Tuesday, July 5, 2022

මෙහෙම රටක කුමකට අපි උපන්නේ















 මෙහෙම රටක කුමකට අපි උපන්නේ


මිනිසුන් ඔහේ මහ පාරේ මැරෙන්නේ
තව අය ගං දියට දිවි පුද කරන්නේ
නපුරු සිහිනමයි රෑ යම පෙනෙන්නේ
මෙහෙම රටක කුමකට අපි උපන්නේ

උන්ට තාම රස මසවුළු තියෙන්නේ
සතුටු සිනා උන් මුවගේ නැගෙන්නේ
උන්ට නොමැත ජනතා හඞ ඇසෙන්නේ
බීරි අලින් තව හොඳ යයි සිතෙන්නේ

පොඩි පැටවුන් කුස ගින්නේ නිදන්නේ
රෑ මැදියම ඇහැරී යළි අඞන්නේ
ළිප්ගල් වුව ඒ කඳුලට අඞන්නේ
කාට ඔවුන් මේ මේ අවනඩු කියන්නේ

පිනට උන්ට ලැබුණැයි තව වනන්නේ
පවට දුකම ලැබෙතැයි බණ දෙසන්නේ
මෙහෙම කියන කරුමය තව තියෙන්නේ
එහෙම රටට කවදා හිරු නැගෙන්නේ

මොළය තියෙන ජනයාටයි කියන්නේ
කුමට උන්ම කියනා දෙය කරන්නේ
නැගිට ගන්න හැකි හැම මග බසින්නේ
විනේ කරපු උන් එළවා දමන්නේ

Photo by Wesley Eland:on Pexel