Thursday, February 29, 2024

සුදු රෝස White roses - 1

 





සුදු රෝස

පළවෙනි කොටස  

 


ම තිරයේ ඒ වනවිටත් ඇති ඡායාරූපය දෙස  නැවත වතාවක් දෙනෙත් යොමු කළෙමි.  ඒ මුහුණ පැහැපත්ය. ඒත්  එතරම් රූපසම්පන්න බවක් පෙන්නුම් කළේ නැත. මේකප් දැමූ බවක් පෙනෙන්නට තිබුණේ ද නැත. මදක් මතුවී පෙනෙන කම්මුලේ අස්ථීන් හා දික්වූ සිහින් නැහැයත් එතරම් සිත් ඇද ගන්නා සුළු බවක් ඒ මුහුණට එක් නොකළේය. එහෙත් මුතුවන් දසන් යන්තමින් පෙනෙන සේ මතුවී ඇති සිනාව කිසියම් ආකර්ශනීය බවක් මුහුණට එක්කර තිබුණි. ඒ සමගම තරමක් ඝනව සකස් කළ ඇහිබැමට යටින් වූ මදක් ලොකු දීප්තිමත් දිගුඇස් මගේ අවධානයට යොමු වූයේ නිතැතිනි. ඒ රූපයට යමෙකු ආසක්ත වන්නේ නම් ඒ එහි ඇස්වල පෙනෙන බැල්ම නිසාම විය යුතුය. මටත් ඒ ඇල්ම ඇතිකළේ ඒ අසිරිමත් ඇස්යයි මම සිතමි. හිතේ ඇතිවූ හැඟීම විස්තර කිරීමට අපහසු තරම් විය.

මොකක්ද මන්දා අමුතු බැල්මක් මේ ඇස්වල තියෙනවා.මම මටම කියා ගතිමි.

හායි! හව් ආ යූ? ඇක්චුවලි අයි ෆීල් ලයික් ටෝකින් ටු යූ, නොට් ජස්ට් ලීවින් අ මැසේජ්  .

මම මැසෙන්ජරයට ගොස් වොයිස් ටයිප් කළෙමි.

උත්තර ලැබුණේ නැත. ටික වෙලාවකින් බැලූ විට කොළ එළිය තිත නිවී ගොස් තිබුණි.

නැවත වරක් ඒ ගිනුමේ ප්‍රොෆයිල් පින්තූරය දෙස නෙත් හෙලූ මම සියලුම ඇප් වසා දමා හඬද නිහඬ කොට දුරකථනය නිවා දමා පැති මේසය මත තබා ඇඳේ අනික් පසට හැරී නින්දට වැටුණෙමි. පසුදින සුපුරුදු පරිදි දුරකථනය අතට ගෙන තිරයේ තිබූ නෝටිෆිකේෂන් බැලූ මට දක්නට ලැබුණේ ඊයේ තැබූ පණිවිඩයට පිළිතුරකි.

“I saw your message. I'm in California too. I came here one year ago for my PhD at The University of California.”

ඒ කියන්නේ එයා මගේ ප්‍රොෆයිල් එක බලලා. ඒකනේ මං කැලිෆෝනියා බව දන්නේ? මේ ළඟ නේ ඉන්නේ.මම මටම  කියා ගත්තේ මහත් ප්‍රමෝදයක් සිත තුළ පොර බදද්දී ය. ඒ සතුටට හේතුව කුමක් ද යන්නවත් මට නිනව්වක් නොවීය. දිනකට වරක් දෙකක් වත්පොතේ සැරිසැරීමක් කරනු විනා මා  කවදත් එයට ඇබ්බහි වීමක් වුයේ නැත. එහි පොස්ටුවක් දැම්මේ මාසයකට දෙකකට වරක් පමණි. මට මේ මුහුණ හමු වූයේ ඊයේ එසේ සැරිසරණ අතරය. ඇඩ් ෆ්‍රෙන්ඩ් ලෙස මතුවූ රූපයේ යටින් චාරුකා වල්පිට ලෙස ඉංග්‍රීසි බසින් නම සඳහන් වී තිබුණි. ඒ මුහුණේ තිබූ මට වචනයෙන් විස්තර කරන්නට බැරි යම්කිසි ළගන්නා සුළු බවක් විසින් මම එහි අයිතිකාරියගේ ගිණුමට යොමු කරනු ලැබීමි. එයින් මට දැනගැනීමට හැකි වූයේ ඈ ඇමරිකාවේ ජීවත් වන බව පමණකි. ඒ හැර ඈ ලංකවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් බව සඳහන් වී තිබුණි. වෙනත් පුද්ගලික දෑ එහි නොවීය.

ගැහැනු ළමයින්ගේ මුහුණු, ඔවුන්ගේ පණිවිඩ පමණක් නොව ඔවුන්ගේ ඇසුරද මට අමුතුවෙන් සිතිය යුතු  අලුත් අත්දැකීමක්  නොවිය. මගේ සැහැල්ලු සරල ජීවිතය මද සුළං මැද  පාවෙමින් තිබුණු පිහාටුවක්  බව කිව යුතුය. ඒ පිහාටුව ගසා ගෙන යන තරමේ සුළං රැල්ලක් ඒ වනතෙක් හමාවිත් තිබුණේ නැත. මා ඇමරිකාවට ආවේ ග්‍රීන් කාඩ් ලොතරැයිය ඇදීම නිසාය. එවිට මට වයස අවුරුදු විසි හතරකි. ඉංජිනේරු උපාධියේ අවසන් ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් සිටි මට එය ලොතරැයියෙනුත් ලොතරැයියක් වීම දෛවයේ සරදමක් ද වාසනාවක් ද යන්න  මම අද සිතමින් සිටිමි. මා මෙබිමට පා තබා ඒ වනවිට වසර අටක් ගෙවී ගොස් තිබුණි.

ආගන්තුක පරිසරයක මුලදී දැනෙන සාමන්‍ය කාන්සාමය  තත්වය සමනය වත්ම හිතුවාටත් වඩා කලින් මම විප්‍රවාසයේ තහවුරු විමි. සැබෑ ඇමරිකානුවෙකු වීමට සංක්‍රමණිකයෙකුට කිසිදාක නොහැකි වන්නේය. වයසින් අවුරුදු අටක නවයකට අඩු කුඩා කළ මෙහි සංක්‍රමණය නොවුව හොත් අපගේ ඉංග්‍රීසි උච්චාරණය  කිසිදා නිවැරදි වන්නේ නැත. නිවැරදි ලෙස යනු නිරපේක්ෂ සත්‍ය ලෙස ගතයුතු නිවැරදි බවක් නොවේ. අපට නුපුරුදු ඇමරිකානු උච්චාරණයයි. මටද එය එසේම වුවත් අනිකුත් බොහෝ දේ වලින් ඒ වනවිට මගේ ජීවිතය ඇමරිකානු බවට හැරී තිබුණේය. අසන ගීතද, නරඹන සිනමාවද, කියවන පොත්පතද, සැරිසරණ තැන්ද, අඳින පළඳින විලාසිතාවන් ද මේ රටට ගැළපෙන පරිදි ක්‍රමයෙන් සකස් විය. එහෙත් සිතන සිතුවිලිවල ඒ වනවිටත් නැංගුරම් ලාගෙන  සිටි ලාංකිකයා නැත්නම් සිංහලයා උඩට මතුවන්නේ ඉබේටම වීම මට නවතා ලිය නොහැකි ජන්ම දායාදයක් විය. ආගමික වශයෙන් මට කවදත් ලොකු බැඳීමක්, බලපෑමක් නොවූයේ මගේ දෙමව්පියන්ද ඒ තරම් ඒවාට ඇලුණු ගැලුණු පුද්ගලයන් නොවූ නිසා විය යුතුය. කොහොමටත් තාත්තා දැඩි භෞතිකවාදියෙකු වූයෙන් ගෙදර හා සමාජීය වශයෙන් වූ ආගමික කටයුතු වලදී මුල් තැන ගත්තේ අම්මාය. 

මගේ ජීවිතය එකල තරමක් අවිවේකි වූයේ මා විසින් දිගටම කරගෙන ගිය උසස් පෙළ අමතර ගණිත පන්තිය නිසාය. මට අවශ්‍ය වූයේ මගේ ඉගෙනීමේ වියදම් ඇතුළු යැපීමේ බර  දෙමාපියන් මත නොතැබීමයි. ඒ වගේම මගේ ඉගැන්වීමේ හැකියාවට සිසුහු ආකර්ෂණය වීම මගේ ඊගෝව උස් ස්ථානයක රැඳවීය. මගේ උපයා ගැනීම් වලින් සරසවි ජීවිතයේදීම මම මෝටර් රථයක් ද මිළදී ගැනීමට සමත් වූයෙමි. දෙමාපියන්ට මගෙන් වියපැහැදම් අවශ්‍ය නොවුණත් සහෝදරියන්ගේ අවශ්‍යතා සඳහා මම ඉදිරිපත් වුයෙමි. අපේ පවුලේ සහෝදර බැඳීම් ඔවුන් විවාහ වූ පසුව පවා ඈත් වූයේ නැත්තේ ඔවුන් හා සම්බන්ධ වූ අනික් පාර්ශවයන් ද හොඳ මිනිසුන් වූ බැවිනි.

ඉගෙනීමට ද මගේ  හැකියාව අනිකුත් අය මවිත කරවන තරම් වීම විටක මට කරදරයක් පවා විය. ඒ හැකියාව අපේ පවුලට  සහජයෙන් උරුම වුවක් විය යුතුය. මට විභාග සඳහා ලොකු මහන්සියක් ගැනීමට අවශ්‍ය නොවීය. දැනට පරිපාලනයේ ඉහළ තනතුරක් දරන අයියාද සිය කැමැත්තෙන් ගුරුකම තෝරා ගත් ලොකු අක්කාද වෛද්‍යවරියක වන පොඩි අක්කාද එක ලෙස ඉගෙනීමේ දක්ෂන් වූහ. මා මොරටුව විශ්ව විද්‍යාලයේ ගතකළ වසර හතරක සරසවි ජීවිතයේ දී  ගැහැනු ළමයින් දෙතුන් දෙනෙකුම ඇසුරු කළ නමුත් ඒ කිසිම සබඳතාවක් දුර දිග පැවතියේ නැත. ඒ නිසා මට වෙනත් කිසිම බාධාවක් නැතිව තනිකඩයෙකු ලෙසම ඇමරිකාවට ගොඩ බැසීමට හැකි වීමත් ඒ සමගම උසස් උපාධියක් සඳහා ඉගෙන ගැනීමට අවස්ථාව පාදා ගැනීමට ඉඩහසර ලැබීමත් මා ලද ජයග්‍රහණයන් විය.

පුදුමයට මෙන් මා වටා සියල්ල සකස් වන්නේ මගේ සැහැල්ලු ජීවිතයට අවකාශය ඉබේම සකස්වන ආකාරයෙනි. එය මා උපන්දා සිටම සිදුවූවක් බව වරෙක අම්මා කි බව මතකය.

හිච්චි පුතා බඩට ආවත් හරි දරුවා හම්බ වෙද්දීවත් මට කිසිම අමාරුවක් වුණේ නැහැ.

 මා දිනෙන් දින උස්මහත් වෙද්දීත් දෙමව්පින්ට අමතර දුකක් කරදරයක් විඳින්නට වූයේ නැති බව ඔවුහු පවසා සිටින්නේ මහත් සතුටෙනි. අක්කලා හා අයියා කුඩා කළ නිතර රෝගී වී ඒ සඳහා දෙමාපියන්ට කරදර විඳින්නට සිදු වී තිබේ. ඒ වනවිට ලංකාවේ සිටින දෙමාපියන් බැලීමට වසරකට දෙකකට  වරක් යාම හැර මව්බිම සම්බන්ධ වෙන වගකීමක් මට තිබුණේ නැත. මගේ දෙමව්පියන්ට සැළකිය යුතු තරම් වත්කමක් තිබුණු හෙයින්ද ඔවුන්ට ඒ වනවිටත් මනා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් හිමි වූයෙන් ද එමෙන්ම මගේ  සහෝදරියන් දෙදෙනා හා එකම සහෝදරයා දෙමාපියන්ට කිසිම අඩුපාඩුවක් නොවන අයුරින් ඔවුන් රැකබලා ගත් හෙයින්ද දෙමාපියන් ගැන වුව බරපතල වගකීම් මට නොවීය.  මගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට  ඔවුන් දෙදෙනා ඇමරිකාවට පැමිණි අතර ඒ වතාවේ පුතා ඉන්නා දේශයේ වටපිටාව  හැකිතාක් නැරඹීමට අවස්ථාව උදා කර දෙන්නට මම උත්සුක වීමි. ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ සිය මිතුරු හා නෑදෑ සංගම් අතර අනිකුන්ට නොදෙවැනිව  ඇමරිකාව මෙසේ යයි කියන්නට හැකිවීම පමණක් බව මම දන්නෙමි. ඒ හැර විප්‍රවාසී ජීවිතයකට ඔවුන්ගේ කිසිඳු මනාපයක් තිබුණේ නැත.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මා ගතකළ කාලයද ඉතාම ප්‍රසන්න එකක් විය. මා ක්‍රීඩාවට ද සංගීතයටද එකසේ ඇලුම් කළ හෙයින් හා ඒ සම්බන්ධ අවස්ථා වලට නිරන්තරයෙන් සහභාගී වූ බැවින් විශ්ව විද්‍යාලයේදී මට නිතැතින්ම කැපී පෙනෙන තැනක් හිමි වූයේ මා නොසිතූ පරිද්දෙනි. විවිධ ජාතීන්ට අයත් මිශ්‍ර ජනගහනයක් ඇති කැලිෆෝනියා ප්‍රාන්තයේ මා ඇසුරට පත් මිතුරෝ  බොහෝ දෙනෙකු  වූහ. මෝටර් රථයද විකුණා දමා මා එනවිට යම් ප්‍රමාණයක මුදලක් ගෙනැවිත් තිබූ අතර විශ්ව විද්‍යාලයේදී ඉගැන්වීමෙන් ලැබෙන ආදායම තනි පුද්ගලයෙකු වශයෙන් මට ප්‍රමාණවත් විය. එපාර්මන්ට් එකකට කුලී ගෙවීමටත් එදිනෙදා ආහරය සඳහාත් වාහනයට ගෙවීමටත්  ඒ හොඳටම ප්‍රමාණවත් විය. ඉගෙනීමෙන් පසු කැලිෆෝනියා ප්‍රාන්තය මූස්ථානය කරගත් ලෝකයේ කීර්තිමත්ම සමාගමක මගේ ක්ෂේත්‍රයට අදාළ රැකියාවකට යාමට හැකිවීම සංක්‍රමණිකයෙකු ලෙස මා ලද තවත් ජයග්‍රහණයකි. පුරවැසි බව ලැබුණු පසු රාජ්‍ය අංශයට යාමට ඉඩහසර විවරවන නමුත් මා කරමින් සිටින රැකියාවටත් ස්ථානයටත් ඇලුම් කිරීම නිසා එහිම රැඳී සිටියෙමි.

වරින් වර විවිධ ජාතීන්ට අයත් ගැහැනු ළමයින් සමග සබඳකම් පැවැත්වූ මම මාගේ ඇතුලාන්තය විසින් ඉල්ලන කිසියම් දෙයක් මෙතෙක් නොලැබුණේය යන චිත්තාවේගයකින් පසු වීමි. ඒ කුමක්ද යන්න මට පවා පැහැදිලි නොවීය. ලංකාවේ මෙන් නොව ගැහැනු ළමයින් සමග කතාබහෙන් ආරම්භ වන සම්බන්දතා රැයක් ගත කිරීම සඳහා දුරදිග යාම මෙහි සාමන්‍ය දෙයකි. එවැනි අවස්ථා ගණනාවක් මට අත්විඳින්නට ලැබුණේ කුමන හෝ හේතුවක් නිසා ගැහැනු ළමයින් මට ආකර්ෂණය වීම හේතු කොටගෙනය. සමහර විට මගේ සමේ වර්ණය, උස හා කතාබහේ විලාසය එයට හේතු වන්නට ඇත. එහෙත් ඒ කිසිම ඇසුරක් විවාහ සංස්ථාව දක්වා තබා දිගුකාලීන එක්ව ජීවත්වීම් දක්වා වත් ගෙන යාමට ඔවුන්ට වත් මටවත් වුවමනාවක් වූයේ නැත. ආදරය යනු කුමක්ද යන්න ගැන මම සිතමින් සිටියෙමි. සැබවින්ම ඒ වනතෙක් මට සැබෑ ආදරයක් හමු නොවන්නට ඇත. සිනමාවේ, වේදිකාවේ හා පොත පතවල උතුරා යන ආදරය නිරන්තරයෙන් දැක්කෙමි. එහෙත් සැබෑ ජිවිතයට එවැන්නක් එබිකම් කළේ නැත. අපේ ශ්‍රී ලාංකික කමේ අංගයක් ලෙස පවතින පවුලක් ඇතිකරගෙන ජීවත් විය යුතුය යන්න පිටුදකින්නට නොහැකි ©සිතුවිල්ලක්  මට ද ජානගතවම ලැබී තිබුණේය.

මගේ අම්මා හා තාත්තා ආදරයෙන් බැඳී සිට විවාහ වුවෝ වෙති. ඔවුන් අතර බහින් බස්විමකට වඩා දුර දිග ගිය ආරවුල් මා දැක නැත.  අක්කලා දෙන්නා තම සහකරුවන් සොයා ගත්තේ ද ආදරය කිරීමෙන් පසුවය. අයියා  පවුලට සම්බන්ධ තැනකින් ආ යෝජනාවක් අනුව තම සහකාරිය සොයා ගත්තේය. මට පෙනී ගිය පරිදි ඒ වනවිට ඔවුහු යහපත් පවුල් ජීවිත පවත්වාගෙන ගියෝය. මා විවාහ විය යුතුද? එසේ නම් මා විසින් තෝරා ගත යුත්තේ කවරාකාර යුවතියක්ද? අම්මා හා ලොකු අක්කා නිතරම ඒ ගැන මතක් කරමින් සිටිති. එහෙත් මට එතෙක් මගේ ජීවන සහකාරිය හමුවී තිබුණේ නැත. මෙවන් වාතාවරණයක් තිබියදී වත් පොතේ අහම්බෙන් මතුවූ ඒ රුව මගේ සිත කැළඹීමට පත් කර තිබුණි.

©malinieganewatta

Thursday, February 8, 2024

සතුට

 සතුට



පි අතීතයේ සතුටින් හිටිය ද?
අපි දැන් සතුටින් නෙමේද ඉන්නේ?
අපි ඉදිරියේදී සතුටින් ඉඳීවි ද?
මං හුඟක් බලල තියෙනව කවියක් හරි කතාවක් හරි අතීතයේ අප විඳි දෙයක් මතක් වෙන්න ලියුවොත් ඒක හුඟක් ජනප්රිය වෙනවා. ඒක අතීතයේ අප විඳි සතුටු දෙයක්, මධ්යස්ථ දෙයක් හෝ දුක්බර දෙයක් වෙන්න පුළුවන්. අපි අතීතයට යන්න ආසයි. ඒ කියන්නේ අපි අතීතයේ හැම තිස්සෙම තෘප්තිමත්ව සතුටින් හිටියා කියන එකම නෙවේ.
විදුලි බලය නැතිව ලාම්පු පත්තු කරගෙන රාත්රී කාලය ගත කළේ. ගෑස් නැතුව දර ලිප් දල්වාගෙන දැළි වලං හෝදගෙන ඉවුම් පිහුම් කළේ. පයින් හරි බයිසිකලයකින් හරි බස්වල තද බද වෙලා ගමන් ගියේ. මෝටර් රථයක් තිබුණෙ එහෙමත් කෙනෙකුට විතරයි. හුඟක් ගෙවල් පොල් අතු සෙවිලි කරල තිබුණෙ. ඒ පොල් අතු මාස ගණනක් ඇතුළත දිරාපත් වෙනවා. ආයෙ අළුත් ඒවා සෙවිලි කරන්න ඕන. ඒත් ජීවිත ගෙවුණ. වෙන විකල්පයක් නෑ නෙ. ඔය වගෙ උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්.
ඒත් අපි ඒ අතීතය සුන්දර දෙයක් විදියට මතක් කරනවා. මේ හැඟීම් nostalgic feelings කියල ඉංග්රීසියෙන් හඳුන්වනවා. මේ වචනය මධුර ඩික්ෂනරියේ තිබුණෙ කාංසාව කියල. අපි අධ්යාපන මනෝ විද්යාවේ කාංසාව කිව්වේ Anxiety කියන තත්ත්වයට. අනිකුත් ඩික්ෂනරිවල nostalgic කියන එකට තනි වචනයක් දී නෑ. මේ nostalgic feelings වගේම ගෙදරින් බැහැරව ඉන්න කොට ඇතිවන homesickness තත්ත්වය අතීතයේ මානසික ආබාධ කියල හිතල තියෙන්නෙ. නමුත් එය එසේ නොවන බවයි අද පැහැදිලි කරන්නේ. ඒ විදියට බැලුවම අතීතය මතක් කරල අපි සතුටු වෙනවා.
මෙවැනි හැඟීම් ඇතිවෙන්නේ දැන් අපි ඉන්න තත්වයෙන් තෘප්තිමත් නොවන නිසා කියලා විස්තර වෙනවා. ඒ කියන්නේ මනුෂ්යයා හැම විටම ඉන්න තත්ත්වයට වඩා යමක් බලාපොරොත්තු වෙනවා. ඒක නරක දෙයක් නෙවෙයි. අළුත් නිර්මාණ හැම එකක්ම බිහිවෙන්නේ ඒ හැඟීම නිසා නෙ. නැත්නම් මේ තියෙන දේ ඇති කියලා නවතින්න තිබුණ නෙ. එහෙම බැලුවත් මේ වගෙ හැඟීම් ඇතිවීම හොඳයි.
මං වෙනත් වැඩක නොයෙදෙන වෙලාවට මගේ හිතට එන අතීත අත්දැකීම් ලියනවා. සමහර ලිවීම් FB එකේ දානවා. ඒක මගේ සතුට. මං ලියල තියෙන දේ කියවල කෙනෙක් ලයික් එකක් දානව. තව කෙනෙක් ඉමොජියක් දානව. තව කෙනෙක් වචනයෙන් ඒක ගැන කොමෙන්ටුවක් ලියනව. ඒවත් මං සතුටට පත් කරනවා. කවුරුවත් කියෙව්වෙ නැතත් මං ලියනවා. එහෙම මං විතරක් කියවපු මා විසින් අකුරු කළ හුඟක් ඒව තීයෙනවා. හමහර විට මා විසින්ම ඒවා විසි කරල දානවා.
කෙනෙකුට ලියන්න ඒ අත්දැකීම් ප්රාථමික ඒ කියන්නේ තමන්ම මුහුණ දුන් ඒවා වෙන්න ඕන නෑ. ඒත් කියවන අය හුඟක් වෙලාවට හිතනව ඒවා ලේඛකයගෙම අත්දැකීම් කියලා. කොහොම ලැබුණු අත්දැකීම් වුවත් ඒවා පොදු බවට පත්වූ තරමට හදවත් තූළට යනවා වැඩියි.
අපි අදත් හෙටත් සතුටින් ඉඳිමු නේද මිතුරනි!
ජීවිතය හුඟක් දිග නෑ වගේම ආයෙ ලැබෙන්නෙත් නැහැනෙ.

Thank you Szilvia Basso for the image on Unsplash

Friday, February 2, 2024

ඉරිඟු ගැන අලුත් කතාවක්

ඉරිඟු ගැන අලුත් කතාවක් 
රසික හරිශ්චන්ද්‍ර සුරියාරච්චි විසින් සංස්කරණය කරනු ලබන 
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට පලකරනු ලබන සිසිල ඔන්ලයින් සඟරාවේ 2024 පෙබරවාරි කලාපයේ මේ ලිපිය පලවිය.

 

ද අපි ආහාරයට ගන්නා බෝග වර්ග ඈත අතීතයේත් මේ විදියටම තිබුණා කියලා ඔබ හිතනවද? ඒත් ඒවා එහෙම තිබුණේ නැහැ. වනමය වශයෙන් තිබුණු විවිධ ශාක ක්‍රමයෙන් මිනිසා විසින් ගෘහස්තකරණය කිරීමෙන් තමයි ඒවා ලැබුණේ. කෘෂිකර්මය වැඩි දියුණු වීමත් එක්ක මේවායේ ස්වභාවික බෝවීම පාලනය කරලා දෙමුහුම් ආදිය ඇති කර ගත්තා. ඒ විතරක් නෙවේ අද වෙනස් ජීවීන්ගේ ජාන ඇතුළු කරලා ශාක හා සත්ව ගෙනෝමය වෙනස් කරන තැනටත් ඇවිත් තියනවා. අද කතාව ඉරිඟු ගැන.

ඉරිඟු කියන්නේ ලෝකේ වැඩියෙන්ම වවන බෝග වර්ග වලින් එකක්. අවුරුදු දහස් ගණනක් තිස්සෙම එය සත්ව ආහාරයක් වගේම මිනිස් පරිභෝජනටත් යොදාගෙන තියෙනවා. විශේෂයෙන් ඇමරිකානු දේශීය ජනතාව තමයි මෙය භාවිත කරලා තියෙන්නේ. දැනට ඉරිඟු අමෙරිකාවේ ප්‍රධාන ආහාර වලින් එකක් විතරක් නෙවේ එතනෝල් ඉන්ධනය හදන්නත්, පැණිරස කාරක හා තවත් නොයකුත් නිෂ්පාදන හදන්නත් පාවිච්චි කරනවා. ලෝකය පුරා වසරකට ඉරිඟු මෙට්‍රික් ටොන් බිලියන 1.2 ක අස්වැන්නක් නෙලා ගන්නවා.

ඉරිඟුවල වැදගත්කම මෙන්ම එහි සම්භවය පිලිබඳ ශතකයකට වැඩි කාලයක් වාද විවාද  ඇතිවී තිබුණා. ඉරිඟු ගෘහස්තකරණය වෙලා තියෙන්නේ දැනට අවුරුදු 10,00කට ඉස්සර.

2023 දෙසැම්බර් 1 දා සයන්ස් සඟරාවේ පළවන පර්යේෂණයක් මගින් පෙන්වා දෙනවා නූතන ඉරිඟු (Zea mays ) අවුරුදු 5000කට එපිට මෙක්සිකෝවේ නිර්මාණය වූ දෙමුහුමකින් පැවත එන බව. ඒ ශාකය මුලින් ගෘහස්තකරණය කරලා අවුරුදු දහස් ගණනකටත් පස්සේ සිදුවූ දෙයක්. පර්යේෂණ කණ්ඩායම කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ පරිණාමය හා පරිසර විද්‍යාව දෙපාර්තමේන්තුවේ මහාචාර්ය රොස් ඉබාරා (Ross-Ibaara) ප්‍රමුඛ පිරිස.

පසුගිය දශක කීපය තුළ හිතුවේ Zea maize දැනට අවුරුදු 9000 - 10000කට පෙර දකුණු මෙක්සිකෝවේ පහත්බිම් වල ඇති වනමය තෘණ වර්ගයක් වන තෙයෝසින්ටේ (Teosinte)  වලින් ඇතිවුණා කියලයි.

මෑතදී අනාවරණය වූ දෙයක් තමයි නූතන ඉරිඟුවල ගෙනෝමයේ මෙක්සිකෝවේ මධ්‍යම උස්බිම්වල ඇති තවත් Teosinte තෘණ වර්ගයක DNA ද තිබෙන බව.

රෝස් ඉබාරා ඇතුළු පිරිසඇමරිකා එක්සත් ජනපදය,චීනය හා මෙක්සිකෝවේ ඉරිඟු නියැදි දහසකට වඩා පර්යේෂණ යට ලක් කර නූතන ඉරිඟුවල ඇති DNA වලින් 20% ක් අර උස්බිම්වල හැදෙන Teosinte වලට අයත් ඒවා බව තහවුරු කළා. ඒ අනුව කරන ලද නිගමය මෙහෙමයි.  ඉරිඟු අවුරුදු 10,000කට පෙර ගෘහස්තකරණය වුණත් එය එකල එතරම් ලෝකය පුරා ව්‍යාප්තවී නැහැ. එය ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ අවුරුදු 4000කට පෙර සිටයි. ඒ මේ දෙමුහුම සිදුවූ පසු විය හැකියි. මුල් එකට වඩා මෙය ප්‍රචලිත වීම ගැන පර්යේෂණ දියත් වෙමින් තියෙනවා.

දෙමුහුමක දෙමුහුම් දිරිය (Hybrid vigor) කියා දෙයක් තියෙන බව ප්‍රවේණි විද්‍යාවේ කියවෙනවා. නූතන ඉරිඟුවල මුල් එකට වඩා කරල්වල ප්‍රමාණය ලොකු වීම වෙන්න පුළුවන්. අස්වැන්න වැඩි වීම වෙන්න පුළුවන්. මල් පිපෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. නිවර්ත කලාපීය වැනි විවිධ  දේශගුණික තත්ත්ව වලට ඔරොත්තු දීම වෙන්න පුළුවන්. මේවා දෙමුහුම් දිරියේ ප්‍රතිඵල වෙන්න පුළුවන්. ඒ වගේම මේ උස්බිම් Teosinte වලින් ලැබුණු ගෙනෝම කොටසේ හානිකර විකෘති අඩුබව ද පෙනීගොස් තිබෙනවා.