Tuesday, January 11, 2022

සිතුවිලි

 








සිතුවිලි

 

ගෙවෙන්නේ මේ සඳෑ යාමයි

අහස දම් පාටට හුරුයි

අර වලාකුළු හරි බරයි

බිම වැටෙන පිණි බිඳු හඬයි!

 

කුරුල්ලෝ පියඹමින්

යති කැදලි වෙත ඉක්මණින්

දරු පැටව් ඇති මග බලන්

පුංචි කටපොඩි ඇරන්!

 

කිමද මේ පද්මයෝ

මුව පියුම් පෙති තද කරන්

බිම බලන් තම දුක කියන්

හෙට හිරු නැගෙයි නොම හඬන්!

 

අද ඉවර වූවත් කෙමෙන්

හෙට නව දිනක් පෙර දිගින්

ඇවිත් ලොව අස් වසන්

යළි සිනාසෙන හැටි බලන්!

 

හමන මදනළ සෙමින්

ගෙනෙන සත්සර නදින්

නළවමින් තුරුපත් ළඳුන්

ඇස මදින් මද පියවමින්!

 

කුමට විදුලිය පහන්

සඳ බසියි බටහිර දෙසින්

සිතුවිලි  ගඟක් තුළ කිමිදෙමින්

කවි පද ගොතමි මම සිතින්!

Thanks  Daisy S for the image on Unsplash


Wednesday, January 5, 2022

වචන මොකටද ජීවිතයට ?

 












වචන මොකටද ජීවිතයට ?


කවදාහරි, වචන කියල දෙයක් 

හැදුවේ කවුද? මොන එකකටද ?

වචන ඕනම නැහැ ජීවත්වෙන්න.

කිරිල්ලියක් වගේ සුන්දර ගීයක් 

මටත් ගයන්න තිබුණා...

ඔබත් පිළිතුරු ගීයක් 

ඈත ඉඳන් ගයන්න තිබුණා.

ඒත් මට කිරිල්ලියක් වෙන්න බැරි වුණා.  

වචන මොනවට තියෙනවද? 

කියල හිතෙනවා හැඟීම් පිට කරන්න 

වෙන මොකක් හරි තනුවක් මිහිරි 

තිබුණා නම් ඒ තනුව වයන්න තිබුණා 

ඔබේ කණට මිහිරි මී පැණි වගේ 

එය දැනෙන්න තිබුණා... 

එතකොට මොන කෙහෙල්මලක් ද? 

මේ කන් කරච්චලේ කියල 

ඔබ නොකියන්න තිබුණා!

© 2021maliniganewatta

(Thanks to Tom Bradley  for the image on Unsplash)