Friday, March 29, 2019

කිසිවෙකු නොගැයූ මා ලියූ ඒ ගීතය .....


කිසිවෙකු නොගැයූ මා ලියූ ඒ ගීතය .....


කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
මටම හමු වුණා දවසක්
පැරණි පොත් පිටු අතර රැදී සිට

කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
වියැකෙන්නටත් ලං වී තිබුණි
කඩදාසියේ නැමී අතර

කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
මම මටම මිමිණුවා සෙමෙන්
මගේම තනුවකට

කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
මිමිණු ඒ සිහින් රාවයෙන්ම
පිවිසුණා ඈත අහසට

කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
පුදුමයි දැන් ගයනවා හැමදාම
කුරුල්ලෙක් අඹ ගස මුදුනේ සිට
 

Wednesday, March 20, 2019

අධ්‍යාපන මාධ්‍ය/Language of Instruction

අධ්‍යාපන මාධ්‍ය/ Language of Instruction

මේ දිනවල විවාදයට බඳුන්වන ප්‍රධාන කාරණාවක් වන්නේ දරුවන්ට ඉගැන්වීමට යොදා ගත යුතු භාෂා මාධ්‍ය කුමක්ද යන්න නිසා ඒ ගැන විමසීමක් කිරීම සුදුසු යයි හිතුවා. මේ ගැන සඳහන් වන අතිමහත් පර්යේෂණ ඇතුළු සාහිත්‍යයක් යුනෙස්කෝ ඇතුළු ලෝකයේ විවිධ ආයතන හරහා ඔබට ලබා ගන්න පුළුවන්.

පහත සඳහන් වන්නේ එසේ ලබා ගත් කරුණු කිහිපයක්.

'Research has shown that children’s first language is the optimal language for literacy and learning throughout primary school (UNESCO, 2008a).'

'ගුණාත්මක මුලික අධ්‍යාපනයක් ලබාදීම  කෙරෙහි බලපාන සාධක රැසක් ඇති නමුත් පන්තිකාමරයේදී සන්නිවේදනය හා අවබෝධය උදෙසා යතුර වන්නේ භාෂාවයි. දියුණුවෙමින් පවතින රටවල පුද්ගලයන් හා සමාජය බහුභාෂීය වන නමුත් අධ්‍යාපනයේදී වෙනත් විදේශීය භාෂාවක් මුලික කරගනු ලැබේ. සිසුන් කතා නොකරන භාෂාවක් අධ්‍යාපන මාධ්‍ය ලෙස යොදා ගැනීම submersion කියා හඳුන්වනු ලැබේ. එය හරියට පිහිනන්න ඉගැන්වීමක් නැතිව වතුරට  බැස්සවීමක් වැනිය. නිසි පරිදි පුහුණුවූ ගුරුවරු, සුදුසු විෂයමාලා , මනා පාසල් පහසුකම් නැතිව මෙසේ කිරීම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අහිතකර ලෙස බලපායි. විශේෂයෙන්ම ගුරුවරයා ටද විදේශීය භාෂාව හුරුනොවූ කල මෙය තවත් බැරෑරුම් වේ.

මව් භාෂාව පදනම් වූ ද්විභාෂා වැඩසටහන් වල L1 යනුවෙන් හැඳින්වෙන පළමු බස අධ්‍යයන කාර්යයේදී මුලින්ම කියවීම හා ලිවීම සඳහා යොදා ගැනේ. L 2 යනුවෙන් හැඳින්වෙන දෙවන බස ශිෂ්‍යයා තමාට හුරු ලබා ඇති කුසලතා අනික් බසකට හුවමාරු කරගැනීමට හැකිවෙන ආකාරයකට ක්‍රමානුකුලව ඉගැන්විය යුතුය.'

අපේ රටේ තිබුණු අධ්‍යාපනය මොන වගේ එකක් ද කියල මුලින්ම මදක් විමසා බැලුවොත් හොඳයි කියල හිතෙනවා. අතීත ශ්‍රී ලංකාවේ ආගමික පසුබිමක් සහිත අධ්‍යාපනයක් තමයි තිබුනේ. බෞද්ධ ජනතාව මව් බසට අමතරව සිසුන් පාලි, සංස්කෘත,වගේ භාෂා ඉගෙන ගෙන තියෙනවා.  හින්දු සිසුන් සංස්කෘත භාෂාවත්, මුස්ලිම් සිසුන් අරාබි භාෂාවත් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මේ භාෂා ආයුර්වේදය හා ජ්‍යෝතිෂ්‍ය සඳහා ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.නමුත් අධ්‍යාපන අවස්ථා සුලබ වුනේ නැහැ. පසුව පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය පැවතුනත් සැම දෙනාටම අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථා තිබුණෙ නැහැ. මළ පොතේ අකුරුවත් දන්නේ නැහැ කියන කියමනෙන් ඒක පැහැදිලි වෙනවා. යටත් විජිත ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසීන්   විසින් දිවයින පුරා පාසල් ආරම්භ කරලා තියෙනවා.

ඒ සමග පෘතුගීසින් හා ලන්දේසීන් විසින් ආරම්භ කළ පැරිෂ් පාසල් ඉවත් වෙනවා. නමුත් සැමට සමාන අධ්‍යාපනයක් ලැබුණා යයි මින් අදහස් වන්නේ නැහැ. මේ පාසල් අතර මුදල් ගෙවා ඉගෙන ගන්න අවශ්‍ය වුනු ඉංග්‍රීසි මාධ්‍ය පාසල් සේවය කලේ රාජ්‍ය පාලනයේ පහළ මට්ටමට අවශ්‍ය සේවකයන් සකස් කර ගැනීමට. අනිකුත් පාසල් ස්වභාෂා පාසල්. මේවායේ අධ්‍යාපන මාධ්‍ය වුනේ සිංහල හෝ දෙමළ. පහසුකම් තිබෙන විට ඉංග්‍රීසිත් උගන්නලා තියෙනවා. මගේ මිත්තණිය පැවසුවා පියතුමාට සුරුට්ටු බොන්න සල්ලි දුන්නහම ඉංග්‍රීසි ඉගැන්නුවා කියල. ගැහැණු ළමයින් විදුලි පුවතක් තේරුම් ගන්න තරමට ඉංග්‍රීසි දැනුමක් ලබුවහම ඇති කියල තමයි අදහස් කරලා තියෙන්නේ.

නිදහස ලැබීමෙන් පස්සේ ලංකාවේ පාසල් පද්ධතිය දියණු වුණා .ඉංග්‍රීසි මාධ්‍ය මිෂනාරි පාසලුත් තිබුණා. පසුව ඉංග්‍රීසි මාධ්‍ය උසස් පාසල් ද බිහි වුණා. මේ අතර තීරණාත්මක ඓතිහාසික සිදුවීම් කිහිපයක් සිදුවුණා. පළමුවැන්න 1947 නිදහස් අධ්‍යාපන පනත . මෙහිදී කන්නන්ගර මැති තුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය ක්‍රියාවට නැංවුණා. අන්න එහිදී පන්ති බේදයකින් තොරව දක්ෂ දරුවන්ට 6වැනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා වුණා. එසේ බිහිවූ පරම්පරාව මනා ලෙස භාෂා දෙකම හසුරුවන්න පුළුවන් ද්විභාෂා උගතුන් බවට පත් වුණා. දෙවනුව 1960 දී සම්පුර්ණ අධ්‍යාපන පද්ධතියම රජයේ පාලනට නතු කරනු ලැබුවා. ඒ වගේම අධ්‍යාපන මාධ්‍ය සිංහල/දෙමළ බවට පත්වුණා.මෙයට දේශපාලනික හේතු බලපෑවා. පොදු ජනයා අතර ඉංග්‍රීසි සුද්දාගේ භාෂාව ලෙස නොසැලකිල්ලට භාජනය වුණා. ඉංග්‍රීසි උගත් දෙමව්පියොත් තම දරුවන් ස්වභාෂා පාසල් වලට යවන්න පෙළඹුණා. මෙහි නරක ප්‍රතිඵල අදටත් රට අත් විදිනවා. නමුත් පාලකයන් ඇතුළු ඉහළ පැලැන්තිය තම දරුවන්ට විදේශ අධ්‍යාපනය ලබා දෙමින් ඉංග්‍රීසි,ප්‍රංශ වැනි භාෂා වල ප්‍රවීණත්වය ලබා දුන්නා. පන්ති භේදය පවත්වා ගෙන යන්න ඉංග්‍රීසිය පිටිවහලක් කරගත්තා.

දැන් කියන්න යන්නේ මා ලැබූ අත්දැකීම් කිහිපයක්. අපි 1960න් පස්සේ අධ්‍යාපනය ලැබූ පරම්පරාව. ප්‍රධාන පෙලේ බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබුවා. සිංහල මාධ්‍ය අධ්‍යාපනය ප්‍රධාන කොට ගත් ඉගෙනීමක් ලැබුවේ. ඉංග්‍රීසි දෙවන බස ලෙස ඉගෙන ගත්තා. ඒ ඉංග්‍රීසි අධ්‍යාපනයේ සාර්ථකත්වය ඒ ඒ ශ්‍රේණියේදී ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරයා මත තීරණය වුණා. ඉංග්‍රීසි විෂය කාල ඡේදයට ඉංග්‍රීසි හැකියාව අනුව වෙනම කාණ්ඩ ලෙස ඉගෙන ගන්නා ක්‍රමයකුයි තිබුනේ.  අට වන ශ්‍රේණිය වෙනකම් ඉගැන්වූ ගුරු තුමිය නිසා ඉහළ ලකුණු මට්ටමක් ලබල 9 ශ්‍රේණියේ දී හොඳම කණ්ඩායමට තේරුණා. නමුත් එතැන් සිට පැමිණි ගුරුතුමිය ඉතා කරුණාවන්ත නමුත් එතුමියගේ ඉගැන්වීම මට ගැලපුනේ නැහැ. මම කලින් ගුරුතුමියගේ කණ්ඩායමට ස්ව කැමැත්තෙන් ගියා. ඒ වෙලාවේ අනික් ගුරු තුමිය "පැදුරටත් නොකියා ගියේ ඇයිද" කියා විමසා මා නැවත කැඳවා ගත්තා. ඉංග්‍රීසි අධ්‍යාපනය එතැනින් පසු අඩාල වුණා.නිවසේ ඉංග්‍රීසි ප්‍රවීන උගතුන් සිටි නමුත් පරිසරය සම්පුර්ණයෙන්ම වගේ සිංහල. අපිට ඉංග්‍රීසි ඉගැන්විය යුතු බවක් ඔවුන් සිතුවේ නැහැ. ගෙදර තිබුණු මගේ මවගේ අබලන් ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයක් භාවිත කරමින් ස්වෝත්සාහයෙන් ඉංග්‍රීසි කියවීම ප්‍රගුණ කළා.

විශ්ව විද්‍යාලයේදී මුලින්ම තිබුණු ඉංග්‍රීසි ප්‍රවීණතා විභාගයෙන් සමත් වුණා. නමුත් පාරිභාෂික වචන හුරුවීම අසීරු වීම නිසා ප්‍රථම වසරේ භාෂා දෙකේම දේශන වලට සහභාගී වී සිංහල ඉංග්‍රීසි මිශ්‍ර බසකින් විභාග වලට පිළිතුරු ලිව්වා. නමුත් එම පරිසරයේ තිබුණේම ඉංග්‍රීසියට මුල් තැන දෙන වටපිටාවක්. දෙවෙනි වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යට සම්පුර්ණයෙන් ම හැරෙන්න සිදු වුණා. විශේෂ උපාධි පාඨ මාලා සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වුණා. දුෂ්කරතා මැද භාෂා වෙනසට මුහුණ දුන්නා. ස්වෝත්සාහයෙන් ම ඉංග්‍රීසි ප්‍රවීණතාවය ලැබූ මගේ සැමියා මට මෙහිදී බොහෝ උපකාර කළ බව ස්තුති පුර්වකව සඳහන් කරනවා.  අවසානයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අවසාන උපාධිය ලැබුවා. ගුරු වෘත්තියට පිවිසීමෙන් පසු නැවත සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම කළා. වෙනත් රැකියා වලට පිවිසි සමකාලිකයන් දිගටම තමන් ලැබූ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ නිසි ඵල ලබා ගත්තා. උසස් පෙළ ඉගැන්වීමේ කටයුතු වලටත් ඒ ලැබූ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය බොහෝ ප්‍රයෝජනවත් වූ බව කියන්න ඕන. මං හිතන්නේ අපේ කාලයේ විද්‍යා අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙකුගේ කතාව මීට සමාන ඇති කියලයි.

අපිට ඇතැම් විෂයන් ඉගැන්නුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන පසුව සිංහල මාධ්‍යයෙන් උගන්වන්න සිදුවූ ගුරුවරු. ඔවුන් කියන ඇතැම් දේ අපිට තේරුනේ නැහැ. දැන් ඒකෙ අනිත් පැත්ත සිදුවෙනවා. සිංහල මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ගුරුවරුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනවා. බොහෝ විද්‍යා ගණිත උපාධි ධාරීන් නම් විශ්ව විද්යාල අධ්‍යාපනය ලබා ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

2001 වසරේදී උසස් පෙළ විද්‍යා විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ වීමත් සමග නැවත ද්විභාෂා අධ්‍යාපනය ඇරඹෙනවා. මෙය සාමාන්‍ය ජනතාව අතරට ගියේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලෙස. පසුව 6 ශ්‍රේණියේ සිට විද්‍යාව,ගණිතය, සෞඛ්‍ය වැනි විෂයයන් කිහිපයක් සඳහා ද්විභාෂා මාධ්‍ය හඳුන්වා දෙනවා. මෙහිදී පැනනගින ගැටලුව ද්විභාෂා ප්‍රගුණ ගුරුවරුන් හිඟ වීම.

මා ඉගැන්වූ පාසලේ එසේ ගුරුවරුන් නැති වීම නිසා 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට විද්‍යා විෂය ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න උසස් පෙළ ගුරුවරියක් වූ මට සිදුවුණා. එහිදී මා කලේ භාෂා දෙකෙන්ම පාඩම පැහැදිලි කර දීම. නමුත් සිංහල පාරිභාෂික පද වලට ගියේ නැහැ. ඒවා ඉංග්‍රීසි පද වලට වඩා අමාරුයි. සටහන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියා ගැනීමට සැලැස්වූ අතර පිළිතුරු ලිවීම ද විභාගය ඉලක්ක කරගෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සිදු කළා. මුලදී සිසුන් 40ක් පන්තියේ හිටියා. ඇතැම් දරුවන් දැඩිසේ භාෂා දුර්වලතාව දැක්වුවා. විෂය කරුණු අවබෝධ කර ගැනීම දුර්වල වුණා. එයින් දරුවන් 20ක් නැවත ස්ව කැමැත්ත මෙන්ම දෙමව්පිය උවමනාව මත නැවත සිංහල මාධ්‍ය වෙත හැරුණා. ඉතිරි 20 සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී හිටියා. එක දරුවෙක් හැර සියල්ලන්ම සමත් වුණා. A සාමාර්ථ ගත් දක්ෂ දරුවොත් හිටියා. මේ නිසා මේ පන්ති වලට දරුවන් දැමීමට පෙර මුලික භාෂා හැකියාව දී තිබිය යුතු බව පෙනී ගියා.

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේදී පෙනී ගියා සමහර ඉංග්‍රීසි මාධ්‍ය දරුවන් ඉතාමත් හොඳ භාෂා ශෛලියකින් පිළිතුරු දී ඇති බව. ඇත්තෙන්ම විද්‍යා විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම පහසුයි. පාරිභාෂික පද පිලිබඳ ගැටළු එන්නේ නැහැ. මේ අතරම අපි අත්දැක තිබෙනවා, සිංහල භාෂාවෙන් පිළිතුරු ලියන දරුවන් පවා භාෂාව හැසිරවීමේදී ඉතා දුර්වල බව. කෙටියෙන් කිව්වොත් පොදුවේ ලිඛිත මෙන්ම වාචික බස හැසිරවීම දුර්වල බව බොහෝ නිවේදකයන් ගේ බස වැහැරීම අනුවත මෙන්ම මුහුණු පොතේ අදහස් දැක්වීම් වලිනුත් පැහැදිලි වෙනවා.

තවත් කරුණක් තමයි අපේ රටේ ඉංග්‍රීසි භාෂාවක් වශයෙන් උගන්වන ක්‍රමයේ වරද. මේ නිසා බොහෝ සිසුන් ඉංග්‍රීසි විෂයට අකමැත්තක් දක්වනවා. දරුවන් අවුරුදු දහතුනක් පාසලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අවසානයේ ලබන දැනුමක් නැති බව පේනවා. උසස් පෙළදී සිසුන්  පාසලේදී සාමාන්‍ය ඉංග්‍රීසි ඉගෙනීම විහිළුවකට හරවා ගන්නවා. පාසල ලොකු ද පොඩි ද නගරබද ද ගම්බද ද කියා වෙනසක් නැතුව මේ තත්වය දැකලා තියෙනවා. පාසලින් අස්වූ පසු  විවිධ  අමතර පන්තිවලට යමින් මුදල් ද වියදම් කර ගනිමින් අතරමං වෙනවා.

මෙසේ සලකා බැලු විට මට නම් පෙනී යන්නේ ද්වි භාෂා එළඹුම වඩා උචිත බවයි. ප්‍රාථමික පාසලේ දී භාෂා දෙකම මනා ලෙස දත්, හොඳින් පුහුණුවූ ගුරුවරයාගෙන් මෙය ආරම්භ විය යුතු වෙනවා. ඉංග්‍රීසි බසෙන් පිළිතුරු ලිවීම, දරුවන්ගේ කැමැත්ත හා දක්ෂතාවය මත  6 ශ්‍රේණියෙන් ආරම්භ කිරීමට පුළුවන්. භාෂාවක් ලෙස සාහිත්‍ය ලෙස සිංහල/දෙමළ  ඉගෙනීමත් සමාන්තරව නිසි පරිදි සිදුවෙන්න අවශ්‍යයි. දරුවන්ට කියවීම හුරු කිරීම බොහෝ ගැටළු වලට පිළිතුරු සපයාවි. උචිත දේ කියවීම මිනිසා සම්පුර්ණ කරනවා.



Wednesday, March 13, 2019

බැඳුම්

බැඳුම්



            බැඳුම් ඇත අප අතර මනරම්
            ලිහුම් ගැන සිතන්නත් බැරි තරම්
            අම්මෙකුයි දුවෙකුයි අතර තරම්
            බැඳීමක් නැතුව ඇති මෙලොව නම්...

            ලෝකයේ දෙකෙලවරට වී ඉඳන්
            එකම ඉර හඳ තරු දෙස බලන්
            සිටිනමුත්  දුරස් වී මේ තරම්
            ඇසෙනවා වගේ හඬ කණ ලඟින්

            තිරයෙන් මුහුණට මුහුණ බලන්
            කතා කෙරුවත් ඔහේ  ඇති තරම්
            ළඟ ඉඳන් රණ්ඩු කර හැටි තරම්
            රසයක් දැනෙන් නෑ වගේ මට නම්

         



            අද දෝණි කතා කළා දැයි අසමින්
            තාත්තත් නුඹ ගැන හරි විපරමින්
            දරු තිදෙන හදපු හැටි ආදරෙන්
            සිහි වෙනව ඇති තාත්තටත් දැන්

          මෙබිම හිස් බිමක් වේ යයි මෙතරම්
          සිතුවේ නෑ නුඹ පිටව ගිය දිනේ නම්
          වසර ගණනක්  දෙමින් හද රිදුම්
          හැම තැනම දැනේ ඒ සුවඳ නම්

          කාලයේ විහඟුන්ට  නැත වෙහෙසුම්
          පියාඹයි නොසොයාම මග ලැගුම්
          තැබුවත්  දිනෙක මේමගේ තිත නැවතුම්
          සිතෙයි මට එදින වත් නොබිඳේවී මෙබැඳුම්


Friday, March 8, 2019

දිමි සටන


දිමි සටන 



මේ මම දැක්ක දිමි  (Red Ant/ Fire Ant)  සටනක් ගැන විස්තරයක් . කාලය 2019 මාර්තු 08. තැන ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථා පරිශ්‍රය.  Colombo International Film festival එකේ 3.30 චිත්‍රපටිය පටන් ගන්න කම් එළියේ ඉඳගෙන ඉන්න වුණා. පොතක් ගෙනියන්නත් අමතක වුණා කියවන්න. අතේ තිබුණු කොළ කෑල්ලක් අරන් සටහනක් කුරුටු ගාන්න අවට පරිසරය දිහා බැලුවා.

ඉදිරිපස ටයිල් පොළවේ දිමි රංචුවක් විසිරිලා එහෙ මෙහෙ දුවනවා මහා කලබලෙන්. දිමියෙක් තව දිමියෙක් කරතියන් යනවා දැකල මං විමසිලිමත් වුණා. මෙන්න ඒ වගේ තව කීප දෙනෙක් වෙන එකෙක් කරතියන් හරි ඇදගෙන හරි යනවා. මම මුලදී හිතුවා මළ සිරුරු උස්සන් යනවා කියලා. හොඳට ලං වෙලා බැලුවම කරේ යන එවුන්ට පණ තියෙනවා. උන් දඟලනවා. සමහර තැනක දිමි දෙන්නෙක් එකෙක් දෙපැත්තට අදිනවා. මේ දිමි විශේෂ දෙකක සටනක් විය හැකිද ? දිමි  ඇතුළු කුහුඹු විශේෂ අතර සටන් තිබෙන බව දැන ගත්ත. නමුත් මේ ගැන එතරම් පැහැදිලි විස්තර ලැබුණේ නැහැ. ඔවුන් ආහාර, වාසස්ථාන වගේ දේවල් වලට සටන් කරනවා ඇති. කොහොම හරි විනාඩි 30ක් විතර යනකොට එතැන බිම එක දිමියෙක් වත් හිටියේ නැහැ.

දිමියන් ජීවත් වෙන්නේ ගස් උඩ නිසා මොවුන් රුක්වැසි කුහුඹු වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙසෙන කුහුඹු  විශේෂ ගණන වරින් වර විද්‍යාඥ අදහස් අනුව වෙනස් වෙනවා. 2012 රතු ලැයිස්තුවට අනුව ලංකාවේ කුහුඹු  විශේෂ 205 ක් ඇතැයි සඳහන් වෙනවා.

Solenopsis ගණයට අයත් විශේෂ ගණනාවක් දිමියන් ලෙස හඳුනා ගන්නවා Wikipedia ශ්‍රී ලංකා කුහුඹු ලැයිස්තුවේ නම් හමු වුණේ Solenopsis  germinata   හා යන  Solenopsis nitens   විශේෂ දෙක විතරයි.

Monday, March 4, 2019

Anatomy of Violence.....



Anatomy of Violence.....අපරාධ කරුවන්ගේ හෘදය සාක්ෂිය

බොහෝ දෙනා හිතා ගෙන ඉන්න විදියට අපරාධ කරුවන්ගේ හෘදය සාක්ෂිය එසේ වන්නේ නැති බව ඊයේ තේරුම් ගත්ත. ඊයේ කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල  Colombo International Film Festival බලන්න ගිය දෙවෙනි දවස.

ඊයේ 3.30 තිර ගත වුණේ දීපා මේතා ගේ Anatomy of Violence.....කැනේඩියානු චිත්‍රපටිය. ඔබට Water, Fire, Earth, Midnight's Children යන චිත්‍රපටි සමග දීපා මේතා මතක ඇති. විශේෂයෙන් ලංකාවේ රූ ගත කළ ලංකාවේ ළමා නිලියක් රඟපෑ Water  ඔබට අමතක වෙන්න විදියක් නෑ.

ඉතින් ඊයෙ බලපු මේ චිත්‍රපටිය සුවිශේෂී එකක්. සිනමා පටය කොටස් 4 කින් යුක්තයි.
1. Lives lived- අතීත සිදුවීම්
2. Towards zero - දුෂණය සිදු කළ දවස
3. Division of spoils - වහාම ඉන්පසු සිදුවීම්
4. Aftermath - පසු සිදුවීම්

 චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නේ 2012 වර්ෂයේ, දිල්ලියේ බස් රථයක් තුලදී බිහිසුණු තිරශ්චීන සමුහ දුෂණය කට මුහුණ දී මියගිය වෛද්‍ය ශිෂ්‍යාව මත. ඒ කතාව ඔබට මතක ඇති. චිත්‍රපටියේ විශ්ලේෂණය වෙනවා, ඒ අපරාධය කරන ලද කල්ලියට අයත් පුද්ගලයන්ගේ,අතීතය. ඔවුන් කුඩා කල පවුල් පසුබිම, හැදී වැඩුණු පරිසරය, ඔවුන් මුහුණ දුන් විවිධ දුෂ්කරතා, දුප්පත්කම, කුසගින්න, පමණක් නොවේ, විශේෂයෙන්ම ඔවුන්ට මුහුණ පෑමට සිදුවූ ලිංගික අතවර ආදී සියල්ල . කෙටියෙන් කියනවා නම් ඔවුන්ගේ සමාජානුයෝජනයේ දී සිදුවූ වැරදි පෙන්වා දෙනවා. විවිධ තත්වයන් යටතේ ලොකු මහත් වෙන මොවුන් තරුණ වියේදී  දිල්ලියට එනවා. අහඹුවක් ලෙස කල්ලිය එකතුවෙනවා. එකට ජීවත් වෙනවා. මොවුන් ජීවිත් වීමේ අරගලයට මුහුණ දෙන ආකාරය, ඔවුන් ගේ නුගත්කම, අසාමාන්‍ය ලිංගික චර්යා පෙන්වා දෙනවා.

මේ අතරම මෙහි දිගටම වරින් වර ඉස්මතු කරමින් පෙන්වනවා ඒ ගැහැණු ළමයාගේ පවුල් පසුබිම, ඇගේ ජීවිතය ගලා යන ආකාරය, ඇගේ මිතුරු මිතුරියන් හා මේ බිහිසුණු අපරාධයට මුහුණ දීමට පෙර ඇගේ අභිමතාර්ථයන් හා සිහින.
අවසානයේ මේ කල්ලිය එක්තරා රාත්‍රියක බස් රථයට නගින මේ යුවතිය සමුහ දුෂණයට පත් කර ඇගේ පෙම්වතාටද පහරදී අතරමග දමා යනවා. නමුත් චිත්‍රපටිය තුල මේ දුෂණ සිද්ධිය නිරුපනය කරන්නේ නැහැ.
සිනමා රුපීය වශයෙන් විශේෂත්වයන් කිහිපයකුත් මේ සිනමා පටයේ තියෙනවා. එකක් තමයි අපරාධ කරුවන්ගේ ළමා කාලයේ සිදුවීම් වලට පණ පොවන්නේත් වැඩිහිටි නළුවම වීම. කටහඬ පමණක් ළමා හඬින් දක්වනවා. ප්‍රේක්ෂකයාට ළමයා කුමන වයසක ද යන්න බාහිර පොතේ ගුරෙක් මගින් පෙන්වා දෙනවා. මෙය මුලදී තේරුම් ගන්න ටිකක් අමාරු වුණා. අනික් විශේෂත්වය නම් අපරාධයට බඳුන් වූ යුවතියගේ ජීවිතයේ අවස්ථා පෙන්වා අවසාන වන සෑම අවස්ථාවේම නිශ්චල ඡායාරූපයකින් අවසන් කිරීම.

අපරාධයට  පසු සිදුවීම් කිහිපයක් Division of spoils  කොටසේ පෙන්වනවා. අපරාධ කාරයෝ අහු වෙනකම් තම තමන්ගේ වැඩ කරගෙන යනවා. ඔවුන් තුළ සිද්ධිය පිලිබඳ කම්පාවක්, පසුතැවීමක් පෙනෙන්නේ නැහැ.
  Aftermath කොටස වඩා වැදගත්. ඉහළ  සමාජය ගැහැණු ළමයා පිට වරද පටවනවා. රාත්‍රී නමය වගේ වෙලාවක ගැහැණු ළමයා පාරේ ගිය එක වරදක් ලෙස ඉස්මතු කරනවා.

කොහොම හරි ජන විඥ්ඥානය අවදි වීමෙන් ජනතාව ගේ  දැඩි උද්ඝෝෂණ හමුවේ අපරාධකරුවන් කිහිප දෙනෙකුට මරණ දඬුවම හිමි වූ බව ඔබ දන්නවා. එසේ මරණීය දණ්ඩනය නියමවූ  අපරාධ කරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පිළිතුරු දෙන්නේ මෙහෙම .....

ප්‍රශ්නය : ඔබ ඇයි මේ වගේ දෙයක් කරන්න  පෙළඹුණේ ?
අපරාධකරු : 'මං දන්නේ නැහැ. ඒක ඒ වෙලාවේ සිද්ධ වුණා. දැන් ඒක වෙලා ඉවරයි '
ප්‍රශ්නය : 'ඒක ඔබ කළ වරදක් නේද ?'
අපරාධකරු : 'මගේ විතරක් වැරැද්දක් වෙන්නේ කොහොමද ? ඒක ගැහැණු ලමයගේත් වරද . ඒක ඒ වෙලාවේ වෙන්න තිබුණා'
ප්‍රශ්නය : 'ඔබ දුෂණය කළ නිසා නේද ඇය මැරුණේ'
අපරාධකරු: 'කවුරුත් දවසක මැරෙනවා. ඉතින් ඇය එදා මැරුණා'
ප්‍රශ්නය:  'දැන් ඔබ එහෙම වීම ගැන කණගාටු වෙනවද පසුතවෙනවද'
අපරාධකරු:  'නෑ ඇයි මං පසුතැවෙන්නේ'
ප්‍රශ්නය:  'ඔබට ලැබුණු දඬුවම අනුව ඔබ එල්ලා මරනවා. ඒ ගැන මොකක්ද හිතෙන්නේ '
අපරාධකරු:  'ආ ..ඔවු එහෙම වේවි ...ඉතින් මාත් කවදා හරි මැරෙනවා නේ ? දැන් මේ විදියට මැරෙනවා.'

මේ අනුව දීපා මේතා පෙන්වා දෙනවා අපරාධකරුවන්ට බොහෝ විට හෘදය සාක්ෂියක් නැති බව. තව සාකච්ඡාවේදී එක මහත්මයෙක් අදහස් දැක්වුවා මෙහෙම.  ලංකාවේ කරන ලද අධ්‍යනයකදී වයස අවුරුදු 15-29 අතර වයස් කාණ්ඩයේ මෙවැනි වරදකාරී පුද්ගලයන්ගෙන් 90%ක්ම තම වරද ගැන පසුතැවීමක් නොවන බව හෙළිවී තිබෙනවා කියලා. මේ අපරාධයට මෙසේ දඬුවම් නියම වුවත් 2012 - 2014 කාල සීමාව තුළ ඉන්දියාවේ මෙවැනි අපරාධ තෙගුණ වී ඇති බව දීප මේතා කියනවා.

දැන් පොදු ජන මතයක් තියෙනවනේ නඩු හරහා දඬුවම් නොලැබුවත් වරද කරපු පුද්ගලයා ඒ ගැන හිතමින් මැරීමැරී උපදිනවා කියලා ජීවත්ව ඉන්නකන්ම. මට හිතෙන්නේ බොදු දහම අනුව එහෙම ද්වේශ සහගතව හතුරා දෙස බලන්න බැරි උනත් මිනිස්සු එහෙම හරි අපරාධ කරුට හිතෙන් හරි දඬුවමක් ලැබෙනවට සතුටු වෙනවා කියලා . නමුත් එය එසේ නොවෙන බව නේද පෙන්නේ. ඔවුන්ට එහෙම පසු තැවීමක් නැහැ. ඔවුන් ආපසු සුපුරුදු ජීවිත ගත කරනවා. දෙවන තෙවන වරටත් අපරාධ කරනවා.

ආයෙත් මිනිස්සුන්ට  හිත හදාගන්න ක්‍රමයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ  තමයි බොදුනුවන් ට අනුව අපරාධ කාරයා කළ පාපයට කර්මානුරුපව මේ ආත්ම භවේදී හරි ඊළඟ ආත්ම භවයක දී හරි දඬුවම් ලැබෙන බව. වෙනත් ආගම් අනුව දෙවියන් වහන්සේ ලඟට ඔවුන්ට යන්න බැරි වෙන බව.

තව මහත්මයෙක් කිව්වා මේ අපරාධ බටහිර රටවල නැහැ, මේ වගේ තුන්වෙනි ලෝකයේ රටවල්වල තමයි තියෙන්නේ කියලා. එයට ප්‍රති උත්තර දුන් බටහිර නියෝජිත වරිය කිව්වේ ' නැහැමේවා ලොව පුරා සිදුවෙනවා. ලංකාව වගේ කුඩා රටක එහි ප්‍රතිශතය වැඩිබව ඇත්ත' කියලයි.
සාමාන්‍යයෙන් පුරුෂ මූලික සමාජයේ පුරුෂයාට බලයක් හිමිකර දී තිබෙනවා,කාන්තාවට  හෝ තමාට වඩා දුර්වල පිරිමියෙක්ට හෝ පිරිමි දරුවෙක්ට හෝ තම යම් යම් පීඩන මුදා හැරීමට. එසේ කිරීම ලොකු වරදක් කොට දකින්නේ නැහැ. පිරිමි ගතිය කියල සාධාරණීය කරනවා. පිරිමි ළමයෙක් මෙවැනි ලිංගික අතවරයකට ලක් වුනොත් ඔහු ලොකු වී බලය ලැබුනහම වෙනත් තමන්ට වඩා දුර්වල කෙනෙක් හමුවේ තම පීඩනය මුදා හරිනවා. මෙය ලිංගික ක්‍රියා වලටම සීමා වෙන්නේ නැහැ. කාර්යාලයක,වැඩබිමක ඉහල තනතුරක් ලැබූ ඇතැම් කෙනෙක් ,පහළ තනතුරු දරණ පුද්ගලයන්ට අසාමාන්‍ය විදියට සැර වැර කරනවා, තරවටු කිරීම් කරනවා.

ලෝකයේ සියල්ල ඉතා සන්සුන්ව සිදුවන රටවල් නැති වුවත් සාපේක්ෂව  අපරාධ අඩු රටවල් තිබෙනවා. නමුත් අපරාධ බහුල වීමට දරිද්‍රතාවය හේතු වන බවත් සමාජ අසාධාරණය වැඩිවී ඇති නැති පරතරය වැඩිවීම අපරාධ රැසකට මුල බවත් අපගේ දේශපාලන දැනුම අනුව පෙනී යනවා. මේක විෂම චක්‍රයක් විදියට ප්‍රාග් ධනය විසින් හසුරුවනු ලබනවා.

මල් වගේ කුඩා දරුවන් මේ විෂම ලෝකය තුළ ඉතාමත් පරිස්සමින් රක බලා ගන්න කියල කියන්න ඕන. අනතුර අත ළඟ වෙන්න පුළුවන්.ඈත වෙන්න පුළුවන්. හැමතැනම අනාරක්ෂිත බව බිහිසුණු නපුරු  රාස්සයෙකු වගේ සැඟවී දත් විලිස්සාගෙන ඉන්නවා කියන එක අමතක කරන්න එපා කියලා මේ සිනමා පටිය ඔබට කියා දෙනවා

මේ හැර අපරාධ කිරීමට පෙළඹීම් ඇති කරන ජානමය පදනමක් ද ඇති බව කියවෙනවා. නමුත් පුද්ගල චර්යා ජාන මෙන්ම පරිසරය අනුවත් තීරණය වන බැවින් පුද්ගල සමාජානුයෝජනය කුඩා කල සිට ආදරය,රැකවරණය ද සමග ආහාර, නිවාස ,අධ්‍යාපනය ඇතුළු මූලික අවශ්‍යතා සම්පුර්ණ වන පරිසරයක් තුළ සිදුවිය යුතු බව අවසාන වශයෙන් කියන්න පුළුවන්. එවන් ලොවක් බිහිවේවා යන්න මගේ පැතුමයි.

(ඡායා රුපය චිත්‍රපටියේ රුපරමුවක්....අන්තර්ජාලයෙන් )





Saturday, March 2, 2019

Homemade Chocolate with Cocoa beans......


Homemade Chocolate with Cocoa beans......


මේක අහම්බ සිදු වීමක්...තාත්තාට (අපේ මහත්තයට ) පන්සලේ හාමුදුරුවෝ කොකෝවා  ගෙඩි කීපයක් දීල තිබුණා . ඉතින් මේවා ඔහේ කුස්සියේ දින ගණනක් තිබුණා. ඇට වල වටේ ලොඳය පැණි රස නිසා ඒක සූප්පු කරලා ඇට ටික විසි කරලා දාන්නයි කල්පනා කළේ. ඉතින් තාත්තා කිව්වා ඔය ඇට වලින් ප්‍රයෝජනයක් ගන්න බැරිද කියලා. මටත් උනන්දුවක් ඇතිවෙලා අන්තර්ජාලයේ චොකලට් හැදීම ගැන පුළුවන් තරම් බැලුව. u tube video බැලුවා.
ඒ අනුව කොකෝ ඇට වේළුව ඉස්සෙල්ලම. ඊළඟට ඒවා කබලේ බැද්දා. කෝපි වගේ. දැන් අතින් පොතු ගැලෙව්වා. ආපහු බැද්දා. හැබැයි මගේ අතින් ටිකක් වැඩි පුර කර වුණා. grinder එකේ කුඩු කළා. ඇත්තටම කුඩු නෙමේ ලැබෙන්නේ තෙල් නිසා පාප්ප වගේ උකු තද දුඹුරු පාට දෙයක්. මේක 50g වලට විතර මෙන්න මේ දේවල් එකතු කළා.
උකු කිරි ටින් එකක කිරි
පිටි කිරි මේස හැඳි 3
සීනි මේස හැඳි 4
වතුර ස්වල්පයක් (කිරි ටින් එක සෝදා ගත්තු)
කුරුඳු පව්ඩර් තේ හැඳි 1
වැනිලා තේ හැඳි 1
මේ සේරම සාස් පානක දාල ලිප  තියලා සීනි දියවී තරමක් උකු වෙනකම් හොඳින් කූරු ගාමින් රත් කරලා, අර කොකෝ තලපයත් ඒකට දාලා තවත් ටික වෙලාවක් කූරු ගාල ලිපෙන් බෑවා. ice tray එක හොඳින් තෙත ඉවත් වෙන්න පිස දාල තෙල් ස්වල්පයක් ගැව. දැන් චොකොලට්  හැන්දකින් අරන් එක එක කොටුව පිරෙව්වා. ශීත කරණයේ පැය කීපයක් තියල ගත්ත. පොඩ්ඩක් කර රසයි. පළවෙනි සැරෙනේ ...ඊළඟ සැරේ හරියට හදනවා. අපේ පොඩි කෙල්ලෝ දෙන්නා හයි වෙන්න කලීන්ම කෑවා ...එකයි පින්තූරේ කෑලි කීපයක් අඩු ...