපහසුතා
2. වමනය හා ඔක්කාරය
3. කරකැවිල්ල
4. පාචනය
මේ තත්වයන් ඇති වන්නේ වැඩිපුර කහ ආහාරයට ගැනීමෙන්.
එක් වාර්තාවකට අනුව පුද්ගලයෙක් කහ දිනකට 1500 mg බැගින් දෙවරක් ගැනීම නිසා අසාමාන්‍ය භයානක හෘද ස්ඵන්දනයක් ඇතිවූ බව  සඳහන් වෙනවා.
ඕනෑම හොඳ දෙයක් වුවත් ඕනෑවට වඩා ඕනෑ නැහැ
(ඇතැම් කරුණු අන්තර්ජාලය ඇසුරිනි) 

2 comments:

  1. ආහාර වල ප්‍රිය මනාප ගතිය වැඩි කරගැනීමට මෙන්ම ආබාධ රාශියක් පාලනය කර ගැනීමටත් කහ ප්‍රයෝජනවත බව මෙම විස්තරයෙන් පෙනෙනවා. මේ සමග අපේ ආහාර වලට මුසු කරන කුළුබඩු වර්ග වල සහ ළූණු, මිරිස්, කරපිංචා වැනි අනිකුත් දේවල් ගැනත් ලිපි පෙළක් ලිවීම ගැන සීත් යොමු කරන්න. ඒවා බොහෝ අයට ප්‍රයෝජනවත් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. අනිකුත් කුළුබඩු ගැනත් සොයා බලන්න උත්සාහ කරන්නම්.

      Delete