Wednesday, March 20, 2019

අධ්‍යාපන මාධ්‍ය/Language of Instruction

අධ්‍යාපන මාධ්‍ය/ Language of Instruction

මේ දිනවල විවාදයට බඳුන්වන ප්‍රධාන කාරණාවක් වන්නේ දරුවන්ට ඉගැන්වීමට යොදා ගත යුතු භාෂා මාධ්‍ය කුමක්ද යන්න නිසා ඒ ගැන විමසීමක් කිරීම සුදුසු යයි හිතුවා. මේ ගැන සඳහන් වන අතිමහත් පර්යේෂණ ඇතුළු සාහිත්‍යයක් යුනෙස්කෝ ඇතුළු ලෝකයේ විවිධ ආයතන හරහා ඔබට ලබා ගන්න පුළුවන්.

පහත සඳහන් වන්නේ එසේ ලබා ගත් කරුණු කිහිපයක්.

'Research has shown that children’s first language is the optimal language for literacy and learning throughout primary school (UNESCO, 2008a).'

'ගුණාත්මක මුලික අධ්‍යාපනයක් ලබාදීම  කෙරෙහි බලපාන සාධක රැසක් ඇති නමුත් පන්තිකාමරයේදී සන්නිවේදනය හා අවබෝධය උදෙසා යතුර වන්නේ භාෂාවයි. දියුණුවෙමින් පවතින රටවල පුද්ගලයන් හා සමාජය බහුභාෂීය වන නමුත් අධ්‍යාපනයේදී වෙනත් විදේශීය භාෂාවක් මුලික කරගනු ලැබේ. සිසුන් කතා නොකරන භාෂාවක් අධ්‍යාපන මාධ්‍ය ලෙස යොදා ගැනීම submersion කියා හඳුන්වනු ලැබේ. එය හරියට පිහිනන්න ඉගැන්වීමක් නැතිව වතුරට  බැස්සවීමක් වැනිය. නිසි පරිදි පුහුණුවූ ගුරුවරු, සුදුසු විෂයමාලා , මනා පාසල් පහසුකම් නැතිව මෙසේ කිරීම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අහිතකර ලෙස බලපායි. විශේෂයෙන්ම ගුරුවරයා ටද විදේශීය භාෂාව හුරුනොවූ කල මෙය තවත් බැරෑරුම් වේ.

මව් භාෂාව පදනම් වූ ද්විභාෂා වැඩසටහන් වල L1 යනුවෙන් හැඳින්වෙන පළමු බස අධ්‍යයන කාර්යයේදී මුලින්ම කියවීම හා ලිවීම සඳහා යොදා ගැනේ. L 2 යනුවෙන් හැඳින්වෙන දෙවන බස ශිෂ්‍යයා තමාට හුරු ලබා ඇති කුසලතා අනික් බසකට හුවමාරු කරගැනීමට හැකිවෙන ආකාරයකට ක්‍රමානුකුලව ඉගැන්විය යුතුය.'

අපේ රටේ තිබුණු අධ්‍යාපනය මොන වගේ එකක් ද කියල මුලින්ම මදක් විමසා බැලුවොත් හොඳයි කියල හිතෙනවා. අතීත ශ්‍රී ලංකාවේ ආගමික පසුබිමක් සහිත අධ්‍යාපනයක් තමයි තිබුනේ. බෞද්ධ ජනතාව මව් බසට අමතරව සිසුන් පාලි, සංස්කෘත,වගේ භාෂා ඉගෙන ගෙන තියෙනවා.  හින්දු සිසුන් සංස්කෘත භාෂාවත්, මුස්ලිම් සිසුන් අරාබි භාෂාවත් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මේ භාෂා ආයුර්වේදය හා ජ්‍යෝතිෂ්‍ය සඳහා ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.නමුත් අධ්‍යාපන අවස්ථා සුලබ වුනේ නැහැ. පසුව පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය පැවතුනත් සැම දෙනාටම අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථා තිබුණෙ නැහැ. මළ පොතේ අකුරුවත් දන්නේ නැහැ කියන කියමනෙන් ඒක පැහැදිලි වෙනවා. යටත් විජිත ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසීන්   විසින් දිවයින පුරා පාසල් ආරම්භ කරලා තියෙනවා.

ඒ සමග පෘතුගීසින් හා ලන්දේසීන් විසින් ආරම්භ කළ පැරිෂ් පාසල් ඉවත් වෙනවා. නමුත් සැමට සමාන අධ්‍යාපනයක් ලැබුණා යයි මින් අදහස් වන්නේ නැහැ. මේ පාසල් අතර මුදල් ගෙවා ඉගෙන ගන්න අවශ්‍ය වුනු ඉංග්‍රීසි මාධ්‍ය පාසල් සේවය කලේ රාජ්‍ය පාලනයේ පහළ මට්ටමට අවශ්‍ය සේවකයන් සකස් කර ගැනීමට. අනිකුත් පාසල් ස්වභාෂා පාසල්. මේවායේ අධ්‍යාපන මාධ්‍ය වුනේ සිංහල හෝ දෙමළ. පහසුකම් තිබෙන විට ඉංග්‍රීසිත් උගන්නලා තියෙනවා. මගේ මිත්තණිය පැවසුවා පියතුමාට සුරුට්ටු බොන්න සල්ලි දුන්නහම ඉංග්‍රීසි ඉගැන්නුවා කියල. ගැහැණු ළමයින් විදුලි පුවතක් තේරුම් ගන්න තරමට ඉංග්‍රීසි දැනුමක් ලබුවහම ඇති කියල තමයි අදහස් කරලා තියෙන්නේ.

නිදහස ලැබීමෙන් පස්සේ ලංකාවේ පාසල් පද්ධතිය දියණු වුණා .ඉංග්‍රීසි මාධ්‍ය මිෂනාරි පාසලුත් තිබුණා. පසුව ඉංග්‍රීසි මාධ්‍ය උසස් පාසල් ද බිහි වුණා. මේ අතර තීරණාත්මක ඓතිහාසික සිදුවීම් කිහිපයක් සිදුවුණා. පළමුවැන්න 1947 නිදහස් අධ්‍යාපන පනත . මෙහිදී කන්නන්ගර මැති තුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය ක්‍රියාවට නැංවුණා. අන්න එහිදී පන්ති බේදයකින් තොරව දක්ෂ දරුවන්ට 6වැනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා වුණා. එසේ බිහිවූ පරම්පරාව මනා ලෙස භාෂා දෙකම හසුරුවන්න පුළුවන් ද්විභාෂා උගතුන් බවට පත් වුණා. දෙවනුව 1960 දී සම්පුර්ණ අධ්‍යාපන පද්ධතියම රජයේ පාලනට නතු කරනු ලැබුවා. ඒ වගේම අධ්‍යාපන මාධ්‍ය සිංහල/දෙමළ බවට පත්වුණා.මෙයට දේශපාලනික හේතු බලපෑවා. පොදු ජනයා අතර ඉංග්‍රීසි සුද්දාගේ භාෂාව ලෙස නොසැලකිල්ලට භාජනය වුණා. ඉංග්‍රීසි උගත් දෙමව්පියොත් තම දරුවන් ස්වභාෂා පාසල් වලට යවන්න පෙළඹුණා. මෙහි නරක ප්‍රතිඵල අදටත් රට අත් විදිනවා. නමුත් පාලකයන් ඇතුළු ඉහළ පැලැන්තිය තම දරුවන්ට විදේශ අධ්‍යාපනය ලබා දෙමින් ඉංග්‍රීසි,ප්‍රංශ වැනි භාෂා වල ප්‍රවීණත්වය ලබා දුන්නා. පන්ති භේදය පවත්වා ගෙන යන්න ඉංග්‍රීසිය පිටිවහලක් කරගත්තා.

දැන් කියන්න යන්නේ මා ලැබූ අත්දැකීම් කිහිපයක්. අපි 1960න් පස්සේ අධ්‍යාපනය ලැබූ පරම්පරාව. ප්‍රධාන පෙලේ බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබුවා. සිංහල මාධ්‍ය අධ්‍යාපනය ප්‍රධාන කොට ගත් ඉගෙනීමක් ලැබුවේ. ඉංග්‍රීසි දෙවන බස ලෙස ඉගෙන ගත්තා. ඒ ඉංග්‍රීසි අධ්‍යාපනයේ සාර්ථකත්වය ඒ ඒ ශ්‍රේණියේදී ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරයා මත තීරණය වුණා. ඉංග්‍රීසි විෂය කාල ඡේදයට ඉංග්‍රීසි හැකියාව අනුව වෙනම කාණ්ඩ ලෙස ඉගෙන ගන්නා ක්‍රමයකුයි තිබුනේ.  අට වන ශ්‍රේණිය වෙනකම් ඉගැන්වූ ගුරු තුමිය නිසා ඉහළ ලකුණු මට්ටමක් ලබල 9 ශ්‍රේණියේ දී හොඳම කණ්ඩායමට තේරුණා. නමුත් එතැන් සිට පැමිණි ගුරුතුමිය ඉතා කරුණාවන්ත නමුත් එතුමියගේ ඉගැන්වීම මට ගැලපුනේ නැහැ. මම කලින් ගුරුතුමියගේ කණ්ඩායමට ස්ව කැමැත්තෙන් ගියා. ඒ වෙලාවේ අනික් ගුරු තුමිය "පැදුරටත් නොකියා ගියේ ඇයිද" කියා විමසා මා නැවත කැඳවා ගත්තා. ඉංග්‍රීසි අධ්‍යාපනය එතැනින් පසු අඩාල වුණා.නිවසේ ඉංග්‍රීසි ප්‍රවීන උගතුන් සිටි නමුත් පරිසරය සම්පුර්ණයෙන්ම වගේ සිංහල. අපිට ඉංග්‍රීසි ඉගැන්විය යුතු බවක් ඔවුන් සිතුවේ නැහැ. ගෙදර තිබුණු මගේ මවගේ අබලන් ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයක් භාවිත කරමින් ස්වෝත්සාහයෙන් ඉංග්‍රීසි කියවීම ප්‍රගුණ කළා.

විශ්ව විද්‍යාලයේදී මුලින්ම තිබුණු ඉංග්‍රීසි ප්‍රවීණතා විභාගයෙන් සමත් වුණා. නමුත් පාරිභාෂික වචන හුරුවීම අසීරු වීම නිසා ප්‍රථම වසරේ භාෂා දෙකේම දේශන වලට සහභාගී වී සිංහල ඉංග්‍රීසි මිශ්‍ර බසකින් විභාග වලට පිළිතුරු ලිව්වා. නමුත් එම පරිසරයේ තිබුණේම ඉංග්‍රීසියට මුල් තැන දෙන වටපිටාවක්. දෙවෙනි වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යට සම්පුර්ණයෙන් ම හැරෙන්න සිදු වුණා. විශේෂ උපාධි පාඨ මාලා සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වුණා. දුෂ්කරතා මැද භාෂා වෙනසට මුහුණ දුන්නා. ස්වෝත්සාහයෙන් ම ඉංග්‍රීසි ප්‍රවීණතාවය ලැබූ මගේ සැමියා මට මෙහිදී බොහෝ උපකාර කළ බව ස්තුති පුර්වකව සඳහන් කරනවා.  අවසානයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අවසාන උපාධිය ලැබුවා. ගුරු වෘත්තියට පිවිසීමෙන් පසු නැවත සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම කළා. වෙනත් රැකියා වලට පිවිසි සමකාලිකයන් දිගටම තමන් ලැබූ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ නිසි ඵල ලබා ගත්තා. උසස් පෙළ ඉගැන්වීමේ කටයුතු වලටත් ඒ ලැබූ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය බොහෝ ප්‍රයෝජනවත් වූ බව කියන්න ඕන. මං හිතන්නේ අපේ කාලයේ විද්‍යා අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙකුගේ කතාව මීට සමාන ඇති කියලයි.

අපිට ඇතැම් විෂයන් ඉගැන්නුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන පසුව සිංහල මාධ්‍යයෙන් උගන්වන්න සිදුවූ ගුරුවරු. ඔවුන් කියන ඇතැම් දේ අපිට තේරුනේ නැහැ. දැන් ඒකෙ අනිත් පැත්ත සිදුවෙනවා. සිංහල මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ගුරුවරුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනවා. බොහෝ විද්‍යා ගණිත උපාධි ධාරීන් නම් විශ්ව විද්යාල අධ්‍යාපනය ලබා ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

2001 වසරේදී උසස් පෙළ විද්‍යා විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ වීමත් සමග නැවත ද්විභාෂා අධ්‍යාපනය ඇරඹෙනවා. මෙය සාමාන්‍ය ජනතාව අතරට ගියේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලෙස. පසුව 6 ශ්‍රේණියේ සිට විද්‍යාව,ගණිතය, සෞඛ්‍ය වැනි විෂයයන් කිහිපයක් සඳහා ද්විභාෂා මාධ්‍ය හඳුන්වා දෙනවා. මෙහිදී පැනනගින ගැටලුව ද්විභාෂා ප්‍රගුණ ගුරුවරුන් හිඟ වීම.

මා ඉගැන්වූ පාසලේ එසේ ගුරුවරුන් නැති වීම නිසා 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට විද්‍යා විෂය ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න උසස් පෙළ ගුරුවරියක් වූ මට සිදුවුණා. එහිදී මා කලේ භාෂා දෙකෙන්ම පාඩම පැහැදිලි කර දීම. නමුත් සිංහල පාරිභාෂික පද වලට ගියේ නැහැ. ඒවා ඉංග්‍රීසි පද වලට වඩා අමාරුයි. සටහන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියා ගැනීමට සැලැස්වූ අතර පිළිතුරු ලිවීම ද විභාගය ඉලක්ක කරගෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සිදු කළා. මුලදී සිසුන් 40ක් පන්තියේ හිටියා. ඇතැම් දරුවන් දැඩිසේ භාෂා දුර්වලතාව දැක්වුවා. විෂය කරුණු අවබෝධ කර ගැනීම දුර්වල වුණා. එයින් දරුවන් 20ක් නැවත ස්ව කැමැත්ත මෙන්ම දෙමව්පිය උවමනාව මත නැවත සිංහල මාධ්‍ය වෙත හැරුණා. ඉතිරි 20 සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී හිටියා. එක දරුවෙක් හැර සියල්ලන්ම සමත් වුණා. A සාමාර්ථ ගත් දක්ෂ දරුවොත් හිටියා. මේ නිසා මේ පන්ති වලට දරුවන් දැමීමට පෙර මුලික භාෂා හැකියාව දී තිබිය යුතු බව පෙනී ගියා.

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේදී පෙනී ගියා සමහර ඉංග්‍රීසි මාධ්‍ය දරුවන් ඉතාමත් හොඳ භාෂා ශෛලියකින් පිළිතුරු දී ඇති බව. ඇත්තෙන්ම විද්‍යා විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම පහසුයි. පාරිභාෂික පද පිලිබඳ ගැටළු එන්නේ නැහැ. මේ අතරම අපි අත්දැක තිබෙනවා, සිංහල භාෂාවෙන් පිළිතුරු ලියන දරුවන් පවා භාෂාව හැසිරවීමේදී ඉතා දුර්වල බව. කෙටියෙන් කිව්වොත් පොදුවේ ලිඛිත මෙන්ම වාචික බස හැසිරවීම දුර්වල බව බොහෝ නිවේදකයන් ගේ බස වැහැරීම අනුවත මෙන්ම මුහුණු පොතේ අදහස් දැක්වීම් වලිනුත් පැහැදිලි වෙනවා.

තවත් කරුණක් තමයි අපේ රටේ ඉංග්‍රීසි භාෂාවක් වශයෙන් උගන්වන ක්‍රමයේ වරද. මේ නිසා බොහෝ සිසුන් ඉංග්‍රීසි විෂයට අකමැත්තක් දක්වනවා. දරුවන් අවුරුදු දහතුනක් පාසලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අවසානයේ ලබන දැනුමක් නැති බව පේනවා. උසස් පෙළදී සිසුන්  පාසලේදී සාමාන්‍ය ඉංග්‍රීසි ඉගෙනීම විහිළුවකට හරවා ගන්නවා. පාසල ලොකු ද පොඩි ද නගරබද ද ගම්බද ද කියා වෙනසක් නැතුව මේ තත්වය දැකලා තියෙනවා. පාසලින් අස්වූ පසු  විවිධ  අමතර පන්තිවලට යමින් මුදල් ද වියදම් කර ගනිමින් අතරමං වෙනවා.

මෙසේ සලකා බැලු විට මට නම් පෙනී යන්නේ ද්වි භාෂා එළඹුම වඩා උචිත බවයි. ප්‍රාථමික පාසලේ දී භාෂා දෙකම මනා ලෙස දත්, හොඳින් පුහුණුවූ ගුරුවරයාගෙන් මෙය ආරම්භ විය යුතු වෙනවා. ඉංග්‍රීසි බසෙන් පිළිතුරු ලිවීම, දරුවන්ගේ කැමැත්ත හා දක්ෂතාවය මත  6 ශ්‍රේණියෙන් ආරම්භ කිරීමට පුළුවන්. භාෂාවක් ලෙස සාහිත්‍ය ලෙස සිංහල/දෙමළ  ඉගෙනීමත් සමාන්තරව නිසි පරිදි සිදුවෙන්න අවශ්‍යයි. දරුවන්ට කියවීම හුරු කිරීම බොහෝ ගැටළු වලට පිළිතුරු සපයාවි. උචිත දේ කියවීම මිනිසා සම්පුර්ණ කරනවා.



2 comments:

  1. ඔබගේ සටහන කිහිප වරක්ම කියවූවා. එහි ඇති කරුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි සිත් යොමු වන මේ කාලයේ බලධාරීන්ගේ විමසිල්ලට භාජන වියයුතුයි.
    ඔබ අධ්‍යාපනය ලැබූ කාලයට වසර දහයකට පමණ කලකට ඉහතදී, මා අධ්‍යාපනය ලබද්දී තිබුණු තත්ත්වය ගැන පසුව කරුණු ටිකක් ලියනවා. ඒ සමගම අපේ දරුවන් ප්‍රාථමික අධ්‍යාපනය ලබද්දී, අපට විදේශ ගතවීමට සිදුවූ නිසා ඔවුන් මුහුණ පෑ ගැටළු වලට විසඳුම් ලබාගත් ආකාරයත් ලියන්නට අවශ්‍යයි. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ ඔවුන්ට එක්වරම ඉංග්‍රීසි මාධ්‍යයට යොමු වීමට සිදු වූවා. ඒ සමගම ඒ විදේශයේ භාවිත භාෂාව වුයේ Creole නමැති අප්‍රකට භාෂාවක්. අපේ දරුවන් ඉක්මනටම ඒ සියල්ල ජය ගත්තා. ඔවුනට අමතර භාෂාවක් ලෙස French ඉගෙන ගැනීමටත් අවස්ථාව උදා උනා
    මේ ගැන ඉක්මනටම ලියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීම ගැන. මේ ලිපියට අදහස් දැක්වීමට ඉතාමත් සුදුස්සා ඔබයි. මේ ලිපිය ලියද්දී මට ඔබ මතක් වුණා. අපට පෙර පරම්පරාවේ කෙනෙක් ලෙස ඔබ ලැබූ ද්විභාෂා අධ්‍යාපනය ඉතාම වටිනවා. අද පරපුරට එක භාෂාවක වත් ප්‍රවීණතාවය නැහැ.

      Delete