Monday, March 4, 2019

Anatomy of Violence.....



Anatomy of Violence.....අපරාධ කරුවන්ගේ හෘදය සාක්ෂිය

බොහෝ දෙනා හිතා ගෙන ඉන්න විදියට අපරාධ කරුවන්ගේ හෘදය සාක්ෂිය එසේ වන්නේ නැති බව ඊයේ තේරුම් ගත්ත. ඊයේ කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල  Colombo International Film Festival බලන්න ගිය දෙවෙනි දවස.

ඊයේ 3.30 තිර ගත වුණේ දීපා මේතා ගේ Anatomy of Violence.....කැනේඩියානු චිත්‍රපටිය. ඔබට Water, Fire, Earth, Midnight's Children යන චිත්‍රපටි සමග දීපා මේතා මතක ඇති. විශේෂයෙන් ලංකාවේ රූ ගත කළ ලංකාවේ ළමා නිලියක් රඟපෑ Water  ඔබට අමතක වෙන්න විදියක් නෑ.

ඉතින් ඊයෙ බලපු මේ චිත්‍රපටිය සුවිශේෂී එකක්. සිනමා පටය කොටස් 4 කින් යුක්තයි.
1. Lives lived- අතීත සිදුවීම්
2. Towards zero - දුෂණය සිදු කළ දවස
3. Division of spoils - වහාම ඉන්පසු සිදුවීම්
4. Aftermath - පසු සිදුවීම්

 චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නේ 2012 වර්ෂයේ, දිල්ලියේ බස් රථයක් තුලදී බිහිසුණු තිරශ්චීන සමුහ දුෂණය කට මුහුණ දී මියගිය වෛද්‍ය ශිෂ්‍යාව මත. ඒ කතාව ඔබට මතක ඇති. චිත්‍රපටියේ විශ්ලේෂණය වෙනවා, ඒ අපරාධය කරන ලද කල්ලියට අයත් පුද්ගලයන්ගේ,අතීතය. ඔවුන් කුඩා කල පවුල් පසුබිම, හැදී වැඩුණු පරිසරය, ඔවුන් මුහුණ දුන් විවිධ දුෂ්කරතා, දුප්පත්කම, කුසගින්න, පමණක් නොවේ, විශේෂයෙන්ම ඔවුන්ට මුහුණ පෑමට සිදුවූ ලිංගික අතවර ආදී සියල්ල . කෙටියෙන් කියනවා නම් ඔවුන්ගේ සමාජානුයෝජනයේ දී සිදුවූ වැරදි පෙන්වා දෙනවා. විවිධ තත්වයන් යටතේ ලොකු මහත් වෙන මොවුන් තරුණ වියේදී  දිල්ලියට එනවා. අහඹුවක් ලෙස කල්ලිය එකතුවෙනවා. එකට ජීවත් වෙනවා. මොවුන් ජීවිත් වීමේ අරගලයට මුහුණ දෙන ආකාරය, ඔවුන් ගේ නුගත්කම, අසාමාන්‍ය ලිංගික චර්යා පෙන්වා දෙනවා.

මේ අතරම මෙහි දිගටම වරින් වර ඉස්මතු කරමින් පෙන්වනවා ඒ ගැහැණු ළමයාගේ පවුල් පසුබිම, ඇගේ ජීවිතය ගලා යන ආකාරය, ඇගේ මිතුරු මිතුරියන් හා මේ බිහිසුණු අපරාධයට මුහුණ දීමට පෙර ඇගේ අභිමතාර්ථයන් හා සිහින.
අවසානයේ මේ කල්ලිය එක්තරා රාත්‍රියක බස් රථයට නගින මේ යුවතිය සමුහ දුෂණයට පත් කර ඇගේ පෙම්වතාටද පහරදී අතරමග දමා යනවා. නමුත් චිත්‍රපටිය තුල මේ දුෂණ සිද්ධිය නිරුපනය කරන්නේ නැහැ.
සිනමා රුපීය වශයෙන් විශේෂත්වයන් කිහිපයකුත් මේ සිනමා පටයේ තියෙනවා. එකක් තමයි අපරාධ කරුවන්ගේ ළමා කාලයේ සිදුවීම් වලට පණ පොවන්නේත් වැඩිහිටි නළුවම වීම. කටහඬ පමණක් ළමා හඬින් දක්වනවා. ප්‍රේක්ෂකයාට ළමයා කුමන වයසක ද යන්න බාහිර පොතේ ගුරෙක් මගින් පෙන්වා දෙනවා. මෙය මුලදී තේරුම් ගන්න ටිකක් අමාරු වුණා. අනික් විශේෂත්වය නම් අපරාධයට බඳුන් වූ යුවතියගේ ජීවිතයේ අවස්ථා පෙන්වා අවසාන වන සෑම අවස්ථාවේම නිශ්චල ඡායාරූපයකින් අවසන් කිරීම.

අපරාධයට  පසු සිදුවීම් කිහිපයක් Division of spoils  කොටසේ පෙන්වනවා. අපරාධ කාරයෝ අහු වෙනකම් තම තමන්ගේ වැඩ කරගෙන යනවා. ඔවුන් තුළ සිද්ධිය පිලිබඳ කම්පාවක්, පසුතැවීමක් පෙනෙන්නේ නැහැ.
  Aftermath කොටස වඩා වැදගත්. ඉහළ  සමාජය ගැහැණු ළමයා පිට වරද පටවනවා. රාත්‍රී නමය වගේ වෙලාවක ගැහැණු ළමයා පාරේ ගිය එක වරදක් ලෙස ඉස්මතු කරනවා.

කොහොම හරි ජන විඥ්ඥානය අවදි වීමෙන් ජනතාව ගේ  දැඩි උද්ඝෝෂණ හමුවේ අපරාධකරුවන් කිහිප දෙනෙකුට මරණ දඬුවම හිමි වූ බව ඔබ දන්නවා. එසේ මරණීය දණ්ඩනය නියමවූ  අපරාධ කරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පිළිතුරු දෙන්නේ මෙහෙම .....

ප්‍රශ්නය : ඔබ ඇයි මේ වගේ දෙයක් කරන්න  පෙළඹුණේ ?
අපරාධකරු : 'මං දන්නේ නැහැ. ඒක ඒ වෙලාවේ සිද්ධ වුණා. දැන් ඒක වෙලා ඉවරයි '
ප්‍රශ්නය : 'ඒක ඔබ කළ වරදක් නේද ?'
අපරාධකරු : 'මගේ විතරක් වැරැද්දක් වෙන්නේ කොහොමද ? ඒක ගැහැණු ලමයගේත් වරද . ඒක ඒ වෙලාවේ වෙන්න තිබුණා'
ප්‍රශ්නය : 'ඔබ දුෂණය කළ නිසා නේද ඇය මැරුණේ'
අපරාධකරු: 'කවුරුත් දවසක මැරෙනවා. ඉතින් ඇය එදා මැරුණා'
ප්‍රශ්නය:  'දැන් ඔබ එහෙම වීම ගැන කණගාටු වෙනවද පසුතවෙනවද'
අපරාධකරු:  'නෑ ඇයි මං පසුතැවෙන්නේ'
ප්‍රශ්නය:  'ඔබට ලැබුණු දඬුවම අනුව ඔබ එල්ලා මරනවා. ඒ ගැන මොකක්ද හිතෙන්නේ '
අපරාධකරු:  'ආ ..ඔවු එහෙම වේවි ...ඉතින් මාත් කවදා හරි මැරෙනවා නේ ? දැන් මේ විදියට මැරෙනවා.'

මේ අනුව දීපා මේතා පෙන්වා දෙනවා අපරාධකරුවන්ට බොහෝ විට හෘදය සාක්ෂියක් නැති බව. තව සාකච්ඡාවේදී එක මහත්මයෙක් අදහස් දැක්වුවා මෙහෙම.  ලංකාවේ කරන ලද අධ්‍යනයකදී වයස අවුරුදු 15-29 අතර වයස් කාණ්ඩයේ මෙවැනි වරදකාරී පුද්ගලයන්ගෙන් 90%ක්ම තම වරද ගැන පසුතැවීමක් නොවන බව හෙළිවී තිබෙනවා කියලා. මේ අපරාධයට මෙසේ දඬුවම් නියම වුවත් 2012 - 2014 කාල සීමාව තුළ ඉන්දියාවේ මෙවැනි අපරාධ තෙගුණ වී ඇති බව දීප මේතා කියනවා.

දැන් පොදු ජන මතයක් තියෙනවනේ නඩු හරහා දඬුවම් නොලැබුවත් වරද කරපු පුද්ගලයා ඒ ගැන හිතමින් මැරීමැරී උපදිනවා කියලා ජීවත්ව ඉන්නකන්ම. මට හිතෙන්නේ බොදු දහම අනුව එහෙම ද්වේශ සහගතව හතුරා දෙස බලන්න බැරි උනත් මිනිස්සු එහෙම හරි අපරාධ කරුට හිතෙන් හරි දඬුවමක් ලැබෙනවට සතුටු වෙනවා කියලා . නමුත් එය එසේ නොවෙන බව නේද පෙන්නේ. ඔවුන්ට එහෙම පසු තැවීමක් නැහැ. ඔවුන් ආපසු සුපුරුදු ජීවිත ගත කරනවා. දෙවන තෙවන වරටත් අපරාධ කරනවා.

ආයෙත් මිනිස්සුන්ට  හිත හදාගන්න ක්‍රමයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ  තමයි බොදුනුවන් ට අනුව අපරාධ කාරයා කළ පාපයට කර්මානුරුපව මේ ආත්ම භවේදී හරි ඊළඟ ආත්ම භවයක දී හරි දඬුවම් ලැබෙන බව. වෙනත් ආගම් අනුව දෙවියන් වහන්සේ ලඟට ඔවුන්ට යන්න බැරි වෙන බව.

තව මහත්මයෙක් කිව්වා මේ අපරාධ බටහිර රටවල නැහැ, මේ වගේ තුන්වෙනි ලෝකයේ රටවල්වල තමයි තියෙන්නේ කියලා. එයට ප්‍රති උත්තර දුන් බටහිර නියෝජිත වරිය කිව්වේ ' නැහැමේවා ලොව පුරා සිදුවෙනවා. ලංකාව වගේ කුඩා රටක එහි ප්‍රතිශතය වැඩිබව ඇත්ත' කියලයි.
සාමාන්‍යයෙන් පුරුෂ මූලික සමාජයේ පුරුෂයාට බලයක් හිමිකර දී තිබෙනවා,කාන්තාවට  හෝ තමාට වඩා දුර්වල පිරිමියෙක්ට හෝ පිරිමි දරුවෙක්ට හෝ තම යම් යම් පීඩන මුදා හැරීමට. එසේ කිරීම ලොකු වරදක් කොට දකින්නේ නැහැ. පිරිමි ගතිය කියල සාධාරණීය කරනවා. පිරිමි ළමයෙක් මෙවැනි ලිංගික අතවරයකට ලක් වුනොත් ඔහු ලොකු වී බලය ලැබුනහම වෙනත් තමන්ට වඩා දුර්වල කෙනෙක් හමුවේ තම පීඩනය මුදා හරිනවා. මෙය ලිංගික ක්‍රියා වලටම සීමා වෙන්නේ නැහැ. කාර්යාලයක,වැඩබිමක ඉහල තනතුරක් ලැබූ ඇතැම් කෙනෙක් ,පහළ තනතුරු දරණ පුද්ගලයන්ට අසාමාන්‍ය විදියට සැර වැර කරනවා, තරවටු කිරීම් කරනවා.

ලෝකයේ සියල්ල ඉතා සන්සුන්ව සිදුවන රටවල් නැති වුවත් සාපේක්ෂව  අපරාධ අඩු රටවල් තිබෙනවා. නමුත් අපරාධ බහුල වීමට දරිද්‍රතාවය හේතු වන බවත් සමාජ අසාධාරණය වැඩිවී ඇති නැති පරතරය වැඩිවීම අපරාධ රැසකට මුල බවත් අපගේ දේශපාලන දැනුම අනුව පෙනී යනවා. මේක විෂම චක්‍රයක් විදියට ප්‍රාග් ධනය විසින් හසුරුවනු ලබනවා.

මල් වගේ කුඩා දරුවන් මේ විෂම ලෝකය තුළ ඉතාමත් පරිස්සමින් රක බලා ගන්න කියල කියන්න ඕන. අනතුර අත ළඟ වෙන්න පුළුවන්.ඈත වෙන්න පුළුවන්. හැමතැනම අනාරක්ෂිත බව බිහිසුණු නපුරු  රාස්සයෙකු වගේ සැඟවී දත් විලිස්සාගෙන ඉන්නවා කියන එක අමතක කරන්න එපා කියලා මේ සිනමා පටිය ඔබට කියා දෙනවා

මේ හැර අපරාධ කිරීමට පෙළඹීම් ඇති කරන ජානමය පදනමක් ද ඇති බව කියවෙනවා. නමුත් පුද්ගල චර්යා ජාන මෙන්ම පරිසරය අනුවත් තීරණය වන බැවින් පුද්ගල සමාජානුයෝජනය කුඩා කල සිට ආදරය,රැකවරණය ද සමග ආහාර, නිවාස ,අධ්‍යාපනය ඇතුළු මූලික අවශ්‍යතා සම්පුර්ණ වන පරිසරයක් තුළ සිදුවිය යුතු බව අවසාන වශයෙන් කියන්න පුළුවන්. එවන් ලොවක් බිහිවේවා යන්න මගේ පැතුමයි.

(ඡායා රුපය චිත්‍රපටියේ රුපරමුවක්....අන්තර්ජාලයෙන් )





2 comments:

  1. 2012 වසරේදී ඉන්දියාවේ සිදුවූ සමුහ දූෂණ සිද්ධිය මතකයි.
    එම සිද්ධිය මූලික කර ගනිමින් සකස් කර තිබෙන චිත්‍රපටය බැලීමට ඔබට අවස්ථාවක් ලැබීම හරි වටිනවා. එය ගැන කර තිබෙන සම්පිණ්ඩනය අගය කරනවා. දරිද්‍රතාව, නූගත්කම, අසහනය, අපේක්ෂා භංගත්වය, සමාජයේ කොන් වීම ආදිය නිසා මෙවැනි මැර කම් වලට මිනිසා භාජන වන බව චිත්‍රපටයේ විග්‍රහ කර ඇති බව පෙනෙනවා.
    තවත් මෙවැනි තොරතුරු Blog පාඨකයින්ට ඉඉරිපත් කරන්න. හොඳ විවේචනයක්.

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වීම ගැන . මේ ලිපියට FB එකෙත් හොඳ ප්‍රතිචාර තිබෙනවා.

      Delete